Tuesday, September 12, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 12




http://lakshmanillangakoon.blogspot.com/2017/09/11.html
"ඇත්තෙන්ම කියනවනං මට ඩිංගක් බඩ  බුරුලට ආව,ඒ මදිවට වම් දනිහත් ඩිංගක් රිදුම් දෙන්ට බැලුව, ඉතිං මම කැලේ ඇතුලට රිංගුවා, එලියට ඇවිල්ල බලනකොට ස්කිනර් උන්නැහේ මං පහුකොරල" ආරච්චිල කිහිප වතාවක් නවතමින් දුන් පිළිතුර නයිදේට හෝ ඒ ඇසිල්ලේම එතනට පැමිණි ලොකු මැණිකේට එතරම් ඇල්ලුවේ නැත.

" දැන් බත් ටික කාල හිටියනං හොඳයි නේද ?" අසමින් ඈ ඉස්තෝප්පුවට ආවාය. තිදෙනාම ඇගේ ඇරයුමට කන්දෙන්නාක් මෙන් කෑම කාමරයට ගියද ඇත්තෙන්ම ඒ වෙලාව වන විට බෝතලය අවසන් වී තිබුණු නිසා  ඔවුන්ට  කෑමට යාම හැර වෙනත් කරන්නට දෙයක් තිබුනේ නැත.

" දඩයමේ ආපු මම්මලේ කාක්ක ගම්ගාතයක් එවල තිබ්බ, ඒක වෙනම බැදල නිල් දිසියේ ඇති," කියමින් වේවැල් වලින් තැනු කෑම වසනය ඉවත්කර ඇය අසල තිබූ දොරින් උයන ගේ වෙත ගියාය. තම කෑම බෙදාගෙන කෑම මේසය අසල තිබූ බංකුවක් මත වාඩිවී ආහාර ගැනීමට පටන්ගත් නයිදේ වෙනදාට වඩා ටිකක් දොඩමලු විය.

"මං නම් කියන්නෙ මේ නැගිල්ල ආපහු තියන්ට ඕනෑ කියල, මොකද දිනුවෙ කව්ද කියන්ට අමාරුයි , දෙන්නම මෙච්චර ලඟින් ඉවර කෙරුවම" ඔහු අලුත් යෝජනාවක් ගෙනාවේය. 

"ඒක නම් හොඳ අදහසක් , නයිදෙට හොඳ අදහස් එනව," ස්කිනර් ආරච්චිල දෙස පිළිතුරක් බලාපොරොත්තුවෙන් බැලුවේය. 

" මමත් කැමතියි , හැබැයි හීන් අක්ක මනාප නම් විතරයි " ලොකු මැණිකේ වතුර ජෝගුවකුත් රැගෙන පැමිණෙනවා දුටු ආරච්චිල පැවසුවේ ඇය කිසිසේත් මෙයට කැමති වේයැයි නොසිතාය.

ඇය වතුර ජෝගුව මේසය කෙලවර තබා මෙහෙකාරිය බන්දේසිය මත තබා ගේන ලද විදුරු වලට වතුර වත් කර මේසය මතින් තබා ආරච්චිල දෙස බැලුවාය , " උඹ මේ හැම එකක්ම මගෙන් අහලද මෙච්චර කල් කොරේ? හොඳයි, ඒ මොනවා වුනත් මමත්  කියන්නෙ තව පාරක් මේක කෙරුවනම් හොඳයි කියල" කියා සියලු දෙන පුදුමයට පත් කලාය.

දෙවැනි තරඟය මුල් ඒක තරම් උත්සවාකාරයෙන් පැවතුනේ නැත. මිලිටරි කුඩාරම් එසවුනේ නැත. සොල්දාදුවන් පටන් ගන්නා ස්ථානයේ හෝ කන්ද මුදුනේ සිටයේත්  නැත. කලින් කතිකා කරගත් පරිධි එතන නරඹන්නන් ලෙස සිටියේ  ලොකු මැණිකේ, ඇයගේ කුඩා මිනිබිරියන් දෙදෙනා , නයිදේ සහ ඒ දිනවල දඩයම් සඳහා පැමිණ ගමේ කඳවුරු ගසා සිටි තවලමේ නායකයා වූ මම්මලේ කාකා පමණි. ඔහු මෙම තරඟය පිළිබඳව නයිදේ ගෙන් දැනගෙන එය බැලීමට පැමිණීමට ඕනෑ බවට ආරච්චිල හමුවී කෙසේහෝ අවසර ලබා ගත්තේ, මිට පෙර කිහිපවතාවක් මෙම ප්‍රදේශයට පැමිණි විට ආරච්චිල සමග මෙම වේගවත් නගිල්ලට සහභාගී වී ඇති හෙයිනි. 

මුල් දිනයේ මෙන්ම ඕනෑම වෙලාව ගතවන දීර්ග තරගයක් මෙන්  ඇල්මැරුණු ස්වභාවයකින් තරඟය  පටන් ගැනුණි. එදා මෙන්ම මුදුනට යන තෙක්ම දෙදෙන එකටම වාගේ ගමන් කළහ. බැස්මේ  අවසාන බාගයේ ගියවර මෙන්ම  ආරච්චිල වේගය වැඩි කළේය. බැවුමේ කුඩා ළමුන් කෑ ගසන හඬ ඇසී ස්කිනර් දනිස් ලඟට දිග  කාකි කොට කලිසමේ සාක්කුවෙන් වොටර්බරි ඔරලෝසුව ගෙන වෙලාව පරීක්ෂා කළේය. තමන් විනාඩි 10 කින් පමණ පැරදී ඇති බව දැන  ගත්තේය. පහලට පැමිණි පසු තම ඇස්තමේන්තුව විනාඩි 2 කින් වැරදි ඇති බව දන ගත්තේය. 

"මම කිව්වනේ නයිදේට ඕක වෙන්ට බෑ කියල, ලොකු නිලමෙ ගෙ වේගේ මම දන්නවනේ " මම්මලේ මඟදී නයිදේට කිවේය. ඔවුන් කලින් ගමන් ඇරඹුවේ ආරච්චිල සහ ස්කිනර් ට ටික වෙලාවක් මහන්සි ඇරීමට එතන නතරවීමට අවශ්‍ය බව දැන්වූ නිසාය.

" මට එදත් පොඩි සැකයක් ආව ,නිලමෙ අන්තිම හරියෙදී මඟ ඇරුනහම,ඇත්තටම ඇයි නිලමේ එහෙම හිතලම පැරදුනෙ ?" ස්කිනර් බැවුමේ පසෙක තිබූ ලොකු කිතුල් කොටයක ඉඳගනිමින් ඇසුවේය. ඔහු මහත් ලෙස වික්ෂපිත වී සිටියේය.

" එදා මගේ බඩ  බුරුල් උනා ස්කිනර් උන්නැහේ, අද උනේ නැහැ , ආන්න ඒක තමා උනේ, යන් අපි ගෙදර යන්, කොපි කෝප්පයක් බිල හොඳ යාපනේ සුරුට්ටුවක් බොමු, මම්මලේ මට ඊයේ නොම්බර එකේ සුරුට්ටු පෙට්ටියක් ඇරගෙන ආව " දෙදෙනා නැගිට ආරච්චිල ගේ නිවාස පැත්තට ගමන් ඇරඹුහ.

පියවර කිහිපයකට පසු ස්කිනර් ආපසු හැරී කඳු මුදුන දෙස ටික වෙලාවක් බලා සිටියේය. මුහුණට සිනාවක් නංවාගෙන නැවත ආරච්චිල සමග ගමනට එකතු විය.






3 comments:

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...