Thursday, September 28, 2017

2 - ජාතික ආරක්ෂාවට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම -2

http://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_27.html සිට






a.     රටෙහි විශාලත්වය සහ ජනගහනය.
ලෝකයේ භූමි ප්‍රමාණයෙන් විශාලතම රට රුසියානු සමූහ ආණ්ඩුවයි. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 17,098,246 වෙයි. ඉන්පසු දල වශයෙන් එකම ප්‍රමාණයේ රටවල් තුනක් ඇත. ඒ පිලිවෙලින් කැනඩාව, චීනය සහ එක්සත් ජනපදයයි. මේ අතර ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර් 65, 611 කින් යුක්තව ලෝකයේ විශාලත්වයෙන් 121 වෙනි රට බවට පත්වෙයි. අපට ආසන්නවම ඉහලින් සහ පහලින් සිටින්නේ යුරෝපයේ ජෝර්ජියාව සහ ලැට්වියාවයි. අපගේ විශාලත්වයට දල වශයෙන් කිට්ටු විශාලත්වයක් ඇති ප්‍රසිද්ධ රටවල් ලෙස අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නම් කල හැක.
  
අනෙක් අතට ජනගහනය සලකා බැලූවිට ශ්‍රී ලංකාව රටේ ප්‍රමාණය හා සසදන විට වඩා  බොහෝ ඉදිරියෙන් සිටී. මිලියන 21 ක ජනගහනයක් සහිතව එය ලෝක ලැයිස්තුවේ 58 වන ස්ථානයේ පසුවේ. ලෝකයේ ජනගහනය වැඩියෙන්ම සිටින්නේ මිනිසුන් 1, 384, 150, 000 ක් සහිතව චීනයයි. අප අසල්වැසි ඉන්දියාවද චීනයේ ජනගහනයට ඉතා කිට්ටු ප්‍රමාණයක් සහිතව දෙවෙනි තැන පසුවෙයි. අපේ තවත් අසල්වැසියන් දෙදෙනෙකු වන පකිස්තානය හා බංගලාදේශය ලෝක ජනගහන ලැයිස්තුවේ හය වන සහ අටවන ස්ථානයේ පසුවෙයි. බංගලාදේශයේ ජනගහනය රුසියාවේ හෝ ජපානයේ ජනගහනයට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි බව දැනගැනීම අප බොහෝ දෙනෙකුට පුදුමයට කාරණයක් වනවා නොවනුමානය.

අපගේ ජනගහනය අනුව අපට උඩින් සහ යටින් සිටින්නේ අප්‍රිකාවේ නයිජර් සහ යුරෝපයේ රුමේනියාවයි. තායිවානය සහ ඕස්ට්‍රෙලියාවද අපට කිට්ටුවෙන් ඉහලින් සිටිති.


ජනඝනත්වය.
රටක විශාලත්වය සහ එහි ජනගහනය ගැන සාකච්ඡා කල පසු ස්වාභාවයෙන්ම ඊලගට සිතට නැගෙන්නේ ජනඝනත්වයයි. වෙනත් ඕනෑම ඝණත්වයක් මෙන්ම ජනඝනත්වයද මනින්නේ යම් නියමිත ඉඩ  ප්‍රමාණයක කියක් ඇත්තේද යන වගයි  ; වර්ග කිලෝ මීටරයකට සිටින මිනිසුන් සංඛ්‍යාවෙනි. කෙටියෙන් කියනවා නම් රටේ ජනගහනය එහි භූමියේ ඇති වර්ග කිලෝමීටර් ගණනින් බෙදීමෙන් ලැබෙන ප්‍රතිඵලයයි. මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මිනිසුන් 308 ක් වන අතර, අප එම ලැයිස්තුවේ පෙර ලැයිස්තු දෙකටම වඩා තරමක් ඉදිරියට පැමිණ 45 වන ස්ථානයේ පසුවෙයි. මුලු ලෝකයම ගත්විට ජනඝනත්වයේ සාමාන්‍ය අගය වර්ග කිලෝමීටරයකට 13.7 කි. නමුත් ඒ ලෝකයේ භූමි ප්‍රමාණය මුහුදත් සමග ගණනය කල විටය. ගොඩබිම පමණක් ගත්විට ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට මිනිසුන් 47 දෙනෙකු වෙයි.
b.   
භූගෝලීයව  කුමන ස්ථානයක පිහිටියේද.
බොහෝ රට වලට තම ජාතික ආරක්ෂාව පිළිබඳව සැලසුම් කරද්දී භූගෝලීය වශයෙන් රට පිහිටා ඇත්තේ කොතැනද, තම රට පිහිටා ඇත්තේ ලෝකයේ කුමන සාගරයකද, වැනි සාධක ඉතා වැදගත් වෙයි. පෙර කීවාක් මෙන් දකුණු කොරියාව වැනි රට වලට තමන්ට අසබඩවම උතුරු කොරියාව වැනි කිසිසේත්ම විශ්වාස කල නොහැකි එමෙන්ම ආයුධ නිපදවීමේම එල්බගෙන සිටින රටක් තිබීමෙන්ම තම රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී මෙම සාධකය ප්‍රමුඛ එමෙන්ම ප්‍රධාන සාධකය ලෙස නොගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැත්තේය.   

එලෙසින්ම කියුබාව ඇමරිකා එක්සත් ජනපදයට ඉතාම ආසන්නයෙන් තිබූ කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් වූ හෙයින් එරටට එකල තිබූ ශීතල යුද්ධයෙන්[1] සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව සදහා පමණක් නොව ආර්ථික වශයෙන්ද බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නට හැකි විය. එසේම මෙම ශීතල යුද්ධයේ පැත්තක් ගැනීම කොතරම් දුර දිග ගියේද යත් 1962 බේ ඔෆ් පිග්ස් සිද්ධියේදී එකල රුසියාව සහ ඇමරිකාව  පරමාණු බෝම්බ පාවිච්චි වන යුද්ධයක් ඇති වන්නට ඉතාම සමීපයට පැමිණියේය. සමහර විට මෙම අවස්ථාව ලෝකයේ මෙතෙක් පරමාණු අවි භාවිත වන යුද්ධයකට ඉතාමත් ආසන්න වූ මොහොතක් යැයි බොහෝ තතු දන්නෝ විශ්වාස කරති.

කියුබාව ලෝකයේ වෙනත් ස්ථානයක පිහිටියේ නම්; උදාහරණයක් වශයෙන් ඉන්දියානු සාගරයේ තිබුනේ නම්, සෝවියට් රුසියාවට කියුබාව මේ තරම් වැදගත් නොවනු ඇති අතර කියුබාවේ කොමියුනිස්ට් රජයක් පිහිටුවීම හෝ එය රුසියාවේ උදව්වෙන් ජීවත්වීම ඇමරිකා එක්සත් ජනපදයටද එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත. මෙලෙස තමන්ගේ භූගෝලීය ස්ථානය ජාතික ආරක්ෂිව සැලසුම් කිරීමට කොතරම් වැදගත් වන්නේද යන්න සාධනය කිරීමට බොහෝ උදාහරණ ඉතිහාසයෙන් පෙන්වා දීමට පුලුවන.

අපටද මෙහි විජය කුමරුන් සහ පිරිස රාජ්‍ය පිහිටවූ විගසින්ම පාහේ මෙම සත්‍යයට මුහුණදීමට සිදුවිය. විජය කුමරු තදාසන්න එසේම බලවත් මදුර පුරයෙන් කුමාරිකාවක් තම රැජිණ කරගෙන මිත්‍ර රාජ්‍යයන් හරහා තම ජාතියේ ආරක්ෂාව තහවුරු කර ගත්තද ඔහුට රජවරු දස  දෙනෙකුට පසුව, එනම් අවුරුදු 300  කට පසුව දකුණු ඉන්දියාවේ අසල්වැසි රාජ්‍ය වලින් ආක්‍රමණ සහ සතුරු බලපෑම් වලට ශ්‍රී ලංකාව මුහුණදීමට පටන් ගත්තේය. නිතර සිදු වූ සතුරු ආක්‍රමණ නිසා; සමහර වෙනත් සුලු සාධකද බලපාන්නට ඇත, අප රටෙහි අගනුවර වරින් වර දකුණු ඉන්දියාවෙන් හැකි තරම් ඈත්කර තබන්නට දකුණට සහ නැගෙනහිරට රැගෙන යන්නට අප රාජ්‍ය පාලකයන්ට සිදුවිය.

ශ්‍රී ලංකාව තිබෙන්නේ ඉන්දියානු සාගරයේය. එය කිට්ටුම තැනදී ඉන්දියාවට කිලෝ මීටර් 35 ක් දුරින් ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙලවරින් ගිනිකොණ පැත්තට වන්නට පිහිටා ඇති දූපතකි. කිලෝ මීටර් 1340 ක් දිග වෙරළක් ඇති ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල මුහුදු මට්ටමේ සිට මීටර් 2524.13 ක් උසය. අප දුපතේ ප්‍රමාණය අනුව ලෝකයේ 25 වෙනියට විශාල දුපතය.

http://lakshmanillangakoon.blogspot.com/2017/09/3-3.html


[1]

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...