Monday, December 31, 2018

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ඇතිවිය හැකි වාසි සහ අවාසි


ඉහත පොතෙන් උපුටා ගන්නා ලදී 

10.මෙම ගිවිසුමෙන් සිංගප්පූරු රෝහල් ලංකාවේ පිහිටවීමට ඉඩක් ලැබිය හැකිද ?
මෙම කරුණ ලංකාවේ මෙම ගිවිසුම සඳහා ඇතිවූ විරෝධතා සඳහා මුලික වී ඇති බවක් පෙනෙන්නට තිබෙන නිසා මේ ගැන තරමක් විමසිල්ලෙන් බැලීම කාලානුරුප බව පෙනේ. අප රටේ දේශපාලඥයන් , ඉහල පෙලේ ව්‍යාපාරිකයන් වැනි රජයේ මුදලින් හෝ තම මුදලින් සිංගප්පුරුවේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගැනීමට හැකියාවක් ඇති පුද්ගලයන් එරටට ඒ සඳහා යන ප්‍රවනතාවයක් රටේ ඇතිවී තිබේ.

අනෙක් සෑම  සේවාවක් මෙන්ම දියුණු රටවල එම ප්‍රතිකාර වල තත්වය මෙරටට වඩා තත්වයෙන් ඉහල නිසාය. මෙම ගිවිසුම නිසා එලෙස සිංගප්පූරු රෝහල් වල ශාඛා මෙරට ඇතිවන්නේ නම් දැන් සිංගප්පුරුවට ප්‍රතිකාර ගැනීමට නොහැකි බොහෝ දෙනෙකුටද එම ඉහල පෙලේ ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු නොඅනුමානය.
අතරම එම රෝහල්වල සේවය සඳහා එරටින් පැමිණිය හැක්කේ කළමනාකරුවන්ට , විධායකයන්ට සහ විසේසඥයන්ට පමණි. ඉතිරි සියලු රැකියාවන් සඳහා සේවකයන් පත්කර ගත යුත්තේ ලාංකික පුරවසියන්ගෙනි. ඒ අතරම ලංකාවේ පුද්ගලික රෝහල් වලටද මෙම රෝහල් සමග තරඟ  කිරීමට සිදුවනු ඇත.

නිදහස් තරඟය සේවාවේ තත්වය ඉහල දමන අතරම ගාස්තු පහතට දමයි. ඒ මඟින් ඒවායින් ප්‍රතිකාර ගන්නා බොහෝ අයට වඩා හොඳ සේවයක් ලැබෙනු ඇත්තේය. පුද්ගලික රෝහල් අයිතිකරුවනට හැර අනෙක් සියලු දෙනාටම මේ මගින් යහපතක් මිස අයපතක් සිදුවනු පෙනෙන්නට නැත.
දැනටමත් මාලදිවයින සහ සීෂෙල්ස් වැනි රටවලින් ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පැමිනෙන්නාක්  මෙන් අප්‍රිකානු සහ කලාපයේ දුප්පත් රටවල, මුදල් ඇති අය සිංගප්පූරු තත්වයේ වෛද්‍ය පහසුකම් මෙහිදී ලබාගැනීමට ලංකාවට පැමිණීමෙන් අපට ලෝකේ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමටද පුළුවන් වනු ඇත.

11.රටකට නිදහස් වෙළඳ ගිවිසුමකින් ඇතිවිය හැකි අවාසි මොනවාද?
සාමාන්‍යයෙන් නිදහස් වෙළඳ ගිවිසුමකින් සිදුවිය හැකි අවාසි ජාත්‍යන්තර වශයෙන් පොදුවේ  පහත ආකාරයෙන් විය හැකි යයි ඒ සම්බන්ධ විවේචනයනය කරන්නන්ගේ  අදහස බව පෙනේ.
1.     රැකියා අවස්ථා අනෙක් රට වෙත යාම -
2.     බුද්ධිමය දේපල සොරාගැනීම -
3.     කුඩා ගොවිපලවලට විශාල අන්තර්ජාතික සමාගම් සඳහා තරඟ කිරීමට නොහැකි වී වසා දැමීමට සිදුවීම -
4.     ආර්ථික වශයෙන් පහතින් සිටින රටේ දුෂ්කර රැකියා පරිසරයන් ඇතිවීම -
5.     ස්වභාවික සම්පත් විනාශ වීම -
6.     රටේ සංස්කෘතිය තර්ජනයට ලක් වීම -
7.     රජයට තීරු බදු ආදායම අඩුවීම -
8.      බලගතු ආර්ථිකයන් විසින් දුර්වල ආර්ථිකයන් මත තමන්ගේ බලය පැතිරවීමට මෙය ඉවල්විය හැකි බවයි.
9.     දෙරටේ ආර්ථික ප්‍රයෝජනවලට වඩා බලගතු රාජ්‍යයන්ගේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට  නිදහස් වෙළඳ ගිවිසුම් පාවිච්චි කිරීම.
10.                         ද්විපාර්ෂික  නිදහස් වෙළඳ ගිවිසුම්,  වෙළඳාම ලිබරල් කිරීමට බහු නිදහස් වෙළඳ ගිවිසුම් මෙන්ම උදව්වන්නේ නැති බවට චෝදනාවක්ද තිබේ.

දැන් අපි මෙම එක් එක් අවාසිය අප රටට මෙම ගිවිසුම හරහා කෙසේ බලපෑ හැකිදැයි සොයා බලමු.
1.රැකියා අවස්ථා අනෙක් රට වෙත යාම - මෙය සිදුවිය හැකි නම් සිදුවන්නේ වඩාත් ධනවත් එමෙන්ම වඩාත් දියුණු රාජ්‍යයේ සිට දුප්පත් එමෙන්ම නොදියුණු රාජ්‍යය වෙතටය. මක්නිසාද, කර්මාන්තශාලා විවෘත කරන සමාගම් එය සිදුකරන්නේ වෙනත් අවශේෂ කාරනා හැරුණු විට , වැඩි වැටුප් රටේ නොව සංසන්දනාත්මකව අඩුවෙන් වැටුප් ගෙවන රටේය. අප රටවල් දෙක අතුරින් අපගේ වැටුප් දල වශයෙන් සිංගප්පූරුවේ මෙන් හත් ගුණයක් වත් අඩුවෙයි.
එසේනම් යම් කෙනෙකු මෙහි තිබෙන කර්මාන්තශාලාවක් සිංගප්පුරුවට ගෙනයන්නට එහි සේවකයන් අප රටේ සේවකයන් මෙන් හත් අට ගුණයකටත් වඩා නිෂ්පාදන දක්ෂතාවයක් තිබිය යුතුය. ඒ නිසාවෙන් අප මේ කරුණ ගැන නම් බියක් ඇතිකර ගත යුතු නොවේ. ඇත්තෙන්ම පරීක්ෂා කර බලනවිට එම සංසන්දනයේ  වැඩි වෙනසක්  නොවන බව පෙනී යයි. 2013 වසරේ ගණනය කිරීම් වලට අනුව සිංගප්පුරුවේ පැයක් වැඩ කරන විට දල ජාතික නිෂ්පාදනයට එකතුවන ඩොලර් අගයෙන් ලෝකයේ 22 වන රට වෙයි. එහි එම අගය ඩොලර් 41.46 කි. ලංකාවේ එම අගය ඩොලර් 6.85 කි. අපි පසු වන්නේ 60 වන ස්ථානයේය. කෙසේ වුවත් අපට සැනසිල්ලක් ලබාගත හැකි කාරනාවක් ද මෙම ලයිස්තුවේ තිබේ. ඒ අපට පසුව සිටින බංග්ලාදේශය සහ ඉන්දියාවයි. ඔවුන්ගේ මෙම අගයන් 1.98 සහ 3.40 කි. අපට වඩා බොහෝ අඩු අගයන් වෙයි.
ඇත්තෙන්ම ප්‍රවනතාවය තිබෙන්නේ වඩා දියුණු ආර්ථිකයේ සිට දියුණුවෙන් අඩු ආර්ථිකය වෙත කර්මාන්ත ශාලා ගෙනයාමටය. විශේෂයෙන් මෙලෙස ගෙනයනු ලබන්නේ ශ්‍රමය යෙදීම මත පදනම් වුනු කර්මාන්තයන්ය. එවැනි කර්මාන්ත ශාලා අප දෙරට අතර මෙම ගිවිසුම නිසා ගෙනයන්නේ නම් සියලු කරුණු සලකා බැලු විට පැමිණිය යුත්තේ අප රටටය. ඒ නිසා මේ කරුණ සම්බන්ධයෙන් අප බියක් ඇති කර ගත යුතු නොවේ.
2.බුද්ධිමය දේපල සොරාගැනීම - මෙම අවාසිය වැඩියෙන් බලපවත්වන්නේ තාක්ෂණිකව වඩා දියුණු පාර්ශවයටය. අනෙක් වර්තමානයේ බුද්ධිමය දේපල පිළිබඳව බොහෝ නීති රීති අන්තර්ජාතිකව ඇතිවී ඇති බැවින් මෙම කරුණ එතරම් ලොකු බලපෑමක් අප දෙරට අතර ව්‍යාපාර සඳහා බලපෑමක් ඇති නොකරනු ඇත.
3.කුඩා ගොවිපලවලට විශාල අන්තර්ජාතික සමාගම් සඳහා තරඟ කිරීමට නොහැකි වී වසා දැමීමට සිදුවීම - සිංගප්පූරුව විශාල වශයෙන් ගොවිතැන් කරන රටක් නොවේ. ඔවුනට වෙනත් රටවල නිෂ්පාදන මෙම ගිවිසුම යටතේ මෙරටට එවීමද කල නොහැකිය. අනෙක් කාරණය ආහාර ද්‍රව්‍ය  ඒ නිසා මෙම කාරණය අප රටවල් දෙක අතර ගිවිසුමකට බල පෑමක් ඇති නොකරයි...........
ඉතිරිය පසුවට 

Tuesday, December 18, 2018

ධනපතියන් යනු කවරහුද ?


අපේ දේශපාලනයේ බොහෝ විට ධනපති පන්තිය යන වචනය පාව්ච්චි කරනු දක්නට ලැබේ. මට අද උදේ පාන්දර 5 ට පමණ ඇහැරී ඇඳට වි උදේ 4 ට පමණ අපේ නිවසට දකුණු පැත්තෙන් ලවුඩ් ස්පිකර් එකෙන් ඇසෙන්නට පටන්ගන්නා නොයෙකුත් ආගමික ප්‍රචාරනයන්ට කන්දිහාගෙන සිටියෙමි. හැමදාම යන්නේ එකම හඬ පටියක් නිසා එයට ටික වෙලාවකට පසු කන් යොමාගෙන සිටීමට කිසිවක් නැත්තේය. ඊළඟ ශබ්ධ විකාශනය පටන්ගන්නේ උදේ 5 ට දකුණු පැත්තෙනි. එය සිදුවන්නේ පාන්දට 5 ටය. මම 05.45 ට කොහොමටත් එලාර්ම් එක තබා තිබේ. ඒ  ටෙනිස් ක්‍රීඩා කිරීමට නගරයට  යාම සඳහාය.

දැන් එතකන් කරන්නට දෙයක් නැති නිසා කල්පනා කිරීමට පටන් ගත්තෙමි. මුලින්ම ඊයේ මැල්සිරිපුර ගොස් කුරුඳු වගාවේ කල වැඩ සිහියට ආවර්ජනය විය. වැඩකළ මිනිසුන්ගේ කතාකල නොයෙකුත් ප්‍රශ්න සහ ඔවුන්ගේ; විශේෂයෙන් එම ළමයින්ගේ දුෂ්කරතා සහ ප්‍රශ්න, ඔවුන් විඳිනා දුක ගැන කල්පනා කලෙමි. අවුරුදු 11 ක් මැදපෙරදිග රැකියාව කරන මවක් සිටින දරුවෙකු මට එහිදී මුණ ගැසිණ. ඔහුගේ මව අවසාන වරට ලංකාවට පැමිණියේ කවරදාක දැයි ඇසුවෙමි. වයස 12 ක් පමණ වු හොඳ බුද්ධිමත් ළමයෙකු වුවද ඔහුට එය මතක නැත. බොහෝ කලකට පෙර යැයි ඔහු පැවසීය.

“අවුරුද්දකට ඉස්සර?” මම ඔහුට මතක කරගන්නට උදව්වක් කරන්නට හැදුවෙමි.
“ඊටත් වැඩියි” ඔහු කීවේය.
“ගීය අළුත් අවුරුද්දට පස්සෙද?” මම ඇසුවෙමි. ඔහුට එයද මතක නැත.
 “ අළුත් අවුරුද්දට පස්සෙනේ ආවේ” අසල සිටි වැඩිහිට කාන්තාවක් ඔහුට මතක් කලාය. ඔහු එයට එකඟ විය.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට සිතුවිලි පහල වන්නේ කුමන සිතිවිල්ලක් නිසාදැයි බොහෝවිට අමතක වන නමුදු, ඇත්තෙන්ම මෙම ලංකාවේ නිතර දේශපාලනයේ කතාවෙන ධනපති පංතිය කතාව මගේ සිහියට වැටුනේ මෙම කතාව සිහිවූ විට බව මට සිතේ. ලංකාවේ ධනපතියන් යනුවෙන් අපට වර්ගීකරණය කල හැක්කේ කුමන දෑ ඇති පුද්ගලයන්ද, යනුවෙන් මට සිතුවිල්ලක් පැමිණියේය. ධනපතියෙකු ලෙස සැලකීම සඳහා කෙනෙකු පහත තත්වයන් ගෙන ඇත්තෙන්ම කොතනින් එහා සිටිය යුතුද?
1.     නිවසක් සහ වාහනයක් අයිති පවුල්
2.     නිවසක් වාහනයක් ණය නොමැතිව අයිති පුද්ගලයන්
3.     2+ තරමක මුදලක්; මිලියන 5 ක් පමණ බැංකුවක ඇති පුද්ගලයන්
4.     2+ යම් ව්‍යාපාරයකින් හෝ රැකියාවකින් මසකට රුපියල් 150000 ක් පමණ ආදායමක් ලබාගන්නා පුද්ගලයන්
5.     2+ තමන්ගේ දරුවෙකු පුද්ගලික විශ්ව විද්‍යාලයකට අධ්‍යාපනය සඳහා හැකියාව ඇත්තන්
6.     2+ තමන්ගේ දරුවෙකු වෙනත් කෙනෙකුගේ මුදල් බැංකුවේ නොපෙන්වා පිටරට උසස් අධ්‍යාපනය සඳහා යැවිය හැකි අයවලුන්
7.     2+ වසරකට අඩු ගනනේ එක වරක් වත් පිටරට නිවාඩුවකට යන්නන්
මෙම ලයිස්තුවේ අඩු 3 වන වර්ගීකරණයෙන් පහලට එන්නන් ධනපතියන් ලෙස සැලකිය හැකිද?
එසේත් නැත්නම් භෞතිකව ධනපතියන් හැරෙන්නට capitalist එසේත් නැත්නම් සිතින් ප්‍රාග්ධන (ධනවාදී යයි අපි වැරදි ලෙස පරිවර්තනය කරගෙන ඇති); එලෙස සිතන්නන් එසේත් නැත්නම් ඒ ක්‍රමය ලෝකයට වඩා ප්‍රයෝගික යයි සිතන්නන් අප ධනපතියන් ලෙස වර්ගීකරණය කල යුතුද?
ප්‍රාග්ධන න්‍යාය අනුව සිතන එහෙත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිටිය හැකිද? අනෙක් පැත්තෙන් කොමියුනිස්ට් විදිහට සිතන එහෙත් ප්‍රාග්ධන න්‍යායට අනුව කටයුතු කරන පක්ෂ වලට ඡන්දය දෙන්නන් සිටිය හැකිද?
මේ සියලු සිතිවිලි එකින් එක මොලය හරහා යමින් සිටියදී 05.45 සඳහා තබා තිබු එලාර්ම් එක වැදුනි. දැන් නැගිට ලැහැස්ති විය යුතුය.

Wednesday, December 5, 2018

3 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 3



අල්ලපු වත්තේ වැඩ කරමින් සිටි ආච්චි පසුව මගේ බිරිඳ සමග කතාවට වැටුනාය. ඇය කියා සිටියේ එතන සිටින දරුවන් දෙගොල්ලකගේ මවුවරුන් මැද පෙරදිග වැඩ කරන බවත් අනික් දරුවාගේ මවත් තව ටික දිනකින් එසේ මැදපෙරදිග යාමට සූදානම් වන බවත්ය. මෙම දරුවන්ගෙ අතට මුදල් ලැබීමෙන් ඔවුන් මුදල් පරිහරණයට පුරුදු වුවහොත් ඉන්පසු මුදල් නැතිවනවිට ඔවුන් හොරකමට පුරුදුවීමට ඉඩ ඇති බව ඇය මගේ බිරිඳට කියා ඇත. මෙය කොතරම් සත්‍ය උපකල්පනයක් විය හැකිදැයි අපි සාකච්ඡා කලද අපට නම් නිගමනයකට පැමිණීමට නොහැකි විය. දරුවන් තමන්ගේ ගෙදර වැඩකදී වුවත්; හරක් සහ එළුවන් බැඳීම වැනි, ගෙදරින් රුපියල් විස්සක් වැනි මුදලක් ගෙවිය යුතු යැයි අපට ගමේ වෙනත් වැඩිහිටියෙක් කී අතර මෙයින් ඔවුන්ගේ මුදල් පරිහරණය කෙසේ වුවත් තිබෙන බව පෙනෙයි.  

එදින පැල සිටුවමින් සිටින විට ඔවුන්ගෙන් අප අසා සිටිද්දී නම් මට තේරුනේ ඔවුන් යම් රසකෑමක් කඩෙන් කා ඉතිරි මුදල ගෙදරට ගෙන ගොස් දෙන බවයි. එදිනට පෙරදින වැඩය අකර්මන්‍ය කිරීමට උත්සාහ කල දරුවාද පැමිණ සිටියේය. ඔහු සම්පුර්ණ අවධානයෙන් වැඩයේ යෙදුනු අතර එදින වැඩියෙන්ම පැල සිටුවව්වෙත් ඔහු විය.

ඒ ගමන්ම මෙම ප්‍රදේශය ගැන මම මිට කලකට පෙර ලියනලද බ්ලොග් එකක් මට මතක් වුනි. එහි මා සාකච්ඡා කලේ රජයෙන් පසුගිය කලක අරක්කු මිල වැඩිකිරීමෙන් කසිප්පු වැඩියෙන් ව්‍යාප්ත වීම සහ එයින් වන පලවිපාකයි. එම ප්‍රදේශවල පිරිමින් අතර කසිප්පු බීම දිනපතා පුරුද්දක් වන අතර රුපියල් 150 පොලිතින් කසිප්පු පැකට් බි බයිට් ගැනීමට මුදල් නොමැති නිසා කුරුම්බා ඇට්ටි වල පිටිපස්ස හැපීම සාමාන්‍ය දෙයක් බව මම එහි විස්තර කර ඇත.

https://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post.html

මෙවැනි පසුබිමක ඒ ආච්චි, තම මුණුබුරන්  වර්තමානයේ වැඩිහිටියන් මෙන් ජීවන රටාවකට පුරුදු වේ යැයි බිය වීම එක අතකින් පුදුමයක් නොවේ. අප දහවල් වනතෙක් පැල සිටුවා එදින ටිකක් කලින් නිවසට යාමට තීරණය කෙරුවෙමු. මෙයට එක හේතුවක් වුයේ වලවල් කපන බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු එදින සේවයට පැමිණ නොතිබීමයි. ඔහු වලවල් කපන අවස්ථාවේ අප සිටිය යුතු නමුදු වලවල් කපා අවසාන නම් දෛනික වැටුපට කම්කරුවන් යොදා පැල සිටුවීමට හැකි වන අතර එවිට අපට එතන සිටීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
අපි සියලු දෙන ගොස් වත්තේ නිවසේ උයා තිබු දහවල් ආහාර ගත්තෙමු. එහි ගෘහිනිය විසින් එදින ඉතාම රසවත් කරි දෙකක්  සාදා තිබුණි. සැමදා තිබෙන මයියොක්කා කොළ මැල්ලුම නොතිබුනු අතර තිබුණු එකක් සාමාන්‍ය මාළු කාරියකි. දෙවැන්න කෙහෙල් මල් ( මුව ) කරියකි. එය අප සාමාන්‍යයෙන් සාදන ආකාරයට කහට පාට මැල්ලුමක් නොවේ. සුදු පැහැති හොඳින් මිරිස් සැර යෙදු පරිප්පු සහිත කාරියකි. එය ඉතාම රසවත් වූ අතර මම අපගේ නිවසෙත් නැවත කෙහෙල් මල් කරිය සැදිය යුතු බවට මගේ බිරිඳට යෝජනා කලෙමි.

ආපසු ගොස් තවත් පැයක් පමණ පැල සිටුවන අතරතුර මම ළමයින් ගෙන් ඔවුන් වැඩ අවසාන වූ පසු කුමක් කරන්නට සැලසුම් කර ඇත්දැයි විමසුවෙමි. ඔවුන් රූටන්නට යන බව ඔවුහු පැවසූහ. මම අදහගන්නට නොහැකි වූ නිසා ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමසුවෙමි. ඔවුන් කීවේ ඈත කන්දක ලොකු ප්‍රපාතයකට ගොස් එම ප්‍රපාතයෙන් පහලට රූටන බවයි. කොලපොතක් හෝ යම් එවැනි දෙයක් මත රූටන්නේ දැයි ඇසුවිට ඔවුන් මට සිනාසුනහ. ඔවුන් කිසිම ආරක්ෂාවක් නොමැතිව රූටන බවත් තවත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු ඒ සඳහා පැමිණෙන බවත් ඔවුන් කියාසිටියහ. ඒ සඳහා යාමට තම පියවරුන් නිවසට ඒමට පෙර යා යුතු බවද ඔවුහු කියා සිටියහ. එතනට පැමිණෙන වැඩිමහලුම ළමයා 11 පන්තියේ අක්කා කෙනෙකු බවද ඔවුන් මගේ එක ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස කියා සිටියහ.
එදින එක ළමයෙකුට රුපියල් 500 ගනනේ දුන් අතර මාරු සල්ලි නොමැති නිසා සහෝදර සහෝදරි යුගලකට රුපියල් 1000 බැගින්ද තනි ගැහැණු ළමයාට තිබු එකම 500 ද දුන්නෙමු. අපි නැවත එන දිනයක් කිව නොහැකි බව පැවසු විට අප නොමැතිව ඔවුනටම පැල සෑදිය හැකි බව ඔවුන් කීවද ඔවුන් යම් තුවාලයක් හෝ කරගනීවි යන බිය නිසා අප එයට කැමති වුයේ නැත.
මම ඔවුනට එක ළමයෙකුට පොත් දෙක බැගින් අප රැගෙන ගිය ළමා පොත් බෙදා දුන්නෙමු. ඔවුන් ගේ ගෑනු ළමුන් දෙදෙනා වත්තෙන් පිටවීමටත් පෙර පොත් පෙරලා කියවමින් යනවා මම දුටිමි.

පාසල පටන්ගත් පසු වත්තට ගියවිට ඔවුන් යන පාසලේ විදුහල්පතිවරයා මුණගැසී එම විද්‍යාලයේ පුස්තකාලයක් ආරම්භ කිරීමට වැඩසටහනක් ආරම්භ කර සාකච්ඡා කිරීමට සිතුවෙමි.

Tuesday, December 4, 2018

2- ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 2




අවුල් ඇතිකර අඩපන කිරීමේ සැලසුම හරිනොයන බව දුටු ඔහු ටික වෙලාවකින් එම ප්‍රයත්නය අතහැර දමා බැකෝ එක මත නැග එහි උදව්කරුවා ලෙස රඟපෑම කරගෙන ගියේය.

ළමයින් වැඩකරන ආකාරය බලාසිටිමත් ඔවුන් කතාකරන දෑ අසා සිටීමත් ඉතාම ප්‍රිය උපදවන සුළු විය. එහි ඇතිවූ සංවිධානයද අපුරුය. තරමක් ලොකු පිරිමි ළමයෙකු විල්බැරෝ එකෙන් පැල රැගෙන ආවේය. ඊට කුඩා බොහෝ කඩිසර ළමයෙකු පැල බෙදන්නට බාරගත්තේය. ගැහැණු ළමයින් දෙදෙනා පැල සිටුවිම කළහ. ඔවුන් මේ සියල්ලක්ම කලේ එකිනෙකාට විහිලු කරගනිමින් කුඩා ක්‍රීඩාවන්ද කරමිනි. ඔවුන් පස් වැටි මතින් පැලත් රැගෙන දුවපැන වැඩයේ යෙදෙන අන්දම දුටු මට කිහිපවතාවක්ම සිතුනේ මෙවැනි දරුවන් අප රටේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට ඒමට ඉඩක් නොමැතිවීම අපගේ රටේ ක්‍රිකට් මේ වැටි ඇති තත්වයට ප්‍රධානම සාධකයක් බවයි. ඒ දරුවන් දුවපැන කඩියන් මෙන් මෙම වැඩය කරන ආකාරය බලා සිටීමත් ඇසට රසවත් දසුනකි.

ළමයිනටද දවල් ආහාර වත්තේ සිටින පවුලෙන් ලබාදී අපත් ආහාර ගෙන සවස 3 පමණ විට අවසන් කළෙමු. මක්නිසාද අපටත් වත්තේ සිට නිවාස බලයාමට පැය දෙකක් ගතවන බැවිනි. මෙවර ප්‍රථම වතාවට අප මාවතගම සරහා නොයා දොඩම්ගස්ලන්ද පාරෙන් මාතලේට ගොස් වත්තේගම හරහා යාමට පාරක් සොයාගෙන තිබු නිසා පැය දෙකක් වුවද මිට පෙර මෙම ගමනට පැය 21/2 ක් ගතවිය.
ළමයින්ටම ඔවුන් පැලකර ඇති වලවල් ගණන ගණන් කරන ලෙස කීවෙමු. ඔවුන් පැල  305 ක් සිටුවා ඇති බව ඔවුන් කීවහ. දැන් අප ගෙවිය යුතු ගණන රුපියල් 1505 ක් වුවද ළමය 4 දෙනා අතර එය බෙදීමට අපහසු නිසා ඔවුන්ට එක ළමයෙකුට රුපියල් 400 ගන්නේ රුපියල් 1600 ක් ගෙව්වෙමු.
ඔවුන් දහවල් එකට ගැසීමට සිටි, ඊයේ සිට ක්‍රීඩා කරමින් සිටින ක්‍රිකට් මැච් එක අද දහවල් එකට පටන් ගැනීමට සිටියද අද එය ඔවුන් 4 වනතුරු කල්තැබූ බවත් දැන් වහා ගොස් එය පටන්ගත යුතු බවත් කියා ඉක්මනින්ම පිටව ගියහ.

අප ආපසු දොඩම්ගස්ලන්ද පාරෙන්ම මාතලේට ගියෙමු. මෙම පාර ලංකාවේ ඇති සුන්දරම එසේම වංගු වැඩිම පාරක් වෙයි. මීටර් සියයකට වඩා කෙලින් දුරක් පෙනෙන පාරේ කොටසක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ගෙවල් ඉතාමත් අඩු එම ප්‍රදේශයේම වාගේ අක්කර දෙදාහක පමණ රජයේ වත්තක් විහිදී ඇති නිසාද එසේත් නැත්නම් එම ප්‍රදේශයේ හුණු පොරනුවල හුණු පිලිස්සිම නිසා ඇතිවන දුමාරය සෞඛ්‍යට අහිතකර නිසා ප්‍රදේශයේ මිනිසුන් පලාගොස් ඇති නිසාදැයි මම කල්පනා කලෙමි.

කෙසේ වුවද එම කඳු සහ වංගු බොහෝදුර දිස්වන අතිශය අලංකාර දර්ශන බව නොයාම බැරිය. ලොකු වංගු කිහිපයකම පාර අයිනේ රොටි කඩ දමා තිබෙන අතර අපි එකක් අසල නවත්වා සැර සම්බෝලයක් සමග රොටි කා හකුරු සමග කහට බිව්වෙමු. හකුරු 75% පමණ කිතුල් හකුරු රසය දුන්නේය. එම කඩය ළඟ සිටුවා තිබු බෝඩ් එකකින් එම ස්ථානයට තරමක් පහලින් කොරොස්ස රජ මහා විහාරය නම් පෞරාණික පන්සලක් තිබෙන බව දැක ඊළඟ වාරයේදී ටිකක් කලින් ආපසු පැමිණ එය බලන්නට යන්නට ඉටා ගත්තෙමි.
අප පසුදිනද එන බව ළමයිනට කියා පැමිණියද මට වෙනත් වැඩක් යෙදීම නිසා යාමට නොහැකි විය. ඊට පසුදින අපි නැවත වත්තට ගියෙමු. අප 9 ට පමණ වත්තට යනවිට ළමයින් පැමිණ නොසිටි නිසා අප වැඩ පටන් ගත්තෙමු. පැය බාගයකට පමණ පසු තිදෙනෙකු පැමිණ වැඩට උදව් වන්නට පටන් ගත්තහ.  දෙදෙනෙකුට; සහෝදරයෙකුට සහ සහෝදරියකට ඔවුන්ගේ ආච්චි එන්නට නොදෙන බව පැමිණි තිදෙනා පැවසූහ.
ටික වෙලාවකින් ඒ දෙදෙනාගේ බාල සහෝදරයා වේගයෙන් දුවවිත් කණ්ඩායමට එකතු වුවද ආච්චි කෝටුවක් රැගෙන ඔහු පසුපස හඹා ආවාය.  ඔහු ඉඩමේ පහලටම දිවූ නිසා අල්ලපු වත්තේ වැඩකරමින් සිටි ආච්චිට මෙම හඹායාම සඳහා බොහෝ වෙලාවක් ගතකල නොහැකි නිසාත් ඇය ඔහුට බැන ආපසු ගියාය.
500 ට පැමිණි නිසා පෝස් කලෙමි. ඉතිරිය හෙට




























































     

Sunday, December 2, 2018

1 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 1





මම මේ දිනවල මැල්සිරිපුර කටුවලන්ද ප්‍රදේශයේ පිහිටි ඉඩමක කුරුඳු වගා කරමින් සිටිමි. මුලින් එතරම් අපහසු කාර්යයක් නොවේ යැයි සිතා පටන් ගත්තද පැල කිරීමේ අදියරට එනවිට එය සිතූ තරම් පහසුවෙන් කරගත නොහැකි බව පෙනුනි. ඒ පහත කාරනා ත්‍රිත්වය නිසාය.

හෙක්ටර් යාරයකට පැලකල යුතු අධික පැල ප්‍රමාණය; පැල 7200 ක් පමණ, සහ ඒ සඳහා 1x1x1 වලවල් එම ප්‍රමාණයකම අඩි 4 x 3 දුරින් කැපීම.

පැල මුල් අල්ලා ගන්නා තුරු වර්ෂාව නොලැබුනොත් ජලය ලබාදීමේ අවශ්‍යතාවය.

මේ සියලු දෑ සඳහා අවශ්‍ය කම්කරුවන්ගේ හිඟය.

වලවල් කපාගැනීමේ ප්‍රශ්නය නම් කම්කරුවන් වෙනුවට බැකෝ යන්ත්‍රයක් යෙදීමෙන් මඟහැර ගත්තෙමු. පැයකට රුපියල් 1500 ගනනේ පොරොන්දු වී වැඩය පටන් ගත්තෙමු. මුල් දවසේ පැය හයක් වැඩකර හාරා තිබුනේ වලවල් 600 ක් පමණි. මෙය වලකට රුපියල් 15 පමණ වැය වීමකි. පසුව ක්‍රියාකරු සමග සාකච්ඡා කර වලවල් වෙනුවට අඩි 4 ක පරතරයකින් අඩියක් පමණ ගැඹුරට කානු ගැසීමට තීරණය කර ගත්තෙමු. එයින් පැයකට වලවල් වේගය 120 කට පමණ වැඩිකර ගන්නට හැකියාවක් ලැබුණි.

කානුවල දැන් අඩි 3 ක පරතරයකින් පැල සිටුවීමට අවශ්‍යය. අපට පැල ලබාගැනීමට තිබුනේ රිදීගම අසල රජයේ පැල තවානකිනි. පෙර වර්ෂයේ මෙම සහනාධාරය සඳහා ලියාපදිංචි වී සිටි නිසා අපට අප මිලදීගත් පැළවලින් 50% ක ප්‍රමාණයක් නොමිලේ ලැබුණි.

අපට මෙම කාර්යයේ බරපතල කම වැටහුනේ පැල ගෙනවිත් බා ගත්විටය. පැල ප්‍රමාණය බිම අඩි 15 x 15 පමණ ප්‍රමාණයක් පුරා විසිරි තිබුණි. වවන තැනට මෙතන සිට පැල රැගෙන යා යුත්තේ අතිනි. එතැනදී කාණුවල වලවල් කපා පැල වල මලු ප්‍රවේශමෙන් ගලවා පැලකල යුතුය. පැල 7200 ක් පමණ මෙලෙස පළකිරීම, විශේෂයෙන්ම පවතින කම්කරු හිඟයත් මත ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

අපි තිදෙනෙකු මෙය කිරීම සඳහා අත්දැකීම් ලබාගෙන ඒ සඳහා යම් සැලසුමක් ඇතිකර ගැනීම සඳහා පසු දිනෙක පැළ කිරීම පටන් ගත්තෙමු. පැයකට අප; නුපුහුණු කම්කරුවන් තිදෙනෙකුට, මා, මගේ බිරිඳ සහ මගේ රියදුරු පැලකිරීමට හැකි වුයේ පැල 60 ක් පමණි. ඊළඟ පැයේ එය 40 ට පමණ බැස්සේය. තවත් වෙලාව ගතවනවිට මෙම වේගය තවත් අඩුවී පැල 15 ක පමණ රිද්මයකින් නතර විය හැකි බව මට පෙනුනි. මැල්සිරිපුර අධික උෂ්ණත්වයද අප වේගය මහත්සේ අඩාල කරන බව පෙනුනි. මෙවැනි වේගයකින් පැළකරන්නට ගියොත් වැහි කාලයට පෙර පැලකරගන්නට අපහසු වනවා පමණක් නොව මේ කම්කරු පිරිවැය ද ඉතා ඉහල මට්ටමකට යන බව මට පෙනුනි.

මේ විටම කුඩා ළමුන් කණ්ඩායමක්: 6 දෙනෙකු එහා වත්තෙන් එලියට පැමිණ අප වත්ත හරහා පාර අසල ඇති කඩයක් වෙතට දුවනවා මම දුටුවෙමි. ඔවුන් ඉතා සතුටෙන් එසේම කඩිසර ලෙස කඩය පැත්තට දුවන දෙස බලාසිටි මට අප කුඩාකල කියවූ Adventures of Tom Sawyer පොතේ ටොම් තම මිතුරන් ලවා ඔහුගේ වැට පින්තාරු කරගත් අන්දම සිහිවිය. මම අවසානයේ දුවපු ළමයා කතාවට අල්වාගෙන මෙම පැල සිටුවීමට ඔවුන් සහභාගී කරගැනීමට උත්සාහ කලෙමි.


අපට මෙම පැල සිටුවීමට උදව් කරන ලෙසද එසේ කරන්නේ නම්  වල අප කපාදෙන බවත් පැලයකට රුපියල් 5 බැගින් ගෙවන්නට අපි කැමති බවත් ඔහුට කියා සිටියෙමි. ඔහු එතරම් උනන්දුවක් නොදක්වා කඩය පැත්තට දුවගොස් ටික වෙලාවකට පසු ආපසු මිතුරන් සමග යනවිට කණ්ඩායමේ අවසානයෙ සිටි ගැහැණු ළමයෙකුට මම නැවත වරක් යෝජනාව ඉදිරිපත් කලෙමි. ඇය එයට කැමති වී අනෙක් මිතුරන් සමග පැමිණ වැඩට බැස්සාය. මම ඔවුනට හදන විදිහ පැහැදිලි කර අවසානයේ ඔවුන් කඩියන් සේ වැඩට බැස්සහ. පැයක් පමණ ඔවුන් වැඩකළ වේගය දුටු මම මේ විදිහට ගියහොත් අපට අද දවසේ පැල 1000 ක් වත් පැල කරගන්නට හැකිවේ යැයි අනුමාන කලෙමි.

එහෙත් මුලදී අකමැති වූ ළමයා ඔවුනට එකතු වී ටික වෙලාවක් වැඩකර කණ්ඩායම තුල අවුල් ඇතිකර වේගය අඩාල කර කානු කපන බැකෝ එක අසලට වී එය වැඩකරන ආකාරය නරඹමින් සිටියේය.

ඉතිරිය හෙට





     

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...