Thursday, June 30, 2016

බාසුන්නැහේලට හෙල්මට් සහ ඩෙනිම් ඇන්දවීම; නැගෙනහිර යුරෝපයෙන් ආදර්ශයක්.




බාසුන්නැහේලට හෙල්මට් සහ ඩෙනිම් ඇන්දවීම; නැගෙනහිර යුරෝපයෙන් ආදර්ශයක්.  



මේ ලගකදී, හවස් වරුවේ ඇවිදින්නට ගිය විට, යක්ගහපිටිය, දේවාලේගම මාර්ගයේදී, මට ඉදිරියෙන් යන පුද්ගලයා, කුමන රැකියාවක් කරන්නේදැයි සිතින් අනුමාන කර, මගේ අනුමානය නිවැරදි දැයි බලන්නට, ඔහු සමග කථාවට වැටුනෙමි.
සාමාන්‍යයෙන් හරියන, මගේ අනුමානය වැරදුනද, ඔහු සමග කථා බහෙන් මට, ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් පිලිබදව, සිත් ගන්නා සුලු තොරතුරු කිහිපයක්, දැනගන්නට ලැබුණි. ඔහු පෙදරේරුවකු වන බවත්, දැන් අවුරුදු ගණනාවක සිට, අකුරණ ප්‍රදේශයේ සුලු කොන්ත්‍රාත් කරුවෙකු ලග සේවය කර, දිනකට රුපියල් 2000 ක වැටුපක් ගන්නා බවත්, වැඩ කරන්නේ උදේ 0700 සිට 1530 දක්වා බවත්, ඔහු කීවේය. එමෙන්ම, මාසයකටම නිවාඩු ගන්නේ දින 2/3 බව, මගේ විමසුමකට උත්තර දෙමින් ඔහු කීවේය.
ඔහු නිවසට යාමට මාර්ගයෙන් හැරී ගිය අතර, හැරෙද්දී ඔහු මට කියා සිටියේ, ඔහුට කලින් වැඩ ඉවර වීම, මහත් වාසියක් වන්නේ, ඔහුගේ මී හරක් ආපසු මඩුවට ගෙන යාමට, එයින් ඉමහත් පහසුවක් වන බවය. මම ඔහුගෙන් වෙන් වූ පසු, ඔහුගේ මාසික ආදායම මනෝමයෙන් ගණන් හදා බැලුවෙමි. හරක් ඇති කිරීමෙන් එන ආදායමට අමතරව, ඔහු අඩුතරමේ මසකට රුපියල් 50,000 ක්  උපයයි. මෙය ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ වැටුපට වඩා හොද රුපියල් 10,000 කට පමණින් වැඩිය.
මා දන්නා හදුනන, කුණ්ඩසාල ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වා ගනිමින්, ගොඩනැගිලි කොන්ත්‍රාත් ව්‍යාපාරයක යෙදෙන, සුලු පරිමානයේ කොන්ත්‍රාත්කරුවෙකු මුනගැසුනු විටකදී, මා මේ පිලිබදව ඔහුගෙන් ඇසුවෙමි. ඔහු මට කිව්වේ, ඔහු ලග වැඩ කරන, පලපුරුදු පෙදරේරුවෙකුට, ඔහු රුපියල් 2500 ක් දිනකට ගෙවන බවත්, සමහර විට ඒ පඩියටවත්, පලපුරුදු මේසන් කෙනෙකු, දුර බැහැර ව්‍යාපෟති සදහා සොයා ගැනීමට අපහසු බවය. අවසානයේ ඔහු මා පුදුම කරවන කථාවකුත් කීවේය. ඒ ඔහු දැනටමත් ඉන්දියාවෙන් දෙවරක්,මේසන්වරු රැගෙන ඒමට අනුමැතිය ඉල්ලා සිටියද, එම ඉල්ලීම් රජයෙන් ප්‍රතික්ෂේප වූ බවයි.
මෙම තත්වයේ තවත් වැදගත් පැතිකඩක් තිබේ. එය පෙදරේරුවන් පුහුණු කර ශ්‍රම වෙළදපොලට මුදා හැරීමට යම් ක්‍රමවත් වැඩපිලිවලක අවශ්‍යතාවයයි. අපි සාමාන්‍යයෙන් බොහෝ විට දකින පෙදරේරුවන්, තරමක් වයසින් මුහුකුරා ගිය අයය. ඒ එසේ වන්නේ, පෙදරේරුවකු වීමට අත් උදව් කරුවෙකු ලෙස දීර්ඝ කාලයක්, වැඩ කර පලපුරුද්ද ලබාගත යුතු වීමය. සමහර අත් උදව්කරුවන් පෙදරේරුවකු බවට පත්වීමට නොහැකිව, මුලු ජීවිත කාලෙම අත් උදව්කරුන් ලෙස වැඩ කරති.
පෙදරේරුවෙකු ලෙස පුහුණු විමට, මාස හයක කාලයක්, හොදින්ම ප්‍රමාණවත්ය. එවැනි කාලයක් තුල සාමාන්‍ය පෙදරේරුවරයෙකුට වඩා, ඉහල මට්ටමක තාක්ෂණික හැකියාවක් ඇති, සහතික හෝ ඩිප්ලොමාධාරී කාර්මිකයින් පුහුණු කිරීමට පුලුවන. එම පුහුණුවට සරල ඉංග්‍රීසි ටිකක් හා අලුත් මෙවලම් පිලිබද, කරුණු ටිකකුත් ඇතුල් කලහොත්, ඔවුනට අනෙක් රටවල පෙදරේරුවන් අතර, බැබලෙන්නට පුලුවන් වනු ඇත. මෙයට අමතරව, ඔවුනට ඩෙනිම් කලිසමක්, සපත්තු දෙකක් සහ හෙල්මට් එකක් දමාගෙන, වැඩ කරන්නට පුරුදු කලහොත්, ලංකාවේ බාසුන්නැහේලා, බ්‍රික් ලේයර්ලා බවට පත්වන දිනය, වැඩි ඈතක නොවේ. දැනටම ඔවුනට එයට ගැලපෙන වැටුපක් ලැබේ; නැත්තේ ඩ්‍රේසිං එකය.
එයත් ලැබුනු විට, ස්ටයිල් එක මදි නිසා, මෙම ක්ෂේත්‍රයට නොපැමින, එයින් භාගයකටත් වඩා අඩු වැටුපක් ලබාගන්නා (රියදුරෙකුගේ වැටුප රුපියල් 30,000 අඩුයි.) බොහෝ තරුණ තරුණියන් මෙම ක්ෂේත්‍රයට පැමිණීම ගැන, නැවත වරක් හිතනු ඇත.
එසේ වුවහොත්, ඔබගේ නිවසේ රෙපයාර් එකකට, බාසුන්නැහේ ඩෙනිම් කලිසමක් ඇද, සපත්තු දෙකක් හා හෙල්මට් එකක් දමාගෙන, ඩබල් කැබ් එකකින්, පැමිණෙන කාලය එතරම් දුරක නොවේ.
මීට අවුරුදු කිහිපයකට පෙර, මහනුවර කැන්ඩි ගාඩ්න් සමාජයේදී, නැගෙනහිර යුරෝපීය රටකින් පැමිණ; රට මට හරියට මතක නැත, මහනුවර අවට විදේශිකයෙකු විසින් මිලට ගත් පරණ වලව්වක්, ප්‍රතිෂ්ඨාපනය කරන, තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු හමුවිය. ඔවුන් මෙහි සිටින මාස කිහිපයක කාලය සදහා, ක්ලබ් එකෙන් තාවකාලික සාමාජිකත්ව ලබාගෙන තිබුණි. ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙද්දී, ඔවුන් ශ්‍රී ලංකාවේ පෙදරේරුවන් කීදෙනෙකු යොදා ගන්නවා දැයි ඇසුවෙමි.
“අපි කිසිම පෙදරේරුවෙක් ඇගෙන නැහැ, අත් උදව් කරුවන් තුන් දෙනෙක් පමණයි.“

ඔවුන්ගේ පිලිතුර මා පුදුමයට පත්කලේය. පසුව වැඩි විස්තර ඇසූ විට මටදැනගන්නට ලැබුනේ ඔවුන් තිදෙනාම එකම විශ්ව විද්‍යාලයක කලා උපාධීධාරීන් බවත්, ඔවුන් පැරණි ගොඩනැගිලි ප්‍රකෟතිමත් කිරීමේ විශේෂ උපාධියක් ලැබූ බවත්, ඒ සදහා පෙදරේරු පුහුණුව අත්‍යවශ්‍ය කොටසක් වූ බවත්ය.    

Wednesday, June 29, 2016

තුන්හෙලයේ අකුරු කරනය, හෙලයට, හොද මදි වද්ද?

තුන්හෙලයේ අකුරු කරනය, හෙලයට, හොද මදි වද්ද?


පහුගිය ඉරිදා, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ, කටින් එජ් ඇඟලුම් කර්මාන්තයෙහි යෙදෙන ආයතනයක, දැන්වීම් දෙකක් දමා තිබුණි. එක් පිටු දෙකක දැන්වීමක, පිටරට ඇඟලුම් කර්මාන්ත ශාලාවක, රැකියා සදහා ඇබෑර්තුද, අනික එම ආයතනයේ, ඉතාමත් දක්ෂ සහ මනා නවීන අධ්‍යාපනයක් ලත්, කලමනාකරුවන් පිරිසක් සේවය කරන බව පෙන්වීමට, තරුණ තරුණියන් 12 ස් දෙනෙකුගේ ඡායාරූප සහිත, දුටු සෑම කෙනෙකුගේ සිත් ගන්නා දැන්වීමක් විය. මෙලෙස තෝරා ගත් ‘තරු‘, තරුණ කලමනාකරුවන් පිරිසක් උලුප්පා පෙන්වීමට, හේතුව වන්නට ඇත්තේ,
1.මෙම ආයතනය, අති නවීන මනා අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන්ට, හොද අනාගතයක් ගොඩ නගා ගැනීමට, තෝ තැන්නක් බව පෙන්වා, එවැනි තවත් තරුණ තරුණියන්, ආකර්ශණය කර ගැනීමට.
2.මෙවැනි දක්ෂ තරුණ තරුණියන්, සේවය කරන මෙම ආයතනය, ඔවුන්ගේ ක්ෂේත්‍රයේ, ඉදිරියෙන්ම සිටිනා ආයතනයක් බව පෙන්වීමට,
විය යුතුය.
මෙම දෙවැනි දැන්වීම, එහි ඇති සිත් ඇද ගන්නා භාවය නිසාම, මම හොදින් කියවා බැලුවෙමි. එහිදී  කල එක් නිරීක්ෂණයක්, මා පුදුමයට පත් කලේය. එය නම්, මෙම තරුණ තරුණියන් 12 ස් දෙනාගෙන්, 10 දෙනෙකුම, බටහිර රටවල සරසවි අධ්‍යාපනය හැදෑරූ අය වීමය. අනෙක් දෙදෙනා, දක්ෂ ක්‍රීඩකයන්ය. තවද මෙම 12 ස් දෙනා ගෙන් කිසිවෙකු, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක, අධ්‍යාපනය හදාරා නැත්තේය. මෙලෙස රටෙහි ජීවනාලිකාව බදු, එමෙන්ම එහි ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගන්නා, රටෙහි තරුණියන් ගෙන්, වැඩිම ප්‍රතිශතයක් සේවයේ යොදවන ක්ෂේත්‍රයක, ඉදිරියෙන්ම සිටිනා ආයතනයක, ඔවුන්ගේ ‘තරු‘ කලමනාකරුවන්, මේ යැයි පෙන්වන දැන්වීමක, අපේ රටේ පොදු ජනයා, නොකා නොබී, හරියට බෙහෙත් නොගෙන, එම මුදල් ආයෝජනය කරන, අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බදු වූ විශ්ව විද්‍යාල පද්ධතියෙන්, අඩු තරමින් එක්කෙනෙකුට හෝ ඉඩක් ලැබුනේ නැත්තේ ඇයි?
මෙම දැන්වීම අහම්භයක් විය නොහැක. අඩු තරමින් මෙයින් දෙදෙනෙකු වත්, ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වූවා නම්, එම සිද්ධිය අහඹුවක් ලෙස, සිතන්නට පුලුවන. එහෙත් 12 ක් ඇතුලත, එක් උපාධිධාරියෙකු හෝ නොමැති වීමට නම්, යම් විශේෂ හේතුවක් තිබිය යුත්තේමය.
මෙයට හේතු භූත වී ඇත්තේ, කුමන කරුනක් දැයි, අපට අනුමාන කල හැක. අප එක් එක්කෙනාගේ අනුමානයන්, සුලුවෙන් වෙනස් විය හැකි වුවද, ඒවායේ ලොකු වෙනසක් තිබෙන්නට, තර්කය ඉඩ නොදේ.
ඒ අනුමාන මොනවාද?
1.ජාතික විශ්ව විද්‍යාල වල සිසුන්, පුද්ගලික අංශයේ රැකියා කරන්නට, අකමැති වීම.
2.ජාතික විශ්ව විද්‍යාල සිසුන්ගේ, යම් අඩුපාඩුවක් නිසා, මෙවැනි නවීන ආයතන, ඔවුන් මෙවැනි රැකියා වලට, බදවා නොගැනීම.
3.ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට නොහැකි වීම නිසා, මෙවැනි ආයතන වල රැකියාවලට, ඔවුන් ඉල්ලුම් නොකිරීම.
4.රජයේ රැකියාවල, එතරම් දක්ෂ ලෙස වැඩ නොකලත්, ජාම බේරාගෙන, නිසි කලට විශ්‍රාම වැටුපකුත් ලබාගෙන, විශ්‍රාම ගැනිමට හැකිවීම.
5.අපගේ උපාධි, නූතන තරගකාරී රැකියා වෙළඳපලට ගැලපෙන ලෙස, සකස්කර නොතිබීම.
6.රජයේ රැකියා වඩා සුරක්ෂිත යැයි කියන, ගතානු ගතික අදහස.
7.අවුරුදු ගණනාවක්, සමාජවාදය කරපින්නා ගෙන කටයුතු කිරීමෙන් පසු, ධනවාදී පෞද්ගලික ආයතනවල රැකියාව කිරීමට ඇති, අකමැත්ත නිසා අයදුම් නොකිරීම.
8.විශ්ව විද්‍යාලවල ඉංග්‍රීසි භාෂාව මඳ ලෙස භාවිතා කිරීම නිසා, මෙවැනි රැකියා වලට ඉල්ලුම් කිරීමට පැකලීම.
හරි උපකල්පනය තෝරා ගැනීමේදී, අප සිත්හි තබාගත යුතු කරුණක් වන්නේ, මේ දැන්වීමෙහි ඇති රැකියාවල, සාමාන්‍ය වැටුප, රුපියල් ලක්ෂ දෙක ඉක්මවනු ඇති අතර, රජයේ සේවය කරන, උපාධිධාරියෙකුගේ වැටුප, සංසන්දනාත්මකව එයින් ¼ ක් පමණ වන බවය.  

Monday, June 27, 2016

අපේ සල්ලි වලින් පුත්තලමට අහසින් බැසීම.



අපේ සල්ලි වලින් පුත්තලමට අහසින් බැසීම. 



පසුගිය ඉරිදා, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ, පුත්තලමේ ජාතික මට්ටමේ ගුවන්තොටුපලක් ඇති කිරීමට යන බව, සදහන් ප්‍රවෟත්තියක් පලකර තිබුණි. මේ සදහා, රුපියල් මිලියන 750 ක් වැය වන බවත්, ඉඩම් හෙක්ටයාර් 26 ක්, රජයට ගැනීමට කටයුතු කරන බවත්, එම ප්‍රවෟත්තියේම අඩංගු කර තිබිණ.
 මෙම මිලියන 750, තවමත් දැවැන්ත සුදු හස්තිරාජයෙකුව පවතින, අපේ මත්තල ගුවන්තොටුපලට කල ආයෝජන හා සසඳන විට, ලොකු මුදලක් නොවේ; එහෙත්, අප වැනි දුප්පත් එමෙන්ම, ලෝකයෙන් ණය ලබා ගැනීම, වීරකමක් සේ පාරම්බාන රටකට, මෙය ලොකු මුදලකි.
පිලිකා රෝහලට, කෝටි 20 ක පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට, ජනතාව කැට කඩන රටකට, එවැනි යන්ත්‍ර හතරක් මිලදී ගැනීමට හැකි මුදලත්, ලොකු මුදලකි, ඉතා විශාල මුදලකි.
සමහර විට පුත්තලමට, අභ්‍යන්තර ගුවන් තොටුපලක්, අවශ්‍ය වන්නට පුලුවන. ඇත්තෙන්ම; හෙලිකොප්ටරයකට රටේ ඕනෑම තැනකින් පිටත් වී, පුත්තලමේ, ඕනෑම තැනකින් බැස ගන්නටත් පුලුවන් රටක, මෙයත් සැක සහිතය. දැන් හෙලිකොප්ටර් පුද්ගලික අංශයෙන් හෝ ගුවන් හමුදාවෙන්, කුලියට ගන්නටත් පුලුවන. තටු සහිත යානයක, පුත්තලමට යාමට නම් තවත්, ගුවන් තොටුපලකින්ම පිටත් විය යුතුය. කටුනායකින් පිටත් වන්නේ නම්, එයට ගතවන වේලාවටම වාගේ, මහ පාරෙන් යන්නටත් හැකියාව තිබේ.
මෙලෙස ජනතාවගේ මුදල්, රටෙහි යටිතල ව්‍යුහය සංවර්ධනය කිරීමට යොදවන විට, එම ආයෝජන වලින්, ගැලපෙන ප්‍රතිලාභ තිබේදැයි හා මෙයට වඩා ප්‍රමුඛ අවශ්‍යතාවයන්, මෙම ආයෝජන සදහා තරඟ කරන්නේදැයි, සොයා බැලීම රජයක වගකීමකි.
එසේ මෙම ආයෝජනය, පොදු ජනතාවට ගැලපෙන ප්‍රතිලාභ ලබා දෙන්නේ යැයි හා පුත්තලමේ ගුවන් තොටුපලක් සදහා, දැවෙන අවශ්‍යතාවයක් තිබෙන්නේ යැයි, මේවා සැලසුම් කරන්නන්ට පැහැදිලි විශ්වාසයක් තිබෙන්නේ නම්, කල හැකි බොහෝ දේවල් තිබේ. යා හැකි බොහෝ විකල්ප මාර්ග තිබේ.
මේ අතරෙන් පැහැදිලිවම සුදුසුම විකල්පය, ඉඩම පිලියෙල කර පුද්ගලික ආයෝජන සදහා, ටෙන්ඩර් කැඳවීමයි. ඇත්තෙන්ම පුත්තලමේ ගුවන් තොටුපලක් ඇතිකර, එයින් ලාබ ලබන්නට පුලුවන් නම්, ව්‍යාපාරිකයින් මේ සදහා, ලොකු උනන්දුවක් දක්වනු ඇත.
ජනතාවට සහ රටට, කිසිම ආයෝජනයක් නොමැතිව, ගුවන් තොටුපලක් ලැබෙන අතර, එයින් පාඩු ලැබුවහොත්, ඒ සදහා වගකීමක් දරන්නට, අවශ්‍ය නොවනු ඇත.
මෙලෙස පුද්ගලික ගුවන් තොටුපලවල් සාදා, කලමනාකරනය කිරීම අලුත් දෙයක් නොවේ. මෙයට හොදම උදාහරණයක්, අප අසල්වැසියාගේ බටහිර බෙංගාලයේ දුර්ගාපූර්  නගරයෙන්, සොයා ගත හැක්කේය.      

Sunday, June 26, 2016

ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම; මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට?



ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම.



මැනීම යනු යම් වස්තුවක, නියමිත ලක්ෂණයකට, ඉලක්කමකින් අගයක් ලබාදීමයි.  

පසුගිය අවුරුද්දේ, මම මිතුරෙකු විසින් ගොඩනංවන මෙගා වෝට් එකක ජලවිදුලි බලාගාරයක් අධීක්ෂණය කිරීමට, ඔහුත් සමග ගියෙමි. එක් වරෙක, බෑවුමේ පහල තරමක යකඩ මඩුවක් සාදන්නට වුවමනා විය.  මඩුවේ යකඩ බාල්ක, අත්තිවාරමේ ඇණ මත, වෙල්ඩින් කිරීමේ උපකරන එතනට ගෙන යාම, සීඝ්‍ර බෑවුම නිසා ඉතාමත් දුෂ්කර විය. මේ නිසා, අත්තිවාරමේ සවිකර ඇති ඇණ වලට ගැලපෙන සේ, බාල්කවල සිදුරු විද, ඒවා ලණු වලට ගැට ගසා, පහත් කිරීමට මම යෝජනා කලෙමි. කාර්මිකයා මෙයට කිසිසේත් කැමති වූයේ නැත. පසුව මෙය කරගෙන යද්දී, මට වැටහුනේ ඇණ අතර දුර, හරියටම මැනගෙන සිදුරු විදගැනීමේදී වැරදිය හැකි යැයි, ඔහුට සැකයක් තිබූ නිසා, ඔහු මෙලෙස, පහසු එමෙන්ම වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය යොදා ගැනීමට පැකුලුනු බවය.

සාමාන්‍යයෙන් ලංකාවේ උතුරේ හැරුනු විට, පර්චස් 10/20 ට වැඩි ගෙවත්තක, අඩු තරමේ පොල් ගස් 5/6 ට වැඩි ගණනක් තිබීම, ග්‍රාමීය පරිසරයක නිසැකයකි. එහෙත්, පොල් ගස් ගණන ඊට වඩා වැඩි වුන තැනක, අයිතිකරු ගෙන් ඔහුගේ හෝ ඇයගේ ගෙවත්තේ පොල් ගස් කීයක් තිබෙන්නේ දැයි ඇසුවොත්, හරි උත්තරයක් ලැබීම අවිනිශ්චිතය. එමෙන්ම, වඩා පලදරන ගස් වර්ග තෝරා ගෙන, පැල කිරීමක් අපට පුරුදු නැත. බොහෝ විට අප ගෙවතු වල ඇත්තේ, ඉබේ පැලවුන ගස් වර්ගය.

එලෙසම අප රටේ සුළු හා මධ්‍යම ව්‍යාපාර, සිල්ලර කඩ, බාබර් සාප්පු, ගැරේජ්, බියුටි සැලෝන්, කම්හල් සහ හෝටල් කුමන ප්‍රමාණයක ගිණුම් මිණුම් තබන්නේද? මම සිතන්නේ උත්තරය 5% කටත් වඩා අඩු බවය. තමන්ගේ ව්‍යාපාරය, පාඩුවට කරගෙන ගොස් ඇති බව දැන ගන්නේ, ව්‍යාපාරය බංකලොත් වූ පසුවය.

2013 ජනවාරි මාසයේ, මයික්‍රෝසොෆ්ට් සමාගමේ සහ බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිර්මාතෟ බිල් ගේට්ස් මහතා, වෝල්ස් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ හරවත් ලිපියක් පල කලේය. එහි තේමාව වූයේත්, මිනුම් සහ ගණනය කිරීමේ ඇති වැදගත්කමයි. ගණන් කිරීම හා මැනීම, කාර්මික යුගයේ සිට මේ දක්වා, මානවයාගේ ජීවිත ගොඩනඟා ගැනීමට, කොතරම් වැදගත් වුවේදැයි, පැහැදිලි කරන ඔහු එම ලිපියේ, එක් තැනක මෙසේ කියයි.

“තම ජනතාවගේ සෞඛ්‍යය හොදින් පවත්වා ගැනීමට, ජනතා සෞඛ්‍යය මුර පොලවල් ජාලයක්, ගම් නියම්ගම්වල ඇති කල, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උදව්වෙන්, ඉතියෝපියාව 2004 පටන් ගෙන, දැන් සොඛ්‍යය මුර පොලවල් 15000 ක් ඇතිකර ගෙන තිබේ. ඒවායේ සෞඛ්‍යය සේවකයෝ 34000 ක් සේවය කරති. (මෙය අපට මනින්නට හැකි වීමේ ප්‍රධානතම වාසියකි - රාජ්‍ය නායකයින්ට සහ ධානපතියන්ට නොයෙක් රටවල ඇති ව්‍යාපෟති සංසන්දනය කර, තමන්ට හොදින්ම ගැලපෙන අදහස් තෝරා ගැනීමෙන් තමා ආධාර වඩාත්ම කාර්යක්ෂම ආකාරයෙන් යෙදවීම.) 

අප, අපගේ දරුවන්ට; ඊලඟ පරම්පරාව වත්, මේ නාරා වලෙන් ගොඩ ගන්නට නම්, ඔවුනට ඉගැන්විය යුත්තේ, මෙවැනි සෑම දෙයක්ම කිරා මැන ක්‍රියාවේ යෙදවීම වුවමනාව නොවේද? මේ සදහා දැනට සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, බෞද්ධ සංස්කෟතිය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයයන් උගන්වන වේලාවෙන්, 10% ක් පමණ කාලයක් වෙන් කල හොත්, එහි ලොකු වැරැද්දක් ඇතැයි සිතිය නොහැක.

Saturday, June 25, 2016

අනුන්ගේ ඉඩමකින් වීව් එකක් ලබාගැනීම



අනුන්ගේ ඉඩමකින් වීව් එකක් ලබාගැනීම

අපි පොඩිකාලයේ අපේ ගම්වල කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් වලට වඩා මිලෙන් වැඩි විය . කුඹුරු ඉඩම් වැඩිපුර තිබීම නම්බුවක් විය . අඳ ගොවියන් කොලදිම කියන්නට එනවිට කැවුම් කොකිස් හදා ගෙන බුලත් හුරුල්ලක් රැගෙන කුඹුරු හිමියා වෙත පැමිණියහ.

අඳ ගොවි පනත පැමිණි පසු කුඹුරු හිමියන් තමන්ට කුඹුරු අහිමිවේ යයි බියෙන් ඔවුන් ඉවත් කිරීමට නොයෙකුත් උත්සාහ කළහ , නඩු මගට පවා බැස්සහ . මේ සියල්ල හදිසියේම වෙනස්වුනි. වී ගොවිතැන , විශේෂයෙන්ම වාරිමාර්ග රහිත , වැසි ජලයෙන් ගොවිතැන් කරන කුඹුරු ,ලාබ රහිත ව්‍යාපාරයක් බවට පත්වුණි . අඳ ගොවියෝ කුඹුරු අයිතිකරුවන්ට ස්වේච්චාවෙන්ම ආපසු කුඹුරු බාරදුන්හ .

තමන්ම වැඩකරන්නේ නැත්නම් ඇත්තෙන්ම කුඹුරු වලින් පාඩු සිද්ද වන්නට පටන්ගත්තේය . එසේත් නැත්නම් වාරිමාර්ග රහිත කුඹුරුවලින් කොහොමත් එතරම් ලාබයක් ලැබී නොමැති බව තේරෙන්නට පටන්ගත්තේ ශ්‍රමයට මුදල් ගෙවන්නට සිදුවූ විටය .
කුඹුරු විකුනන්නටත් බැරිය ; මක්නිසාද , කුඹුරට යාබදව තිබෙන කුඹුරේම වනාත එසේත් නැත්නම් ඕවිටේ , පර්චස් එකක් ලක්ෂ 5 කි , කුඹුරේ අක්කරයක්ම ලක්ෂ 5 කට ගන්ට ගැනුම්කරුවෙක් සොයාගන්නට බැරිය , හේතුව කුඹුරු වල ගෙවල් හදන්නට හෝ වෙනත් වගාවක් කරන්නට නීතියෙන් තහනම් වීමය. ගොඩ කුඹුරක කෙසෙල් වගා කර මට වරක් ගොවිජන සේවා දෙපාර්මෙන්තුවෙන් පන්විල උසාවියේ නඩුවක්ද ගොනු කළේය .
මම දැන් හවසට ඇවිදින්නට යනවිට ග්‍රාමසේවා කොට්ටාශ 5 ක් හරහා යන්නෙමි. හපුගස්වෙල , පිටියෙගෙදර, බන්නකදෙනිය , ගලහිටියාව ,හාතියල්වෙල යනාදී නම්වලින් හැදින්වෙන නොයෙකුත් කුඹුරු යාය වල සුන්දරත්වය විදින්නෙමි.
මේ කුඹුරු අක්කර 200/300 පමණ භූමියෙන් මේ යල කන්නයේ ගොවිතැන් කර ඇත්තේ එකම එක අක්කර බාගයක ලියදි 6ක කුඹුරක් පමණි .මහනුවර දිස්ත්‍රික්කය තුල කුඹුරු අක්කර විසිපන්දාහක් පමණ තිබේ.  අනික් අහස් දියෙන් වගාකරන  දිස්ත්‍රික්ක වලත් බලන විට, මෙම වැඩකට නොගන්නා භුමි ප්‍රමාණය, අක්කර මිලියනයකටත් වඩා වැඩි වනු ඇත. මට පෙනෙන විදිහට, මහවැලි ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්කවල, කුඹුරු වලින් 25% ක වත් ඇත්තටම වී ගොවිතැන කෙරේදැයි සැක  සහිතය. එවැනි නාස්ති වී යන ඉඩම් අක්කර 250000 ක් ඇත්තේ යැයි සිතමූ. ගොඩකරන්නට හෝ නිවාස හදන්නට ඉඩ නොදී, මේ ඉඩම්වල පොල් වගා කරන්නට ඉඩ දුන්නේ යැයි සිතමු. මෙම පොල් වගාවෙන් අඩුම තරමින්, වසරකට පොල් ගෙඩි මිලියන 500 ක් පමණ කඩන්නට පුලුවන. මෙය රටේ ආර්ථිකයේ වර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් සිදුකරනු නොවනුමානය.
මේ ලගකදී නිවාස හදා විකුණන මගේ මිතුරෙකු කුඹුරක් අයිනේ නිවසක ජීවත්වීමේ, ලොකුම වාසිය මෙලෙස පැහැදිලි කළේය.
"කිසිම ආයෝජනයක් නැතිව මීටර් 50/60 දුරට වීව් එකක් තියාගන්නට පුලුවන්, ගොවිතැන් කරන කුඹුරක නම්, මාසෙන් මාසෙට වීව් එකේ පාටයි ඩිසයින් එකයි වෙනස් වෙනවා. හරියට මාසෙන් මාසෙට කැන්වස් එක මාරුකරනවා වාගේ , අවුරුදු සියයකින් වත් වීව් එක බ්ලොක් වෙන්නේ නැහැ කියලා 100% ෂුවර්"
අපට වී දුන් තැනින් අපි දැන් ගන්නේ වීව් එක්ක පමණක්ද?

Friday, June 24, 2016

කෙහෙල් හොරා කරෙන් දැනේ




කෙහෙල් හොරා කරෙන් දැනේ






මම අද උදේ ඇවිදිනවිට මේ දැකපු දර්ශනයෙන් ඉතාම සතුටට පත්වුනෙමි , ඒ ගමන්ම අසිත තවුසා මෙන් තරමක් කණගාටුවට පත්වුණේ පාර දෙපස දමා ඇති කුණු දැකීමෙනි . සතුටට පත්වුයේ පාර අයිනේ මෙලෙස වැවෙන කෙසෙල් කනක් තවමත් කපා නොගෙනෙ යාමට තරම් අප සමාජය හොඳ වී ඇති නිසාය. අප කුඩා කාලයේ වතු ඇතුලේ තිබෙන කෙහෙල් කනවල් පහේන්නටත් පෙර කපාගෙන යන හොරු බහුල වුහ.
මෙයට හේතු බුත වන්නට ඇත්තේ කුමන හේතුවක් වන්නට පුලුවන්ද ?

1. සමාජය පොදු වශයෙන් හොඳ වීම

2. කෙහෙල් ගණන් අඩුවීම

3. හොරුන්ට තම කාලය ඊට වඩා වටිනා දෙයකට යොදවන්නට හැකිවීම

4 සැම තැනම සිසිටිවී සවිකරන ප්‍රවනතාව

Monday, June 20, 2016

නගරවලින් අධ්‍යාපනය ඈත් කිරීම.





නගරවලින් අධ්‍යාපනය ඈත් කිරීම.





මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ, දිනපතා පාසැලට ගියේ, ලේවැල්ල පාලම ලඟට ඇවිද ගෙන ගොස් එගොඩ වී, 7 ට ලේවැල්ලෙන් පිටත් වන ලංගම ස්කූල් බස් එකෙනි. එක් අවුරුද්දක් විශේෂ අවධානයට ගන්නේ නම්, මා 8 පන්තියේ සිටියදී, අපගේ 8 E පන්තියේ හැම දෙනාම පාසැල් පැමිණියේ, මෙයට සමාන ක්‍රමයකටය. අපේ පන්තියේ කිසිම ශිෂ්‍යයෙකු, පුද්ගලික වාහනයකින් පාසැලට පැමිණියේ නැත. මට මතක හැටියට මුලු පාසැලේම සිසුන්10/15 ක් වත්, පුද්ගලික වාහනයේ පාසැලට පැමිණියේ නැත. ගෙදර වාහනයක් තිබුනත්, දරුවෙකු දිනපතා වාහනයක පාසැලට ගෙන යාම, බොහෝ දෙමව්පියන්ගේ සිතට, නිකමට වත් ඇතුල් වන්නට වත් නොමැති බව මට සිතේ.
එහෙත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. නගරයේ පාසැලට බස් එකකින් එන ශිෂ්‍යයෙකු සොයා ගන්නට වත් නොහැකිය. පලමු කැමැත්ත තමන්ගේම කාර් එකේ ළමයා ගෙනත් ඇරලීමය. යම් හේතුවනක් නිසා එය අපහසු නම්, ඊලඟ තෝරා ගැනීම ස්කූල් වෑන් එකකි. මේ හේතුව නිසා, නගර වලට ඇතුලු වන වාහන ප්‍රමාණය, දිනෙන් දින වැඩිවේ. සමහර නගර මේ හේතුව නිසාම පාසැල් වේලාවේදී, වාහන වලින් පිරී යයි. කෙටියෙන් කියනවා නම්, චොක්-අ-බ්ලෝක් වෙයි. ඒ 26 මාර්ගය අසාධාරන ලෙස වසා තිබීම, මෙම තත්වය තවත් උග්‍ර කරයි.  
උදාහරණයකට මට හොදින් හුරු පුරුදු මහනුවර නගරය දෙස බලමු. මෙම නගර සීමාව තුල, සත්‍ය වශයෙන්ම නගරය (city proper) තුල ප්‍රධාන පාසැල්, අන්තර් ජාතික පාසැල් වලට අමතරව 20 කට අධිකය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හා මහාමායා විද්‍යාලයේ සිසුන් 10,000 ක් පමණ අධ්‍යාපනය ලබති. අනෙක් විදුහල් වල සිසුන් ප්‍රමාණය මීට වඩා තරමක් අඩු විය යුතුය. අනෙක් පාසැල් වල ශිෂ්‍ය ජනගහනය සාමාන්‍ය 2500 ක් යැයි උපකල්පනය කරමු. එවිට දවසකට නගරයට; නගර සීමාවට නොවේ, ඇතුලුවන ශිෂ්‍ය සංඛ්‍යාව දල වශයෙන් 50,000 වෙයි.
සාමාන්‍යයක් වශයෙන්, මේ සිසුන් 10 දෙනෙකුට එක් වාහනයක් නගරයට උදේ ඇතුල් වී, හවසට එළියට යන්නේ නම්, මෙතන වාහන ගමන් 10,000 කි. ඊට අමතරව පාසැල් නිසා, වක්‍රව වාහන විශාල ගණනක්, මෙම ගණනට එකතු කල යුතුය.
මෙම වාහන ප්‍රමාණය දල වශයෙන්, මහනුවර නගරයට දිනපතා පැමිණෙන වාහන සංඛ්‍යා වෙන්, 50% ක් පමණ වෙන්නට පුලුවන. මෙම විද්‍යාල මහනුවර නගරයේ නැත්නම්, නගරයේ දැන් පවතින වාහන සහ ජන තදබදය සම්පූර්ණයෙන් නැති වී, එය නියම නගරයක් බවට පත් වනවා ඇත.
මේ සදහා කල හැකි හොදම දෙය, විද්‍යාල සියල්ල ඉවත් කර, නගරයට ඇතුලු වීමට පෙර, ප්‍රදේශ තුනක ස්ථාන ගත කිරීමයි. කටුගස්තොට පාලමට පෙර, කුණ්ඩසාලය ප්‍රදේශය, ඊරියගම/ පැණිදෙනිය ප්‍රදේශය, මේ සදහා සුදුසුම ස්ථානය. ඉවත් කරන සියලුම පාසැල් එක්කෝ තනි තනිවම මෙම ස්ථාන තුනෙන් එක් ස්ථානයකට, රැගෙන යා හැක, එසේත් නැත්නම් සෑම විද්‍යාලකම ශාඛාවක්, මෙම ස්ථාන තුනෙහිම ඇති කල හැක. මෙම පාසැල් පද්ධති ස්ථාන තුනෙහිම පොදු පරිශ්‍රයක් තුල ඇති කල විට, අන්තර් ජාතික තත්වයේ පොදු පහසුකම් ඇති කර, මෙම පොදු පද්ධති ලෝකයේ ඕනෑම විද්‍යාලයක් හා තරඟකර ගත හැකි ආකාරයට ගොඩ නැගිය හැක.
දැන් ඩෙලර් 64,000 ක ප්‍රශ්නයට; ව්‍යාපෟතිය සදහා මුදල් සෙවීමට, විසදුමක් සෙවිය යුතුය. මෙය එතරම් දුෂ්කර නොවේ. මහාමායා විදුහල භූමිය අක්කර 4 ක් පමණ වේ. වැව රවුමේ දැන් පර්චස් එක මිලියන පහක් වේ. වෙළෙද පොල වටිනාකම මිලියන 3200 කි. ධර්මරාජ විද්‍යාලය අක්කර 54 කි. පර්චසයක් මිලියන දෙක ගණනේ බැලුවොත්, මිලියන 17280 කි. මේ දෙකෙන්ම මිලියන් 20,000 ටත් අධිකයි. අනෙක් විද්‍යාල වල භූමියේ වටිනාකමද එකතු කල හොත්, මුලු වටිනාකම මිලියන 50,000 කට වැඩි මිස, අඩු වන්නේ නැත. මේ මුදලින් එංගලන්තයේ Eton කොලීජියට වඩා පහසුකම් ඇති, පාසැල් පරිශ්‍ර තුනක් නොව, පහක් හෝ ගොඩනැංවිය හැක්කේය.
මෙම ක්‍රියාවලියට හොඳම උදාහරණයක්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉතිහාසයෙන්ම සොයා ගත හැක්කේය. එය 1891 මුලින්ම පටන් ගැනුනේ, දලදා මාළිගය ආසන්නයේ පැවිලියන් වීදියේය. 1925 මෙම විදුහල මුල්ගම්පොල, වෙල් අට ගමට රැගෙන යන ලද්දේ, නගරයෙන් එපිට නිස්කලංක පරිසරයකට, විදුහල ගෙන යායුතු නිසාය.
මේ වැඩේ කෙරුන හොත්, මහනුවර නගරයත් වියානා හෝ මිලාන් වැනි නිස්කලංක එමෙන්ම, ජනයා ඇතුලු වීමට ප්‍රිය කරන, එහි පෞඩ ඉතිහාසයට ගැලපෙන ඵෛතිහාසික නගරයක් වනු ඇත.

මේ ක්‍රමවේදයම, අනෙකුත් සෑම ප්‍රධාන නගරයකටම, අඩු වැඩියෙන් වෙනස් කර යොදාගත හැක.    

ලංකාවේ ජන ගුරුත්ව කේන්ද්‍රය (center of gravity) තිබෙන්නේ කොතැනකද?



ලංකාවේ ජන ගුරුත්ව කේන්ද්‍රය (center of gravity) තිබෙන්නේ කොතැනකද? 





රටවල් නොයෙක් හැඩයන් ගෙන් යුක්ත නිසා, රටක භූගෝලීය කේන්ද්‍රය සොයා ගැනීම අතිශය දුෂ්කරය. යටත් විජිත පාලන සමයන්හි, විශේෂයෙන්ම ඒවා අවසන් වෙද්දී, සමහර අප්‍රිකානු රටවල් නම්, රට චතුරශ්‍ර ලෙස දේශ සීමා නිර්නය කර ඇති බව පෙනේ. එවැනි රටක නම් කෙනෙකුට, ඔහුගේ රටේ මධ්‍යය සොයා ගැනිම, එතරම් අපහසු වන්නේ නැත.
අප වැනි දූපතකට, දේශ සීමා නිර්නය කිරීම ගැන, කවුරුත් කරදර නොවිය යුත්තේ, ඒවා රටේ දෛවය විසින්ම, මුලින්ම තීරණය කල නිසාය. අපි කැමති වුවද, අකමැති වුවද, අපට ඒවා වෙනස් කර ගත නොහැක. ඉන්දියාව/චීනය එසේත් නැත්නම් ඉන්දියාව/බංගලාදේශය ආකාරයට අපිට දේශ සීමා ප්‍රශ්න ඇති කර ගෙන, යුද්ධ කරන්නට හෝ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ඇති කරන්නට, කිසිම ඉඩක් නැත. එසේ කරන්නට අවශ්‍යම නම්, අපට ඒ සදහා සුලු ඉඩක් හෝ ඇත්තේ, මුහුදු සීමාවන් සම්බන්ධයෙන් පමණි. එම අවස්ථාවත් 1964 සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන්, සම්පූර්ණයෙන් අවුරා ඇත්තේය.
රටක ජන ගුරුත්ව කේන්ද්‍රය සොයා ගන්නට, ඇත්තෙන්ම මේවා අදාල වන්නේ නැත. එහෙත් රටක ගුරුත්ව කේන්ද්‍රය, දළ වශයෙන් සොයා ගැනීම, ආර්ථික හා සමාජීය වශයෙන් වැදගත්ය. මම මෙය සොයන්නට, කිසියම් ක්‍රමවේදයක් ඇත්දැයි සොයා බැලුවෙමි. අසාර්ථක සොයා බැලීමක අවසානයේදී, මට ඇට්ලස් යෝධයා සිහිවිය. ග්‍රීක දේව කථා වලට අනුව, ඔහුට දඩුවමක් වශයෙන්, පෟතුවි ගෝලය ඔසවාගෙන සිටීමට සිදුවිය. භූම් කම්පා සිදුවන විට එකල මිනිසුන් සිතුවේ, ඒ ඇට්ලස් යෝධයා, පෟතුවිය උරිහෙන් උරිහට, මාරු කරන අවස්ථාවන් කියාය.
එසේ යම් යෝධයෙකු ලංකාව, ඇඟිල්ලකින් ඔසවා ගෙන සිටින්නේ නම් සහ ඔහුට දැනෙන්නේ රටේ මිනිසුන්ගේ බර පමණක් යැයි උපකල්පනය කලහොත්, ඔහු, ඔහුගේ ඇඟිල්ල දළ වශයෙන් තබාගත යුත්තේ, ලංකාවේ කුමන ප්‍රදේශයක් යටින්ද? යන්නට පිළිතුර සොයා ගත හොත්, මෙම ජන  ගුරුත්ව කේන්ද්‍රය අපට නිර්නය කල හැක්කේය.
මෙම ස්ථානය දළ වශයෙන් දැන ගත් විට, රටෙහි බොහෝ ජනයාට නිතරම යාමට අවශ්‍ය වන, රජයේ කාර්යාල සහ වෙනත් පහසුකම්, එම ප්‍රදේශයෙහි ස්ථාපිත කල හැක්කේය. විශේෂයෙන්ම ජාතික රෝහල් සහ නොයෙකුත් ජාතික පහසුකම් මේ අතරට ඇතුලත් විය හැකිය. පුරාතනයෙහි සියලුම මාර්ග රෝමය වෙත ගිය ලෙසට, මෙම ප්‍රදේශයට අනික් සෑම නගරයකින්ම පාහේ, පහසුවෙන් පැමිණිය හැකි ලෙසට, මාර්ග පද්ධතිය වැඩි දියුණු කල යුත්තේය. රට පුරා බෙදා හැරෙන භාණ්ඩ තොග ගබඩා ඇති විය යුත්තේද, මේ ප්‍රදේශයේය.
  2012 ජන සංගණනයට අනුව, අප රටේ වැඩියෙන්ම ජනගහන සිටින දිස්ත්‍රික්ක දෙක, කොළඹ සහ ගම්පහය (මිලියන 2.3 සහ 2.3). ඉන් පසු කුරුනෑගල, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ජනගහනය එකිනෙකෙහි මිලියන 1 කට වැඩිය. මෙම දිස්ත්‍රික්ක 7 හි ජනගහනය රටෙහි මුලු ජනගහනයෙන් 54% ක් වෙයි. යාපනය හැරෙන්නට උතුරු ප්‍රදේශයේ මුලතිව්, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියා රටේ ජනගහනය අඩුම දිස්ත්‍රික්ක වේ. උදාහරණයකට මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වල ජනගහනය, එකිනෙකෙහි ලක්ෂයකටත් අඩුය.
එක් එක් දිස්ත්‍රික්කයන්හි මෙම ජනගහනයන්හි බර, දළ වශයෙන් සමතුලිත වන්නේ කොතනද? සාමාන්‍යයෙන් ලංකාවේ සිතියමක් දෙස බැලූ විට, භූගෝලීය වශයෙන් ලංකාවේ මධ්‍යය ලෙස පෙනෙන්නේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයයි. එහෙත් රටෙහි ජන ගුරුත්ව කේන්ද්‍රය, ජනගහනය වැඩි පැත්තට, එනම් ගම්පහ කොළඹ පැත්තට, බටහිරට, යා යුතු වෙයි. මිලියනයට වැඩි දිස්ත්‍රික්ක 7 තිබෙන්නේ, රටෙහි නිරිතදිග පැත්තට බර වන්නට නිසා, එම ලක්ෂය තවත් නිරිතදිග පැත්තට, ගෙන ආයුතු වෙයි.
එලෙස දිස්ත්‍රික්කයන්හි ජනගහනයේ, බර අනුව කෑගලු දිස්ත්‍රික්කයේ, මැද හරිය; අවිස්සාවේල්ලට බර වෙන්නට, මුලු රටෙහිම ජන ගුරුත්ව කේන්ද්‍රය බව පෙනේ. මෙම ප්‍රදේශය මීට වඩා නිවැරදිව ගණනය කිරීම, පරිඝනක යොදා ගෙන කරන්නට හැකි විය යුතුය. පාවිච්චි කරන්නන් වැඩි දෙනෙකු සිටින ප්‍රදේශ වලට, සංසන්දනාත්මකව ආසන්නව තිබීමටත්, ඒ අතරම පාවිච්චි කරන්නන් අඩු ප්‍රදේශ වලට අසාධාරණ ලෙස දුර වැඩිවීම වැලැක්වීමටත්, ජනතාවට නිතරම පැමිණිය යුතු ජාතිකමය ආයතන පිහිටුවා, මාර්ග පද්ධතියද ඒ අනුව සකස් කල හොත්, කොළඹ පහසුකම් තව දුරටත් සංවර්ධනය කරමින්, මුලු රටෙහිම ජනතාව කොළඹ දෙසට ගෙන්වීම වැලැක්වෙනු ඇත. එවිට අති විශාල ධනයක් යොදවා, කොළඹ තුලට යාම සදහා ඇති කරන්නට සැලසුම් කරන, පොදු ප්‍රවාහන පද්ධතිය අවශ්‍ය නොවනු ඇත.
මෙම ප්‍රදේශයන්හි සංවර්ධනය කිරීමට අවශ්‍ය තරම් ඉඩම් තිබීමද, මේ සදහා තවත් එක් හොඳ හේතුවකි.

Saturday, June 18, 2016

යෝධ රාජ්‍යයක පුරවැසියෙකු වීමේ ආදීනව



යෝධ රාජ්‍යයක පුරවැසියෙකු වීමේ ආදීනව

ඇමරිකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ගණන 62 ක් වේ. සාමාන්‍යයෙන් රටවල් දියුණු වන විට, එසේත් නොමැති නම් ධනවත් වන විට, දේශපාලන පක්ෂ ප්‍රමාණය අඩු වන ප්‍රවනතාවයක් ඇති බව, ලොව පුරා රටවල, මැතිවරණ කාල වලදී නිරීක්ෂණය කල හැක.
ඇමරිකාවේ මෙම ප්‍රධාන පක්ෂ දෙකේ, ලොකු ප්‍රතිපත්තිමය වෙනස්කම් නැත්තේ වුවද, ප්‍රධාන වෙනස්කම් වලින් එකක් වන්නේ, රජයේ බලය හා ප්‍රමාණයයි. රිපබ්ලිකන් පක්ෂය (Donald Trump) කුඩා රජයක් අපේක්ෂා කරන අතර, ඩිමෝක්‍රැටික් පක්ෂයේ  (Hilary Clinton) ප්‍රතිපත්ති වල තිබෙන්නේ, ලොකු රජයක්ය. මෙලෙස ලොකු රජයක් යනුවෙන් අදහස් කරන්නේ, අනවශ්‍ය ලෙස විශාල, එමෙන්ම පුද්ගලික අංශයෙන් කල හැකිදේට අත පොවා, ඒවා අකාර්යක්ෂම ලෙස ඉටු කරන, රජයන්ටය.
අතින් බලන විට, අපේ රජය යෝධ රාජ්‍යයකි. රජයේ සේවකයන්ගේ ප්‍රමාණය, හිතා ගන්නටවත් බැරිය. ගුරුවරු පමණක් 2013 දී 226,983 ක් සිටියහ. අති විශාල රාජ්‍යයක් කරනවාට අමතරව, අපේ රජය ව්‍යාපාරත් කරයි. ගුවන් ප්‍රවාහනයේ සිට සිල්ලර වෙළදාම දක්වා සියලු වර්ග වල ව්‍යාපාරයන් එයට අයත්ය. මෙම සෑම ව්‍යාපාරයකම, එකක් දෙකක් හැරුනු විට පොදු ලක්ෂණයක් වන්නේ, ඒවායේ දක්නට ලැබෙන බරපතල පාඩුය.   
මෙවැනි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට අමතරව, සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකම රාජ්‍ය නිලධාරීන් 4/5 දෙනෙකු සිටිති. ග්‍රාමසේවා නිලධාරී, කෟෂිකර්ම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෟධි නිලධාරී, සහ පවුල් සෞඛ්‍යය නිලධාරී, මෙම පස් දෙනාය. සෞඛ්‍යය සේවිකාව පමණක්, කොට්ඨාශ දෙකකට පමණ සේවය ලබා දෙයි.  මුලු දිවයින පුරාම මෙවැනි ග්‍රාමසේවා කොට්ඨාශ, 14022 ක් තිබේ. එක කොට්ඨාශයකට 4.5 බැගින් මෙම නිලධාරීන්ගේ මුලු එකතුව 63,099 ක් පමණ වෙයි. එක නිලධාරියෙකුට රජයෙන් රුපියල් 50,000 රජයෙන් වියදම් වෙන්නේ යැයි අනුමාන කලහොත්, වසරකට මේ සදහා යන මුලු වියදම මිලියන 37859 කි, කියන්නේ බිලියන 38 කි. ග්‍රාමසේවක නිලධාරියා හා සෞඛ්‍යය නිලධාරියා ගෙන් යම් සේවයක් සිදු වෙයි. එහෙත් පෙර සදහන් කල අනිකුත් නිලධාරීන් ගෙන්, එම තරාතිරමට අදාලව යම් සේවයක් සිදු වන්නේද? මම නම් සිතන්නේ නැත.
වසරකට පමණ පෙර, අපට දෙළුම්, අඹ, වැනි පළතුරු පැල පහක් ලැබුණා හැරෙන්නට, මා දැකපු වෙනත් සේවයක් නම් නොමැත. ගමේ ආර්ථිකය නගා සිටුවීමට හෝ ජනතාවට ඇති කෟෂිකාර්මික ගැටලු විසදා දීමට, කිසිම දායකත්වයක් ලැබෙනවා මා නම් දැක නැත. ඇත්තෙන්ම මෙතරම් ජනතාවගේ මුදල් වැය කර, රජයේ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ගොවිතැන හෝ ආර්ථිකය දියුණු කරන්නට ඔවුන් යොදවා ගන්නා නම්, ඔවුන්ගෙන් කොට්ඨාශයේ ජනතාවට ලබා ගත හැකි සේවයන්, ජනතාව අතර ප්‍රසිද්ධ කල යුතුය; සමගම ඔවුනට නියමිත කාලයක් තුල, සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක් ලබාදිය යුතුයි.
මමත් ගමක ජීවත් වන, කුඹුරු හා ගොඩ ගොවිතැනෙහි යෙදෙන පුරවැසියෙකි. නමුත් මේ කිසිම නිලධාරියෙකු මගෙන් කවරදාක වත් ආර්ථිකය හෝ කෟෂිකර්මය දියුණු කර දීමට, විමසා නැත. මා දන්නා කිසිවෙකු ගෙන් විමසාද නැත්තේය.

 මේ සියලු රාජ්‍ය සේවකයන්ට වියදම් කරන්නේ, ජනතාවගේ මුදල්ය. එහෙත් ජනතාවට වියදම් බරින් හිට ගෙන සිටින්නට නොහැකිව, දණ බිම ඇනෙනවා මිස, වෙනත් ලැබෙන ප්‍රතිලාභයක් නම් නැත්තේය.  


මිරිස් සහ මිරිස් සැර මාපකය.

                            Carolina reaper මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට...