Wednesday, January 16, 2019

3 ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් මර්ධනය කිරීම 3





මෙම සම්මන්ත්‍රණය ගිනි බොක්ක කලාපයේ පලවෙනි වරට පැවැත්වූ සාගර ආරක්ෂාව පිළිබඳ මේ සදහා නයිජීරියාව, ඝානා, අයිවරි කෝස්ට්, ගැබොන්,ඉක්විටෝරියල් ගිනි, නැමීබියා, දකුණු අප්‍රිකාව, බෙනින් සමූහ ආණ්ඩුව, සෙනගල්, ටෝගෝ, කැමරුන් සහ සාවෝතෝමේ සහ ප්‍රින්සිපේ යන රටවල නාවික හමුදාපති වරුන්ද සහභාගි වූහ. 

එයට අමතරව එක්සත් ජනපද අප්‍රිකා අණදෙන  මූලස්ථානයේ ප්‍රධානියාද බොහෝ බටහිර රටවල සාගර ආරක්ෂක සමාගම්වල නියෝජිතයන්ද මේ සදහා සහභාගි වුනි. අපේ සමාගමෙන් සභාපතිවරයාත් මමත් තවත් විශ්‍රාමික නාවික හා ගුවන් හමුදා නිලධාරියෙකුත් සහභාගි වුනෙමු. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුනේ ක්‍රොස් ගඟ අසබඩ පිහිටි තිනාපා ලේක්සයිඩ් හෝටලය නැමැති හෝටලයකය. සාමාන්‍යයෙන් නයිජීරියාවේ බොහෝ නගරයන්ට වඩා ඉතාමත් පිරිසිදු සහ ස්වාභාවික අලංකාරත්වයෙන් යුත් කලබාර් ප්‍රදේශය පිහිටා තිබෙන්නේ නයිජීරියාවට නැගෙනහිරින් අසල්වැසි රටක් වූ කැමරුන් රාජ්‍යය සහ නයිජීරියාව අතර  දේශ සීමාව ආසන්නයේය.

දවස් කිහිපයක් පැවති මෙම සම්මන්ත්‍රණයේදී අපට බොහෝ නයිජීරියානු රාජ්‍ය නිලධාරීන් අදුනා ගැනීමට ලැබුනු අතර, මේ අතර එහි නාවික හමුදාපතිවරයා විශේෂ විය. ඒ ගිනි බොක්කේ මුහුදු ආරක්ෂක කටයුතු සදහා අපට සහභාගි වීමට හැකියාවක් ලබා දීමට ඔහුගේ උපකාරය බොහෝ සේ ප්‍රයෝජනවත් වන බව අප දැන සිටි  නිසාය. සම්මන්ත්‍රණය දවස් කිහිපයක් පැවතුන නිසා උදේ පාන්දර නැගිට ඝණ වනාන්තරයක් වැනි එම ක්‍රොස් ගඟ අවට ඇවිදීමට අප සැම දිනකම වාගේ ගියෙමු. උදයේ නැගිට ඇවිදින්නට ලෑස්ති වී බුෆේ එකට ගොස් ජූස් එකක් ආදිය බී ඇවිදීමට යන අපි පැය එක හමාරක් පමණ ඇවිද ආපසු කෙලින්ම බුෆේ එකට ගොස් උදය ආහාරය ගෙන කාමර වලට ගොස් ඇඳගෙන සම්මන්ත්‍රණයට යාමට අපි පුරුදු වූයෙමු. 

සම්මන්ත්‍රණයේදී  සහ එහි අවසන හෝටලයෙදී  හැකි තරම් ගිනි බොක්ක අවට රටවල නාවික හමුදාපතිවරුන් හමුවී ඔවුන් සමග දැන හැදුනුම්කම් ඇතිකර ගැනීමට අපි උත්සුක වූයෙමු. එලෙස පුද්ගලිකව හමුවන එම නාවික හමුදා ප්‍රධානීන්ට අපි රැගෙන ගිය වටිනා තේ නිෂ්පාදන ත්‍යාග වශයෙන් දී අපි කරන්නට බලාපොරොත්තු වන ගිනි බොක්කේ මුහුදු ආරක්ෂක වැඩ පිලිවෙල ඔවුන්ට පැහැදිලි කර දුන්නෙමු. මෙසේ අපට මහන්සි වීමට සිදුවුයේ ගිනි බොක්ක අවට සම රටක්ම පාහේ අප යෝජනා කරන වැඩපිළිවෙලට අනුමැතිය දිය යුතු නිසාවෙන්ය.

අපි මෙලෙස උදේ ඇවිද්දනට යන විට එකල තිබු ආරක්ෂක හේතුන් නිසා හෝටලයෙන් පිටතට යාම එතරම් සුදුසු නොවන බව අපට දන්වා තිබුනද, අපි එය එතරම් ගණන් නොගෙන හෝටල් පරිශ්‍රයෙන් පිටතට පැමිණ එළියට එනවිට දකුණු පැත්තට තිබුනු පාරේ ටික දුරක් ගමන් කල විට ඉතා විශාල භූමියක විහිදී ඇති අති විශාල ගොඩනැගිල්ලක් දුටුවෙමු. හෝටලයෙන් කිලෝ මීටර් දෙක තුනක් එලියෙන් පිහිටි මෙම ගොඩනැගිල්ල ගොඩනැගිලි පරිශ්‍රයක් වශයෙන් හිතා ගන්නට බැරි තරම් විශාල වූ අතර, කුමන අවශ්‍යතාවයකට ගොඩනගා ඇත්තේදැයි සිතා ගන්නටත් අපහසුය. මෙහි මුදුනේ සිට බලන විට ඈත ග‍ඟෙන් එගොඩද මීටත් වඩා තවත් විශාල ගොඩනැගිල්ලක් සාදමින් පවතින බවද පෙනුනි. හෝටලයට පැමිණි පසු මෙය කුමක්දැයි විමසූ විට අපට දැන ගන්නට ලැබුනේ මේ පරිශ්‍රය වසරකට වරක් පොලක් වැන්නක් පවත්වන්නට යෙදෙන බවත් අසල්වැසි රට වලින්ද මෙයට මිනිසුන් පැමිණෙන බවත්ය. බොහෝ විට තෙල් සල්ලි ඇති රටවල්; තෙල් සල්ලි නැති රටවලද එවැනි දෑ නොකෙරෙන වාම නොවේ, තමන්ට ලැබෙන මුදල්  විශාල වැඩකට නැති වැඩවල යෙදවීමට මෙය හොඳ උදාහරණයක් නොවේදැයි මට සිතුණි.
සම්මන්ත්‍රණය අවසානයේදී ආපසු ලාගෝස් නගරයට ගුවනින් ගිය අපි එහි සිට එමිරේට් ගුවන් යානයකින් ඩුබායි ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.  
අප විසින් යෝජනකරනු ලැබූ මෙම ව්‍යාපෘතියට රටවල් දුසිමකටත් වැඩි ගණනක්  සහ රටවල් 16 ක සාමාජිකත්වයෙන් යුක්ත Ecowas ආර්ථික සමුළුවේ ද කැමැත්ත ලබාගත යුතු නිසා ලංකාවට පැමිණි පසු මෙම රටවල් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට අපි දැඩි මහන්සියකින් කටයුතු කළෙමු.          

Sunday, January 13, 2019

2 ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් වැලැක්වීම 2






.........මෙම සාගර ආරක්ෂක ව්‍යාපාරයට ඇතුලුවීමට ඉතාමත් අපහසු වූයේ කාරණා කිහිපයක් හේතු කොට ගෙනය.
  • නයිජීරියාවේ මෙම මුහුදු කොල්ලකරුන් බොහෝ විට දේශපාලන සම්බන්ධකම් සමග ක්‍රියාත්මක කිරීම.
  • සාගර ආරක්ෂක ව්‍යාපාර වැනි අධික ලාභ දෙන ව්‍යාපාර බොහොමයක වෙනත් බොහොමයක් තුන්වන ලෝකයේ රටවල මෙන්  දේශපාලඥයින් හොඳට හොදි තිබෙන හොදි කෝච්චි  ව්‍යාපාරයන්ට සම්බන්ධව සිටීම.
  • ඒ වන විටත් ගිනි බොක්කට එන සහ යන වානිජ නැව් වලට ආරක්ෂාව ලබාදීමට තමන් මුදල් ආයෝජනය කර වේග ප්‍රහාරක යාත්‍රා ලබාදී තිබූ එංගලන්තය, ජර්මනිය වැනි රටවල පුද්ගලික ආරක්ෂක සමාගම් අලුත් තරඟකාරයෙකුට ; විශේෂයෙන්ම අප වැනි අළුත් ආසියාතික රටකින්  ඇතුල් වන්නට ඉඩ දීමට තිබූ අකමැත්ත.
  • ශ්‍රී ලංකාව වැනි කුඩා ආසියානු රටක මෙවැන්නක් කලහැකි දැයි නයිජීරියාව නාවික හමුදාවට  සහ එහි රජයට තිබූ සැකය.

මේ සදහා කෙසේ හෝ පිවිසුමක් සාදා ගැනීමට සෑම දිනම පාහේ දහවල් කාර්යාලයේදීද, රාත්‍රියේ එක දෙක වනතුරු සභාපතිවරයාගේ නිවසේදීද සාකච්ඡා පැවැත්විණ. සිතියම් සහ දත්ත පරීක්ෂා කරමින් නොයෙකුත් ආයතනයන්ට සහ පුද්ගලයන්ට ඊමේල් යවමින් දුරකථන සාකච්ඡා පවත්වමින් මෙම සාකච්ඡා පැවැත්විණ. සමහර දිනවල මෙම සාකච්ඡා කොතරම් උණුසුම් තත්වයට පත්වීද යත් සමහර නිලධාරීන් සාකච්ඡා වලදී දැඩි කෝපයට පත්ව නැගිට ගිය අවස්ථාද නොතිබුනා නොවේ.

කෙසේ හෝ යම් සබඳතාවයක් මත සොයා ගත් බ්‍රිතාන්‍ය සාගර ආරක්ෂක විශේෂඥයන් දෙදෙනෙකු සෑහෙන මුදලක් ගෙවා බටහිර අප්‍රිකාවට යවා මේ පිළිබඳව අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා ගැනීමට හැකි වුවද එයින් අපට මෙම ව්‍යාපාරයට ඇතුලු වීමට හැකිවන තරම් ප්‍රමාණවත් තොරතුරු ලැබුනේ නැත.

මේ අතර නයිජීරියාවේ නැගෙනහිර පෙදෙසේ කලබාර් නගරයේදී සාගර ආරක්ෂාව පිළිබඳ අන්තර් ජාතික සම්මේලනයක් පවත්වන්නට යන බව දැන ගන්නට ලැබී අප ආයතනයෙන්ද එයට සහභාගි වීම සඳහා එම සංවිධායකයන් ගෙන්  ඉල්ලා සිටියෙමු. මෙතැනදී මෙම ආරක්ෂක කටයුතු පිලිබඳ  සම්මේලන පිළිබඳවත් යමක් කියාගෙනම ගියහොත් සුදුසු යයි මට සිතේ.

ලෝකයේ බොහෝ තැන්වල විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ මැද පෙරදිග මෙවැනි ආරක්ෂක කටයුතු හා සම්බන්ධ සම්මේලන සංවිධානය කරන සමාගම් කිහිපයක් ඇත. මේවා බොහොමයක විධායක නිලධාරින් ලෙස කටයුතු කරන්නේ ඉන්දියානු ජාතිකයන්ය.ඔවුන් යම් රාජ්‍යයක; සුවිශේෂී ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙන විට එය සම්බන්ධව, එම රජයේ අනුග්‍රහය ලබාගෙන සම්මේලන සංවිධානය කරති. කලාපයේ නොයෙකුත් රටවල තීරණ ගන්නා තත්වයේ සිටින නිලධාරින් කිහිප දෙනෙකු මෙලෙස සම්මේලනයට පැමිණීමට  කැමති කරවාගෙන ඔවුන් සම්මේලනයට පැමිණෙන බව ප්‍රසිද්ධ කර එම කලාපයේ ආරක්ෂක විසඳුම් ලබාදීමට කොන්ත්‍රාත් ගැනීමට වෙර දරන සමාගම් වලට මෙම සම්මේලන සඳහා පැමිණෙන ලෙසට ආරාධනය කරති. සහභාගී වීම සඳහා ලොකූ  මුදලක් අයකරන අතර සහභාගී වන ආකාරය අනුව ;ප්‍රදර්ශන කුටිය සහිතව යනාදිය අනුව,  ගාස්තුව වෙනස් වෙයි, 



සමහරවිට සම්මේලනයට සහභාගී වන අපට අවශ්‍ය නිලධාරියෙකු සම්මේලනයේදී පුද්ගලිකව මුණගැසෙන්නට පවා ඔවුනට සංවිධානය කල හැකි වීම විශේෂත්වයකි.

මම මිට පෙරද ; බොහෝ ත්‍රිවිධ  හමුදා ජෙෂ්ට නිලධාරින් ලෙසට,මෙවැනි සම්මේලන වලට සහභාගී වී ඇත්තෙමි. ඒ සක්‍රිය සේවයේ සිටියදීය. මෙම  මම සහභාගී වූ ප්‍රදර්ශන   තුනම  සිංගප්පුරුවේ පැවැත්වුණු ඒවා වූ අතර දෙකක්  2005, 2009  වසරේ සහ අනික 2013 වසරේය. මෙම ප්‍රදර්ශන  වලට ආරාධනා ලැබුණු විට මිලදීගැනීමට උනන්දුවක් තිබේ යයි සිතෙන නියෝජිතයනට  ගුවන් ගමන්පත්, හෝටල  ඇතුළු එරට සිදුවන සියලු ගමන් වියදම් සංවිධායකයන් විසින් ගෙවනු ලැබේ.  2005 වසරේ එම සමුළුවට සහභාගී වුයේ එකල සිටි නාවික හමුධාපතිවරයා සමගය. අප එකල ප්‍රසිද්ධ යුද්ධයක යෙදී  සිටි නිසා සම්මේලනය අතරතුර අප, වෙළෙන්දන් වෙතින් අධිකවම ඉල්ලුමක් තිබුණු නියෝජිතයන් කණ්ඩායමක් විය. අප මුණගැසීමට ඉල්ලා ඉල්ලුම් බොහෝ සංවිධායකයන් වෙත ලැබුණු අතර සංවිධායකයන් අපෙන් සැපයුම්වෙ කරුවන් සාකච්චා සඳහා සම්බන්ධ කිරීමට  ඉල්ලා  අපට මහත් කරදරයක් කළහ.........

Saturday, January 12, 2019

2 ඇසු දුටු දෑ- 2019 ජනවාරි දෙවන සතිය




මාතර සිට බෙලිඅත්ත   දක්වා විවෘත්ත කෙරුණු අළුත් දුම්රිය මාර්ගය- මෙම මාර්ගය සැදීමේ ගෞරවයන් බෙදා ගැනීමට ලොකු අරගලයක් කරගන්නට යෙදුනු බව පෙනුනි. ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියේ ලබාගැනීමට ඇත්තේ ගෞරවයක්ද එසේ නැත්නම් මෙය පටන් ගැනීම ගැන පටන්ගත් අය ලජ්ජා විය යුතුද යන්න සොයා බැලීමට වඩා  සුදුසු කාරණයකි.
 සුද්දෝ ගියත් හරියකට අපට දුම්රිය මාර්ගයක් සාදා ගන්නට බැරිවුණ නිසා කොහාට හරි යන්නට  එවැනි මාර්ගයක් හැදුවොත් තමන් සුද්දාටත් වඩා දක්ෂයෙකු බව කෙනෙකුට පෙන්නන්ට අවශ්‍ය නම් මෙවැනි පාරක් සදුවාට ප්‍රශ්නයක් නැත. නමුත් ඒ එම ව්‍යාපෘතිය තමන්ගේ මුදලින් කරනවානම්ය. ජාතියට නයක් අරගෙන එවැනි ව්‍යාපෘතියක් කරනවානම් එසේ සිදුකල යුත්තේ  නොකරම බැරි ව්‍යාපෘතීන් බව නොකිවමනාය.

සුද්දෝ කොච්චි පාර හැදුවේ තේ රබර් සහ අනෙකුත් අපනයන භාණ්ඩ වරාය වෙත ගෙන එම සඳහාය. කොච්චි පාර හදනවිට එම භාණ්ඩ කොළඹ වරායට ගෙන ආවේ ගොන් කරත්ත වලිනි. ගෙනයන්නට වෙළඳ භාණ්ඩ තිබුනේ නැත්නම් හෝ එසේත් නැත්නම් කන්ටේනර් වාගන සහ පළල පාරවල් එකල තිබුනේ නම් සුද්දෝ දුම්ර්ය පාරවල් හදන්නට හිතන්නේවත් නැත.ඔවුන් කවදාවත් ලකුණු දාගන්නට වැඩකරන්නන් නොවේ. පද්ධතිය වඩා කාර්යක්ෂම කරන්නට වැඩ කරන්නන්ය. මේ ලඟකදී මට මගේ මිතුරෙකු අප පොලිසියේ ඉතිහාසය ගැන අපුරු පොතක් ගෙනවිත් දුන්නේය. ඔවුන් එකල පොලිසිය පටන්ගැනීමට සහ එය හරි පාරට දමා ගැනීමට කොතරම් සාකච්චා කර ඇද්ද කොතරම් කමිටු පත්කර ඒ පිළිබඳව සොයා බලා ඇද්දැයි බලන විට ඇත්තෙන්ම පුදුම සිතේ.

මම මේ දිනවල නෙටෆ්ලික්ස් චැනලයේ වයිකින්ග් ච්ත්‍රපටය බලන්නෙමි. මම පොත් කියවන විටත් චිත්‍රපට බලද්දිත් ඉතිහාස පසුබිමක නිපදවා ඇති චිත්‍රපට බලන්නට ප්‍රිය කරමි. මෙම චිත්‍රපටය බලද්දී මට හොලිවුඩ් ඉතිහාස චිත්‍රපට සහ අපගේ සහ ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට අතර තිබෙන ප්‍රධාන වෙනස අවබෝධ විය. ඒ අපගේ චිත්‍රපට වල කොතරම් දුප්පතෙකු වුවත් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. හොලිවුඩ් ඓතිහාසික චිත්‍රපටයන්හි චරිත ඇඳගෙන ඉන්නේ කතාවේ එම දර්ශනයට ගැලපෙන තරමට පරණ වූ ඇඳුම්ය. මෙම වෙනසෙන් චිත්‍රපටයට යතාත්වික පෙනුමක් ලබාදෙයි. උදාහරණයකට දැන් දෙරණේ යන කුසුමාසන දෙවි ගමු, එහි ඕනෑම චරිතයක් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. සමහර චරිත අඳින ඇඳුම් ටිකක් පරණ කර ගත්තේනම් එම දර්ශන මෙයට වඩා බොහෝලෙස යතාත්වික කරන්නට පුළුවන් බව මට සිතේ.

මෑතකදී විදේශීය සංචාරකයන් විසින් දෙල්තොට ; මහනුවර සිට කිලෝමීටර 32 ක් දුරින් ස්ථානයක් බව ගුගල් මැප් එකෙන් දැනගතිමි, පරචුට් යොදාගෙන කරන ග්ලයිදින්ග් සඳහා අපුරු ස්ථානයක් බව සොයාගෙන එම ප්‍රදේශයට පැමිණ පරචුට් වල එල්ලී රාවනා ඇල්ල හෝ කන්ද වැනි නමක් ඇති කන්දක් දෙසට පැය කිහිපයක් ග්ලයිඩ් කරන ආකාරය එම ප්‍රවෘති ක්ලිප් එකේ ප්‍රදර්ශනය කෙරින. ලංකාවේ ඕනෑම නිව්ස් එකක මෙන් එහිදීද ගමේ මිනිසුන් කිහිපාදෙනෙකු සමග මේ පිළිබඳව සාකච්චා කරන ලද අතර ඒ ඇය කිව්වේ රජය මැදිහත්වී මෙම සොයාගැනීම ප්‍රසිද්ධ කර ගමටද මෙයින් යම් ප්‍රයෝජනයක් ලබාදීමට කටයුතු කලයුතු බවය. 

අපේ මිනිසුනට අපේ රටේ ව්‍යාපාර කරන්නට උත්සාහ කර රටට  විනකරන රජය ගැන ඇත්තේ පුදුම විශ්වාසයකි. ඕකට රජය මැදිහත්වුනොත් ඔය නව සොයාගැනීම පටන්ගත් තැනම ලොප් වනවා හැරෙන්නට වෙන සිදුවන දෙයක් නැත. ඇත්තෙන්ම විය යුත්තේ පෞද්ගලික සංචාරක සමාගමක් මෙය ලොව පුරා ප්‍රසිද්ධ කර එලෙස ගයිදින්ග් කරන කණ්ඩායම් මෙම භූගෝලීය පිහිටීම ගැන දැනුවත් කර කණ්ඩායම් සංචාරයන් සන්විශානය කිරීමයි. කාමර කුලියට දීම ආහාර ලබාදීම වැනි අනෙක් සේවාවන්ගෙන් සහ air b&b activity guide වැනි සම්බන්ධා වීමකින්  ගමේ අයටද යම් ප්‍රයෝජනයක් මේ මඟින් ලබාගත් හැකි වන්නේ එවිටය.

පසුගියදා මහනුවර සිදු වූ ගිණි ගැනිම සහ එක් පුද්ගලයෙකු විසින් තම පවුල බේරා ගැනීම පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් විය. එතනදි ඔහුට උදව් කළ මහා මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් තමන්ගෙ දෙවිවරුන් බවද තමන් එදින තම දෙවිවරුන් පියවි ඇසින් දුටු බවද එම පියා ෝහලේ දී ප්‍රකාශ කරනු මම රූපවාහිනියෙන් දුටුවෙමි.
ඇත්තෙන්ම ඔහු කළ වීර ක්‍රියාව ඇමරිකාවේ හොලිවුඩ් හී ිත්‍රපට නිෂ්පාදනය කරද්දී නලුවන්ට යම්   ත්‍රාසජනක දර්ශනයක්  කිරීමට සිදුවූවිට පාවිච්චි කරන වෘතිය  stuntmen වරුන්ටත් වඩා ත්‍රාසය උපදවන බව  නොකිවමනාය.
ඔහුට දැන් නිවාස ලබා දෙන්නට ළමයි පාසල් වලට දමා දෙන්නට උදව් කර ලකුණු දමා ගන්නට රූපවාහිනියෙන් පෙන්වන දේශපාලඥයන්ද උත්සාහ කරනු පෙනේ.
නමුත් මෙම සිද්ධියේදී යට ලැබුණු විශාල ප්‍රසිද්ධිය පසුපස සැඟවී යන අප විසින් පරික්ෂා කලයුතු තවත් කාරණා ඇත්තේය.
එයින් ප්‍රධානම කාරණයක් වන්නේ මේ නගරය මැද සිදු වූ ගිනි ගැනීමේ දී එම ස්ථානයට  පැමිණිය යුතු නාගරික ගිනි නිවන හමුදාවට කුමක් සිදුවිද  යන්නයි.
මෙම සිද්ධිය සිදු වන්නේ මහනුවර නගර මධ්‍යයේය. එම ස්ථානයට ඉතාමත් ආසන්නයේ ගිනි නිවන හමුදාවේ ෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් ඇත සාමාන්‍යයෙන් කෙනෙකු මෙම  මධ්‍යස්ථානයක  සිට වේගයෙන් ඇවිද ගෙන පැමිණියේ වුවද මෙම මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණීමට විනාඩි දහයකට වඩා ගත විය නොහැක එසේනම් ගිනි නිවන හමුදාවේ පිරිස් සිද්ධිය අවසාන වන තෙක් අපට දක්නට ලැබුනේ මන්ද?

එසේ අපට ඔවුන් ද දක්නට නොලැබුණ ලැබීමට වඩා අප සමාජයට විනකරන තවත් වරදක් මෙතන සැඟවී ගොස්  ඇත ඒ මේ සම්බන්ධව මෙසේ නිවන හමුදාව ඔවුනට උදව් කිරීමට පැමිණීමට නොහැකි වීම පිළිබඳව මහනුවර නගර සභාවෙන් හෝ ගිනි නිවන හමුදාවෙන්  කිසිම කෙනෙකු අසනවා විමසනවා අපට දක්නට නොලැබීමයි.  අඩු තරමෙන් මාධ්‍යවලින් පවා මෙලෙස ගිනි නිවන හමුදාවේ පමාවා ගැන කිසිම විමර්ශනයක් කරන බවක් මා නම් මෙතෙක් දැක්කේ නැත
පමා වීම තම රාජකාරිය වේලාවට නොකිරීම සහ අකාර්යක්ෂමතාවය අපගේ රට තුළ ප්‍රශ්නයක් නොවන බවක් එසේත් නැත්නම් එය සාමාන්‍ය තත්වය බවට පත්වී ඇති බව පත්වී ඇති මෙයින් හැඟෙන්නේ ද?

Saturday, January 5, 2019

සතියේ ඇසු දුටු දෑ - ජනවාරි පළමුවැනි සතිය.




පසුගිය සතියේ ඇසු දුටු දෑ

මේ අවුරුද්දේ ,මම සෑම සතියකම අවසානයේ; බොහෝ විට සෙනසුරාදා, එම සතිය තුල මට අසන්නට සහ දකින්නට ලැබුණු ප්‍රවෘත්ති මාතෘකාවන් 5 ක් සම්බන්ධව කෙටි විග්‍රහයක් කරන්නට සිතුවෙමි. මුළු බ්ලොග් එකම වචන 500 කට සීමා කරන්නට වෙරදරන මගේ ප්‍රතිපත්තිය නිසා එක විග්‍රහයක් වචන 100 කට සිමා කරන්නටත් සිතුවෙමි. මේ එහි පළමුවැනි එපිසෝඩ් එකයි.
1.කුමාර ගේ ඉතිහාසය පිළිබඳව වූ හෙළිදරව්ව සහ ඔහු පසුව එම චෝදනාව පිළිගැනීම පසුගිය සතියේ අපගේ ප්‍රවෘත්ති අතර මුල් තැනක් ගත්තේය. ඔහු පෙනෙන විදිහට 3 වරක් හමුදා රවට්ටා ඒවාට බැඳී පැනගොස් ඇත. අපොස විභාගයේ ඔහුගේ නියම ප්‍රතිපලය වූ s 3 ඉතා ඉහක ප්‍රතිපලයක් ලෙස කූට සහතික මඟින් වෙනස් කරගෙන ඇත. මෙම හෙළිදරව්ව අපේ හමුදා වල පරිපාලනයෙත් බොහෝ දුර්වල කම් පෙන්වා දෙයි. වරක් දෙවරක් නොව 3 වරක්ම හමුදාවන් රවටන්නට මෙවැනි බොහෝ පිටිසර ඉතාමත් දුර්වල අධ්‍යාපනයක් තිබෙන කෙනෙකුට හැකි වීම හමුදාවල counter intelligence පිළිබඳව බොහෝ දෑ කියයි.
2.දෙවැනි විග්‍රහයත් නාමල් කුමාර සම්බන්ධයෙන්ම ලියන්නට සිතුනේ ඔහු හඳුන්වාදීමට මාධ්‍ය ආයතන පාවිච්චි කරන තරාතිරම පිළිබඳවය. බොහෝ නාලිකා ඔහුව හඳුන්වා දෙන්නේ දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක වරයා ලෙසය. මෙම හැඳින්වීම දුටුවිට ඕනෑම කෙනෙකුට එක්වරම හිතට නැගෙන්නේ රජයේ යම් පත්වීමක් බවය. මෙය අන්තර්ජාතික මාධ්‍ය සඳහා කෙනෙකු වෙනත් භාෂාවකට පරිවර්තනය කළහොත් එය director operations,anti corruption brigade වැනි තේරුමක් පහසුවෙන්ම දෙන්නට පුළුවන. එය මොහු විසින් ප්‍රසිද්ධියේ කියන දෑ සමග ගත්තොත් මේ හෙළිදරව්ව කරනුයේ රජයේ උසස් නිලධාරියෙකු බව නිතැතින්ම සිතනු ඇත. මෙය අප රටට ඉතාමත් අහිතකර ප්‍රවෘතියක් වනු ඇත. අප නව පන්නයේ බනානා රිපබ්ලික් එකක් යැයි ඔවුන් සිතනු අනිවාර්යවේ. මෙවැනි ප්‍රවෘත්ති කියන විට මාධ්‍ය ආයතන මීට වඩා ප්‍රවේශම් විය යුතු බව අප කිවයුතු නොවේ.
3.තුන්වැන්නත් නාමල් කුමාර ගැන ලියන්නට කරුණු තිබුනත් ඔහු වැනි ප්‍රසිද්ධිය සොයා ඕනෑම දෙයක් කරන්නෙකුට තවත් ස්වල්ප හෝ ප්‍රසිද්ධියක් ලබාදීම නොනිසි නිසා මම ඊයේ ප්‍රවෘත්ති වලට දුටු සේනා දළඹුවා මර්ධනය සඳහා අපේ කෘෂිකර්ම නිලධාරින් අධි තාක්ෂණය යොදාගැනීම ගැන ලියන්නට සිතුනි. මෙම වසංගතය මර්ධනය කිරීම සඳහා drone තාක්ෂණය යොදා ගැනීම පිලිබඳ ක්ලිප් එකක් මම දෙරණේ නිව්ස් වල දැක්කෙමි. එහෙත් ඒ ඉසින්නේ මොනවාදැයි ඔවුහු කිසිවිටෙකත් හෙළි කලේ නැත.
ඇත්තෙන්ම වගකීමක් ඇතිව වැඩකරන  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් හෝ මාධ්‍ය ආයතනයක් නම් ඔවුනට කරන්නට තිබුනේ එම armyworm ( හමුදාවක් මෙන් පැමිණ සියල්ල විනාශ කරන නිසා) දළඹුවා මර්ධනය කර ගැනීම සඳහා කුමන දෑ කලයුතු දැයි අප දැනුවත් කිරීමයි. මා සොයාගත් කරුණු අනුව මෙම සතාට සත්ව නාශක බෙහෙත් ඉසීම භයානකය. මක්නිසාද එවිට උන්ගේ බිත්තර කා දමා උන්ගේ පැවැත්ම නැති කරන ලේඩි බර්ඩ් වැනි කුඩා සතුන්ද එම බෙහෙත් වලින් විනාශ වන බැවිනි. එවිට සාමාන්‍යයෙන් සිසිල් දේශගුණික තත්වයක් ඇති කාලවල සිදුවන මෙම විනාශය නොනැවතී සිදුවීමට ඉඩ තිබෙන නිසාය.
4.අග්‍රාන්ඩුකාරවරුන් පත්කිරීම - මේ පත්කිරීම් දුටුවිට අපගේ රට තිබෙන්නේ ලෝකයේ කොතරම් පහල තත්වයක දැයි හිතාගන්නටත් බැරි සෙයකි. තමන්ගේ දේශපාලන සතුරෙකුට විරුද්ධව ඉඳහිට ප්‍රවෘත්ති සාකච්ඡා තබන නිසා පත්කළ වුන් දෙදෙනෙකි. තමන්ගේ මිතුරෙකුට මන්ත්‍රී ආසනයක් ලබාදීම සඳහා පත්කළ එක අයෙකි. බොහෝවිට තමන්ගේ පවුලේ කෙනෙකුට ඡන්දය ඉල්ලන්නට ඉඩ ලබාගැනීම සඳහා පත්කළ අයෙකි. කුමන හේතුවක් නිසා පත්කළේ දැයි සිතාගන්නට බැරි එක අයෙකි. මෙවැනි විහිළුකාර වැඩ වලට බිලියන ගණනක් වියදම් කර ජනතා මුදල් වියදම් කරන රටක් ලෝකයේ කොහෙවත් තිබේදැයි මට නම් සැක සහිතය.
5.අවසාන  ප්‍රවෘත්තිය සොනාලි නිලියට ගෙයක් දීමයි. අසරණ මිනිසුනට නිවාසයක් ලබාදීම ඉතාමත් ගරුකටයුතු වැඩකි. නමුත් ඒ තමන්ගේ මුදලින් දෙනවා නම්ය. එසේ නැත්නම් තමන් දන්නා හඳුනන කණ්ඩායමකින් තමන් කරන්නට යන මෙහෙය පැහැදිලි කර ඔවුන්ගේ කැමැත්තෙන් මුදල් එකතුකර අසරණ කෙනෙකුට නිවසක් ලබා දුන්නත් හොඳ වැඩකි. නමුත් ඊටත් වඩා අසරණ මිනිසුන්ගෙන් ලබාගන්නා නොයෙකුත් බදු මුදලින් තමන්ට සංතෘප්තියක් හෝ ලකුණු දා ගැනීමට එසේ කරන එක නම් හොඳය කියන්නට බැරිය. තමන් අඳුරන එවැනි හොඳ වැඩකට මුදල් යෙදවීමට කැමති කෙනෙකුගෙන් මුදල් ලබාගෙන එය කලේ නම් කාටවත් වැරද්දක් කියන්නට නොහැකිය.
මෙහි අනික් ප්‍රශ්නය කලාකරුවන් අසරණ වූ විට පමණක් මෙහෙම උදව් කිරීමට දේශපාලඥයන්ගේ ඇති කැමැත්තය. පොදු මුදලෙන් දෙනවා නම් ලැබිය යුත්තේ වැඩියෙන්ම අවශ්‍ය කෙනාට මිස දුන්විට වැඩියෙන්ම ප්‍රසිද්ධිය ලැබෙන කෙනාට නොවේ.

Friday, January 4, 2019

ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් පාලනය කිරීම 1




ගිනි බොක්කේ මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම.
මම අවුරුදු 33 ක නාවික සේවයෙන් පසුව විශ්‍රාම ගෙන සතියක් ඇතුලත මා සමග නාවික හමුදාවේ සේවය කල මට පෙර විශ්‍රාම ගොස් සිටි  මිත්‍රයකු මාර්ගයෙන් මට පෞද්ගලික ආයතනයක රැකියාවක් සදහා ආරාධනාවක් ලැබිණ.

කන්ද උඩරට මහනුවර හැඳී වැඩී පදිංචි වී සිටි මම, මගේ අවුරුදු 33 ක සේවා කාලයම සේවය කර තිබුනේ නිවසින් පිටය. මාසයකට වරක් දෙකක් දවස් දෙක තුනක් නිවසේ සිටි කාලය හැර අනෙක් මුලු  කාලයම වාගේ ගත වී තිබුනේ සේවය කරන ස්ථානවලය. මේ නිසා මම විශ්‍රාම ගන්නා තෙක් බලා හිටියේ ගෙදරට වී නිදහසේ කාලය ගත කිරීමටය. එකල මා සභාපතිවරයාව සිටි මහනුවර ටෙනිස් සමාජයේ සෑම දිනකම පාහේ ටෙනිස් ක්‍රීඩා කරන්නටත්, මා ආසා කරන පොත් පත් කියවීමට හා ලිවීමටත්, උද්‍යානය මනා ලෙස පවත්වාගෙන යාමටත් විශාල බලාපොරොත්තු සිතේ පුරවාගෙන  සිටියෙමි.

එහෙත් එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප ඇසූ පමණින්ම මගේ ඒ නිසංසල ජීවිත බලාපොරොත්තු එක්වරම සම්පූර්ණයෙන්ම පසෙකලා මම ඔවුන් සමග එකතුවීමට එකඟ වුනෙමි. ඒ එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප මා අවුරුදු 33 ක් සේවය කර හමුදාවේ ධජ නිලධාරියෙකු තෙක් උසස්වීම් ලැබ ලබා ගත්තාවූ වැටුප මෙන් 5 ස් ගුනයකටත් වඩා වැඩිවීම නිසාය.

මම අප්‍රේල් මස 25 වනදා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (AGMS) උපදේශක වරයෙකු වශයෙන් සේවයට බැඳීම සිදුවූයේ මේ ආකාරයටය. මා එම ආයතනයේ සේවයට බැඳෙන විට එහි මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් වූයේ,

1.බටහිර ඉන්දියානු සාගරයේ මාස ගණන් මුහුදේ ගතකර; සමහර විට මාස 8/12 දක්වා, බල මාළු දීර්ඝ ලයින් වලින් අල්ලන ලෝන්ග් ලයිනර්ස් නැමැති විශාල ට්‍රෝලර් යාත්‍රා වලට මුහුදු කොල්ලකරුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට සන්නද්ධ මුහුදු ආරක්ෂකයින් යෙදවීම.

2.බටහිර ඉන්දියානු සාගරයේ මුහුදු කොල්ලකරුවන්ගේ අවදානමක් ඇතැයි අන්තර් ජාතික ආයතන මගින් දැනුම් දී ඇති  කලාපය හරහා යන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සදහා නෞකාවල භෞතිකව ගමන් කරන මුහුදු ආරක්ෂකයන්ගේ ආයුධ කලාපයේ කෙලවරදී ආරක්ෂා සහිතව තැන්පත් කර තැබීම සදහා ගබඩා පහසුකම් සැපයීම.

3.මුහුදු කොල්ලකරුවන් ක්‍රියාකාරීයැයි අදාල අන්තර් ජාතික ආයතන මගින් ප්‍රසිද්ධ කරඇති ප්‍රදේශ තුලින් ගමන් කරන වෙළඳ නෞකා වලට ආයුධ සහිත මුහුදු රැකවලුන් (sea marshals) සැපයීම.

4.ගාල්ලේ, සුඩානය අසල මුහුදේ සහ මැද පෙරදිග අසල, එකල තිබූ මුහුදු කොල්ල කරුවන් ක්‍රියාත්මක වූ ප්‍රදේශය වටා ආරක්ෂිත කලාපයෙන් බැහැරට යන නෞකා වලින් ආයුධ එකතුකර ගැනීම සහ කලාපයට ඇතුලු වන නෞකා වලට ආයුධ සද්නද්ධ රැකවලුන් ලබාදීම සදහා සුරක්ෂිත ආයුධ ගබඩා සහ රැකවලුන්ට නවාතැන් පහසුකම් ලබාදීම.

මා ආයතනයට සම්බන්ධ වන විට මෙම කටයුතු සියල්ලම පාහේ ක්‍රියාත්මක වෙමින් තිබුණි. මා පැමිණෙන විට ආයතනයේ සභාපතිවරයාගේ පැය විසි හතරේම වැඩ කරන ව්‍යාපාර ඥානය නාබි ගත වී තිබුනේ අප එකල ක්‍රියාත්මක වී සිටි බටහිර ඉන්දීය සාගරයෙන් බොහෝ දුර පිහිටා තිබූ අප්‍රිකා මහා ද්වීපයේ අනෙක් පැත්තේ ගිනි මුහුදු බොක්ක වෙතය.

ගිනිබොක්ක යනු අත්ලාන්තික් සාගරයේ පිහිටි නයිජර් සහ වෝල්ටා ගඟවල් මුහුදට ගලන දූපත් බොහෝ ගණනක් ඇති පහත රටවල් වල දේශ සීමාවන් හා ගැටෙන මුහුදු බොක්කකි.

ලයිබීරියාව, අයිවරිකෝස්ට්, ඝානා, ටෝගෝ, බෙනින්, නයිජීරියා, කැමරුන්, ඉක්විටෝරියල් ගිනි, ගැබොන්, සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ, කොංගෝ සමූහ ආණ්ඩුව, ඩී.ආර්.කොංගෝ සහ ඇන්ගෝලා යන රටවල් මෙම බොක්ක වට පිහිටි රටවල්ය.

මෙම බොක්කේ 2011 වන විට මුහුදු කොල්ල කෑම් අධිකව සිදුවන්නට පටන් ගත්තේය. 2013 පමණ වන විට ඔවුන් විසින් කොල්ල කන්නට උත්සාහ කරන ලද නැව් ප්‍රමාණය වසරකට 100 ක් පමණ විය. නයිජීරියාව ලෝකයේ ප්‍රධානතම තෙල් නිපදවන්නෙකු නිසා මෙම බොක්කෙන් නයිජීරියාවේ වරාය වලට යන එන නෞකා වලට මෙම භයානක තත්වය තදින්ම බලපෑවේය. ඒ පමණක් නොව අවට රාජ්‍ය වලද නාවික වෙළදාම මෙම ප්‍රශ්නය නිසා සීඝ්‍ර පසුබෑමකට ලක්විය. 

උදාහරණයක් වශයෙන් අසල ඇති බෙනින් සමූහ ආණ්ඩුවේ කොටොනු වරායේ වාණිජ නාවික කටයුතු ඊට පෙර අවුරුද්දට වඩා 70% කින් අඩු විය.

අපේ පොලිසිය


මේ ලඟකදී මම අප රටේ හමුදාවන් දියුණු කල යුත්තේ කෙසේදැයි සිතා ඒ පිළිබඳව කෙටි සටහනක් ලිව්වෙමි. ඉන්පසු අපගේ පොලිසිය කුමන ආකාරයෙන් වෙනස් කළහොත් ජනතාවට වැඩියෙන් සේවය කල හැකී දැයි කල්පනා කලෙමි. මේ එහි ප්‍රතිපලයයි.
.  
1.  සෑම රාජකාරියේ සිටින රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුගේම ඔහුගේ ඉදිරිය පෙනෙන පරිදි කැමරාවක් සවි කිරීම. (දැනට මෙම ක්‍රමය ඇමරිකාවේ ආරම්භ කර ඇත) . මෙමඟින් පොලිස් නිලධාරින් රාජකාරි වෙලාවලදී කරන කියන දෑ පටිගත වන අතර ඔවුන් යම් වැරදි වැඩක් කරන්නේ නම් හෝ දුෂණයේ යෙදෙන්නේ නම් එය සොයාගත හැක.
2.  ප්‍රධාන මාර්ග, හන්දි සහ සංඥා එළි යනාදී මාර්ග නීති කඩකල හැකි සෑම තැනකම පාහේ  සී.සී.ටී.වී. සවිකර සුළුවෙන් හෝ නීති කඩන්නන්ට එමගින් දැඩි දඬුවම් පැමිණවීම. මෙම ක්‍රමවේදය පුළුල් ලෙස යොදාගැනීමෙන් පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් නොයොදා නිතිය සහ සාමය ආරක්ශා කිරීමට හැකියාව ලැබේ.
3.  රථ වාහන පාලනය සහ අපරාධ පරීක්ෂණ සදහා නව දියුණු තාක්ෂණය යොදා ගැනීම. .සැම දුම්රිය හරස් පාරකම ආරක්ෂණ ක්‍රම වේදයක් අතිකිරීමද මෙයට ඇතුළු වෙයි.
4.  අපරාධ සහ මාර්ග අනතුරු වැලැක්වීම, නව ක්‍රමවේද යොදාගැනීම  සහ අපරාධ විසඳීම  මාපකයන්  ලෙස ගෙන (YOY), පළාත් භාර නිලධාරින් , දිස්ත්‍රික්ක ප්‍රධානින් සහ  පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුලු කොට්ඨාශ භාර නිලධාරීන්ට දිරිගැන්වීම් ලබාදීම. ඔවුන්ගේ රැකියාවේ දියුණුවද මේ මත රදා පවතින ලෙසට ක්‍රමවේද සකස් කිරීම.
5.  පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස නීති උපාධිධාරීන් පමණක් පත් කිරීමට ක්‍රම වේදයක් ඇතිකිරීම. මෙම සුදුසුකම් සඳහා පොලිසිය තුලින්ම නීති පිටය හෝ නීති විද්‍යාලය මගින් පාටමාලාවක් පවත්වා එයින් හොඳින් සමත්වන්නන් තෝරාගැනීමෙන් දැනට පොලිසියේ සිටින නිලධාරින්ට අසාධාරණයක් සිදු නොවනු ඇත.
6.  සැම පොලිස් ස්ථානයකම කටයුතු කරන ආකාරය මාස තුනකට වරක් පරික්ෂාකර ඒවා වඩා හොඳට කරන්නේ කෙසේදැයි ඔවුන් සමග සාකච්චා කිරීමටත් ඔවුන්ගේ රාජකාරි වඩාත් කාර්යක්ෂමව කළහැකි ආකාරයන් යෝජනා කිරීමට 10 දෙනෙකුගෙන් පමනයුත් කමිටුවක් පත්කිරීම. මෙම කමිටුවට යම් නිශ්චිත පුද්ගලයන් පත්කිරීමට ක්‍රමවේදයක් සැලසීමෙන් මේ සඳහා අනවශ්‍ය දේශපාලන පත්වීම් නැවැත්විය හැක.උදාහරණයක් වශයෙන්

·      කොට්ටාශයේ වැඩියෙන්ම ආදායම් බදු ගෙවන තිදෙනා
·      කොට්ටාශයේ වැඩියෙන්ම විශ්‍රාම වැටුප් ලබාගන්න රජයේ විශ්‍රාමිකයන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් වගාකරන ගොවියන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම සේවකයන් ගණනකට රැකියාවන් ලබාදී ඇති පුද්ගලයන් දෙදෙනා යනාදී වශයෙන්
පත් කිරීමට අණ පනත් ඇතිකළ හැක්කේය.
 
7.  මෙලෙසම පොලිස් ප්‍රදේශද කුඩා කොටස් වලට කඩා ඒවායේ වගකීමද කනිෂ්ඨ නිලධාරීන්ට ලබා දී ඔවුනටද ඉහත පරිදි දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම.
8.  දිස්ත්‍රික්කයකට එක බැගින් STF කඳවුරු පිහිටුවා ඒ සැම කඳවුරක් හා සම්බන්ධව ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමක් හෙලිකොප්ටරයක් සහිතව ඇතිකිරීම. යුද්ධය නිමා වී ඇති නිසා මෙම හෙලිකොප්ටර අවශ්‍යතාවය ගුවන් හමුදාවෙන් ලබාගත හැකි අතර දිස්ත්‍රික්කය තුල ඕනෑම හදිසි අවශ්‍යතාවයකට විනාඩි 10 ක් ඇතුලත මෙම ක්ෂණික විහිදුම් කණ්ඩායමට පැමිණිය හැකි වන පරිධි එය සංවිධානය කිරීම.
9.  පොලිස් වාර්තා ලබාගැනීම සහ රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඔන්‍ ලයින් කළහැකි වන ආකාරයට; පොලිස් කාර්යාල වෙත නොයා කරගැනීමට හැකිවන සේ නව තාක්ෂනය යොදා ක්‍රම වේදයක් ඇතිකිරීම
මේ අපේ පොලිසියට මගේ wish list එකයි.

Thursday, January 3, 2019

අනෙකුත් ගිවිසුම්





.........මෙම රටවල් දෙක ; චීනය සහ කොස්ටාරිකාව,  ඇතිකරගෙන තිබෙන ගිවිසුම් දෙස බලනවිට අපට කරුණු කිහිපයක් නිරීක්ෂණය කල හැක. ඉන් පළමුවැන්න, මෙම ගිවිසුම් බොහොමයක් සිදුව ඇත්තේ මෑත කාලයේ, එනම් 2000 වසරට පසුව බවයි. අනෙක් කාරණය මෙම ගිවිසුම් ගතවීම් වලට රටේ ප්‍රමාණය , තම රටේ භූගෝලීය කලාපය  හෝ හැකියාවන් බල නොපාන බවයි. අනෙක් කාරණය කාලයත් සමගම ගිවිසුම් ගතවීමේ ප්‍රවනතාවය එසේත් නැත්නම් සිඝ්‍රතාවය  අන්තර්ජාතික වශයෙන්  වැඩිවී ඇති බවයි.

මෙම උදාහරණ කිහිපයෙන්ම මෙම ගිවිසුම් තවත් වර්ග කිහිපයකට බෙදිය හැකි බව පෙනේ. ඒ ගිවිසුම්ගත වන රටවල් ප්‍රමාණය අනුවය. ඒ අනුව මෙම ගිවිසුම් රටවල් දෙකක් අතර, රටවල් කිහිපයක් අතර, රටවල් කිහිපයක සංවිධානයක් සහ රටක් අතර[1] සහ  රාජ්‍ය සංවිධාන දෙකක් අතර යනුවෙන් වර්ගීකරණය කල හැකි වෙයි.

මේ අතර ගිවිසුමේ අන්තර්ගතය සහ එහි අරමුණු  අනුවද ගිවිසුම් අතර වර්ගීකරණයක් සිදුකල හැක. ඒ අනුව
·        ආර්ථිකය සහ මුල්‍යමය ගිවිසුම් ගත වීම - එක්සත් යුරෝපය සහ එක්සත් රාජධානිය
·        ආර්ථික එකතුව -  එක්සත් යුරෝපය
·        පොදු මුදල් - මධ්‍යම අප්‍රිකාවේ රටවල් 6 ක් විසින් ඇතිකරගත් එකම මුදල් වර්ගයක් භාවිත කිරීමේ ගිවිසුම[2]  
·        පොදු වෙළඳපොල - ඒසියාන්
·        රේගු එකතුවන් - එක්සත් යුරෝපය
·        බහු රාජ්‍ය නිදහස් වෙළඳ කලාප - දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු රාජයයන් අතර පොදු වෙළඳපොළ [3]

මෙලෙස අන්තර් රාජ්‍ය නිදහස්  වෙළඳ ගිවිසුම් 285  ක් පමණ අන්තර්ජාතික වශයෙන් තිබීමෙන් පමණක්ම අපට කරුණු කිහිපයක් ගම්‍ය වෙයි.

·  
      මෙම ගිවිසුම ගතවීම් මෑත කාලිනව වඩා වේගයෙන් සිදුවන බව  
·        මෙලෙස ගිවිසුම ගත වීමෙන් බොහෝ ප්‍රයෝජන ගිවිසුම ගතවන රට වලට තිබිය යුතු බව. එසේ නැත්නම් මෙලෙස විශාල වියදමක් සහ මහන්සියක් යොදවා මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික වැඩ පිළිවෙලවල් කරන්නට රටවල් පෙළඹීමට ද ඒවා ඇතිකරගන්නා ප්‍රමාණය වැඩි වන්නට ද  හේතුවක් නොමැත.  
·        ඒවා බොහෝ කලක් පැවතිමෙන්ම එම ගිවිසුම පිළිබඳව පාර්ශව කරුවන්  අසතුටට පත්වන්නේ කලාතුරකින් බව
·        ලෝක වෙළඳ සංවිධානයේ අවසාන බලාපොරොත්තුව වන මුලු ලෝකයම එකම නිදහස් වෙළඳ කලාපයක් කිරීමේ සිහිනයට ළඟාවීමට තවත් බොහෝ කලක් ගතවන බව පෙනෙන නමුදු එවැනි කලාප තැනින් තැන බිහිවෙමින් එම අවසාන ප්‍රතිපලය දෙසට ලෝකය ගමන් කරන බවට
·        මෙලෙස ගිවිසුම් ගතවීමට රාජයයන් දෙකේ ප්‍රමාණය හෝ ඒවායේ ආර්ථික බලය පාලක සාධකයක් නොවන බව..........


[1] එසියානු සමුහය සහ චීනය අතර
[2] කැමරුන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චාඩ්, ඉක්විටෝරියල් ගිනීයා, ගැබොන්, කොන්ගෝ ජනරජය
[3] 19994 පටන්ගත් මෙම පොදු වෙලනපොලට රටවල් 21 ක් අයත් වෙයි.

Tuesday, January 1, 2019

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ කොස්ටාරිකාව




...........අපගේ අනෙක් උදාහරණය වන කොස්ටාරිකාව, මේ අතර, ඇතිකරගෙන තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් පහත පරිදිය.

1.     කොස්ටරිකාව සහ කැනඩාව (2002)
2.     කොස්ටරිකාව සහ චිලී          (2002)
3.     කොස්ටරිකාව සහ චීනය       (2011)
4.     කොස්ටරිකාව සහ කැරිබියානු සමූහය (2005)
5.     කොස්ටරිකාව සහ ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ (2005)
6.      කොස්ටරිකාව සහ ගයනාව       (2006)
7.      කොස්ටරිකාව සහ බාර්බඩොස්  (2006)
8.       කොස්ටරිකාව සහ බෙලිස්              (2011)
9.       කොස්ටරිකාව සහ ජැමෙයිකාව     (2015)
10.                          කොස්ටරිකාව සහ කොලම්බියා (2016)
11.                           කොස්ටරිකාව සහ ඩොමිනිකානු ජනරජය (2002)
12.                           කොස්ටරිකාව සහ EFTA (2014)
13.                           කොස්ටරිකාව සහ නොර්වේ -2014
14.                           කොස්ටරිකාව සහ ස්විට්සර්ලන්තය - 2014
15.                           කොස්ටරිකාව සහ ලීච්ටෙන්ස්ටේන්  - 2014
16.                           කොස්ටරිකාව සහ අයිස්ලන්තය     - 2014
17.                           කොස්ටරිකාව සහ එල් සැල්වදෝර් තීරුබදු සම්මුතිය (1963, නැවත පනගැන්වීම –    1993)
18.                           කොස්ටරිකාව සහ යුරෝපියානු සම්මුතිය (2013)
19.                           කොස්ටරිකාව සහ ගෝතමාලා තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
20.                           කොස්ටරිකාව සහ හොන්ඩරාස් තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
21.                           කොස්ටරිකාව සහ මෙක්සිකෝව (1995)
22.                           කොස්ටරිකාව සහ නිකරගුවා තීරුබදු සම්මුතිය (1963,  – 1993) නැවත පනගැන්වීම
23.                           කොස්ටරිකාව සහ පැනමාව (1973, නැවත සාකච්චා කර පුළුල් කරන ළදී - )
24.                           කොස්ටරිකාව සහ පේරු (2013)
25.                           කොස්ටරිකාව සහ සිංගප්පුරුව (2013)
26.                           කොස්ටරිකාව සහ එක්සත් ජනපදය (2009)
මේ දිනවල කොස්ටාරිකාව පහත රටවල් සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙමින් පවතී.
1.     කොස්ටරිකාව සහ සුරිනාම්
2.     කොස්ටරිකාව සහ ඇන්ටිගුවා බාර්බුඩා
3.     කොස්ටරිකාව සහ  ඩොමිනිකා
4.     කොස්ටරිකාව සහ ග්රෙනාඩා
5.     කොස්ටරිකාව සහ ශාන්ත කිට්ස්, නෙවිස්
6.     කොස්ටරිකාව සහ  ශාන්ත ලුසියා
7.     කොස්ටරිකාව සහ ශාන්ත වින්සන්ට්, ග්‍රෙනාඩින්ස්
මෙතරම් අති විශාල ප්‍රමාණයක් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන ඇති කොස්ටාරිකාවට මෑත කාලයේදී සිදුවී ඇත්තේ කුමක් දැයි තරමක් ගැඹුරින්  සොයාබැලීම අපගේ මෙම අධ්‍යයනය සඳහා වැදගත් වෙයි.
1997 වසරේ අසල්වැසි රාජ්‍යයන් මෙන්ම දරුණු ආර්ථික අවපාතයකට බඳුන් වූ කොස්ටාරිකාව ඉන්පසු ශක්තිමත් ආර්ථික වර්ධනයක් දිගටම ලබාගත්තේය. 2015 වසරේ ඩොලර් බිලියන 52.6 ක් වූ එහි දල ජාතික නිෂ්පාදනය 2017 වසරේ ඩොලර් බිලියන 61.5 ක් දක්වා ඉහල ගියේය. 4%ක් 5% ක් ව තිබු උද්දමනය 2016 වසරෙදි 0.6 ට පහල ගියේය. එහි ජිවන මට්ටම දැන් මධ්‍යම ඇමෙරිකාවේ රාජ්‍යයන් අතර  ඉහලම එකකි.
කලකට පෙර කෘෂිකාර්මික ආර්ථිකයක් ව තිබේ මෙහි ආර්ථිකය මෑත කාලයේදී විවිධාංගිකරණයට ලක්වී ඇත්තේය.එය ප්‍රධාන වශයෙන්  සංචාරක ව්‍යාපාරය, විද්‍යුත් උපකරණ නිෂ්පාදනය , වෛද්‍ය  උපකරණ නිෂ්පාදනය සහ තොරතුරු තාක්ෂණ සේවා වලින් සමන්විත වෙයි. ඔවුන්ගේ රටතුල ඇති නිදහස් වෙළඳ කලාප තුල බොහෝ විදෙස් සමාගම් නිෂ්පාදන කටයුතු සඳහා කර්මාන්ත ශාලා පවත්වාගෙන යයි...........

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...