Wednesday, May 31, 2017

ලංකාවේ ආපදා කලමනාකරණය ; බස්තියන් පයින් යෑමක්ද?





ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත. 

ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.  

ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,


  1. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම. 
  2. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම. 
  3. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම. 


වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි. 

එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි. 

එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන්. ඩී.එස්. සේනානායක හෝ ගාමිණී දිසානායක වැන්නන්ය. 

පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී. 

ඇත්තෙන්ම මේ අවස්ථාවේ මේ කිසිදේකින් නොසැලී සම්පූර්ණ ආපදා කලමනාකරණයම ඉටුකල හැකි යාන්ත්‍රණයක් අප සතුව තිබේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාවන් වෙති. ඒවායේ සාමාජිකයෝ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවන් වලට මුහුණදීම සදහා පුහුණුවක් ලබා ඇත්තෝය. 

 සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි. 

  1.  අරමුණෙහි සිටීම.
  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම. 
  3. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
  4. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
  5. මෙහෙයුම්වල ආරක්ෂාව.
  6. සතුරා පුදුමයට පත් කිරීම.
  7. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
  8. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
  9. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
  10. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

  

මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම  තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ. 

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය. මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

  1. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
  2. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
  3. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.  
  4. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
  5. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
  6. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
  7. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
  8. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
  9. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
  10. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.  
  11. දත්ත ගබඩාවක්  ස්ථාපිත වීම - මෙය තුල ගං වතුරට යටවීමට ඉඩතිබෙන ගම් , ඒවායේ ජිවත්වන ප්‍රමාණයන් , එම ගමෙහි ඇති ජනතාවට ප්‍රවේශමෙන් සිටිය හැකි  උස් ස්ථාන , එම ස්ථානයන්ට ගමන් කල හැකි ආකාරයන් , එහි කටයුතු සම්බන්ධීකරණය කල හැකි කෙනෙකුගේ දුරකථන අංක යනාදිය තිබිය යුතුය. එවිට ගං වතුරෙන් වතුරට රෝදය නැවත නැවත සොයාගන්නේ නැතිව එක්වරම වැඩට බැසිය හැක.
  12. රජයට ජනතාවගෙන් අකාර්යක්ෂම යැයි බැනුම් නොඅසා සිටිය හැකි වීම- ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාර්‍යබාරය නීති සම්පාදනය කිරීමය. නීති සැදීම යනු මෙවැනි දෑ සංවිධානය කර පිහිටවිමය. ඉන්පසු එම කටයුතු හොදින් සිදුවන්නේදැයි පරීක්ෂාවෙන් සිටීමය. එලෙස කටයුතු සිදුවන්නේ නම් ජනතාව ඇමතිවරයා කොහේ සිටින්නේද අගමැතිවරයා කොහේ යන්නේද සොයා බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. 
මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.      

Monday, May 29, 2017

මඩකලපු සරම් සහ ත්‍රීකුණාමලය




ලංකාවේ කුවේනිය ගෙන් පසු කපු වගාව සහ කපු වලින් රෙදි නිම කිරීමේ කර්මාන්තයක් තිබී ඇති බව මා දැනගත්තේ මේ ලඟදීය. පලමුවෙනි සිංහලයා වන විජය කුමරු කුවේනිය මුණ ගැසෙන විට කුවේනිය සිටියේ කපු කටිමින්ය. එහෙත් ඉන්පසු කපු කර්මාන්තය විශාල ලෙස සිදුවුනැයි මහා වංශයේ ඒතරම් සදහන් වන්නේ නැත. බොහෝ විට මෙය සිදු නොවන්නට ඇත්තේ ලක් පොලොවේ කපු වැවීම සාර්ථක ලෙස සිදු නොවන නිසා විය හැක. 

සාමාන්‍යයෙන් ලංකාවේ ස්වාභාවික දෑ හා කර්මාන්ත පිලිබඳව නිවැරදිව ලේඛන ගත වූයේ යුරෝපීයයන් මෙරටට පැමිණි පසු බව අප අකමැත්තෙන් වුවත් පිලිගත යුතුය. ඔවුන්ගේ වාර්තාවන් වලට අනුව 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ උතුරු ප්‍රදේශයේ හා මන්නාරමේ කපු වගාව බොහෝ සේ ව්‍යාප්තව තිබිණ.

 මෙය ඕලන්ද පාලකයන් විසින් බොහෝ  ධෛර්යමත් කල බව පැවසේ. 1887 බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වාර්තා වලට අනුව අත්යන්ත්‍ර පේශකර්ම ශාලා දකුණු ප්‍රදේශයේ 15 ක්ද, වයඹ ප්‍රදේශයේ 21 ක්ද, නැගෙනහිර ප්‍රදේශයේ 429 ක්ද - කලකට පෙර ප්‍රසිද්ධ වී තිබුනු මඩකලපු සරම් බොහෝ විට මෙහි ප්‍රතිපලයක් විය හැකිය. උතුරෙහි 575 ක්ද තිබුණි. 

නමුත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන රෙදි වලින් ලැබෙන රේගු බඳු ප්‍රමාණය අඩු වන නිසා ලංකාවේ නිපදවන කපු රෙදි වලට 5% ක බද්දක් පැනවිණ. මේ නිසා ඉතාමත් සුලු ලැභයක් ලබමින් පවත්වාගෙන ගිය ලංකාවේ කපු වගාව සහ කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටිණ. 

ඉන්පසු ලංකාවේ කපු කර්මාන්තය ප්‍රධාන වෙනසක් වූයේ වැල්ලවත්ත පෙහෙකම්හල ඇති වීමය. 19 වන ශතවර්ෂයේ අග වැල්ලවත්ත ඇල අසල අතහැර දමන ලද කැලෑ ගත වූ කුරුඳු වගාවක  පටන් ගැනුනු මෙම කර්මාන්තශාලාව කපු කටින යන්ත්‍ර 1000 නුත්, රෙදි වියන යන්ත්‍ර 150 නුත් යුක්ත විය. පටන් ගත් වසරේදීම මෙම කර්මාන්තශාලාව සදහා කපු ටොන් 32 ක් යාපනයේ සිට දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කෙරුනු අතර   සහ දෙවන වසරේ එය ටොන් 289 දක්වා වැඩි විය. 

මෙම ප්‍රමාණය වසරින් වසර වැඩි වී ටොන් දස දහස් ගණනක් වේයැයි ඉංග්‍රීසි පාලකයන් බලාපොරොත්තු වුවද එසේ සිදු වී ඇති බවක් නම් නොපෙනේ. මෙම කර්මාන්තශාලාවත් සමගම අනාත ළමයින්ට නොයෙකුත් රැකියාවන් පුහුනු කිරීමට නිවාසයක්ද ක්‍රිස්තියානි ආගමික නිකායන් විසින් ඇති කරන ලද්දෙන් කර්මාන්තශාලාවේ පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී මෙම පුහුනු පාසැලෙන් පිටවන තරුණයන් ඉමහත් පහසුවක් විය. 

පෙර සදහන් වූ පරිදි කොළඹ කොටුව අවට කුරුඳු වගා කිරීම විශාල වශයෙන් පැවතිණ. විශේෂයෙන් පෘතුගීසි කාලයේ කුරුඳු වෙළඳාම නිසා නොවේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වනුයේ ත්‍රීකුණාමල වරාය වන්නට බොහෝ ඉඩ තිබිණ. ගාල්ලේ මෙන් වරායට ඇතුල් වීමේදී ඇති අනතුරුදායක තත්වය එසේත් නැත්නම් කොළඹ වැනි කෝටි ගණනක් වියදම් කර විශාල දියකඩන දෙකක් සෑදීමේ අවශ්‍යතාවය ත්‍රීකුණාමල වරාය තෝරා ගත්තේ නම් ඇති නොවනු ඇත. ශත පහක් වත් වියදම් නොකර ත්‍රීකුණාමල වරාය තරම් ගැඹුරකුත් වසර පුරාම ආරක්ෂාව සහ ඒසා විශාලත්වයත් ලබාගත හැකි වරායක් ලෝකයේ තිබෙනවා නම් එය අතේ ඇගිලි ගානට වඩා අඩුවිය යුත්තේය. 

බොහෝ විට මෙලෙස ත්‍රීකුණාමල වරාය එකල ලංකාවෙි ප්‍රධාන වෙළඳ වරාය බවට පත් වූයේ නම් එය දැන් අපේ අගනුවර වීමට බොහෝ ඉඩ කඩ තිබිණ. අපට කුරුඳු වලින් කරන ලද බලපෑම කොතෙක්දැයි මේ කරුනෙන්ම හිතාගත හැක්කේය.     


Saturday, May 27, 2017

අපේ ගස් ගැන අමුතු කතා.



ඉංග්‍රීසීන් මෙහි පැමිණෙන තෙක් අපේ කැලෑවල වැවෙන්නාවූ නොයෙකුත් ගස් ගැන එතරම් විස්තර සහිත ලෙස ලේඛන ගත වූයේ නැත. එහෙත් ඉංග්‍රීසීන් පැමිණි පසු රටතුල ඇති නොයෙකුත් ගස් වර්ග පිලිබඳව සහ ඒවායේ ආර්ථික වටිනාකම සහ වෙනත් ප්‍රයෝජන පිලිබඳව ලේඛන ගත කෙරිණ. එම ලේඛනයක් මේ ලගදී මම කියෙව්වෙමි. එම විස්තරවල බොහෝ සිත් ගන්නා සුලු කරුණුද එමෙන්ම අප නොදන්නා විස්තරද දක්නට ලැබුණි. සමහරක් එම කරුණු මට බ්ලොග් එකක ලියන්නට සිතුණි. 

1.අශෝක ගස එකල පේරාදෙණිය මල් වත්තේ වවන්නට උත්සාහ කලද එය අසාර්ථක වී ඇත. එහෙත් දුම්බර සහ තුම්පනේ මේ ගස් බොහෝ සේ වැවෙන අතර, ඉතා අලංකාර තැඹිලි සහ තද රතු මල් හට ගනී. මේවාට දියරත් මල් යැයි කියනු ලැබේ. 

2.කටු ඉඹුල් යැයි කියන ගස් වර්ගය සෑම ගමකම වාගේ දක්නට ලැබේ. මල් පිපෙන කාලයට ටියුලිප් වැනි පෙති සහිත තද රතු පාට මල් වලින් ගස පිරී යයි. මේ විස්තර කරනුයේ කොට්ට ගස විය යුතුය. දැන් දකින්නත් ලැබෙන්නේ කලාතුරකිනි. 

3.එකල කුඹුක් ගස රට පුරා පැතිරී තිබුනු ගසක් විය. විශේෂයෙන්ම මහවැලි ගඟේ ඉවුරු දෙපස මහනුවර සිට ගඟ මුහුදට වැටෙනතාක් දක්වා වැවී තිබුණු අතර, නැගෙනහිර වැව් ඉවුරු වටාද වැවී තිබුනේ කුඹුක් ගස්ය. දැන් දකින්නත් ලැබෙන්නේ කලාතුරකිනි.  

4.ලංකාවට ආවේනික නොවන දූරියන් ලංකාවට හදුන්වාදී ඇත්තේ පෘතුගීසීන් විසිනි. සිංහලයෙන් මෙයට කටු බෝධ යැයි කියනු ලැබේ. 

5.පෙන්ටාප්ටේරා ටොමැන්ටෝසා (සිංහල නම?) නැමැති මෙම ගස් වර්ගයේ එක් ගසක් මුත්වාල් හි ඇති පොල් ගස් වලට වඩා බොහෝ උසට හැදී තිබුණි. මීගමුවෙන් මුහුදට යන ධීවරයන් මෙය ලෑණ්ඩ් මාක් එකක් සේ පාවිච්චි කලහ. 1850 දී පර්ගියුසන් මහත්මයා මෙහි බිමට ආසන්නව වට මනින ලද අතර, වටා ප්‍රමාණය අඩි 45 ක්ය. 

මෙහි ලී ප්‍රතිමා සෑදීමට පාවිච්චි කරන අතර, වෙනත් වැඩ කටයුතු වලටද භාවිත වේ. මෙහි පොත්ත කලු ඩයි සෑදීමට සහ ඖෂධ වලට යොදා ගැනීමට විකුණන ලදි. බුලත් කන විට හුණු වෙනුවට මේ පොතුවල අළු කෑමටද සිංහලයෝ පුරුදුව සිටියහ.  

7.ගොඩ කදුරු සෑම කැලෑවකම වාගේ තිබෙන මෙම ගස ලංකාවේ යුරෝපීයන් අතර බලවත් කැමැත්තට ලක්ව තිබේ. ඒ එම ගසේ ඇති විෂ සහිත ගෙඩි වලින් ස්ට්රලයිකයින් නැමැති විෂ වර්ගය සාදා ගැනීමට ඇති හැකි නිසාය. මෙම ගසේ එක් වර්ගයක ගෙඩි මෙසේ විෂ වුවද, ඒ ගසේම තවත් වර්ගයක ගෙඩි නිතරම ආහාරයට ගතහොත් නයෙකු දෂ්ට කලහොත් එයින් බේරීමට හැකි වන බව විශ්වාසයක් තිබේ. මේ ගෙඩි ඉන්දියාවේ අරක්කු පෙරන විට එම මිශ්‍රණයට දැමීමෙන් අරක්කු වල සැර වැඩිකර ගැනීමට පුලුවන් යැයි විශ්වාසයක් තිබේ.

8.කිතුල් ගස ගැන අප නොදන්නා දෙයක් ලියවී නොමැති නමුදු අඹගමුවේ තිබුණු එක් පුදුම කිතුල් ගසක් ගැන සදහන් වෙයි. ඒ මෙම එක් කිතුල් ගසෙන් පමණක් දරුවන් තිදෙනෙකු ගෙන් යුත් පවුලක් ජීවත් වූ බවය. මෙම කිතුල් ගසෙන් දවසකට කිතුල් රා පයින්ට් 100 ක් දිනපතා ලබාගත් බැවිනි. 

වඩුවැඩ සදහා පාවිච්චි කල හැකි ලංකාවේ ලී වර්ග ගැන එකල රාජකීය හමුදාවේ ඉංජිනේරු බලකායේ වඩු මුදලියාර් වූ මොරටුවේ ඒඩ්‍රියන් මෙන්ඩිස් ලැයිස්තුවක් පිලියෙල කර ඇත. එහි එම ලේඛනයේ වඩු වැඩට ගන්නා ලී වර්ග 90 ක් පමණ ඇතුලත් කර ඇත්තේය. 

පොල්, තල් සහ කොස් එහි මුලින්ම අන්තර්ගත වෙයි.  මෙහි පුදුම සහගත ඇතුලත් කිරිම දෙල් ලී වෙයි - සමහර විට මේ වල් දෙල් වීමට පුලුවන. මෙම දෙල් ලී විශාල වශයෙන් කරත්ත, බැරල් සහ බෝට්ටු සෑදීමට යොදා ගත් බව පැවසේ. 

සූරිය ගසද එහි ඇති ටියුලිප් වැනි මල් හා තද ලීය කරත්තවල කැරේජ් සහ තුවක්කු කඳවල් සෑදීමට යොදා ගැනීම නිසා අගය කෙරේ. කළුවර ගසද ත්‍රීකුණාමලයෙන් බටහිරට පහත් බිමිවල ඕනෑ තරම් තිබේ. කඩුබේරිය නැමැති කළුවර ගසේ බාල වර්ගයක්ද තිබේ. ලීය කළුපාට වුවද එහි දුඹුරු සහ රෝස පාට කුඩා ඉරි වැටී තිබේ.

 කලමන්ඩර් නැමැති ගස් වර්ගය රටේ වටිනාම ලීයයි. එය එංගලන්තයේ රෝස් වූඩ් හා සමාන වුද අලංකාරයෙන් සහ කල් පැවැත්මෙන් ඊටත් වඩා හොඳය. ශ්‍රී පාදය බෑවුමේ සහ දකුණු පලාතේ ව්‍යාප්ත වී තිබුනු මෙම ගස් වර්ගය ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින් විශාල ලෙස කැපීමෙන් දැනටත් ඒ ලීයක්වත් සොයා ගැනීමට නොහැක. 

නැඳුන් ගසද මෙලෙස කැබිනට් සාදා ගැනීමට ගන්නා තවත් ගස් වර්ගයක් වෙයි. සියඹලා ගසද කැබිනට් සාදා ගැනීම හොඳ ලී වර්ගයක් වුවද කදෙහි ඇති ඉතා තද ගතිය නිසා වඩු වැඩ කිරීම සදහා යොදා ගැනීම ඉතාමත් අපහසුය. 

සියඹලා ගස්වල සෙවන සෞඛ්‍යයට අහිතකර බවට ඉන්දියාවේ විශ්වාසයක් තිබුනද, ලංකාවේ සියඹලා ගස් සෙවනින් නිවාස සෑදීමට මිනිසුන් කැමති වන්නේ සියඹලා ගස් යට සෙවන අනෙක් ගස්වල සෙවනට වඩා සිසිල් බව විශ්වාස කරමිනි. ග්‍රීෂ්ම කාල වලදී රණවරා කොටු කෑල්ලක් අතේ තබා ගැනීම සිසිලසක් ලැබෙනවා යැයි විහ්වාසයක්ද ජනයා අතර තිබේ. 


මෙවැනි තවත් එකල තිබූ අමුතු විශ්වාසයක් නම් මිනිසුන්ගේ කටහඩ ඇසෙන්නේ නැතිව පොල් ගස් වලට ජීවත්වීමට බැරි බවය. ගමක මිනිසුන් යමි හේතුවක් නිසා ගම අතහැර ගියහොත් (ලෙනාඩ් වුල්ෆ් ගේ විලේජ් ඉන් ද ජන්ගල් පොතේ ආරච්චි මහත්තයා පොල් ගෙඩි දෙකක් දැකුම් රැගෙන යාම සිහියට එයි.) ටික කලකින් එහි තිබූ පොල් ගස් මිය යන බවට එම විශ්වාසය තවත් දිග හැරිණ.      

1860 දී ශ්‍රීමත් ජේම්ස් ටෙනන්ට් විසින් ප්‍රසිද්ධ කරන ලද ග්‍රන්ථයක් අනුසාරයෙනි. 

Monday, May 22, 2017

ප්‍රද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීමට හේතු මොනවාද?


පුද්ගලික විශ්ව විද්‍යාල හා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මේ දිනවල අප රටේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබේ.  වෛද්‍ය වර්ජනයක් එසේත් නැත්නම් වෛද්‍ය සිසුන්ගේ පෙලපාලියක් හෝ උද්ඝෝෂණයක් මේ පිලිබඳව දක්නට නොලැබෙන සතියක් නොමැති තරම්ය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ලොකු විරුද්ධත්වයක් රටෙහි තිබුනේ  නැත. සිය ගණනක්  මෙවැනි පුද්ගලික විශ්ව විද්‍යාලයන් දැනටමත් ඇති වී ක්‍රියාකාරී තත්වයේ තිබී මෙන්ම මෙය පැහැදිලි වෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ඒ කියන්නේ ලංකාවේ ඉංජිනේරුවන්ගේ එකමුතුව පවා මෙවැනි උපාධිය ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් ඇති කර ඇත්තේය. 

නමුත් සුලුතරයක් වුවද තරමක ප්‍රමාණයක් රජයේ නොවන විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධ බව පෙනේ. මෙලෙස විරුද්ධ වීම් කිසිසේත් හිතා ගන්නට බැරිය. මක්නිසාද ලංකාවේ රජය නොවන විශ්ව විද්‍යාල නොමැත්තේ නම් බොහෝ සිසුන් පිටරට විශ්ව විද්‍යාල වලට ගොස් ඉගෙන ගන්නා බැවිනි. එසේ පිටරට විශ්ව විද්‍යාල වලට යන ශිෂ්‍යයන් අවුරුද්දකට 2000 ක් ලංකාවෙන් පිටරට අධ්‍යාපනය සදහා ගියහොත්, එක් ශිෂයෙකුට මිලියන් හයක් වියදම් වන්නේ නම් ලංකාවෙන් පිටට යන මුලු මුදල මිලියන 12,000 ක් පමණ වේ. මෙය සම්පූර්ණයෙන්ම විදේශ විනිමය ලෙස පිටරටට ඇදී යයි. 

කම්කරුවන් පිටරට යවා එයින් විදේශ විනිමය හොයන අපි වගේ රටකට මෙය දරා ගත නොහැකි ආර්ථික ව්‍යසනයකි. රජයේ නොවන විශ්ව විද්‍යාල මෙහි ඇති කරන්නේ නම් මේ මුදල් රමේ සංවර්ධනයට යෙදෙවනවා පමණක් නොව තවත් බොහෝ විදේශීය ශිෂ්‍යයන් අපගේ විශ්ව විද්‍යාල වලට පැමිණ ඉගෙන ගැනීම අප රටට විදේශ විනිමය ගලා ඒමට පටන් ගනී. අනෙක් පැත්තෙන් මුදලටත් වඩා ලෝකයේ වෙනත් රටවල ශිෂ්‍යයන් මෙරටට අධ්‍යාපනය සදහා පැමිණීමෙන් පමණක්ම අපේ රට සහ වැසියන් ලොව අන් රටවල වැසියන් අතර ගෞරවයට පාත්‍ර වේ. මෙහෙකාරියන් සපයා හම්බකර ගැනීමට වඩා දැනුම විකුණා හම්බකර ගැනීම කොතරම් ගෞරවාන්විත වෙනසක්ද?.

අනෙක් පැත්තෙන් අපගේ රජයේ විශ්ව විද්‍යාල වල තිබෙන්නේ සීමා සහිත ඉඩ ප්‍රමාණයකි. අවුරුද්දකට සුදුසුකම් ලබන සිසුන් 1,50,000 කින් විශ්ව විද්‍යාල වට ඇතුලු වීමට ඉඩ ලබන්නේ 25,000 ක් පමණි. මෙය සුදුකම් ලැබූවන් ගෙන් 1/6 පමණි. ඉතිරි ශීෂ්‍යයන් ගෙන් 2000 ක් වැඩිදුර අධ්‍යාපනය සදහා පිටරට යනවා යැයි උපකල්පනය කලහොත් 1,23,000 ක් හරියමන් දෙයක් කර ගන්නට බැරිව හිර වෙයි. ඔවුන්ගෙනුත් බොහෝ දෙනෙක් CIMA වැනි පිටරට විභාග කරන්නට තවත් විදේශ විනිමය පිටරට යවයි. 

ලංකාවේ නිදහසේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කල හොත් පිටරට යැවීමට මුදල් නොමැති එහෙත් ලංකාවේ තිබේනම් කෙසේ හෝ ගැට ගසා ගන්නට පුලුවන් දරුවන් බොහෝ ගණනකට උපාධි ලබා ගන්නට පුලුවන. එසේ පුද්ගලික විශ්ව විද්‍යාල  බොහෝ ගණනක් ඇති වන විට ඒවාට ළමයින් බඳවා ගැනීම සදහා බලවත් තරඟයක් ඇති වේ. එවැනි තරඟයක් ඇතිවන විට ළමයිනුත් බලන්නේ වඩා හොඳ එසේම වියදම අඩු විශ්ව විද්‍යාලයකට යාමය. 

මෙයට මුහුණදීම සදහා විශ්ව විද්‍යාලත් ප්‍රමිතිය වැඩිකර ගැනීමට සැම විටම උත්සුක වන අතර, මුදල් අයකිරීම හැකි තරම් අඩුවෙන් ලබා ගැනීමට උත්සාහ කරනු නොවනුමානය. ඇත්තෙන්ම බටහිර රටවල විශ්ව විද්‍යාල අතර මෙවැනි තරඟයක් තිබීම නිසාවෙන් ඒ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඉහල මට්ටමක පවතී. 

ඒ අතරම දැනට පවතින විශ්ව විද්‍යාල පද්ධතියට අමතරව අලුතින් ජනතාව මුදල් වියදම් නොකරන සමාන්තර විශ්ව විද්‍යාල පද්ධතියක් රටෙහි ඇති වූ විට විශ්ව විද්‍යාල තේරුන සිසුන්ගේ සමහර දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් නොමිලේ විශ්ව විද්‍යාල වලට නොයවා පුද්ගලික විශ්ව විද්‍යාලයකට යැවීමට තීරණය කරන්නට පුලුවන. විනය, පහසුකම්, වෙනත් විෂයයන්ට ඇති කැමැත්ත හෝ නිවසේ සිට ඇති දුර මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ හැකි හේතූන් විය හැක.   

 සිසුන් 1000 ගේ පමණ දෙමව්පියන් මෙලෙස තීරණය කලහොත් තවත් සුදුසුකම් ලබා ඇති සිසුන් 1000 කට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලු වි නොමිලේ ඉගෙන ගැනීමට ඉඩ සැලසේ. 

මේ සියලු කරුණු සලකා බලන විට රජයේ නොවන විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති වීමෙන් මේ තරම් රටට හිතකර දෑ සිදුවේ. එහෙත් එයට විරුද්ධ වන්නට කිසිම හේතුවක් හිතා ගන්නට නුපුලුවන.  

ඇත්තෙන්ම මෙසේ ඉතා දැඩි ලෙස ප්‍රකෝපකාරී ලෙස මෙිවාට විරුද්ධ වීමට හේතුව කුමක්ද?     

Tuesday, May 16, 2017

චිනය හරහා දින 10 කින් - 07.

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-06.html
previous blog
                                 හුටොන්හි නිවසක්    
උදේ හය හමාරට හෝටලයෙන් පිටවීමට අපට අපහසු බව පෙර දින රාත්‍රියේ කොතරම් කීවද වැඩක් වූයේ නැත. දවසේ අපේ කාලයෙන් පැය දෙකක් පමණ වෙළඳ උපක්‍රම සදහා රැගෙන යන බව අප දන්නා නිසා එසේ නම් අපට එදින පැමිණිය නොහැකි බව දන්වා ඔවුන් බිය ගැන්වීමට උත්සාහ කලද. ඔවුන් අපට කීවේ එසේ නොපැමිනෙන්නේ නම් ඔවුන්ට අප පැහැදිලිව දැන්විය යුතු බවය.   

දැනටමත් මේ සංචාරය සදහා මුදල් ගෙවා ඇති හෙයින් අප පරාජය පිලිගෙන හය හමාරට යාමට එකග වුයෙමු. 

අපි මුලින්ම එදින ගියේ Forbidden city හෙවත් තහනම් නගරය වෙතයි. මෙම පෞරානික නගරය 1420 සිට 1912 දක්වා මින්ග් හා ක්වින්ග් රාජ වංශවල මාලිගා සංකීර්ණය ලෙස පරිහරනය කෙරුණි. මෙය අක්කර 180 ක් වූ ගොඩනැගිලි සංකීර්ණයේ ගොඩනැගිලි 980 ක් වෙයි. වසරකට නරඹන්නන් මිලියන 14.6 ක් පැමිණෙයි.



 මෙම සංකීර්ණයට තහනම් නගරය යැයි කියන්නේ රාජ පරිවාරය හැරෙන්නට අධිරාජ්‍යයාගේ අවසරයක් නොමැතිව නගරය තුලට කෙනෙකුට ඇතලුවීමට නොහැකි නිසා වෙනි. මෙම සංකීර්ණය මීටර් 961 ක් දිග වන අතර, මීටර් 753 ක් පලලය. එහි කාමර සහ ශාලා 9999 තිබෙන බව විශ්වාස කලද දැනට තිබෙන්නේ 8886 ක් බව සදහන් වෙයි. එය වටා අඩි 26 ක් උස අඩි 28 ක් ඝනකම ආරක්ෂක බිත්තියකින්ද, අඩි 171 ක් පලල අඩි 20 ක් ගැඹුර දිය අගලකින් වට වී තිබේ. 

සංකීර්ණයේ දකුණු පැත්තේ උත්සව ශාලාද, උතුරු පැත්තේ අධිරාජ්‍යයාගේ මාලිගාව සහ ප්‍රධාන රැජිනන්ගේ මාලිගාවන්ද, අවශේෂ බිසවන්ගේ කාමරද, දිනපතා රාජකීය කටයුතු සිදුවන ශාලාද ඇත. මේ ශාලාවන් අතර උතුරු පැත්තේ එක් විශාල ශාලාවක් වෙන්කර තිබුනේ ප්‍රධාන රැජිනගේ උපන්දින උත්සව සදහාම පමණක් බව දැන ගත්තෙමු. එදින මහ රැජිනය එහි ඉදගෙන සිටින අතර රාජ පරිවාර සහ අන්ත:පුර දේවියන් ඇයට ත්‍යාග පිරිනැමූහ.  

චීනයේ මේ ඓතිහාසික ස්ථාන නැරඹීමට යාමේදී අපගේ එවැනි ස්ථාන වලට වඩා ලොකු වෙනසක් තිබේ. ඒ මෙම බොහෝ ස්ථාන 20 වන ශත වර්ෂය දක්වාම වාගේ පරිහරනය වී තිබීමයි. එසේම ඉන්පසු ඉතාමත් විනාශකාරී කැරලි සහ යුද්ධ තිබුනද මෙම ස්ථාන පරිහරනය වූ ආකාරයෙන්ම තිබීමය.  

මෙම මාලිගා සංකීර්ණයට ගිය විටම මගේ සිහියට ආවේ 1987 බර්ටෝලුසී ගේ ‘ද ලාස්ට් එම්පරර්‘ චිත්‍රපටයයි. මෙහි ජීවත් වූ අවසාන අධිරාජ්‍යයා ඔටුනු පැලදුවේ කුඩා දරුවෙකුව සිටියදීය. කුඩා දරුවෙකුව සිටියදී ඔහු විසින්ම ලියන ලද ඔහුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටයේ කථා වස්තුව වූ අතර,  චීන රජය දැන් කෞතුක නගරයක් ලෙස පවත්වා ගෙන යන මෙම නගරයේදීම එය චිත්‍රපට ගත කිරීමට පළමු වරට ඉඩ දුන්නේය.  



මම ලංකාවට ආපසු පැමිණි පසු මෙම චිත්‍රපටය නැවත වරක් නරඹා මුල් වරට නැරඹුවාට වඩා බොහෝ රස වින්දෙමි.   

මෙයින් පසු අපි ප්‍රධාන ආකර්ශණ දෙකක් මැද අතුරු ආකර්ශණයක් වෙත රැගෙන යන ලදහ. ඒ හුටොන් නමින් හැදින්වෙන නගරයේ එක් පැත්තක පිහිටි විශේෂ ප්‍රදේශයකටය. චීනය ආක්‍රමණය කර එය එක් අධිරාජ්‍යයක් ලෙස එක්සේසත් කල මොංගෝලියානු හමුදා බීජින් නගරය අල්ලා ගත් පසු නගරයේ ලිඳවල් අසල ඉඩම් අල්ලා ගෙන ඒවායේ නිවාස තනාගෙන ඇත්තේ ඔවුන් මොංගෝලියාවේදී ලිං වලට තිබූ බලවත් ගෞරවය නිසාය. 

හුටොන් යන වචනයේ මොංගෝලියානු තේරුම ලිඳ යන්නයි. මෙම ප්‍රදේශය පටු මාවත් සහ කුඩා නිවෙස සහිතව එකල තිබූ ආකාරයටම පවත්වාගෙන යන අතර, අපගේ දවල් කෑම ඒ නිවෙසක පිලියෙල කර තිබිණ. ප්‍රධාන පාරේ සිට අතුරු මාවතක රැගෙන ගියේ රික්ෂෝ කරත්ත වලිනි. මෙම  ප්‍රදේශවල වෙසෙන ජනයා සාමාන්‍ය චීන ජනතාවට වඩා දුප්පත් බව පෙනුනි. 

දෙදෙනකු ගමන් කල මේ රික්ෂෝ කරත්තයකට යුආන් 40 ක් අපට ගෙවන්නට සිදු වූ අතර, දහවල් කෑමට ගෙව්වේ චීන සංචාරක සමාගමෙන් වූ අතර මෙලෙස එම ප්‍රදේශයට සංචාරකයන් යැවීම මොංගෝලියානු පැවත එන්නන්ට චීන රජයෙන් කරන කෟතගුන සැලකීමක් විය හැක්කේය. මක් නිසාද චීනය එක්සේසත් කර දුන්නේ ගෙන්ගීස් කාන් ඇතුලු මොංගෝලියානු හමුදා නිසාවෙනි. 




    

කෑම නම් රසවත් වුවද වටපිට තරමක් අපිරිසිදු නිසා රුචිය තරමක් අඩුවිය.              

ඇවිද්ද පය - චීන ගමනේ නිරීක්ෂණ සහ නිගමන









මම අපේ ගමනේදී දුටු අපට අමුතු දේවල් දැන් ලැයිස්තු ගත කරන්නට උත්සාහ කරමි.

1. චීනයේ නොයෙකුත් ප්‍රාදේශීය පාලකයන් අතර තමන්ගේ ප්‍රදේශය දියුණු කරගන්නට තියුණු තරඟයක් තිබේ.එලෙසම එය ඉටු කරගන්නට ඔවුන්ට විශාල බලයක්ද දී තිබේ. චීන නගර බලාසිටියදී දියුණු වන්නේ ඒ නිසාය. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන පාලකයන් ක්‍රමයෙන් ඉහල තනතුරු වලට පත්වේ.නගරවල රජවරු නගරාධිපතිවරුය . ඔවුන් ලංකාවේ මෙන් පළාතේ ඇමතිවරුන්ගේ පියන් ලා නොවෙති.

2.නොමිලේ කිසිම දෙයක් චීනයේ දෙන්නේ නැත. අධ්යාපනය ද නොමිලේ ලැබෙන්නේ අවුරුදු 6 ක් පමණි

3. අපගේ වැනි ස්වාධින විලා වර්ගයේ නිවාස මම චීනයේ දැක්කෙම නැත. සියලුම නිවාස පාහේ තට්ටු නිවාස වෙයි.

4. ඔය තරම් ඇවිදින විට නොයෙකුත් ඇමෙරිකාවේ අප්‍රිකානු ඇමෙරිකානුවන් හෝ east coast සංගීත කරුවන් ලෙස ඇදුම් ඇදගෙන සිටි කව්රුත් මගේ ඇස ගැටුනේ නැත , මේ යම් රාජ්‍ය පාලන ක්‍රමයකින් සිදුවන්නේද එසේත් නැත්නම් තරුණයන්ගේ විනය නිසා සිදුවන්නේද යන්න මට ගම්‍ය කරගත හැකි වුයේ නැත.

5.කොමියුනිස්ට් විප්ලවයකින් බිහිවූ රටක් වුවද මැයි පෙළපාලි තිබුනේ නැත. මාවෝ ටෙසුන් ගේ සොහොන අසල හමුදා පෙළපාලියක් පමණක් තිබුණු අතර සියලු ජනයාට ට්‍රිප් යන්නට දීර්ග සති අවසානයක් රජයෙන් ප්‍රකාශ කෙරින. එම සති අන්තයේ ට්‍රිප් මිලියන 150 ක් පමණ සිදුවේ යයි රජය ගණන් බල ඇති බවට රජයේ රුපවාහිනියේ පවසනවා මම දැක්කෙමි.

6. චීන රජය දැන් තමන්ගේ ජනතාවට පරිබෝජනය පුරුදු කිරීමට ලොකු උත්සාහයක යෙදේ. පිට රටට විකිණීම හැර රටේ ජනතාවගේ පරිබෝජනයත් ලොකු ආර්ථිකයකට ඉතා වැදගත් බව ඔවුන් තේරුම්ගෙන ඇතිසේය.

7. එහි ජනයාට තමන්ගේ රටේ සීග්‍ර සංවර්ධනය මහත් ආඩම්බරයට කරුණකි. මෙම ආඩම්බරය ඔවුනට අනෙක් බොහෝ රටවල මෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි නිදහසන් නොමැති වීම ගැන ප්‍රශ්න නොකරන්නට ඔවුන් පොළඹවයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යකු වූ අප මාර්ගෝපදේශකයකු ගේ අතේ පච්ච කොට තිබු චීන අකුරු කිහිපයක තේරුම මම ඇසුවෙමි.
                         
                                 වැසි ගෙනෙන්නේ නැගෙනහිරෙන් එන වලාකුළු වලිනි

ඔහු කිවේය.
8. සැම චීන තරුණ තරුනියකගේම සිහිනය ඇමෙරිකාවේ ඉගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීමය.

          I was rejected 10 times from harward - jack Ma , CEO alibaba


Jack Ma , net worth 31.1 billion $

9.මම ෂැන්හයි හි මට මතක හැටියට කෞතුකාගාරය ඉදිරිපිට city hall එකක් දැක්කෙමි, එය සදා තිබුනේද ඇමෙරිකාවේ තරමක නගරයක city hall එකක් ලෙසටමය. ඇමෙරිකාවේ මෙම ශාලාවල් දේශපාලකයන් සහ පුරවැසියන් අතර සංවාද සදහා පාවිච්චි වෙයි. මම මේ පිලිබදව අපගේ තරුණ මර්ගොපදෙෂකයාගෙන් ඇසුවෙමි. ඔහු කිවේ ඒවා පෙනුමට පමණක් සදා ඇති බවය.මෙය හරියටම ලොව වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන කෞතුකාගාරයක් ඉදිරිපිට ගොඩ නගා තිබීම සම්පතනයක් විය නොහැක.

10. මම චීනයට යාමට පෙර සිතා සිටියේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති කම චීනයේ සමාජය තුල කකිරෙමින් තිබෙන බවය.ඇත්තෙන්ම එහෙම එකක් පෙනෙන්නටනම් නැත. රජය සීග්‍ර දියුණුව සහ එම දියුණුවේ ආඩම්බරය වැනි කරුණු වලින් එම ඕනෑකම ඉතා හොදින් කළමනාකරණය කරයි.

to be continued

Saturday, May 13, 2017

චීනය හරහා දින 10 කින් - 06.




පෙර කොටසට ලින්ක් එක http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-5.html

බීජින් නගරයට පැමිණි පසු පසුදින උදෑසන 06. 30 ට අපට මුටියන්යු හි චීන මහා ප්‍රාකාරය නැරඹීමට යාමට ලෑස්ති වී සිටින ලෙසට අපට ගයිඩ් ගෙන් උපදෙස් ලැබුණි. නමුත් හෝටයේ බුෆේ එක පටන් ගන්නේද 06.30 ට නිසා අපි අඩු තරමින් පැය භාගයක් වත් පරක්කු වී යාමට දා ගැනීමට උත්සාහ කලද ඔවුන් කිසිසේත් එයට කැමති වූයේ නැත. මෙයට හේතුව ලෙස ඔවුන් අපට කීවේ අව්ව සැර වීමට පෙර අප සිටින තැන සිට කිලෝ මීටර් 65ක් දුර මුටියන්යු වෙත යාමට බවයි. පෙර දින රාත්‍රියේ හෝටලයේ කවුන්ටරය වෙත කතා කර උදයේ ආහාර පාර්සල්කර සාදා ගැනීමට උත්සාහ කලද, භාෂා ප්‍රශ්නය නිසා අපගේ ඉල්ලීම ඔවුන්ට හරියට තේරුනාදැයි අපට දැන ගන්නට විදිහක් තිබුනේ නැත.    

කෙසේ හෝ 06.30 ට පහලට එන විට අපගේ උදයේ කෑම සදහා වූ ඉල්ලීමට සාර්ථක ප්‍රතිපල ලැබී තිබිණ. තදට තැම්බූ බිත්තර දෙකකුත්, එක පැණි රහ පාන් පෙත්තකුත්, ප්ලාස්ටික් කෑම පෙට්ටියක දමා ලබා දී තිබුණි. 

අප මුලින්ම දමා ගෙන නගරයේ පිහිටි තවත් හෝටල් කිහිපයකට ගොස් තවත් විදේශීය සංචාරකයන් 15 දෙනෙකු පමණ දමා ගෙන මුටියන්යු වෙත ගමන් ඇරඹිණ. කිලෝ මීටර් 21,196 ක් දිග චීන මහා ප්‍රාකාරය තැන් කිහිපයකින් පමණක් සංචාරකයන්ට නැරඹිය හැකිය. මෙම චීන මහා ප්‍රාකාරය හඳේ සිට කෙනෙකුට දැකිය හැකි එකම මිනිසා විසින් සාදන ලද ගොඩනැගිල්ල යැයි මා කුඩා කල කියවා තිබුණි. නමුත් ඇත්තෙන්ම නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගොඩ බැසිය පසු එසේ නොපෙනෙන බව පැහැදිලි විය. මීටර් 9.1 ක් පලල මෙම ප්‍රාකාරය හඳේ සිට අපට ඇති දුර හා සසදන කල කිලෝ මීටර් 3 ක් දුර සිට මිනිස් හිසකෙයක් දකිනවා හා සමානය. හඳෙහි සිට පමණක් නොව පෘතුවිය වටා කරකැවෙන අභ්‍යවකාශ යානවල සිට වුවද මෙය නොපෙනෙන බව දැන් වටහා ගෙන තිබේ.   

ක්‍රි පූ 7 වන ශත වර්ෂයේ සිට 17 වන ශත වර්ෂය දක්වා අවුරුදු 2400 ක කාලයක් තුල වරින් වර ගොඩනැංවූ මෙම ප්‍රාකාරය දේශ සීමා පාලනය කිරීම මොංගෝලියානු ආක්‍රමණිකයින් වැලැක්වීම, හමුදා ඇතුල් වීම වැලැක්වීම, සේද මාවත දිගේ පැමිණෙන වෙළඳ ද්‍රව්‍ය වලට බදු එකතු කිරීම සහ දේශ සීමාව දිගේ ගමනා ගමන මාර්ගයක් බිහි යන කාර්යයන් වලට පාවිච්චි විය. 

අපි දවල් 12.00 පමණ වන විට මුටියන්යු වෙත පැමිණියෙමු. එහිදී මුලින්ම එම ප්‍රදේශයට ඇතුලු වන මාර්ගය දිගේ තිබූ අලංකාර භෝජනශාලාවකින් දවල් ආහාර ගත්තෙමු. සාමාන්‍යයෙන් චීන භෝජනශාලාවල පුටු 10 ක් ඇති මේසයක බත් හැරෙන්නට දීසි 10 කින් යුත් ආහාර වේල බොහෝ රසවත්ය. 

එතැන් සිට අපට කන්ද මුදුනේ තිබෙන ප්‍රාකාරය වෙත යාමට තෝරා ගැනීම් තුනක් තිබුනි. 

1. කන්ද මුදුනට ඇවිද ගෙන යාම.  
2. යුආන් 60 ක් ගෙවා කේබල් කාර් එකක මුදුනට යාම.  
3. යුආන් 40 ක් ගෙවා ලූඩ් නැමැති ලිස්සන උපකරණයකින් ගමන සම්පූර්ණ කිරීම. 




  

අපි යුආන් 60 පහසු ක්‍රමය තෝරා ගත්තෙමු. එහෙත් චීනයේ වෙනත් සංචාරක ආකර්ශණ මෙන්ම කේබල් කාරයට නැගීමට තවත් කිලෝ මීටරයක් පමණ අව්වේ ඇවිදීමට සිදු විය. මෙම ස්ථානයේ සිට චීනයෙන් අපි ආපසු එන තෙක්ම මහත් කරදරයක් වූ මල් පරාග සුලගේ ගසාගෙන ඒම පමන් ගැනුණි. කහපාටට හුරු මේ පරාග මුලු ප්‍රදේශය පුරාම අහසේ ගමන් කරන අතර, නහය ඇතුලට යාමට වලක්වා ගැනීමට බලවත් උත්සාහයක යෙදිය යුතුය. බොහෝ විට මුඛවාඩම් හැර ඒවායින් බේරීමට වෙන ක්‍රමයක් නැත.  

මෙම කේබල් කාර් එකෙන් ප්‍රාකාරය මුදුනට ගිය විට දකින දර්ශණය ඇත්තෙන්ම පුදුම සහගතය. කළු ගලෙන්, පස් තද කිරීමෙන්, ගඩොලින් සහ ලීයෙන් සාදා ඇති මේ ප්‍රාකාරය කිලෝ මීටර් 21000 ක් දුර දිවෙන්නේ කඳු මුදුන් හරහාය. මක්නිසාද ප්‍රාකාරය තැනිය යුත්තේ දේශ සීමාවේ සතුරාට පැමිණීමට අපහසුම ස්ථානය වීමය.






 කන්ද මුදුනට සතුරා අපහසුවෙන් පැමිණෙන විට චීන හමුදාවන්ට ඒ බලකොටු මුදුනේ සිට පහත සිට උඩට එන සතුරාට ඔහු දුර්වලම අවස්ථාවේ පහර දිය හැක. ඒ අතරේම කඳු මුදුන දිගේ තමන්ට අවශ්‍ය ස්ථානයකට යුධ භටයන් හා යුධ ගබඩා කරත්ත වලින් ප්‍රාකාරය දිගේ ප්‍රවාහනය කිරීමේ හැකියාවද චීන හමුදාවන්ට මේ මගින් ලබා දුන්නේය. 

එහෙත් මේ තරම් ආරෂාවක් තිබියදීද වරෙක මොංගෝලියානු හමුදාවන් ගෙන්ගීස්කාන් නැමැති අති දක්ෂ රණ ශූරයෙකු (1162 - 1227) යටතේ චීනය අල්ලා ගෙන මුලු චීනයම එක් රාජ්‍යයක් බවට පත් කලහ. මොහු 2000 වර්ෂයේ වොෂිංටන් පෝස්ට් ඇතුලු සඟරා කිහිපයකම පසුගිය සහශ්‍රයේ මිනිසා ලෙස තෝරා ගැණින. 




 මෙය අවසන් කර ආපසු නගරයට පැමිණ ජේඩ් ගල් වලින් සෑදූ ආභරණ ප්‍රදර්ශණයක් බැලීමට ගියෙමු. මේ වන විට අපි මහන්සි වී සිටි නිසා අපි එයට කැමති නැති බව පැවසුවද ඒවා ගණන් නොගෙන මාර්ගෝපදේශක අප කෙසේ හෝ මෙම ස්ථානයට රැගෙන ගියහ. පසුව අපට වැටහුනේ බීජින් හි සෑම ආකර්ශණයක් බලන්නට යද්දීම දවසකට මෙවැනි මාර්ගෝපදේශකයන්ට යම් සම්බන්ධයක් ඇති ස්ථාන දෙකක් තිබෙන බවත් ඒවාට ඔවුන් අප කැමති වුනත් අකමැති වුවත් රැගෙන යන බවය. අප බීජින් සිටි දවස් තුනේ මේ අනුව ජේඩ් වෙළඳ සැල, සිල්ක් වෙළඳ ශාලාවක්, මුතු බෙල්ලන් වෙළඳ සැලක්, තේ ශාලාවක් සහ චීන වෙද හලක් වෙත රැගෙන ගියහ. 







මුල් අවස්ථාවේ අප විරුද්ධ වුවද පසුව අප ඒවාට පුරුදු වී ඒවායින් විනෝදයක් ලබන්නට පටන් ගත්තෙමු. එම ස්ථානයන්හිදී සිල්ක් මුතු තේ සහ ජේඩ් ආභරණ පිළිබඳ ඉතිහාසය, ඒවා සාදන ආකාරය, පිළිබඳව ප්‍රදර්ශනයක් ලෙස සකස් කර තිබුණි. තේ සහ චීන වෙද ශාලාවල නොයෙකුත් තේ වර්ග සාදන ආකාරය බලා ඒවායේ සාම්පල පානය කරන්නටද සෞඛ්‍යය ශාලාවේදී එහි ඉගෙන ගන්නා සිසුන් ගෙන් කකුලට සම්බාහනයක් කර ගැනීමටද අවස්ථාව ලැබුණි. 

සම්බාහනය කරද්දී එතනට පැමිණෙන වෛද්‍යවරුන් පිරිසක් නාඩි අල්ලා අපට ඇති ලෙඩ කියන්නටද, ඒවාට පසුව බෙහෙත් ගැනීමට අවශය නම් මුදල් ගෙවා බෙහෙත් ගැනීමටද ඉඩ ලබා දුන්හ. මෙහිදී අපෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අපගේ මාර්ගෝපදේශකයන්ට ලැබෙන බව අපට දැනුනේ ඔවුන් කොතරම් පරක්කු වුවද මේවාට අප ගෙනයාමට ඇති අවස්ථාව කෙසේ හෝ ඉටුකර ගන්නා බව පෙනුන නිසාය. 

ලංකාවේත් මෙලෙස සංචාරකයන් සදහා නොයෙකුත් කුඩා උගුල් සංචාරයන්වල ඇතුලත් කර ඇති බව මට සිතේ. 
            

Wednesday, May 10, 2017

චීනය හරහා දින 10 කින් - 5


http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-4.html
previous blog 






මම චීනයේ මුලින්ම බොහෝ පුරවැසියන් සුරතල් බල්ලන් සමග ඇවිදීනු දැක්කේ මේ ප්‍රදේශයේදීය. චීන කොමියුනිස්ට් විප්ලවයෙන් පසු එය ආර්ථික වශයෙන් වැඩකට නැති ක්‍රියාවක් කියා බල්ලන් ඇති කිරීම රජයෙන් තහනම් කර ඇති බව මා අසා තිබූ හෙයින් මේ පිළිබඳව මා මාර්ගෝපදේශකයා ගෙන් ඇසුවෙමි. ඇය කීවේ එසේ තහනම් කර තිබුනත් දැන් ප්‍රාදේශීය ආයතන වලින් අවසර ගෙන ඇති කල හැකි බවයි. නොයෙකුත් වර්ගවල අමුතුම හැඩයන් ගෙන් සහ පාට වලින් බල්ලන් මිනිසුන් ඇවිදින්නට රැගෙන යනවා පෙනුණි. 

අප සිටි හෝටලය තිබූ වීදියේදී කෙලවරෙක කණ්ඩායම් දෙකක් සල්ලි වලට කාඩ් ක්‍රීඩා කරනවා මම දුටුමි. 10 දෙනෙකුගෙන් පමණ වූ මෙම කණ්ඩායම් අසලම බල්ලන් දෙතුන් දෙනෙකු අයිතිකරුවන් සමග ලණුවල සිටීම සුලභ දර්ශණයක් බව දැක්කෙමි. 

අප උදයේ නැගිට ටෙරා කොටා හමුදාව බැලීමට මාර්ගෝපදේශකයෙකු සමග පැයක පමණ ගමනකින් සංචාරක බසයකින් ලින්ටොන්ග් වෙත ගියෙමු. අපත් සමග වෙන රටවල් කිහිපයකම සංචාරකයින් මේ ගමනට හෝටල් කිහිපයකින් එකතු වූහ. ටෙරා කොටා හමුදාව පිළිබඳව මා හතරවෙනි වෙලුමේ විස්තර කලෙමි. මෙම හුවාන්ග් අධිරාජ්‍යයාගේ සොහොන - මොහු සම්පූර්ණ චීනයේ පලමුවන අධිරාජ්‍යයා, මෙම ස්ථානයද චීනයේ නොයෙකුත් සංචාරක ආකර්ශණයන් මෙන්ම ඉතාමත් අලංකාර ලෙස එමෙන්ම පැමිණෙන සියලු දෙනාට බොහෝ දුරක් ඇවිද ගෙන යන්නට සිදුවන ආකාරයට සාදා තිබේ. එම විශාල ප්‍රදේශයම  මල් වත්තක් ලෙසින් ඉතාමත් අලංකාර ලෙස නඩත්තු කරනු ලැබේ. ඇතුලුවන සෑම කෙනෙකුගෙන්ම - විදේශික හෝ එරට සංචාරකයන්ගෙන් රුපියල් 2000 ක පමණ මුදලක් අය කරන අතර, තිබෙන පහසුකම් සහ පවත්වාගෙන යන ආකාරය දුටු විට එම ගණන අය කිරීමේ කිසිම අසාධාරණයක් සිතෙන්නේ නැත. 




ඒ අතරම නොයෙකුත් අලංකාර ආපනශාලා, විසිතුරු භාණ්ඩ සහ ස්මරණ සිහිවටන විකුණන ස්ථාන ඉතාමත් පිලිවෙලකට සංවිධානය කර තිබේ. මෙවැනි එක් ස්ථානයක පමණක් දහස් ගණනක් ජනයාට ව්‍යාපාර කරගැනීමට මේ මගින් කටයුතු සම්පාදනය කර ඇත්තේය. පැය හතරක් පමණ මෙම ස්ථානයේ ගතකර අපි ආපසු නගරයට පැමිණියෙමු. ඉන්පසු අප බුලට් දුම්රියෙන් බීජින් නගරය වෙත ගියෙමු. කිලෝ මීටර් 1280 ක් පමණ වන මෙම දුර බුලට් දුම්රිය පැයකට කිලෝ මීටර් 300 ගණනේ ගමන් කර පැය පහකින් ගමන අවසන් කරයි. මෙම දුම්රිය මේ වේගයෙන්ම කොළඹ සිට යාපනය දක්වා ගමන් කලේ නම් එයට ගත වන්නේ පැයකුත් විනාඩි 20 කි. දුම්රියේ පලවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, ව්‍යාපාර පන්තිය සහ වී.අයි.පී. පන්තිය යනුවෙන් වෙනස් මිළ ගණන් වලට පන්ති බෙදා ඇති අතර, දෙවෙනි පන්තියේ ටිකට්ටුවක් යුආන් 515 (රුපියල් 11934) ක් සහ ව්‍යාපාර පන්තියේ ටිකටි එකක් යුආන් 1625 (රුපියල් 35750) ක් පමණ මිළ වෙයි. කොතරම් ඉක්මනින් කොමියුනිස්ට් වාදයේ සිට පන්ති බේදයට පැමිණ තිබේද? 




අප හවස් වන විට චීනයේ අගනුවර වන බීජින් නගරයට පැමිණියෙමු. පසුදින මුටියන්යු හිදී චීන මහා ප්‍රාකාරය සහ මින්ග් රජවරුන්ගේ සොහොන් බැලීමට සනිටුහන් කරගෙන හෝටලය වෙත ගියෙමු.



    

චීනය හරහා දින 10 කින් - 4

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-3.html
previous episode


අපේ මී ලඟ ගමනාන්තය වූයේ මධ්‍යම චීනයේ ෂාන්ක්සි ප්‍රාන්තයේ අගනුවර වන සියාන් නගරයයි. එම නගරය 'සදාතනික සාමය' යන අර්ථයෙන්ද හැදින්වෙන අතර, අපේ ගාලු වරාය හරහාද  පෙර කල වැටී තිබුනු සේද මාවතේ නැගෙනහිර කෙලවරද විය. රජ පෙලපත් තුනකට අගනුවර වූ මේ නගරය චීනයේ ශීඝ්‍රයෙන් දියුණුවන මෙගා පොලිස් දහතුනෙන් එකක් ලෙසට රජය විසින් නම්කර ඇත. දැන් බොහෝ සංචාරකයන් මේ නගරයට යන්නේ හුවාන් අධිරාජ්‍යයාගේ (247 - 220 ක්‍රි පූ) සොහොන සහ ඔහු සමග සොහොනේ වලලා ඇති 8000 ක් පමණ වූ මැටියෙන් සාදන ලද යුධ සෙබලුන්ද, අසුන් 520 ක් බැදි යුධ රථ 130 ක්ද, ඇතුලු රාජ්‍ය නිලධාරීන්, නැට්ටුවන්, සර්කස් කරුවන්, සහ සංගීත කරුවන් ඇතුලු මැටි පිලිරු නැරඹීමටයි.

1974 ලිඳක් හාරන්නට ගිය ගොවියෙකුට අහම්බෙන් හමු වූ දැන් මීටර් 7 ක් ගැඹුරට හාරා ඇති ලොකු වලවල් 4 කින් සමන්විත වෙයි. පලවෙනි වලේ යුධ භටයන් 6000 ක් වෙයි. සම්පූර්ණයෙන්ම රජ මාලිගාවක් ලෙස නිර්මාණය කර ඇති මෙහි සරසන යන වහල යනාදියෙන්ද යුක්ත වූ බව සාක්ෂි තිබේ. දෙවැනි වලේ තවත් සොල්දාදුවන් සහ යුධ රථද, තුන්වෙනි වලේ ඉහල තරාතිරමේ නිලධාරීන්ද යුධ රථද හමු වී ඇත. පලමුවෙනි වල මීටර් 230 ක් දිගින්ද මීටර් 62 ක් පලලින්ද යුක්තය. මෙහි සිටින සොල්දාදුවන් එකිනෙකාට වෙනස්ව නොයෙකුත් විශේෂිත පුද්ගල හැඩයන්ගෙන් නිමවා ඇත. මෙම හමුදාව මෙලෙස සාදවා රජුත් සමග මිහිදන් කිරීම පිළිබඳව නොයෙකුත් පුරාවෘත තිබේ. අපගේ මාර්ගෝපදේශකයා අපට කිව්වේ මුලින්ම මෙම අධිරාජ්‍යයාට සදාකාලිකව ජීවත්වීමේ අවශ්‍යතාවයක් තිබී ඒ සදහා මහත් ප්‍රයත්න දැරූ බවයි.

එම ප්‍රයත්නය සඵල නොවන බව තේරුම් ගත් අධිරාජ්‍ය්‍යා ඔහු මිය ගිය විට ඔහුත් සමග පරලොව යන්නට ඔහුගේ හමුදාවේ හොඳම පිරිස් ඔහුත් සමග වැලලිය යුතු බවට අදහසක් ඇතිවිය. මෙයින් තම රාජ්‍යයට වන බලවත් හානිය ගැන සිතූ එක් ඇමතියෙක් එලෙස පණ පිටින් හමුදාව වලලන්නේ නැතිව ඒ සොල්දාදුවන් එකිනෙකා හා සමාන මැටි පිලිරු කරවා රජුගේ මිනියත් සමග වැලලීමට රජු කැමති කරවා ගත්තේය. මේ අනුව සෑදු පිලිරු කම්කරුවන් 700000 ක් යොදවා පොලොව යට සම්පූර්ණ මාලිගා සංකීර්ණයක් සාදවා එහි තැන්පත් කර ඇත්තේය.

අපි සියාම් නගරයට යාමට රාත්‍රී නවයට දුම්රියකින් ෂැංහයි දුම්රිය පොලෙන් පිටත් වුනෙමු. දුම්රිය පොලට අපි ටිකක් කල් වැඩියෙන් ගිය නිසා එතන බිස්නස් ලෝන්ජ් වැනි ශාලාවකට ගියෙමු. එහි පහසුවෙන් ඉඳගෙන සිටිමට ආසන පනවා තිබුණි. එහි පහසුකම් පාවිච්චි කිරීමට ඒ තුලින් යුආන් 25 කට යම් බීමක් හෝ ආහාරයක් මිලදී ගත යුතුය. 

ඇතුලේ තේ සහ බීම වල මිල ගණන්ද මෙයට ගැලපෙන ලෙස වැඩිකර තිබූ බව පෙනුණි. නමුත් ඇතුලට ගිය පසු අපි ඇත්තටම තේ මිළට ගන්නේද නැද්ද සොයා බැලීමට ක්‍රමවේදයක් නම් යොදා නැති බව පෙනුණි. අපට දුම්රිය වෙන් කර තිබුනේ නිදන මැදිරියන්ය. ඉතාමත් පිරිසිදුවට ඇඳ ඇතිරිලි යනාදිය යොදා සකස්කර තිබූ නිදන යහන් එක් මැදිරියක 4 ක් විය. අපගේ මැදිරියේ අනෙක් ඇඳවල් දෙකේ හිටියේ චීන ජාතිකයින්ය. දුම්රිය පිටත් වෙද්දීම තම කෑම පෙට්ටිය ඇර එහි තිබූ තම්බපු ගෙඩිගෝවා කැබැල්ලක් සහ මස් කැබලි කිහිපයක් කෑ ඔහු නාන කාමරයට ගොස් අත සෝදා නින්දට වැටුනේය. සාමාන්‍ය චීනයේ අප සංචාරය තුලදීම ලංකාවේ හෝ වෙනත් රටක වැනි බඩ මහත පුද්ගලයන් අප දැක්කේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මෙයට හේතුව මෙලෙස පිටි කෑම ඉතාම අඩුවෙන් පරිභෝජනය කිරීම විය හැක.

මෙවැනි යහන් 4 ක් සහිත කාමර 10 ක් පමණ එක් පෙට්ටියක තිබුණි. එම එක් පෙට්ටියක් කලමනාකරණය කිරීමට නිල ඇඳුමක් ඇඳගත් තරුණ කාන්තාවක් සිටියාය. ඇයටද කුඩා කාමරයක් තිබුනු අතර ඇය වරින් වර පැමින ටිකට් පරීක්ෂා කිරීම යනාදියද, නාන කාමර වැසිකිලි පිරිසිදු කිරීමද නිරත වී ගමන අවසානය කිට්ටු වන විට ඇයගෙන් එම රාජකාරිය බාර ගන්නා තරුණියට පෙට්ටිය බාර දීම සදහා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර ඇඳ රෙදි ආදියද ඉවත් කලාය.

ෂැංහයි සහ සියාම් අතර දුර කිලෝ මීටර් 1500 ක් පමණ දුර පැය 15 කින් පමණ අවසන් කල අපි උදේ දහයට පමණ සියාම් වෙත පැමිණියෙමු. පොලොව යට දුම්රිය ස්ථානයට පැමිනෙද්දී අපට දන්වා තිබුනේ අප රැගෙන යාමට හෝටලයෙන් කෙනෙකු පැමිණෙන බවයි. කෙනෙකු කිවූ තැනට පැමිණියද ඔහු පැමිණ තිබුනේ අපත් රැගෙන පොදු ප්‍රවාහන පද්ධතියේ හෝටලය වෙත රැගෙන යාමටය. මෙතනදී සන්නිවේදන පැටලීමක් සිදු වී ඇති බව අපට වැටහුනි. නගරය මැදට බසයේ ගිය අපි ඉන්පසු කුලී රථ ගෙන්වා ගෙන හෝටලය වෙත ගියෙමු. හෝටලයේ සියලු මූලික පහසුකම් තිබුනද අපි එදින එහි රැදී අපට වූ කරදරය නිසා පසුදින වෙනත් හෝටලයකට මාරු වුනෙමු.      

නුවරඑළිය  වැනි කඳුකර නගරයක් වූ සියාන් නවීනතම පහසුකම් වලින් යුක්තව එහෙත් පැරණි පෙනුමක එලෙසම පවත්වාගෙන යන නගරයකි. බොහෝ බඩගින්නේ සිටි නිසා හෝටලයේ තිබූ වීදියේම පහල තිබූ කුඩා ආපනශාලාවකට ගොස් මම දහවල් කෑම එතනින් ගත්තෙමි. බත් කෝප්පයක් සහ මස් සහ එලවලු වර්ග 12 කින් පහක් තෝරා ගත් විට එහි මිළ යුආන් 5 කි. එහි සිටි පාරිභෝගිකයන්ගේ පෙනුමෙන් මෙය සාමාන්‍යයෙන් කම්කරුවන් වැනි පුද්ගලයන් ආහාර ගන්නා තැනක් සේ පෙනුනද මම චීනයේදී ආහාරයට ගත් රසම ආහාර වේලක් ලෙස මට එය මතකය.

එදින නගරයේ සංචාරකයෙකු නැරඹිය හැකි ප්‍රධාන ස්ථාන වන සියාන් ඩ්‍රම් ටවර්, බෙල් ටවර් සහ මුස්ලිම් වීදිය නැරඹීමට අපි ගියෙමු. 14 වන ශත වර්ෂයේ නගරය මැද පිහිටි ගොඩැල්ලක ගොඩ නගා ඇති මෙහි නොයෙකුත් වර්ග වල බෙර ගබඩා කර ඇති අතර, එම ගොඩනැගිල්ලක ඇතුලේ බෙර කෞතුකාගාරයක්ද පිහිටා ඇත. ගොඩනැගිල්ල මුදුනට නැගි විට සම්පූර්ණ නගරයේ දර්ශණයක් අලංකාර ලෙස බලන්නට පුලුවන. වර්ග මීටර් 1377 ක සමචතුරාශ්‍රාකාර භූමියක මීටර් 40 ක් උසට ගොඩ නගා ඇත. මින්ග් රාජ පෙලපත කාලයේ දවස පටන් ගැනීමට එහි ඇති කිලෝ 6500 සීනුවද, හිරු බැස යද්දී එය විශාල බෙර නොයෙකුත් තාලයට වාදනය කල බව සදහන් වේ. එම ගොඩනැගිලි වල උඩට ගිය විට නගරය වටා ඇතිකිලෝ මීටර් 14 ක  ප්‍රාකාරය තැනින් තැන දක්නට පුලුවන් වන අතර, නගරයෙහි උතුරු දකුණු නැගෙනහිර සහ බටහිර පැරණි ද්වාර වීදිවල කෙලවර පෙනේ. 

නගරයෙහි ප්‍රධාන ආහාර සහ බීම සදහා සියලු දෙනා යන මුස්ලිම් වීදියට අපි ඊලගට ගියෙමු. මෙම වීදියේ දැන් ජීවත් වන්නේ අවුරුදු දහස් ගණනකට පෙර සේද මාවත දිගේ නොයෙකුත් හේතු සදහා අරාබියේ සහ පර්සියාවේ සිට චීනයට පැමිණියන් ගෙන් පැවතෙන්නන්ය. විශාල ප්‍රදේශයක වීදි ගනනාවක පැතිරි ඇති මෙම කානිවල් එකක් වැනි ප්‍රදේශය පැය 24 පුරාම විවෘතව පවතී. චීන සහ අරාබි ආහාර ප්‍රබේදයන් විකීණීමට ඇති අතර සමහර කුටිවල ඒවා සාදන ආකාරය මනස්කාන්තය. 

 විශේෂයෙන්ම වෙළඳපොල ඇතුලේ ආහාර නොවන ඇඳුම් වැනි දෑ සදහා හෙට්ටු කල හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් වෙළඳාමේ යෙදෙන මෙහි බඩුවක් මිළදී ගන්නවාටත් වඩා විනෝද වන්නේ ඔවුන් සමග හෙට්ටු කිරීමයි.  

  ඇවිද ආපනශාලාවකින් රාත්‍රී භෝජන ගත් අපි හෝටලයට පැමින නිදා ගත්තේ පසුදින පාන්දර  ටෙරා කොටා හමුදාව බැලීමට යාමට සැලසුම් කරගෙනය. 








Tuesday, May 9, 2017

චීනය හරහා දින 10 කින් - 3


link to previous episode 








ඊයේ ජේඩ් බුද්ධ විහාරයේ කාලය ගතකර අවසන වීදියට පැමිණෙනු අප කිහිප දෙනෙකු අපේ බසය පැමිණෙන තෙක් පදික වේදිකාවේ බලා සිටියෙමු. ඒ අසලම පදික වේදිකාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරියේ නියුක්තව සිටියහ. ඒ අසල ඔවුන්ගේ හිස් පුටුවක් තිබුන නිසා මට එතනට ගොස් ඉඳගන්නට සිතුනද. ඔවුන් එයට අකමැතිවේයැයි සිතූ නිසාත්, භාෂා ප්‍රශ්නය නිසා අහන්නටත් බැරි නිසාත්, මුල් සිතිවිල්ල මැඩ පවත්වා ගත්තෙමි. විනාඩි කිහිපයකින් වයස් ගත චීන පුද්ගලයෙකු එතනට පැමිණ දුම් වැටියක්ද දල්වා ගෙන ඒ පුටුවේ ඉඳ ගත්හ. පොලිස් නිලධාරීන්ද කිසිවක් සිදු වූ නොවූ ආකාරයෙන් ඒ පුද්ගලයා සමග කතාවට වැටුනහ. එහෙ පොලිස් මහජන සම්බන්ධතා ඒ ආකාරයටය. 

පසුදින අපට යාමට තිබුනේ ෂැංහයි ටී.වී. කනුවට සහ ෂැංහයි කෞතුකාගාරයටය. එය හැඳින්වෙන්නේ ෂැංහයි ඔරියන්ටල් පර්ල් ටී.වී. ටවර් යනුවෙනි. මීටර් 468 ක් උස මෙම කනුව ලෝකයේ දැනට පස්වෙනියට උස එවැනි කනුව වෙයි. එය දුටු විටම සිහියට එන්නේ අපේ කොළඹ දැනට සාදමින් පවත්නා නෙළුම් කනුවය. 

මම මාර්ගෝපදේශකයා ගෙන් මෙය සෑදීමේ අරමුණ කුමක්දැයි ඇසූ විට ඔහු කියා සිටියේ මුලින් එය රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුන්නක් ලෙස භාවිතා කලද දැන් ඒ සදහා අවශ්‍යතාවයක් නැති හෙයින් සංචාරක ආකර්ශණයක් ලෙසට පමණක් යොදා ගන්නා බවයි. ඇත්තෙන්ම මෙතරම් ලාභයට චන්ද්‍රිකා රූපවාහිනී තිබියදී බිලියන් ගණන් දැවැන්ත කනු වලට වියදම් කරන්නේ කුමකටද? 

යුආන් 150 සිට 220 දක්වා නොයෙකුත් මිල ගණන් වලට ආකර්ශණයන් වෙනස් වන ආකාරයට නරඹන්නට ගිය හැකි මේ කුලුන්න මැදින් තිබෙන විදුලි පෝපාන තුනකින් නරඹන්නන් ඉහලට සහ පහලට ගෙන යනු ලැබේ. කැරකෙන ආපනශාලාවක් මුදුනේ ඇති අතර, එයට ඇතුලු විය හැක්කේ යුආන් 300 ක පමණ ආහාර මිලදී ගන්නේ නම් පමණි. 

මෙහි උඩ එක් තට්ටුවක අලුතින් විදුරු වැනි ද්‍රව්‍යයකින් සෑදූ බැල්කනියක් ඇත. එහි උඩට ගිය විට තමන් ඒ තරම් උසකින් අහසෙන් සිටින්නාක් මෙන් දැනේ. පැය දෙක තුනක සංචාරයෙන් පසු තමන් කැමති වේලාවක විදුලි සෝපානයක් වෙත ගිය හැකි අතර, මොහොතකින් පහලට පැමිණේ. මෙවැනි ස්ථානවල සංචාරකයන්  99% ම සිටින්නේ චීන ජාතිකයින්ය. බොහෝ විට ඔවුන් මා පෙර පැවසුවාක් මෙන් ග්‍රාමීය ප්‍රදේශ වලින් කණ්ඩායම් වශයෙන් පැමිණ, ගොවියන් වැනි පිරිස් බව පෙනේ. සියලු දෙනාම කණ්ඩායමක් ලෙස කොඩියක් අතට ගත් මාර්ගෝපදේශකයෙකු යටතේ ගමන් කරන ආකාරය පැත්තකට වී ඉඳගෙන බලා සිටීමට වටිනා තරම් මනස්කාන්තය. 

මම බොහෝ කලකට පෙර පර්ල් එස් බක් ගේ ගුඩ් අර්ත් නැමැති පොත කියවද්දී හන්දියක කෝපි කඩයක කෝපි බොන්නට එන්නන්ට බිමට මූත්‍රා කරන්නට තැනක් සාදා කුඹුරු ගොවිතැන පටන් ගන්නා කාලයට එය පස්ටික කරත්ත ලෝඩ් ගණනින් විකුණන ආපනශාලා හිමියෙකු ගැන කියෙව්වා මතකය. මට මේ චීන සංචාරකයින් දකින විට සිතුනේ ඒ ගොවියන්ට හොඳින් ඇඳම් අන්දවා සංචාරය සදහා රැගෙන ඇත්තා සේය. 

චීනයේ ඇවිදිද්දී නිරීක්ෂණය කර නොසිටිය හැකි විශේෂ කාරණයක් තිබේ. ඒ එහි ගොඩනගා ඇති පොදු වැසිකිලි පද්ධතියයි. නගරයේ ඕනෑම තැනක සහ සංචාරක ආකර්ශනයන්හි අන්වාර්යයෙන්ම තරු පහේ හෝටලයක ලෙස පිරිසිදු සහ අලංකාර වැසිකිලි තිබේ. නොමිලේ පවත්වන මෙම සේවාව නිසා නුපුරුදු චීන කෑම කා සීරියස් බඩේ අමාරුවක් තිබෙන කෙනෙකුට වුවත් බියක් නොමැතිව සංචාරයේ යෙදෙන්නට පුලුවන. 




අපි පර්ල් ටවරයේ අවසානයේ ෂැංහයි කෞතුකාගාරය බැලීමට ගියෙමු. මෙය 1996 ෂැංහයිහි මහජන චතුරාශ්‍රයේ ගොඩනගා ඇති මෙම කෞතුකාගාරය චීනයේ ප්‍රථම අන්තර් ජාතික තත්වයේ ඇති කෞතුකාගාරය ලෙස සැලකේ. අලංකාර ගොඩනැගිල්ලක පිහිටා ඇති මෙහි ප්‍රදර්ශනාගාර හතක් වෙයි. 

පුරාණ චීන ලෝකඩ ප්‍රදර්ශනාගාරය
පුරාණ චීන පිලිරු
මැටි බඳුන් 
ජේd නිර්මාණ
චිත්‍ර
කැලිග්‍රැෆි - චීන අකුරු කුඩා බුරුසුවකින් අදහස් ප්‍රකාශ වන ආකාරයට ලිවීම  
මුද්‍රා 
කාසි 
මින්ග් සහ කින් රාජ පරම්පරාවල ලී බඩු 
චීන සුලු ජාතීන්ගේ නිපයුම් 

එක් මහලක ප්‍රදර්ශනාගාර දෙකක් හෝ තුනකින් යුක්ත වූ කෞතුකාගාරයේ දෙවන මහලේ සරු ආපනශාලාවක්ද තිබුනි. 2013 පමණක් මේ කෞතුකාගාරයට මිලියන් දෙකක නරඹන්නන් පිරිසක් පැමිණ ඇත. එම ප්‍රමාණය ලෝකයේ කෞතුකාගාර අතර 23 වන ස්ථානය ගනී - ලෝකයේ වැඩියෙන්ම නරඹන්නන් පැමිණෙන කෞතුකාගාරය පැරිසියේ ලොව්රේ කෞතුකාගාරයයිථ එහි ඒ වසරේ නරඹන්නන් ප්‍රමාණය මිලියන 3.3 කි. 

මෙම කෞතුකාගාරය මෙතරම් වැදගත් කෞතුකාගාරයක් වුවද අපේ කෞතුකාගාර මෙන් ඔවුන් ඒවා දේවාල මෙන් සලකන්නේ නැත. එහි ඇති රජුන්ගේ සිංහාසන පවා පැමිණෙන ඕනෑම නරඹන්නෙකුට ඡායාරූප ගත කරන්නට පුලුවන. මුලින්ම මෙය දැක මා පුදුමයට පත්වුනෙමි. චීනයේ නොයෙකුත් පුරා විද්‍යාත්මක දෑ සොයා ගැනීමට උදව් කල යුරෝපියයන් පිලිබඳවද මෙහි විශේෂ තාවකාලික ප්‍රදර්ශනාගාරයක් අප යන දවස්වල විවෘත කර තිබුණි. එක් එක් වකවානුවල මෙලෙස මෙවැනි ප්‍රදර්ශනාගාර විවෘත කිරීම සිදුවන බව මට හැගුනි. 
link to next 

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-4.html     
      

Monday, May 8, 2017

චීනය හරහා දින 10 කින් - 2.






http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-1.html

පලමු කොටසේ ලින්ක් එක


පසුදින උදේ 7.00 ට අපි උදය ආහාර ගැනීමට අපි හෝටලයේ බුෆේ එක වෙත ගියෙමු. බුෆේ එක සම්පූර්ණයෙන්ම චීන ආහාර වලින් සමන්විත විය. හාඩ් බොයිල්ඩ් බිත්තර දෙකකුත්, තැම්බූ බතලත්, අදුනා ගැනීමට නොහැකි හුමාලයෙන් තම්බන ලද කොළ වර්ග දෙකකුත්, අමුතු විදිහට උයන ලද බත් පීරිසියකුත්, තැම්බූ එලවලු සම් මිශ්‍රණයකුත්, නූඩ්ල්ස් දීසියකුත් මෙයින් ප්‍රධාන තැනක් ගත්තේය. කෑමත් සමග බොන්නට තිබුනේ සෝයා කිරිය. 

බුෆේ එක බලා ගැනීමට සිටි කාන්තාව ඉතාමත් ක්‍රියාශීලී එමෙන්ම විහිලු කරන කෙනෙකු විය. ටික වේලාවකින් ඇය අප කථා කරන විදිහ අනුකරණය කර සිනාසෙන්නට පටන් ගත්තේය. අප චොප්ස් ස්ටික් නැතිව කන සැටි ඇයට තවත් විහිලුවක් විය. එලෙස අප කන සැටි වීඩියෝ කර ඒවා අසල සිටි චීනුන්ටද පෙන්වා ඇය සතුටට පත්විය. හෝටලයේ සේවකයන්ද මෙම බුෆේ එකටම පැමිණ ඇය හා අප සමග වාඩි වී ආහාර ගැනීම බලා සිටීම අපටද හාස්‍යයක් ගෙන දුන්නේය. 

 8.30 ට අප රැගෙන යාමට සියලු පහසුකම් සහිත වෑන් රථයක් පැමිණියේය. එහි හොදින් ඉංග්‍රීසි කතා කල හැකි චීන ජාතික තරුණයෙකු මග පෙන්වන්නෙකුද සිටීම බලවත් පහසුවක් විය. අපට එදින බැලීමට නියමිතව තිබුනේ උදේ වරුවේ ෂැංහයි ටී වී කනුවත්, හවස් වරුවේ හුවැන්ග්පූ ගඟේ කෘෘස් එකක් සහ නැන්ජින් වීදියේ ෂොපිං කිරීමයි.











එහෙත් එදින සති අන්තයක් වූ හෙයින් චීන සංචාරකයන්ගේ ටී වී කනුවට ඇතුලුවීමට ඉතා දිග පෝලිම් සෑදී ඇති බව ටිකක් මිලදී ගැනීමට පැය හතරක් පමන පෝලිමේ සිටිය යුතු බවත් කියූ අප ඉංග්‍රීසි කතාකරන චීන මග පෙන්වන්නා ටී වී කනුව පසුදිනට කල්දාගෙන උදේ වරුවේ ජේඩ් පන්සල සහ නැන්ජින් වීදියේ සාප්පු සවාරියකට යොමුකර හවස් වරුවේ ගඟේ සංචාරය කිරීමට තීරණය කලේය. 

නගරය තුලම පිහිටි මේ ජේඩ් පන්සල මහායාන බුද්ධාගමේ ෂැංහයි නගරයේ පිහිටි ප්‍රධාන පන්සලයි. එය පටන් ගෙන තිබෙන්නේ බුරුමයට චීනයෙන් සංචාරයක යෙදුන භික්ෂුවකට චීනයේදී ලැබුනු ත්‍යාගයක් වූ ජේඩ් ගලින් නිම වූ බුද්ධ ප්‍රතිමා පහක් තෑගි ලැබී ඇත. ඔවුන් මෙම බුද්ධ ප්‍රතිමා ෂැංහයි නුවරට ගෙනවිත් මෙම විහාරය සාදා ඇත. 







විහාරයට ඇතුල්වන විටම සතර මහා දෙවි වරුන්ගේ සහ මෛත්‍රිය සහ ස්කන්ධ ප්‍රතිමාගාරය පිහිටා ඇත. ඉන් ඇතුලු වූ පසු ප්‍රධාන ශාලාවේ බුද්ධ ප්‍රතිමාවද එහි දෙපස අමිතාබ සහ බයිස ජයගුරු ප්‍රතිමාවන් ඇත. එම ශාලාවේ නැගෙනහිර සහ බටහිර දිව්‍යලෝක විස්සේ දෙවිවරුන්ගේ ප්‍රතිමා පිහිටා ඇත. ජේඩ් ප්‍රතිමාව පිහිටා ඇත්තේ විහාරයේ උතුරු කෙලවරේය. විහාරය තුලම ආපනශාලා දෙකක් ඇත. 
පහල තට්ටුවේ සාමාන්‍ය ආපනශාලාවේ නොයෙකුත් නූඩ්ල්ස් කෝප්ප යුවාන් පහ ගණනේ විකිනීමට ඇති අතර උඩ තට්ටුවේ ආපනශාලාව මිලෙන් වැඩි ආහාර විකිණීම සදහා වෙන්කර ඇත. මෙම පන්සලට ඇතුල්වීමටත් මුදලක් ගෙවිය යුතුය. විහාරයේ ඕනෑම තැනක ඇවිදීමට හෝ ඇතුලට යාමට සපත්තු හෝ හිස්වැසුම් ගැලවීමට අවශ්‍ය නැත. වන්දනා කරුවන් බොහෝ දෙනෙකු බුද්ධ ප්‍රතිමා ඉදිරියේ බිම තබා ඇති කොට්ට වලට දණිස් තබා ඔලුව තදින් සොලවමින් යම් ගීතිකා වර්ගයක් ගායනා කරන අතර, එලිමහන් තැනක තබා ඇති ස්ථානයක හඳුන්කූරු විස්සක පමණ මිටි ගෙඩිය පිටින්ම පත්තු කර කිහිප වතාවක් පද්දවා ගිනි ගැනීමට පෙට්ටියකට දමයි. 

අපේ මාර්ගෝපදේශකයා බුද්ධාගම ගැන උනන්දුවක් දක්වන මේ අතර ආගම ගැන මා සමග කථාවට වැටුණි. ඔහු මට කියා සිටියේ එලෙස සුවඳකූරූ පත්තු කරන්නේ දෙවියන් හා බුදුන් සමග සන්නිවේදනයක් ඇතිකර ගැනීම සදහා බවය. 

මෙම විහාරයේ එක් කෙලවරක අවලෝකිටස්වරා නම් ස්ථූපයක් ඇත්තේය. මෙම ප්‍රතිමාව කාන්තා ස්වරූපයකින් සාදා ඇති මුත් මුලින්ම චීනයේ එම බෝධිසත්වවරයා ස්ථාපිත වන විට ඔහු පිරිමියෙකු වූ බවත් පසුව කාන්තාවන්ට තනියම වන්දනා කිරීමට පහසුවන ලෙස ඇය කාන්තාවක් බවට පත්කර ඇති බවද මාර්ගෝපදේශකවරයා මට පැවසීය.  

ඉන්පසු ගිය නැන්ජින් වීදියේ ෂොපිං හරියටම ඉතාලියේ මිලානෝ නගරයේ බ්‍රෑන්ඩ්ෂො පිං සදහාම ඇති විශාල වීදියක මුහුණුවර ගත්තේය. එම පලල වීදිය සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනය නවත්වා පාරිභෝගිකයන්ට සැනසිල්ලේ ඇවිද සතුටින් ජනෙල් ෂොපිං සහ ඇත්ත ෂොපිං කරන්නට ඉඩ සලස්වා තිබුණි. රොලෙක්ස්, ලොන්ජින් සහ ජියොඩානෝ වැනි ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් සාප්පු බොහොමයක් වීදියේ දෙපස තිබුනු අතර, ජායොඩානෝ වෙළඳසැලේ තිබූ ඩිස්කවුන්ට් සේල් එකකින් ප්‍රයෝජන ගෙන මමද ටී ෂර්ට් කිහිපයක් මිලදී ගත්තෙමි. 

ඒ වීදිය තරමක් දිග වූ නිසා මිලදී ගන්නන්ට මුලු දුරම ඇවිද යන්නට කම්මැලි නම් තමන්ට අවශ්‍ය ප්‍රදේශයට ගොස් බැස යන්නට ඉතා හෙමින් ගමන් කරන පාට පාට උඩ විවෘත කර ඇති දුම්රියක් අයිනකින් ගමන් කලේය. අහවල් ආහාරද ඒ වීදියෙන්ම ලබාගත් අපි හවස් වන විට හුවැන්හූ ගඟේ නැව් සංචාරය සදහා ශිලුපු ජැටිය වෙත හවස 6.00 ට පමණ ගියෙමි. චීනයේ බොහෝ ප්‍රදේශ වලින් පැමිණි සංචාරක කණ්ඩායම් මේ වන විටත් එම ස්ථානයට පැමිණි සිටි අතර, එතන ටිකට් ලබා ගැනීම සදහා බොහෝ වේලාවක් ගත්තේය. විනාඩි පහෙන් පහට වාගේ සංචාරකයන් 400 ක් 500 ක් පමණ පටවාගෙන නැවක් පිටත් වුවද, නැව් වලට නගින්නට පැමින සිටින සංචාරකයන්ගේ ප්‍රමාණය ඒ වේගයෙන්ම අඩුවෙනවා පෙනෙන්ට නොතිබිනි. මේ චීන සංචාරකයන් බොහෝ විට හොදින් ඇද පැලදගත් විශ්‍රාමිකයන් යැයි සිතිය හැකිය. 50/60 පමණ වන කණ්ඩායම මෙහෙයවන්නේ බොහෝ විට තරුණ කාන්තාවන් දෙදෙනෙකුය. ඔවුන් අඩි හයක් පමණ උස ඇකිලිය හැකි ප්ලාස්ටික් බටයක නා නා පැහැයෙන් හා නොයෙකුත් මෝස්තර සහිත කොඩියක් ඔසවාගෙන ඉදිරියෙන් යති. කන්ඩායමේ සාමාජිකයින් මෙම කොඩිය දෙස බලාගෙන මාර්ගෝපදේශකයන් පසු පස ගමන් කරති. මෙලෙස කොඩියෙන් සංචාරකයන් ගෙනයාමේ කණ්ඩායමක බීජින් නගරයට ගියපසු අපටද යාමට සිදුවිය.






ගඟේ ලොකු වංගුවක යන්ග්පු පාළමේ සිට නන්ග්පු පාළම දක්වා මෙම සංචාරය සිදුවේ. සාමාන්‍ය නැවක එක් පුද්ගලයෙකුට යුආන් 120 ක් අය කරන අතර, සුකෝපභෝගී නැව්වල යුආන් 200 ක් පමණ අය කරයි. දවල් මහන්සි වූ නිසා අප මේ සංචාරයට එතරම් උනන්දුවක් නොදැක්වූ නමුදු විනාඩි 50 ක් වූ එම සංචාරය සියලු දෙනාගේ සිත් ගත්තේය. ගඟ දෙපස තිබෙන මනහර ගොඩනැගිලිවල - ලෝකයේ උසින් දෙවන ගොඩනැගිල්ලද මේ අතර වෙයි, කොතරම් අලංකාර ලෙස විදුලි බල්බ වලින් සරසා ඇත්තේද කිවහොත් මේ නගරයේ ගොඩනැගිලි මෙතරම් අලංකාර ලෙස ආලෝකමත් කර ඇත්තේ රාත්‍රියේ ගඟේ සංචාරයටම දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.  

next episode

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-3.html      

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...