Wednesday, December 28, 2022

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බ

 විදේශයකින් නිවාඩුවකට පැමිණ සිටින නෑදෑයෙකුගෙ ආරාධනය මත ඊයේ උදේ regency හෝටලයේ උදය ආහාරය සඳහා ගියෙමි.

අප එතනට යන විට නමය හමාර පමණ වී තිබූ අතර breakfast බුෆේ එක 10:30 ට අවසන් වන බව අප දැන සිටියෙමු.

සංචාරක කර්මාන්තයට බොහෝ දුෂ්කර කාලයක් වන මෙකල මම සිතාගෙන සිටියේ උදය ආහාර ශාලාව බොහෝ දුරට හිස්ව තිබෙනු ඇතැයි කියාය.

අප ශාලාවට ඇතුළුවන විට ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනේ අපද සතුටටද දුකටද පුදුමයට ද පත්කරමිනි. 

දුක  දැන් අපිට කෑම බෙදා ගැනීම තරමක් කරදරයක් වන නිසාය. සතුට අඩු තරමේ යම් තරමකට වත් සංචාරක කර්මාන්තය දුවන බව දැකීමෙනි. පුදුමය අප බලාපොරොත්තු වුණු හිස් ශාලාව වෙනුවට ජනයා ගෙන් පිරුණු ශාලාවක් දැකීමයි.

නමුත් ඇතුළට ගිය විට එහි සිටින බොහෝ දෙනා ශ්‍රී ලාංකිකයන් බව පෙනුණි. එයිනුත් බහුතරය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව බව ඇඳුමෙන් අපට වැටහුණි. කොහොමද ලංකාවේ ආර්ථිකය අපි හිතුවට වඩා බොහොම හොඳයි නේද මම  කීවෙමි.

breakfast බුෆේ එකකට ගියේ ටික කාලයකට පසුව නිසා, සැලසුම් සහගතව වැඩිය ගෙදරදී කන්නට නොලැබෙන ආහාර වර්ග බෙදාගෙන අනුභව කරන්නට මම සැලසුම් කළෙමි. 

කිහිප වරක් ආහාර බෙදා ගන්නට එහෙට මෙහෙට යන විට ආහාර ගන්නන්ගේ කතා කරන භාෂාව මට එහෙන් මෙහෙන් කනට වැටුණි.

ඒ සිංහල නොවේ, ඉන්දියානු භාෂාවන් ය. ඉන්දියාවේ අවුරුදු දෙකක් ජීවත් වී ඇති මට ඒ භාෂාවන් යම් තරමකට භූගෝලීය වශයෙන් සිතා ගන්නට පුළුවන. 

එම භාෂාවන් උතුරු සහ දකුණු ඉන්දියා දෙකේම භාෂාවන් බව මට වැටහුණි.

ඒ කියන්නේ එතැන සිටි බොහෝ පිරිස් ඉන්දියානුවන් වන බවය. මම හෝටලයේ සේවකයකු ගෙන් මෙතන සිටින බොහෝ දෙනා හෝටලයේ කාමරවල සිටින්නන් ද එසේත් නැත්නම් පිටින් පැමිණිය වුන් දැයි ඇසුවෙමි.

ඔහු කීවේ සියල්ලන්ම වාගේ හෝටලයේ කාමර වල සිටින්නන් බව ය.

නිවසට පැමිණි පසු මම රීජන්සි හෝටලය කාමරයක මිල ගනන් බැලුවෙමි. එය රුපියල් 40,000 වටේ කැරකෙයි.

සංචාරක කර්මාන්තය ලංකාවේ පීක් එකේ තිබියදී මම දකුණු පළාතේ ආඥාපතිවරයා ලෙස ගාල්ලේ සේවය කළෙමි. එකල ඒ ප්‍රදේශය සංචාරක හෝටල් වලට මම නිතරම ගියෙමි. 


ඒ හෝටල් වල බොහෝ පිරිස් ඉන්දියානු සංචාරකයන් එතරම් සතුටින් පිළිගත්තේ නැත. තරු පහේ හෝටල්වල පවා ඉන්දියානු සංචාරකයන් පැමිණි විට ඔවුන් කාමරයේ පිටි අනා ගෙන, රෙදි මදින ඉස්තිරික්කය තබා රොටි හදාගෙන කන කණ්ඩායමක් බවට හෝටල් වල සේවකයන් සිනා වූහ.


අවසානයේ අපේ සංචාරක කර්මාන්තය මේ වෙලාවේ බේරාගන්නට මුල්වී ඇත්තේ ඉන්දියානු සංචාරකයන් බව ඒ වෙලාවේ මට සිතුනි.

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බත් දවසක ඕන  වෙනවා කියන්නේ මෙවැනි හේතු නිසා විය හැක


Tuesday, December 20, 2022

සම්බන්ධීකරණ යේ වටිනාකම





 සම්බන්ධීකරණය කොතරම් ආර්ථික වශයෙන් වැදගත් දැයි එසේම ගිණුම් මිනුම් කොතරම් වැදගත්ද වටහා ගන්නට ඉතාමත් අගනා උදාහරණයක් අද මගේ ව්යාපෘතියෙ දී සිදුවිය.


ඉහලින් ඇති පින්තුරයේ පෙන්වා දෙන වැසිකිළි පද්ධතිය අප මේදවස් වල පටන් ගෙන ඇති වගා ව්‍යාපෘතියේ ඉදි වන්නකි.


මේ සඳහා කොපමණ සිමෙන්ති බ්ලොග් ගල් අවශ්‍යදැයි ඒ වැඩේ කරන බාසුන්නැහේ ගෙන් පටන් ගැනීමට පෙර විමසූ විට ඔහු කිව්වේ ගල්  400ක් ප්‍රමාණවත් බවය.

උස දිග පළල මැන ශ්‍ය ගල් ප්‍රමාණය හරියටම කියන්න මම ඔහුට ඒ වෙලාවෙත් පැවසුවෙමි. 

ඔහු කීවේ 400ක් ප්‍රමාණවත් වන බවය. අපට ගලක් ගෙනත් දීමට ම රුපියල් 85 කට පුළුවන් බව කියූ කොන්ත්‍රාත්කරුවෙකු ට අපි වැඩේ බාර දුන්නෙමු. 

කොන්ත්‍රාත්කරු ඉතාමත් හොඳින් ඒ වැඩේ කළේය. ඒ වෙලාවේ මම ඔහුත් සමග ටිකක් කතා කරමින් සිටියෙමි. ඉදිකිරීම් ව්‍යාපෘති තාමත් පහල ගොස් ඇති නිසා තමන්ගෙ ව්‍යාපාරයට බලවත් පහරක් වැදී ඇති බවත් ඒ අතරම ගල් වැඩපොලක්  කරන ඔහුට වෙඩි බෙහෙත් හිඟයෙන් ද අපහසුතාවයට පත්වී ඇති බව ඔහු කීවේය.

එසේම අප මෙහි පැමිණ අපගේ ව්‍යාපෘති වල කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දෙදහක් ගෙවීමෙන් ප්‍රදේශයේ කම්කරුවන්ගේ වැටුප් අවුල් කර ඇති බව ඔහු මට ඇනුම් පදයක් ලෙස කීවේය.


අද උදේ මම ව්යාපෘතිය අසලට ගිය විටම ගල් ටිකක් මදි වන්නට යනවා දැනී ගල් ඇති දැයි බාස් උන්නැහේගෙන් ඇසුවෙමි. ඔහු අත් දෙක සොලවා ඇති මදි වගේ තියෙන්නෙ යැයි පැවසීය. එසේ නොකියා හරි පිළිතුරක් දෙන ලෙසට මම ඔහුට විහිළුවට කීවෙමි.


අද දහවල් මම ව්‍යාපෘතියේ සිටියදී ඉදිකිරීමේ වැඩේ භාගයක් ඉතිරිව තිබියදී බ්ලොග් ගල් අවසන් වී ඇති බව මට දැනගන්නට ලැබුණි. නැවත බාසුන්නැහේ ගෙන් ඇසූ විට ඔහු කීවේ තවත් ගල් 135ක් අවශ්‍ය බවය. මම බිත්තියේ ඉතිරි කොටස දිග සහ පළල මැන කොතරම් ගල් අවශ්‍යදැයි බැලුවෙමි. ඉන්පසු 150 ඇනවුම් කරන ලෙසට අපේ  ගණකාධිකාරි වරයාට පැවසුවෙමි.


පැය දෙකකට පමණ පසු මට වැඩ අඩු වූ වෙලාවක නැවත ඒ අසලට ගියවිට ගඩොල් ගොඩක් එතන තිබෙනවා දුටුවෙමි. ඒ ගඩොල් කුමක් නිසා එතන තිබෙන්නේ දැයි මම මගේ නිලධාරියෙකුගෙන් ඇසුවෙමි. ඔහු කීවේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් දැමීම සඳහා වට බැඳීමට ගෙන්වා ගත් ගඩොල් වලින් ඉතුරු ගඩොල් ටික මෙතන තිබෙන බවයි.

ඉතිරි කොටස බැඳීම සඳහා මේ ගල් පාවිච්චි නොකරන්නේ මන්දැයි මට සිතුනි. බාසුන්නැහේ ගෙන්වා ඇසුවෙමි. ඔහු එයට එතරම් කැමැත්තක් නොදැක්වීය. 

මීට පෙර බ්ලොග් ගල් සහ ගඩොල් කවලම් කර බැඳ නොමැති දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

එම ප්‍රශ්නයෙන් ලැජ්ජාවට පත් වූ ඔහු තමන් මීට පෙර එසේ බැඳ ඇති බව පැවසීය.

ගඩොල් සහ බ්ලොග් ගල් වල ඝණකම සමාන බව ඒවා මැන බැලූ විට අපට වැටහුණි.

ඔහු ඉතිරි කොටස ගඩොල්වලින් බැඳීමට එකඟ විය.

ගඩොල් ගොඩ කුමට එතන තිබෙන්නේ දැයි මට ඇති වූ සිතිවිල්ල අද ව්‍යාපෘතියට රුපියල් 12, 850 ඉතිරි කළේය.

එසේම කාලයක් යන තෙක් ඉවත් කරන්නට නැවත වරක් කම්කරු ගාස්තු ගෙවිය යුතු ගඩොල් ගොඩක් ද එතනින් ඉවත් විය.

පසුව ලියමි

පහතින් තිබෙන්නේ වැඩ අවසන් වූ පසු පින්තූරයකි. අවසානයේ වැඩේට යම් කලාවකුත් එකතු වී ඇති බව පෙනේ.



සම්බන්ධීකරණය කියන්නේ එයයි.

 



Tuesday, December 13, 2022

ඇවන්ගාඩ් ව්‍යාපෘතියේ අතුරු කතා 1





Drip irrigation යොදාගෙන අක්කර 50ක මිරිස් වගාවක් කරනවා කියන එක ලේසි වැඩක් නොවේ. බිම සීසෑම කර, පස් කුඩු කළ පසු ද කම්කරුවන් යොදාගෙන පාත්ති හදන්නට පමණක් මිලියන 5ක් පමණ වැය වෙයි.


ඉන්දියාවේ මේ පාත්ති සෑදීම කරන්නේ කෙසේද සොයා බැලූ විට ට්‍රැක්ටරයේ අද ගෙන යා හැකි උපකරණයක් ඔවුන් සාදා ගෙන ඇති බව පෙනුණි. ඒ පිළිබඳව විඩියෝ කිහිපයක් යූටියුබ් එකේ තිබුණි.


මෙවැන්නක් අපටත් සාදාගත යුතු බව පෙනුණු නිසා මේ දක්වා අපේ ඉඩම්වල සී සෑම් කළ smart ට්‍රැක්ටර් රියදුරෙකුගෙන් මේ ගැන ඇසුවෙමි. ඔහු එවැනි උපකරණයක් ගැන අසා නොතිබුණද මම youtube එකේ විඩියෝ එක ඔහුට පෙන්වා එවැන්නක් අපට සාදාගත හැකි නේදැයි ඇසූ විට ඔහු ධනාත්මක උත්තරයක් දුන්නේ ය.


ඔහුත් සමග එකතුවී වැල්ලවාය කිට්ටුව කම්මලක මෙවැන්නක් සාදන්නට අපි කතිකා කර ගත්තෙමු. නමුත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී පොලොන්නරුවේ කෙනෙකු මෙවැනි උපකරණයක් සාදා කිහිපයක් විකුණා ඇති බව මට දැනගන්නට ලැබුණි.

තරමක් අපහසුවෙන් ඔහු සොයාගෙන ඔහුගෙන් විස්තර ඇසූ විට ඔහු විසින් දෙන ලද තොරතුරු ඉතාමත් ධනාත්මක ඒවා විය.

ඔහුගෙන් ද එහි ඡායාරූප කිහිපයක් ගෙන්වාගෙන පරීක්ෂා කර බැලූ විට එයත් යූටියුබ් එකේ දුටු ඉන්දියානු උපකරණයට බොහෝ සමාන බව මට පෙනුනි. සාකච්ඡාවේදීද ඔහු ඉන්දියානු උපකරණයට ඉතාමත් සමාන ලෙස මෙය සාදා ඇති බව මට කියූ විට මගේ විශ්වාසය තවත් තහවුරු වුනි.


එහි මිල විමසා බැලුවෙමි. වැල්ලවාය ඇතිලිවැව ටම ගෙනත් දී අපට එය වැඩ කරන විදිහත් පෙන්වා දීමට ුපියල් ලක්ෂ දෙකහමාරක් අවශ්‍ය බව ඔහු කීවේය. මම එකඟ වූයෙමි. 


මෙසේ තමන්ම පැමිණ එය ගෙනැවිත් දී එය ක්‍රියා කර පෙන්වා දෙන බව ඔහු විසින් පවසා සිටි විට, මගේ තිබුණු; එසේ තිබුණේ නම්, සැකයන් සියල්ල දුරුවිය.

ඔහු සමග මේ arrangement එකට එකඟ වී අප සමාගමේ සභාපති මා මිත්‍ර නිශ්ශංක සේනාධිපතිට මැසේජ් එකක්  යැව්වෙමි. ඔහු එක පයින්ම මෙම යෝජනාවට එකඟ වී වහාම හෙටම එය ගෙන්වාගන්නා දෙසට මට උපදෙස් දුනි. 

මෙය නිෂ්පාදනය කරන පුද්ගලයා මා කලින් දැන සිටියේ නැත හඳුනා ගත්තේ අද දවසේ ය. එහෙත් ඔහු කිසිම ඇඩ්වාන්ස් එකක් නොමැතිව transport වියදමත් දරාගෙන මෙසේ පැමිණීමට එකඟ වීම ම, මට ඉමහත් විශ්වාසයක් සහ සතුටක් ගෙන දුන්නේය.

රටේ පවතින සියලූ බොරු සහ වංචා අතරේ මෙවැනි අලුත් දේවල් කරන එසේම එඩිතර; බොහෝ විට මොහු තරුණයකු විය යුතුය, දක්නට ලැබීමත් මේ රට සම්පූර්ණයෙන්ම කඩාවැටී නොමැති බවට හොඳ සාක්ෂි වෙයි.

Friday, December 9, 2022

ඇවන්ගාඩ් අලුත්ම ව්‍යාපෘතිය










 ලංකාවට වසරකට වියළි මිරිස් ටොන් 50000ක් අවශ්‍යතාවයක් ඇත. එහෙත් නිපදවන්නේ ටොන් 500 ක් පමණි. ඉතිරිය චීනයෙන් ඉන්දියාවෙන් තායිලන්තයෙන් සහ බංග්ලාදේශය මෙරටට ආනයනය කෙරෙයි.

මෙය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන් 150ක් පමණ රටෙන් පිටතට යයි. 

මේ මුදල් ප්‍රමාණය ලංකාවෙන් මැදපෙරදිග සේවයට යන කාන්තාවන් 375000 ක් ලංකාවට එවන මුදලට දළ වශයෙන් සමාන වෙයි.

මිරිස් ඉතාමත් හොඳින් වැවෙන එසේම ඒ සඳහා හොඳ දේශගුණයක් සහ පොළොවකි තිබෙන රටක් මේ සඳහා මෙතෙක් මේසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීම පුදුම සහගත බව පෙනේ. නමුත් එය සිදුවේ.

මහ සාගරයේ ලංකාවේ පිහිටීම යොදාගනිමින් රටට විදේශ විනිමය ජනනය කළ ඇවන්ගාඩ් සමාගම මෙම විදේශ විනිමය ප්‍රමාණය රටට ඉතිරි කරන ඒකායන පරමාර්ථයෙන් ලංකාව පුරා මිරිස් වගාවට සුදුසු ප්‍රදේශවල දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා එතරම් කාර්යක්ෂම ලෙස යොදවා ගෙන නොමැති ඉඩම් බදු ගෙන මිරිස් වගාව පටන් ගන්නට කටයුතු කර තිබේ. 

හම්බන්තොට, වැල්ලවාය ගලේවෙල නවගත්තේගම ආරච්චිකට්ටුව යනාදී නොයෙකුත් ප්‍රදේශවල පටන් ගෙන ඇති මෙම මිරිස් වගාව සමහර තැන් වල අස්වනු නෙලා ගන්නා තත්ත්වයට පැමිණ ඇත.  

මිරිස් හොදින් වැවෙන්නේ වියළි කලාප වල නිසා, මිරිස් වගාව කරන ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එම පැළවලට වියලි කාලයේදී ජලය සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා ජලය සම්පාදනය කරගැනීම සහ ඉතාමත් කාර්යක්ෂම අයුරෙන් පැළවලට බෙදාහැරීමේ ක්‍රමයක් නොමැතිව ලංකාවේ මිරිස් වගා කිරීම අපහසුය. මේ සඳහා drip irrigation යොදාගත යුතුය. එහෙත් එයට සැලකිය යුතු මුදලක් වැය වෙයි. එසේ නොකළ හොත් වියලි කාල වලදී වගාව අනතුරේ වැටී යොදවන මුදල වත් ලබා ගැනීමට නොහැකි වන අනතුරුදායක තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. බොහෝ සුළු ගොවියන් ලංකාවේ මිරිස් වගාව  යොමු නොවන්නේ මේ හේතුව නිසා විය යුතුය.


ඇවන්ගාඩ් අරමුණ ඉටුකර ගැනීමට නම් ,ඒ කියන්නේ ලංකාවට මිරිස් ආනයනය කිරීම නවත්වන්නට නම් ලංකාවට අවශ්‍යයය ටොන් පනස් දාහක් එහිම නිපදවා ගන්නට නම්, අක්කර 3000 ක පමණ මිරිස් වගා කළ යුතුය. ඒ වගා කළ යුතු වන්නේත් ඉහළම අස්වැන්නක් ලබාගත හැකි ආකාරයෙනි. මේ සඳහා දැනට ලෝකයේ ඇති තාක්ෂණික වශයෙන් ඉහළම වගා ක්‍රම යොදවා ගැනීමට ඇවන්ගාඩ් සමාගම යුහුසුලු වෙයි.


මේ අතර drip irrigation, mulching  with mulching covers වැනි දෑ ඇතුළත් වෙයි. එසේම වගා කරන සියලූ ඉඩම් තිබෙන ප්‍රදේශවලට වල් අලි තර්ජන ඇති නිසා ඒ සඳහා වැටවල් සෑදීමත් මෙම ව්යාපෘතියේ කොටසක් වෙයි.


මිරිස් වවන විට එක් මිරිස් ගහකින් 8 වරක් පමණ අස්වැන්න නෙලා ගන්නට පුළුවන. එහි පළවනු සහ දෙවැනි අස්වැන්න මිරිස් ඉදීමට පෙර කළ යුතු අතර මෙම අමුමිරිස් තොග යන්ත්‍රානුසාරයෙන් dehydrate කර වසර පුරාම ලංකාවේ අමු මිරිස් මිල සමබරව තබා ගැනීමේ අදහසක් ද ක්‍රියාත්මක කිරීමට දැන් ඇවන්ගාඩ් ආයතනය පරීක්ෂණ කරමින් සිටී.


මා මිත්‍ර නිශ්ශංක සේනාධිපති වැඩකට අත ගැසූ විට එය උපරිම කාර්යක්ෂමතාවකින් සහ ඉහලම තත්වයෙන් කරන්නට 7×24 අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නෙකි. මමත් දැන් ටික දවසකට පෙර ඔහුගේ මේ කටයුත්තට උර දෙන්නට එකතු වුණෙමි. ඔහු ආරාධනා කළ විට විශ්‍රාම සුවයෙන් සිටි මගේ ඇඟ ඇතුළේ සිටින ගොවියා අවදි විය.


ලංකාව ලෝකයේ වැඩියෙන්ම මිරිස් ආනයනය කරන රට බව මම කියෙව්වෙමි. ඇවන්ගාඩ් මේ ව්‍යායාමය සාර්ථක වුවහොත්; මට නම් ඒ පිළිබඳව කිසිම සැකයක් නැත, අවුරුදු දෙකකින් පමණ අප මිරිස් අපනයන කරන රටක් බවට පත් වීම නිසැක වෙයි.



හඳපානගල Extreme sports

 


වෙනත් කටයුත්තක් සඳහා වැල්ලවායට ගිය මම,  පසුගිය දිනෙක, ප්‍රදේශයේ සිටීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන මිතුරන් දෙදෙනෙකුත් සමග හඳපානගල ජලාශය බලන්නට ගියෙමි.


තනිකරම කාපට් පාරවල් වලින් මුළු ගමනම යන්නට පුළුවන් විය. ජලාශයේ මැද හරියේ වගේ ප්‍රධාන පාරෙන් මං වගේ ඇතුල්වීමට ගේට්ටුවක් තිබුණු අතර එතන සිටි මුරකරු ගෙන් අවසරගෙන වාහන එළියෙ නවතා අපි වැව් බැම්මට ගියෙමු. 

වැව් බැම්ම මතට ගිය විට ඒ ජලාශය ඉතාමත් අලංකාර ස්ථානයකි. බොහෝ ඈත අතීතයේ සිට පැවත එන ; ක්‍රිස්තු පූර්ව සීයේ පමණ වලගම්බා රජු විසින් මුලින්ම සාදන ලද බව කියනු ලැබේ, මෙම ජලාශය ලඟකදී උමාඔයේ වතුරෙන් පුරවන්නට වැව් බැම්ම තරමක් ඉහළට ඔසවා, ජනාධිපති සිරිසේන විසින් විවෘත කර ඇත. 

මුලින්ම මෙම ජලාශය සාදන ලද්දේ කවුරුන් විසින්දැයි එසේ නැත්නම් කවර කාලයකදී දැයි එතන යම් සටහනක් නොවීම එය නරඹන්නට එන පිරිසට ලොකු අඩුවක් ලෙස දැනේ. 


එම බැම්ම සාදා ඇත්තේ තරමක කළුගල් පර්වතයක්, මැදිකර වන අතර එම පර්වතයේ ස්වභාවික පිහිටීම බැම්මෙ කොටසක් කරගැනීමෙන්, බැම්ම සෑදීමේදී අඩු වියදමකින් එය කරගෙන ඇති බව පෙනේ.


හඳපානාගල ජලාශය පිළිබඳව ම ප්‍රදේශයට යන තෙක්ම අසන්නට නො ලැබ තිබීම මට පුදුමයක් ගෙන දුනි. එයට වඩා බොහෝ අඩු වෙන් ආකර්ෂණයක් ඇති ස්ථාන ගැන පවා අපට නිතර අසන්නට ලැබේ.


හඳපානාගල ජලාශයට එම නම ලැබී ඇත්තේ එතනට හොදින් හඳ පායනවා බලන්ඩ පුළුවන් වන නිසා බව මට එහිදී හමු වූ කෙනකු කීවද පසුව මට දැනගන්නට ලැබුණේ ඒ ගල්පර්වතයේ කොටා ඇති ඉර සඳ ලකුණ නිසා ඒ නම ඇතිවී තිබෙන බවය. 

පැරණි රජකාලයේ ඉර සඳ ලකුණයි සේ ගලෙහි කොටන්නේ ඉර සඳ පවතිනා තෙක් කාලයක් පැවැත්වීම යන අරුත ලබාදීමට බව මා අසා ඇත.


මේ සියල්ල බලා බැම්ම දිගේ ආපසු ඇවිදගෙන එන විට එම ජලාශයේ සිට පහලට වතුර ගලාගෙන යන ඇලෙහි අමුත්තක් දුටුවෙමි. ඒ වැවේ සිට ගලාගෙන යන එම ජල පහර සම්පූර්ණයෙන් ම දැලකින් වසා තිබීමයි. 

එසේ ඇල සම්පූර්ණයෙන් ඝන දැලකින් වසා තැබීම කුමන හේතුවක් මත කරන්නට ඇත්දැයි මම මමත් සමග ගිය මිතුරන් දෙදෙනා ගෙන් ඇසුවෙමි. මම හිතුවේ මෙයට අලියන් වැටීම වැලැක්වීමට මෙසේ කර ඇති බව ය ; මේ ජලාශය ප්‍රදේශය අලියන් ැරඹීම සඳහා ප්‍රසිද්ධ වූ ස්ථානයකි, මිතුරෙකු කීවේ මෙය මිනිසුන් වැටීම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය හැකි බවය.


අපි මේ ගැන කතා කරමින් ජලාශය ප්‍රදේශයෙන් එළියට එන විට එහි ඇතුළුවන ස්ථානයේ සිටින මුරකරු ගෙන් මම මේ පිළිබඳව ඇසුවෙමි.


ඔහුගේ පිළිතුර පුදුමසහගත එකක් විය. ඒ පිළිතුර පැහැදිලි කරන්නට නම්  ඇල සාදා ඇති ආකාරය පිළිබඳව යමක් කියන්නට අවශ්‍ය බව සිතේ. ජලාශයේ මැද හරියේ පතුලේ සිට සාදා ඇති උමග ජලාශයෙන් එළියට  තවත් මීටර් 10ක් පමණ පැමිණි පසුව විවෘත ඇළක් බවට පත්වේ. මෙය සාමාන්‍යයෙන් මිනිසෙකුට ඇවිදගෙන යාමට ප්‍රමාණයෙන් හැකියාව තිබෙන උමගක් වනාතර එය දිගින් අඩි දෙසීයක් පමණ විය යුතුය.

මෙම උමං මාර්ගයේ ජලාශයෙන් පිටත විවෘත කොටස ඝන දැලකින් ආවරණය කිරීමට සිදුව ඇත්තේ මෙය නැරැඹීමට පැමිණෙන සමහර පුද්ගලයන් එම උමං මාර්ගයේ outlet එකෙන් බටයට ඇතුළුවී පිටතට ජලය ගලා එන ජලපහරට විරුද්ධව ඝණ කළුවරේ උමග දිගේ ජලාශය ඇතුළට ගමන් කර ජලාශය මැද උමගේ අනිත් කෙලවරින් ජලාශය ඇතුලට පැමිණීමයි. 

ගණ කලුවරේ උරහිසට පමන වතුරේ ගිලී පිටතට එන ජල කඳ ට විරුද්ධව මෙසේ අඩි 300ක් පමණ ගමන් කර උම්මග අනෙක් කෙළවර ජලාශයෙන් මතුවීම, මම මෙතෙක් අසා ඇති ඉතාමත් භයානක extreme sport එකක් බව නොබියව කිව හැක.

මේ භයානක එසේම එඩිතර ක්‍රියාව නැවැත්වීමට මෙලෙස ජලයට ඇතුළු වන්නන් වැළැක්වීමට දෑල ගැසූබව මුරකරුවා කීවේය.


මුරකරුවා කී විස්තරය අසා එළියට පැමිණි විට මට සිතුනේ රජයට තිබුණේ මෙලෙස දැල ගැසීම නොව, මෙම උමග තරණය සඳහා රුපියල් 5000ක පමණ ගාස්තුවක් අයකර එයට ඉඩදීම බවය. ලෝකයෙ extreme adventure sports වලට කෝටි ගණන් වියදම් කරන මිනිසුන් මෙවැනි අමුතු සහ භයානක ක්‍රීඩාවක් කිරීමට පිටරටවල සිට වුව ද පැමිණිය හැකි යැයි මට සිතුනි.

විශේෂයෙන් ඇල්ල සංචාරක කලාපය අසල පිහිටා ඇති මෙම ජලාශය වෙතට ඇල්ලට පැමිණ පැමිණෙන සංචාරකයන් මෙම උමග තරණය කිරීමට  මුදල් ගෙවා, පැමිණෙන්නට බොහෝ ඉඩ තිබේ. එසේම මෙවැනි මෙතෙක් අසා නැති භයානක ක්‍රීඩාව, එවැනි ක්‍රීඩා වලට කැමති පුද්ගලයන් අතරේ ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ට වත් ප්‍රසිද්ධ කරනු ඇත.


කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...