Thursday, August 22, 2019

බලා සිටිද්දී වෙනස්වෙන අපේ අනාගතය

මම මේ ලඟකදි මගේ ගෙදර තිබෙන පරණ pool table එකක් විකුණන්නට ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මෙමි. කිසිම වියදමක් නොමැති වෙළඳ දැන්වීම්; මේ සඳහා දෙදෙනෙකු උනන්දුවක් දැක්වූ අතර, ඉන් එක් අයෙකු එය මිලදී ගැනීමට කැමැති වී රුපියල් දහදාහක් මගේ බැංකු ගිණුමට බැර කළේය. එම මුදල් මාරුවද සිදුවුනේ app හරහාය.

සතියකට පමණ පසු මේසය ගෙන යාමට කෙනෙකු පැමිණි අතර, අද උදේ 05:00 ට ඔහු මට මගේ ගෙදර ගේට්ටුව ළඟ සිට දුරකථන ඇමතුමක් දුන්නේ ය. මෙම තැනැත්තා මීට පෙර මා සමඟ කතා කළේ වත් නොමැති අතර, ඔහු අපේ ගෙදරට පැමිණ තිබුණේ මා විසින් මෙසේ මිලදී ගත් තැනැත්තාට යවන ලද වට්ස්ඇප් ලොකේෂන් එකක් භාවිත කරමිනි.
වට්ස්ඇප් ලොකේෂන් එකක් භාවිත නොකළේ නම්, කොළඹ සිට පැමිණ තිබූ ඔහු, අප ගෙදරට ගෙන්වා ගැනීමට අපට කොතරම් කෝල් ගන්නට සිදුවනු ඇත්දැයි මට ඒ වේලාවේ සිතුණි.

මේසය ගල වනතුරු මම ඔහුටද තේ එකත් දී කතාවට වැටුනෙමි. ඔහු ඔන්ලයින් භාණ්ඩ විකුණන සමාගමක බෙදා හැරීමට තිබෙන බඩු හැමදාම හවසට කොළඹින් ගෙන කුරුණෑගලට සහ මහනුවරට ඒවා ගෙනැවිත් දී, ආපසු පාන්දරින්ම තම නිවෙසට යන බව මට කීවේය.

මෙය සැමදාම සිදු වන්නක් බවත් ඔහු කී විට, මට මේ පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසන්නට සිතුනි. මම මෙතෙක් කල් සිතා සිටියේ එම සමාගම් වලින් චීනයෙන් බඩු මිලදීගෙන ලාභයක් තබාගෙන, ලංකාවේ ඔන්ලයින් විකුණ බවයි. ඒ නිසා මම ඔහුගෙන් ඔහු නුවර සිට ආපසු යන විට ලොරිය හිස්ව ගෙන යන්නේ දැයි ඇසුවෙමි. එහෙත් ඔහු කීවේ ආපසු යන විටත් ලොරිය පුරවා ගෙන යාමට තරම් මෙහි සිට කොළඹට බඩු තිබෙන බවයි.
එම සමාගම වෙත ලියාපදිංචි වී ඇති ප්‍රාදේශීය සපයන්නන් නොයෙකුත් බඩු නිපදවා, කොළඹට යන බව ඔහු පැවසූ විට මම පුදුමයට පත්වීමි.
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවකි. ඒ කියන්නේ අපි හිතනවට වඩා ලංකාවෙත් නොයෙකුත් භාණ්ඩ වල නිෂ්පාදකයන් සිටින බවය. ඔවුනට තම භාණ්ඩ විකුණා ගැනීමට මෙවැනි ඔන්ලයින් සමාගම් වලින් බොහෝ උපකාරයක් ලැබෙන බවය. මෙම නිෂ්පාදනයන් දිරිගැන්වීමටත්, ඔවුන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන් අතර පත් කිරීමටත් විශාල මෙහෙයක් සිදු කරයි.
මේ අපේ රජයවත් නොදැන රට දියුණු වෙන ආකාරයයි.

ඇත්තෙන්ම මෙම තාක්ෂණය තව ටික කාලයකින් අවුරුදු පහක් දහයකින් අපගේ ජීවත්වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇත.
දැනටමත් අපි අප නිවසේ පිටතින් ආහාර ගැනීමට සිතූ විට, නගරයට ගොස් ආපන ශාලාවකින් ආහාර ගන්නේ නැත. නමුත් පික්මි ඇප් එකෙන් ආපනශාලා විස්සකින් පමණ menu එකක් තෝරාගෙන ආහාර ඇණවුම් කරන්නෙමු. පැය භාගයක් යාමටත් පෙර මෝටර් බයිසිකලේකින් ආහාර අපට ලැබෙන අතර, එය සඳහා කිසිම අමතර වියදමක් යන්නේ නැත.
වාහනයට පෙට්ට්‍රල්, නගරයට ගිය විට පාකින්, ආහාර ගැනීමට ගොස් ඩ්‍රින්ක් එකක් ගත්තොත් ආපසු එලවා ගෙන ඒමේ ප්‍රශ්නය, මේ කිසිවක් නැතුව බොහෝ පහසු මිලකට ගෙදර දීම එක ආපනශාලාවකින් නොව, ආපනශාලා 20 කින් පමණ තෝරා ගත් ආහාරයක් පහසුවෙන් ලබා ගැනීමට පුළුවන.

ගමනක් යාමට අවශ්‍යතාවක් ඇති වූ විටද, පික්මි හෝ ඌබර් වාහනයක් ගෙන්වාගෙන ගමන යාම ඉතාමත් පහසුය, මේ සියල්ලම සිදුවන්නේ අන්තර්ජාලය සහ ඇප් තාක්ෂණය නිසාය. තව ටික කලකින් අපගේ දෛනික අවශ්‍යතාවයන් වන ආහාර සහ එළවළු වලටද මෙම තාක්ෂණය පැමිණෙනු ඇත. එවිට අපට අතරමැදියන් බොහෝ දෙනෙකු නොමැතිව ගොවියන්ට තමන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතට ලබා දීමට හැකි වනු ඇත.

කලක් යනවිට ආපනශාලා නොමැති වී කුස්සි පමණක් ඉතිරි වනු ඇත.

3 comments:

  1. හොදම දේ තමා මදි උනාම ගෙන්න ගන්නත් දැන් ඇප් එකක් තියනව

    ReplyDelete
  2. This is real development that our politicos are not aware of.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...