Wednesday, December 11, 2019

දේශපාලන ප්‍රතිවාදී අවැසි තැනදී, ඒකරාශී - කෙටිකතාව




                                      දේශපාලන ප්‍රතිවාදී
                                අවැසි තැනදී, ඒකරාශී


ඇමැතිවරයා හාන්සි පුටුවේ ඉඳගෙන කකුල් දෙක පුටුවේ දිග හරින ලද අත් මත තබාගෙන සිටියේය. නිල් ඉරි සහිත සුදු සරමක් සහ සුදු අත් කොට බැනියමක් ඇඳ සිටි ඔහු, තමන් අතේ තිබූ විදුර බිමෙන් තැබුවේය. ඔහු එම හිස් විදුර කතා  කරමින්ම බිමින් තියන්නට හැදුවේ, බාගයක් පමණ ඉතිරිව තිබුණු ගල් අරක්කු බෝතලය සහ අලියා සෝඩා බෝතලයට මැදිනි. ඒ දෙක අතර ඉඩ තිබුනේද අසෝක විදුරට වඩා ඇඟිල්ලක මහතා පමණය. විදුර ඒ දෙකෙන් එකකට වදින්නට යන බව ඔහුට කියන්නට ශාලාවේ සිටි අනෙක් පුද්ගලයා උත්සාහ කරද්දීම, ඇමතිතුමා අහක බලාගෙන කිසිම ගාණක් නැතුව විදුර ඒ දෙකට හරි මැදින් තැබුවේය.

“නිමල් දන්නවනේ මම වෙන මොනවා තිබ්බත් බොන්නේ ගල් අරක්කු කියලා”, අනෙක් පුද්ගලයා ගල් අරක්කු බෝතලය දෙස බලනවා දුටු ඇමතිවරයා කුඩා සිනහවකින් යුක්තව කීවේය. “කොහේ හරි ලොකු හෝටලයකට ගියත්, පිට රටකට ගියත් මම ගල් අරක්කු බෝතලයක් අරගෙන තමයි යන්නේ, බැරිම තැනක් ආවොත් ග්‍රේ ගූස් කියලා විස්කි ජාතියත් තියෙනවා, ඒක අරක්කුවලට හුඟාක් කිට්ටුයි, ඒ බෝතලයක් තමයි සල්ලි වලට හරි ගන්නෙ” ඔහු ගල් අරක්කු බිම සාධාරණීකරණය කළේය.
ඔහු තමන්ට මෙතරම් ධනයක් තිබිය දීත් මිලදී ගන්නට පුළුවන් ලාබම අරක්කු වර්ගය පානය කරන්නේ ඇයිදැයි මේ තරුණයාට පැහැදිලි කල යුතුය.

මේ හවස්වරුවේ හාන්සි පුටුවේ වාඩි වී ගල් අරක්කු පානය කරමින් සිටින්නේ සමරනායක ඇමතිතුමාය. ඔහුගේ නිවසේ උඩ තට්ටුවේ මේ වෙලාවේ මෙතන සිටින කෙනෙකුට බොහෝ දුරකින් රත්තරන් පාට කඳු වළල්ලකින් බහිනා හිරු, ගල් අරක්කු නොමැතිව උනත් කිසිම කම්මැලි කමක් නොමැතිව බලා සිටින්නට පුළුවන. ඔහු ඉදිරියෙන් එතන ඔහු දෙස බලාගෙන හිටගෙන සිටින්නේ මටකලංමුදුන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහු වයස 35 ක් පමණ පෙනුම ඇති, තරමක් තරබාරු එහෙත් ප්‍රසන්න මුහුණක් සහිත පුද්ගලයකු වූ අතර, ඇමතිවරයා ඔහුට ඉඳගන්නට කිව්වත් හිටගෙනම සිටින්නේ ඉක්මනින් මෙතනින් පිටව යාමට අවශ්‍ය නිසාය. 

මම නිමල්ට කිව්වේ අන්න ඒකයි, අවංකකම කෙලින් වැඩ කරන එක හොඳ ක්‍රමවේදයක් තමයි, ඒ උනාට තමුන් දැනගන්න ඕනෑ මෙතනට තමුන් ඇවිල්ල තියෙන්නෙ ප්‍රදේශයේ මිනිස්සු දෙන ඡන්දේ නිසාම විතරක් නෙවෙයි කියලා, ඔතෙන්ට තමුන්ට එන්ඩ මග සලස්වපු කීපදෙනෙක් ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නෑ, ඕනනං මිනිහෙකුට ගම් සභාවක මන්ත්‍රී කෙනෙක් වෙලා, ඔන්න මට වැරදුනා, මම සභාපති කාලේ තිබ්බ ගම්සභානේ, ඒක නිසා මට ප්‍රාදේශීය සභා කියන එකට කොච්චරවත් කියවෙන්නේ ගම්සභා කියලා, මැරෙනකම්ම ගම් සභාවක මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න පුළුවන්, අවංක කමෙන් මිනිස්සුත් එක්ක හරියට වැඩේ කරල, හැබැයි ඉහලට යන්ඩ ඕන නම් තමන්ට ඉහළින් ඉන්න දේශපාලනඥයන්ගේ අවවාද වලටත් කන් දෙන්ට ඕනෑ, එතකොට තමයි ඒ දේශපාලනඥයන්ගේ පිහිටෙන් හිමිහිට ඉහළට යන්නට පුළුවන්” ඇමතිවරයා යමක් ව්‍යංගයෙන් කියන බව සභාපතිවරයාට ඉවෙන් මෙන් දැනුනි.

“මමත් ඉතින් බලන්නේ ඇමතිතුමන්ලා කියන දේ කරගෙන, ප්‍රාදේශීය සභාව වැඩ ටිකත් පිළිවෙලකට කරගෙන යන්න, එහෙම නැතුව මම තනියම වැඩ කරන්න කවදාවත් උත්සාහ කරලා නෑ කියල ඔබ තුමා හොඳින්ම දන්නවා” සභාපති වරයා කීවේය. “මගේ නෝනත් ඕකමයි මට කියන්නෙ, එයා හැමවෙලේම උදාහරණයට ගන්නේ එයාගෙ කුඩප්පච්චි”
සභාපති වරයා කුඩා තර්ජනයකුත් තමන්ගේ පිළිතුරට එකතු කළේය.
ඔහුගේ බිරිඳගේ පියාගේ වැඩිමහල් සහෝදරයා සමරනායක ඇමැතිතුමා තරම්ම, එහෙමත් නැත්නම් ඊටත් වඩා තරමක බලයක් තිබෙන්නෙක් බව සමරනායක ඇමැති වරයාට ඇඟට නොදැනිම ඔහු මතක් කළේය. සමහර විට තමා සමරනායක ඇමතිවරයාගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාව සිටියද, එය සඳහා මූලිකව බලපා ඇත්තේ දේශපාලනික වශයෙන් බලගතු තමන්ගේ බිරිඳගේ කුඩප්පච්චි වන ගබඩාවත්තේ ඇමතිතුමා බව සමරනායක ඇමතිවරයාට දැන්වීමට, ඔහුට ඕනෑකමක් ඇති මුවා වෙන්නට පුළුවන.

“හොඳයි එහෙනම් නිමල් දැන් යන්ට, මම කියපු කාරණා ටික හිතේ තියාගෙන වැඩ කරන එක අපි කාටත් හොඳයි, අපේ පක්ෂෙටත් හොඳයි” ඇමැතිවරයා එසේ කියන ගමන්ම දකුණු අත පහලට යවා මුලින් ගල් අරක්කු බෝතලයද, දෙවනුව විදුරද උඩට ගත්තේය.

බැදපු මාළු කෑලි කිහිපයක් සහ තෙම්පරාදු කරන ලද සුදු ලූනු පීරිසය බැගින් රැගෙන, ඔහුගේ කුස්සියේ වැඩ කරන ටිකිරි බන්ඩා පැමිණියේය. ඇමැතිවරයා ඉදිරියේ කනප්පුවක් පිළියෙල කර ඒ මතින් පීරිස සහ අතපිසිනයක් තිබ්බේය.

“උඹ විදුරක් ගෙනාවාද? ඇමැතිවරයා ටිකිරි බන්ඩා ගෙන් ඇසුවේය.

ගන්ට බැරි වුණා, මං එලියට එනකොට ලොකු නෝනා කුස්සියේ හිටියා” ටිකිරි බණ්ඩා පිළිතුරු දුන්නේය.

ඇමැතිවරයා තමන්ගේ අතේ තිබූ අසෝකා විදුරේ බාගයක් පමණ තිබූ අරක්කු ටික එක්වරම කටේ හලා ගෙන, විදුර පිරෙන්ටම බෝතලයෙන් ගල් අරක්කු වක්කරැව්වේය.

“ආ එහෙනම් මේක බීපන්” ඔහු සිනාසෙමින් විදුර ටිකිරි බණ්ඩාට දුන්නේය. ටිකිරි බන්ඩා එය පානය කර අවසන් වී ශාලාවෙන් ගේ ඇතුලට යන විටම, සුදු මහත පියකරු පෙනුමකින් යුත් වයස 50 ක් පමණ වූ ඔහුගේ බිරිඳ ශාලාව ඇතුළට පැමිණ, ඔහුගේ හාන්සිපුටුව අසලින් තිබූ අනෙක් පුටුවේ ඉඳ ගත්තේය.

ඇය ඉඳගන්නා ගමන්ම ඇමතිවරයාගේ බයිට් පීරිස දෙස බැලුවේය.

“මාළු කෑලි ටික නම් ඉවරයි, සුදු ලූනු එකට අත ගහලත් නැහැ, ඒකෙන්නෙ පටන් ගන්ඩ තිබේ, සුදු ලූනු හැමදේටම හොඳයි කියලා කියනවා" පුටුවේ හරි බරි ගැහී ඇය නිරීක්ෂණය කළාය.

ඔහු සිනාසී සුදු ලූනු බික් දෙකක් අතට ගෙන කන්නට පටන් ගත්තේය. මෙවැනි දේවල් ගැන තමාට වඩා හොඳින් දන්නේ ඇය බව ඔහු විශ්වාස කළේය. පත්තරයක් ගත්තත් ඇය කියවන්නෙ එවැනි ලිපි වන අතර, ඔහු කවදාවත් එවැනි ලිපි කියෙව්වෙ හෝ ගුවන් විදුලියේ එවැනි දේවලට කන් දුන්නේ වත් නැත.

ඔහු, සුදු ලූනු සෞඛ්‍යයට බොහොම හොඳයි කියලා අපේ සෞඛ්‍ය ඇමැතිතුමා දසනායකත් මේ ලඟදි මට කිව්වා” ඔහු සිනාසුනේය.

“අනේ උන්නැහැ දන්න සෞඛ්‍ය විද්‍යාව” බිරිඳ සිනාසුනාය. “අර තේවත්තෙ නර්ස් ඊට වඩා සෞඛ්‍ය දන්නවා” ඇය තවත් සිනාසුනාය.

“අපේ ඇමතිතුමාට නම් හරියටම ගැලපෙන අමාත්‍යාංශයක් හම්බ උනේ, කුඹුරු ගොවිතැනින් පටන් ගත්ත මනුස්සයා අන්තිමට රටේම කෘෂිකර්මය භාර ඇමති තුමා වුණා” ඇය සිනාසුනාය.

ඇය තමන්ට හින්ට් එකක් යවනවාද, එහෙමත් නැත්නම් තමාව අගය කරනවද කියා ඔහු කල්පනා කළේය.

“ඒක නෙවෙයි අපි දැන් දුවගේ වැඩේට මොකද කරන්නේ” කෝකටත් කියා ඔහු මාතෘකාව පොඩ්ඩක් හරවන්නට උත්සාහ කළේය.

“ඇයි අපි ඒක තීරණය කරානේ ගිය සුමානේ, එයා යවමු එංගලන්තෙට, පුතාලා දෙන්නා වගේ” බිරිඳ වැඩි ගණනකට නොගෙන කීවාය.

මං හිතුවෙ එයා මෙහෙ හිටපුවාවයි කියලා" ඇමතිවරයා කීවට වඩා ඉල්ලා සිටි බව ඇය දනී.

“නැහැ මෙහෙ ඉගෙන ගෙන බැහැ එයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට ඕනෑ එංගලන්තෙන්, අනෙක අපිට කාන්තාවන්ට වෙනසක් අසාධාරණයක් කරන්නටත් බැහැනේ, මමත් අපේ පක්ෂේ කාන්තා සංගමයේ කාන්තා විමුක්ති කොමිටියෙත් ක්‍රියාකාරී සාමාජිකාවක්නෙ”, ඇය තවත් විහිළුවක් එකතු කළාය.

“හරි මම එහෙනම් ඒ විශ්ව විද්‍යාල කිට්ටුවෙන් නවතින්ට තැනක් හොයන්නම්, මම හිතන්නේ ඔය හරියේ මගේ පරණ යාළුවෙක් ඉන්නවා” ඇමැතිවරයා කීවේය.

ඔහු අස්නෙන් නැගිට සිටි අතර බිරිඳ ඔහු හා රාත්‍රී ආහාර සඳහා පහල තට්ටුවට යාමට එකතු වූවාය.

පසුදින උදය වරුවේ කොළඹ අමාත්‍යංශ කාර්යාලයට ගිය ගමන්ම, ඔහු තම පුද්ගලික ලේකම්වරයාට කතා කළේය.

“මතකද ගිය සුමානෙ මම එංගලන්තෙට කෝල් එකක් ගත්තා, ආන් ඒකට අදත් මට කෝල් එකක් අරන් දෙන්න” ඔහු ලේකම්වරයාට කීවේය. විනාඩි දහයකින් පමණ ඔහුගේ දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. කෙටි සතුටු සාමීචියකින් පසුව; තමන් බිල ගෙවන්නේ නැතිවුනත් පිටරටකට කතා කරන විට, හැම වරකදීම ඉක්මනින් අවසන් කිරීමට හිතට නැගෙන සිතිවිල්ල ඔහුට පාලනය කර ගැනීමට නොහැකි විය.

“ආ ඒක හරි, මට හොඳ අදහසක් ඔළුවට ඇවිල්ලා තියෙන්නෙ, මේ සුමානේ කොහොමහරි වැඩේ කරන්න ඉන්නේ. ඔව් එයා දැන් තව සුමාන දෙකකින් විතර ඔහෙට එන්නයි ඉන්නේ, එයාගෙ වැඩ ඔක්කොම එහෙම නම් බලාගන්න පුළුවන් නේද, ආ නැහැ විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම තානාපති කාර්යාලයෙන් බලාගන්නවා, මමම දාපු තානාපති කෙනෙක් නෑ ඔහේ ඉන්නේ, මිනිහා බොහොම උනන්දුවෙන් වැඩ කරනවා, හරි ඒ වැඩේ ඉවර වුණ ගමන් මම කෝල් එකක් දෙන්නම්”. ඇමතිවරයා කෙටියෙන් සාකච්ඡාව අවසන් කළේය.

සති අන්තයට ගමේ ගිය ඔහු සම්බන්ධීකරණ ලේකම්වරයා සමග ඉරිදා පොල්ගොල්ලේ පාර හදන එක බලන්නට ගියේය. ඔහු එතැනට පැමිණෙන බවද කලින් දන්වා තිබූ හෙයින්, එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරුන් තිදෙනාම එතැනට පැමිණ සිටියහ.

“අපරාදේ එක ඉංජිනේරු කෙනෙක් ආවා නං ඇතිනෙ, ඉරිදාත් වෙච්චි එකේ මොනවද කරදර වෙනවද” ඇමතිවරයා වාහනයෙන් බැස ගත් ගමන්ම ප්‍රධාන ඉංජිනේරුවා ගෙන් ඇසුවේ එතැන සිටි සියලු දෙනාටම ඇසිය හැකි පරිදි සාමාන්‍යයෙන් කතා කරනවට වඩා ටිකක් වැඩි හඬකිනි. එය එතැන සියලු දෙනාගේ පරිභෝජනය සඳහාය.

“මේක සර් අඩි 15 ක් තිබ්බ පාර, දැන් මේ ව්‍යාපෘතියෙන් පාරේ මැද ඉඳලා දෙපැත්තට 50 පනහ පනහ සීයක් වෙනවා, ඒ කරල කාපට් දාලා ගත්තහම කොළඹ-නුවර පාර වගේ තමයි” ප්‍රධාන ඉංජිනේරුවරයා ව්‍යාපෘතියේ මුලික සැලැස්ම කෙටියෙන් පැහැදිලි කළේය. “බොහොම හොඳයි කවද හරි මගේ ආසනේ මිනිස්සු කියයි අපේ ඇමැතිතුමා තමයි මේ තරම් ලොකු පාරක් අපිට හදලා දුන්නේ කියලා, මේක මේ පැත්තට ගන්න මම කොච්චර මහන්සි උනාද” ඇමතිවරයා සාමාන්‍ය ශබ්දයට වඩා ටිකක් ශබ්දයෙන් පැහැදිලි කළේ ඔහු පැමිණි බව දැක එතනට රොක්වී සිටි ගැමියන් ගේ ප්‍රයෝජනය සඳහාය.

“ඉංජිනේරු මහත්තයා, මට තියෙනවා එක ප්‍රශ්නයක්, ඇයි මේ පාර හදන එක මේ තරම් ඇදෙන්නේ, අවසාන කරන්ඩ දිනය තිබ්බ දිනයට තව මාස දෙකයි නේද තියෙන්නෙ, වැඩේ දිනේට ඉවර කරගන්න පුළුවන් වෙයිද, මම අර කලින් කිව්වා වගේ එන මාසේ මාර්තු වෙනකොට මේකේ වැඩ ඉවරවෙලා, වාහන දුවන තත්වෙට එන්න ඕන" ඔහු අවසාන කෑල්ල කිව්වේ ඉංජිනේරුවන්ට පමණක් ඇසෙන්නටය, ඡන්දය මාර්තුවල තිබෙන නිසා ඒ කෑල්ල ඡන්දදායකයන්ට ඇහෙන්න කියන එක හොඳ මදි නිසාය.
මොන වගේ ප්‍රශ්න නිසාද මේක පරක්කු වෙන්නේ? ඔහු ඉංජිනේරුවා ගෙන් නැවත පරණ ස්වරයෙන් ඇසුවේය.

“මේ හරියෙ ඔක්කොම තියෙන්නේ ලොකු කඳු බෑවුම්, කපන පස් කඳු ඉවත් ක‍ර ගන්න තමයි ලොකු වෙලාවක් ගත වෙන්නේ" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය.

“මේ කඳු ගැටය ඔක්කොම පස් කියුබ් කීයක් විතර තියෙයිද?”
ඇමතිවරයා ඉංජිනේරුවා ගෙන් උනන්දුවෙන් ඇසුවේය.


ඇමතිවරයා ටිකක් වෙලා කල්පනා කළේය. එතනට පැමිණ සිටි ගමේ පක්ෂ සංවිධානයේ සභාපතිවරයා දැක ඔහුට අඬ ගැසුවේය.

“පෙරේරා උන්නැහේ, මේ හරියේ ඒ තරමට පස්ගොඩක් දාගන්න මොකක් හරි වලක් වගේ එකක් තියෙනවද” ඇමැතිවරයා ඔහුගෙන් ඇසුවේය.
ඔහුත් ටික වෙලාවක් කල්පනා වැටුණේය. ඇමතිතුමා තමන්ගෙන් මහ සභාවක් මැද මෙවැනි ප්‍රශ්නයක් අසා තමන්ට කරන ලද්දේ මහත් ගෞරවයක් යැයි ඔහු සිතුවේය. සියල්ලන්ටම ඇසෙන සේ හොඳ පිළිතුරක් ලබාදිය යුතුය. ඇමැතිවරයා පාරෙන් එහා පැත්තේ තියෙන කුඹුරු යාය දෙස බලා සිටිනවා ඔහු දුටුවේය. අපුරු අදහසක් ඔහුගේ ඔළුවට ඇතුළු විය.
“සර් කිසි කරදරයක් නෑනේ, තල්ලු කරමු කෝ පස් ටික මේ කුඹුරු යායට, කොහොමටත් මේ කුඹුරු පුරන් වෙලානේ තියෙන්නේ” ඔහු කීවේය.
“ෂා එහෙම කරන එක හරි නෑනෙ, කුඹුරක් එහෙම ගොඩ කරල දාන එක” ඇමතිවරයා කීවේය.

“මේවා ඉතින් කුඹුරු වගේ තිබුනට සර් දැන් අවුරුදු හත අට කින් වැඩ කරලා නැහැ” පෙරේරාත් අත ඇරියේ නැත.
“අපිට පස් කියුබ් ලක්ෂයක් විතර මෙතන කැපෙනවා, ඒක මේ වලට තල්ලු කර ගන්න පුළුවන්නම්, පාරේ වැඩේ බොහොම ඉක්මනට ඉවර කර ගත්ත හැකි ඇමතිතුමා” සාකච්ඡාවට ඇතුළුවීමට ඉඩ කඩක් දුටු ඉංජිනේරුවරයාද පැවසුවේය.

මේක හරිගියොත් පස් ඉවත්කරන කොන්ත්‍රාත් එක ලබාගෙන ඇති KKS කොන්ස්ට්‍රක්ෂන් එකට පුද්ගලිකව කතා කල යුතුය. ඔහු සනිටුහන් කර ගත්තේය.

“කියුබ් එකක් කිව්වේ අඩි දහයේ අඩියේ අඩියේ පස් ගොඩක් නේද" ඇමතිවරයා ඇසුවේ වටේ සිටි පිරිසට ඔහුගේ ඉංජිනේරු දැනුමත් පෙන්නන්න ටය. "මමත් ඒ කාලෙ ගම් සභාවේ පොඩි ගොඩනැගිලි වැඩ කොන්ත්‍රාත් කරානේ ඕව තවමත් මතකයි" ඔහු එකතු කළේය.

“ගොවිජන සේවා එකෙන් මේකට අවසරයක් ගන්න වෙයිද, ඇමතිතුමා” ඉංජිනේරුවා ගෞරවයෙන් විමසුවේය.

“මම ඉල්ලීමක් ඉදිරිපත් කරන්නම්, ඔබතුමා පොඩ්ඩක් කතා කලොත් වැඩේ වෙයි” ඉංජිනේරුවාම පිළිතුරත් දුන්නේය.

“එහෙනම් මම ගිහිල්ල එන්නම්” ඔහු ඉංජිනේරුවාට කීවේය. “පෙරේරා උන්නැහේ හන්දියට යනවා නම් මගෙත් එක්ක ගිය හැකි” ඔහු පෙරේරා දෙසට හැරී කීවේය.

ඇමතිවරයා තමාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඉදිරී අසුනට යවා, පෙරේරා තමාගේ වාහනයට දමා ගත්තේය.

“පෙරේරා උන්නැහේ කාගේද ඔය කුඹුරු යාය” ගමන පටන් ගත් පසු ඔහු පෙරේරා ගෙන් ඇසුවේය. ඕක ඇමතිතුමා skp පක්ෂෙ මෙහෙ සංවිධායක වරයා ගෙනේ, මිනිහ ගිය පාර පාර්ලිමේන්තුවට ගියත් හරි ඕක පුරන් වුණා” පෙරේරා කීවේය.

“තමුසේ මට ඕක කලින් කියන්න තිබ්බනෙ, එහෙමනම් මම දැන් මාස ගාණකට ඉස්සර ඕක පස් වලින් පුරෝල දාන්නෙ, මේක හරියට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වගේ, පාරක් විජහට කෙරෙනවා, අප්පුහාමිගේ කුඹුර ටත් කෙලවෙනවා" ඇමැතිවරයා සිනාසෙමින් කීවේය." තමුසෙගෙ හොඳ අදහස් තියෙන්නෙ, ඔය මොලෙන් ඔයිට වඩා වැඩක් ගන්න පුළුවන්"

දවස් දෙකකින් ගොවිජන සේවා කොමසාරිස් වරයා ඇමැතිවරයා හමුවී ඔහුට ඉංජිනේරුවාගේ ලැබී ඇති අයදුම්පත පිළිබඳව දන්වා සිටියේය.
“ඔව් ඕකට අපි අවසර දෙමු, මේ ගමේ වැදගත් සංවර්ධන කටයුත්තක්නේ" ඇමතිවරයා ඔහුට උපදෙස් දුන්නේය.

පෙබරවාරි අන්තිම වෙන්නට පෙර පාර සම්පූර්ණයෙන් සකසා අවසන් කෙරිණ. කපන ලද පස් කුඹුරු යායට තල්ලු කරන ලද අතර, පස් ප්‍රමාණය වලේ ප්‍රමාණයට වඩා වැඩි වූ හෙයින් පාර සෑදීමට ගෙනත් තිබූ ගල් රෝල යොදවා එම පස් තද කරමින්, අලුත් පස් සඳහා ඉඩ ලබා ගන්නා ලද්දේය.

එම මාසයේම මැද හරියෙ ඇමතිවරයා කාර්යාලයේ සිට නැවත වරක් එංගලන්තයට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

"
ඔහු මුලින්ම ටික වේලාවක් හෝ ඔහුගේ දියණියට කථා කරමින් සිටියේය. ඉන්පසු අප්පුහාමිට කතා කළේය. “ඔන්න ඉඩම වැඩේ සම්පූර්ණයෙන්ම හරි, පර්චස් එක රුපියල් පන්දාහකට වත් විකුණන්න බැරිව තිබුණු කුඹුර, පර්චස් එකක් ලක්ෂයක් විතර වෙන ගොඩ ඉඩමක් වුණා, එතන අක්කර දෙකක් විතර ඇති මයෙ හිතේ, එහෙම නේද” ඔහු තම දේශපාලන ප්‍රතිවාදියා ගෙන් ඇසුවේය.

“අපොයි ඔව් ලොකු උදව්වක් කෙරුණේ, ඒ ගානෙ වෙනසෙන් බාගයක් ලක්ෂ හැත්තෑවක් විතර වෙනව. දැනටමත් මට ඉල්ලුම් කාරයෝ දෙන්නෙක් කතාකරා. මුදල මම ඔබ තුමාට එවන්නම්” අප්පුහාමි බොහෝ සතුටින් කීවේය.

ඒක නම් මොනවද , ආයෙ ඕක එවන්න මහන්සි වෙන්ට ඕනැ නෑ, මගේ දුව ඔහේ ඉන්නවනෙ, එයාගෙ නමට ඔහේ බැංකුවක එකවුන්ට් එකක් ඇරලා ඒකට දාන්න, එයාගේ වියදමටත් හොඳයිනේ, තව මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් තිබ්බොත් කියන්ටකෝ " කී ඇමතිවරයා නැවත දියණියට කතා කර දුරකථන ඇමතුම අවසන් කළේය.

2 comments:

  1. විදුර කියන්නෙ වීදුරුවට අලුත් වචනයක් ද ?

    ReplyDelete
    Replies
    1. අපි නම් විදුර කියල තමයි කියන්නේ සමහරවිට ප්‍රාදේශික වහරක් ද දන්නේ නැහැ

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...