Friday, September 29, 2017

3 - ජාතික ආරක්ෂාව සඳහා තර්ජන විශ්ලේෂණය කිරීම 3

http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-2_28.html සිට 




පිහිටීම අතින් ගත් කල ඇත්තෙන්ම අපගේ භූගෝලීය පිහිටීමෙහි වැදගත්කම උකහා ගන්නේ අපට තදාසන්නයේ ඇති රාජ්‍යයන් වලින් පමණක්ම නොවේ. අපට ආසන්නම අසල්වැසියා වන ඉන්දියාවට ඉතා ආසන්නයේ පිහිටා තිබීමෙන් අපට  අතීතයේදී බොහෝ කරදර ඇති වුවද අනාගතයේදී එය එම කරුණම අපට  බොහෝ ආර්ථික ප්‍රතිලාබ ගෙන දෙන්නට බොහෝ ඉඩ තිබේ..  ඒ ඉන්දියාවේ ආර්ථිකය දැනට වර්ධනය වන වේගය නිසාය[1].  මෙතරම් විශාල ආර්ථිකයක්; ලෝකයේ 10 වෙනි ආර්ථිකය, මෙම ආර්ථික වර්ධන වේගය මෙලෙස පවත්වා ගතහොත් ඉන්දියාව ලොකයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනවාට කිසිම සැකයක් නැත. 

විශේෂයෙන්ම මෙම සීඝ්‍ර දියුණුව සිදුවන්නේ තොරතුරු තාක්ෂණය වැනි අනාගතයේ ලෝක දියුණුවේ ප්‍රධාන අංගයන් දෙසට නිසා මෙම සීඝ්‍ර දියුණුව ආර්ථික හා සාමාජීය වශයෙන් තවත් වැදගත් වෙයි. එවැනි ධනවත් එමෙන්ම බලවත් දැනුම කේන්ද්‍රස්ථානයක ලගින් සිටීමත් බොහෝ ප්‍රතිලාභ ගෙන දෙන බව නොකිවමනාය.

අපගේ භූගෝලීය ස්ථානය තවත් කරුණු කිහිපයක් නිසා වැදගත් වන්නේ යැයි අපි සිතමු. ඉන් ප්‍රධාන එකක් වන්නේ අප අසලින් ඉන්දියානු සාගරය වැටී ඇති ප්‍රධාන නාවික ගමනා ගමනයේ මුහුදු මාර්ගයයි. මේ මුහුදු මාර්ගය මැද පෙරදිග, අප්‍රිකාව සහ නැගෙනහිර ආසියාව, යුරෝපය සහ ඇමරිකාව මුහුද ගමනා ගමනයෙන් සම්බන්ධ කරයි. මෙම මුහුදු මාර්ගය පසුගිය සහශ්‍රයට පෙර සහශ්‍රයේ, මුල් කාලයේ පටන් ගෙන පසුගිය සහශ්‍රයේ මැද දක්වා (දල වශයෙන් ක්‍රි පූ 120 සිට ක්‍රි වර්ෂ 1450 දක්වා) ආසියානු මහාද්වීපය හරහා මධ්‍යධරණී මුහුද තෙක් ගමන් කල දැන් සේද මාවත යැයි හැඳින්වෙන වෙළඳ ගමනා ගමනය කෙරුණු මාර්ග දෙක අතරින් මුහුදු මාර්ගය වෙයි. ඒ හා සම්බන්ධ ගොඩබිම මාර්ගය එම මාර්ගයට දල වශයෙන් සමාන්තරව ඉන්දියානු අර්ධද්වීපයට උඩින් ගමන් කලේය.  


වර්තමානයේදීද එලෙසම ලොවෙහි ප්‍රධානතම මුහුදු මාර්ගය නොවූවද බොහෝ නැව් ගමන් කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් අප අසලින් වැටී තිබේ. එහෙත් මෙයින් අපට ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකිදැයි සිතන්නට අපහසුය. රුවල් නැව් සහ ගල් අඟුරු නැව් තිබූ කාලයේ මෙලෙස ප්‍රධානතම මුහුදු මාර්ගයක් අසලින් වරායක් තිබීමෙන් එම වරායට සහ වරාය අයිති රටට ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුලුවන් විය. 

ඒ නෞකා ගමන් කලේ ඉතාමත් අඩු වේගයකින් නිසා හා නැව් වල ගෙන ගිය හැකි ඉන්ධන ප්‍රමාණය ඉතා සිමා සහිත වූ   නිසා තමන්ගේ ගමන් මාර්ගයේ තිබෙන හැම වරායකටම පාහේ යාමට නාවිකයනට අවශ්‍ය වූ නිසාය. ගල් අඟුරු ලබා ගැනීමට එසේත් නැත්නම් සැපයුම් ලබා ගැනීමට නිතරම වරාය වලට යාමට ඔවුනට සිදු වූ අතර ගාල්ල වැනි මුහුදේ සෑහෙන දුරක් ගමන් කල පසු මුණ ගැසෙන වරායකට ගොස් ගල් අඟුරු හෝ වෙනත් සැපයුම් ලබා ගැනීමට එකල නිතරම සිදුවිය.


එහෙත් දැන් මුහුදු ගමනා ගමනය අති විශාල වේගයෙන් ගමන් කරන ඉතා විශාල නැව් වලින් සිදුවන නිසා මුහුදු මාර්ගයක් තමන් අසලින් තිබීමෙන් රටකට ඒතරම් ප්‍රයෝජනයක් නැත්තේය. නැව් වලින් ගෙන යාමට රටෙහි යම් නිෂ්පාදනයක් නැත්තේනම් එසේත් නැත්නම් නැව් වලින් නිතරම භාණ්ඩ ගෙන ඒමට තරම් ලොකු වෙළඳ පොලක්ද නැත්තේ නම් ප්‍රධාන මුහුදු මාර්ගයක් ලගින් තිබුන නිසා වෙන්ම නැව් ආකර්ශණය කර ගත නොහැක්කේය. ඒ නිසා රටක් අසලින් ප්‍රධාන නැව් මාර්ගයක් වැටී තිබීම එතරම් උපාය මාර්ගික වශයෙන් ප්‍රයෝජනවත් යැයි සිතීමට අපහසුය. 

එය හරියට සිග්‍රගාමි මාර්ගයක් අසල නිසා දේපලක වටිනාකම වැඩි වනවා යයි සිතීම වැනිය.  අප එවැනි ස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගැනීමට නම් නැව් ගෙන්වා ගැනීමට පෙර කිවූ පරිදි එක්කෝ නැව් වලට රැගෙන යෑමට ලෝක වාසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය අප විසින් නිපදවිය යුතුය. ඒ අතරම ඒවා නිපදවන අන්‍යයන්ගේ නිපැයුම් වලට, මිලෙන්, තත්වයෙන් හෝ නිර්මාණී කාරිත්වයෙන් තරගකාරී විය යුතුය.  


c.රටේ ආර්ථිකය.


ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80.6 කි. සංසන්දනය කිරීමට ඉන්දියාවේ එය බිලියන 2224 කි , එක්සත් ජනපදයේ එය බිලියන 18570 කි.  එයින් කියවෙන්නේ ඒ වසර තුල රටෙහි ජීවත්වන සෑම පුද්ගලයෙක් සහ සමාගමක්ම විසින් නිපදවන ලද සියලුම භාණ්ඩ හා සේවාවන්හි වටිනාකමයි. මේ ගණනය කරන්නේ රටේ සියලුම පුද්ගලයන්ගේ පරිභෝජනය, ව්‍යාපාර ආයෝජන, රජයේ වියදම්වල එකතුවට අපනයනය හා සෘණ ආනයනය වටිනාකම එකතු කිරීමෙනි. අපේ  ඒක පුද්ගල ආදායම $ 3818 ක් වන අතර මිලදී ගැනීමේ හැකියාව අනුව[2] (PPP) ගණනය කිරීමේදී එය $ 11069 වෙයි. එයින් තවත් විදිහකට ගම්‍ය වන්නේ අප රටෙහි ජිවන තත්වය ඒක පුද්ගල ආදායමෙන් පෙන්වනවාට වඩා තරමක් ඉදිරියෙන් තිබෙන  බවයි.


ශ්‍රී ලංකා දල ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා ප්‍රතිශතයන් ලෙස 12.8%, 29.2% සහ 58% බෙදෙයි. අප වසරකට 30$ බිලියන වටිනාකමකට අපනයනය කරන අතර 35 $ බිලියන වටිනාකමක ආනයනය කරයි.


අප අපනයනය කරන ප්‍රධාන රටවල් සහ එම රට වලට අපනයනය කරන ප්‍රතිශතය පහත පරිදිය. (2015)

ඇමරිකා එක්සත් ජනපදය 26.1%
එක්සත් රාජධානිය 9%
ඉන්දියාව 7.2%
ජර්මනිය 4.3%


අප අපනයනය කරන ප්‍රධාන භාණ්ඩ අතර ප්‍රධාන වශයෙන් ඇඳුම්, තේ, කුළු බඩු, මැණික්, දියමන්ති, පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන සහ මාළු අයත් වෙයි.


අප ආනයනය කරන රටවල් සහ ඒවායේ ප්‍රතිශතයන් පහත පරිදිය.

ඉන්දියාව 24.6%

චීනය 20.6%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 7.1%

සිංගප්පූරුව 5.9%

ජපානය 5.7%

ඊළඟ 





[1] 6% පමණ වර්ධන වේගයක්
[2] ඩොලරයට සාපේක්ෂව මුදලේ අගය වෙනුවට   රටෙහි මුදල්වල මිලදී ගැනීමේ හැකියාව මත ඒක පුද්ගල ආදායම ගණනය කිරීම.


2 comments:

  1. Replies
    1. ඔව් නොකැපු දියමන්ති ගෙන්වා කපා ඔප දමා නැවත අපනයනය

      Delete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...