Friday, February 24, 2017

සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?







දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර සාමාජිකයිනට කරදරයක් පාඩුවක් නොවන ලෙසට සතුට සොයා යාමට ඉඩ ලබා දිමට සැමවිටම උත්සාහ කල යුතුය. 

මිනිසෙකුට සතුට සොයා යාමට කුමන දෑ තිබිය යුතුද? ඔහුට හෝ ඇයට මුලින්ම නිදහසේ, කාගේවත් පීඩනයකට ලක් නොවී ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් යනාදී  මූලික අවශ්‍යතා ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය. ඔවුන් ඒවා ලබා ගැනීමට උත්සුක වද්දී ඔවුනට සැනසිල්ලේ ඒවා සොයා ගැනීමට නීිතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. තමන්ට යම් අසාධාරණයක් හෝ වරදක් සිදු වුවහොත් යම් රාජ්‍ය යාන්ත්‍රණයක පිලිසරන පතන්නට හා ඉක්මනින් යුක්තිය පසදා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. 

තමනට කැමති, තමනට හැකි යැයි සිතෙන රැකියාවකට පුහුණු වී එම පුහුණුවට ගැලපෙන රැකියාවක යෙදීමටද එසේත් නැත්නම් තමන් කැමති ව්‍යාපාරයක් කර ආදායම් උපදවීමට ඔහුට නිදහස තිබිය යුතුය. 

රටේ සියලු දෙනාටම එක තැනකට එකතු වී ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි නිසා තමන්ට කැමති නියෝජිතයන් කණ්ඩායමක් තෝරා ගෙන එම නියෝජිතයින් කණ්ඩායම යම් කාල පරිච්ඡේදයක් තුල ජනතාව වෙනුවෙන් ජාතියේ කටයුතු කලමනාකරණය කිරීමද මෙහි අත්‍යන්ත කොටසක් වෙයි. එනමුදු මෙම නියෝජිතයින් කටයුතු කරන ආකාරය පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඔවුන්ගේ කටයුතු විවේචනය කිරීමට හා වරද පෙන්වා දීමට ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. එසේම කලා කටයුතු, ලිපි ලේඛන යනාදී .... සදහාද ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ජාතියේ ආරක්ෂාව ජනතාව විසින් පත්කරගත් නියෝජිතයින් මත පැවරෙන වගකීමක් වන අතර, එය මනා ලෙස කලමනාකරණය කිරීමද ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වෙයි.    

යම් ජාතියක් දියුණු වන්නේ මේ සියලු කාරනා සම්පූර්ණ වූ කල්හිය. ලෝකයේ ඉහත දැක්වූ විධි විධාන නොමැතිව දියුණු වූ රටක් නැත්තේය. ඒවායින් සමහරක් පමණක් ඇතිව දියුණු වන රටවල්ද ක්‍රමයෙන් මේ සියලු කාරණා සම්පූර්ණ වන පාලනයක් දෙසට ගමන් කරයි. 

මෙවැනි සමාජ ක්‍රමයක් ඇතිකර ගැනීමට අකුල් හෙලන්නෝ ඇත්තෙන්ම ජාතියේ සත්‍ය ද්‍රෝහීන් යැයි හැදින්විය හැක. උහු, ජාතියට මෙලෙස ස්වාධීනව සාර්ථක රටක් ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරියේ නැගී සිටින්නට ඉඩ නොදී ජාතියේ කකුල්වල එල්ලී ජාතිය මඩවලේම තබාගන්නට උත්සාහ කරති. 

මොවුන්ට මෙලෙස කටයුතු කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. 
  • හරි දෙය නොපෙනීම. 
  • තමන්ගේ සමාජ තත්වයට යම් තර්ජනයක් වේයැයි කල්පනා කිරීම. 
  • තමන් කරන ව්‍යාපාරයන්ට තරඟය වැඩිවේයැයි බියවීම. 
  • යම් ගතානු ගතික අදහස්වල මුරන්ඩු ලෙස එල්බ සිටීම. 
  • තමන් දරන දේශපාලන මති මතාන්තර නිරවද්‍ය බව පෙන්වීමට. 
  • සමාජයේ යම් කොටසක් තුල ජනප්‍රිය වීමට ඇති කැමැත්ත. 

එසේ නම් ජාතියක ද්‍රෝහීන් වන්නේ කුමන ආකාරයේ තැනැත්තන්ද? 

  • පොදු දේපල, ජනතාවගේ දේපල, අවභාවිත කරන්නන්. 
  • රාජ්‍ය බලයෙන් ජනතා සම්පත් දූෂිතව හා වංචනිකව පාවිච්චි කරන්නන්. 
  • රටෙහි විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටවීමට ඉඩ අරින්නන් සහ ඒ තත්වයට රට පත් කරන්නන්. 
  • රටෙහි පුරවැසියන්ට තමන්ට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙන්නන්. 
  • ජාතික ආරක්ෂාව පිළිබදව තමන්ට ලැබුනු වගකීම හරිහැටි ඉටු නොකරන්නන්. 
  • පොදු සම්පත් සියලු ජනයාට සමාන ලෙස බෙදා හැරීම වැලැක්වීමට කටයුතු කරන්නන්. 
  • මාධ්‍ය සහ කලා කටයුතු නිදහසට අකුල් හෙලන්නන්. 
  • ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු නොකරන රාජ්‍ය සේවකයන්. 
  • ලෝකයේ දියුණු රටවල් වැඩ කරන ආකාරයට අප ජාතියට වැඩ කිරීමට ඉඩ නොතබා එම දියුණුවට ඇට්ටර ලෙස අකුල් හෙලන කණ්ඩායම්. 
  • පුරවැසියනට තමනට රිසි අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අකුල් හෙලන්නන්. 

තවත් මෙවැනි ද්‍රෝහීන් වර්ග කිරීම් තිබිය හැකිද? 
   



Wednesday, February 22, 2017

මීගමුවේ මහා රාළ 3 the final episode


link for the previous episode



















මීගමුවේ මහා රාළට සෙනරත් රජු විසින් දුන් ලිපියේ මෙසේ සදහන් වේ.

"ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වූද, මහනුවර සීතාවක ත්‍රීකුණාමලය, යාපා පටුන, සත්කෝරලය, මන්නාරම, මඩකලපුව, පලුගම සහ යාල රාජ වූද, වඩමාරච්චි සහ පස්දුන් කෝරලයේ කුමාරයාද, බෙලිගම සහ ගාල්ලේ ඩියුක්වරයා වූද, කුරුවිට බටු ගෙදර සහ සතර කෝරලයේ කවුන්ට්වරයා වූද, සෙනරත් අදසින් විසින් මෙලෙසින් ලියා දන්වමි.

ඔබගේ මාර්තු 13 වන දින ලිපිය ලදිමි. එහි සියලු කරුණු හොඳින් තේරුම් ගතිමි. අප ඇති කර ගත් ගිවිසුම් සහ පොරොන්දු ඔබේ පැමිණීමෙන් හොඳින් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරමි. අපට මෙතෙක් කල් දුන් පොරොන්දු වසර 03 ක් ගත වීමෙන් පසුවත්, ඉටු වී නොමැති බව ප්‍රකාශ කරමි. මීගමුවේ මහා රාළ ශ්‍රී  ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන විට, ඕලන්ද රජයෙන් ඔහු අත එවා තිබූ ලිපිවල සඳහන් පොරොන්දු ඉක්මනින් ඉටුකරනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමි. ඔබේ පොරොන්දු එලෙසම ඉටුකරන්නේ නම්, මම පෘතුගීසින් සමග සටන් දිගටම කරගෙන යන්නෙමි.

ඔබ විසින් ඔබේ ලිපියෙහි ඉල්ලා සිටි පරිදි මගේ රාජ්‍යයේ සහ මා පිළිබඳව කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මීගමුවේ මහා රාළ මේ සමග එවන්නෙමි. අපගේ රාජ්‍ය සභාවේ ඔහුගේ ස්ථානය ගැනීමට ඔබ විසින් එවන ලද ග්‍රිස්බ්රෙඩ් වෑන් සූලන්ඩ් (Grisbread Van Zoolend) පිළිබඳව මගේ අකමැත්තක් නැති වුවද, මීගමුවේ මහා රාළ මගේ රාජ්‍යයෙන් පිට වී යාම පිළිබඳව මම මහත් දුකට සහ අසහනයටත් පත්වුනෙමි. නමුත් ඔහුද ගමනට කැමති වූ නිසාත්, ඔහු විසින් පෘතුගීසීන්ට විරුද්ධව උදව් රැගෙන පැමිණෙන බව පොරොන්දු වූ නිසා අකමැත්තෙන් වුවද මම ඔහු ඔබ වෙත එවමි.

ඔබගේ ලිපියේ පෘතුගීසීන් පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න අසා තිබුණි. මහා රාළට ඒ පිළිබඳව මගේ දැනුම සමානම දැනුමක් ඇත. රාජපාක්ෂිකභාවය පිළිබඳව ඔහු මට දිව්රා පොරොන්දු වී ඇති හෙයින්ද, ඔහු ඕලන්ද ජාතිකයෙකු නිසාවෙන්ද, දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි මීගමුවේ මහා රාළ කටයුතු කරන බව මට හොදටම විශ්වාසය.

දැනටමත් මෙම ලිපිය සටන් බිමේ සිට ලියන නිසා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට අපහසුය. මීගමුවේ මහා රාළ විසින් මේ පිළිබව පවසන බවට කරුණාවෙන් සලකන්න.
මම මේ සමග තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඔබ වෙත එවමි. ඔවුන් කරදරයක් නොමැතිව ඔබ වෙත පැමිණෙන බවටත්, ඔවුන් නිසා ඔබ සතුටට පත්වන බවටත් මා හට සැකයක් නොමැත. 2000 ක පමණ හමුදාවක් යුධ නැව් සමග ලබාදීමට ඔබට හැකිනම් ඔවුන්ගේ උදව්වෙන් මට පෘතුගීසීන් ලංකාවෙන්ම සහමුලින්ම උපුටා දමන්නට හැකිය. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
1615 මාර්තු 14 වන දින වේඬරුවේදී හදිසියෙන් මෙම ලිපිය ලීවෙමි.“

එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.

මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලයටද වඩා තමා වැදගතෙකු බව කල්පනා කර, උඬගු ලෙස හැසිරීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිවිසුම් ඇතිකර ගැනිමට අපහසු තත්වයක් උදාකර ගත්තේය.

පසුව මීගමුවේ මහා රාළ නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිෙස්ටියන් රජු ( Christian 04 th) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට පැමිණියේය.

මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මිගමුවේ මහා රාළ මෙම ගමනට තමන්ගේ නෙදර්ලන්ත බිරිඳද, ඔවුන්ගේ දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.

මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට කණ්ඩායමේ අනික් අයට බල කිරීම නිසා, එම පවුල කණ්ඩායමේ අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟා වූහ.

ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය. ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් එක්රැස් කර, ඔහුගේ හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව්වේය. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට කැමති නොවිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටියේය. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.

සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූ හෙයින්, නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා  නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කරන ලදි.

ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කරන ලදි. එසේ කරන ලද්දේ එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසාය.

මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර, ඉන්පසු ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යවන ලදහ. 

Monday, February 20, 2017

ආපදා කලමනාකරණය කිරීමට ආපදාවක් එනතුරු බලාසිටීම.




පසුගියදා කළුතර කටුකුරුන්දේ සිදු වූ ඛේදවාචකය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. අනතුරු කොතරම් වැලැක්වීමට උත්සාහ කලද  ඒවා කෙසේ හෝ සිදුවන්නේ යැයි අපට මේ වගකීමෙන් වලකින්නට බැරිය. එලෙස වගකීමෙන් ගැලවෙන්නට බැරි හේතුව මෙවැනි අනතුරු වලක්වාලන්නට පොදුජනයාගේ මුදල් වියදම් කර අපි දැනටමත් ක්‍රමවේදයන් නියමිත ස්ථානයන්හි ස්ථාන ගතකර ඇති නිසාය. 

අපි කුඩා කාලයේ සිදු වූ "ආසයි බයයි" බෝට්ටුව මීට අවුරුදු 37 කට පෙර නිල්වලා ගඟ දිගේ වෙසක් බලන්නට ගොස් පෙරලී 36 දෙනෙකු මියගිය විට ඒ පිළිබඳ ශෝක වී ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුවක් කියා සිද්ධිය අමතක කරන්නට අපට හැකියාව තිබුනේ එකල මෙවැනි සිදුවීම් වලක්වන්නට ක්‍රමවේද නියමිත ලෙස ස්ථාන ගත නොකර තිබූ නිසාය. 

නමුත් දැන් තත්වය එසේ නොවේ. මුලු රට පුරාම ආපදා කලමනාකරණයට නිලධාරීන් යොදවා ව්‍යුහයක් ඇතිකර අප බොහෝ මුදලක් ආයෝජනය කර තිබේ. ඇත්තෙන්ම මේ සදහා ඇමතිවරයෙකුද අප විසින් පත් කරගෙන ඇත්තේය. ඔහුටද ලොකු අමාත්‍යංශයකුත් අමාත්‍යාංශ ගොඩනැගිල්ලකුත්, ලේඛම්වරු, අධ්‍යක්ෂකවරු වැනි මෙකී නොකී නිලධාරීන්ද පත්කර අපි ඔවුනටද වැටුප් ගෙවන්නෙමු. දැන් ආසයි බයයි සිදු වූ ලෙසටම ශෝකය පලකර, සිංදු කියා අවසන් කිරීම සුදුසු නොවේ. 

මක්නිසාද එසේ වුවහොත් අප විසින් ඒ ආයෝජනය කල මුදල් වලින් ජනතාවට ප්‍රතිඵලයක් ලැබී නොතිබීමය. ආපදාව සිදු වූ පසු ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කෙනෙකු රූපවාහිනියට පැමිණ මියගිය අයගේ සහ තුවාල කරුවන්ගේ ප්‍රමාණයන් අපට දැන්වීමෙන් පලක් නැත්තේය. අප වුවමනාවෙන් අසා සිටින්නේ ඔවුන්ගේ ආපදා වැලැක්වීමේ ක්‍රියා තුලින් කොතරම් පිරිසක්ගේ ජීවිත බේරා ගැනීමට එසේත් නැත්නම් කොතරම් වටිනාකමක දේපලක් බේරා ගැනීමට ඔවුනට හැකි වූයේදැයි දැනගන්නටය. අප ඒ සදහා යොදවන මුදල් වලින් ප්‍රයෝජනයක් ඇත්දැයි දැනගැනීමටය. 

එසේ අපට යහපත් ප්‍රතිඵල අරගෙන දෙන්නට නම් එවැනි ආපදා කලමනාකරණයට යොදවා ඇති නිලධාරීන් තමන්ගේ ආපදා බල ප්‍රදේශයේ සිදුවන්නට ඉඩ තිබෙන ආපදාවන් ලැයිස්තුවක් සාදා ගත යුත්තේය. එම ලැයිස්තුවේ ඇති ආපදාවන් සිදුවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව (likelyhood) මීට පෙර ඒවා සිදු වී ඇති ආකාරය (pattern) අනුව ශ්‍රේණි ගත කල යුත්තේය. ඉන්පසු එම ආපදාවන් වැලැක්වීමට කුමක් කල යුත්තේදැයි විශේෂඥයින් සහ අත්දැකීම් ඇත්තන් සමග සාකච්ඡා කර මෙහෙයුම් සැලැස්මක් (action plan) සාදාගත යුත්තේය. 

මෙවැනි සැලැස්මක් සෑදීමේදී අධික මුදලක් වැයවන හෙලිකොප්ටර් සහ දොඹකර වැනි ඒවා ඇතුලත් කිරීමට පෙර වියදමක් නොමැතිව කල හැකි ක්‍රියාදාම වලට ප්‍රමුඛතාවයක් දිය යුත්තේය. 

මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් කළුතර ප්‍රදේශයේ අවුරුද්දකට වරක් මෙවැනි බෝට්ටු පෙරහැරකුත් තිබුනේ නම් මේ සදහා ආපදා වැලැක්වීමේ ක්‍රියා පිළිවෙල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ තිබුනාද? 

  • මෙම බෝට්ටු පෙරහැර ආපදාවක් වියහැකි ලැයිස්තුවේ ඉහලින්ම තිබේ. 
  • බෝට්ටු කුමන වර්ගයේ ඒවාදැයි වර්ගීකරණය කර මෙවැනි අවස්ථාවක විවිධ වර්ගීකරණයන් ගෙන් යුත් යාත්‍රාවල වන්දනා කරුවන් කීදෙනෙකු යා හැකි දැයි දැනමුත්තන් සමග සාකච්ඡා කර ලේඛන ගතකර තිබීම. 
  • බෝට්ටු වරායෙන් පිටත්වීමට පෙර ඒ නියමිත ගණනට වඩා සිටිනවාදැයි පරීක්ෂා කර අධිකව වන්දනාකරුවන් සිටින යාත්‍රාවලට මුහුදට යැවීමට ඉඩ නොදීම. 


මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් ජීවිත 16 ක් ආරක්ෂා වනු ඇත. දැන්වත්  මෙවැනි දෑ වැලැක්වීමට දැනට තිබෙන ආයතන සහ සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කල යුත්තේ අනාගතයේදීවත් මෙවැනි දෑ සිදුනොවීමටය.  

ඒ අතරම මෙම සංවිධානයන්ගේ නම ආපදා කලමනාකරණය නොව ආපදා වැලක්වීමේ හා කලමනාකරණය කිරිමේ සංවිධානය ලෙස නම් කලහොත් අඩු තරමින් දිනපතා නම දකිත්දීවත් අපට වැලැක්වීමේ වගකීමක් තිබෙන බව දිනපතා මතක්වනු ඇත.   

Sunday, February 19, 2017

සීගිරියට විදුලි සෝපානයක්?





ලඟකදී ඉබ්බන්කටුවේ පූර්ව ඉතිහාස සොහොන් බිමක් සංචාරකයන් සදහා විවෟත කරන අවස්ථාවේ සංස්කෟතික කටයුතු ඇමතිවරයා කතාවක් පවත්වනු රූපවාහිනියෙන් මම දැක්කෙමි. මෙතෙක් කලක් එය විවෘත නොකලේ ඇයිදැයි යන ප්‍රශ්නය අපට ඇති වුවද ඊට වඩා වැදගත් කාරණයක් ඔහු එහිදී ප්‍රකාශ කලේය. ඒ සීගිරියට විදුලි සෝපානයක් සවි කිරීමයි. මේ සදහා ඔහුගේ හේතු වූයේ සංචාරකයන් සදහා ගමනාන්තයන්ගේ තරඟයට මුහුණ දීමට අප සංචාරකයන් සදහා අළුත් ආකර්ෂණ සහ පහසුකම් ඇති කිරීමයි. 

සීගිරිය නැඟීමට අපහසු සංචාරකයන් සදහා විදුලි සෝපානයක් යෙදවීම ඉතාමත් කාලෝචිත යෝජනාවකි. මෙමගින් සීගිරිය නැගීමට අපහසු සංචාරකයන්ට එය නැරඹීමට මුදුනට යෑමට පමණක් නොව, සෝපානයම අළුත් ආකර්ෂණයක් බවට පත්වනවා නොඅනුමානය. 

සාමාන්‍යයෙන් තැනිතලා භූමියක අඩි 660 ක් උසට හුදකලාව වාගේ පිහිටි සීගිරිය කොතැන සිට බැලුවත් මනරම් දසුනකි. කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 477-495) විසින් තම බලකොටු මාලිඟාව ලෙස සීගිරිය ගොඩනැගුවේ ඔටුන්නට නියම හිමිකරු වූ තම සහෝදර මුගලන් කුමරු ඉන්දියාවේ සිට රැගෙන එන හමුදාවකට මුහුණදීම සදහාය. ඔහුගේ සැලසුම එසේ වුවද අවුරුදු 18 කට පසු සහෝදරයා මන්නාරම් තොටට ගොඩ බැසි විට මෙතරම් මහන්සි වී සාදාගත් බලකොටුවේ ආරක්ෂාව නොපතා ඔහු සහෝදරයාගේ හමුදාවට මුහුණදීමට පිටතට පැමිණියේ සමහර විට බුද්ධියෙන් මුහුකුරා යනවිට මෙවැනි බලකොටුවක සිට සතුරාට මුහුණදීම තමාට අවාසි සහගත බව තේරුම් ගත් නිසා විය හැක. 

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ඒවායේ ආකර්ෂණනය කර ගන්නා ප්‍රමාණය මත ශ්‍රේණි ගත කලහොත් සීගිරිය දෙවැනි වන්නේ අපේ මුහුද වෙරළවල් වලට පමණක් බව මට සිතේ. මේ නිසාම මෙතෙක් කලක් විදේශීය සංචාරකයන් මහනුවර හෝටල් වල දවසක් ගතකිරීම දැන් දඹුල්ල සීගිරියෙන් වික්ශේපනය කර ඇති බව පෙනේ. 

නැවතත් අපේ මාතෟකාව වන සීගිරියේ සෝපාව වෙත යොමුවෙමු. ඇත්තෙන්ම මෙය ඉතා හොද අදහසක් වන අතර, හැන්දෑවට ටී.වි. ප්‍රවෟත්ති වල තමන්ගේ කතාව සිත්කලු කර ගැනීමට යොදා ගත්තක් නොවන්නේ යයි මම විශ්වාස කරමි. 

ඔහු එය ඇත්තටම ප්‍රකාශ කලායැයි සිතා දැන් අපි මෙවැනි සෝපානයක යාන්ත්‍රණය දෙස නිකමට බලමු. ලෝකයේ බොහෝ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයන්හි දැනටමත් සෝපාන සවිකර ඇති නිසා සෝපානයක් සවිකල හොත් යුනෙස්කෝවෙන් ප්‍රශ්න ඇති වේයැයි අපි බිය විය යුතු නැත. සීගිරිය වැනි සංචාරක ආකර්ෂණයක මෙවැනි සෝපානයක් සවිකර ඇති තැනක්දැන් අපි පරීක්ෂා කල යුත්තේය. මේ සදහා හොදම උදාහරණය චීනයේ සන්ග්ජිලාජි හි බයිලෝන්ග්  විදුලි සෝපානයයි. මෙය මීටර් 335 ක් උසය. ඩොලර් මිලියන 19 ක් වැය කර සාදා ඇති මෙයට සංචාරකයින් 48 දෙනෙකු රැගෙන මීටර් 335 මුදුනට විනාඩි 2 කින් ලගාවිය හැක. 

මෙම සෝපානයේ උස වන අඩි 1100 ය සැසදූ විට සීගිරියේ උස එයින් 6/10 කි. චීන සෝපානයට වැයකර ඇත්තේ රුපියල් මිලියන 2850 කි. එයින් 60% ක් බැලූ විට එය මිලියන 1710 ක් වෙයි. ඇත්තෙන්ම මෙවැනි සෝපානයක උස වැඩිවත්ම පිරිවැයේ වැඩිවීමද ඝාතීය (exponential ) ලෙස සිදුවේ. මේ අනුව සීගිරියේ සෝපානයට වැයවන මුදල රුපියල් මිලියන 1710 ට වඩා බොහෝ අඩුවිය යුතුය. එය රුපියල් බිලියන 1.2 ක් පමන වේයැයි සිතමු. මෙය චීනයේ නොවන නිසා අපට 48 දෙනෙකු ගෙනයාමටත් අවශ්‍ය නොවනු ඇත. ඉහලට රැගෙන යන ප්‍රමාණයත් 20 කට පමණ අඩුකල හොත් මෙහි මූලික වියදම බිලියනයකට බොහෝ දකුණෙන් පිහිටනු ඇත. අප රටේ මෙවැනි ව්‍යාපෘතියකට අතගැසිය හැකි සමාගම් බොහෝ තිබේ. රජය ව්‍යාපෘතිය පටන් ගැනීමට පුද්ගලික අංශය සහභාගි කර ගැනීමට හොඳ වැඩපිලිවෙලක් සකස් කල යුතුය. 

මෙම ව්‍යාපෘතිය අපේ ඇල්මැරී ඇති සංචාරක ව්‍යාපාරයට හොඳ උත්තේජකයක් ලබාදිය හැකි බව මට හොඳටම විශ්වාසය. නමුත් මෙවැනි ව්‍යාපෘතියක් රජය කරන්නට නම් සිතන්නටවත් හොද නැත්තේ අවසානයේ වැඩෙත් හරියට නොවී දූෂණ වංචා  චෝදනාත් ඇතිවී අවුල් ජාලයක් ඇතිකර නොගැනීමටය. 

Saturday, February 18, 2017

මීගමුවේ මහා රාළ - 2 කොටස





link for the first part

http://lakshmanillangakoon.blogspot.com/2017/02/1_15.html






මෙකල පලුගම ප්‍රදේශයේ පාලකයා රජුට විරුද්ධව පෘතුගීසී සමග කුමන්ත්‍රණය කරන බව දැන ගන්නට ලැබී, ඔහුට රජු වෙත පැමිණෙන ලෙස රජු විසින් අණ කරන ලදි. ඔහු රාජ අණට අනුව නොපැමිණි හෙයින් මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ යටතේ විශාල හමුදාවක් එම ප්‍රදේශයට යවන ලදි. රාජ්‍ය හමුදාව පලුගම ප්‍රදේශයට පැමිණි පසු එම යුව රජු හමුදාවට යටත් වී, හමුදාවට වන්දි වශයෙන් විශාල මුදලක්ද ගෙවා පසුව කන්ද උඩරට මහා රජු බැහැ දැකිමට පැමිණියේය.

මෙහිදී බොහෝමයක් ප්‍රාදේශීය පාලකයන් ගෙන් සැදුම් ලත් විනිශ්චය සභාවකදී ඔහුට විරුද්ධව ඇති චෝදනා පරීක්ෂා කරන ලදි. එම චෝදනාව වූයේ පෘතුගීසී සමග කන්ද උඩරට රජු මරන්නට කුමන්ත්‍රණය කිරීම, එයට ත්‍යාග වශයෙන්ද කන්ද උඩරට රජුගේ දූ කුමරිය විවාහ කර ගැනීමට පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලා සිටීම හා කන්ද උඩරට රාජ්‍යයේ කොටසක් මඩකලපුව හා පලුගම එකතු කර ස්වාධීන රාජ්‍යයක් ඇති කර එහි පාලකයා බවට පත්වීමට පෘතුගීසීන් කුමන්ත්‍රණය කිරීමය.

මෙම විනිශ්චය සභාව විසින් චෝදනා විභාග කර ඔහු වැරදිකරු බව තීරණය කලෙන්, ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එම මරණ දඬුවමින් පසු පලුගම ප්‍රදේශයේ පාලකයා ලෙස එම ප්‍රදේශයේ හිටපු පාලකයාගේ ඥාතියෙකු වූ සෙනරත් රජුට හිතවත් නායකයෙකු පත් කරන ලදි.

මේ අතර නාවික බලයක් කන්ද උඩරට රාජ්‍ය සදහා ස්ථාපිත කිරිමට සැලසුම් කල සෙනරත් රජතුමා, මීගමුවේ මහා රාළ තම නාවික හමුදාවේ අද්මිරාල්වරයා ලෙස පත්කර මූලික පියවරක් ලෙස යුධ නැව් 03 ක් සහ අවශේෂ යාත්‍රා 03 ක් තැනීමට කටයුතු සම්පාදනය කලේය. 1711 මැයි මස 16 වන දින මෙලෙස තනන ලද විශේෂ නෞකා ඉන්දියාවේ කොමරින් තුඩුව හා ශ්‍රී ලංකාව අතර යාත්‍රා කරන සතුරු නැව් විනාශ කිරීමට නියෝග සහිතව පහත කපිතාන්වරු යටතේ ත්‍රීකුණාමලයේ වරායෙන් පිටත් විය.

1.  ‘කැන්ඩි‘ යුධ නෞකාව          -            කපිතාන් සුන්දර අප්පු
2.  ‘ඕලන්ද‘ යුධ නෞකාව          -            කපිතාන් ක්‍රිස්ටිනා
3.  ‘මීගමුව‘ යුධ නෞකාව          -             කපිතාන් දිංගප්පා
4.  ‘ෆෝචූන්‘ යාත්‍රාව                  -             කපිතාන් ඕදියා
5.  ‘ගෙලුක්‘ යාත්‍රාව                   -              කපිතාන් මාරසිංහ
6.  ‘ඩී ට්ර වාවේ‘ යාත්‍රාව            -               කපිතාන් සුන්දරප්පා
         
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කල අතර, උප අද්මිරාල්වරයා වූයේ වණ්ඩිගේ නේ හැන්නි නැමැත්තෙකි. මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවරට පැමිණි සෙනරත් රජු බැහැ දුටු පසු, ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.

1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද  වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඔවූහූ එම තරමටම එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටියහ.

මින් ටික දිනකට පසු සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක (දැන් හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස්  රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් බොහෝ කල් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු බොහෝමයක් පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා විසිනි.

මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට විරුද්ධව කැරලි ගැසූ කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් විය. උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කලහ. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.

1614 දී පෘතුගීසීන් විශාල කණ්ඩායමක් ඔවුනට පක්ෂපාතී සිංහල හමුදාවකද සහාය ඇතිව මහනුවර ආක්‍රමණය කිරීමට කොළඹ සිට ගමන් ඇරඹූහ. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී උඩරට රජුගේ හමුදාව මෙම පෘතුගීසී හමුදාවට මුහුණ දුන් අතර, දරුණු සටන් වලින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයට පත්විය. පෘතුගීසී හමුදාවේ සිටි සිංහල භටයන්ගෙන්ද 2500 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඉතිරි පෘතුගීසී භටයන් වනයට රිංගා ගෙන තම ජීවිත බේරා ගත්හ. මෙම සටන දක්ෂ ලෙස මෙහෙයවූ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ සටන් ජයග්‍රණයෙන් පසුව, ඉතා හරසරින් මහනුවරින් පිළිගනු ලැබූහ.

මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය  බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.



     




Wednesday, February 15, 2017

elevator at Sigiriya , good idea?










I recently saw a news report where minister for cultural affairs making a speech after opening the ancient burial ground  at Ibbankatuwa  for visitors , why wasn’t it open to visitors all this time  I am not too sure, in the speech he said , in the fierce competition to attract tourists we must innovate and find new ways for them to enjoy our places of interests with less inconveniences. 

And the example he used to  illustrate his point  was installing an elevator at Sigiriya, for the use of visitors who are not able to climb Sigiriya because of physical disabilities. 

This is a very good proposal, that , I am sure will become an attraction by itself adding color to climbing Sigiriya. Standing  660 ft tall, with only few companions ,  on an otherwise a large plateau, Sigiriya has been built by King Kashyappa(477-495 AD) as his castle and palace fearing an attack from his step brother who was the true heir to the throne, most likely because Kassayappas mother was a lesser queen.

Sigiriya has become one of the most significant tourist attractions in Srilanka and would probably be second only to our beaches if the merit of different types of attractions are valued and listed. Probably it is the main reason for Dambulla to recently to   become  preferred  day destination compared to Kandy  for tourists.

Back to the proposal for elevator, as I said earlier it is a very good idea and it should not be just discarded after the speech just acting as a attention seeker in the evening news, like many other proposals made by politicians in small public meetings.

Lets see the mechanics of the proposed elevator. Firstly, since  there are many other heritage sites in the world that have elevators installed,  we don’t have to worry about the wrath of UNESCO like that incident earlier in Galle fort. Then we should look at similar sites that have elevators. Most appropriate one is the Zhangjilagie in China, the  

 Bailong Elevator or Hundred Dragons Elevator is a glass elevator built onto the side of a huge cliff in the Yuanjiajie Scenic Area of Wulingyuan Scenic and Historic Interest Area that is 335 m high. At the cost of 120 million yuan or $19 million, the elevator can take 48 passengers at once to the top, rated speed 3.0 m/s, a journey that takes 2 seconds shy of 2 minutes. After it was built, the lift was said to be the world's tallest full-exposure outdoor lift, tallest double-deck sightseeing elevator, and the fastest passenger elevator with the biggest capacity.

This elevator we can see is 1100 feet in height and Sigiriya is only 6/10th of that height and the cost of the project has been 19 million $.That’s 2850 million rupees. 60% of that would be 1710 million rupees. Also I would think that the cost of elevators would rise exponentially with height especially in dizzy heights like this. So the cost at Sigiriya would be considerably lower than 1710 million  Rupees. Say 1.2 billion rupees. We also don’t need such a huge capacity, I think 20 capacity elevator should serve our purpose. That will slash the cost considerably.

 Say well south of  one billion rupees. And we know there are many private companies that can take up this challenge. The project will, I am sure, be a financially viable at that cost. More than the cost it will give a huge fillip to our tourism industry as a whole. 

මීගමුවේ මහා රාළ - 1






                            එ් කාලයේ ඉන්දියාවේ නෙදර්ලන්ත වෙළෙන්දෙකුගේ චිත්‍රයක්. 

මීගමුවේ මහා රාළ හෙවත් මාරිසල්ස් බොෂුවර්.

17 වන හා 18 වන ශතවර්ෂයන්හි මහනුවර කන්ද උඩරට රාජධානිය, ශ්‍රී ලංකාවේ එකම ලාංකික රාජධානිය විය. 1696 න් පසු නොයෙකුත් යුරෝපීයයන් එම රාජධානියෙහි වාසය කලහ. එකල අන්තර් ජාතික බලවතුන් වූ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයින් බලවත් මුහුදු අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටි අතර, ඉංග්‍රීසීන්ද පසු කලෙක මෙම තරගයට ඇතුලු වූහ.

මෙම විදේශික සම්බන්ධතාවයන් නිසා කන්ද උඩරට වාසය කල බොහෝ යුරෝපීයයන් අතර, යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද සිටියහ.

මෙම යුරෝපීයන් අතර කන්ද උඩරට රාජධානිය තුල රාජ්‍ය සේවයේ යෙදුනු මැනුවෙල් ඩයස්, දස්කොන් අධිකාරම සහ මාරියල්ස් බොෂුවර් ( Marcelis Boschouwer) කන්ද උඩරට රාජ්‍ය සභාවේ ඉහලම තනතුරු වලට පැමිණි යුරෝපීයන් තිදෙනෙක් විය.

මැනුවෙල් ඩයස් :-     විමලධර්මසූරිය රජු (1592 – 1604) ගේ රාජ්‍ය  කාලයේ රජු විසින් පෘතුගීසීන් හා යුද්ධයේදී සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසු, රාජ පාක්ෂිකභාවය සහ දක්ෂකම් නිසා ඉතා කෙටි කලකින් රජුගේ විශ්වාසය දිනා ගනිමින්, මහාධීකාරම තනතුරට උසස් විය.
දස්කොන් අධීකාරම :-    යුරෝපිකයෙකු වූ දස්කොන් අධිකාරම, අන්තිම සිංහල රජු වූ කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම විය.
මීගමුවේ මහා රාළ  :- මේ දෙදෙනාටම වඩා මීගමුවේ මහා රාළ යැයි අනුවර්ත නාමයෙන් හදුන්වනු ලැබූ නෙදර්ලන්ත ජාතික මාරියල්ස් බොෂුවර්, සෙනරත් රජුගේ (1604 – 1636) රාජ්‍ය පරිපාලනයේදී ඉතා බලවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.

1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ. මෙම ලිපිය කණීෂ්ඨ වෙළෙන්දෙකු වූ (එකල තිබූ රැකියා නාමයක්) මාරියල්ස් බොෂුවර් අත ඕලන්ද නෞකාවක් මගින් ත්‍රීකුණාමලයට එවන ලදි.

1612 මාර්තු මස මහනුවරට පැමිණි මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් මහා රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර දුන්නේය. එම ලිපිය සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව  තැබීමෙන් පසු රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම සාකච්ඡා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණියහ. මෙම ගිවිසුමට යුධ කටයුතු, වෙළදාම් හා වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීම, ගබඩා කිරීම හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් විය.

මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය  සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතු අතර, එම එකගතාවය සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට රජු සමග නෙදර්ලන්ත තානාපතිවරයෙකු සිටිය යුතු බවය.

මේ අතර රජතුමා විසින් මොහුව මීගමුව ප්‍රදේශයේ පාලකයා ලෙස පත්කල හෙයින්, ඔහු මීගමුවේ මහා රාළ යන පටබැඳි නමින් ප්‍රසිද්ධ විය. මෙයට අමතරව සත්කෝරළයේ අනුරාධපුර හා මීපිටිගල මහා රාළ ලෙසද, යුධ සංවිධානයේ සම ප්‍රධානියා ලෙසද, නාවික හමුදාවේ ප්‍රධාන අද්මිරාල්වරයා ලෙසද, ඔහුව පත් කෙරිණ.

මෙලෙස මොහු කන්ද උඩරට රාජ්‍යයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදි. මේ අතර මොහු සමග පැමිණි අනෙකුත්  ඹ්ලන්ද ජාතිකයන් ත්‍රීකුණාමලයේ බලකොටුවක් සෑදිමට සුදානම් වුහ. මේ බව ආරංචි වු කොළඹ සිටි පෘතුගීසිහු කන්ද උඩරටට උතුරු දෙසින් වටරවුමෙන් ත්‍රීකුණාමලය බලා පෘතුගීසීහූ දහසක් හා සිංහල හමුදා භටයින් තුන්දහසකින් සමන්විත වු හමුදාවක් යවා, ත්‍රීකුණාමලයේ සිටි ඕලන්ද ජාතිකයින්ට පහරදී ඔවුන් මරණයට පත් කර ප්‍රදේශය කොල්ලකෑහ.

මෙම ආරංචිය ලද විගස කන්ද උඩරට සෙනරත් රජතුමා විසින් මාරසිංහ ආරච්චි නැමැති සෙන්පතියෙකු යටතේ 5000 ක සිංහල හමුදාවක් මහනුවරින් යවා කුරුණෑගල ප්‍රදේශයේදී ආපසු කොළඹ බලා යන පෘතුගීසීන් වටකර පහරදී ඔවුන් බලවත් පරාජයකට පත් කලේය.

කෙටි කලකදීම මීගමුවේ මහා රාළ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා හා උපදේශකවරයා බවට පත්විය. කන්ද උඩරට රාජ්‍ය සභාවේ මොහු කොතරම් බලගතු වූයේද යත්, රජු පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද විශාලතම සටනේ සම නායකත්වය මීගමුවේ මහා රාළට පිරිනැමීය. මෙම යුද්ධය සදහා භටයන් 50,000 ක හමුදාවක් රැස් කරන ලදි. එම හමුදාව පිහිටුවීම සදහා පවත්වන ලද යුධ සාකච්ඡාවට කන්ද උඩරට රජු යටතේ සිටි සියලුම ප්‍රාදේශීය පාලකයන් සහභාගි වූහ.

මෙලෙස රජු සිය හමුදාව සකස් කරමින් සිටින අවස්ථාවේදී, පෘතුගීසී හමුදාව යාපනයට පහර දීමට ගමන් කරන බව ඔහුට ආරංචි විය. වහාම තම හමුදාවේ කොටසක් එම පෘතුගීසී හමුදාවට පහර දීමට යැවීය. ඔහු පෘතුගීසී හමුදාවට පහරදී ඔවුන් පරාජය කලහ. මෙයින් කුපිත වූ පෘතුගීසී හමුදාව පලා යන අතරතුර මීගමුවේ මහා රාළගේ පාලන ප්‍රදේශය වූ මීගමුව අල්ලා ගෙන බලවත් විනාශයක් සිදු කලහ.

සෙනරත් රජුගේ ඥාති සහෝදරයා වූ, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ පුත් ඔටුන්න හිමි මහස්ථානේ කුමරු මේ කාලයේ මිය ගියේය. සෙනරත් රජු තම පුත් කුමරුට රාජ්‍ය බලය ලබා දීමට, මොහුට වස දී මරා දැමූ බවට සැක කල බැවින් රට වැසියන් රජුට විරුද්ධව නැගී සිටිමට සූදානම් වන විට, ඔවුන්ට කරුනු පහදා දී එම තත්වය පාලනය කරන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ විසිනි. මහස්ථානේ කුමරුගේ අවමඟුල් උත්සවයේ දරසෑයේ ගිණි දැල්වීමට සෙනරත් රජු විසින් පත් කරන ලද්දේ මීගමුවේ මහා රාළ බව කියවේ.

to be continued..........