Sunday, January 5, 2025

කෙසෙල් පැලය

 පුංචි රාල කෙහෙල් පැලයක් ගලවා හවසට පැල කරන්නට සිටියද ඔහුට එය ළිඳ ළඟඅමතක විය. 

දවස් තුනකට පසු ටිකිරා පුංචි රාළ වෙතට පැමිණ ඔහුගෙන් මේ පිළිබඳව ඇසුවේය. 


තමාට එය අමතක වුණු බව පෙන්නන්නට අකමැති වූ පුංචිරාල කුඩා සිනහවක්  මුවට නංවාගෙන 


" ඇයි උඹ දන්නෙ නැද්ද කෙහෙල් පැළයක් දවස් දෙක තුනක් පැළ කරන්නට කලින් ගලවල තියන්ට ඕනෑ කියල'

යනුවෙන් පැවසුවේ ටිකිරා එය නොදැන සිටීම පිළිබඳව ඔච්චමට සිනහ වන ආකාරයෙනි. 


ගමේ සාර්ථකම එසේම ධනවත්ම ගොවියා වන පුංචිරාළ ගේ මෙම ක්‍රමවේදය  තමා නොදැන සිටීම ගැන ටිකිරා ලැජ්ජාවට පත්වුවත් ඔහු එය නොපෙන්වා මේ කෙහෙල් පැළය පිළිබඳ විමසිල්ලෙන් කල්ගත කළේය. 

නිතරම පුංචි රැල්ලගේ නිවසට එන ටිකිරා  මේ ගස  ශීඝ්‍රයෙන් වැවී මාස නමයකින් ලොකු කැනක් වැටුණු අයුරු දුටුවේය. 

ඉන්පසු ටිකිරාද එලෙස පැළ සිටුවන්නට පටන් ගත් අතර මේ තොරතුර  කටින් කට ගොස් ගමේ සියලු දෙනාත් අහල ගම්වල  ගම්වැසියනුත් මේ පුරුද්ද පටන් ගත්හ. 

දැන් මේ පුරුද්ද ක් රට හැම තැනම කරති. 

එදා පුංචිරාළගේ ඒ කෙහෙල් පැළය ඔහු පැල කරන්නට යෙදුණේ ගෙදර වත්තේ පරණ වැසිකිලි වලක බව, ටිකිරා දැනසිටියේ නැත.




Friday, January 3, 2025

සුදු වහලීය

 මම මේ දිනවල  නැපෝලියන් යටත් වූ ඉංග්‍රීසි ජාතික  අද්මිරල් මේට්ලන්ඩ් ගේ ඒ පිළිබඳ පොත කියවමින් සිටිමි. 

ඔහු වරක් constantinople නගරයේ දී දුටු වහල් වෙළඳපොළක් පිළිබඳ විස්තරය  ඉතාම රසවත් වූ නිසා පරිවර්තනය කරන්නට සිතුණි. 

"1829 ඔක්තෝබර් 12- අප වරායෙන් පිටතට පැමිණ අසල තිබූ වහල්  වෙළඳපොළට පැමිණියෙමු. එය කුඩා චතුරස්‍රයක තිබුණු අතර චතුරස්‍රය මැද තරමක නිවාස කිහිපයක් විය. චතුරස්‍රයේ කෙළවර දෙකේ ම ඔවුන් විකිණීමට අවස්ථාව එනතුරු වහලුන් තබා ගැනීමට කුඩා කාමර කිහිපයක් විය. 

මේ කාමරවල ඉදිරිපස තිබූ ලී වේදිකා මත කළු ජාතික කාන්තාවන් සහ ගැහැණු ළමයින් කිහිප දෙනෙකු මම දුටුවෙමි. සුදු ජාතික පිරිසක් කාමර ඇතුලේ සිටියහ. 


වේදිකා දෙක මැද තිබූ ඉඩ වහලුන් මිලදී ගන්නට පැමිණි  තැනැත්තන් සඳහා වෙන්කර තිබිණ. 

චතුරස්‍රයේ තවත් කෙළවරක කලූ ජාතික පිරිමින් සහ ළමයි කණ්ඩායමක් පැනයාම වැළැක්වීමට කකුල් වලට මාංචු දමා සිටියහ. ඔවුන් අසල වැදගත් පෙනුමක් තිබූ සුදු ජාතිකයකු පයිප්පයක් උරමින් පුටුවක ඉඳගෙන සිටියේය. ඔහුගේ විස්තර අපට දැනගැනීමට නොලැබුණු නමුදු ජෝර්ජියානුවකු වන ඔහුගේ අයිතිකරු මිය ගිය නිසා ඔහු විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති බව පමණක් දැනගන්නට ලැබුණි.


නමයට පමණ  වෙළඳපොලේ ප්‍රධානියා පැමිණි අතර එහි කටයුතු පටන් ගැනුණි. මුලින්ම කළු ජාතික තරුණ කාන්තාවන් දෙදෙනෙකු  විකිණීම සඳහා ඉදිරිපත් කරන ලද අතර ශබ්ද නගන්නකු ඔවුන් රැගෙන ලන්සු කෑගසමින් වෙළඳපොළ තුළ ගමන් කළේය. යම් ගැනුම්කරුවකු ඔහුගේ මුදල කෑගැසූ පසු වෙළෙන්දා ද එම  ලන්සුව ගැනුම්කරුවන්ට කෑ ගසා කියන අතර  වෙනත් කෙනෙකු  ඊට ඉහළ ගණනක් ඉදිරිපත් කරන තුරු එසේ සිදුවෙයි. 

කෑ ගසන්නන් කිහිප දෙනෙකු මෙම කාර්යයෙහි යෙදුන අතර ඒ සෑම කෙනෙකු පසුපසම වහලෙකු ගමන් කළේය. 

අවසානයේ වයස දාසයක පමණ රූමත් සුදු තරුණියක් විකිණීම සඳහා ඉදිරිපත් කෙරුණි.

ඇය කුමන මිලකට ඉල්ලීම් ලැබුවාදැයි මම මුලින් නොදැක්කේ අප සිටින පැත්තට ම ඇය පැමිණියේ ටික වේලාවකට පසුව නිසාය. 

lambrino නමැති අපගේ පරිවර්තකයා ඇය ඉදිරියෙන් යන කෑගසන්නාගෙන් ම ඇයට දැනට මිල වී ඇති ගණන කීයදැයි ඇසුවේය. පියස්ට්‍රේස් 1200 ක් බව ඔහු කීවේය. 

මෙයින් කෝපයට පත් වූ තරුණිය  "බල්ලෙක් වැනි මුහුණක් ඇති ඔබට ැති ප්‍රයෝජනය කුමක්ද" යනුවෙන් අපගේ පරිවර්තකයාගෙන් ඇසුවේය. ඔහුට ඇත්තෙන්ම එවැනි මුහුණක් තිබුණ නිසා එතන සිටි පිරිස අතර සිනහවක් පැතිර ගියේය. නමුත් ඇය රැගෙන ගිය වෙළෙන්දා ඇයගේ ඉක්මන් කෝපය පෙන්වීම පිළිබඳව කෝපයට පත්ව  ඇයට බිය වැදුණේ, එයින් ඇගේ මිල පහත වැටෙන බව සිතූ නිසාය.

ටික දුරකින් හාන්සි පුටුවකට වී දුම් පයිප් එකක් උරමින් සිටි වයස හතලිහක පමණ තුර්කි ජාතිකයෙකු ඔවුන් කැඳවා ගෙන ඇය පරීක්ෂා කළේය. 


මුලින්ම ඇගේ අතින් අල්ලාගෙන උරහිස තෙක් පරීක්ෂා කළ ඔහු  පසුව ඇය කිට්ටුවට කර ඇයගේ ගවුම ඉදිරියෙන් විවෘත කර ඇයගේ පපු ප්‍රදේශය පරීක්ෂා කළේය. මේ පරීක්ෂා කිරීම පිළිබඳව තරමක් කලකිරීමකින් මෙන්  සිටි තරුණියට, ඔහු පියස්ට්‍රේස් 1300 කට ඇය ඉල්ලූ විට නැවත ත් එම කලකිරීම නැති වූ බව පෙනුණි. ඔහු ඇයගේ මුහුණ වසා තිබූ දුහුල් රෙද්ද ඉවත් කර න්න ඇයගේ මුහුණත් සහ දත් ද  පරීක්ෂා කළේය.

මෙලෙස අශ්වයන් මෙන් ම මිනිසුන් විකිණීම බලා සිටීමට නොහැකි නිසා අපි එතනින් ඉවත් වූයෙමු."

Sunday, December 15, 2024

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප්‍රමාණයක් මේ ඝට්ටනය නිසා මියගොස් ඇත්දැයි පරීක්ෂා කර බැලීමයි. 

2020 වර්ෂය තුල  මිනිස් ක්‍රියාකාරකම් නිසා වල් අලියන් තුන්සිය දහඅටක්ද අලියන් අතින් මිනිසුන් 112 ක් ද මියගොස් ඇත.


මෙයට අමතරව සමාජයීය හා ආර්ථීය වශයෙන් මේ ඝට්ටනයෙන් සිදුවන පාඩුව  ඉමහත්ය. මේ අලි ප්‍රශ්නය තිරසාර ලෙස විසඳුවහොත් ඒ නිසා ඇතිවන යහපත් ප්‍රතිඵල වලින්ම රටේ ආර්ථිකය සියයට දහයකින් පමණ ඉදිරියට යනු ඇත.


ඈත ගම්වල කුඩා ගොවිපලකින් යැපෙන ගොවියන්ට; ශ්‍රී ලංකාවේ බොහෝ ගොවියන් වලින් මෙම කාණ්ඩයට අයත්ය, ජීවිතය ගැටගසා ගැනීමම මෙම ඝට්ටනය නිසා තර්ජනයට ලක්ව තිබේ. ඔවුන්ට, තම පවුල් ජීවත් කරවන කුඩා ඉඩම්වල කිසිදු ස්ථිර වගාවක් ඇතිකර ගැනීමට නොහැකි ආකාරයෙන් වල් අලින් ඒවා විනාශ කරති. නිවෙස් කඩා බිඳ දමති. 


ලංකාවේ ඕනෑම ගෙවත්තක පාහේ නිවසේ සාමාජිකයන්ට තමන්ගේ ජීවිතය පහසු කරගන්නට ලොකු ගස් කිහිපයක් තිබේ. කොස් පොල් දෙල් සහ කෙසෙල් මේ අතරින් ප්‍රධාන තැනක් ගනියි. වල් අලියන් පැන විනාශ කරන නිසා මෙවැනි ස්ථිර ගස් කිහිපයක් පවත්වා ගැනීමට පවා අලි තර්ජනයෙන් පීඩාවට පත්වන ගම්මානවල ගම්වැසියනට ප්‍රායෝගික නොවේ.


තමන්ගේ ගොවිපළක් සහ නිවස අද රාත්‍රියේ කොයි මොහොතේ විනාශ වී යන්නේ දැයි ජීවත්වන මවක හා පියකු ගේ මානසික තත්වය කෙබඳු ආකාර විය හැකිද? ඔවුන්ගෙන් අනාගතය ගැන සැලසුමක් ද ඇතිව ජීවත්වීමක් බලාපොරොත්තු විය හැකිද? 


මේ ප්‍රශ්නය විසඳා ගත හැක්කේ කෙසේද? 

මේ සඳහා නොයෙකුත් ක්‍රමවේද  උත්සාහ කර තිබේ.

මෙම උත්සාහවලින් සාකච්ඡා කිරීමට වටිනාකමක් ඇති උත්සහයක් ලෙස පෙනෙන්නේ අලින්ගෙන් ගොවිපොළවල් බේරා ගැනීමට මීමැස්සන් වැටක් ලෙස පාවිච්චි කිරීම පමණි. 

මේ පිළිබඳව ඔක්සර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලුසි කින්ග්, save the elephant පදනම හා එක්ව  පරීක්ෂණයක් කළ බව පෙනෙන්නට තිබෙන නමුදු  එයිනුදු ස්ථිරසාර විසඳුමක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. 


අලි මිනිස් ගැටුම ඇති වන්නේ ඇයි? ඒ ඇතිවන්නේ මිනිසුන් සහ අලින් එකට ජීවත් වන්නට යාම නිසාය. අලි වැනි දවසකට කිලෝ ග්‍රෑම් 300ක් පමණ ආහාරයට ගන්නා සතුන් කණ්ඩායමක් ගොවිතැන් කරන ගමකට පැමිණියහොත් සිදුවන හානිය කොපමණදැයි ගණන් කිරීමට අවශ්‍ය නැත. අලින්ගෙන් ගොවිතැනට සිදුවන හානිය සිතාගැනීමට ඔවුන් ගොවිපලට පැමිණෙන වාර ගණනින් නොව,  ඔවුන් ගොවිපළට පැමිණි විටක සිදුවන හානියේ ප්‍රමාණය ගණනය කිරීමෙනි.


අලියන් ගම්මාන වලට කඩා වැදීමට, අනෙක් හේතුව ගොවිපළවල රසවත් ආහාර තිබීමයි. කැලය හා සසඳන විට ගොවිපළවල රසවත් එසේම පහසුවෙන් ලබාගත හැකි ආහාර තිබේ.  ඔවුන් ඉතාමත් කැමති වී, කෙසෙල් ගෙඩි, පලතුරු කොස් වැනි ආහාර තිබෙන්නේ අප ගොවිපොළවල්වලය. කැලයේ එවැනි ආහාර, තිබුණාත්  තිබෙන්නේ ඉතාමත් මද වශයෙනි.

එසේනම් මෙම ඝට්ටනයට විසඳුම තිබෙන්නේ සත්තු කොට්ඨාස දෙක වෙන්කර තබා ගැනීමයි. අනෙකුත් සියලුම විසඳුම් පැලැස්තර ඇලවීම් පමණක්ම වෙයි.


ඝට්ටනයේ එක් පාර්ශවයකට හෝ විනාශයක් සිදු නොවී  ඔවුන් වෙන්කර තබන්නට ක්‍රමයක් තිබේ.


ඒ අලියන් සඳහා වෙනම ජාතික උද්‍යානයක් ඇති කිරීමයි. ලංකාවේ ජාතික  අභය භූමි 60 ක් පමණ තිබේ. ඒවායේ මුළු භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ හතක් පමණ වෙයි.මෙයින් විශාලතම අභයභූමිය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය පමණක් අක්කර 323708 භූමියක් වසා ගෙන සිටී.


දැන් විසඳුම පැහැදිලිය. අප කළ යුතු වන්නේ රටේ සිටින සියලුම හීලෑ නොවූ අලි එකතුකර  විල්පත්තු කැලයට විල්පත්තු කැළයට යවා, ඒ වටා අලි වැටක් ගැසීමයි. 


අලි හත්දහසකට මෙම  ඉඩ ප්‍රමාණය මදි යැයි සිතන්නේ නම් අපට මේ කැලෑව විශාල කළ හැක. එලෙස අඩුම හානියකින් කල හැකි තැන්වලින් කැලය විශාල කර ඒ නිසා අස්ථානගත වන මිනිසුන් ගොවියන් සහ ගොවිපළ සඳහා ඔවුන්ට විල්පත්තුව විශාල කිරීමට වැය වූ ඉඩම් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් වෙනත් ගැලපෙන වනෝද්‍යානයකින් ලබා දිය හැක.


එම වනෝද්‍යානය ඇති කිරීම සහ වල් අලි ප්‍රශ්නය විසඳීම පමණක්ම ලංකාවේ  සංචාරක ව්‍යාපාරයද පෙර නොසිතූ විරූ ඉහළ තලයකට ගෙනයනු ඇත.


මෙම ව්‍යාපෘතියට වියදම් වන සෑම සතයක්ම ජනනය කර ගැනීමට ක්‍රමවේද බොහෝ ගණනක් තිබේ. අප රජයට කිසිම වියදමක් නැතුව මේ වැඩය කරගත හැක. මෙම යෝජනාව මූලික වශයෙන් පිළිගන්නේ නම් ඒ සඳහා වඩා පැහැදිලි එසේම වඩාත් විස්තර සහිත ක්‍රමවේද පෙන්වාදීමටද  අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කිරීම කළමනාකරණය කරදීමට, මම කැමැත්තෙමි. 


මම ගැනත් කෙටි හැඳින්වීමක් මෙතනදී අවසාන වශයෙන් කිරීම සුදුසු යැයි සිතමි.


 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ ජයවර්ධනපුර ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලත් මම නාවික හමුදාවට බැඳී  අවුරුදු තිස්තුනක සේවයෙන් පසු විශ්‍රාම ගත්තෙමි. ශාස්ත්‍රපති උපාධි දෙකක් සහ ඇමෙරිකානු යුධ විද්‍යාලයේ විශිෂ්ට ශ්‍රේණියේ සමර්ථයක් ලබා ඇති, මට පේටන්ට් බලපත්‍රයක්ද තිබේ. 


වසර කිහිපයක් නොයෙකුත් ආයතනවල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන මම, වඩාත්ම සතුටක් ලබා ගන්නේ ගොවිතැනෙනි. 

ඒ අතර මා පරිවර්තන පොත් කිහිපයක් ඇතුළු පොත දහයකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර තිබේ.








Saturday, October 5, 2024

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි 


මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි. 

මට පවුලෙන් ලැබුණු කුඹුරු අක්කර  දෙකක් පමණ මම වගා කරන අතර ඒ සඳහා මෙවර රුපියල් 25000ක පමණ සහනාධාරයක් ලැබෙන බව දැක  සතුටට පත්වීමි.


නමුත් මෙවැනි සහනාධාර,  කිසිදු සේවාවක් ගොවියාගෙන්, රටට ආපසු ලබා නොගෙන ලබාදීමෙන් සම්පූර්ණ සහනාධාර මානසිකත්වයක් ඇතිවන බව පෙනේ. ගොවියන් රටේ දෙවියන් ලෙස සැලකූ සංස්කෘතියක, ඔවුන් සහනාධාර මත යැපෙන්නන් බවට පත්වීමට ඔවුන්ගේ කිසිම කැමැත්තක් නොමැති බව අප සියලු දෙනා දන්නෙමු.


මේ සඳහා මම, ගොවියාටත් රටට යම් වැඩක් කර  සමාජයට බරක් නොවී,සහනාධාරය ලබා ගැනීම සඳහා පහත යෝජනාව කරනු කැමැත්තෙමි. 

ඒ, සහනාධාරය ලබාගන්නා සෑම ගොවියෙක්ම ඔහුගේ කුඹුරේ ප්‍රමාණය කුමක් වුවත් අඩු තරමින්, ඝන මීටරයක කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමට ව්‍යාපෘතියක් පටන් ගැනීමයි. 

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන විස්සක් වැය වන බව කෘෂිකර්ම  අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරනවා මම දුටුවෙමි. ඒ අනුව මෙහි ගොවියන් මිලියනයකට වඩා සිටින බව පෙනේ. 

ගොවියන් මිලියනයක් විසින් කාබනික පොහොර ඝන මීටරය බැගින් නිපදවුවහොත් රටට කාබනික පොහොර ඝණ මීටර  මිලියනයක නිෂ්පාදනයක් සිදුවේ. 


මෙම යෝජනා කරන ව්‍යාපෘතිය සඳහා, අමතරව කිසිම මුදලක් වැය නොවන අතර දැනට ගම්වල සිටින කෘෂිකර්ම නිලධාරීන් සහ කෘෂි සේවා මධ්‍යස්ථාන  යොදාගෙන ගොවියන්ට උපදෙස් දීම ඔවුන්ගේ කාබනික පොහොර නිෂ්පාදනය සතියකට වරක් පමණ පරීක්ෂා කිරීම යනාදිය සිදුකරගන්නට පුළුවන.


නිෂ්පාදනය වන පොහොර  එම ගොවියන්ගේම ගොවිතැන්වලට යොදාගත හැකි අතර, අතිරික්තයක් තිබේ නම් ඒවා වෙළඳපොළට නිකුත් කර ගොවියන්ට යම් ආදායමක්ද ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියෙන් සහාය ලබාදිය හැක. මෙම පොහොර නිෂ්පාදනයෙන් පමණක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය  කාබනික පොහොර දෙසට පසුගිය කාලයේ සිදුවූවාක් මෙන් කිසිම අලුත් නීතියක් පාවිච්චි නොකර කිසිම සීමාවක් නොපනවා යොමු කර ගත හැකි බව පෙනේ.


රජය මෙම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කරන්නට අදහස් කරන්නේ නම් මම ස්වේච්ඡා සේවාවක් වශයෙන් ඒ සඳහා මුල් වී කටයුතු කිරීමට කැමති බවද දන්වා සිටිමි.


මම ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍යයකු වන අතර යාන්ත්‍රික ආරක්ෂක  උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් හිමියකු බවද මෙතනදී දන්වා සිටීම උචිත යැයි සිතමි.


මෙයට විශ්වාසී 


එල්.ටී.බී ඉලංගකෝන් රියර් අද්මිරාල් 

Monday, August 26, 2024

පරණ තැපැල් ඡන්ද මතකයක්

 අසූ ගණන් වල මුල  මම ලුතිනන්වරයෙක් වශයෙන් යාපනයේ කරේනගර්හි 'එළාර' කඳවුරේ සේවය කළෙමි. එකල එහි අනදෙන නිලධාරිවරයා වූයේ, පසු කලෙක නාවික හමුදාපතිවරයා බවට පත්වී ත්‍රස්තවාදීන් අතින් මියගිය  අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුය.

මම ඔහුගේ ලේකම්වරයා වූ අතර, ඒ නිසා තැපැල් ඡන්ද සහතික කිරීමට කටයුතු කළේ සහතික කරන නිලධාරියා වූ ඔහුගේ කාර්යාලයේ අප දෙදෙනාය. 

ආධුනික නැවියකු තැපැල් ඡන්දය දීමට පැමිණියේය. ඒ සඳහා කාර්යාලය ඇතුළට පැමිණීමට ක්‍රියා පටිපාටි කිහිපයක් තිබුණු අතර, ඇතුලට පැමිණ ඡන්දය දීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. 

ඡන්දය දී අවසානයේ මේ තරුණයා අප දෙස බලා

 "සර් එහෙනම් මං යන්නද?"

යනුවෙන් ඇසුවේ ඔහුට කාර්යාලය ඇතුලේ සිදුවූ දෙය බලාපොරොත්තු කඩවීමක් ලෙසට සුළු වැඩ කටයුත්තක් යයි හැඟුන නිසා විය යුතුය.


එකල කමාන්ඞර්වරයෙකු ක්ලැන්සි ප්‍රනාන්දු, අපූරු පිළිතුරක් දුන්නේය. 


ඔහු ආධුනික නැවියා දෙස, බලා සිනාසී, "නැහැ පොඩ්ඩක් ඉන්නවා, තේ එකක් එහෙම බීලා යන්න" යනුවෙන් පැවසීය.




Friday, July 26, 2024

 Dear Chairman 


Yesterday I saw in the news that your commission spend hundreds of millions of Rupees for printing of ballot papers. 
I am writing this mail to make a suggestion which will help cut down the ballot paper printing, cost drastically. 
It is proposed to have two ballot paper for each polling station, one with officials and other exhibited in the polling booth.
The ballot paper itself can be a small card with only two lines and columns in it. 
The voter can take the number of the candidate from the list exhibited and fill his ballot paper, first and  second preference in his card.
Some might say that this is bit complicated for the voters. But I would tell them, should such a person, who cannot even select two numbers from a list be allowed to select a government or a ruler who  would manage 100 billion dollar economy?

Rear Admiral Lakshman illangakoon RTD

Wednesday, July 24, 2024

අනතුරුදායක ගසකින් ඇති ප්‍රයෝජන

 උකුවෙල ප්‍රදේශයේ පදිංචි කෙනෙකු මේ දවස් වල අපේ ගෙදර පොඩි වැඩක් කරයි. ඔහුත් සමග කතා කරමින් සිටියදී ලස්සන කතාවක් අහන්න ලැබුණී.


ඔහුගේ ගෙවත්ත කෙළවර වන්නේ අසල තිබෙන වතුයායක කෙළවරකටය. බොහෝ වතු ඉඩම් මෙන් මෙම ඉඩම ද කිසිම ප්‍රයෝජනයකට නොගෙන තිබේ. ඇත්තෙන්ම ලංකාවේ ලොකුම නාස්තියක් ඇත්තේ  සමාගම්වලට අයත් කිසිම ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට දමා තිබෙන ඉඩම් බව මමත් සිතමි.


ඔහු මෙම ඉඩම සුද්දකර කෙහෙල් වවන්නට පටන් ගෙන ඇත. ටික දවසකින් පැමිණි වත්තේ කණ්ඩායමක් ඒ කෙහෙල් පැල ටික ගලවා ඉඩමේ කෙළවරක ගොඩ කර ා වත්තේ ඉඩම්වල එලෙස වගා කටයුතු නොකරන ලෙසට මොහුට දැනුම් දී ඇත. 

මෙලෙස ටික කාලයක් ගතවන විට ඒ ඉඩමේ කෙළවර තිබෙන විශාල අට්ටික්කා ගසක් මොහුගේ නිවසට කඩා වැටෙන තත්ත්වයට දුර්වල වී තිබෙනු දැක ඔහු වත්තේ ප්‍රධානියාට, මේ පිළිබඳව දන්වා ගහ කඩා වැටුණොත් නිවසට ලොකු අලාභ හානියක් විය හැකි නිසා ඒ ගස කපා ඉවත් කරන ලෙස ලිපියකින් ඉල්ලා සිට ඇත.


ටික දිනකින් වත්තේ ප්‍රධානියාගේ අත්සනින් යුක්තව ඔහුට ලිපියක් ලැබුණි. එහි කියා තිබුණේ ඉඩම් රජයට අයිති වන අතර  වත්තට අයිති නොවන නිසා මෙහි වගකීම වත්තට භාර ගත නොහැකි බවයි. 


මින්පසු නැවත වරක් එම ඉඩම සුද්දකර, ඔහු කෙහෙල් වගාවක් පටන්ගෙන ඇත. 


වත්තේ කිහිපදෙනෙකු ටික දවසකින් පැමිණ එසේ කෙහෙල් වගා නොකරන ලෙසට ඔහුට නැවතත් දැනුම් දී ඇත. වත්තෙන් ඔහුට පැමිණි ලියුම පෙන්වා දුන් ඉඩම වත්තට අයිති නොවන හෙයින් ඔහු මෙලෙස කෙසෙල් වගා කරන බවටත් එයට වතු සමාගමේ යම් විරුද්ධත්වයක් තිබේ නම් උසාවියට ගොස් විසඳා ගන්නා ලෙසත් කියා ඇත. 


දැන් ඔහු අවුරුදු කිහිපයක් එම ඉඩමෙන් කෙහෙල් ඵලදාවක් ලබා ගන්නා අතර  කවුරුත් කරදර කරන්නේද නැති බව ඔහු සිනාසෙමින් කීවේය.


නිවස මතට කඩා වැටෙන්නට මෙන් තිබෙන අට්ටික්කා ගස් වලිනුත් ලොකු ප්‍රයෝජන තිබෙන බව පෙනේ.

කෙසෙල් පැලය

 පුංචි රාල කෙහෙල් පැලයක් ගලවා හවසට පැල කරන්නට සිටියද ඔහුට එය ළිඳ ළඟඅමතක විය.  දවස් තුනකට පසු ටිකිරා පුංචි රාළ වෙතට පැමිණ ඔහුගෙන් මේ පිළිබඳව ...