Monday, August 5, 2019

ලංකාවේ අපේ mass killing නැවත්වීම


 ඇමෙරිකාවේ mass shootings නිතරම  සිදුවේ. ඒවා බොහෝවිට සිදුකරන්නේ යම් පුද්ගලික ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වූ පුද්ගලයන්ය. එසේම ඇමෙරිකාවේ වාසය කරන්නට අයිතිය තියෙන්නේ සුදු හම ඇත්තන්ට බවත්, ඔවුන් අනෙකුත් වර්ගයන් වල මිනිසුනට වඩා ඉහල පන්තියකට අයත් වන බවත් සිතන පුද්ගලයන් ය. එසේ නැත්නම් තමන්ට අසාධාරණයක් වී ඇති සිතන යම් රැකියාවක් අහිමි වූ කෙනෙකි.
මෙලෙස මේ අවුරුද්ද තුල mass shootings සිදුවී ඇති ප්‍රමාණය වසරේ අවසන් වී ඇති දවස් ගනනට වැඩි බව වාර්තා වෙයි. එම මුළු ප්‍රමාණය 255 කි.
ඇමෙරිකාවේ මෙම mass shootings වලට වඩා භයානක ඝාතන වර්ගයක් ලංකාවේ සිදුවෙයි. ඒ මහමඟ සිදුවන මිනිමැරීම්ය. අප රටේ පසුගිය වසර දහයේ  මාර්ග අනතුරු වලින් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 26000 පනියි.
පෙරේදා වස්කඩුවේ සිදුවූ ඛේදවාචකය මෙම මාර්ග අනතුරු වල ඔටුනු පැළඳීම යැයි කිව හැක්කේය. එම අනතුරේ අප දකින්නේ ලංකාවේ මාර්ග අනතුරු වලට මුල්වන හේතු කිහිපයකි.
1.    පොදු ප්‍රවාහන සේවයේ රියදුරන්ගේ පාරවල් බදු ගෙන ඇති ආකාරයේ ආකල්පය
2.    පොදු ප්‍රවාහන සේවය කිසිම පාලනයකින් තොරව සිදුවීම
3.    මාර්ග නීති ගැන කිසිම තැකීමක් නොමැති රියදුරන්, විශේෂයෙන්ම බස්  සහ ත්‍රි විල් රියදුරන්
4.    කුඩා මාර්ග නීති වැරදි නොසලකා හරින පොලිසිය
5.    සියලු දෙනාගේ කිසිම තේරුමක් නැති හදිසිය
දැන් මේ සියලු මාර්ග නීති කැඩීමේ අවසාන ප්‍රතිපලය මාර්ග අනතුරු සහ මරණයන්ය.
වසරකට 3000 කට වැඩි මිනිසුන් පිරිසක් මිය යාම ලෙහෙසි පහසු ප්‍රශ්නයක් නොවේ. අපි දශක ගණනාවක් දුක්විඳි යුද්ධයෙන් වත් මෙතරම් ජීවිත ගණනාවක් ජාතියට අහිමි වුයේ නැත. මෙවැනි මරණ සංඛ්‍යාවක් කොතරම් පවුල් ගණනක් තමන්ගේ මව පියා හෝ දරුවෙකු නැතිවීමෙන් අසරණ වනවා ඇද්ද? මෙම ජාතික ප්‍රශ්නය අප විසින් අපගේ සියලුම හැකියාවන් සහ සම්පත් යොදවාගෙන විසඳාගත යුත්තකි.
එහෙත් මැරුණ ගණන කියනවාට එහෙමත් නැත්නම් අනතුර සිදුවූ ආකාරය cctv වලට ලැබුණු දර්ශන පෙන්වා ratings වැඩි කරගන්නවාට වඩා යමක් සිදුවන බවක් නම් පෙනෙන්නට නැත.
මෙම ජාතික අපරාධය වලක්වන්නට හෝ සැහෙන දුරට අවම කර ගන්නට අපට පහසු ක්‍රමයක් තිබේ. ඒ සඳහා කොමිෂන් දාගෙන අඳුරේ අතපත ගාන්නට අවශ්‍යතාවයක්ද නැත්තේය. මෙයට තිබෙන හොඳම පිළිතුර තාක්ෂණය පාවිච්චි කිරීමයි. තාක්ෂණය පහසුවෙන්ම ලබාගත හැකිය. එය සැමතැනම තිබේ.
මේ සඳහා මගේ යෝජනාව මෙසේය. තමන්ගේ වාහන fleet එකේ ඕනෑම වාහනයක් තිබෙන්නේ කොතනදැයි ආයතන වලට සොයාබැලීමට උදව් කරන app එකක් තිබේ. මෙම තාක්ෂණයම යොදාගෙන අනුන්ගේ වාහන සංවිධානය කර කුලියට වාහන ලබාදෙන pickme වැනි ආයතනද ලස්සනට වැඩේ කරගෙන යයි.
පොදු ප්‍රවාහන සේවයේ තිබෙන සැම වාහනයකටම මෙවැනි app එකක් ලබාදෙන්න. එය පොදු ප්‍රවාහනයේ යෙදෙන සැමවිටම app එක පනගන්විය යුතු අතර, ගමන අවසානයේදී තමන් ගේ ගමන අවසාන බව දන්වයි. මෙම app එක මඟින් එම app වල පාලක මැදිරියට වාහනය ඕනවට වැඩි වේගයකින් ගමන් කරන්නේ නම් එය නිරීක්ෂණය කර ඊළඟ පොලිසියට දැන්විය හැකි අතර, ගමන අවසානයේදී විශාල දඩයක් ප්‍රධානය කල හැක. එවැනි අධි වේග අවස්ථා නිශ්චිත ගණනකට පසුව එම වාහනය ලියාපදිංචියෙන් ඉවත් කිරීම සිදුකල හැක්කේය.
මෙයට අමතරව ප්‍රධාන මාර්ගවල තැනින් තැන, ස්ථාන වෙනස් කළහැකි  කැමරා සවිකර, විශේෂයෙන්ම මාර්ග නීති කදිමට බොහෝ ඉඩ කඩ ඇති ස්ථාන වල, එම කැමරා මඟින් ලබාගන්නා දර්ශන පාවිච්චි කර ඉහත පරිදිම දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
මේ ක්‍රම දෙකම ඉතාම වියදම් අඩු එමෙන්ම විශේෂ තාක්ෂණ දැනුමක් නොමැතිව ක්‍රියාත්මක කල හැකි ක්‍රම වේදයන්ය. රුපියල් මිලියන 10 කින් පමණ ඒවා පටන්ගත හැක්කේය. ඉන්පසු ලාභ නොලබන වියදම් පියවා ගැනීමේ ක්‍රමයකට පුද්ගලික අංශය මඟින් හෝ ක්‍රියාත්මක කල හැක්කේය.
මම කලකට පෙර මෙහි සමහර දේවල් ගැන ලියන ලද බ්ලොග් එකක්ද පහතින් උපුටා දක්වමි.
ඊයේ පෙරේදා මාර්ග නීති කඩ නොකරන රියදුරන්ට පොලිසිය පාරේ තෑගි බෙදනවා දුටිමි. positive reinforcement හොඳ පුරුදු ඇතිකරන්නට නරක ක්‍රම වේදයක් නොවේ. නමුත් එයින් තවත් දෙයක් පෙනේ. ඒ ලංකාවේ හරියට වාහන එලවන්නේ තෑගි දෙන්නට වුවත් තෝරාගත හැකි ඉතා කුඩා ප්‍රතිශතයක් බවයි. එය 2% ක් 3% ක් පමණ වනු ඇත. නැත්නම් තෑගි වලට වියදම් කර පොලිසිය විකිනෙන්නට පුළුවන.
මෙලෙස අනතුරු අඩුකරන ක්‍රමයක් පිළිබඳව මම අවුරුද්දකට පමණ පෙර ලියූ බ්ලොග් එකක් මට නැවත පල කරන්නට සිතුනේ මේ ප්‍රවුර්තිය දුටු පසුය.

මම පසුගිය අවුරුදු තුන පුරාම පාහේ, සතියකට වරක්, කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමනය කරමි. මහනුවර නගරයෙන් නැගෙනහිරට වන්නට ජීවත්වන නිසා, නිවෙස නගරය අසලම වුවද, සෑම වාරයකදීම, නගරය හරහාම යාමට සිදුවන හෙයින්, මගේ කොළඹ නුවර ගමනට; පටන් ගන්නා වේලාව හා වාසනාව මත රදා පැවැත්තුනද, පැය 31/2 සිට 5 දක්වා ගතවේ. මේ කිලෝ මීටර් 120 ක් සදහාය.

අගනුවර සිට ලංකාවේ ප්‍රධාන නගර වලින්, 75% කට වඩා නගර සම්බන්ධ කරන්නේ, කොළඹ අඹේපුස්ස මාර්ගයයි. ලංකාවේ ඕනෑම මාර්ගයක් ගතහොත්, අඩු ගණනේ ඒ ඕනෑම මාර්ගයක යන වාහන ගණනට වඩා, දෙගුනයක් වත් වාහන මේ මාර්ගයේ ගමන් කරන බව මට විශ්වාසය. සුද්දා මේ මාර්ගයට A 1 යැයි නම දාන්නට ඇත්තේ, මේ නිසා විය යුතුය. ලංකාවේ ශීඝ්‍රගාමී පාරවල් හදන විට, සැලසුම් කරුවන්ගේ මනසට මුලින්ම පැමිණිය යුතුව තිබුනේ, මේ මාර්ගයේය. එහෙත් මෙතෙක් කල් කිසිම රජයක් මේ සදහා උනන්දුවක් ගෙන නැත්තේය. තවම එවැනි මාර්ගයක සේයාවක් වත් දක්නට නැත්තේය.

කොණ්ඩ කටු වංගු වලින්, හැරවි හැරවී දිවෙන මාර්ගය, මුලින්ම යටත් විජිත පාලන සමයේ ගොඩනැගුනේ, බඩු අදින ගැල් කරත්ත සදහාය. ඉඳහිට අශ්වයන් බැදි ලියුම් කරත්තද, මාර්ගයේ දිවෙන්නට ඇත. එකලට වඩා පාර වෙනස් වී ඇත්තේ, එය තරමක් පලල් වීමත්, කාපට් වීමෙනුත් පමණි. 1800 හැරවෙන වංගු එමටය. මේ වංගු හා කඳු නිසා, පොලීසියද, ඉදිරියෙන් යන වාහනය ඕවටේක් කලහැකි කඩඉරි අදින්නේද, ඉතාමත් ලෝභ කමෙනි. කොන්ද කැඩෙන තෙක්, ගොඩනැගිලි ද්‍රව්‍ය පුරවා ගත් හෝ මයියංගනයේ සිට එන වැලි ලොරියක්, ඉදිරියට අහුවුනොත් යටත් විජිත කාලයේ ගැලක වේගය ලබා ගත්තත් එය ලොකු දෙයකි.

 
මේ අතරේ මෙතරම් හෙමින් යන වාහන පෙල, අනතුරුදායක ලෙස ඕවර්ටේක් කරන, පුද්ගලික බස් රියදුරන්මාර්ගයේ වාහන එලවීම, මාරක ලිදේ මෝටර් ධාවන තරඟයකටත් වඩා, ත්‍රාසජනක කරති. එක්කෝ මාර්ග නීති කඩ කරන්නන් අල්ලාගෙන දඬුවම් දෙන්නට සිටින පොලිස් නිලධාරීන්, පුද්ගලික බස් රථ මගීන්ට අනුකම්පා කර, ඒවා නවත්තන්නේ නැත, එසේත් නැත්නම් මෙම බස් රථ රියදුරන් අතර, පවත්වා ගන්නා යම් රහස් සංඥා ක්‍රමයක් මගින් පොලිස් නිලධාරීන් සිටින තැන් ගැන, ඔවුනට යම් පූර්ව අනතුරු සංඥාවක් ලැබේ.

සමහර විටෙක මෙලෙස මෙම රියදුරන්, අනෙක් වාහන ඕවර්ටේක් කිරීමට ඉරි දෙකම කපාගෙන කෙලින්ම ප්‍රති විරුද්ධ ලේන් එකේ, ඉදිරියට එති. ඇත්තෙන්ම ඔවුනට චෝදනා කල යුත්තේ, මාර්ග නීති කඩ කිරීමට නොව, මිනී මැරීමට උත්සාහ කිරීමේ චෝදනාවටයි.
අහිංසක, මාර්ග නීති හරියටම පිලිපදිමින් වාහන එලවන රියදුරන්, මේ ලේ වතුර වන බියගැන්වීම් වලින්, බේරා ගන්නේ කෙසේද?

දැන් තිබෙන තත්වයන් උඩ, ඒ සදහා හොදම පිලිතුර ස්ථාන වෙනස් කරන, කැමරා පද්ධතියක් යැයි මට සිතේ. එවැනි කැමරා 20 ක් පමණ, නොයෙකුත් ස්ථානයන්හි තබා, පැය 24 ම වීඩියෝ කර, එක්කෝ ඒ අවස්ථාවේම පරීක්ෂා කර හෝ එසේත් නැත්නම්, පසුදින පරීක්ෂා කර, මාර්ග නීති කඩන්නන් අල්ලා ගෙන, ඔවුනට දඬුවම් කල හැක. එම වාහනවල නොම්මරයද බලාගත හැකි, කැමරා තාක්ෂණය දැන් තිබේ. වීඩියෝ දර්ශණය උසාවියේ සාක්ෂියකට, අවශ්‍ය නම් ගත හැක.

 
මෙය තවත් නිරවුල් කරන්නට අවශ්‍ය නම්, පුද්ගලික බස් කැමරා පද්ධතියට හදුනා ගැනීම සදහා, යම් තාක්ෂණයක් ඇතුල් කරන්නටද පුලුවන.

මෙම පද්ධතියේ කැමරා ඒකක නිතරම; මාසයකට 10/12 වතාවක් පමණ, වෙනස් තැන්වල ස්ථාන ගත කිරීමෙන්, ඒවා තිබෙන තැන්, අනුමාන කිරීමට රියදුරන්ට නොහැකි වන්නේය. මෙවැනි පද්ධතියක් රුපියල් මිලියන 10 කට මේ පැත්තෙන්, ගොඩනංවන්නට පුලුවන. රජයට මෙය වියදම් කරන්නට අපහසු නම්, මේ වියදම වාහන රක්ෂණය කරන ආයතන වලින් ඉල්ලා ගැනීමට පුලුවන. ඔවුන් ඉතා කැමැත්තෙන් එය ඉටු කරනු ඇත. මක්නිසාද, මෙවැනි පද්ධතියක් ඇති කිරීමෙන්, වාහන අනතුරු බෙහෙවින් අඩු වී, වාහන හිමියන්ට ගෙවන්ට සිදුවන රක්ෂණ ආවරණ, කැපී පෙනෙන අඩු වීමක් සිදුවන නිසාය.

මෙම පද්ධති ක්‍රියාත්මක වන බව දැනගත් විගසම, ඒවා කොතනක තිබෙන්නේදැයි, අනුමාන කිරීමට නොහැකි නිසා, මාර්ග නීති උල්ලංඝනයන් සහ ප්‍රතිපල මාර්ග අනතුරු වල සීඝ්‍ර පහල යාමක් සිදුවනු නොවනුමානය.

මෙම පද්ධතිය ඇති කිරීමෙන්, මාර්ගයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට, නොයෙකුත් ස්ථානවල සැඟවී, පාරට පැන රියදුරන් සමග අප්‍රසන්න අවස්ථා ඇතිවීමද, වැලැක්වෙන නිසා, ඔවුනද මෙයට බොහෝ කැමති වනු ඇත.  

අලුත් තොරතුරු දැනගනීමේ පනත, ව්‍යවහාරයට පත්වූ විගසම අප, පොදු ජනයාට මෙම කැමරා වලින් නිපදවන වීඩියෝ පට, නරඹන්නට රජයෙන් ඉල්ලා සිටීමට, හැකියාව ලැබෙන්නේ යැයි මම විශ්වාස කරමි. එසේ නම් යම් ප්‍රභූයැයි කියාගන්නා පුද්ගලයෙකු, මාර්ග නීති උල්ලංඝනය කරනවා දුටුවහොත්, අපට එම වීඩියෝ පටය නරඹන්නට ඉල්ලා, එම උල්ලංඝනයට නීතිය ක්‍රියාත්මක නොවූයේ ඇයි දැයි අසා සිටින්නටද පුලුවන් වනු ඇත.         


5 comments:

  1. හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොද යෝජනා ටිකක්.

    ReplyDelete
  2. මගේ යෝජනාව කැමරාව සවි කළ යුත්තේ බස්වලම ඉදිරිපස ඉහළ ගමනාන්තය දැක්වෙන බෝඩ් එක හරියේ බවයි. එමඟින් එම බස් රථයේ වැරදි මෙන්ම පාරේ අනෙතුක් වාහනවල වැරදි හැසිරීම්ද හසුකරගත හැකිවා මෙන්ම නිරතුරුවම මාර්ග වැරදි බහුලව සිදුවන ස්ථාන වෙත කැමරා කේන්ද්‍ර ගතවීමද ඉබේම සිදුවේ. කැමරාව අක්‍රීයවීම දඩයකට යටත්විය යුතු අතර AI ඇඩප්ටඩ් සොෆ්ටවෙයාර් භාවිතයෙන් හදුනාගත් වැරදි සියළුදෙනාට නැරඹිය හැකි ක්ලවුඩ් සරවරයකට අප්ලෝඩ් විය යුතුය, තවම VIP ලාත් යන්නේ අපි යන පාරවලම නිසා මෙය ක්‍රියාත්මක කිරීමට නම් ඔවුන් සඳහා එර්දියෙන් ගමන් කළ හැකි පැකේජයක් හඳ්‍රන්වාදිය යුතුව ඇත.

    ReplyDelete
  3. මේවන් යෝජනා කොපමන නම් මසකට දකිනවාද :,(

    ReplyDelete
  4. කාටවත් ක්‍රියාත්මක කරන්න ඕනෑ කමක් නැතිකම තමයි ප්‍රශ්නේ නේද

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...