Sunday, July 23, 2017

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?


from
http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html

මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග් එකක් ලීවෙමි.මෙම සිද්ධියේ භයානක කම රට ඇතුලට මෙවැනි තහනම් මත් ද්‍රව්‍ය රැගෙන ඒම වැලක්වීමට පොදුජන මුදලින් නඩත්තුවන ආයතන සියල්ලෙන්ම මිදී මෙම කොකේන් තොගය සොයා දුන්නේ CWE  එකේ කම්කරුවන් කිහිපදෙනෙකු වීමයි.

මෙලෙස අවසානයේ රට ඇතුලට ආ පසු අහම්බෙන් කෙනෙකු දැක අසුවෙනවානම් අප ගසා  ඇති වැට වලින් ප්‍රයෝජනයක් වෙන බවක් නොපෙනේ. අනෙක මෙතරම් ලොකු තොගයකුත් මෙලෙස ආරක්ෂාවෙන් මිදී ඇතුලට එන්නේ නම් කුඩා සිල්ලර ප්‍රමාන වලට කොතරම් පහසුවෙන් ඇතුලට එන්නට හැකියාවක් ඇද්දැයි සිතාගන්නට පුළුවන.

මෙලෙස තොග ගනනේ කොකේන් ගෙන එමෙන් පෙනෙන්නේ  එක්කෝ ලංකාවේ අති මහත් ජනතාවක් මේකට ඇබ්බැහි වී ඇති බවය, එසේත් නැතිනම් අප රට කොකේන් බෙදාහැරීමේ ජාත්‍යන්තර  මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවය. මේ දෙකෙන් කෝකත් අති භයානකය. මෙය වැලක්වීමට වහාම පියවර ගත්තේ නැත්නම් අපට බොහෝ කනගාටුදායක ප්‍රතිපල අත්විදින්නට වනබව නොඅනුමානය. 

අපට මේ සඳහා කලහැක්කේ කුමක්ද? කලයුත්තේ අප වෙත ඇති සියලුම මෙවලම්, මෙම මත්  ද්‍රව්‍ය රට තුලට ඒම වැලැක්වීම සඳහා අතිශය සංවිධානාත්මකව  යෙදවීමයි. වෙනත් ජාතියකට වඩා අපට මෙතැනදී විශේෂ වාසියක් තිබේ. ඒ අප දීර්ඝ කාලින යුද්ධයක් අවසානකර සිටීමයි. ඕනෑම රටක් යුද්ධයක් අවසන් කල පසු යුද්ධයේදී පාවිච්චි කල උපකරණ සහ හමුදාවන්ගේ අතිරික්තයක් ඇතිවන බව නොකිවමනාය. එවැනි අතිරික්තයක් නැවත වරක් ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට යොදාගන්නේ නැත්නම් එම මෙවලම් කොස්කොටන්නදැයි කෙනෙකුට අසන්නට පුළුවන. මෙලෙස කිසිම කරදරයක් නොමැතිව , වෙනත් කිසිම යෙදුමකට අවහිරයක් නොමැතිව එක්වරම යොදාගත හැකි සම්පත් කිහිපයක් තිබේ.

එහෙත් ඒ සියලු සම්පත් වලින් නිසි පල නෙලාගැනීමට නම් මුලින්ම එක් නිලධාරියෙකු සියලුම මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒම වැළක්වීමේ කටයුතු සංවිධානය සඳහා නම්කර ඔහුට සියලු බලතල ලබාදී රහස් තොරතුරු ඇතුළු සියලුම  සම්පත් ඔහුට යොදවාගත හැකි ආකාරයට නීති සකස් කිරීම අත්‍යඅවශ්‍යය. 


  • යුද්ධ කාලයේදී සියලුම හමුදාවෝ : යුධ,නාවික සහ ගුවන්, සුනඛ ඒකක ආරම්භ කළහ. යුද්ධය අවසානයෙන් පසුවත් ටික කාලයක් බිම් බෝම්බ ගොඩගැනීමට මේ සුනඛයන් යොදාගත්හ. මේ සුනඛයන්ගේ එකතුව බොහෝවිට 300 කටත් වඩා වැඩි විය යුතුය. ඊටත්  වඩා වටින්නේ මේ සුනඛ ඒකක සඳහා ගොඩ නැගු යටිතල ව්‍යුහයන්ය. බලු කුඩු වලසිට පශු වෛද්‍යවරු දක්වා මෙම ව්‍යුහයන් දිවෙයි. මේ ඒකක සියල්ල එක් පුද්ගලයෙකු යටතේ සංවිධානය කර සුනඛයන් මත් ද්‍රව්‍ය සොයාගැනීම සඳහාම  නැවත පුහුණුකර  සියලුම වරායවල සහ ගුවන් තොටුපලවල සේවයේ යෙදවීම.
  • මෙම සුනඛයන් යොදා ගෙන වරින්වර සැක සහිත ස්ථානයන් සහ පුද්ගලයන් පරික්ෂා කරවීම.
  • නාවික හමුදාව යුද්ධ කාලයේදී තමන්ගේ නොයෙකුත් පහසුකම් සහ කඳවුරු වල ආරක්ෂාව සඳහා සතුරන් එන බව කලින් දැන ගැනීමට රේඩාර් උපකරණ සවි කළේය. මෙවැනි රේඩාර් යන්ත්‍ර සිය  ගණනක් දැන් එකල තිබු අවශ්‍යතාවයන් නැතිවී අතිරික්ත වී ඇති බවට කිසිම සැකයක් නැත්තේය. උදාහරණයක් වශයෙන් දැන් වැලිගම නාවික හමුදා නිවාඩු නිකේතනය තිබුණු තැන යුද්ධය අවසන් වනතෙක් තිබුනේ ගාල්ලේ වරයා ආරක්ෂාකිරීමට යොදා තිබුණු රේඩාර්  යන්ත්‍රයකි. මෙවැනි උපකරණ මුහුදෙන් මත් ද්‍රව්‍ය ගෙනවිත් ගොඩ බාන්නට ඉඩ තිබෙන ප්‍රදේශ වල කිලෝ මීටර් 5 න් 5 හට සවිකළ හැක. ඒවා එක පද්ධතියකට සවි කිරීමෙන් සියලුම රේඩාර් රූප එක මධ්‍යම ස්ථානයක සිට බලා ගැනීමටද පුළුවන.
  • එකල නැගෙනහිර මුහුදේ ඇතින් තිබෙන  ආයුධ රැගෙන ඒමට උත්සාහ කරන  නැව් හා ට්‍රෝලර් යාත්‍රා අල්ලා ගැනීමට HF රේඩාර් යන්ත්‍රයක් නැගෙනහිර මුහුදේ සවි කෙරුණි. මෙම රේඩාර් යන්ත්‍රය කැනඩාවේ නිපදවුනේ ඇමරිකාව අයත් රේතියොන් ආයතනයෙනි. එකල ඉතාමත් නවීනතම රේඩාර් පද්ධතියක් වූ මෙවැනි රේඩාර් දැන් ඈත මුහුදේ රැලි පද්ධති වල විශාලත්වය හා වේගය මැන සුනාමි අනතුරු ඇගවීම් සඳහාද යොදා ගැනේ. මෙම යන්ත්‍රය මුහුදෙන් වඩාත්ම මත්ද්‍රව්‍ය ගෙන ඒමට අවදානය තිබෙන තැනින් සවිකළ හැක.


මේ එවැනි මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා යොදාගත හැකි අතිරික්ත වී ඇති සම්පත් කිහිපයකි. නිර්මානකාරි වනවා නම් මෙවැනි නොයෙක් ආකාර යෙදවීම් යොදා ගැනීමට පුළුවන.


Friday, July 21, 2017

රත්මලානේ කොකේන් ප්‍රශ්නයේ අනෙක් පැත්ත.




පසුගිය දිනෙක කොකේන් කිලෝ ග්‍රෑම් 150 රත්මලානේ රජයට අයත් සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ කන්ටේනර් එකකින් සීනි බාද්දී අල්ලා ගැනුණි. ඇත්තෙන්ම මෙය 'අල්ලා ගැනීම' කීවත් අල්ලා ගැනීමක්ම නොවේ. අල්ලා ගැනීමකට වඩා එය අහම්බෙන් නිරීක්ෂණය කරන ලද්දක් බව පෙනේ. 

ඒ කෙසේද යත් වරායේ හෝ ගුවන් තොටුපලේ මෙවැනි රට තුලට ගෙන ඒමට අවසරයක් නොමැති භාණ්ඩ රට ඇතුලට ඒමට නොදී අල්ලා ගැනීමට වගකීම ඇති රේගු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සියලු රහස් තොරතුරු අංශයන් සහ නොයෙකුත් පරීක්ෂා කිරීමේ උපකරණ තිබියදීත් අසාර්ථක වූ නිසාය. ඒ අතරම පොලීසියේද විශේෂ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයක් බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙයි. ඔවුන්ද මේ ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට අසමත් වී ඇති බව පෙනේ. 

අවසානයේ මෙය රට ඇතුලේ බඩු බාන අංගනයකටම පැමිණ බඩු බාන කම්කරුවන් දකින තෙක් ඒවා සොයා ගෙන අල්ලා ගැනීමට පොදු ජන මුදලෙන් නඩත්තු කරනා කිසිම රාජ්‍ය ආයතනයකට හැකියාව ලැබෙන්නේ නැත. මෙය හරිම පුදුම සහගත එමෙන්ම ශෝක ජනක තත්වයකි. මෙම කන්ටේනරය සතොසට යෑම වෙනුවට වෙනත් ඕනෑම බඩු ගබඩාවකට යැවීමට කොකේන් ගෙන්වූ ව්‍යාපාරිකයිනට හැකියාව තිබිණ. ඔවූහූ එසේ කලා නම් මෙලහකට මෙම කුඩු,

  •  ලංකාවේ පරිභෝජනයට ගෙනාවේ නම් දැනටමත් ලංකාවේ වීදී වල විකිනෙමින් තිබීමට.
  • ලංකාව මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් වෙනත් රට වලට නැවත යැවීමට ගෙනාවේ නම් එලෙස යැවීමට සූදානම් කිරීම.


සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබිණ. මක් නිසාද කොකේන් ගෙන්වූ තැනැත්තාට මේ තොගය රට ඇතුලට ගත් පසු ඕනෑම ඇඩ්‍රිස් එකකට යැවිය හැකි පරිදි මුලින් සංවිධානය කිරීමට අවකාශ තිබීමයි. මෙලෙස රුපියල් කෝටි 320 ක් වටිනා කොකේන් කිලෝ ග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් මෙතරම් අසන්විධානාත්මකව එවන්නට හේතු වූයේ යැයි සැක කරන්නට හේතු මොනවාද? 

කොකේන් යනු ගංජා වලට පසු ලෝකයේ වැඩියෙන්ම භාවිත වන මත් ද්‍රව්‍යයයි. අපි මත්ද්‍රව්‍ය කිව්වද අන්තර් ජාතිකව කියන්නේ විනෝදායන බෙහෙත් කියාය. මිලියන් 20 ක පමණ ජනගහනයක් මෙය භාවිත කරන අතර මෙය නිපදවන්නේ කොකා නැමති ශාඛයක පත්‍ර වලිනි. 

මෙම මත් ද්‍රව්‍යය නහයෙන් ඇදීම, දුමක් ලෙස ආඝ්‍රහනය කිරිම, එසේත් නැත්නම් දියරයක් ලෙස ලේ නහර වලට ඇතුල්කර ගැනීමෙන් මත් වීමට යොදා ගනිති.
 කොකේන් පල්පය කිලෝ එකක් සාදා ගන්නට කොකා ගස්වල කොළ ටොන් එකක් පමණ අවශ්‍ය වෙයි. කොලොම්බියාව වැනි කොකේන් නිපදවන මෙවැනි රටවල ගොවියනට කොළ ටොන් එකකට ලැබෙන්නේ ඩොලර් 400/500 වැනි මුදලකි. එම කොළ ටොන් එක කොකේන් පල්පය කිලෝ ග්‍රෑම් එකක් කල පසු එහි වටිනාකම $ 900 ක් පමණ වෙයි. මෙම කිලෝ එකක් උතුරු ඇමරිකාවට යන විට එහි වටිනාකම $ 10,000 සිට 20,000 දක්වා වෙයි. කුඩු බෙදා හරින්නන්ට මෙය ලැබෙනවිට කිලෝ එකක් $ 70,000 සිට 80,000 දක්වා වෙයි. එය ඇමරිකාවේ වීදීවල විකුණන විට එහි වීදි මිළ කිලෝ ග්‍රෑමයට $ 150,000 ක් පමණ වෙයි. ලංකාවේ පහුගියදා අසුවුනු කිලෝ ග්‍රෑම් 150 ද සිල්ලර මිළ කෝටි 320 ක් ලෙස පොලීසියෙන් ප්‍රකාශ කලේය. ඒ මිළද ඉතා කිට්ටු වෙන් ඇමරිකාවේ කොකේන් මිළ හා සැසැදේ. ඒ අනුව බලන විට ලෝකයේ ඕනෑම තැනක කොකේන් වල සිල්ලර මිළ එක සමාන බව පෙනේ. ඇත්තෙන්ම  purchasing power parity (PPP) අනුව ගණන් බැලුවහොත් මෙහි කොකේන් වල සිල්ලර මිළ ඇමරිකාවට වඩා බොහෝ වැඩි බව ආර්ථික විද්‍යාඥයෙකු ගෙන් මේ පිළිබඳව ඇසුවහොත් අපට පැහැදිලි කරනු ඇත. 

දැන් මේ අද්භූත ජනක කොකේන් හමුවීම නිසා පුරවැසිනයට ඇති වන ගැටලු මොනවාද?  

  • මෙලෙස එක කොකේන් තොගයක් අහම්බෙන් අසුවීමට නම් කොපමණ කොකේන් තොග මෙරටට ගෙන එනවා ඇද්ද? 
  • රේගුවට හෝ පොලීසියට කන්ටේනරයක තිබූ කිලෝ 150 ක් හොයා ගන්නට බැරි වූයේ නම් කිලෝ 10/15 සිල්ලර මලු කොතරම් කන්ටේනර් වල එනවා ඇද්ද? 
  • මෙතරම් කොකේන් පාවිච්චි කරන්නන් ලංකාවේ සිටින්නේද? 
  • මෙතරම් පහසුවෙන් ඇතුලට ගෙන ඒමට පුලුවන් නම් පිටට යවන එක මෙයට වඩා බොහෝ පහසු බවට සැකයක් නැත්තේය. එසේ නම් ලංකාව දැනටමත් කොකේන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට සැකයක් නැත්තේය. 
  • එසේ අන්තර් ජාතික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ නම් මෙය අපි හිතනවාටත් වඩා භයංකාර තත්වයකි. මක්නිසාද අන්තර් ජාතික මාෆියා වර්ගයේ දරුණු අපරාධ කණ්ඩායම් මේවා පාලනය කරනවා වෙන්නට පුලුවන. 
  • එවැනි තත්වයක් ඇත්තේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ඉතා කිට්ටුවෙන් යන අන්තර් ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්ගේ ක්‍රියාකාරිත්වයද මෙරට තුලට පැමිණෙනු ඇත. ලෝකයේ කොහේවත් නැති ක්‍රෝධ සහ වෛර දේශපාලනයක් ඇති ලංකාවේ දේශපාලනයට මෙවැනි බිහිසුනු අන්තර් ජාතික ත්‍රස්තවාදීන්ද අතපෙව්වහොත් කුමන ව්‍යසනයක් ඇතිවිය හැක්කේද?


මෙය ඩෙංගි හෝ ගංවතුර ප්‍රශ්න මෙන් නොව ඊට වඩා ඔඩු දුවන ප්‍රශ්නයක් බව නම් නොකිවමනාය.

ඊලග කොටස :- මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම වැලැක්වීම සදහා යෝජනා.
http://lakshmanillangakoon.blogspot.com/2017/07/blog-post_23.html         

Monday, July 17, 2017

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්




මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝන් ස්ටාර් වැඩසටහනට අමතරවය.

ලංකාවේ නරඹන වැඩසටහන් වන්නේ සතියේ දිනවල දෙව්ලියේ සහ හාර කෝටිය වන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධර්මාශෝකය. ධර්මාශෝක දැන් අවුරුද්දක පමණ සිට බලන්නෙමි. සමහර නැරඹ්ම් අව සානයේදී මෙතරම් බොලඳ, ලාමක සහ ඉතාමත් ඓතිහාසිකව වැරදි කතාවක් කුමට බලන්නේදැයි කෝපයට පත්ව නැවත නොනරඹන බවට ප්‍රකාශකර සිටියද මෙම කතාවේ ඇති භාෂාවේ පරිවර්තනයේ අලංකාරය සහ පසුබිම් දර්ශන වල අලංකාරය නිසා නැවත බලන්නට සිත්වේ. මේ කතාවේ කොතරම් අතාත්වික දේවල් තිබෙනවාද යත් වයස 13 ක පමන අශෝක කුමරු පාඨලී පුත්‍රයේ සිට අධිරාජ්‍යයේ හමුදාවත් සමග උතුරු ඉන්දියාවේ බටහිර පැත්තේ රට මැද ඇති තක්ෂිලා නගරයේ කැරැල්ලක් මැඩ පවත්වන්නට යන්නේ නැව් නැගය. සමහර විට අධ්‍යක්ෂක වරයාට නාවික යම් කිසිවකුත් කතාවට ඇතුල් කරන්නට සිතැඟියාවක් ඇති වන්නට ඇත.

ධර්මාශෝක කතාවේ මෙවැනි නොවිය හැක්කන් සමූහයකි. උතුරු ඉන්දියාවේ මෙවැනි අතාත්විතයන් චිත්‍රපටවල සාමාන්‍ය වෙයි. මෙය දකුණු ඉන්දියාවේ හැදුවා නම් කොතරම් ලස්සනට හදන්නට ඉඩ තිබුනේදැයි සිතුවිලි ඇතිවීම නොවැලැක්විය හැකිය.

මාතෘකාවට නැවත පැමිණ, දෙව්ලියේ සහ හාර කෝටිය දෙස බලමු. මේ නාටක දෙකම අභිරහස්, සිනහ උපදවන, තරමක පෙම් කතාවකුත් සහිත නිෂ්පාදනයන් වෙයි. 

මෙම කථා දෙකෙහිම අපි දකින සමහර දේවල් අපේ සමාජයේ ඇත්තටම සිදුවන දේවල් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පහත නිරීක්ෂණ දෙස බලන්න. 


  • මෙහි ජීවත්වන ප්‍රධාන චරිත එකක්වත් රැකියාවක් කරන්නේ නැත. එහෙත් හොදින් කා ඇඳ ජීවත් වෙති. එකදු හෝ රැකියාවක් කරන්නේ අම්මා කෙනෙකු පමණි. ඒත් සීයට තුනේ පාපිසි මසා විකිණීමය. 

  • ස්වාමිපුරුෂයා මිය ගිය හෝ නොමැති කාන්තාවකට වටේ පිටේ මිනිසුන්ගෙන් බේරිල්ලක් නැත. මදුරු බෙහෙත් ගහන්නට එන්නාද පොඩි උත්සාහයක් කරයි. 

  • පොලිසිය තිප්පොළක් වට කරන විට සොරුන් පැන යන තැන බලා ගන්නට කෙනෙකු යොදවන්නේ නැත. ඒ ඔවුන් පැනගිය පසු ලුහු බැද යාම වඩාත් ත්‍රාසජනක වන නිසා විය යුතුය. 

  • කතාවල සිටින තරුණ තරුණියන් දහා දෙනා ගෙන් පමණ එක් තරුණියක මැද පෙරදිග රැකියාවකට යයි. ප්‍රතිශතය බැලුවිටත් රටේ සාමාන්‍යට කිට්ටු  බව පෙනේ. 

  • තරුණියක ඉගෙන ගැනීමට ඕනෑ යැයි සිතෙන විට it පන්තියකට යයි. රුපියල් 60,000  පන්තියට ගෙවන අතර කුමක් අරභයා it ඉගෙන ගන්නේ දැයි දන්නේත්  නැත. පන්ති කට් කරන එකේ අඩුවකුත් නැත.   

  • කථා දෙකේම ලස්සන තේමා ගීත තිබේ. 

  • සෑම දෙබසක්ම වාගේ ඝට්ටනකාරීය. ප්‍රශ්නයක් ඇසුවොත් උත්තර දෙන්නෙත් ප්‍රශ්නයකිනි. බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ තවකෙකු සමග පැටලෙන්නේද කියාය. 


මේ තරුණ තරුණියන් එකතුවූ විටද යම් වැඩකට ඇති දෙයක් ඉගනගන්නට හෝ අලුත් දෙයක් ගැන කරන්නට කථා කරන්නේ නැත ,  බටහිර මෙවැනි sitcom වල පවා චරිත  යම් රැකියාවක් කරන්නන්ය. එසේත් නැත්නම් කිසියම් දෙයක දී ඉන්නන්ය. එවැන්නක් බලන නරඹන්නන්ද ඒවායින් ආදර්ශයක් ගනිති 

මේවායේ චරිත වලින් එකක් දෙකක් හෝ යම් කාර්මික පුහුනුවක් හෝ ලබාගෙන ඒ  ජිවිතයෙන් ගැලවී ජිවිත සකසා ගන්න ආකාරයක් පෙන්නුම් කිරීමට මෙවැනි නාට්‍ය කරන්නන් උත්සාහ කල යුතුය. බන නොකියා එවැනි අදහස් තරුණ මනස වලට ඇතුල් කල හැක. inspirational  චිත්‍රපට වලින් කෙරෙන්නේ මෙවැනි දෙයකි. තමන් වැටී සිටින වලෙන් ගොඩට ඒමට මාර්ග පෙන්වා දී    ලබාදීමය . pursuit of happiness වැනි චිත්‍රපට මේ සඳහා උදාහරණ ලෙස ගත හැක. 

වල නරඹා සන්තෝෂ වීමට වඩා වලෙන් ගොඩ එන ක්‍රමයක් පෙන්න දීමත් අපේ වගකීමක් බව මට සිතේ 

      

Saturday, July 15, 2017

සහතික මිලේ කතාව.

                               වියට්නාමයේ අලුත් ක්‍රම

අප ප්‍රවෘත්තිවල වරින් වර සහතික මිල ප්‍රශ්නය මාතෘකාවක් බවට පත්වෙයි. 

මුලින්ම සිදුවන්නේ ගොවියන් පිරිසක් ප්‍රධාන මාර්ගයට පැමිණ ටයර් කිහිපයක් පුලුස්සා උද්ගෝෂණයක් සංවිධානය කිරීමය. පාරේ යන සියලුම වාහන නවතා නොගතහොත් තමන්ගේ උද්ගෝෂණයට ප්‍රවෘත්ති නාලිකාවල හවස ප්‍රවෘත්තිවල වැදගත් තැනක් නොලැබෙන බව ඔවූහූ දනිති. පැමිනි පිරිස විශාල නම් කිසිම කරදරයක් නැතිව මෙය කරගත හැකි නමුදු පිරිස ගණනින් අඩු නම් පොලීසියට ඔවුන් එහාට මෙහාට තල්ලු කර වාහන වලට පාරේ ඉඩ අරන් දීමට පුලුවන.   

බොහෝ විට මෙවැනි උද්ගෝෂණවල විරුද්ධ පක්ෂයේ දේශපාලඥයකු හෝ දෙදෙනෙකු අවසානයේ සම්බන්ධ වන අතර උද්ගෝෂණය ප්‍රදේශයට බලපාන විශාල එකක් නම් ; පසුගිය දින පැවති උමා ඔය උද්ගෝෂණය වැනි, දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රාදේශීය ගෝල බාලයින් සහභාගි වෙති. 

පොලීසිය පිරිස තල්ලු කර පාරේ ඉඩ ගැනීමට සැරසෙන්නේ නම් කිහිප දෙනෙකු පාරේ නිදා ගෙන එය වලක්වන්නට උත්සාහ කරති. සහතික මිල ඉල්ලන උද්ගෝෂණයක් නම් සහතික මිල ඉල්ලා සිටින කෘෂි නිෂ්පාදනය ටිකක් ගෙනැවිත් පාරේ හැලීමට හෝ පාරේ ප්‍රදර්ශනය කිරීමද සිදුවේ. 

අවසාන වශයෙන් මෙවැනි සහතික මිල ඉල්ලීමක් සිදු වූයේ දින කිහිපයකට පෙර ඇඹිලිපිටියේය. එහිදී සහතික මිල ඉල්ලනු ලැබුවේ ගම්මිරිස් සදහාය. ඉහතින් ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2008 සිට 2013 දක්වා ලෝක වෙළඳ පොලේ කලු සහ සුදු ගම්මිරිස් මිලය. මෙට්ට්‍රික් ටොන් එකක ඇමරිකානු ඩොලර් වලින් දක්වා ඇති මෙම දර්ශකයේ හැටියට කලු ගම්ම්රිස් වලට අඩු මිලක් ලැබී ඇත්තේ 2010 පටන් ගන්න කොටම වාගේය. එවිට කලු ගම්මිරිස් මිල ටොන් එකකට ඩොලර් 1800 ක් පමණ වෙයි. 
මෙම මිල ක්‍රමයෙන් වැඩි වී 2011 අවසානයේදී ඩොලර් 7600 කට පමණ යයි. මේ හතර ගුනයක පමන වැඩිවීමකි. ලෝක වෙළඳ පොලේ වෙළඳාම් කෙරෙන ඕනෑම වෙළඳ භාණ්ඩයක මිල මෙලෙස අඩු වැඩි වෙමින් පවතී. විශේෂයෙන් කෘෂිකර්ම නිෂ්පාදනවල මිල වෙනස්වීම් වල බොහෝ උල්ලසිතය. නිෂ්පාදන වැඩිවීම, වර්ෂාව හෝ නියඟය, අලුත් රටවල් නිෂ්පාදනයට එකතුවීම, මෙලෙස සිදුවීමට ප්‍රධාන හේතු වෙයි. 

මේ දිනවල ගම්මිරිස් මිලටද සිදු වී ඇත්තේ මෙවැනිම හේතුවකි. ඒ වියට්නාමයේ ගොවියන් ලබාගෙන ඇති විශාල අස්වැන්න හේතුවෙනි. එලෙසම ඔවුන්ගේ දක්ෂ කලමනාකරණය නිසා හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න ප්‍රමාණය වැඩිකර ගැනීමෙනි. සංසන්දනාත්මකව ඔවුන් දැන් හෙක්ටයාරයකින් ගම්මිරිස් කිලෝ ග්‍රෑම් 3000 ක් පමණ නිපදවන අතර අපගේ ගම්මිරිස් වතුවල හෙක්ටයාරයකට නිපදවන්නේ කිලෝ ග්‍රෑම් 500 ක් පමණි. ඒ අනුව වියට්නාමයේ ගොවියෝ වඩා හොඳ කෘෂිකාර්මික ක්‍රමවේද යොදා ගනිමින් අපේ ගොවියන් මෙන් හය ගුනයක අස්වැන්න ලබා ගනිති.   

ලංකාවේ ගම්මිරිස් කිලෝ ග්‍රෑමයකට නිෂ්පාදන වියදම රුපියල් 60 යැයි ගණන් බලා තිබේ. එහෙත් ඇත්තෙන්ම පවුලේ සාමාජිකයන් විසින් කලමනාකරණය කෙරෙන වානිජ වහයෙන් සිදු නොකෙරෙන නිෂ්පාදන වියදම මීටත් වඩා අඩු බව මා පුද්ගලිකව දන්නෙමි. 





ගම්මිරිස්වල කෘෂි ආර්ථිකය පසෙකින් තබා මේ සහතික මිලේ ප්‍රශ්නය දෙස විමසුමෙන් බලමු. ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට එහි සාමාන්‍ය මිල ගම්මිරිස් මෙට්ට්‍රික් ටොන් එකකට ඩොලර් 4500 කි. එම මිල අන්තර් ජාතික වෙළඳ පොලෙහි පවතින විට ලංකාවේ ගම්මිරිස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1500 ක් යැයි සිතුවහොත් මිල ඊට වඩා අඩුවන සෑම ඩොලරයකටම දේශීය මිලද රුපියල් ගණනින් ප්‍රතිචාර දක්වයි. වැඩි වන විටද තත්වය එසේමය. එහෙත් මිල වැඩි වන විට ගොවියෝ වැඩි මිලට ගම්මිරිස් විකුණා නිශ්ශබ්දව එම මුදල් සතුටින් පාවිච්චි කරති. පොදු ජනයා වන අපට නිකමටවත් පාටියට ආරාධනා කරන්නේ නැත.   

මිල අඩු වූ විට පාරට බැස මහ මඟ වාහන නවත්වා ඒ අඩු වූ කොටස පොදු ජනයාගේ; ඒ කියන්නේ අපේ, මුදලින් එකතු කර සහතික මිලක් දෙන්නට කියති. 

මෙලෙස අඩුගානේ මසකට වරක්වක් පැවැත්වෙන අල ලූණූ, මිරිස්, සහල්, කිරි, රබර් සහ තේ වැනි සියලු කෘති නිෂ්පාදනයන්ට මිල අඩු වන කාලයට අපෙන් මුදල් දමා සහතික මිලක් දෙන්නට සිදු වුවහොත් අපේ බදු මුදල් වෙන කිසිවකටත් නොයදවා සහතික මිල පවත්වා ගැනීමටම ගෙවන්නටම සිදුවනවා නොඅනුමානය. එහෙයින් මේ ගොවියනට සහතික මිල ලබාදීම ප්‍රායෝගික නොවේ. 

එහෙත් මෙයට යම් තරමක විසඳුමක් ඇති කරන්නට රජයට පුලුවන. එය සහතික මිල අවශ්‍ය යැයි කියන සියලුම ගොවියන් ලියාපදිංචි කර ඔවුන්ගේ නිෂ්පාදනයන්හි මිල යම් පෙර නිර්නය කරගත් ප්‍රමාණයකට වඩා ඉහලට ගියවිට එම වැඩි ප්‍රමාණය යම් ලෙසකින් ආයෝජනය කරවා මිල අඩු වූ විට ඒවා ඔවුනට ලබා ගැනීමට සැලැස්වීමයි. 

එසේ නොමැතිව රජයට පතුලක් නැති ලිඳකින් මුදල් ලැබෙන්නේ යැයි සිතා සෑම නිෂ්පාදනයකම මිල අඩුවන විට ඒ අඩුවන මුදල පොදු ජනයාගේ මුදලින් ගෙවන්නට ගියහොත් මේ රටට නම් ගොඩ ඒමක් නැත්තේය. එලෙස සහතික මිල ගෙවද්දීත් ඒවායින් කොතරම් මුදලක් නාස්තිවේදැයි යන්නත් සැලකිල්ලට බදුන් කලයුතු කරුණකි.   

 

Sunday, July 9, 2017

නගර තනන්නෝ සහ වින කටින්නෝ - 2

                                                  සුරික් වැව

යම් තරමකට පුද්ගලයා නගරය පාවිච්චි කරන අවශ්‍යතාවය අනුව වැව එක්කෝ හොඳ අංගයක් වෙයි, එසේත් නැත්නම් කරදරයක් වෙයි. නමුත් වැව නගරයට අමුතු ගතියක් එකතුකර ඇති බව නම් සියලුදෙනා පිළිගන්නා බවට විවාදයක් නැත්තේය. ඒ අනුව පලවෙනි විමලධර්මසූරිය ගෙන් පසුව දැන් අපට පෙනෙන මහනුවර නගරයට යම් විශේෂ සේවයක් කර ඇති ඊලග  පුද්ගලයා අපේ අවසාන රජු වූ දකුණු ඉන්දියානු පවුලකින් පැවත ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය.

ඔහු කිරිමුහුද සාදා වසර 8 කින් මහනුවර ඉංග්‍රීසිනට යටත්වෙයි. දැන් ඉංග්‍රීසි මහනුවර පමණක් නොව මුළු රටෙහිම පාලකයන් වෙති. ඔවුහු ටික කලක් ඔවුන්ගේ ලංකාවේ අගනුවර කරගන්නේ ගාල්ලද කොළඹද යනුවෙන් තර්ක කර අවසානයේ කොළඹ අගනුවර ලෙස තිරණය කරති. සුද්දන් මහනුවර ඔවුන්ගේ දෙවන නගරය ලෙස පවත්වාගෙන ගියද නගරයට සැහෙන යමක්; ඔවුන්ගේ පාලන කාලය වූ අවරුදු 133 හා සසඳා බලනවිට, වැඩි යමක් එකතුකර නැති බව පෙනේ.

ඔවුහු උසාවියක් වත් සාදාගන්නේ නැතිව කන්ද උඩරට රජවරුන් මහනඩුව ඇසු මගුල් මඩුවේම නඩු ඇසීමත් කරගෙන ගියහ. අස්ගිරියේ තිබු රාජකීය සොහොන කඩා සෑදු මාතලේ දුම්රිය පාර සහ මහනුවර දුම්රිය ස්ථානය ඔවුන්ගේ එකතු කිරීම්ය. නිදහස ලැබෙන තෙක් ගවනර්ස් පැවිලියන් යනුවෙන් හැදින්වූ දැන් ජනාධිපති නිල නිවාසයද ඔවුන්ගේ එකතු කිරීමකි. දෙවන ලෝක මහා යුද්ධයේ මිත්‍ර පාක්ෂික ගිනිකොන දිග විධානයේ මුලස්ථානය වන්නේත් මහනුවරය.යුද්ධය අවසාන වන තෙක් එම විධානයේ ප්‍රධානියා වූ අද්මිරාල් ලුයිස් මවුන්බැටන් නිවාසය වන්නේත් මෙයයි. පසු කලෙක පහල විදියේ පැවිලියන් හෝටලයට නම එන්නේත් මේ පැවිලියන් එක නිසා විය යුතුය.


 .දැන් වසරක් පමණ කරන්නට දෙයක් හිතාගන්නට බැරුව නිකම්ම තබාගෙන සිටින අඩුම තරමින් බිලියන 5 ක් පමණ වටිනා  බෝගම්බර හිරගෙය තවත් සුද්දන්ගේ එකතුකිරිමකි.නගරයේ දෙපරැන්දේම මේසා විශාල හිරගෙයක් සැදීමෙන්ම ඔවුන් එකල කැරලි වලට බියෙන් සිටියාදැයි පෙනේ. විශේෂයෙන්ම ඔවුන්ට 1818 කැරැල්ලේදී මහනුවර හැර යාමට සිදුවීම මෙම ස්ථාන ගත කිරිමට ප්‍රධාන හේතුවක් වන්නට ඇත.


 එයට අමතරව සුද්දන් බෝගම්බර ස්ටේඩියම් එකේ සිට පුෂ්පදාන එක දක්වා දිවුණු ස්වභාවික ජලාශය නගරයට හා දුම්රිය සංකීර්ණයට ඉඩ ලබාගැනීම සදහා ගොඩකළ බවද කියනු ලැබේ.

සුද්දන් මෙම ජලාශය සහ වගුරුබිම ගොඩ කලේ නැත්නම් අපට ස්විසර්ලන්තයේ සුරික් නුවර මෙන් මහනුවරට බටහිරින් විශාල වැවක් තිබෙන්නෙට ඉඩ තිබුණු බව කෙනෙක් කියන්නට පුළුවන.
කෙසේ හෝ කාලය පැමිණි විට සුද්දෝ රට හැර ගියහ. මහනුවරත් ලොකු වෙනසක් නොමැතිව කුඩා නගරයක් ලෙස පැවතින. ජනගහනය වැඩි වී වාහන වැඩිවිය. ගොන් කරත්ත වලට සෑදූ පාරවල් කාපට් කෙරුනු නමුදු ඒවා පළල කිරීමක් සිදු නොවින. කටුකැලේ පාර නගරයට කොළඹ සිට පැමිණෙන එකම පාර විය. ඒ පාරේම කිංස්වුඩ්, හයි ස්කූල් සහ සෙන්ට් ජෝන්ස් පාසල් තිබුණු නිසා වාහන තදබදය දරාගන්නට බැරි විය. මේ වාහන ගමනාගමනයෙන් ප්‍රයෝජන ගන්නට බොහෝ ව්‍යාපාරද මේ පාරේ ඇතිවිය.

ජනධිපති ප්‍රේමදාස මේ සඳහා ඥානවන්ත විසඳුමක් ගෙනාවේය. ඒ කටුකැලේ පාරට සමාන්තර පාරක් ලෙස පෙර  රාජසිංහ රජුගේ කුඹුරු යාය  මැදින් පාරක් කැපීමය. කටුකැලේ පාරේ වාහන ගමනාගමනය 70% පමණ අඩුවිය. එහෙත් දැන් ඒ පාරේ  තදබදය නැවත ගොපල්ලව මාවත ඉදිකිරීමට පෙර තත්වයට පැමිණ ඇත. ගොපල්ලව මාවත සැදුනේ නැතිනම් තත්වය කොතරම් දරුණු වන්නට ඉඩ තිබුනේද ?

ප්‍රේමදාස ජනාධිපති මේ පාරට තමන්ගේ නම දා ගත්තේද නැත. මහනුවර පෙරකදෝරුවකුව සිට රටේ පලවෙනි පුරවැසියාවූ විලියම් ගොපල්ලවගේ නම එයට යෙදුවේය. ඔහු මෙයට අමතරව මාලිගය අවට සම්පුර්ණයෙන්ම වෙනස් කර මාලිගාවට ප්‍රෞඩ පෙනුමක් ද ලබා දුන්නේය.

ඉන්පසු බොහෝ කලක් නිද්‍රෝපගතව සිටින මහනුවරට 1993 දී අලුත් අදහසක් සමග අමුත්තෙක් පැමිණෙයි. පැමිණ ඔහු මහනුවර නගරයේ දැන් trip advisor හි ආකර්ෂණ 37න් 2 වන ස්ථානයේ පසුවන මහනුවර සිටි සෙන්ටර් එක මහනුවරට දායාද කරයි.රාජසිංහ රජු වැව සාදන්නේ එකල තිබු රාජකාරි බදු ක්‍රමය මතය. ප්‍රේමදාස ජනාධිපති ගොපල්ලව මාවත සාදන්නේ අපගේ මුදලින්ය. එහෙත්  තුසිත විජයසේන මහතා මෙය සාදන්නේ ඔහුම මුදල් සොයාගෙනය. ඔහු එයට අපගේ මුදල් සතයක්වත් වියදම් කරන්නේ නැතුව මහනුවරට නගරය ඇතුලේ නගරයට වඩා කාර්යක්ෂම තවත්  නගරයක් ඉදිකර තිබේ. පසුගිය දිනක මගේ පොත් දොරට වැඩිමක්, එහිදී පොත් ප්‍රදර්ශනයට සමගාමිව  පැවැත්වින. මේ අදහස මට ආවේ එය පැවැත්වෙද්දීය.



පුද්ගලික ව්‍යාපාරවල සහ රජයේ ව්‍යාපාරවල වෙනස බලා ගන්නට ඕනෑ නම් මෙයට ගොස් ඉන්පසු රජයෙන් කලමනාකරණය කරන මෙවැනි පහසුකමකට ගිය යුතුය.

ජනතාවට මෙතරම් කාර්යක්ෂම වෙළඳ සංකීර්ණයක් ඇති කර මේසා විශාල ප්‍රමාණයකට රැකියා ලබාදීමට රජය අපේ මුදල් ආයෝජනය කලේ නම් එය බිලියන කීයක් විය හැකිද?

මෙලෙස බොහෝ දෙන විසින් ගොඩනගන ලද්දාවූ මේ නගරයට වින කටින්නෝ එක් පිරිසකි. ඒ යුධ කාලයේ වසා ආරක්ෂක හේතූන් මත වසා දමන ලද ප්‍රධාන පාරක් අවුරුදු 8 කට පසුත් වසා තබාගෙන මහනුවර ලංකාවේ වායු දූෂණයෙන් පලවෙනි තැනට ගෙනා පිරිසයි.


Thursday, July 6, 2017

නගර ගොඩනගන්නෝ සහ වින කටින්නෝ - 1






මහනුවර නගරය සෙංකඩගල නගරය ලෙස පටන් ගැනෙන්නේ 15 වන ශත වර්ෂයේ බව පෙනේ. ජයවීර අස්ථානගේ පුතෙකු සේනාසම්මත වික්‍රමබාහු (1473 - 1511)  සාමන්තයෙකු ලෙස කෝට්ටේ අධිරාජ්‍යයේ නාමික ප්‍රාදේශීය පාලකයෙකු ලෙස මෙය අගනුවර කරගත් බව පෙනේ. 

මොහුගේ නමට ඉදිරියෙන් ‘සේනා සම්මත‘ යනුවෙන් සඳහන් වීමෙන් එක්කෝ මොහු කැරලි කාරයෙකු ඒසේත් නැත්නම් සාමාන්තකයෙකුව සිට අධිරාජ්‍යයකින් වෙන්වුනු පාලකයෙකු බව පෙනී යයි. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ සේනාවේ අනුමැතිය මත මිස වෙනත් අයිතියක් නිසා නොවන බව හෝ එසේත් නැත්නම් ඔහුට රාජ්‍ය බලයට හිමිකම් කීමට ඇති ප්‍රධාන අයිතිය සේනාවේ ඔහුට ඇති අනුමැතිය බව විශේෂයෙන් පෙන්වා දෙයි. මොහු දුම්බර ජීවත් වූ බෝධි වංශයේ කුමරෙකු බව පොත්පත් කියයි. මෙවැනි ප්‍රාදේශීය රජවරු බොහොමයක් එකල වරින් වර දුම්බර විසූහ. පහල පිටියේ තුනයා සහ නාපාන ඈපා මෙවැනි නායකයන් ගෙන් දෙදෙනෙකි. 

මෙකල මහනුවර ඉතිහාසය විශේෂයෙන්ම, කරල්ලියද්දේ ජයවීර බංඩාර; අප ඉතිහාසයේ ප්‍රසිද්ධම චරිතයක් වන දෝන කතරිනා කුමරියගේ පියා, රජවන තෙක් එතරම් පැහැදිලිව ලේඛන ගතව නැත. මහනුවර නගරය පිලිවෙලකට රාජකීය අගනුවරක් වන්නේ (1590 - 1604) පලවෙනි විමලධර්මසූරිය රජුගෙන් පසුවය. ඔහු මහනුවර ආසියාවේ විශිෂ්ඨ අගනුවරක් බවට පත් කලේය. ඔහු සීතාවක රාජසිංහ රජු සහ පෘතුගීසීන් පිලිවෙලින් පරාජය කර කන්ද උඩරට රාජධානිය ලංකාවේ එකම රාජධානිය බවට පත්කර මහනුවර එහි අගනුවර බවට පත් කලේය. එපමනක් නොව ඔහු පෘතුගීසීන් හා බලන දී කල අවසන් සටනේදී මහනුවර රාජධානියට නියම හිමිකාරිය වූ වයස 14 ක් පමණ වූ දෝන කතරිනා කුමරිය සටන් බිමෙන්දීම විවාහ කරගෙන කන්ද උඩරට ඔටුන්නට දෙපැත්තකින් හිමිකම් ස්ථාපිත කර ගත්තේය.  

මෙකල ඕලන්දයෙන් ලංකාවට පැමිණි තානාපති වරයෙකු වූ අද්මිරාල් ස්පීල්බර්ගන් ඔහුගේ ගමන් විස්තරයේ මහනුවර ගැන කර ඇති ලියා ඇති සඳහනේ මහනුවර තිබෙන පූජනීය ස්ථාන යුරෝපයේ ප්‍රධාන දේවස්ථාන හා සමාන බවත්, රජුගේ මිදි වතු වලින් සාදන ලද වයින් ලෝකයේ හොඳම වයින් හා සමකල හැකි බවත් ලියා ඇත. 
                            ස්පීල් බර්ගන් හා විමලධර්මසූරිය රජු 

                                                         වැව සෑදීමට පෙර මහනුවර
 විමලධර්මසූරිය රජුගේ අකල් මරණය නිසා (මෙතරම් දේවල් ඉෂ්ඨ සිද්ධ කරගත් ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 14 ක් පමණක් විය.) මහනුවර නැවතත් දරුණු යුද්ධ කිහිපයකින් හෙම්බත් විය. ඉන්පසු රජ වූ විමලධර්මසූරියගේ ඥාති සොහොයුරු වූ සෙනරත් රජු බොහෝ විට තම රාජ සභාව පවැත්වැව්වේ කඳුකරයේ වනගතව සිටය. ඉන්පසු මහනුවර යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ දෙවෙනි රාජසිංහ රජු ඕලන්දයින් හා එකතුව පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් 1658 දී එලවා දැමුනු පසුවය.  

මෙලෙස මහනුවර නගරය අලංකාර ලෙස ගොඩනගන විමලධර්මසූරිය රජු ඒ සදහා බොහෝ විට යොදා ගත්තේ සටන් වලදී අල්ලා ගත් පෘතුගීසී සිරකරුවන්ය. සමහර විට ඔහු විසින් ගොඩනගන ලද ගොඩනැගිලි වල යම් යුරෝපීය ආභාෂයක් දකින්නට පුලුවන් වන්නේ මේ නිසාය. ඔහුගෙන් පසු යම් සුලු වෙනස්කම් මහනුවර සිදුවුවද ඔහුගේ රාජ පරම්පරාවේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු දළදා මාලිගාවට අලුත් අංගයන් කිහිපයක් එකතු කරන තුරු නගරයේ එතරම් වෙනස් කිරීම් සිදුවූ බවක් නොපෙනේ. මෙයින් පසු රටේ අනෙක් බොහෝ තැන්වල මෙන් නගරය අවට වෙහෙර විහාර බොහෝ ගණනක් අලුතින් ගොඩනංවන්නේ කිත්සිරි රජුය. දෙගල්දොරුව, ගල්මඩුව වැනි විහාර ඔහු විසින් තැනුනු ඒවාය. 

මෙයින් පසු මහනුවරට අලුත් එළියක් එක්කරන්නේ එහි අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහු නගරයේ රජයට අයිත්ව තිබූ කුඹුරු යායක් 1807 දී හෙක්ටයාර් 19 ක වැවක් බවට පත්කරයි. වැවේ බැම්ම කිලෝ මීටර් 3.4 ක් දිග වෙයි. මේ වැවට පහලින් ඇති දෙයියන්නේ වෙල යැයි ප්‍රසිද්ධ භූමියෙහි තිබී ඇත්තේද රජුගේ කුඹුරු යායක්ය; දෙයියන්නේ වෙල (රජුගේ කුඹුරු යාය.) රජු මෙම වැව සාදන්නට ඇත්තේ කුමන හේතුවකට දැයි හරියටම සිතාගන්නට බැරි වුවත් එය පහත හේතු සාධක තුනෙන් එකක් විය යුතුය. 

1. රජයට අයත් දෙයියන්නේ වෙල කුඹුරු සදහා වාරි මාර්ගයක් ඇති කිරීමට; වැවේ සොරොව්වෙන් ජලය ගලා යන්නේත් දෙයියන්නේ වෙල හරහාය. 
2. මහනුවර නගරය අලංකාර කිරීමට; ඔහු මෙම වැව  කිරි මුහුද යැයි නම් කිරීම මෙලෙස හිතන්නට හේතු සාධකයක් වෙයි. 
3. රාජ මාළිගාව හා ඒ අවට ප්‍රදේශය සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට; නගරයේ බෝගම්බර පැත්තේ සිට දැන් පුෂ්පදාන විද්‍යාලය දක්වා  වැවක් සහ වගුරු බිමක් එකල තිබූ හෙයින් එම දිය අගල අම්පිටිය පැත්තට දීර්ඝ කිරීමට ඔහු බලාපොරොත්තු වූවා යැයි සිතන්නට පුලුවන. 

ඉහත කුමන හේතුවකට හෝ සාදන ලද මහනුවර වැව මහනුවර නගරයට විශේෂ අභිලක්ෂණයක් ගෙන දී ඇත්තේය. එහෙත් එයින් නගරයේ දැන් ජීවත් වන්නන්ට සිදුවන්නේ හොඳක්ද නරකක්ද  යන්න පැහැදිලි නැත. රථවාහන ගමනා ගමනය පැත්තෙන් බලන විට නම් මෙය නගර වාසීනට මහත් කරදරයකි.   to be continued....
   


Monday, July 3, 2017

මගේ අලුත් පොතේ පෙරවදන.






 මගේ නවතම කෘතියේ පෙරවදන බ්ලොග් එකක් ලෙස පලකරන්නට සිතුණි. 

මම අවුරුදු 33 ක් නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කලෙමි. ඒ 1980 ජනවාරි සිට 2013 ජනවාරි දක්වා උප ලුතිනන් තනතුරේ සිට රියර් අද්මිරල් තරාතිරම දක්වාය. සේවයෙන් විශ්‍රාම ගන්නා විට මා සේවය කලේ නැගෙනහිර ආඥාපතිවරයා ලෙස ත්‍රීකුණාමලයේය. පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ මන්නාරමේ කැලෑවකදී මරා දැමූවේ 1978 වසරේ වූ අතර ප්‍රභාකරන් වන්නි කැලෑවේ මියගියේ 2009 දීය. යුද්ධය අසූ ගණන්වල පටන් ගෙන 2009 අවසන් විය. සියල්ල සිදුවූ ඒ මුලු කාලයම මට නාවික හමුදාවේ සේවය කරන්නට ලැබුනු හෙයින් සිදු වූ සියලු දෑ අහන්නට දකින්නටත්, සිදුවූ බොහෝ දෙයට මගේ තරාතිරම හා ඒ අවස්ථාවේ යෙදී සිටි රාජකාරිය අනුව ක්‍රියාකාරීව සහභාගි වන්නටත් මට ඉඩ ලැබුණි.  
සාමාන්‍යයෙන් කෙනෙකු තමා කුඩා කාලයේ සිටම තමාගේ ජීවිතය පිළිබඳව පොතක් ලියන්නට සැලසුම් කර ඒ සදහා කරුණු එකතු කරමින් ලෑස්ති වන්නේ නැත. බොහෝ විට පොතක් ලියන්නට සිතෙන්නේ වැදගත් එමෙන්ම රසවත් සිදුවීම් බොහොමයක් සිදුවී අවසාන වූ පසුය. 
නාවික හමුදාවේ  දුටු, ඇසූ සහ අත්දැකීම් සිදුවීම් පිළිබඳව ලියන්නට මාගේ කිසිම අදහසක් තිබුනේ නැත. එහෙත් වෙනත් නොයෙකුත් මා සිත්ගත් විෂයයන් පිළිබඳව මා පොත් කිහිපයක්ම ලියා පලකලෙමි. 
මම මුලින්ම පොතක්  ලියා පලකලේ අයිසැක් ඇසිමෝව් නම් අග්‍රගන්‍ය  විද්‍යා ප්‍රබන්ධ කතුවරයාගේ naked sun  නැමති ඉංග්‍රීසි පොතේ නග්න හිරු නම් සිංහල පරිවර්තනයයි. ඇත්තෙන්ම මගේ මේ  පොතේ වැඩියෙන්ම සාකච්ඡා වන කරෙයිනගර් දූපත නග්න හිරු හා ලඟින්ම සම්බන්ධය. එසේ වන්නේ මෙම නග්න හිරු ලියවුනේ මම 2000 වසරේ  කරෙයිනගර් නාවික කඳවුරේ අණදෙන නිලධාරිවරයාව සිටියදී නිසාය. 
මම එකල විද්‍යා ප්‍රබන්ධ කියවීමට බොහෝ කැමැත්තක් දැක්වූ අතර, මසකට වරක් නිවාඩු පැමිණ ආපසු යනවිට මරදානේ පරණ පොත් කඩ වලින් සහ මහනුවර ටොරින්ටන් චතුරාශ්‍රෙය් තිබූ පරණ පොත් කඩෙන් විද්‍යා ප්‍රබන්ධ පොත් පහක් පමණ මිලදී ගෙන යන්නට පුරුදුව සිටියෙමි. මෙම පොත් කඩවල යම් මුදලක් ගෙවා පොත මිලදී ගෙන කියවා ආපසු බාරදෙන විට රුපියල් 50 ක් හෝ 100 ක් පමණ මුදලක් තබා ගෙන ඉතිරිය  ආපසු දීම නිසා අඩු වියදමකින් පොත් කියවීමට ලැබීම මහත් පහසුවක් විය. එයට අමතරව මම වැඩ කරන කඳවුරේ පුස්තකාලය සදහාද පොත් කිහිපයක් රැගෙන යන්නට අමතක නොකලෙමි.  

එකල සිටි විද්‍යා ප්‍රබන්ධ කතුවරුන් ගෙන් මම වඩාත්ම ප්‍රිය කලේ ආතර්.සී.ක්ලාක් සහ අයිසැක් ඇසිමෝව් යන දෙදෙනාය. මෙතනදී මොවුන් දෙදෙනා සම්බන්ධ රසවත් කථාවක් නොලියා තබා යන්නට මට සිත දෙන්නේ නැත.  

මේ දෙදෙනා අතර ලොව සිටින හොඳම විද්‍යා ප්‍රබන්ධ කතුවරයා කවුදැයි එකල ඉමහත් විවාදයක් පැන නැගී තිබුණි. ඔවුන් මෙය ප්‍රසිද්ධියේම නොයෙකුත් තැන්වල සාකච්ඡා කල අතර ඉන්පසු අවසානයේ දෙදෙනා මෙය සාකච්ඡා කර ලොව හොඳම විද්‍යා කතෘවරයා අයිසැක් ඇසිමෝව් ලෙසටද, හොඳම විද්‍යා ප්‍රබන්ධ කතුවරයා ආතර් සී ක්ලාක් බවද ඔවුන් දෙදෙනා අතර එකඟතාවයකට පැමිණියහ. මෙම ගිවිසුම් ගත එකඟතාවය තරමක හාස්‍යවකිනුත් යුත්කව ප්‍රසිද්ධියට පත් කිරිමට ක්ලාක් තමන්ගේ Report on Planet Three and Other speculations, පොතෙහි පිදීම මෙසේ ලීවේය. 
“ක්ලාක් - ඇසිමෝව් ගිවිසුමෙහි වගන්තිනට අනුව ලොව දෙවැනි විද්‍යා  කතුවරයා විසින්, මෙම පොත, ලොව දෙවැනි විද්‍යා ප්‍රබන්ධ කතුවරයා වෙත පිදෙයි.“   
  
වරෙක මම මෙලෙස රැගෙන ගිය පොත් අතර අයිසැක් ඇසිමෝව්ගේ  naked sun පොතද විය. මේ පොත කියවූ පසු මම එයට කොතරම් ඇලුම් කලේද යත් මට එය පරිවර්තනය කිරීමට සිත්විය. මෙකල අපි කරෙයිනගර්හි ගතකල චර්යාව මේ කාර්යය සදහා සන්නාලි සැලසුම් කරන ලද්දක් විය. 

එසේ කාලෝචිත වීමට හේතු එකල ආරක්ෂක හේතූන් නිසා අප බොහෝ විට රාත්‍රිය නොනිදා ගතකර දහවලට නිදාගැනීමයි. ඒ කාලයේ  moon routine  වැනි හාස්‍ය ගන්වන යෙදුමකින් මෙම චර්යාව අප අතර හැදින්වින. මෙලෙස රාත්‍රිය නොනිදා පහන් කලේ විශාල ප්‍රදේශයක විසිරී ඇති අපගේ නොයෙකුත් කුඩා කඳවුරු, මුර පොලවල් සහ  අනුඛන්ඩ වලට යම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඒවාට හැකි ඉක්මනින් ප්‍රතික්‍රියා කිරිමට ඉඩ ප්‍රස්ථාව ලබා ගැනීමටයි. 

ඉඳින් මෙලෙස නිදි මරන රාත්‍රියන්හිදී මම හෙමිහිට naked sun  පොතෙහි  දවසකට පිටු කිහිපය බැගින් පරිවර්තනය කිරීමට පටන් ගතිමි. මාස දෙකක් පමණ යනවිට පොත පරිවර්තනය කර අවසන් විය. මම ටික කලක් ගත වූ පසු මෙම අත් පිටපත ඇම්.ඩී.ගුණසේන සමාගමට යැව්වෙමි. මාස දෙකක් පමණ ගත වූ පසු මගේ පරිවර්තනය මුද්‍රණය කිරීම සදහා තෝරාගත් බවට මට ලිපියක් ලැබිණ. ඉන්පසු පොත සදහා ගිවිසුම් අත්සන් කරන ලද අතර, පොතෙහි ප්‍රකාශිත මිලෙන් 10% ක මුදලක් මට කතෘ භාගය ලෙස දෙන බවද එහි සදහන් විය. පිටපත් 2000 ක් මුද්‍රණය කිරිමටද, මුද්‍රණය කල පසු පිටපත් 20 ක් මට නොමිලේ දීමටද ඔවූහූ මට පොරොන්දු වූහ. 

මගේ පරිවර්තනය නැවත ටයිප් කර නිවැරදි කිරීම සදහා මා වෙත දල පිටපතක් තැපෑලෙන් ලැබුනු පසු මම එහි වැරදි නිවැරදි කර ලකුණු කර ගුණසේන ආයතනය වෙත යැව්වෙමි. මාස දෙකකට පමණ පසු නැවතත් මට ලියාපදිංචි තැපෑලෙන් අලුත් දල පිටපතක් ලැබුනේ නැවත හරි වැරදි පරීක්ෂා කර ආපසු එවන ලෙස දන්වමිනි. මම ආපසු එසේ තිබූ සුලු වැරදි කිහිපයක් නිවැරදි කර නැවත පිටපත ගුණසේන වෙත යැවීමි. 

තවත් මාස දෙකකට පසු නැවතත් ගුණසේන සමාගමෙන් මට පිටපතක් ලැබුනේ වැරදි නිවැරදි කර ආපසු එවන ලෙසට දන්වමිනි. මෙලෙස කල් ගතවන නිසා මම ගුණසේන සමාගමට දුරකථන ඇමතුමක් දී දැන් ශෝධක පත් කියවීම ප්‍රමාණවත් නොවේදැයි ඇසීමි. 

ඔහු දුන් පිළිතුරෙන් මම පුදුමයටත් සතුටටත් පත්වුනෙමි,

“මිස්ටර් ඉලංගකෝන්, අපිට එක වැරැද්දක්වත් ඉතිරි කරලා පොතක් එළියට දාන්නට බැහැ. ගුණසේන පොත් කියවලා මිනිස්සු සිංහල භාෂාව ඉගෙන ගන්නවා.“ 

පොත ටික කලකින් මුද්‍රණය වූ අතර මට ඔවුන්ගෙන් පොරොන්දු වූ සෑම දෙයක්ම නියමිත කාලයටම නිර්වද්‍යව ලැබිණ. ගුණසේන ආයතනයෙන් ටික කලකට පසු මට “Asimove’s guide to Shakespere“ නැමති පොත සිංහලට පරිවර්තනය කල හැකිදැයි විමසුවත් මම එකල වැඩ අධික පත්වීමක සිටි හෙයින් මම අකමැත්තෙන් වුවද එයට බැහැ කීවෙමි. ගුණසේන ආයතනයේ යම් සංවත්සරයක් හෝ විශේෂ අවස්ථාවක රූපවාහිනියේ පැවැත්වුනු සාකච්ඡාවකට ඔවුන් මටත් ආරාධනා කලද, නාවික හමුදාවේ සේවය කරන නිසා මම එයට යාමටද මැලි වුනෙමි.   
ඊලගට මා ලිව්වේ ‘මහෝෂධ කේවට්ට නැණ යුද්ධය’ නම්, උම්මග්ග ජාතකයේ කොටසක්, එනම් මහෝෂධ පණ්ඩිතයන් සහ කේවට්ටයන් අතර නුවනින් කෙරෙන යුද්ධය ළමුන් සදහා සරල බසින් සකස් කිරිමයි. මෙම පොත ලේක්හවුස් සමාගමට අනුබද්ධිත ස්ටැම්ෆඩ් ලේක් ප්‍රකාශකයන විසින් ප්‍රසිද්ධ කරන ලදි. 

මීලගට මොෂීන් හමීඩ් විසින් ලියන ලද  reluctant fundamentalist  නැමැති කෘතිය සිංහලට පරිවර්තනය කලේ ‘ජනසාරී‘ ලෙසටය. මේ පොත ප්‍රකාශයට පත් කරන ලද්දේ බත්තරමුල්ලේ දර්ශන ප්‍රකාශකයන් විසිනි. ඊලගට ඔහු විසින්ම මගේ ඊලග පරිවර්තනය වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින්ස්ගේ ප්‍රසිද්ධ දේශනා හත, ‘විශ්වයේ මුල අග සහ සියලු දෑ සදහා න්‍යායක්’ යනුවෙන් මුද්‍රණය කලේය. 

මෙතෙක් පර්වර්තන පමණක් කරමින් සිටි මම ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්නට සිත් විය. එහි කථා සාරය දාසයවන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ තරුණ නැවියෙකු නැගෙනහිර  ඉන්දියානු සමාගමේ නැවකට බැඳී සුරත් වරායට පැමිණ, ආපසු යන අතර මාලදිවයිනේදී මුහුදුබත් වී ඉන්පසු ශ්‍රී ලංකාවට පැමිනෙන ඔහු අවසානයේ මෙහි කතක් විවාහ කරගෙන මහනුවර යක්ගහපිටියේ පදිංචි වීමය. මේ පොත, ඉතිහාස ප්‍රබන්ධයක් ලෙස ‘කන්දේ සිර වූ නාවිකයා’ නමින්  නුගේගොඩ සරසවි ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කරන ලදි. 

මේ ස්වතන්ත්‍ර නිර්මාණයෙන් ධෛර්යමත් වූ මා නාවික හමුදාවේ සේවයෙන් ඉවත් කරන ලද නැවියෙකු ග්‍රාමීය ප්‍රදේශයක 1960 ගණන්වල යුක්තිය උදෙසා කරන සටනක් මූලික  කර තව ස්වතන්ත්‍ර නිර්මාණයක් කලෙමි. එය දැන් සරසවි ප්‍රකාශකයන් විසින්  ‘වනගත වූ නැවියා ’ යනුවෙන් මුද්‍රණය කරගෙන යනු ලැබේ. 

මේ අතර දර්ශන ප්‍රකාශකයන් විසින් The curious incident of the dog in the night time පොත මා වෙත දෙන ලදුව එයද පරිවර්තනය කර දැන් ඔවුන් විසින් සැකසෙමින් පවතී. මේ දිනවල මම මීට අමතරව මහා වංශය දෙස විචාරාත්මක බැලීමකින් යුක්තව පොතක් අවසන් කරමින් සිටින අතර අර්ල් ස්ටැන්ලි ගාඩ්නර්ගේ ජනප්‍රිය පෙරී මේසන් රහස් පරීක්ෂක නවකථාවක් වන ‘ද කේස් ඔෆ් ද ඇන්ග්‍රි මෝනර්’ පොතද පරිවර්තනය කර අවසන් කර මුද්‍රණයට කෙනෙකු සොයමින් සිටිමි. 

මෙලෙස මා පොත් ලිවීමට උනන්දුවක් සහ ඇල්මක් දක්වන බව දන්නා එස්.කේ.විජේරත්න නැමැති මගේ, කොමර්ෂල් බැංකුවේ කළමනාකරු වන මිතුරෙකු හා පොලිස් නිලධාරියෙකු වූ සී.අබේසිංහ බංඩාර නාවික හමුදාවේ මගේ කාලය පිළිබඳ පොතක් ලිව්වහොත් හොඳනේදැයි මගෙන් විමසා සිටියේය. මම මීට පෙර නාවික හමුදාවේ මා ලැබූ අත්දැකීම් කිහිපයක් පිළිබඳව මගේ බ්ලොග් එකේ (lakshmanillangakoon.blogspot.com) බ්ලොග් කිහිපයක් ලියා තිබුනු බැවින් මම මේ උපදේශයත් නිසා එය පොතක ප්‍රමාණය වනතෙක් දිගින් සහ හරහෙන් ප්‍රසාරණය කලෙමි. මෙම පොත ලියා ඇත්තේ කිසියම් පිලිවෙලකට නොවේ. මාතෘකා කිහිපයක් සැකිල්ලක් සේ ගෙන ඒවා එකි නෙක මතකයට එන අත්දැකීම් යනාදිය මගින් පිරවීමෙනි. 

මම හැකි තරම් දුරට පුද්ගල නාම නොයොදා ඉන්නට උත්සාහ කලෙමි. ඒ අතරම බොහෝ සංවේදී කරුණු සහ නොයෙකුත් පුද්ගලයන්ට අපහාසයක් හෝ අලාභයක් සිදුවේයැයි සිතන දෑ සම්පූර්ණයෙන්ම මග හැරියෙමි. 

මා මෙම පොත ලිවීමට තවත් හේතුවක් වූයේ අප අත්දුටු සමහර දෑ තව පරම්පරාවකින් පමණ සම්පූර්ණයෙන්ම අමතක වී යාමට ඇති ප්‍රවනතාවයයි. යුද්ධයේ ප්‍රධාන සිදුවීම් මෙහි ඇති බොහෝ ඉතිහාසයේ ප්‍රධාන ප්‍රවාහයේ නොවන දෑ බොහෝ විට ලේඛන ගත නොවන හෙයින් පහසුවෙන්ම අමතක වී යාමට ඉඩ තිබෙන දේවල් වෙයි. උදාහරණයක් වශයෙන්  ‘කොටි පොල්ල’ වැනි සිද්ධීන් සහ කාල පරිච්ඡේද, වැනි එවැනි දෑ යම් දිනෙක කෙනෙකුට බලාගන්නට ඕනෑ වුනොත් වාර්තාකර තැබීම එම අත්දැකීම් තුල ජීවත්වූ අපේ වගකීමක් වෙයි. 

මෙම කථාව මේ ආකාරයෙන් වාර්තාවක් මෙන් නොව එක් එක් ප්‍රධාන සිද්ධි කිහිපයක් කේන්ද්‍ර ගතකර ලිවීමට මට අදහස් වූයේ මේ ලඟකදී මා කියවූ ෆෙඩ්රික් ෆෝසිත් නම් ප්‍රසිද්ධ ඉංග්‍රීසි පොත් කතුවරයාගේ ජීවිත කථාව කියවීමෙන් පසුවය. 

මගේ සමහර අත්දැකීම් හා යම් අදහස් පමණක් හැරෙන්නට මෙම පොතෙහි ඇති සෑම කරුණක්ම පාහේ විවෘත පොදු මූලාශ්‍ර වලින් ලබාගත හැකි ඒවාය. 

මෙම පොත ලිවීමේදී උදව් කල ඉන්දිරා ඇලිකේවෙල, කියවා වැරදී සාදා දුන් රියර් අද්මිරාල් ජයන්ත හෙට්ටිගම , සහකාර පොලිස් අධිකාරී සී.අබේසිංහ බංඩාර සහ කවරය නිර්මාණය කිරීමේදී උදව් කල ගෙහාන් කෞෂල්‍යට ස්තූති කරමි.     

මෙම පොත ඉතා උනන්දුවෙන් සහ මනා ලෙස මුද්‍රණය කල මෙහි ප්‍රකාශක දර්ශන රැලපනාව මහතා සහ ඔහුගේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලයට මගේ කෘතඥතාවය හිමි වේ. 













මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?

from http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග්...