Sunday, July 31, 2016

නිධන් වදුල අතට ගැනීම සහ Finders keepers.







පහත බ්ලොග් එක මා විසින් මාස කිහිපයකට පෙර ලියන ලද්දකි. මේ ලඟදී ජපන් ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙටල් ඩිටෙක්ටරයක් සමඟ නිධානයක් ගැනීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුවත දැක නැවත පල කරන්නට සිතුණි. 

නිධන් වදුල අතට ගැනීම සහ Finders keepers.  

අප දන්නා ඕනෑම කෙනෙකු ගෙන් ලංකාවේ නිධන් සොයා ගැනීම පිලිබඳව ඇසුවොත් ඔහුට නොව ඔහු දන්නා වෙනත් කිහිප දෙනෙකුට නිධාන ගැනිම හෝ නිධාන හෑරීමට උත්සාහ කිරීම පිලිබඳව දන්නා අය සිටිති. මෙම බොරුවට අසුවී ගුප්ත දේවල් ප්‍රිය කරන හමුදාවේ හා පොලීසියේ ජේෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් හා දේශපාලඥයින්, පොලීසියේ අත්අඩංගුවට පත් වූ අවස්ථා බොහොමයක් අපි මාධ්‍ය වලින් දැක ඇත්තෙමු. එහෙත් මේ එක් අවස්ථාවක වත් නිධානයක් සමග අසු වූ කෙනෙක් නැත.
සමහර අද්භූත කථා විශ්වාස කරන මගේ මිතුරන් කිහිප දෙනෙක්ම; සමහර විට H. රයිඩර් හැගාඩ්ගේ නිධාන පිළිබඳ කථා කියවා සැගවූ වස්තුව පිළිබඳ උනන්දුවක් ඇතිවූවා වන්නට පුලුවන. මේ සම්බන්ධව ඔවුන් දන්නා පුද්ගලයින් ගේ අත්දැකීම් රස කරමින් කියා තිබේ. මේ අතර පහත අවස්ථා දිග කථා ලෙස මා අසා තිබේ.  
1.වවුනියාව ප්‍රදේශයේ තිබී සොයාගත් රැජිනකගේ රත්තරන් සෙරෙප්පු දෙකක් සහිත රන් රිදී මුතු මැණික් නිධාන
2.හසලක ප්‍රදේශයේ ඇලක් හරහා තාවකාලික බැම්මක් බැඳ, ඇලේ යට තිබෙනවා යැයි සිතූ නිධානයක් ගැනීමට කල උත්සාහයක්
3.හලාවත ප්‍රදේශයේ තමන්ගේම ඉඩමක ඇති නිධානයක් ගැනීමට කට්ටඩියෙකුට ලොකු වියදමක් දැරූ උත්සාහයක්
තවත් බොහෝ නිධන් කථා අසා ඇතත් නිධන් සොයා ගත් කෙනෙක් ගැන නම් අසන්නට ලැබී නැත.
ඇත්තෙන්ම නිධන් යනු මොනවාද?
1.රජවරු හෝ ප්‍රාදේශීය නායකයින් තමන්ට පසුව ගන්නට පුලුවන් වන ආකාරයට, ලකුණු සහිතව පොලොව යට සඟවන ලද වස්තුව. (ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අග්‍රාණ්ඩුකාර පෙද්රික් නෝත්ට හෙලි කරන්නට ඕනෑ යැයි කිවූ ඔහු විසින් සගවා ඇති නිධානය) 
2.යුධ පැරදී පලා යන පාලකයින් පසුව හමුදා ගොඩ නැගීම සදහා සතුරන්ට සොයා ගැනීමට බැරිවන ලෙස සගවන වස්තුව (වීදිය බංඩාර යාපනයට පලා යන විට රැගෙන ගියා යැයි කියන රත්තරන් කාසි තඹ හැලි අට)
3.ආගමික ස්ථාන ගොඩ නගද්දී නිධන් ගතකරන වස්තු. (රුවන් වැලි සෑය ඇතුලේ දුටු ගැමුණු රජු රන්, රිදී, මිනි, මුතු වලින් සෑදූ මිලකල නොහැකි නිධන් ගෙය) 
මෙලෙස සගවන වස්තු වලින් එකින් එක සගවා තිබෙන ස්ථානය හා ඒවායේ ස්වාභාවය ලැයිස්තු ගතකර, නිධන් වදුල නමින් පොතක් තිබෙනවා යැයි අදහසක් තිබේ. එවැනි වස්තුවක් සගවන කෙනෙකු විශේෂයෙන් ඉහත 1 සහ 2 හි, කෙනෙකුට පොතක ලියා ගැනීමට එම විස්තර දෙන්නේ නම්, ඔහු අලි මෝඩයෙකු විය යුතුය. ඔහුගේ ජීවිත කාලය තුල ඔහුට හෝ ඔහුගේ විශ්වාසවන්තයෙකු නැවත පැමිණ, ලබා ගැනීමට බැරි වුවහොත් ඒවා කාලයේ වැලි තලාවෙන් යටව යනු ඇත. පරම්පරා 800 ක් පමණ කාලවකවානුවක මෙලෙස සගවපු වස්තුව ලියා තබන පොතක් තිබේදැයි සිහියක් ඇත්තෙකුට පිලිගත හැකිද?
මෙලෙස වස්තුවත් සගවන විටත් කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැකි තැනක සැගවීමට තරම් එකල පාලකයෝ මෝඩ වන්නටත් බැරිය. මුලු ඉතිහාසයටම මෙවැනි සැගවීම් 50 පමණ කෙරුනා යැයි සිතුවහොත් එයින් 5 ක් පමණ අහම්බෙන් මෙන් කවුරු හරි සොයා ගන්නට ඇත. යම් සුලු ප්‍රමාණයක් පොලොව යට සැගවී තිබිය යුතුය. සමහර ඒවා උඩින් දැන් නිවාසද සැදී තිබෙන්නට පුලුවන.
දියුණු රටවල නම් මෙවැනි දේ සොයා ගත් විට, එය අයිති වන්නේ සොයා ගත් පුද්ගලයාටය. මුහුදු බත් වුනු රත්තරන් නැව් ආදිය අයිති වන්නේ ඒවා මුලුන්ම සොයා ගන්නා පුද්ගලයින්ටය (Finders keepers). ඔවුන් රජයට ගෙවිය යුත්තේ වටිනාකමට සරිලන බද්ධක් පමණි. උදාහරණයක් වශයෙන් ඉන්දුනීසියා කිට්ටුව, මුහුදු පතුලේ තිබී 1998 දී සොයා ගත් අරාබි නැවේ තිබී සොයා ගත් ඉපැරණි නිධානය සිංගප්පුරු රජය විසින් ඩොලර් මිලියන 80 කට මිලදී ගන්නා ලද්දේය.  
 එලෙසම ඇත්තෙන්ම අපත් කල යුත්තේ මේ කියන තරම් රටේ නිධහන් තිබේනම් ඒවා පිළිබඳ රජයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමයි. ඉන්පසු රජය විසින් එය ගොඩගෙන නිධානය විවෟත වෙන්දේසියකදී විකුණා, මුලු වටිනාකමෙන් 25% ක් Finder ට දී, ඉතිරි 75% රටේ පොදු ජනතාවගේ අභිවෟද්ධිය සදහා වියදම් කිරීමයි. වැරදි ආරංචි දී රජය වටේ ඇරීම වැලැක්වීමට ආරංචි කරුවන් ගෙන්, යම් ඇප මුදලක් රජය හාරන්නට යන්නට පෙර ලබාගත යුතුය.  

ඒවා ඔවුන්ගේ මුතුන් මිත්තන් හංගාපු වස්තුව නිසා, ඒවායේ නියම උරුමක්කාරයන් ඔවුන්මය.      

Friday, July 29, 2016

පාරිභෝගිකයා, නිෂ්පාදකයා පැරදවිම සහ වොක්ස්වගන් සිහිනය.






පාරිභෝගිකයා, නිෂ්පාදකයා පැරදවිම සහ වොක්ස්වගන් සිහිනය.




මම මේ ලඟකදී ප්‍රවෘත්තියක, ශ්‍රී ලංකාවේ ත්‍රීවීලර් ලක්ෂ 14 ක් තිබෙන බව දැක්කෙමි. මෙම ගණන මනස අවුල් කරන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහනය මිලියන 20 කි. ඒ කියන්නේ පවුල්, එක පවුලක 5 ගණනේ ඉන්නවා යැයි සිතුවොත් ලක්ෂ 40 කි. ඒ අනුව බැලුවහොත් සෑම පවුල් 2.9 කටම එක ත්‍රිවීලරයක් තිබේ.
මේ ත්‍රිවිලර් සියල්ලම කුලී රථ ලෙසට පාවිච්චි වෙනවා යැයි සිතුවොත්, සෑම පවුල් දළ වශයෙන් 3 කට, අයිතිකාර පවුලත් ඇතුලුව, කුලී ගමන් යාම සදහා එක ත්‍රිවිලරයක් තිබේ.
ලක්ෂ 14 ක් පවුල් වල ඡන්ද අඩු තරමින් 3 ක් වත් තිබෙනවා යැයි උපකල්පනය කලහොත්, මුලු ඡන්ද ගණන ඡන්ද ලක්ෂ 42 කි. හරියට සංවිධානය කලහොත්, කෙනෙකුට ජනාධිපති කෙනෙකු වෙන්නට කිට්ටුවට යන ඡන්ද ප්‍රමාණයකි. උපකල්පනය කල ඡන්ද 3  ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් යන අන්දමට ව්‍යාප්ත වූ පවුල් නිසා, ඡන්ද ගණන 4 ක් වුවහොත් ඡන්ද ලක්ෂ 56 කි. දේශපාලඥයින් ත්‍රීවීල් පාලනය කිරීමට සහ නීති සෑදීමට මැලි ඇයි දැයි අපට සිතා ගන්නට පුලුවන. උදාහරණයක් වශයෙන් අපට වඩා දියුණුවෙන් පසු පසින් සිටින පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයට ත්‍රීවිලර් වලට ඇතුල්විය නොහැක, අපේ කොළඹ?
මෙම ත්‍රීවීලර් ලංකාවට ගෙන්වීමට, එකකට සාමාන්‍යයක් වශයෙන් ලක්ෂ 2 ක් විදේශ විනිමය ඉන්දියාවට ගියේ නම්, ඒ සදහා වැය වූ මුලු මුදල රුපියල් බිලියන 280 කි. මෙය ඕනෑම සම්මතයකට ගණන් බැලුවත් අති විශාල මුදලකි.
 මෙතරම් ලාභ ලැබිය හැකි, විශාල වෙළදපොලක් අත උඩ තිබියදී, මෙතරම් සරල වාහනයක් ලංකාවේ නිපදවන්නට, කිසිවෙකු උනන්දු නොවීම හා රජයෙන් එවැනි ව්‍යාපෘතියකට අනුබල දී ධෛර්යමත් නොකිරීම, පුදුම සහගතය.
ත්‍රීවිලර් හදන ඉන්දියාවේ, ඒක පුද්ගල ත්‍රීවීල් ප්‍රමාණය කොපමණදැයි, සොයා ගන්නට උත්සාහ කලත්, මට ලබාගත හැකි වූයේ තෝරාගත් නගර කිහිපයක ජනගහනය ලක්ෂයකට තිබෙන ත්‍රීවීලර් ගනනයි. එහි අඩු පැත්තට කොල්කටාහි 285 ක්ද, මුම්බායිහි 883 ක්ද වෙයි. මේ දත්ත 2009 සදහාය. 2009 වසරේ ශ්‍රී ලංකාවේ මුලු ත්‍රීවීල් ප්‍රමාණය දළ වශයෙන් ලක්ෂ 4 කි. එලෙස බැලූ විට ලංකාවේ ජනගහනය ලක්ෂයකට ත්‍රීවීලර් 2000 ක් පමණ වේ. මෙය කොල්කටාවේ ඒ අනුපාතය මෙන් 7 ගුනයකටත් වඩා වැඩිවේ. මෙය ගණනය කරද්දී දුටු තවත් දත්තයක් පුදුමය ගෙනදෙයි, එනම් 2009 සිට මේ දක්වා අවුරුදු 6 ක් තුල ලංකාවේ ත්‍රීවිලර් ප්‍රමාණය තුන් ගුනයකටත් වඩා වැඩි වී ඇත.
දැනටත් මාසයකට ත්‍රීවීලර් 10000 කට වැඩියෙන් ලියාපදිංචි කරන බව සදහන් වේ. ඒ සෑම ත්‍රිවීලරයකටම කුලී ගමන් ලැබෙයිද?

එසේම ත්‍රීවීලර් ගෙන්වීම නැවැත්වීමට අදහසකුත් නැත්නම්, ලංකාවේ දේශීය ආයතනයකට හෝ ආයතන කිහිපයකට මෙරටට වඩාත් සුදුසු, හැකිනම් ශබ්දය අඩු ත්‍රිවීලරයක් නිපදවීමට පහසුකම් ඇති කිරීම, රජයේ වගකීම නොවන්නේද, අතඋඩ වෙළදපොලක් හා තාක්ෂණයද තිබියදී, වොක්ස්වගන් සිහින දකින්නේ ඇයි?      

Thursday, July 28, 2016

මෟදු විසඳුම් ලාබත් සමග තිබියදී, දෟඩ විසඳුම් සෙවීම; ප්‍රශ්නයේ අග මුල තෝරා ගැනීම.






මෟදු විසඳුම් ලාබත් සමග තිබියදී, දෟඩ විසඳුම් සෙවීම; ප්‍රශ්නයේ අග මුල තෝරා ගැනීම.

කොළඹ නගරයේ වාහන තදබදය, අවුල් ජාලයක් යැයි කීම, යටි ප්‍රකාශයකි. සමහර වේලාවල් වල විශේෂයෙන්ම උදේ සහ සවස, නරක පැත්තට වාහනයක් එලෙව්වොත්, ඒ ආතතිය සමනය කර ගන්නට, එලෙව්ව වේලාව මෙන් දෙතුන් ගුනයක වේලාවක් ගතවෙයි.
මේ ප්‍රශ්නය විසඳීම සදහා, බොහෝ කලක සිට නොයෙකුත් රජයන් සහ ක්ෂත්‍රයේ විශේෂඥයන්, විවිධාකාර යෝජනා ඉදිරිපත් කලහ, අත්හදා බැලූහ. මේවායින් සමහරක් වූයේ, නගරයට ඇතුල්වන ස්ථානවල රථගාල් ඇති කර, පුද්ගලික වාහන ඒවායේ නතර කර තැබීම, පාරවල් උඩින් සමූහ ගමනා ගමන පද්ධති ඇති කිරීම සහ ඇතුලට පැමිණෙන පුද්ගලික වාහන වලින් බද්දක් අය කිරීම, බව මට මතකය. දැන් අවුරුදු කිහිපයකට පෙර, ඕලන්ද කාලයට ආපසු යමින්, ඕලන්ද ඇලවල් දිගේද, පොදු ගමනා ගමන ක්‍රමයක් ඇති කරන්නට උත්සාහයක් කෙරුණි.   
ජාතික ගමනා ගමන කොමිසමේ තොරතුරු වලට අනුව, කොළඹ නගරයට දිනකට මිලියන 1.8 ක ජනතාවක්, නොයෙකුත් වැඩ සදහා පැමිනෙයි. මෙය මුලු ජනගහනයෙන් 10% ක් පමණ වන, ඇදහිය නොහැකි ප්‍රමාණයකි. කොළඹ නගරයට ඇතුලුන ප්‍රධාන මාර්ග 12 කින්, වාහන 500,000 කින් මෙම පිරිස පැමිනෙති. දැන් මේ පිරිසට, නගරයට ඇතුලු වන්නට සහ හවසට පිට වන්නට, පහසු කරන්නට නොයෙකුත් විශේෂඥයින් හා දේශපාලඥයින්, ගමනා ගමන පද්ධති යෝජනා කරති. මොනෝරේල්, කොන්ක්‍රීටි කණු උඩ දිවෙන මහා මාර්ග, යනාදි ඩොලර් බිලියන ගණන් වැයවන යෝජනා ක්‍රම ඉදිරිපත් කරති. ලංකාවේ සෑම පුරවැසියෙකුම, අත දරුවා සිට මහල්ලා දක්වා, සෑම කෙනෙකුම රුපියල් ලක්ෂ 5 ක් පිටරටට ණය බව, මේ ලගදී ඇමතිවරයෙකු කීවා මා දුටුවෙමි.  
මේ සා විශාල අධික වියදමක් යන, බොහෝ කල් ගතවන, ව්‍යාපෟති වෙනුවට, මෟදු විසදුම් සොයා ගැනීම නොහැකිද? මොහොමඩ්ට කන්දට යාමට බැරි නම්, කුමක් කල යුතුද?  
ඇත්තෙන්ම මේ ප්‍රශ්නයේ මුල එසේත් නැත්නම් අරටුව, නගරයට දරා ගතහැකි ප්‍රමාණයට වඩා පිරිසක්, නගරය ඇතුලට පැමිණීමයි. ඔවුන් නිකන් පැමිණෙනවා වෙන්නට බැරිය. 1000 ක් 2000 ක් නිකන් එන්නන් හැරුනු විට, අනෙකුත් සියලුම දෙනා පැමිනෙනවා ඇත්තේ යම් හේතුවකටය, යම් අවශ්‍යතාවයක් නගරයේ ඇති පහසුකම් වලින් කර ගැනීමටය.
එසේ නම්, මේ ප්‍රශ්නය ගොඩින්ම විසදා ගැනීමට කල යුතු වන්නේ, දැන් අප ප්‍රශ්නය හදුනා ගෙන ඇති නිසා, ප්‍රශ්නය අධ්‍යනය කිරීමය. ඒ සදහා මුලින්ම නගරයට දෛනිකව පැමිනෙන්නන්, වැඩියෙන්ම පැමිනෙන්නේ කුමන හේතුවක් සදහා දැයි, සොයා ගත යුතුය. එලෙසට ආරෝහන ආකාරයෙන් පැමිනෙන්නන්, පැමිනෙන අවශ්‍යතාවය සහ පැමිනෙන ස්ථානය සොයා ගත යුතුය. දැන් එම ස්ථාන, ඒවාට කොළඹ නගරයේ ඇතුලේ සිටින්නට සුවිශේෂී අවශ්‍යතාවයක් නැත්තේ නම්, ඒවා නගරයෙන් පිටතට ගෙන යා යුතුය.
එවැනි කාර්යාල වල සේවා, ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමද, මේ සදහා යෝජනා කල හැකි තවත් ක්‍රමයකි.   
උදාහරණයක් වශයෙන් කොළඹ මහාරෝග්‍ය ශාලාව, ජාතික හැදුනුම් පත් නිකුත් කරන ස්ථානය, ආගමන හා විගමන කාර්යාලය, බන්ධනාගාර, වැනි ආයතන නගරයෙන් පිටතට ගෙන යා යුතුය. මෙලෙස බොහෝ දෙනෙකු පැමිනෙන, නගරය මැද තිබීමට සුවිශේෂ අවශ්‍යතාවයක් නැති ආයතන, නගරයෙන් පිටතට ගෙන, නගරය ඇතුලට දෛනිකව පැමිනෙන , මේ ඇදහිය නොහැකි මිලියන 1.8 හෝ ඇත්තෙන්ම ඇතුලට එන ප්‍රමාණය 50% කින් පමණ අඩුකර ගත හැකි නම්, කොළඹ නගරයේ වාහන තදබදය ප්‍රශ්නය, බොහෝ දුරට විසදෙනු ඇත.
ඇත්තෙන්ම මෙවැනි ව්‍යාපෟති වලට, බිලියන ගණනක් මුදල් නාස්ති වන්නේද නැත. අදාල ආයතන ඉවත් කිරීමෙන් නිදහස් වන භූමිය විකුණා, නගරයෙන් පිටත තිබෙන ආයතනය මෙන්, දහස් ගුණයකටත් වඩා දියුණු ආයතනයක් සාදා ගෙන, අනෙකුත් පොදු වැඩ කටයුතු වලට වියදම් කිරීම සදහා, මුදලක් ඉතිරි කර ගැනීමටත් පුලුවන. එවැනි ආයතන අලුතෙන් ගොඩ නගද්දී, වරින් වර පිලිවෙලක් නොමැතිව වර්ධනය වූ, ආයතන මෙන් නොව, හරියටම ඒවා ජනතාවට සපයන සේවය, ඉතාමත් කාර්යක්ෂමව ඉටු කරන්නට තිබෙන, හොදම තාක්ෂණ දැනුම යොදවා, නිමවීමට හැකි වීම, මෙයින් ප්‍රතිපල වන තවත් විපුල ප්‍රයෝජනයකි.


එවිට කොළඹ නගරයත්, දෛනික ඒකාකාරී ක්‍රියා වලින් නිදහස් වූ, යුරෝපයේ මිලාන් වැනි වැඩුනු නගරයක් බවට පත්වනු ඇත.      

Sunday, July 24, 2016

මහනුවර උඩවත්ත කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.



මහනුවර උඩවත්ත කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.




මහනුවර උඩවත්ත කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.







මහනුවර යුගයේදී, උඩ වාසල වත්ත නමින් හැදින්වුනු, අක්කර 257 ක, උඩවත්ත කැලේ අභය භූමිය, මහනුවර නගරයේ පෙනහල්ල වැනිය. තේ කෝප්පයක හැඩය ඇති නගරය තුල, දහවල පුරා සමහර ප්‍රධාන පාරවල් වසා ගෙන, කෙරෙන පරිසර දූෂණය, යම් තරමකින් හෝ සමනය කරන්නේ, මේ වෟක්ෂ දෙවියාය. මේ කැලේ නැගෙනහිරින්, ලේවැල්ල ගඟ පසු වූ විට, දුම්බර ද්‍රෝණිය පටන් ගනියි. 1856 ආරක්ෂිත වනයක් ලෙස නම් කෙරුණු මෙය, මෑත ඉතිහාසයේ එලෙස නම් කෙරුණු, ප්‍රථම වනය බවද මා අසා තිබේ. නගර සීමාවක් තුල, මෙතරම් විශාල වනයක් පිහිටා තිබීමද, කලාතුරකින් සිදු වන දෙයකි.
මා ජීවත් වන්නේද, පහත දුම්බර නිසා, උඩවත්ත කැලේ නැගෙනහිර බෑවුම, මගේ නිවසේ ස්ථීර දර්ශනයේ රැජිණිය වෙයි.
මම මුලින්ම, බුල්ඩෝසරයක් දැක්කේද  උඩවත්ත කැලය තුලය. අපි ඒ කාලයේ ඒවා හැදින්වූයේ කැටපිලර් නමිනි; ඒ බොහෝ විට, එකල බුල්ඩෝසර් නිපදවූයේ, ඇමරිකාවේ කැටපිලර් සමාගම පමණක් වු නිසා, වන්නට පුලුවන.  අප පාසැල් යද්දී, මට මතක හැටියට ඒ, හාමුදුරු නමක්, උඩවත්ත කැලේ නැගෙනහිර බෑවුමේ කොටසක්, තමන්ට අයිතියි කියා, බුල්ඩෝසරයක් රැගෙන පැමිණ, එම ඉඩම කොටස් කරන අවස්ථාවේදීය. ටික දිනක් මෙය කර ගෙන යන විට, එය ඉඩමේ නීති ප්‍රශ්නයක් නිසා වැලැක්වුනු අතර, එලෙස සුද්ධ කරන ලද ප්‍රදේශය, තවමත් කැලෑව වැවෙන්නේ නැතිව, එලෙසම පවතී.
මෙලෙස ඒ කෑල්ලේ පමණක්, මෙතරම් කාලයක් ගතවීමෙන් පසුවත්, කැලෑව වැවෙන්නේ නැතිව තිබීම, පුදුම සහගතය. මේ කොටසේ ඉද හිට, අවුරුදු කිහිපයකට වරක්, ගින්නක් හටගනී. ලොකු ගස් හතරක් පහක් හැරෙන්නට, සම්පූර්ණයෙන්ම තෟණ භූමියකි. මෙසේ දශක ගණනක්, එසේ කැලය නොවැවීමටත්, වවන්නට කවුරුත් උත්සාහ නොකරන්නටත්, හේතුව කුමක් විය හැකිදැයි, මම කල්පනා කලෙමි. කෙනෙකුට සිතන්නට පුලුවන්, හේතු වි ඇත්තේ පහත ඒවායින් එක් හේතුවක් විය යුතුය.
1.සාමාන්‍යයෙන් මහනුවර ප්‍රදේශයේ, ඉඩම්වල බොහෝ තැන්වල, මතු පිටට අඩි කිහිපයක් යටින්, කලුගල් ස්ථරය තිබේ. මෙම ස්ථානයේ කලුගල ඉතා මතු පිටින් තිබෙන නිසා, ලොකු ගස් වලට පැලවෙන්නට අමාරුය. නමුත් හරියටම මෙතන පමණක් ඉහලට පැමිණ තිබීම පිලිගන්නට අපහසුය.
2.මෙහි පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට, තෟණ භූමියක නිදර්ශනයක් බලා ගැනීමට සැලැස්වීමට, මෙය උඩවත්ත කැලේ භාරව සිටින රජයේ දෙපාර්තමේන්තු වට අවශ්‍යය. එහෙයින් ඔවුන් ඝණ කැලයක් වර්ධනය වීමට ඉඩ නොදෙති.
3.සාමාන්‍යයෙන් අපේ රටේ සිදු වන විදිහට, අර මුලින් කිවූ ඉඩම් නඩුව, තවමත් උසාවියේ කල් යමින් පවතිනවා වන්නට පුලුවන. මේ නිසා ඉඩම, නඩුව පටන් ගන්නා අවස්ථාවේ තිබූ ආකාරයටම, තිබිය යුතු හෙයින්, කවුරුන් හෝ ගස් වැවෙන්නට ඉඩ නොදී සිටිනවා වන්නට පුලුවන. 

4.1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගෙන මහනුවර සිට කොළඹට ගෙන යන අතරතුර, තමන්ගේ විශාල ධනයක් සගවා ඇති බවත්, එය තිබෙන තැන දැන්වීමට, තමන්ට එකල ඉංග්‍රීසී ආණ්ඩුකාර වරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියේය. සමහර විට එම නිධානය , මෙතන තිබෙන නිසා, ලොකු ගස් වලට මුල් දුවා, වර්ධනය වීමට අපහසුය.  
5.මෙම අක්කර දහයක් පමණ වර්ග ප්‍රමාණයක, ලොකු ගස් කුඩා කලම කා දමා විනාශ කරන, සතුන් ප්‍රබේදයක් ජීවත් වේ.  
6.සතුරු ආක්‍රමණයකදී, රාජකීය පවුලට රසහිගතව පැනයාමට, උඩවත්ත කැලය හරහා රහස් උමඟක් තිබූ බව, ජනප්‍රවාදයේ සදහන් වේ. සමහර විට, උමගේ ප්‍රධාන හන්දියක් මේ ස්ථානයට යටින් පිහිටා තිබෙන නිසා, ලොකු ගස් හැදෙන්නට අපහසුය.

ඇත්තෙන්ම පිලිතුර කුමක් විය හැකිද?   

Saturday, July 23, 2016

,අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව- 3






third and final part of of the speech,අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව- 3

......නමුත් එම ගුවන් විදුලි ආමන්ත්‍රණ වලින්, මාක් ගේ මිතුරන් සියලු දෙනා, බේරා ගන්නට නොහැකි වුනේ, හිලරි ලේඛම්වරියගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව, එම ඉල්ලීම් ගණන් ගත් නැති නිසාය, මෙම ඉල්ලීම් ලැබුනේ, බෙංගාසි තානාපති කාර්යාල වලට, පහර දුන් දිනය පමණක් නොව, ඊට මාස ගණනකට පෙර දින සිටය. ඇය මෙවර ජයග්‍රහණය කල හොත්, මෙවැනි ශෝක ජනක සිදුවීම්, තවත් බොහෝ සිදුවනු ඇත.
කරුණාකර මාක් ගෙන් අහන්න, නායකත්වයට වඩාත් සුදුසු කවුද කියා. එහෙමත් නැත්නම් සිතා ගන්න, එදින රාත්‍රියේ ඔබ මාක් කියා. එසේ නම් ඔබ වඩාත් කැමති, කාගෙන් උදව් ඉල්ලන්නද?
මට අවදානම ගැන, ඔබට තවත් යමක් කියන්නට, ඉඩ දෙන්න. හිලරි ක්ලින්ටන් ජනාධිපති කමට තේරී පත් වුවහොත්, ඈ ආරක්ෂක නිෂ්කායනයකින් සමත් වන්නට බැරි වූ, ප්‍රථම ජනාධිපති වන්නට පුලුවන. විශ්වාස කරන්නටත් අපහසුයි.
ඇමරිකානුවන්ට, හිලරි ක්ලින්ටන්, ගන්නට බැරි අවදානමකි.
පුරවැසියනට ගිනි අවි දැරීමට ඇති අයිතිය, විධායක නියෝගයකින් ඉවත් කරන බව, ඇය කියයි. ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය, ඉවත් කරන විනිසුරුවරුන් පත් කිරීමට, ඇයට අවශ්‍යය.
මෙවැනි නීති දැනටමත් ක්‍රියාත්මක වන, චිකාගෝ නගරය දෙස අපි බලමු. ඇමරිකාවේ ගිනි අවි සදහා, තදම නීති තිබෙන්නේ මේ නගරයේය. නමුත් ගිය අවුරුද්දේ පමණක්, එම නගරයේ මිනිසුන් 70 දෙනෙක් මරා දැමිණ. 2009 යේ මෙම නීතිය ඇති කල දා සිට, එම නගරයෙහි ජීවිත 3400 ක් නැති විය. 
එවැනි නීති සාර්ථක වන්නේ නැත්තේ, ඇයි කියා ඔබ දන්නවාද? එයට හේතුව අපරාධකරුවන්, නීතියට අනුව වැඩ නොකිරීමයි.
නියම අපරාධකරුවන්ට, නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, ඇය නීති ගරුක පුරවැසියන්ගේ, තමන් හා තම පවුල ආරක්ෂා කර ගැනීමට තිබෙන, අයිතිය ඉවත් කරන්නට උත්සාහ කරයි. 
ඇය ඇමරිකානුවන්ට, ඇමරිකාවේම ආරක්ෂා සහගතව, විශ්වාස සහගතව සහ පහසු මිලට ඉන්ධන නිපදවා ගැනීමට, ඇයට හැකි, හැම ලෙසකින්ම බාධා කරනු ඇත.   එවිට අප ඉන්ධන වලින්, ස්වයංපෝෂිත රටක්  වනවා වෙනුවට, මැදපෙරදිග ඇගේ මිතුරන් මත රදා පවතින රටක් බවට පත්වේ.
ඒවා අපට ගත නොහැකි අවධානම්ය. අපි ජයග්‍රහණය කල පසු, අපට එම තත්වයට පත් වන්නට, සිදුවන්නේ නැත. නමුත් අපට, බොහෝ වැඩ කටයුතු කරන්නට තිබේ.
ඇමරිකාව දැන් තිබෙන තත්වය, අපි පිලිගන්නේ නැත්තේ, එහි ඇති වෙනස් වන්නට අකමැත්තයි. අපි දන්නා ඇමරිකාව එය නොවේ.
අපි ඇමරිකාවේ, නිර්මානාත්මක ආත්මය සහ ශක්තිය නිදහස් කරන්නෙමු.
අපි ඇමරිකාවේ ජීවත්වන, සියලුම වර්ගයේ පුරවැසියන්ට, එහි ඇති පාසැල්, ලෝකයේ හොදම පාසැල් කරන්නෙමු.
අපි ඇමරිකානුවන්, අපේ ප්‍රමුඛතාවයන් කරන්නෙමු. එසේ නැතුව, පන්දම් කාරයන් ගෙන් සෑදුන, විශේෂ පන්තියක් පමණක් නොවේ.
පුරවැසියන් සියලු දෙනා සමග එකතු වී, ඇමරිකාව නැවතත් ශේෂ්ඨ රටක් කරන්නට, නීති ඇති කරන, ජනාධිපතිවරයෙකු අපි පත් කර ගන්නෙමු.
ඇමරිකාවේ ආර්ථිකය නිදහස් කරන, ධනපතියන්ට බදු නොගෙවා සිටින්නට නොහැකි වන, බදු ක්‍රමයක් ඇති කරන, ජනාධිපතිවරයෙකු පත් කරමු. ‘ඔබමාකෙයාර්‘ ඉවත්කරන අතරතුරම, අවශ්‍යම පුරවැසියන්ට, සෞඛ්‍ය සේවා ලැබෙන පරිදි, වෙනස් කරන ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
අපගේ ප්‍රශ්න මකා දමන්නට (delete) නොව, ඒවාට මුහුණ දෙන ජනාධිපතිවරයෙකු පත්කර ගනිමු.
ඇමරිකාව පවතින බව නිසාමත්, ඊර්ෂියා වෙන් වෙව්ලන රටවල් වලට, දෙකට නැමී බිය නොවන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
තම පුරවැසියන් ගේ ආරක්ෂාව සහ සතුට, අපට සතුරු රටවල් වල හැගීම් වලට වඩා, වැදගත් යැයි සලකන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.  
දේශපාලන නිවැරදිතාව (PC culture) සංස්කෟතියට  වඩා, අපේ දරුවන් සහ අපේ පවුල් වල ආරක්ෂාව සහ සතුට, අගය කොට සලකන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
තමන්ට කිසිම ලබැදියාවක් නොමැති බව පෙන්වීමටම, තමන්ගේ මුදලින්ම, ප්‍රාථමික මැතිවරණ තරගයට මුහුණ දුන්, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
එක්සත් ජනපදයේ දේශ සීමා ආරක්ෂා කරන, එසේම රටේ නිදහස සදහා, රජය සීමාසහිත විය යුතු බව, අදහස් කරන විනිසුරුවරුන් පත් කරන. ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
පෟතුවියේ තිබෙන බලගතුම පදවිය, තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට පාවිච්චි නොකරන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
ඇත්ත රැකියාවල් බිහි කල, එසේම වැටුප් චෙක්පත්වල අත්සන් කර ඇති, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
මිනිසුන් සහ ඔවුන්ගේ පවුල්, තමා සහ තමාගේ ව්‍යාපාර මත යැපුනු කෙනෙකු, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
තමන්ට හිතෙන දේ කියන, අදහසක් ඇතිකර ගැනීමට, දත්ත විශ්ලේෂකයන් හා නාභිගත කණ්ඩායම් අවශ්‍ය නැති, කරන්ට ඇවැසි දෑ මිස, අසන්න ඇවැසි දෑ නොකියන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු.
අපි සියලු දෙනාගේම සහ අප ජාතියේ ශේෂ්ඨත්වය නැවත නිදහස් කරන, මෙම ශේෂ්ඨ ජාතිය ගොඩනැගූ, මහන්සි වී වැඩකරන පුරවැසියන්ට, නැවත වරක් බලය දෙන, ජනාධිපතිවරයෙකු අපි පත්කර ගනිමු. 
එවැනි ජනාධිපතිවරයෙකු වන්නට පුලුවන් වන්නේ, මට ජීවිතය කියා දුන්, මගේ හොදම මිත්‍ර, මගේ පියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ටය. 
අපි ඔහු ජනාධිපති ලෙස තෝරා ගත් විට, මේ සියල්ල සිදුවේ. එවිට අපි ඇමරිකාව නැවත ශේෂ්ඨත්වයට පත්කර ඇත්තෙමු; මෙතෙක් කවරදාවත් තිබුනාටත් වඩා ශේෂ්ඨත්වයට.

ස්තූතියි,  දෙවියන්ගේ පිහිටයි. 



Thursday, July 21, 2016

part 2 of three ,අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව - 2






අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව - 2


...................ඔහු එවැනි සේවකයන් ගේ, එම චරිත ලක්ෂණ, අඟය කරන බව මා දන්නේ, අප, ඔහුගේ ව්‍යාපාරයේ රැකියා පටන් ගන්නා විට, අප වැඩට යෙදෙව්වේ, ඔවුන් යටතේ නිසාය.
ඔහුගේ දරුවන්ගේ, තරුණ ජීවිතවල මුල් කාලයේදී, පුහුණුව එවැනි සේවකයන් යටතේ කරන්නට ඇරීමම, ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කවුරුන්දැයි, ඔබට දැන ගන්නට ප්‍රමාණවත්ය.
MBA උපාධි ඇත්තන් ගෙන්, අපි ඉගෙන ගත්තේ නැත. අත්දැකීමෙන් ආචාර්ය උපාධිය ලබාගත් අයගෙන්, අපි ඉගෙන ගත්තෙමු. අපට බර වාහන එලවන්නට, ට්‍රැක්ටර් සහ විදුලි කියත් ක්‍රියාකරන්නට, කියා දුන්නේ, විනී ස්ටෙලියෝ වැන්න වුන්ය. ඔහු  ක්‍රමයෙන් රැකියාවෙන් ඉහලට පැමිණ පසුව, මගේ පියාගේ විශ්වාසවන්ත උපදේශකයෙකු බවට පත් විය.  අප මේ නිසා,  ඩී 10 කැටපිලර් යන්ත්‍රයක් තුල හා කාර් එකක් තුල, අපහසුවක් නොමැති, බිලියනයෙකුගේ එකම දරුවන් වෙන්නට පුලුවන.
මහන්සි වී වැඩ කිරීමෙන්, ලැබෙන ආඩම්බරය හා ගෞරවය, අපට ඉගැන්විය හැක්කේ, ඔවුනට පමණක් බව, මගේ පියා දැන සිටියේය.
ඇමරිකානු සිහිනයේ හඳවතෙහි තිබෙන්නේ, අප කොහෙන් පැමිණියත්, කවුරුන් වූවත්, අප සියලු දෙනාටම, ඉදිරියට යන්නට පුලුවන් බවත්, සියල්ලන්ටම එකට දියුණු වන්නට පුලුවන් බවත්, බව ඔහු දනී.
අනෙක් පක්ෂයත්, ඇමරිකානු සිහිනය, විශ්වාස කරන බව අපට කියයි. ආර්ථික අසමානතා සහ එක තැන හිරවී සිටීම ගැන, අප කනස්සලු විය යුතු බව ඔවුන් කියයි.
ඔබ දන්නෙහිද? ඔවුන් නිවැරදිය. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා, ඒවා සිදු වූ බව ඔවුන් ඔබට කියන්නේ නැත. එලෙසම ඔවුන්ගේ ප්‍රතිපත්ති වල, වගවීමක් ඇත්තේද නැත. ඔවුන් අපට ලෝකයේ තිබෙන අසාර්ථකම, සංක්‍රමණ ක්‍රමය හදුන්වා දුනි. එය රැකියාවේ එක තැන පල්වීම, හිස්පැනික්, අප්‍රිකානු සහ අනෙක් ඇමරිකානුවන්ට රැකියා අවස්ථා සහ වැටුප්   අඩුවීම් ඇති කරයි. එම ක්‍රමවේදය, රටට හොරන් ඇතුලු වන්නන්ට උදව් කරන අතර, පවතින ක්‍රමවේදයට අනුව, නීතියට ඇතුලතින් එන්නට, උත්සාහ කරන්නන්ට පැමිණීම, අපහසු කරයි.
එක්වරම විශාල පිරිසක්, රැකියා සදහා රටට ඇතුල් වුවහොත්, රටේ දුප්පත් කම වැඩි වී, වැටුප් අඩුවන බව කීවේ, ඩිමොක්‍රටික් පක්ෂයේ බර්නි සෑන්ඩර්ස් විසින්මය.
ඩිමොක්‍රටික් පක්ෂය, ඕනෑවටත් වඩා සිසුන්, විභාග වලින් අසමත් කරන, පොදු විද්‍යාල පද්ධතිය ලබා දුන්නේය. බොහොමයක් එම දරුවන්ට, වෙනත් විකල්පයන් නොමැත. මා සහ මගේ සහෝදර සහෝදරියන්, අධ්‍යාපනය යෙදෙද්දී, බොහෝ විකල්පයන් තෝරා ගැනීමට තරම්, වාසනාවන්තයන් වූවෙමු. සියලුම ඇමරිකානු දරුවන්ට, එලෙස අධ්‍යාපනයේදී තෝරා ගැනීමේ, හැකියාව තිබිය යුතු බව අපි සිතමු.
අපේ පාසැල්, මධ්‍යම පන්තියට මිනිසුන් ඔසවා තබන, සෝපානයන් වූහ. දැන් ඒවා බිම් මහලේ හිර වී තිබේ. ඒවා දැන් එකල සෝවියට් රුසියාවේ, සුපර් මාකට් වැනිය; ඒවා දුවන්නේ පාරිභෝගිකයන් සදහා නොව, ඒවායේ සේවකයන් සදහාය. එලෙසම, අපේ පොදු පාසැල්ද දුවන්නේ, ගුරුවරුන් සහ නිලධාරීන් සදහා මිස, දරුවන් සදහා නොවේ. වෙනත් රටවල, හෝඩියේ පන්තියේ සිට දොලහ වසර දක්වා, අපේ සිසුන්ට වඩා, හොදට ඉගෙන ගන්නේ ඇයි?  එම රටවල තමන්ගේ දරුවන්, කුමන විද්‍යාලයකට යැවිය යුතු යැයි, තෝරා ගන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ය.

 තරඟය කියන්නේ එයයි. නිදහස් ආර්ථිකය කියන්නේත් එයයි.

අනෙක් පක්ෂය එයට කැමති නැත. ඔවුන් හොඳ අධ්‍යාපනයක් සොයා යන,දරුවන්ගේ අධ්‍යාපනයට වඩා, ගුරුවරුන්ගේ රැකියාවේ ආරක්ෂාව වැදගත්ය.
ඔවුනට සියලු දෙය, අගනුවර සිට පාලනය කරන්ට වුවමනාය. ඔවුන් සියලු දෑ පිළිබඳව විශේෂඥයන් බවත්, රටට හොදම දෙය, ඔවුන් දන්නා බවත් අපට කියති.

අනෙක් පක්ෂය අප රටට, හොර්මෝන වලින් දුවන, නීති සම්පාදනය කරන රාජ්‍යයක් ලබා දුන්නේය.

ඔවුන් අපට ලබදුන් Dodd – Frank පනත පිටු 1000 ක් දිගය. දැන් එයින් පිටු 22000 ක, නීති රීති හැදී තිබේ.

ව්‍යාපාරයකට දොර අරින්නටත් පෙර, කොතරම් නීති හැදෑරිය යුතුද, මේවායින් පාරිභෝගිකයට ඇති උදව්වක් නැත. ඇත්තෙන්ම ඒවායින් කෙරෙන්නේ, කුඩා ව්‍යාපාර විනාශ කර, නීතිඥයින් සහ ඝණකාධිකාරී, බොහෝ ගණනක් සේවය කරන, විශාල ව්‍යාපාර වලට උදව් කිරීමයි. ඇත්තෙන්ම Dodd – Frank පනත ධනපතියන් සදහා පාරිභෝගික ආරක්ෂාවයි.

අපි ලෝකයේ ඕනෑම කලෙක, ඕනෑම රටක, තිබුනාට වඩා, පන්දම් කරුවන් සහ බලය පාවිච්චි කරන්නන්, ඇති කරගෙන ඇත්තෙමු, එහි මුදුනේ ඇත්තේ, තමන් ගැනම සතුටු වන නායකයන් පිරිසකි - අපේ අළුත් වංශාධිපතියන්, අපිට තවත් මෙලෙස ජීවත් වීමට නොහැක. එය අවධානම්ය.

මට දැන් අවධානම ගැන, ටිකක් කථා කරන්ට ඉඩ දෙන්න.

අවධානමේ පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයයි.

 අපේ රට වෙනුවෙන්, හමුදාවේ සේවය කර ඇති, ශේෂ්ඨ ඇමරිකානුවන් බොහොමයක්, මම ආශ්‍රය කර ඇත්තෙමි, ඔවුන් අවධානම ගැන දනිති. අපේ රටෙහි දුර්වල නායකයන්, බලයේ සිටින විට, අපේ නිදහස සදහා ඔවුන්ගේ ජීවිත අවධානමෙහි දමන, ඇමරිකානුවන් ගේ ආරක්ෂාව දුර්වල වේ.

සෑම දිනකම වාගේ, නියම ඇමරිකානු වීරයකු ගෙන්, මට දුකථන හෝ කෙටි පණිවිඩයක් ලැබේ. ඔහුගේ නම මාක් ගීස්ට් වන අතර, ඔහු මගේ මිත්‍රයෙකු වීම, මට ආඩම්බරයකි.

මාක් ලිබියාවේ බෙන්ගාසි නගරයේ, එවකට අපේ තානාපති කාර්යාලය අසල, පිටියක නවතා තිබුනු, ආරක්ෂක කණ්ඩායමක, සාමාජිකයෙක්ව සිටියේය.


බෙංගාසිහි, ඇමරිකානු තානාපති කාර්යාලයට, පහර දෙන විට, උදව් ඉල්ලා ඇමතුම් ලැබූ කණ්ඩායමේ, ඔහු සාමාජිකයෙකි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම, එම ඇමතුම් වලට  ක්‍රියාත්මක වන්නට උත්සාහ කලේය..............to be continued









Wednesday, July 20, 2016

part one of three, අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව - 1






අපි කාටත් ගැලපෙන ඇමරිකානු කථා; ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨ ගේ, පක්ෂ සම්මේලනයේ කථාව.  

මේ ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ 2016 සම්මේලනයේදී, මෙවර එහි අපේක්ෂකයාගේ පුතා විසින්, කරන ලද කථාවේ මුල් හතරෙන් කොටසයි. මේ කථාවේ බොහෝ කරුණු, අප රටටත් වලංගු බව පෙනුන නිසා, මම එය පරිවර්ථනය කර, මෙලෙස ඉදිරිපත් කරන්නෙමි. ඉතිරි කොටස් තුන, ඉතිරි සති අන්තය, අවසන් වීමට පෙර, ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.
“මම කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙමි. ස්තූතියි........ මම කුඩා දරුවන් පස් දෙනෙක්ගේ පියෙක් වන්නෙමි. වයස අවුරුදු දෙකේ චියෝ සිට, ලඟදී අවුරුදු නවය පිරුණු කායි දක්වා.... මම එම දරුවන් පස් දෙනාගේ දයාබර මව වන, වෙනේසා ගේ සැමියා වෙමි. ශේෂ්ඨ මිනිසෙකුගේ පුතෙකු වෙමි. මම ඇමරිකානුවෙක් වෙමි.
මේ රාත්‍රියේදී මම ඇමරිකාව ගැන, අප ජීවත් වන රට ගැන, අපගේ දරුවන් අනාගතයේදී, ජීවත්වන රට ගැන, ඔබට කථා කරන්නෙමි. මගේ පරම්පරාවට මේ ඡන්දය, අපගේ ජීවිත කාලය තුල ලැබෙන, වැදගත්ම ඡන්දයයි. මෙම ඡන්දයෙන්, අපගේ රටේ අනාගතය තීරණය වනු ඇත. ඒ සමගම, ලෝකයේ අනාගතයද තීරණය වනු ඇත.   
බොහෝ කලක සිට අපේ රට අප මුහුන දෙන ප්‍රශ්න, නොසලකා හැරියේය, ඒවා අනාගත පරම්පරාවන්ට, විසදා ගන්නට ඉතිරි කලේය. අනාගතය සාර්ථක කර ගන්නට නම්,  ව්‍යාපාර ලෝකයේ, දුෂ්කර ආයෝජන හා තීරණ ගත යුත්තේ, මේ මොහොතේ බව, මගේ පියා මට උගන්වා තිබේ.
ඇත්තෙන්ම අප, අපේ ජාතියට තිබෙන ප්‍රශ්න විසදීම, නොකල හැක්කක් බව, සිතන්නට පටන් ගෙන තිබේ. ඒ නිසා, අප මෙවර තෝරාගත යුත්තේ, කල නොහැකි යැයි සිතන දෑ කර, පෙන්වා දී ඇති තැනැත්තෙකි.
අප ඉතිහාසයේ මුල් වරට, දෙමව්පියන්, තමන්ගේ දරුවන්, ඔවුන් තරම් හොදින් ජීවත් වේයැයි අද නොසිතති. අපේ නායකයන් හා ආයතන ගැන තිබූ විශ්වාසය, බිඳ වැටී ඇත.
නමුත් මතක තියා ගන්න, අපි තවමත් ඇමරිකානුවන් වෙමු, අපි එකම රටක් වෙමු, අපි නැතිවූ සියල්ල නැවත ලබා ගන්නෙමු, අපි එය පෙර තිබුනාටත් වඩා, හොදට ලබා ගන්නෙමු.
මම, මගේ පියා ගැන හොදින් දන්නා නිසා, අපි ආපසු එය ලබා ගන්නේ යැයි, මම දන්නෙමි. ඔහුට යමෙකු, එය කල නොහැකි යැයි කිවහොත්, ඒ කියමනම ඒ වැඩය කරන්නට, ඔහුව යොමු කරන්නට ප්‍රමාණවත්ය.  
‘ක්වීන්ස්‘ හි තරුණයෙකුට, මෑන්හැට්න් නගරයට ගොස්, එහි දේපල ව්‍යාපාරිකයින් හා, තරඟ කරන්නට බැරි බව කිවූ විට, ඒ අදහස අත්හරිනවා වෙනුවට, ඔහු නිව්යොක් නගරයේ ක්ෂිතිජය වෙනස් කලේය.
 කෙනෙකු යම් කිසිවක් කරන්නට, නොහැකි බව කියන විට, ඔහුගේ ඇස්වල ඇතිවන දිලිසීම, මම එය බොහෝ වර දැක ඇත්තෙමි.
වසරකට පමණ පෙර,ඔහුට දේශපාලනයේ සාර්ථක වන්නට බැරි බව, බොහෝ දෙනෙකු කී විට, ඔහුගේ ඇස්වල ඒ පෙනුම මම නැවතත් දුටුවෙමි.  
කල නොහැකි යැයි සිතන දෑ කිරීම, මගේ පියාගේ වැඩක ආරම්භයයි. ඔහු ව්‍යාපාර දෙස බලන්නේද, ජීවිතය දෙස බලන්නේද එලෙසිනි.
තමන්ගේ මිනිබිරියට, ගොල්ෆ් ගසන්නට උගන්වන විටත්, දුෂ්කර ව්‍යාපාරික කථිකාවකදීත්, ඔහුගේ කැපවීමෙහි, වෙනසක් නැත.
මෙයට, මස 11 කට පෙර, කිසිදා දේශපාලන පදවියකට, තරඟ කර නැති ඔහු, වෟතීය දේශපාඥයින් 16 දෙනෙකු සමග, මෙම වේදිකාවේම, ඔබ ඉදිරියේ පෙනී සිටියේය, මේ සතියේ ඒ මිනිසාම, අප පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස, තරඟ කරන්නට, පෙනී සිටී.  
අද දින ඔහු නියෝජිත ඡන්ද වලින්, අපගේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස, ජයග්‍රහණය කර වීමට ඉඩ ලැබීම, ඔහුගේ දරුවෙකු සහ පවුලේ සාමාජිකයෙකු ලෙස, මම මහත් ගෞරවයක් කොට සලකමි.
ඔහුගේ අප්‍රතිහත ධෛර්යය, ඔහු ඊ ලඟ ජනාධිපතිවරයා බවට පත් කරන බව, මට හොඳටම විශ්වාසය. ඔහු මේ රටේ, දැවෙන ප්‍රශ්න විසදන්නේ යැයි කියන විට, ඔහු එය ඇත්තෙන්ම කරන්නේ යැයි, මට විශ්වාස ඇයි?
ඔහු මොන විදිහේ ජනාධිපතිවරයෙකු වේ යැයි, ඔබට දැන ගන්නට ඕනෑද?  
මට ඔබට, ඔහු, ඔහුගේ ව්‍යාපාර කලමනාකරණය කරන්නේ, කෙසේදැයි කියන්න ඉඩ දෙන්න. ඇවිදින්නට පුලුවන් වූ කාලයේ සිටම, ඔහු ලඟින්ම වැඩපොල වලත්, සාකච්ඡා කාමර වලත්, සිටි නිසා, මම ඔහුගේ කලමනාකරණ ක්‍රම, හොදින් දන්නෙමි.
ඔහු සුඛෝපභෝගී විධායක නිලධාරියෙකුගේ, කර්යාලයක මේසය පිටුපස සැඟවී සිටියේ නැත. ඔහු, ඔහුගේ රැකියාවේ කාලය ගත කලේ, සාමාන්‍ය ඇමරිකානුවන් සමගය. ඔහු, ඔහුගේ වැඩපල වල, කොන්ක්‍රීට් කවලම් කරමින්, බිත්ති ගොඩනංවමින්, ඉඳකිරීම් සේවකයන් සමග, කාලය ගත කලේය. ඔහු හාවඩ් සහ වෝටන් වලින් පැමිණි, පියවි ලොවේ වැඩපොල වලින් ඈත් වී, කාර්යාල වල හිරවී සිටින, විශේෂඥයන්ට ගේ උපදෙස් වලට වඩා, මහන්සි වී වැඩ කරන්නන්ගේ, උපදෙස් අගය කලේය.
ඔහු ඇමරිකානුවන් තුල ඇති, හැකියාවන් සහ ධෛර්ය හදුනා ගත්තේය.
ඔහු සේවකයන් උසස් කලේ, ඔවුන්ගේ චරිතය, ඔවුන්ගේ භූමියෙහි දැනුම, රාජකාරී ප්‍රතිපත්ති, මතය, සහතික මතම පමණක් නොවේ.
මේ දක්වා අපේ ව්‍යාපාරයන්හි, ප්‍රධාන විධායක නිලධාරීන් බොහොමයක්, දහඩිය මහන්සියෙන් කරන රැකියා වලින්, පටන් ගත් අයවලුන්ය. නමුත්, ඔහු ඔවුන් තුල ඇති, යම් විශේෂ දෙයක් දැක, ඔවුන් සාර්ථක කලමනාකරුවන් වන්නට, තල්ලු කලේය.

නායකයෙකු ලෙසට, ඔහුගේ ලොකුම කුසලතාවය, ඔවුන් වත් නොදකින, පුද්ගලයන් තුල ඇති සැඟවුන දක්ෂතාවයන්, විභවයන් දැකීමය; බොහොමයක් විධායකයින්, මෙවැනි විභවයන් නොදකින්නේ, මෙම සේවකයන්ගේ නම් වලට ඉදිරියෙන්,  සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාල වල හෝ උපාධි වල නම්, නොමැති බැවිනි............"

to be continued ...........




Monday, July 18, 2016

වන ආවරණය හරියට මාර්කට් නොකිරීම.












කැලෑ නීතිය වරද්දා ගැනීම; සුවිශේෂ තත්වයන් නොසලකා හැරීම.


පසුගිය සති අන්තයේ මිතුරන් පිරිසක් සමග, සාමාන්‍යයෙන් නොයන මාර්ගයක, ලෝකාන්තය බැලීමට ගියෙමි. අඩි 4000 ක් පමණ උසක්, කිලෝ මීටර් 11 කින්, එසේත් නැත්නම්, ත්‍රාසජනක කොණ්ඩා කටු වංගු 33 කින් නැංගෙමු.

මෙලෙස නැංගේ තේ වතු සහ ඝණ කැලෑ අතරෙනි. එලෙස නගිද්දී මට සිතුනේ, එම කැලෑවල ඇති ගස් වලට වඩා, ගස් ඝනත්වයක්, සාමාන්‍යයෙන් අපේ ගෙවතුවල තිබෙන බවයි. මේ පිළිබඳව සොයා බලද්දී, ලංකාවේ වන ආවරණය 33% ක් වන බවත්, සංසන්ධනාත්මකව එය පිළිවලින්, ඉන්දියාවේ හා පකිස්ථානයේ 23.8% හා 1.2% බව දැක්කෙමි.

තව දුරටත් සොයා බලනවිට, ඇත්තෙන්ම මේ සදහා රටේ ජනගහන ඝනත්වය, (වර්ග කිලෝ මීටරයකට සිටින පිරිස) කොපමණක් දැයි, බැලිය යුතු යැයි මට සිතිණ. මක් නිසාද කිලෝමීටරයකට ජනගහනය වැඩිවත්ම, එම ජනගහනයට පදිංචි වන්නට ඉඩ අවශ්‍ය නිසා, කැලෑ අඩුවන බැවිනි. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රමාණය, වර්ග කිලෝ මීටරයකට මිනිස්සු 309 කි. මෙම ප්‍රමාණය සාපේක්ෂව ලොකු ගණනකි. මෙය ලෝකයේ අනෙක් රටවල් හා සසදන විට, 43 වන ස්ථානයයි. අපගේ ජනගහන ඝනත්වයට කිට්ටුවෙන් යන, රටවල් කිහිපයක වන ආවරනයේ ප්‍රතිශතය පහත පරිදිය.
එල්. සැල්වදෝරය                 - 12.8%
ග්‍රැනඩාව                               - 50.0%
ජපානය                                 - 68.5%
පිලිපීනය                               - 27.0%
බෙල්ජියම                             - 22.6%
ඊශ්‍රාලය                                 - 7.6%
මෙම වගුව අනුව බලන විට, මෙතරම් කාර්මිකකරණය වූ ජපානය, විශේෂයෙන් අධික ජනගහන ඝනත්වයක් සහිතව, මෙතරම් විශාල, මුලු බිම් ප්‍රමාණයෙන් 68.5% ක් වන ආවරණය යටතේ තබා ගැනීම, ඇත්තෙන්ම පුදුම සහගතය. වන ආවරණය වැඩිකර ගැනීමට උත්සාහ දරන අපිද, ජපානය මෙතරම් සාර්ථක ලෙස මෙම තත්වය, කලමනාකරණය කර ගෙන ඇත්තේ කෙසේදැයි, සොයා බැලීම උචිතය.

අනෙක් අතට ලංකාවේ වන ආවරණය, බොහෝ අඩුවෙන් ගණනය කර ඇති බව, මගේ හැඟීමයි. විශේෂයෙන්ම මා පෙර සදහන් කල පරිදි, අපගේ ගෙවතු වසා ගෙන ඇති, කැලෑවල් දෙස බලන විට, අපගේ බොහෝ ගෙවතු, වන ආවරණයේ කොටසක් ලෙස, සැලකිය හැකි බව මගේ හැඟීමයි. ලෝක ආහාර සහ කෟෂිකර්ම සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව, හෙක්ටයාර් එකකට වැඩි, මුලු ප්‍රමාණයෙන් 10% ක් වන ආවරණය සහිත, එමෙන්ම එහි තිබෙන ගස් වලට, අඩු තරමින් මීටර් පහක් වත්, ඉහලට හැදෙන්නට ඉඩ තිබෙන භූමියකට, කැලෑවක් යැයි කියනු ලැබේ. මෙම භූමියන්හි කෟෂිකර්මික කටයුතු සිදු නොවිය යුතුය.

එසේම වන ආවරණය 5% සිට 10% දක්වා තිබෙන ගස්වලට, අඩු තරමින් මීටර් 5 ක් වත්, වැඩුණු පසු උස යන්නට ඉඩ තිබෙන භූමියන්, අනිකුත් කැලෑ ලෙස වර්ගීකරණය කෙරේ. අප රටේ, තෙත් කලාපය හා අතරමැදි කලාප වල ගෙවතු වලින් බහුතරයක්, මෙම අර්ථ දැක්වීම් වලින් වනාන්තර ලෙස, හදුන්වන්නට පුලුවන. මේ වගෙන් බොහොමයක වන ආවරණය 30% ඉක්මවා යා යුතුය. විශේෂයෙන්ම ලොකු ගස් අඩු බටහිර රටවල සහ යුරෝපයේ ගෙවතු හා සංසන්දනය කරන විට, මෙහි සත්‍යතාවය වඩාත් පැහැදිලි වෙයි.

 මෙම වන ආවරණය ගණනය කරන්නේ, චන්ද්‍රිකා වලින් ලබා ගන්නා ඡායා රූප වලිනි. ලංකාවේ බොහෝ ගෙවතු වල, වන ආවරණයේ ප්‍රතිශතය, රටේ ආරක්ෂිත වනයන්ට වඩා, බොහෝවිට වැඩිවිය යුතුය.

මේ අනුව, මෙම අර්ථ දැක්වීම්වලට අනුව ගණනය කලහොත්, ශ්‍රී ලංකාවේ වන ආවරණය 60% පමණ විය යුතු යැයි මට හිතේ. මෙලෙස විද්‍යානුකූලව මෙම ගණනය කිරීම් සිදු කර, ප්‍රසිද්ධ කලහොත්, ශ්‍රී ලංකාවේ ලෝක පරිසරය සුරැකීමට ඇති කැපවීම හා උනන්දුව අන්තර්ජාතිකයට දැන ගන්නට හැරියහොත්, එයින් සංචාරක ව්‍යාපාරයට හා අන්තර් ජාතික පිළිගැනීමට, මහත් රුකුලක් වනු නොඅනුමානය.





 ලිපියේ මුලින් තිබෙන ඡායාරූප, මහනුවර නගරයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි, ගමක පාරේ සිට ගන්නා ලද ඡායාරූප කිහිපයකි. ඉහත ඡායාරූපය මහනුවර නගර සීමාවට යාබදව පිහිටි නාගරික යැයි කීමට පුලුවන් සිරිමල්වත්ත හන්දියයි මෙහි බැලූ බැල්මටම කුඹුරු අත හැරියොත්, වන අවරණය 10% කට වඩා වැඩි බව පැහැදිලිය.  මේවා කැලෑ නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?



Friday, July 15, 2016

ගල්මඩුවෙන් දෙගල්දොරුවට; කලාකෟති නිර්මාණයේ දේශපාලන බලපෑම.




ගල්මඩුවෙන් දෙගල්දොරුවට; කලාකෟති නිර්මාණයේ දේශපාලන බලපෑම.





ගල්මඩුව පන්සල.

ගල්මඩුවෙන්  දෙගල්දොරුවට; 


සිංහලේ අන්තිම සිංහල රජු, (1707 – 1739) වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, දෙවන රාජසිංහ රජ පුත් දෙවන විමලධර්මසූරිය රජුගේ සහ රාජවංශයේ නොවන ප්‍රභූ පවුලක මෙහෙසියකගේ පුත්‍රයාය. එහෙයින් ඔහු රජ වන්නට පෙරත්, රජ වූ පසුත්, නිතරම වාසල කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්නට සිදුවූයේ අනෙක් ප්‍රභූ පවුල් තුල ඔහුගේ මවගේ පවුලට සුවිශේෂි බලයක් ලැබෙන්නට ඉඩ තිබේ යැයි තිබූ බිය නිසාය. 

අවසානයේ තමන්ගේ ආරක්ෂාව සදහා ඔහු, මවගේ නෑයන් ජීවත්වන දුම්බර ප්‍රදේශයේ, කුඩා මාලිගාවක් සාදාගෙන එහි ජීවත් විය. ඒ දැන් කුණ්ඩසාල වරාපිටියේ උඩමලුව පන්සල අසලය. මහනුවර ආක්‍රමණය කල බ්‍රිතාන්‍ය සේනාංකයක් විසින් පසු කල මෙම මාලිගාව විනාශ කර ඇති අතර මහනුවර මාලිගාව ඉදිරියේ තිබූ සඳකඩ පහන එම මාලිගාවේ තිබූ එකක් යැයි පැවසේ. 
  
පිහිනුමට බොහෝ ඇලුම් කල මොහු, මාලිගාව සාදා ගත්තේද, කුණ්ඩසාලේ මහවැලි ගග අයිනේය. වරක් මොහු ගොඩ නගාගෙන සිටි, ලේවැල්ලේ මාලිගා තැන්න රාජකීය පිහිනුම් තටාකාංගනයේදී, ඔහු ගගට පනින විට, උලක ඇන මරන්නට කල කුමන්ත්‍රණය, බත් කූරෙකු විසින් ව්‍යර්ථ කිරීම ප්‍රසිද්ධ කථාවකි. ඒ සදහා කුමන්ත්‍රණය කල, පාත දුම්බර බංඩාර නම් පුද්ගලයෙකු පණ පිටින් දවාලූ තැන, තවමත් ‘බංඩාර දැව් ගොඩ‘ යනුවෙන් හැදින්වෙයි. දැන් සිරිමල්වත්ත බෝධිගල යැයි හැදින්වෙන්නේ එම ප්‍රදේශයයි.  







ලේවැල්ල පාළමට පහලින් නරේන්ද්‍රසිංහ රජුගේ රාජකීය පිහිනුම් තටාකයේ වර්තමාන තත්වය. 

නරේන්ද්‍රසිංහ රජු මිය යන විට, ඔහුගේ රාජවංශික මෙහෙසියනට දරුවන් නොසිටිය නමුත්, නැවතත් ඔහුගේ ප්‍රභූ පවුලක යකඩ දෝලියකට, පට්ටියේ බංඩාර නමින් පිරිමි දරුවෙකු සිටියේය. රජු මිය ගිය විට, රජකමට පත්වූයේ ඔහුගේ නායක්කර් බිරිදගේ සහෝදරයා වූ (ශ්‍රී විජය රාජසිංහ 1739 – 1747) හගුරන්කෙත බංඩාර නමැත්තෙකි. මේ, සමහර විට අවශේෂ බිසවකගේ දරුවෙකු වීමෙන්, නරේන්ද්‍රසිංහට මුහුණදීමට සිදු වූ දුෂ්කරතා වලට, පට්ටියේ බංඩාරටත් මුහුණ දීමට සිදුවේදැයි සිතූ නිසා, වන්නට පුලුවන. එසේත් නැත්නම්, නායක්කර් වංශිකයන්, රාජ සභාවේ බලවත් වූවා වන්නට පුලුවන. කෙසේ වුවද, පට්ටිය බංඩාර ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස මහලු වන තෙක්, රාජ සභාවේ සේවය කලේය.

විජය රාජසිංහ ගේ රාජ්‍ය කාලය, අවුරුදු අට කට සීමා විය. ඔහු ගෙන් පසු රජ වන්නේ, මහනුවර යුගයේ බුද්ධ සාසනයට ඉමහත් සේවයක් කල, (1747 – 1782) කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. බොහෝ වෙහෙර විහාර, රටපුරා ඉදිකල ඔහු, එකල මුහුදුබඩ ප්‍රදේශ පාලනය කල, ඕලන්ද ජාතිකයින්ගේ උදව් ඇතිව, තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන ඒමටද  මුල් විය.
1771 දී, ගොඩනංවන ලද මහනුවර කලාපුරය ප්‍රදේශයේ පිහිටි, ගල්මඩුව විහාරය මෙම රජු විසින් කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ තිබෙන බෞද්ධ වෙහෙර විහාර අතරින්, වඩාත්ම හින්දු කෝවිලක ලක්ෂණ ගන්නා, සිද්ධස්ථානය මෙය වෙයි. කලු ගල් සහ ගඩොල් වලින් සාදන ලද මෙම විහාරය, පිටතින් බලන කෙනෙකුට පෙනෙන්නේ, හින්දු කෝවිලක් ලෙසිනි.
මෙම විහාරය සාදා අවසන් වූයේ, කීර්ති ශ්‍රී රජුගේ අවසාන කාලයේය. මෙම විහාරය ගල් ගොඩකර සාදා ඇත්තේ, රජු ඇතුලට ගිය අවස්ථාවක, එම ගල් රජු මතට පෙරලා, ඔහු මරා දැමීමට බව, රජ කන වැකිණ. හේ එම පන්සලට ඇතුල් වීම ප්‍රතික්ෂේප කර, එම ප්‍රදේශයේම තිබූ ගල් ගුහාවක, ගල් දෙකක් මැදින් කපා, දෙගල්දොරුව විහාරය නිර්මානය කල බව පැවසේ.
කීර්ති ශ්‍රී රජු, මෙලෙස මල් වත්ත පන්සලේදී මරා දමා, පිපිට් නම් තායිලන්ත කුමාරයෙකු (බොරොම්කොට් නැමැති තායි රජුගේ 1733 – 1758 ගේ පුතෙකු) මහනුවර රජ කිරීමට, හාමුදුරුවරුන් හා නිළමේ වරුන් පිරිසක්, කල කුමන්ත්‍රණයක් අවසාන මොහොතේ, ඔත්තුවක් ලැබිමේ හේතුවෙන් ව්‍යර්ථ වී තිබූ නිසා, මොහු එලෙස සැක කිරීමද සාධාරනය.

 http://lakshmanillangakoon.blogspot.com/2016/10/blog-post_15.html


මෙලෙස ගල්මඩුව අතහැර, දෙගල්දොරුව විහාරය සෑදීමේ කථාවේ සිද්ධියේ, වඩාත්ම සිත් ගන්නා කරුණ, ගල්මඩුවේ තිබෙන හින්දු ආගමේ ගෟහ නිර්මාණ ශිල්පයේ, කිසිම ලකුණක්, දෙගල්දොරුව විහාරයේ නොමැති වීමයි. වෙස්සන්තර ජාතකය ඇතුලු, ජාතක කථා හතරක් චිත්‍රයට නංවා ඇති, දෙගල්දොරුව බිතුසිතුවම් කිසිම ඉන්දියානු ආභාෂයක් නොමැති, හැඩයෙන්, වර්ණයෙන් සහ නිර්මාණයෙන්, මූලක මහනුවර සිතුවම්ය. බොහෝවිට රජුට, හින්දු ගෟහ නිර්මාණ ශිල්ප ආභාෂයන්ද, එපා වන්නට ඇත. 

මෙම විහාරය මහනුවර යුගයේ අනර්ඝ බිතු සිතුවම් වලින් අනූන වන අතර මෙහි ඇති පරසතු මල ඉතාමත් දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ. 

සීගිරියේ බිතු සිතුවම් වලට අලාභහානි කල අවස්ථාවේ ඒවා පිලිසකර කිරීමට ලංකාවට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයෙකු වූ ලුසියානු මරන්සි දෙගල්දොරුවේ චිත්‍රද අවුරුදු සිය ගණනක් බැඳී තිබුනු තෙල් පහන්වල දැලි පිරිසිදු කලේය.    


                                                දෙගල්දොරුව පන්සල. 

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...