මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ගේ සුහද හමුවක් පවත්වන ලද්දේය. මේ හමුව සදහා ආසියාවේ නාවික හමුදාවන් 8 කට ආරාධනා ලැබූ අතර පකිස්ථානය හැරෙන්නට අනෙක් රටවල් සියල්ලම පාහේ යුධ නැව් එවීමට කටයුතු කලහ. බංගලාදේශය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව මේ සදහා පැමිනි රටවල් හත විය.
ශ්‍රී ලංකාවෙන් මේ සදහා යැවීමට තෝරා ගත්තේ මා අණදුන් ශක්ති නෞකාව සහ ශ්‍රී ලංකා නාවික නෞකා ජය සාගර නැමති නැවයි. එහි අණදෙන නිලධාරියාව සිටියේ එකල ලුතිනන් කමාන්ඩර් ක්ලෙමන්ට් ගුනනායගම්ය.
මේ ‘මිලාන් 1997’ නම් වූ මිලාන් එකතුවීමේ දෙවෙනි සුහද හමුව වූ අතර, එය පැවැත්වුනේ ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත්වල අගනුවර වන පෝට් බ්ලෙයාර් වරාය නගරයේදීය.
කොළඹ සිට මෙම වරායට දුර කිලෝ මීටර් 1600 ක් වන අතර, අපට පෝට් බ්ලෙයාර් වෙත ලගාවීමට දින හතරක් පමණ ගතවිය. ඉන්දියාවේ සිට අන්දමන් දූපත් වලට දුර මෙපමණ වුවද ඒඅසල පිහිටි ඉන්දුනීසියාවේ අච්චේයි ප්රා න්තයට ඇති දුර කිලෝ මීටර් 150 ක් පමණි. මේ දුර ප්‍රමාණයන් බලන විට මෙම දූපත් කුමක් නිසා ඉන්දියාවට අයත් වූයේ දැයි කුකුසක් ඕනෑම කෙනෙකුට ඇති වේ.මෙය සිදුවී තිබුනේ නොයෙකුත් මුහුදු අධිරාජ්‍යයන්ගේ ක්‍රියාකාරකම් නිසාය .
පෝට් බ්ලේයාර් වල ජනගහනය ලක්ෂ තුනක් පමණ වෙයි. දූපත් පන්සිය ගානකින් යුක්ත වූ මෙම දූපත්වල ඇතුලෙහි ගෝත්‍ර කිහිපයක් ජීවත්වෙයි.
දෙවන මහා ලෝක යුද්ධය කාලයේ ඉන්දියාවේ සමහර පිරිස් ජර්මනිය සහ ජපානය නායකත්වය දුන් ත්‍රයි පක්ෂ (axis) පෙරමුණට උදව් කලහ. මෙම ඉන්දියානු ජපන් පක්ෂ සංගමයේ ප්‍රධානියා වූයේ සුභාෂ් චන්ද්‍රබෝෂ් නැමති ඉන්දියානු නායකයෙකි. යුධ කාලයේ ජපානය යටතේ තිබූ මෙම දූපත් එකල ඉන්දියානු ජපානයට ලැදි ඉන්දියානු ජාතික හමුදාවේ නායක සුභාෂ් චන්ද්‍රබෝස් බාරදුන් පසු ඔහුගේ නියෝජිතයෙකු වූ ජනරාල් ලෝගනාදන් මෙහි කෙටි කලකට පාලකයා වූ බව සදහන් වෙයි.
ඉන්දියානු නිදහස් සටනේ සිරකරුවන් හැකි තරම් ඉන්දියාවෙන් ඈත්කර තබා ගැනීම සදහා ඉංග්‍රීසින් විසින් සිරකොට තබා ඇත්තේත් මෙහිය. මෙම වෘතාකාර සිරගෙය දැන් ජාතික සිහිවටනයක් ලෙස නම්කර නඩත්තු කරගෙන යනු ලැබේ.
පෝට් බ්ලෙයාර් වෙතට අපි ගිය පසු අප ඔවුන් විසින් පිලිගත් විලාසය සහ සැලකූ ආකාරයෙන් අපට දැනුනේ ඉතාමත් දුර සිටින නිතරම නොයන අපේ නෑ කෙනෙකුගේ ගෙදරට ගිය ආකාරයක් වැනි ලෙසටය. නවාතැන් පහසුකම්, ගමනා ගමන පසහුකම්, යනාදිය ඉතා ඉස්තරම් ආකාරයෙන් පිලියෙල කර තිබිණ.
කලා සංදර්ශන, ක්‍රීඩා තරඟ, සංගීත සංදර්ශන, වෘතීය සාකච්ඡා, නෞකා අතර අණදෙන නිලධාරීන්ගේ සංචාර සහ භෝජන සංග්‍රහ වලින් ඒ ගතකල කාලය පිරී ඉතිරී ගියේය.
අපගේ ශක්ති නෞකාව විශාල උභයාකාර නෞකාවක් නිසා බොහෝ ඉඩ තිබුනේ අපි මේ සුහද හමුවේ තිබෙන නොයෙකුත් අංගයන්ට ගැලපෙන පරිදි නෞකා කණ්ඩායමට අමතරව, එහි තිබෙන්නට නියමිත ක්‍රීඩා අංගයන්ට ගැලපෙන පරිදි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් බැගින්ද රැගෙන ගියෙමු. ඉඩ තිබූ පරිදි නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දක්ෂයන් කිහිප දෙනෙකුද මේ අතරට එකතුකර ගත්තෙමු.
එහිදී පැවැත්වුනු සෑම තරගයකදීම අපි ඉහලින්ම ජයග්‍රහණය කරන්නට අපගේ සහජ දක්ෂකම් හැරෙන්නට ඉහත හේතුවත් පිටිවහල් වන්නට ඇත. අනෙක් රටවල නැව්වල පැමිණ සිටියේ නැව් කණ්ඩායම් පමණක් වීම නිසා මට සමහර තරඟ නරඹද්දී ඔවුන් ගැන කනගාටුවක්ද ඇතිවිය.
අවසාන දිනයේ තිබූ සංස්කෘතික සංදර්ශනයේ පෙරහුරුවකට අපේ කණ්ඩායම සමග මමත් එය තිබූ තැනට ගියෙමි. සමහර රට වලින් පැමිණ සිටි නැව්වල නැවියන් විසින් ඉතාමත් ආධුනික ආකාරයෙන් ලී කෙලි නැටුම් සංදර්ශන යනාදිය ඉදිරිපත් කලහ. අප කණ්ඩායමේ වෙස් නැටුමක් සහ සලුපාලිය අංග ඉදිරිපත් කල විට සියලු බලා සිටින්නන් මවිතයට පත්විය. පෙරහුරුවේ සංවිධාන කටයුතු බාරව සිටියේ ඉන්දියානු නාවික හමුදාවේ කපිතාන් නිලයේ වෛද්‍යවරියකි. ඇය පෙරහුරුව අවසානයේ මා සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී,
“ඔබගේ සංදර්ශනයේ ඔබ සනත් ජයසූරියගේ සියලුම හතරේ සහ හයේ පාරවල් එකට එකතුකර තියෙනවා.“ කීවාය. එකල සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම දක්ෂකම් පෙන්වූ අවධිය විය යුතු බව නොකිවමනාය.