බාසුන්නැහේලට හෙල්මට් සහ ඩෙනිම් ඇන්දවීම; නැගෙනහිර
යුරෝපයෙන් ආදර්ශයක්.
මේ ලගකදී, හවස් වරුවේ ඇවිදින්නට ගිය විට, යක්ගහපිටිය, දේවාලේගම මාර්ගයේදී, මට ඉදිරියෙන්
යන පුද්ගලයා, කුමන රැකියාවක් කරන්නේදැයි සිතින් අනුමාන කර,
මගේ අනුමානය නිවැරදි දැයි බලන්නට, ඔහු සමග
කථාවට වැටුනෙමි.
සාමාන්‍යයෙන් හරියන, මගේ අනුමානය වැරදුනද, ඔහු සමග කථා බහෙන් මට, ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් පිලිබදව, සිත් ගන්නා සුලු තොරතුරු කිහිපයක්,
දැනගන්නට ලැබුණි. ඔහු පෙදරේරුවකු වන බවත්, දැන් අවුරුදු ගණනාවක සිට, අකුරණ ප්‍රදේශයේ සුලු
කොන්ත්‍රාත් කරුවෙකු ලග සේවය කර, දිනකට රුපියල් 2000 ක වැටුපක්
ගන්නා බවත්, වැඩ කරන්නේ උදේ 0700 සිට 1530 දක්වා බවත්,
ඔහු කීවේය. එමෙන්ම, මාසයකටම නිවාඩු ගන්නේ දින 2/3 බව, මගේ විමසුමකට උත්තර දෙමින් ඔහු කීවේය.
ඔහු නිවසට යාමට මාර්ගයෙන් හැරී ගිය අතර, හැරෙද්දී ඔහු මට කියා සිටියේ,
ඔහුට කලින් වැඩ ඉවර වීම, මහත් වාසියක් වන්නේ,
ඔහුගේ මී හරක් ආපසු මඩුවට ගෙන යාමට, එයින්
ඉමහත් පහසුවක් වන බවය. මම ඔහුගෙන් වෙන් වූ පසු, ඔහුගේ මාසික
ආදායම මනෝමයෙන් ගණන් හදා බැලුවෙමි. හරක් ඇති කිරීමෙන් එන ආදායමට අමතරව, ඔහු අඩුතරමේ මසකට රුපියල් 50,000 ක් උපයයි. මෙය ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ වැටුපට
වඩා හොද රුපියල් 10,000 කට පමණින් වැඩිය.
මා දන්නා හදුනන, කුණ්ඩසාල ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වා ගනිමින්, ගොඩනැගිලි කොන්ත්‍රාත් ව්‍යාපාරයක යෙදෙන, සුලු
පරිමානයේ කොන්ත්‍රාත්කරුවෙකු මුනගැසුනු විටකදී, මා මේ පිලිබදව
ඔහුගෙන් ඇසුවෙමි. ඔහු මට කිව්වේ, ඔහු ලග වැඩ කරන, පලපුරුදු පෙදරේරුවෙකුට, ඔහු රුපියල් 2500 ක් දිනකට ගෙවන බවත්, සමහර විට ඒ පඩියටවත්,
පලපුරුදු මේසන් කෙනෙකු, දුර බැහැර ව්‍යාපෟති සදහා සොයා ගැනීමට අපහසු
බවය. අවසානයේ ඔහු මා පුදුම කරවන කථාවකුත් කීවේය. ඒ ඔහු දැනටමත් ඉන්දියාවෙන් දෙවරක්,මේසන්වරු
රැගෙන ඒමට අනුමැතිය ඉල්ලා සිටියද, එම ඉල්ලීම් රජයෙන් ප්‍රතික්ෂේප
වූ බවයි.
මෙම තත්වයේ තවත් වැදගත් පැතිකඩක් තිබේ. එය පෙදරේරුවන් පුහුණු
කර ශ්‍රම වෙළදපොලට මුදා හැරීමට යම් ක්‍රමවත් වැඩපිලිවලක අවශ්‍යතාවයයි. අපි සාමාන්‍යයෙන්
බොහෝ විට දකින පෙදරේරුවන්, තරමක් වයසින් මුහුකුරා ගිය අයය. ඒ එසේ වන්නේ, පෙදරේරුවකු
වීමට අත් උදව් කරුවෙකු ලෙස දීර්ඝ කාලයක්, වැඩ කර පලපුරුද්ද
ලබාගත යුතු වීමය. සමහර අත් උදව්කරුවන් පෙදරේරුවකු බවට පත්වීමට නොහැකිව, මුලු ජීවිත කාලෙම අත් උදව්කරුන් ලෙස වැඩ කරති.
පෙදරේරුවෙකු ලෙස
පුහුණු විමට, මාස හයක
කාලයක්, හොදින්ම ප්‍රමාණවත්ය. එවැනි කාලයක් තුල සාමාන්‍ය පෙදරේරුවරයෙකුට
වඩා, ඉහල මට්ටමක තාක්ෂණික හැකියාවක් ඇති, සහතික හෝ ඩිප්ලොමාධාරී කාර්මිකයින් පුහුණු කිරීමට පුලුවන. එම පුහුණුවට
සරල ඉංග්‍රීසි ටිකක් හා අලුත් මෙවලම් පිලිබද, කරුණු ටිකකුත් ඇතුල් කලහොත්, ඔවුනට
අනෙක් රටවල පෙදරේරුවන් අතර, බැබලෙන්නට පුලුවන් වනු ඇත. මෙයට අමතරව, ඔවුනට ඩෙනිම්
කලිසමක්, සපත්තු දෙකක් සහ හෙල්මට් එකක් දමාගෙන, වැඩ කරන්නට පුරුදු කලහොත්, ලංකාවේ
බාසුන්නැහේලා, බ්‍රික් ලේයර්ලා බවට පත්වන දිනය, වැඩි ඈතක නොවේ. දැනටම ඔවුනට එයට
ගැලපෙන වැටුපක් ලැබේ; නැත්තේ ඩ්‍රේසිං එකය.
එයත් ලැබුනු
විට, ස්ටයිල් එක මදි නිසා, මෙම ක්ෂේත්‍රයට නොපැමින, එයින් භාගයකටත් වඩා අඩු
වැටුපක් ලබාගන්නා (රියදුරෙකුගේ වැටුප රුපියල් 30,000 අඩුයි.) බොහෝ තරුණ තරුණියන්
මෙම ක්ෂේත්‍රයට පැමිණීම ගැන, නැවත වරක් හිතනු ඇත.
එසේ වුවහොත්,
ඔබගේ නිවසේ රෙපයාර් එකකට, බාසුන්නැහේ ඩෙනිම් කලිසමක් ඇද, සපත්තු දෙකක් හා හෙල්මට්
එකක් දමාගෙන, ඩබල් කැබ් එකකින්, පැමිණෙන කාලය එතරම් දුරක නොවේ.
මීට අවුරුදු
කිහිපයකට පෙර, මහනුවර කැන්ඩි ගාඩ්න් සමාජයේදී, නැගෙනහිර යුරෝපීය රටකින් පැමිණ; රට
මට හරියට මතක නැත, මහනුවර අවට විදේශිකයෙකු විසින් මිලට ගත් පරණ වලව්වක්, ප්‍රතිෂ්ඨාපනය
කරන, තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු හමුවිය. ඔවුන් මෙහි සිටින මාස කිහිපයක කාලය
සදහා, ක්ලබ් එකෙන් තාවකාලික සාමාජිකත්ව ලබාගෙන තිබුණි. ඔවුන් සමග සතුටු සාමීචියේ
යෙදෙද්දී, ඔවුන් ශ්‍රී ලංකාවේ පෙදරේරුවන් කීදෙනෙකු යොදා ගන්නවා දැයි ඇසුවෙමි.
“අපි කිසිම
පෙදරේරුවෙක් ඇගෙන නැහැ, අත් උදව් කරුවන් තුන් දෙනෙක් පමණයි.“
ඔවුන්ගේ
පිලිතුර මා පුදුමයට පත්කලේය. පසුව වැඩි විස්තර ඇසූ විට මටදැනගන්නට ලැබුනේ ඔවුන්
තිදෙනාම එකම විශ්ව විද්‍යාලයක කලා උපාධීධාරීන් බවත්, ඔවුන් පැරණි ගොඩනැගිලි ප්‍රකෟතිමත්
කිරීමේ විශේෂ උපාධියක් ලැබූ බවත්, ඒ සදහා පෙදරේරු පුහුණුව අත්‍යවශ්‍ය කොටසක් වූ
බවත්ය.