Saturday, August 1, 2020

කරෙයිනගර් හිදී කොන්දේ අමාරුව සුව කර ගැනීම

මම පසුගිය සහශ්‍රයේ, 2000 වර්ෂයේ යාපනයේ කරෙයිනගර්  නාවුක කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළෙමි. බටහිර යාපනේ දූපත් කිහිපයක්ද කරෙයිනගර් කඳවුරේ අණට යටත් විය. එසේම කඳවුරට බොහෝ දුරින් පිහිටි ඩෙල්ෆ් දූපත සහ කිලාලි නාවික කදවුරද කරෙයිනගර් අණදෙන නිලධාරිවරයාගේ වගකීමක් විය. එකල ඩෙල්ෆ්ට් දූපතේ පාලනය කරන ලද්දේ අප යටතේ  ඊපීඩීපී  සංවිධානය එතරම් දුර බැහැරක තිබුණු නිසා ඉතාමත් දුෂ්කර විය හැකිව තිබුණු  එම දූපතේ පාලනය, එතරම් අපහසුවකින් තොරව සිදුවිය. අනෙක එම දූපතේ පාලනය ඔවුනට එතරම් වැදගත් නොවුණු නිසා, එල්ටීටීඊය ද ඩෙල්ෆ් දූපත පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

නමුත් කිලාලි නාවික අනුඛණ්ඩය සම්පූර්ණයෙන්ම වෙනස් කතාන්දරයක් විය. යාපනය කලපුවේ දකුණු දිශාවෙන් සිටි එල්ටීටීඊ කණ්ඩායම් වලට කලපුවේ  පාලනය තමන් යටතේ  තබාගැනීමට තිබුණු එකම තර්ජනය වූයේ කිලාලි නාවික හමුදා අනුඛණ්ඩය විය. ඒ නිසා මෙම අනුඛණ්ඩය වෙත නිතරම පහරදීම් සිදුවුණු අතර, විශේෂයෙන්ම සතුරු යාත්‍රා වලින් පැමිණ එම කදවුර වෙත වෙඩි තැබීම දෛනිකව වාගේ සිදුවිය. මෙම කඳවුරේ මෙහෙයුම් කටයුතු වගකීම දැරුවේ ද කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා නිසා මට නිතරම කිලාලි කදවුර වෙත යාමට සිදුවිය.

එකල යාපනය අර්ධද්වීපයේ මහා මාර්ග ඉතාමත් අබලන් තත්ත්වයෙන් තිබුණි. දශක කිහිපයකින් පාරවල් නඩත්තු නොකර තිබූ අතර, පාරවල් වල අඩියේ දෙකේ ගැඹුර වලවල් තිබුණි. විශේෂයෙන්ම කරෙයිනගර් සිට කන්කසන්තුරය දක්වා පාර ඒවායින් දුෂ්කරම පාරක් විය. මේ අතර එකල තිබූ බිම්බෝම්බ තර්ජනය නිසා වාහන වලට වලවල් මඟහරිමින් හෙමින් ගමන් කිරීමක් කරන්නටද නොහැකි විය. මම කිලාලි වෙත ගියේ ඩබල් කැබ් වාහනයකිනි. බිම්බෝම්බ අවදානම නිසා හිමින් යන්නට ද නොහැකි වුණු අතර, වේගයෙන් යන විට වලවල් වලට වැටීමද නො වැළැක්විය නොහැකි වූ නිසා, මෙම ගමන ඉතාමත් දුෂ්කර එසේම සිරුරට මහත් වද දෙන ගමනක් විය. තමන්ම එලවන විට වලවල් නිරීක්ෂණය කර ආසනය මත  සිරුර, වලට වැටීමේදී සිදුවන ගැස්සීමට අනුරූපි ලෙස සූදානම් කර ගැනීමට හැකි වන නිසා, බොහෝවිට වාහනය මමම එළෙව්වෙමි. නමුත් ටික දවසක් මෙසේ කරන විට මට බලවත් කොන්දේ වේදනාවක් හැදුනි.

වෛද්‍යවරුන් කීප දෙනෙකු හමු වුවද නොයෙකුත් ප්‍රතිකාරයන් කළද සුවයක් නො ලැබුණු අතර, ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවද එහෙත් එහි සුවවීමේ සම්භාවිතාවය 50% ක් පමණ බවද දැනගන්නට ලැබුණි. නොයෙකුත් බාහිරෙන් කරන ප්‍රතිකර්ම සිදු කළද ඒ තරම් සුවයක් ලැබුණේ නැත.

එකල අර්ධද්වීපයේ කරෙයිනගර් ප්‍රදේශය සතුරාගෙන් මුදාගත් ප්‍රදේශයක්  නිසා, කරෙයිනගර් සහ එහි දූපත්වල රාජ්‍ය පරිපාලන කටයුතු සිදුකිරීමේ සම්බන්ධීකාරක නිලධාරියා වශයෙන් රජයෙන් පත් කර තිබුණේද මාය. මේ සඳහා රුපියල් 2500 ක අමතර දීමනාවක්ද රජයෙන් ගෙවන ලද බව මට මතකය. අධ්‍යාපනය ගොවිතැන් සෞඛ්‍ය ව්‍යාපාර ධීවර කටයුතු යනාදී වශයෙන් ප්‍රදේශය පරිපාලන කටයුතු පිළිබඳව රැස්වීම් වල මූලාසනය දැරුවේද මා හෙයින්, මට නොයෙකුත් විදිහේ පුද්ගලයන් එහිදී මුණ ගැසුණි.

මෙලෙස ව්‍යාපාරික රැස්වීමකදී මට මුණ ගැසුණු විශ්‍රාමික ගුරුවරයෙක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මා සමඟ බොහෝ කිට්ටු විය. කන්දයියා නම් වූ  දුම්ර්ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියා කලකට පසු මම නාවුක මුලස්ථානයේ රාජකාරි කරද්දී මියගිය බව දැනගෙන, එකල මම ඩේලි නිව්ස් පුවත්පතේ appreciation පිටුවේ  Kandaiyaa of Karainagar යනුවෙන් කුඩා ලිපියක්ද ලිව්වෙමි.

 

 එක් දවසක් මෙවැනි රැස්වීමකට ගොස් මා කොන්දෙ අමාරුව නිසා  වාහනයෙන් බහින්නට කරන උත්සාහය දුටු මේ විශ්‍රාමික ගුරුවරයා රැස්වීම අවසානයේ දී මා වෙත පැමිණ මේ සඳහා ඔහු වෙත ප්‍රතිකර්මයක් ඇති බවද, කඳවුරට පැමිණ එය කියා දෙන්නට පුළුවන් බවත් මට කියා සිටියේය.


මීළඟ සහ අවසාන කොටස ඊළඟ බ්ලොග් එකෙන් ..........

5 comments:

  1. ඊළග කොටස එනකන්

    ReplyDelete
  2. ඊළග කොටස එනකන්

    ReplyDelete
  3. පන්සියවෙනි ලිපියේ කඩඉම පැනීම වෙනුවෙන් මගේ සුබ පැතුම්.

    බ්ලොග් යනු වෙබ් ලොග් (Web+Log) වුවද මා නම් බ්ලොග් එක ලෙස හඳුන්වන්නේ සමස්ත ලිපි එකතුව රැගත් බ්ලොග් අඩවියයි. එක් එක් ලිපිය සඳහා බ්ලොග් ලිපිය හෝ බ්ලොග් සටහන ලෙස යොදමි. පීසී-පත (for postcard) හෝ වටරවුම (for roundabout) වැනි පුනරුක්ත දෝශයක් තිබෙුණ විය හැකි නමුත්, මගේ භාවිතය වඩාත් ගැලපේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. එකගයි, බ්ලොග් එකක බ්ලොග් ලිපි කීපයක් අන්තර්ගතව තිබීමයි සිදුවන්නෙ... ඊලග කොටස එනකං බලං ඉන්නව...

      Delete
  4. දැනට අවුරුදු 12 කට පමණ උඩදී විදේශයක් සේවය කල මා නැවතී සිටි නවාතැනේම නැවතී සිටි මැදි වයස් ඕස්ට්‍රේලියන් කැඩුම් බ්ඳුම් සම්භන්ධ වෙද මහතෙක් (A chiropractor) මට ඔය ආකාරයේම ව්‍යායාම කිරීමට කිවා (අඩි 6ක් උස පුද්ගලයෙක් වන මා කුඩා කල සිටම වැරදි ඉරියව්වකින්; ඉදිරියට නැමී කුදුගැසී සිටගෙන සිටීම, ඇවිදීම, ඉඳගෙන සිටීම හේතුවෙන් සුළු වේදනාවකින් පෙළීම හේතුවෙන්). මට මතක් හැටියට මගේ වේදනාව කෙටි කාලෙකින්ම නැතිවී ගියා. බොහොම වටිනා ලිපියක්.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...