Monday, January 29, 2018

අපුරු ලන්දේසි



ඔහු මෙලෙස ඇස වසා සිටින්නට ඇත 


                                                                    එකල බතාවිය

අප රටේ මුහුදුබඩ ප්‍රදේශ දෙවෙනිවර අල්ලා ගෙන සිටි යුරෝපීය ජාතිකයන් වන්නේ ලන්දේසි යැයි අප හඳුන්වන එහෙත් ඇත්තෙන්ම වර්තමාන නෙදර්ලන්ත ජාතිකයන්ය විසිනි. නෙදර්ලන්තය කුඩා රාජ්‍යයක්ය වුවද  දහ අටවන සියවසේ ආසියාව   පුරා විහිදුනු වෙළඳ අධි රාජ්‍යයක් බවට පත්විය. ඔවුහු  1640 සිට 1796 දක්වා දල වශයෙන් වසර 150 ක් ලංකාවේ මුහුදුබඩ පාලනය කලහ. ඔවුන්ට පෙර සිටි පෘතුගීසි හුද මෙතරම්ම කාලයක් මුහුදු බඩ පාලනය කල අතර ලන්දේසීන්ට පසුව පැමිණි ඉංග්‍රීසින් ද  ඒ හා සමාන කාලයක් ලංකාව කොටස් හෝ සම්පුර්න වශයෙන් පාලනය කිරීම  එක අතකින් අපුරු සම්පාතයකි.

ලන්දේසීන්ගේ මෙම ශත වර්ෂ එක හමාරක කාලය තුල ඔවුන්ගේ පළාත් පාලනය කිරීමට ආණ්ඩුකාරයන් 40 ක් පමණ වූ අතර එයින් එක් අයෙකු අනෙක් සියලු දෙනාටම වඩා කැපී පෙනුනි. ඒ පෙට්‍රුස් විස්ට් නම් වූ මිශ්‍ර ඕලන්ද ජාතිකයෙකි. ඔහුගේ පියා  ඕලන්ද ජාතිකයෙකු වූ අතර මව බතාවියා හි කාන්තාවක වුවාය. බතාවියා හිදී උපත ලද ඔහු හොඳ අධ්‍යාපනයක් ලබා පියාගේ මවු රට වූ වර්තමාන නෙදර්ලන්තයට ගොස් එහිදීද නිතිය සහ මුල්‍ය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබිය.

දක්ෂ ලෙස එහිදීද ඉගෙනගත් ඔහු ඉහල රැකියාවක් ද ලැබ එහි වැදගත් පවුලක තරුණියක වූ විල්හෙමිනා ගාලින්ග්ස් සමග විවාහ විය.
1717 වසරේදී ඔහු එකල ආසියාවේ  ලන්දේසි අගනුවර වූ  බතාවියා; වර්තමානයේ ජකර්තා, හි අති විශේෂ උපදේශකයකු බවට පත්කෙරින. ඔහු පිළිබඳව කොතරම් ගෞරවයක් තිබුනේද යත් ඔහු ලංකාවේ ආණ්ඩුකාරයා බවට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් පමණි.
ඔහු දීප්තිමත් දක්ෂ පුද්ගලයෙකු වුවද ඔහුට ඉතාමත් දුර්වල චරිත ලක්ෂණයක් තිබිණ. ඒ බොහෝ ආඩම්බරකාරී අධිකතර ස්වතක්සේරුවකි.

මේ පිලිබඳ හොඳම උදාහරණය නම් ඔහු ලංකාවේ මුහුදුබඩ පාලනය බාර ගත් විට තමන්ගේ හැකියාවනට අනුව මෙය ඉතාමත් සුළු රාජකාරියක් නිසා මෙය තමනට එක ඇහැකින් කල හැකි බව පෙන්වීමට තමන්ගේ එක ඇසක් වසා ආවරණයක් පැළදීමයි.

මොහු 1726 දී ලංකාවට පැමිණි විගසම රැකියාවකට අලුතෙන් පැමිණෙන සියල්ලන්ම කරන්නාක් මෙන්  මෙම රට VOC සමාගමට රන් ආකාරයක් කිරීමට සැලසුම් සකස් කළේය. ඔවුන්ගේ වරාය ගුදම් ගම්මිරිස්, සාදික්කා, කුරුඳු සහ කරාබු නැටි වලින් පුරවන්නට අදහස් කළේය. VOC මුලස්ථානයේ නිලධාරින් බොහෝ සතුටට පත්වුහ.
ටික දිනකින් කොළඹ නගරයේ සොරකම් කිහිපයක් සිදුවුණු අතර මෙයට ලන්දේසි හමුදාව සම්බන්ධ බවට කතාවක් පැතිරිණ. මේ නිසා ආණ්ඩුකාරයා නගරයේ හමුදා සෙබළුන් පැය දෙකෙන් දෙකට පෙළ ගැස්සවීමට නියම කළේය.

මෙම නියෝගය නිසා සෙබළුන්ට නිදා ගැනීමට අවස්ථාවක් නොලැබුණු විට ඔවුන් කිහිප දෙනෙකු අණට අකීකරු වූ අතර, මොහු සියලුම සෙබළුන්ගෙන් දහයකට කෙනෙකුට කස පහර දෙන්නත් නැවියන් බවට පත්කර නැව් වල මුහුදට යවන්නත් නියම කළේය. (එකල නැවියෙකු වීම බරපතල දඬුවමක් බව පෙනේ). තමන් ට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවෙන්නට යන්නේ යැයි සැක කල ඔහු මාෂල් නීතිය ප්‍රකාශ කර තමන්ගේ සභාපතිත්වයෙන් මණ්ඩලයක් පත්කර උසාවි තහනම් කර පාලනය කරන්නට පටන් ගත්තේය.

තමන්ගේ මණ්ඩලයට කම්හල් කරුවන් වඩුවන් වැනි පුද්ගලයන් පරීක්ෂණ මණ්ඩලයට පත්කරගෙන සැකකරුවන්ට වේවැලෙන් පහර දීම, නියපොතු ගැලවීම සහ ඇඟිලි අතරට ගිනිකුරු දමා ඒවා පත්තුකිරීම වැනි දැඩි දඬුවම් ලබා දුන්නේය. ඕලන්ද ජාතිකයන්ම 19 දෙනෙකුට ඉතා කෘර අන්දමින් මරණ දඬුවම ලබා දුන්නේය.

මෙලෙස සැක කරන ලද එක පුද්ගලයෙකුගේ පන පිටින් හදවත එලියට ගෙන ඔහුගේ මුහුණට එයින් පහර දෙන ලදී. ඉන්පසු ඔහුගේ බෙල්ල පොරොවකින් කපා කඳ හතරට කපා කණුවල ගසා තබන ලද්දේය.(මෙවැනි දඬුවම් පොදු දේපල හොරා කන්නන්ට වර්තමානයේත් සුදුසු යයි මට හැගේ). අවසානයේ මෙලෙස මරණ දඬුවම ලබා දුන් 19 දෙනෙකුගේ නිවාස බිමට සමතලා කරන ලද්දේය. (මෙකල ලන්දේසින් බොහෝදෙනෙකු විවාහ වී සිටියේ ලංකාවේ කාන්තාවන් සමගය. මේ පවුල් වලට  මොන තත්වයක් ඇතිවන්නට ඇද්ද?)

මේ විස්තර දැනගත් බතාවියේ VOC කළමනාකරුවන් වෙනත් ආණ්ඩුකාරයෙකු එවා විස්ට් දම්වැල් දමා අපරාධකරුවෙකු ලෙස බතාවියට රැගෙන යන ලද්දේය. අවුරුදු දෙකක දීර්ඝ නඩු විබාගයකින් පසුව විස්ට් ට මරණ දඬුවම නියම කරන ලද අතර 1732 ජුනි මස 3 දින බතාවියා බලකොටුවේදී දඬුවම ක්‍රියාත්මක කරන ලදී.

ඔහුට දුන් දඬුවම අසන විටත් ඇඟේ මයිල් කෙලින් වන එකකි.
'අත් පිටිපසට බැඳ ඇස් ආවරණය කර වේදිකාවට රැගෙන ආ ඔහුගේ ඇඳුම් සියල්ල වධකයා විසින් ගලවා දමා ඔහු පුටුවකට තබා ගැට ගසන ලදී. ඉන්පසු ඔහුගේ බෙල්ල කපා සිරුර බංකුවක දිගා කර කුඩා කෑලිවලට කපන ලදී. ඔහුට දඬුවම් ලබා දෙද්දී ඔහු කිසිම හැඟීමක් නොපෙන්වා සිටියේය. පසුව සිරුරු කොටස්, ඇඳුම් සහ පිහිය යකඩ පෙට්ටියක දමා පුළුස්සා එදින හවසම අළු මුහුදට විසිකරන ලදී' 

Saturday, January 27, 2018

මෙවර ප්‍රාදේශීය සභා කොයි අතට යයිද?

මෙවර ප්‍රාදේශීය සභා ඡන්දය හේතු කිහිපයක් නිසා විශේෂ වැදගත්කමක් ගනියි.
1. මෙය බොහෝ කලකට පසුව කොට්ඨශ  වශයෙන් පැවැත්වෙන ඡන්දයකි.
2. ලංකාවේ ප්‍රථම වරට වාගේ ප්‍රධාන පක්ෂ තුනක් තරඟ කරති.
3. බලයේ සිටින පක්ෂ දෙකක් තරඟ වදිති.
4. මෙතෙක් ලංකාවේ පැවති  විශාලතම ඡන්දය වෙයි.

මෙම ඡන්දයේ ජය කාට ලැබේ දැයි බලන්නට මම ඊයේ සරල සමීක්ෂණයක් කලෙමි. ඒ සඳහා මම ක්‍රීඩා ඇඳුමකුත් ඇඳගෙන පාරට බැස්සෙමි. ඇවිදිද්දී හමුවන මිතුරන් හා  දන්නා හඳුනන අයත් සමග ටිකක් කතා කලෙමි. ඒ සාමිචි වලින් මට දැනුනේ මෙවැනි බෙදීයාමක්  බොහෝ විට සිදුවන්නට  ඉඩ තිබෙන බවය.

1. unp - එක්සත් ජාතික පක්ෂයේ කැපුවත් කොළ පාට ඡන්ද දායකයන් සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන විශ්වාස කරන අය පමණක් ඉතිරි වී ඇති බව. වෘතිය සමිති සමග දුර්වල ලෙස කටයුතු කිරීම නිසා රජයට රටේ විනය පවත්වා ගැනීමට එඩිතර කමක් නැත යයි හැඟීමක් නිසාද UNP කාරයන්ට කලකිරීමක් ඇතිවී ඇති බව පෙනේ.
2.SLFP- අපේක්ෂකයාගේ යම් නෑ, කුල, ගමේ, වැනි සම්බන්ධකම් ඇති පරණ ශ්‍රීලංකා කාරයන් සහ ජනාධිපතිවරයාගේ දුෂණ විරෝධී වේදිකාව නිසා හැරෙන protest ඡන්දදායකයන්ගෙන් කුඩා කොටසක්.
3. පොහොට්ටුව- පරණ ශ්‍රීලංකා කාරයන්ගෙන් 85%ක් පමණ සහ බලයේ සිටින රජයට විරුද්ධව වෙනදා JVP යට  සාමාන්‍යයෙන් වැටෙන  protest ඡන්ද 
4.JVP- protest ඡන්දය පොහොට්ටුවට යන නිසා වෙනදා මෙවැනි ඡන්දයකදී ලැබෙනවාට වඩා තරමක් අඩු ප්‍රතිශතයක්.

මෙම ඡන්දදායක පෙළගැසීම  මෙවැනි ප්‍රතිශත බෙදීයාමක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව මට පෙනේ.
UNP- 37%
SLFP-10%
පොහොට්ටුව-42%
JVP- 5%
වෙනත්-6%
මෙවැනි ප්‍රතිශතයක් අවසන් ප්‍රතිපලය වුවහොත් ප්‍රාදේශීය සභාවල බල තුලනය කෙසේ විය හැකිදැයි බලමු.
A සභාවේ කොට්ටාශ 20ක් තිබෙන්නේ යයි සිතමු. අලුත් 60:40  ක්‍රමය අනුව 12ක් කොට්ටාශ වලින් ජයග්‍රහණය ලබා පැමිණෙන අතර 8ක් අනුපාත ක්‍රමයෙන් පත්වෙති.
ඉහත ප්‍රතිෂත අනාවැකිය නිවැරිදි නම් කොට්ටාශ බෙදීයාම මෙලෙස සිදුවිය හැක.
UNP-5
SLFP- 0/1
පොහොට්ටුව-6/7
JVP-0 
කොට්ටාශ අනුව ලැබෙන ආසන 12 මෙලෙස බෙදී ගිය පසු ඉතිරි අනුපාත ආසන 8 බොහෝවිට මේ ආකාරයෙන් බෙදී යනු ඇත.
UNP- 2/3  
SLFP- 1
පොහොට්ටුව- 3/4 
JVP-0/1 
මේ අනුව සාමාන්‍ය දුරකට පොහොට්ටුව ඉදිරියෙන් සිටින බව පෙනේ. එහෙත් අවසන ප්‍රාදේශීය සභාවන්හි බලය ඇල්ලීම  නම් කැඳ හැලියක් බවට පත්වන ලකුණු තිබේ. බොහෝ ස්ථානයන්හි SLFP එක රජුන් තනන්නකු බවට පත්වන්නට බොහෝ ඉඩ තිබේ.
කෙසේ වුවද ඔතරම් දියුණු අමෙරිකාවේද පසුගිය ජනාධිපති ඡන්දයේදී හැම දෙනාම පාහේ කිව්වෙ හිලරි දිනන බවය. එහෙත් අවසානයේ ලෝ වාසීන්ගේ වාසනාවට ජයග්‍රහණය කලේ ට්‍රම්ප් ය. ඒ නිසා අනාවැකි හොඳටම වරදින්නටත් ඉඩ තිබෙන බව සැලකිය යුතුය.


Saturday, January 20, 2018

අහෝ ඩන්කර්ක්

ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක් බා  ගන්නට බොහෝ වෙහෙස වී , IT වැඩකාරයන් ගෙන් උපදෙස් ගෙන එහෙත් කරගන්නට නොහැකි වූ නිසා මාතර මගේ මිතුරෙකුට ලිස්ට් එකක් යවා ඔහු අඳුනන තැනකින් බා ගෙන කුරියර් සර්විස් එකක් හරහා ගෙන්නා ගත්තෙමි; කුරියර්  ගාස්තුව රුපියල් 250 ක් පමණි ( ඇමසෝන් සමාගමේ බෙසෝ ලෝකයේ ලොකුම පොහොසතා වූ  එක අහන්න දෙයක් නැත.) චිත්‍රපට 30ක් පමණ දැමු පෙන් ඩ්‍රයිව් ඒක tv එකේ එල්ලී තිබෙනවා දකින හැම මොහොතකම මට මතක් වන්නේ අප පාසල් යන කාලයේ ඕඩියන් සිනමා හලට චිත්‍රපට ගෙන ආ  හැටිය.
කොළඹ ශාලාවේ චිත්‍රපටය පෙන්වා අවසාන වූ විට එය දුම්රියේ දමා නුවරට පැමිණේ.එතනින් බා ගන්නා චිත්‍රපට රීල් ටික ඕඩියන් සිනමා හලට ගෙන යන්නේ ගොන් කරත්තයකිනි. ඒක චිත්‍ර පටයකින් ගොන් කරත්තය පිරි ඉතිරි යයි. කරත්තය හෙමිහිට නගරය හරහා ගොස් ඕඩියන් කන්ද නැඟ චිත්‍රපටය බාරදීමට පැය දෙකක් වත් ගතකරන්නට ඇත. අපි කරත්තය දුටු විට එය පසුපස ටික දුරක් ගොස් චිත්‍රපටියේ නම කුමක් දැයි බලාගන්නට උත්සාහ කලේ ඊළඟ චිත්‍රපටිය කුමක්දැයි දැනගැනීමටය.
පාසල ඇරී මිතුරන් සමග සත තිහකට තෝසේ දෙකක් කා සත හැටක් දී දවසක් ඇර දවසක් මාරුකරන  චිත්‍රපට රීගල් එකේ හෝ ඕඩියන් එකේ නැරඹීම එකල අපේ පුරුද්දක් විය.
මෙම චිත්‍රපට බැලීමේ පුරුද්ද දිගටම පැවතෙයි. එහෙත් දැන් චිත්‍රපට ශාලාවකට යන්නට හිතන්නේ වත් නැත්තේ නිවසේදීම චිත්‍රපට කරදරයක් නැතිව බලන්නට පුළුවන් නිසාය. මේ ට්‍රැෆික් ඒක සහ පාකින්ග් කරදර  බැලුවිට තව ටික කලක් යනවිට චිත්‍රපට වලට දැන් සිටින නරඹන්නන් ටික වත් රැකගන්නට පුළුවන් වේදැයි බොහෝ සැක සහිතය.
මම මෙය ලියන්නට පටන්ගත්තේ ඇත්තෙන්ම මෙම චිත්‍රපට සමුහයේ තිබූ මගේ බලාපොරොත්තු කඩකළ චිත්‍රපටයක් ගැන කියන්නටය.

ඒ ක්‍රිස්ටෝපර් නොලන් විසින් සාදන ලද dunkirk චිත්‍රපටයයි. ඔහු මිට පෙර සාදන ලද inception සහ dark night වැනි හොඳ චිත්‍රපට නිසාත් මෙම මෙම චිත්‍රපටියට නොයෙක් මාධ්‍යවල ලෑබී තිබුණු ඇති මහත් ප්‍රචාර නිසාත් මම මේ චිත්‍රපටිය නරඹන්නට මහත් ඕනෑ කමෙන් සිටියෙමි. 
එහෙත් චිත්‍රපටිය මගේ බලාපොරොත්තු සියල්ල කඩ කළේය. යුධ චිත්‍රපටයක් වශයෙන් කිසිම කමකට නැත. තාක්ෂනය පාවිච්චි කිරීමද ඉතාමත් දුර්වලය. චිත්‍රපටිය ඇත්තෙන්ම අලුත් තාක්ෂනය යොදාගෙන නොමතිම සැටියක් පෙනේ. නැව් සහ බෝට්ටු ඇතුලත් දර්ශන ඉතාම ආධුනික ලෙස කර ඇති අතර ඉතාමත් අතාත්විකය.
මම චිත්‍රපටිය නැරඹුවේ තුන් වතාවකටය. ඒ මම පුටුවට අලවා තබා ගැනීමට එය අපොහොසත් වීම නිසාය.
නොලාන් චිත්‍රපට සැදීමේ ට්‍රික් එකක් අපේ ඇය ගෙන් ඉගෙන ගත්ත දැයි මට සැකයක් පහල විය. ඒ මොකක් හැරී ඉතිහාස කතාවක් හෝ ප්‍රසිද්ධ ඉතිහාසගත චරිතයක් යොදාගෙන මොකක් හරි චිත්‍ර පටයක් සාදා අදායම් ඉපදවීමයි.
dunkirk හදන්නට SS රාජමව්ලි ට මේ බජට් එකෙන් භාගයක් එක්ක දුන්නා  නම් මිට වඩා හොඳට හදා ගන්නට තිබූ බව මට සිතේ. 

Friday, January 19, 2018

අපි නැවත ඉපදෙනවාද?

මම උපතින් බෞද්ධයකු වෙමි. බුද්ධාගම පාසලේදී ඉගෙනගෙන ඒ විෂයට D සමර්තයක්ද ලබාගත්තෙමි.අපටද අපොස සාමාන්‍ය පෙළ දක්වා දක්වා බොහෝ අනෙක් පාසල් වල  සිසුනට මෙන්ම එම විෂයය උගන්වන ලද්දේ හිමි නමක් විසිනි. දැන් කල්පනාකර බලනවිට අප ඒ ඉගෙන ගෙන ඇත්තේ බුද්ධ ධර්මයද එසේත් නැත්නම් බුද්ධ ධර්මයේ ඉතිහාසය දැයි මට සැකයක් උපදී.

මම  බුද්ධාගම හරියට දන්නවාද යන සැකය මට නිතරම ඇතිවේ. විශේෂයෙන්ම අප ආගමේ නැවත ඉපදීම පිළිගන්නේද නැද්ද යන්න මට පැහැදිලි නැත. බොහෝ බෞද්ධයන්ට  අප ආගම ගැන හෝ එහි ඇති මුලික ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතැයි කීවොත් එහි ලොකු වැරද්දක් නැතැයි සිතමි. එයට ප්‍රධාන හේතුවක් නම් අනික් ආගම් වල මෙන් නොව අපේ ආගම තර්කානුකුලව සිතන්නට සහ සාකච්චා කර නිගමන වලට පැමිණීමට ඉඩ තබා ඇති නිසාය. වෙනත් ආගම් වල ප්‍රශ්න කිරීම වරදකි, පවකි. එහෙත් බුදුන්ගේ ඉගැන්වීම් වල බුදුන් කෙලින්ම කියා තිබෙන්නේ කෙනෙකු; බුදුන් හෝ, යමක්  කී නිසාම පිලි නොගත යුතු බවයි. තමන් ඒ ඇසු දෙය තමන්ගේ නුවනින් කල්පනා කර මෙය සත්‍ය විය හැකිදැයි සාක්ෂාත් කරගත යුත්තේය.

බුදුන් විසින් කියාදුන් දහම අපට හරියට තේරුම් ගැනීමට අපහසු වුවද එතුමා එම ධර්මය මුලින්ම පැහැදිලි කරදුන් පස් වග මහනුන් බුද්ධ ධර්මය ඉතාමත් කෙටි කාලයකින් තේරුම් ගත්හ. සතියකින් පමණ පස් වග මහනුන් රහත් බව එසේත් නැත්නම් නිර්වාණය අවබෝධ කරගත්හ. ඔවුනට ධර්මය සම්පුර්ණයෙන්ම අවබෝධ කර ගන්නට කලක් ගතවුයේ නැත. නිවන් අවබෝධ කරගන්නටත් කාලයක් ගතවුයේ  නැත. ගතවුයේ  සතියක් දෙකකි.


 

පස්වග මහනුන් එලෙස නිවන අවබෝධ කරගත් පිලිවෙලකුත් දක්වා තිබේ. කොන්ඩඥඥ බමුණා මුලින් නිවන අවබෝධ කරගත් අතර ඉන්පසු පිලිවෙලින් අනෙක් බමුනන්ද නිවන් අවබෝධ කරගත්හ.
ඔවුන් නිවන් අවබෝධ කරගන්නේ බුදුන්ගෙන් සුත්‍ර දෙකකට ඇහුම්කන් දීමෙනි. පළමුවෙනි සුත්‍රය ධම්මචක්ක පවත්තන සුත්‍රයයි, දෙවැන්න අනාත්ම ලක්කන සුත්‍රයයි. ඒ සුත්‍ර දෙක ඇසීමෙන් තවුසන්  පස් දෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට ලැබුනේ නම් නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය සියලු දැනුම මේ සුත්‍ර දෙක තුල තිබිය යුතුය.
මෙම සුත්‍ර දෙකේ අඩංගු මුලික සිද්ධාන්ත මොනවාද?

ධර්ම චක්‍ර පවත්තන සුත්‍රය.
චතුරාර්ය සත්‍ය - දුක , දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය- හරි  දැක්ම,හරි  අරමුණු,හරි  කතාව,හරියට  වැඩ කිරීම,හරියට ජීවත්වීම,නිවැරිදි උත්සාහය,නිවැරිදි අවබෝධය,නිවැරිදි ඒකාග්‍රතාවය 








අනාත්ම ලක්කන සුත්‍රය 
මේ සුත්‍රයේ නමින්ම එහි අඩංගු දෑ පිළිබඳව අදහසක් ලබාදෙයි. ඒ හින්දු ආගම් වල තිබෙන ආත්මන් හෙවත් පුද්ගලයකු තුල ඇතැයි සැලකෙන ආත්මය බුද්ධ ධර්මයේ නොමැති බව බවය. බුදු හිමි එම සුත්‍රය ධර්මයෙහි සදාතනික සත්‍ය  පෙන්වාදෙන ධම්ම චක්ක පවත්තන සුත්‍රයට සම්බන්ධකර ඊළඟට පස්වග මහනුන්ට දේශනා කළේය. උන් වහන්සේ එයින් පෙන්වා දුන්නේ අප සැදී ඇති 
රුපය
හැඟීම් 
අවබෝධ 
සිතිවිලි
විඤ්ඤාණය 

යන සියල්ල වෙනස්වන එසේම ස්ථිර දෑ නොවන නිසා ඒවා අස්ථිර බවය.ඒවා අපට අයත් නොවන බවය.මම යන කිසිවක් ඒ තුල නොමැති බවය.
මේ සුත්‍ර දෙකෙහිම නගන  තර්ක අතර  පුනරුප්පත්තිය හෝ කර්මය ; අප පිළිගන්නා පරිදි පෙර ආත්මයේ පින්වලින් මේ ආත්මයේ සැප විඳීම, කොතැනක හෝ සඳහන් වී නැත්තේය. මේ දෙකෙහි ඇත්තේ මැදි පිළිවෙතට ජීවත්වීම සහ ආසාව අත්හැරීමෙන් සිත නිදහස් කරගැනීම පමණි. ඇත්තෙන්ම මේ ආත්ම වාදය සහ කර්මය බුද්ධ ධර්මය බිහිවීමට පෙර ඉන්දියාවේ තිබූ හින්දු ආගමේ නොයෙකුත් ප්‍රධාන  නිකායන් හය තුලම  පැලපදියම්ව තිබූ අදහසකි. බුදු හාමුදුරුවනුත් එයම දේශනා කලේ නම් බුදුන් වහන්සේට විප්ලවවාදියෙකු ලෙස තම දහම ප්‍රචලිත කරන්නට මෙතරම් බාදක ඇතිවුයේ ඇයි යන ප්‍රශ්නය මතුවෙයි.

හින්දු නිකායයන් හය 
වේදාන්ත 
මිමම්සා 
වයිසේසික 
න්‍යාය 
සාක්‍ය 
යෝග 


 අපගේ මේ කෙටි ජීවිතයේත් අස්ථිර දෑ මේ ජිවිතයෙන් ඔබ්බට ගෙන යන්නේ කෙසේද? මෙම සුත්‍රයන් ගෙන්  අප ගම්‍ය කරගත යුත්තේ කුමක්ද? මට නම් හිතෙන විදිහට අපට මිය ගිය පසු එතනින් එහාට ගෙන යාමට කිසිවක් නොමැති බවය. යාමට කිසිවක් නැත්නම් නැවත ඉපදෙන්නේ කුමක්ද? 
තවත් පැත්තකින් බලන විට  අප කවුරුත් අපගේ පෙර ආත්මයන් වල කවරෙකු ලෙස සිටියේදැයි දන්නේ නැත. එසේනම් ඇත්තෙන්ම නොදැන නැවත ඉපදීමක් සිදුවුවත් එය නැවත ඉපදීමක් නැත්තා හා  සමානයි නොවේද?

Monday, January 15, 2018

ලක්විජයට යෝජනාවක්



 ලක්විජය බලාගාරය වෙතට ගල් අඟුරු ගෙන පැමිණෙන නැව් වලට තමන්ගේ මුහුදේ එලා තිබෙන මාළු දැල් කැපී යන බවට මැසිවිලි නඟන ධීවර ප්‍රජාවක් ගැන තොරතුරක් සන්ඩේ ටයිම්ස් පත්තරයේ කියෙව්වෙමි.ඔවුන් කියා තිබුනේ නාවික හමුදාවෙන් ඔවුනට නැව් එන වෙලාවල් දැන්වුවද එම වෙලාවල් වෙනස් වීම නිසා ඔවුනට දැල් ගලවාගනිමටද කාලයක් නොලැබෙන බවය.

 නැවක  ETA එක (යම් තැනකට පැමිණේ යයි සැලසුම් කරන වේලාව) ක් ලෙහෙසියෙන් වරදින්නේ හෝ වෙනස් වන්නේ  නැත.නැව් පැමිණෙන වාර ගණන 100 ක් වනවිට එකක් දෙකක් වරදින්නට පුළුවන.

එවැනි අවාසනාවන්ත අවස්ථාවකට අහුවුනත් පෙර කි ලෙස දැලක් විනාශ වීම සුළු ධීවරයෙකුට ලෙහෙසියෙන් දරාගත හැකි පාඩුවක් නොවේ. එය ඔහුගේ පවුලේම ආර්ථිකයට තදින්ඒ බලපායි. ඒ  නිසා මෙවැනි කලාතුරකින් වන අලාභ හානියක් හෝ සිදු නොවන්නට මේ දැනුම් දීම් වලට වගකියන්නට බැඳී ඇති ආයතනය සැලසුම් කල යුතුය. ඒ සඳහා ඉතා පහසු ක්‍රමවේද නවීන ,එහෙත් ඉතා මිල අඩු තාක්ෂනය  යොදා ගෙන ක්‍රියාත්මක කල හැක්කේය. ඇත්තෙන්ම මම යෝජනා කරන ක්‍රම වේදයට මුලික ආයෝජනයක්මෙ ඇත්තෙම නැත. මේ  සැලසුම් කිරීම තවත් පහසු කරන කාරණයක් නම් නැවක් ගමනේ යෙදීම ඕනෑවට එපාවට හදිසියේ කරන එකක් නොව බොහෝ සැලසුම් සහගත  කාරණයක් වීමයි.

මෙලෙස නැව් ඉදිරි මාසය තුල ලක්විජය වෙත පැමිණීම පහසුවෙන්ම මේ පිළිබඳව ධිවරයනට දැනුම් දීමේ වගකීම දරන  ආයතනයට ලභාගත හැකිය. එම කාල සටහන  මෙම ධිවර ප්‍රජාව වාසය කරන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් සහ එම සමිති හරහා ධිවරයනට ලභාදීමට පිළිවෙන. දැන් ධීවරයන් ඔවුන්ගේ දැල් ඒ දිනවල ඒ වෙලාවනට එම නැව් පැමිණෙන මාර්ගය හරහා එලීමෙන් වැලකි සිටීමට පුළුවන.

ඊළඟ ප්‍රශ්නය මෙම පැමිණීම වලින් එකක් දෙකක් වෙනස් වන්නට ඉඩ තිබීමයි. එයින් ධිවර ජනයා බේරා ගන්නටද පිලියමක් තිබේ. ඒ එම ප්‍රජාවගේ සියලු සාමාජිකයන්ගේ ජංගම දුරකථන අංක පෙර ආයතනය මඟින් එකතු කර තබා ගැනීමයි. ඒ සියලු අංක කණ්ඩායමක් (group)එකක් ලෙස සංවිධානය කර තබා ගැනීමට පුළුවන. නැවක පැමිණීමෙහි යම් කාල වෙනසක් වන්නේ නම් පහසුවෙන්ම එම වෙනස්වීම පිළිබඳව සැහෙන වෙලාවකට පෙර  දැනගැනීමට ක්‍රමවේදයක් නැව් සමාගම සමග සම්බන්ධීකරණයෙන් වගකීම ඇති  ආයතනයට හැකියාව තිබේ. 

එම තොරතුර ලැබුන වහාම එම වෙනස ඉහත group ඒක තුල SMS මඟින් ප්‍රචාරය කරන්නට පුළුවන. එලා තිබෙන දැලක් වුවත් පැය තුන හතරක් යන විට ආපසු ගන්නට පුළුවන. දෑල විනාශ නොවී ආරක්ෂා කර ගැනීමට ධිවරයනට පුළුවන. ලක්විජය ආයතනයටද මහජන සම්බන්ධතා ගැටලුවට පිලියමක් ලැබේ. යම් අවාසනාවන්ත අවස්තාවක නැවක් ගැටී බෝට්ටුවක් පෙලලුනහොත් ඇති විය හැකි ජිවිත විනාශයක්ද වලක්වා ගත හැකි වන්නේය.

Saturday, January 13, 2018

බිල් ගේට් සංස්කාරක වරයෙකු ලෙසට


  Time සඟරාව 2018 ජනවාරි කලාපය සඳහා  සඟරාවේ සංස්කාරක වරයා වන ලෙසට බිල් ගේට්  ට ආරාධනා කළේය. මා දන්නා පරිදි මේ ලෝකයේ කොහේ හෝ එසේ සිදුවූ පළමු වතාවය. පහලින් පරිවර්තනය කර තිබෙන්නේ එම සඟරාවේ 'සංස්කාරක ගෙන්' පිටුවයි 
"අද ප්‍රවෘති  ඇසීමෙන් හෝ කියවීමෙන් ඔබට ධනාත්මකව හැගිමක්ම ලැබෙන්නේම  නැත. ඇමරිකාවේ පවතින කුනාටු , භයානක විශාල පරිමාණයේ වෙඩි තැබීම්, න්‍යෂ්ටික ආයුධ පිලිබදව ලෝකය පුරා ඇති පීඩාකාරී සිතුවිලි, මියන්මාරයේ ඇති අර්බුදය, සිරියාවේ හා යේමනයේ පවතින කුරිරු සිවිල් යුද්ධ, මේ ව්‍යසන වලින් බලපෑමක් ඇතිවන සියලු දෙනා කෙරෙහි ඔබේ හදවත හඩා වැටේ. මින් ඍජුව බලපෑමක් නොමැති වීමට තරම් වාසනාවන්ත වූ අපටද ලෝකය කඩා වැටෙන  සෙයක් දැනේ.
නමුත් මේ සිදුවීම් - කෙතරම් ඛේදනීය වුවත් ඒවා සිදුවන ගමන්ම ඒවාට  වඩා විශාල වූ ධනාත්මක නැඹුරුතාවයන් අප වටා සිදුවෙමින් පවතී. ඒ නිසා  සමස්ථයක් වශයෙන්, ලෝකය වඩා යහපත් වී ඇත්තේය.
මෙම හැඟීම  තොරතුරු නොදැන ඇතිකරගෙන ඇති  ධනාත්මක සංකල්පයක් නොවේ; මෙය තහවුරු කිරීමට දත්ත තිබේ. තමන්ගේ පස්වන උපන් දිනයට පෙර මිය යන ළමුන් සලකා බලන්න. 1990 සිට මේ දක්වා එම ප්‍රමාණය හැරී අඩක් වී ඇත්තේය. එහි තේරුම ශත වර්ෂ කාලකදී ළමුන් මිලියන 122 ක් ළදරු කල මියාමෙන් බේරි ඇති බවය. එමගින් විශාල පවුල් ප්‍රමාණයක දරුවෙක් අහිමි වීමේ දුක දරාගන්නට වුයේ නැත.
එමෙන්ම එය එක් මිනුම් දණ්ඩක් පමණි. 1990 දී ලොව ජනගහනයෙන් තුනෙන් එකක් අන්ත දුගී ලෙස ජීවත් විය. අද වන විට එම සංඛ්‍යාව දහයෙන් එකක් බවට පත්ව ඇත. ශතවර්ෂයකට පෙර සමලිංගික වීම නීති විරෝධී නොවුයේ රටවල් 20 කය; අද එම රටවල් සංඛ්‍යාව 100 කට වැඩිය. කාන්තාවන් දේශපාලන බලය අත්පත් කර ගන්නා අතර ජාතික පාර්ලිමේන්තුවල පහෙන් එකකට වඩා බලයක් ඔවුන් අත්පත් කරගෙන ඇත. කාන්තාවන් ලිංගික අතවර පිළිබදව කතා කරන විට ඒ පිලිබදව ඇහුම්කන් දීමට සාමාජය පටන් ගෙන ඇත. ලොව ළමුන්ගෙන් 90% කට වැඩියෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබති. එක්සත් ජනපදයේ රැකියාවේදී හෝ මෝටර් රථයේදී මිය යාමට ඇති අවධානම ඔබේ සීයාගේ පරම්පරාවට තිබූ අවධානමට  වඩා ඉතාම අඩුය.
මම මේ කරන්නට ඉතිරි වී ඇති වැඩ කටයුතු අවතක්සේරු කරනවා නොවේ. ධනාත්මකව සිතන අයෙක් වනවා යනු ඔබ ව්‍යසන හා අසාධාරනකම් නොසලකා හරිනවා යන්න නොවේ. එහි තේරුම ඔබ එම අංශ වලින් දියුණුවන මිනිසුන් සොයා ගැනීමට පෙළඹී ඇත්තා සේම  එම දියුණුව පුළුල්ව ව්‍යාප්ත කිරීමට උදව් කරන බවත්ය. මිලියන ගණනක් ළමුන් මියයෑම පිලිබදව ඔබ පුදුමයට පත් වී සිටි  නම් ඔබ ‘ළමුන් බේරාගැනීමට සුදුසු කවුරුන්ද, ඔවුන්ට එය වැඩියෙන් කිරීමට අප උදව් දෙන්නේ කෙසේද? යනාදී ප්‍රශ්න අසනු ඇත. (මෙලින්ඩා හා මම මෙම පදනම පටන් ගැනීමට හේතු වුයේද මෙයමය.)
ලොව තිබුනාට වඩා පහත වැටීමට ලක් වන බව අපට සිතෙන්නේ මන්ද? තරමක් දුරට  එය සිදුවන්නේ  ප්‍රවෘති වල  ස්වාභාවය නිසාය. අයහපත් ප්‍රවුත්ති නාට්‍යාකාරයෙන්  පැමිණෙන අතර යහපත් ප්‍රවෘති පැමිණෙන්නේ කඩින්  කඩය. එමෙන්ම සාමාන්‍යයෙන් යහපත් ප්‍රවුත්ති වලට එතරම් වටිනාකමක් නොලැබේ. ගිනිගෙන ඇති ගොඩනැගිල්ලක් පිළිබද ප්‍රවුත්තියක් රැගත් වීඩියෝවක් බොහෝ දෙනෙක් නරඹන අතර ‘මෙම වසරේ ගිනිගෙන ඇත්තේ ගොඩනැගිලි ස්වල්පයක් පමණි.’ යන තේමාව සහිත ප්‍රවුත්තියක් එලෙස මිනිසුන් නරඹන්නේ නැත. පරිනාමය අප අපව කන්නට එන සතුන්ට බියවීමට පුරුදු කර ඇත.
තවමත් සිදුවන අයහපත් දේවල් සහ ඒවා පිලිබදව අපගේ ඉවසීම අතර වර්ධනය වෙමින් පවතින පරතරයක් ඇත. ගත වූ ශතවර්ෂයන් තුල හිංසනය හා හිංසනය ඉවසීමට ඇති නැඹුරුතාවද පහත වැටී ඇත. එහෙත් අවට පරිසරයේ වැඩි දියුණුවීම් අපගේ අපේක්ෂාවන් අධික වන  තරම්ම වේගයකින් වැඩි නොවන නිසා දේවල් අයහපත් අතකට හැරෙන බවක් අපට දිස් වේ.
එක්තරා ප්‍රමාණයකට, අයහපත් ප්‍රවුත්ති වලට අවධානය ලැබීම හොදය. ලෝකය වැඩි දියුණු වීමට නම් තරහ ගැනීමට යමක් තිබිය යුතුය. නමුත් එය යහපත් දේ වලින් තුලනය විය යුතුය. යහපත් දෑ සිදුවන බව දකින විට තමන්ගේ ශක්තිය තවත් වැඩි දියුණුව සදහා කේන්ද්‍ර ගත  කරගත හැක.

කාලයේ අප මුහුණ දෙන දෑ අතරින්  ඔබ උකහා ගනීවි යැයි මම බලාපොරොත්තු වන්නේ මෙයයි. මම ඉතාමත් ගරු කරන මිනිසුන් කිහිප දෙනෙකුට  ඔවුන් ධනාත්මක බවට පත් කරන දෑ ලියන මෙන් මම ඉල්ලා සිටියෙමි. ඔවුන්ගේ ලිපි කියවීමෙන්  ලොවේ තත්වය පිලිබදව පුදුම හිතෙන දෑ ඔබට ඉගෙන ගන්නට හැකි වේවි. ඒ ලිපි තුල සෑම දිනකම ජිවිත බේරා ගන්නා වීරයන් ඔබට හමුවේවි. එය ලොවෙහි දියුණුව සිදුවන්නේ ඇයි හා කෙසේද යන්න කියාදෙන ඉතාම වේගවත් හා තියුණු පුහුණුවක් වනු ඇත. එයින් ලොව තවත් යහපත් තැනක් කිරීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ලබාගැනීමට හැකි වනු ඇත."                 

Friday, January 12, 2018

ඉන්දියාවේ අධිකරණය සහ රන්ජන් රාමනායක



ඊයේ අසල්වැසි ඉන්දියාවේ මෙතෙක් මා දන්නා හැටියට ලොව කිසිම රටක අධිකරණ පද්ධතියක  සිදු නොවූ දෙයක් සිදුවිය. එහි උපරමාධිකරණයේ විනිසකරුවන් 4 දෙනෙකු එම අධිකරණය පවත්වා ගෙන යන ආකාරය වැරදි බව කියමින් ප්‍රවෘති සාකච්චාවක් පැවැත්වීමයි. එම සාකච්චාවට සහභාගී වූ විනිසකරුවන් අග විනිසුරු ගෙන් පසු ඊළඟට ජේෂ්ට විනිසුරුවන් වීමද මෙහි කැපී පෙනෙන කරුණකි.එන අවුරුද්දේ අග විනිසුරු විශ්‍රාම යාමට නියමිත අතර ඊළඟට අග විනිසුරු වීමට සිටින්නේද මෙතන සිටින විනිසුරු වරයෙක් වීම මෙම සිද්ධියට තවත් වැදගත් කමක් එකතු කළේය.
මෙම විනිසුරු වරුන් කියා සිටියේ අග විනිසුරු වරයා තම හිතු මතයට නොයෙකුත් නඩු සඳහා විනිසකරුවන් නම් කරන බවත් එයින් ඔහුට අවශ්‍ය නඩු තීරණ ලබාගන්නා බවත්ය. මෙහිදී විශේෂයෙන් සාකච්චා වුයේ ලොයා විනිසකරුගේ මරණය පිලිබඳ නඩුවය.
 ලොයා විනිසුරු වරයා භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා සම්බන්ධ  නඩුවක් අසමින් සිටියදී තම මිතුරු විනිසුරු වරයෙකුගේ දරුවකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ස්වභාවික යයි පෙනෙන  අන්දමට  මිය ගියේය. එහෙත් ඔහුගේ මරණය ස්වභාවික මරණයක් නොවූ බවට බොහෝ දෙන සැක පහල කළහ. ඔහුට ඔහු අසමින් සිටි නඩුවේ දේශපාලකයාට වාසි වන පරිදි තීන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා රුපියල් කෝටි 100 ක අල්ලසක් දීමට උත්සාහ කල බව පවුලේ අය ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම මරණය පිලිබඳ සැකය තවත් වැඩි වූ අතර මහරාෂ්ටා හි පත්‍ර කලාවේදියෙකු මෙම මරණය සැක සහිත නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා උපරිමාධිකරණයට අයදුම් පතක් ඉදිරිපත් කළේය.
මෙම ප්‍රශ්නය ඇතිවන්නේ එවිටය. අග විනිසුරු මෙම පරීක්ෂණය කරන්නට නම් කරන්නේ ජෙෂ්ට විනිසුරුවරයන් නොව ඔහුට් අවශ්‍ය ලෙස හිතුමතේට තෝරාගත් විනිසුරු වරයන්ය. මෙතැනදී මෙම මරණය ගැන දැනට මත්  තිබෙන සැකය නිසා අග විනිසුරු වරයාගේ මෙම නම් කිරීම ගැන සැකයක් ඇතිවෙයි. උපරිමාධිකරණයේ ජෙෂ්ට විනිසුරු වරයන් එලියට බහින්නේ මේ අවස්ථාවේය. ඔවුන් කියන්නේ අග විනිසුරු වරයාට නොයෙකුත් නඩු සඳහා විනිසුරුවරයන් පත්කිරීමේ බලය තිබුනද ඔහුට ඒ සඳහා අන්තොමතික බලයක් නොමැති බවය. එලෙසම ඔහු එම අධිකරණයේ විනිසකරුවන් අතර ප්‍රධානයා නොව සමානයන් අතර මුලිකයා බවත් ඔවුහු ප්‍රකාශ කර සිටිති.
මේ සම්බන්ධව දීර්ග සාකච්චාවක් ND TV එකේ මම බැලුවෙමි. මෙම සාකච්චාවේදී ජෙෂ්ට නීතිඥයන් කෙලින්ම මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්චා කල අතර අග විනිසුරුවරයාට විරුද්ධව බොහෝ දෑ ප්‍රකාශ කළහ. එහි ප්‍රකාශ කල බොහෝ දෑ අප රටේ නම් සාකච්චා කිරීමට හිතන්නේ වත් නැති දේවල්ය. අප රටෙහි මෙවැනි දෑ විවෘතව සාකච්චා කිරීමට බොහෝ දෙනෙකු බිය වන්නේ උසාවියට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් විදින්නට සිදුවේ යයි යන බිය නිසාය. දැනටමත් එලෙස ලංකාවේ අධිකරණ පද්ධතිය දුෂිත බව ප්‍රසිද්ධියේ කිවූ නිසා රන්ජන් රාමනායකට උසාවි ගානේ රස්තියාදු වීමට සිදුව තිබේ. SB සිරගත විය.

මට ඊයේ NDTV බලද්දී සිතුනේ ඉන්දියාවේ මෙතරම් ප්‍රසිද්ධ හා  ජෙෂ්ට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කිසිම බයක් නැතිව මෙවැනි කරුණු සාකච්චා කරන්නේ ඉන්දියාවේ උසාවියට අපහාස කිරීමේ නිතිය බලයේ නොමැත්තේද යන්නයි.

අපේ ඉතිහාසයේ හාස්‍ය ජනක අවස්ථා

අපේ මහාවංශයේ පළමුවෙන්ම යම් හාස්‍ය රසයක් ඇති යමක්  කියවන්නට ලැබෙන්නේ දුටු ගැමුණු රජුගේ අවසාන මොහොතේය. ඒ ඔහු ලෙඩ ඇඳේ රුවන්වැලි සෑය අසල සිටින විට පිරිත් කියන ඒක නවත්වන්නැයි සඟුනට කරන සංඥාවයි.
"සංඝයා පිරිත් කියන්නට පටන් ගත් අතර දෙවියන් රජු දිව්‍ය ලෝකයට ගෙනයාම සදහා දිව්‍ය රථ හයක් එතනට එවූ බව සදහන් වේ. එක් එක් රථවල සිටි දෙවිවරු, “රජතුමනි සිත් කලු වූ අපගේ දිව්‍ය ලෝකයට එනු මැනවැයි,“ රජුට ආරාධනා කල බව පැවසේ. රජු දෙවියන්ට මොහොතක් සිටින ලෙස අතින් සංඥා කල විට පිරිත් කීම නැවැත්වීමට යැයි සිතූ සංඝයා පිරිත් නැවැත්වූහ. රජු එසේ පිරිත් කීම නැවැත්තුවේ ඇයිදැයි හේතු විමසූ විට නවත්වන්නට කී නිසා නැවැත්වූ බව සංඝයා කීහ. ඉන්පසු රජු එසේ නොවන බවත් ඔහු සංඥා කලේ දෙවියන්ට බවත් පැවසීය. එතන සිටි පිරිස් ,
 “මරණ බයින් තැතිගෙන සිටින රජු නන්දොඩවන්නේ“ යැයි සිතූහ.

ඔවුන්ගේ සැක දුරු කරනු පිණිස රජු විසින් මල්මාලය බැගින්  දිව්‍ය රථ වල  එල්ලීමට අන කරන ලද අතර මල් මාලා රථවල එල්ලෙන හෙයින් ජනයාගේ සැක තුරන් වූ බව පැවසේ. ඔහු එතැන සිටි අභය නම් භික්ෂුව ගෙන් වඩාත්ම හොඳ දිව්‍ය ලෝකය කුමක්දැයි අසා තුසිත දිව්‍ය ලෝකයට යාමට තීරණය කලේය."

මෙලෙස රැස්ව සිටි ජනතාව සිතු ආකාරය සහ මහාවංශය කතෘ එය දුටු ආකාරයේ යම් හාස්‍යක් ඇත්තේය.
 ඉන් අවුරුදු 200 කට පමණ පසු අප ඉතිහාසයේ සිදුවූ අග්‍රගන්‍ය හාස්‍ය ජනක සිදුවීම සිදුවෙයි. ඒ හෑ සමාන සිදුවීමක්  මනුෂ්‍ය ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක සිදුවී නොමැති විය යුතුය. ඒ යසලාලක සිද්ධියයි. මෑත කාලයේ සයිමන් නවගත්තේගම විසින් වෙනත් අරුතක් දී වේදිකා නාට්‍යක් බවට පත්කරන ලද මෙම කතාව සහ ඉන්පසුව ශුභ රජුට සිදුවන දෑ ඒ හෑ සමානම හාස්‍ය ජනකය. 


"එම රජුගේ බාල සහෝදරයා යසලාලක තිස්ස, තිසා වැවේ ජල ක්‍රීඩා උත්සවයකදී රජු මරා, රජය ලබා ගත්තේය.
දත්ත නැමැති දොරටුපාලකයෙකුගේ පුතෙකු වූ සුභ නැමැති දොරටු පාලකයෙකු රජු හා පෙනුමෙන් බොහෝ සමාන විය. විහිලුවට කැමති වූ යසලාලක තිස්ස රජු ඉඳහිට එම දොරටු පාලකයාගේ නිල ඇඳුම් තමා ඇඳගෙන, දොරටුපාලකයාට තම ඇඳුම් අන්දවා සිංහාසනයේ හිදුවා රාජ්‍ය නිලධාරීන් රජුට ගෞරව කරන විට, ඔවුනට අවඥ්ඥා සහගත ලෙස සිනහවීමට පුරුදුව සිටියේය. එක් දිනෙක සුභ සිංහාසනයේ වාඩි වී සිටියදී යසලාලක තිස්ස දොරටුපාල ලෙස රඟපාමින් රාජ්‍ය නිලධාරීන් ඉඳිරියේ සිනහසුන විට, අවස්ථාව පාවිච්චි කර රජ වීමට කල්පනා කල  සුභ රාජපුරුෂයන්ට දොරටුපාල ලෙස ඇඳ පැළඳ  සිටි රජු මරා දැමීමට අණ කලේය. රජු මරා දැමුනු අතර සුභ රජවිය.
අවුරුදු 6 ක් රාජ්‍ය කල සුභ පහත කර්මාන්ත කලේය.
o   අභයගිරිය සහ මහා විහාරයේ සුභරාජ නැමැති කුටි පේලි.
o   උරුවෙල වල්ලි විහාරය.
o   අනුරාධපුරයට නැගෙනහිරින් ඊකඩවර විහාරය.
o   මහවැලි ගඟේ මෝය කට අසල නන්දිගාමක විහාරය.
මේ කාලයේ නැකැත් කියන්නෙකු,
“වසභ නැමැත්තෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රජු වන්නේය.“ යැයි අනාවැකියක් කී හෙයින් රජු වසභ නම් , නම් ඇති සියලු දෙනා මරා දමන්නට නියෝග කලේය. ලම්බකර්ණ කුලයට අයත් රජුගේ හමුදාපතිගේ නිවසේ වසභ නැමැති ඔහුගේ බෑණනුවෙක්  සේවය කලේය. එක් දිනක උදයේ සෙන්පතියා
මේ වසභත් අප රජුට බාරදිය යුතුය
යැයි බිරිඳ සමග සාකච්ඡා කර වසභ සමග රාජය සේවයට ගියේය. ඔහුගේ බිරිඳ වසභ බේරා ගැනීමට සිතා  සෙනෙවියාගේ  බුලත් මල්ලට  හුනු  නොදමා දුන්නාය. රජ මාලිගයේ  දොරටුව අසලදී හුණු නැති බව දුටු සෙන්පතියා, හුණු ගෙන ඒමට වසභ ආපසු  නිවසට යැව්වේය. ඔහු නිවසට පැමිණි විට සෙන්පතියගේ බිරිඳ ඔහුට සියලු රහස්  පවසා කහවනු 1000 ක්ද දී පලායන ලෙසට උපදෙස් දුන්නාය.
 ඔහු වහා පලා  ගොස් මහා විහාරයට පැමිණ  එයින්ද උදව් ලැබ කැරැල්ලක් පටන් ගත්තේය. ඔහු ගමින් ගමට ගොස් අවසානයේ රුහුනේදී හමුදාවක් ගොඩනගා ගෙන අවුරුදු 2 කින් පසු ආපසු අනුරාධපුරයට පැමිණ  සුභරාජ යුද්ධයෙන් පරාජය කර රජවිය. ඔහුගේ මාමා වූ සෙන්පති, සටනේදී මියගිය අතර ඔටුනු පැලදීමෙන් පසුව වසභ රජ පෙරදී තමන්ගේ ජීවිතය බේරු  පොත්ත නම් වූ ඒ මාමාගේ බිරිඳ, මහරැජිනිය ලෙස පත්කර ගත්තේය."...........
තව කොටසක් පසුව 




Wednesday, January 10, 2018

අපේ ගමනාගමන පද්ධතිය විනාඩි දහයකින්






අපේ නිවසට පහලින් පෙනෙන පාර ගුන්නෑපාන සහ යක්ගහපිටිය පැත්තේ සිට මහනුවරට වාහන ධාවනය වන ප්‍රධාන මාර්ගයකි. එය කුණ්ඩසාලේ තල්වත්ත ප්‍රධාන මාර්ගයේ තරමටම වාහන යන්නේ නැති වුවද ලේවැල්ලේ ධර්මාශෝක මාවත පළල කිරීම නිසා කුණ්ඩසාලේ සිට නුවරට ; විශේෂයෙන් නගරයේ  උතුරට යන වාහන වල, වඩාත් ප්‍රිය වූ මාර්ගයක් බවට පත්වෙමින් තිබේ.

මම අද උදේ නැගිට කිරි කෝපි එකත් පානය කරමින් මිදුලේ ඇවිදින විට හන්දිය ඇස ගැටුණු විට පොඩි සමීක්ෂණයක් කිරීමට සිත්විය. පැනකුත් පරණ ඩයරියකුත් රැගෙන වෙලාව බලා සටහන් කර ගත්තෙමි; 0722, පහත ආකාරයට මහනුවර පැත්තට යන වාහන පමණක් ලකුණු කිරීමට පටන් ගත්තෙමි. 0732 , විනාඩි දහයක් වනවිට, සමීක්ෂණය නවත්වා විශ්ලේෂණය කලෙමි.

 වාහන වර්ගය                   ගණන    දල මගින් ගණන මුලු ගණන ප්‍රතිශතය %

 බස්                                      02               50                100            27  
ත්‍රි විලර්                                 45               02                90              24 
සැහැල්ලු වාහන                    33                03               99              26 
මෝටර් බයිසිකල්                 57                 1.5              85              23 
මුලු ගණන                                                                   374 

මේ අනුව මේ නියැදියේ ; මෙය ඉතාම සාමාන්‍ය නියැදියකි, විනාඩි 10ක් තුල මහනුවර දෙසට ගිය සම්පුර්ණ මගින්  ගණන වූ  374න් අපට අපගේ ප්‍රවාහන පද්ධතිය ගැන බොහෝ දේවල් කියවන්නට පුළුවන. ඒවායින් ප්‍රධාන කරුණු පහත පරිදිය.

1. අප රටේ පොදු ප්‍රවාහන පද්ධතිය පාවිච්චි කරන්නේ මුලු මගීන්ගෙන් 27 %ක් පමණි.

2.සැහැල්ලු වාහන වලින් වැඩට යන ප්‍රමාණය ද ඒ තරම්ම ; 26% පමණ වෙයි.

3. කුලී වාහන වල වැඩට/ පාසල්  යන ප්‍රමාණයද 24%ක් වෙයි. මෙම ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් අයිති කරුවන්ගේ දරුවන් පාසල් ගෙන යනවා විය හැක . එම ප්‍රමාණය එවිට ඉහත 2 ට එකතු විය යුතුය.

4.මෝටර් සයිකල් වලින් වැඩට/පාසලට යන ප්‍රමාණයද සැලකිය යුතු ගණනකි. එය 23%ක් පමණ වෙයි.

5. උදයට ගමන් කරන මගීන්ගෙන් 73 %  ක් පොදු  මගී ප්‍රවාහන පද්ධතියේ ගමන් නොකරන රටක් දුප්පත් රටක් කිව හැකිද? එසේ නැත්නම් මිට වෙනත් හේතු තිබේද.

මෙහි එකම වැරැද්ද විය හැක්කේ 0722 වන විට පාසල් වැන් මෙතනින් ගොස් අවසාන වී තිබීමයි.මක්නිසාද ඒවා පාසල් කිහිපයකට යා යුතු නිසා කලින් නගරයට යා යුතු නිසාය.

මම ඊයෙ (17/01/18) හවස ඇවිදීමෙන් පසුව නැවත මෙම ගණනය කිරීම අනික් පැත්තට කරන්නට සිතුවෙමි.මෙවර් මා ගනනය කලේ මහනුවර නගරයේ සිට අනික් පැත්තට ; පිටතට,යන ඒවාය. ගණන් කලේ 1806 සිට 1816 දක්වාය.
ප්‍රමාණයන් පහත පරිදි විය.

                            ගණන         මගින් ගණන             ප්‍රතිශතය 
ත්‍රි විලර්                    18                 54                          32 %

යතුරු පැදි                 41                 60                          35%

සැහැල්ලු වාහන         19                 57                          33%

බස්                             0  

මේ අනුව හවස් වන විට පොදු ප්‍රවාහන සේවය නැත්තටම නැති වන තත්වයක් පෙනේ. දල වශයෙන් 1/3 බැගින් කාර් , යතුරු පැදි  සහ ත්‍රි විලර් වල නිවෙස් බලා යන බව පෙනේ. 

Sunday, January 7, 2018

කස්ත්‍රෝ ගේ රාත්‍රී ආහාරය. සම්පුර්ණ කතාව

                  Image result for arthur miller

පහත ලියවිල්ල ඇමෙරිකාවේ විසිවන සියවසේ ප්‍රබල  නාට්‍ය කරුවෙකු සහ ලේඛකයෙකු වන ආතර් මිලර් විසින් කියුබාව ගැන ලියන ලද ලියවිල්ලකි. මම මේ දිනවල කියුබාව පිලිබඳ විස්තර හොයද්දි දුටු මෙම ලියවිල්ල කියවා බොහෝ රසවින්දේ එහි ඇති විස්තර නිසා පමණක නොව ලියා ඇති ශෛලිය ද නිසාය. වාමාංශික  අදහස් දැරූ ඇමෙරිකානු සාහිත්‍ය කරුවෙකු  වන මිලර්   හතලිස් ගණන් වල ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සාහිත්‍ය කරුවන්ගේ අංශයේ සාමාජිකයෙකුද විය. ඔහු විසින් ලියන ලද death of a salesman විසිවන සියවසේ හොඳම ඇමෙරිකානු නාට්‍ය අතර කෙටි ලයිස්තුවටද ඇතුළු විය.


"අනෙක් බොහෝ දෙනෙකු මෙන්ම පසුගිය දශක කිහිපයේ මගේ කියුබාව ගැන තිබූ අදහස් මිශ්‍ර ඒවාය. ප්‍රවෘති වාර්තා හැරුණු කොට මට  කියුබාව ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනේ එහි චිත්‍රපට සදන්නට ගිය  අයගෙනි. එය මාෆියා ක්‍රීඩා පිටියක්, සහ ඇමෙරිකානු සහ වෙනත් විදේශිකයනට ගණිකා මඩමක් වී ඇති අතිශයින් දුෂිත සමාජයක් බව මෙලෙස අසන්නට ලැබුණු තොරතුරුය.

මේ නිසා කස්ත්‍රෝ කුණාටුවක් මෙන් එහි බලය අල්ලා ගැනීම හරියට පිරිසිදු සුළඟක් එරට සමාජයේ යැංකි ඩොලරයට ඇති වී තිබූ කාලකන්නි වහල් බාවය ඉවත් කළේය. දුම අවසන් වූ පසු අපට දක්නට ලැබුනේ සම්පුර්ණයෙන් වෙනස් තත්වයකි. මම ඔහුගේ විප්ලවයට හේතු වූ කරුණු සිතේ තබාගෙන එදෙස බැලුවද ඔහුගේ එක මිනිසෙකුගේ පාලනය මගේ ඔහු වෙත ඇති ගෞරවය ක්‍රමයෙන් අඩුකරයි. අනික් පැත්තෙන් එක්සත් ජනපදය කියුබාවට දමා ඇති සම්භාධක ද ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම වලට නොගැලපෙන බව මට සිතේ.

මෙම පරස්පරයන් සියල්ලට මුල කස්ත්‍රෝය. ඇත්තෙන්ම කියුබාව යනු ඔහුය. එහෙත් 2000 වසරේදී මට සහ මගේ බිරිඳ වන ඡායාරුප ශිල්පී ඉන්ගේ මොරත්ට කියුබාවට යන සංස්කෘතික කණ්ඩායමකට එකතු වන ලෙසට ආරාධනාවක් ලැබුණු විට අප කස්ත්‍රෝ මුණගැසීමට බලාපොරොත්තු නොවුන අතර අප සිතුවේ අපට කියුබාව බලාගැනීමට පුළුවන් වන බවය.

නමුත් අප එහි ගිය ගමන්ම නම දෙනෙකුගෙන් යුත් අපේ කුඩා කණ්ඩායමට පසු දින රාත්‍රී භෝජනයකට ආරාධනා කිරීමටත්  එමෙන්ම තවත් දිනක අප රට ඇතුලේ දහවල් ආහාර ගනිමින් සිටියදී එතනට නොකියා පැමිණ රාති භෝජනයේදී පටන්ගත් සාකච්චාව අවසන් කරන්නටත්  ඔහු පසුබට වුයේ නැත.

ඒ කාලය වනවිට; 2000 මාර්තු මාසය වනවිට, කියුබාවේ අනාගතය ඒ රට ගැන සිතන බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් විය. අප කණ්ඩායමත් ඒ බොහෝ දෙනාට අයත් විය. මම සහ මඟේ බිරිඳ හැරුණු විට අප කණ්ඩායමේ සිටියේ, නිව්යෝක් කෞතුකාගාරයේ හිටපු ප්‍රධානියා සහ මානුෂික අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරිනියක් වන ඔහුගේ බිරිඳ, නවකතා කරු විලියම් ස්ටයිරෝන් සහ ඔහුගේ බිරිඳ, පොත් ඒජන්ත වරයෙකු සහ ඔහුගේ බිරිඳ සහ  ඇමසෝන් සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මුදල් සොයන්නෙකුය. නගරයේ ඇවිදීමටත් සමහරවිට කතුවරුන් කිහිප දෙනෙකු මුණගැහිමටත් බලාපොරොත්තුවෙන් සිටි අපට එදින රාත්‍රියේම රාත්‍රී භෝජනය සඳහා ඔහුත් සමග එකතුවීමට කස්ත්‍රෝ ගෙන් ලැබුණු ආරාධනය පුදුමය ගෙන දුන්නේය. කස්ත්‍රෝ ගේ මිතුරෙකු සහ උදව් කරන්නෙකු සහ බිල් ස්ටයිරෝන් ගේ මිතුරෙකු වූ ගේබ්‍රියල් ගාර්සියා මෙම ආරාධනයට හේතුව වී ඇති බව පසුව අපට පැහැදිලි විය. අනෙක් අපේ කණ්ඩායමේ අය මෙන්ම මමත් කස්ත්‍රෝ පිළිබඳව කුතුහලයෙන් සිටි මුත් ලොකු බලාපොරොත්තු තබාගෙන සිටියේ නැත.

අන්තර්ජාතික PEN සංගමයේ සභාපතිවරයා ලෙසට මම සෝවියට් සහ නැගෙනහිර යුරෝපයේ රාජ්‍ය නායකයන්ගේ කලා කටයුතු වල සහභාගී වීම් ගැන ඇති අත්දැකීම් අනුව මෙවැනි  සාකච්චා වලදී  ඔවුන් කියන හාස්‍යජනක සහ මෝඩ අදහස් වලට  එකඟ බව පෙන්වා  නිශ්ශබ්දව ඔලුව වැනිම හැර වෙන කරන්නට දෙයක් නොමැති බව මම දැනගෙන සිටියෙමි. ප්‍රජාතන්තවාදී නොවන ආකාරයෙන් පත්වන රාජ්‍ය නායකයන් සහ සගයන්  විරුද්ධ අදහස් වලට ඉතාමත් සංවේදී බවත් ඔවුන් සමග ගතකරන කාලය ඉතාමත් පුහු බවත්  මම දැනගෙන සිටියෙමි. එහෙත් මෙකල වන විට කස්ත්‍රෝ ජන ප්‍රවාද ගත කෙනෙකු වීම නිසාම ඔහු සමග පැයක් හෝ දෙකක් ගතකිරීමට අපි උනන්දුවක් දැක්වුයෙමු.

මම රාත්‍රී භෝජනයට පෙර හවානා හිදී  දුටු සිද්ධි කිහිපයක් ගැන කියන්නට කැමැත්තෙමි. නගරය නම් එය මුලින් ගොඩ නැගුණු වැලි, කළුගල් සහ ගස් වලට ආපසු ගමන ආරම්භ කර ඇති සැටියකි. ජනයාගේ දුප්පත්කම පැහැදිලිය. එහෙත් ඒ සමගම ඔවුන් අතර යම් ජීවයක් ඉතිරි වී ඇති සැටියකි. ඔවුන් කොතරම් දුප්පත් වුවත් පොහොසතුන් සහ දුප්පතුන් එකට ජිවත්වන නගරයක දුප්පතුන්ගේ මුහුණුවල ඇති දරුණු බලාපොරොත්තු කඩවීමේ සේයා ඔවුන්ගේ මුහුණුවල නැත.  නමුත් මේ සියල්ල බාහිර පෙනුමෙනි. එම කරුණෙහි යම් වටිනාකමක් තිබුනද එය සියල්ලම නොවේ. මට පුද්ගලිකව කතා කරන්නට ලැබුණු මාර්ගෝපදේශකයෙක් කිවේ - පිළිතුරු ලබාදුන්නේ නම් ස්වේච්චාවෙන් නොවන බව කිව යුතුය - කියුබාවේ එක රස්සාවකින් ජීවත්වීම නම් කල නොහැකි බවය.
ඉහලට ඉගෙනගත් හොඳ විනයක්ද ඇති ඔහු තරහින් පුපුරමින් කිවේ ඔහු වැඩකරන රජයේ සංචාරක සමාගම විදේශීය සංචාරකයන්ගෙන් විශාල මුදලක් අය කරගෙන ඔහුට ඉතා කුඩා මුදලක් ගෙවන බවයි, මේ සුරාකෑම් නොවන්නේ නම් සුරාකෑම යනු කුමක්දැයි ඔහුට තේරෙන්නේ නැත.
නමුත් මේ අසන්තෝෂයට තවත් පැත්තක් තිබේ. මම අප නැවතී සිටි පෞරාණික අලංකාර සැන්ටා ඉසබෙල් හෝටලය අසල ඇවිද වරායට දිවෙන පළල මලිකොන් පාරේ සැහැල්ලු ඒ නිසාම ප්‍රසන්න වාහන ගමනාගමනය දෙස උද්‍යානයේ බංකුවක ඉඳගෙන බලාසිටියෙමි. දෙදෙනෙකු මගේ බංකුවේ පැත්තක බර කතා බහක යෙදෙමින් ඉඳ ගත්හ. දෙදෙනාම ඉතාමත් කෙසඟ සිරුරුවලින් යුක්ත, රැවුල නොකැපු, ඉරුණු කොලර සහිත කමිස ඇඳ, සිටි පුද්ගලයන් වූ අතර මේස් නොමැතිව කැඩුණු පාවහන් පැළඳ සිටියහ. සිගරට් උරමින් බංකුව උඩ කකුල් තබා දනිස් ඉහලට එන්නට ඉඳගෙන ඔවුන් කතා කරමින් සිටි ආකාරය මට නිව්යෝක්, පැරිස්, ලන්ඩන් වැනි නගර වල වීදි ජනයා සිහි කළේය. එක්වරම ටැක්සියක් පදික වේදිකාව අසල නවතා ඉතා පියකරු කාන්තාවක් එයින් බැස්සාය.
ඇගේ අත්වල කටටම පිරුණු  දුඹුරු කඩදහි බඩු මලු දෙකක් තිබුණි. අර මිනිසුන් දෙදෙනා කතාව නවත්වා ඇය දෙස ආසාවෙන් බලාසිටියහ. ඇය ඉතාමත් පියකරු බවද ඒ වාගේම හොඳින් ඇඳ පැළඳ සිටිනා බවත් මෙම නිර්ධන පංති වටපිටාවේ පැළඳ සිටි අඩි උස සපත්තු නිසා ඇය තවත් කැපී පෙනෙන බව මම දුටිමි. ඇය අත තිබූ එක මල්ලකින් ටියුලිප් මලක් එහි දිග නැට්ටත් සමග  බිමට වැටුණි. කාන්තාව මලු නොවට්ටා පර්ස් එක ඇර ගැනීමට උත්සාහ කලාය. ටියුලිප් මල මේ අතර නැට්ටෙන් කැඩී වෙන්වීමට බොහෝ ආසන්න බව පෙනුනි. බංකුවේ සිටි එක මිනිසෙකු එතනට ගොස් එක මල්ලක් ගත්තේය. අනිකා අනික් මල්ල නොවැටී තබා ගැනීමට උදව් කළේය. ඔවුන් මලු උදුරාගෙන දුවන්නට ලැහැස්ති වන්නේ දැයි සැකයක් මට ඇතිවිය.

කාන්තාව රියදුරුට මුදල් ගෙවා ආපසු බෑග් ගන්නා තුරු එක පුද්ගලයෙකු ටියුලිප් මල ඉතාමත් ප්‍රවේශමෙන් අල්ලා ගෙන ඇයගේ වැඩ අවසන් වූ පසු එය ඇයට ආපසු දුන්නේය. ඇය ඔවුනට ස්තුති කලාය - එහෙත් ඉතාමත් උණුසුමෙන් නොවේ,   එතරම් මිත්‍රශීලි නොවන ආකාරයටය. මිනිසුන් දෙදෙනා ආපසු බංකුවට පැමිණ තමන්ගේ කතාව පටන් ගත්හ. මට මේ ගනුදෙනුවෙහි යම් විශිෂ්ටත්වය ක් පෙනුනි. ඒ, එම දුප්පත් මිනිසුන් දෙදෙනා පෙන්වූ පිරිමිකම නිසාය,  ඒ අතරම කාන්තාව ඔවුන් කල දේ ලොකු දෙයක් නොවන බවත් එය තමන්ගේ අයිතියක් බවත් එහි කිසිම විශේෂ දෙයක් නොමැති බව  පෙන්වා සිටීමේ  අසාමානත්වය නිසාය. ඇය පොහොසත් කාන්තාවක් බව පෙනෙන්නට තිබුනද ඔවුනට කීයක් හෝ දීමට උත්සාහ කළේ වත් ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වූ බවක් වත් පෙනෙන්නට තිබුනේ නැත.

අවුරුදු ගණනක් කියුබානු රජය ලේඛකයන් සහ විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීම් සහ සිරකිරීම් වලට විරෝධය පැ මා , පද්ධති ගත ආර්ථික කඩාවැටීම සහ වෙනත් බොහෝ කරුණු මධ්‍යයේ වුවද  අපට සතුටු විය හැකි මානුෂික සහෝදරත්වයක් ගොඩ නැගී ඇත්තේ දැයි මට සිතින. මේ සමහරවිට  සමාජය පුරා සමබර ලෙස විහිදී යන දරිද්‍රතාවය සහ එයින් කෙනෙකුට රටින් පැනයාමෙන් හැරෙන්නට ඔලුව ඉහලට එසවීමට ඇති නොහැකියාව නිසා විය හැක්කේය.
දුප්පත්කම නම් ඛේදනියය. මෙම වරායට යන ප්‍රධාන පාරේ විදුලි සංඥා රතු වර්ණයට හැරුණු විට තරුණ ගැහැණු සහ ගැටිස්සියන් දුසිමක් පමණ කොහේ සිට පැමිණෙන්නේ දැයි හිතා ගන්නටත් බැරි ආකාරයෙන් වාහන වලට පැමිණෙති. ඔවුන් වයිවාරන්න ලෙස ඇඳ  පැළඳ හෝ ආලේපිත යොදා නැත. මම අපේ රියදුරාගෙන් ඔවුන් කුමක් කරන්නේදැයි ඇසුවිට ඔහු කිවේ ඔවුන් නොමිලේ වාහනවල යාමට එසේ පැමිණෙන බවය. නමුත් ඔහු එසේ  කියනවිට මගේ මුණ දෙස නොබලා කෙලින් ඉදිරිය බලා සිටියේ එම විෂය මීට වඩා සාකච්චා කිරීමට ඔහු නොකැමැති බව පෙන්වීමටය. මෙවැනි හැසිරීම් සෝවියට් කාලයේ තහනම් කර තිබුනේ එක්කෝ එකල ආර්ථිකය එතරම් වැටි නොතිබුණු නිසා හෝ එසේත් නැත්නම්  සෝවියට් ශුද්ධවන්ත බාවය නිසා වෙන්නට පුළුවන. එහෙත් දැන් දරුණු බඩගින්නෙන් එන බලපෑම නවත්තා ගත නොහැක.

මම කුරුසයේ ගැසීම HIV? Aids හා සමාන කල ඉතා අලංකාර නාට්‍යයක් නැටුම් පාසලකදී නැරඹුවෙමි. පිටත  තන පිටියේ එම තරුණ සහ ජවවත් සිසුන් මහත් උනන්දුවෙන්  මගෙන් අසන්නට බලාපොරොත්තුව සිටියේ බ්‍රෝඩ්වේ ගැනය.වර්තමානයේ බ්‍රෝඩ්වේ ශාලාවල් සම්පුර්ණයෙන්ම පාහේ විනෝදාශ්වාදයට පමණක් යොමුවී ඇති නිසා වේදිකා නාට්‍ය බ්‍රෝඩ්වේහි ඉතාමත් අඩුවෙන්  වේදිකා ගතවන බව මා කීවිට ඔවුන්ගේ මුහුණු අඳුරු වූ අතර ඒ අසතුටු දනවන ප්‍රවෘතිය අසන්නටවත් ඔවුන් කැමති නොවුහ.

කස්ත්‍රෝ ගේ රාත්‍රී භෝජනයට එම මන්දිරයට ඇතුළු වන විටම මගේ බිරිඳට ඇයගේ කැමරාව බාරදීමට සිදුවිය. ගොඩනැගිල්ල ප්‍රාග් කස්ත්‍රෝ යුගයට අයත් ඉහලින්ම සුඛෝපබෝගී ඉතාම හොඳින් නඩත්තුකර පවත්වාගෙන එන දිලිසෙන කළුගල් බිත්ති සහ කොටු බෙදන ලද බිමකින් යුක්ත විය. අපි ඇතුල්වුන පිටත ශාලාව එක දොරකින් කෙලින්ම ආහාර ශාලාවට ඇතුළු වුන අතර එක්වරම අපට එහිදී කස්ත්‍රෝ මුණගැසුණි. ඔහු ඇඳ සිටියේ ඔහුගේ සාමාන්‍ය හමුදා ඇඳුම වෙනුවට නිල් සිහින් ඉරි සහිත සුට් එකකි. එය මැද තිබුනේ නැති වුවත් එය නිතර අඳින එකක් නොවන බව නම් පෙනුණි.

ඔහු විප්ලවකරුවෙකු නොවුනා නම් නළුවෙකු වෙන්නට ඉඩ තිබුන බව මට එවේලේ සිතුනි. ඔහුට නළුවෙකු වෙන්නට අවශ්‍ය, තමන් සම්පුර්ණයෙන්ම යමක එල්බ සිටීමේ හැකියාව, අනුන්ගේ ආදරයේ සහ අනුමැතියේ  අවශ්‍යතාවය සහ සියලු දෙනාගේ අනුමැතියෙන් ලැබෙන බලයට ඇති කෑදරකම යන   සියල්ල තිබුණි. මේ ශාලාවේ, සාමාන්‍යයෙන් සියලු නායකයන්ට සිටින, ඔහු කියන සියලු දෙයට එකඟ වන ඔහුට සම්පුර්ණයෙන්ම ඇහුම්කන් දෙන පරිවාරයක්ද සිටියහ. ඔහු වෙන කුමන රැකියාව කලත් ඔහුට චිත්‍රපට ලෝකයේ නම් පහසුවෙන්ම රැකියාවක් ලබාගැනීමට පුළුවන.

අපේ ජෙෂ්ට ගොපලුවා වූ ලුවර්ස් අපේ කණ්ඩායම කස්ත්‍රෝට හඳුන්වා දුන් පසු ගැබෝ වචන කිහිපය බැගින් එකතු කළේය. අප අතර සිටි බොහෝ උසින් අඩු ගාර්සියා මාර්කොයිස් හැරෙන්නට අප අතර සිට පිරිමි සියලු දෙන අඩි හයකට වඩා උස පුද්ගලයන් වුහ. ඔහු පංතියේ නවක ශිෂ්‍යයකු වාගේ අප සහ කස්ත්‍රෝ අතරට වී කතා කළේය. ඔහු සහ ස්ට්යිරෝන් අතර මිතුදම සහ ඔහුගේ ඉංග්‍රීසි භාෂා  හැකියාව සතුටු සාමිචියට හොඳ පටන්ගැන්මක් දුන්නේය. එක්වරම කස්ත්‍රෝ මා දෙස එක්වරම බලා “ඔබගේ වයස කියද?” යනුවෙන් ඇසිය.
“ඔක්තෝබර් 17 1915.” මම පිළිතුරු දුන්නේ මම ඒ ප්‍රශ්නයෙන් පුදුමයට පත්වූ බව නොපෙන්නන්නට   උත්සාහ කරමිනි.

ඔහු ඔහුගේ දිග දබරගිල්ල ඔහුගේ නළලේ දකුණු කෙලවරට දිගු කරගෙන සිටියේය. සියල්ල නිශ්ශබ්ද විය. ඔහුගේ මුහුණේ ගැඹුරු සිතිවිල්ලක ලකුණු තැන්පත් විය. මට ඕනෑවට වඩා රඟ පෑමක් සිතට ආවද මොහොතකින් සර්වන්ටේ ගේ දිව්‍ය  ලෝකයෙන් මඟ පෙන්වන ලද බැල්ම, දිරාගිය රැවුල, දෙපසට නැමුණු ඇස් බැම, සහිත දුඛ්කිත සාන්තුවරයාගේ චිත්‍රය මතකයට නැගින. දැන් කස්ත්‍රෝ  තම ඇඟිල්ල අවවාදාත්මක අයුරින් ඉහලට ඔසවයි.
“ඔබ මට වඩා අවුරුදු 11 කුත් මාස 5 කුත් දවස් 14 කුත් වයසින් වැඩිය”  කීවේය. ශුභපැතුමාත්මක සිනහවෙන් ශාලාව පිරි ගියේය. මෙහි දරුවකුගේ ගණන් කිරීමේ හැකියාව ප්‍රදර්ශනාත්මකව පෙන්නීමේ උවමනාව සහ  කණ්ඩායමක තමන් වෙත ගෞරවය ලබාගැනීමේ උවමනාව මනාව පිළිඹිබු විය. ඔහුගේ හෙමින්ග්වේට ඇති ගෞරවය මට මතක් විය. ඔහුද මෙවැනිම අවශ්‍යතාවයක් තිබූ තව තරුවකි. ඔවුන් දෙදෙනාගේ එකිනෙකා මෙතරම් අගය කිරීමට හේතුව කුමක් දැයි සිතාගැනීම එතරම් අපහසු නැත.

දැන් ඔහු ඇස් නපුරු කරගෙන වෙන්ඩි ලුටර්ස් දෙස බැලිය. ඇය දහවල් අප රජයෙන් දුන් මිනි බසයෙන් බස්සවා ගෙන ටැක්සි වල දමා ගෙන රජයට විරුද්ධ වාදී අදහස් දරන්නෙකු හා එම අදහස් ලියා බෙදාහැරිම නිසා කිහිපවරක් සිරබත් කෑ එලිසාර්දෝ සන්චියාස් ගේ නිවසට රැගෙන ගියාය. ඔහු දැනට පෙනෙන හැටියට රජයේ බලපෑමක් නොමැතිව සිටියි. ඔහුගේ නිවාස පටිගත කිරීමේ උපකරණ සවිකර ඇති බව දන්නා නිසා ඔහු කොහොමටවත් තමන්ට කියන්න ඕනෑ දෙය කියයි. අපි මෙසේ පැමිණියේ රහසිගතව යැයි අපි සිතා සිටියද අප එලියට එනවිට අපගේ ඡායාරුප ගත් රුපවාහිනි කැමරා කරු දුටුවිට අපේ වාහන මාරුකිරීමේ කිසිම ප්‍රයෝජනයක් වී නැති බව අපි දැනගතිමු.

දැන් වෙන්ඩි දෙසට හැරෙමින් ඉදිරියට නැමුණු කස්ත්‍රෝ “අපිට දැනගන්නට ලැබුන අද දවල් ඔබලා ටික වෙලාවකට නැති වුනා කියල, ඔබලා සාප්පු සවාරියක ගියාද?” අපේ සිනහවට එකතුවීමට පෙර කෝපය මුසුවූ ඇණුම් සලකුණක් ඔහුගේ මුහුණේ එක්වරම සලකුණු වී නැතිව ගියේය. අපි රාත්‍රී ආහාරයට ගියෙමු.

ඊයේ අපර භාගයේ; ලේඛකයන්ගේ වෘතිය සමිතිය හරහා විය යුතුය, ලේඛකයන් 50 ක් හා පමණ සාකච්චාවක් පිළියෙළ කර තිබිණ. මුලින් සංවිධායකයන් බලාපොරොත්තුව සිටියේ දුසිම් දෙක තුනක් පමණක් වුවත් පසුව හිතුවාට වැඩි ප්‍රමාණයක් පැමිණි නිසා ඔවුනට ලොකු ශාලාවක් සොයා ගැනීමට සිදුවිය. එතරම් ලොකු සභාගිවන්නන් ප්‍රමාණයකට එම සභාව අජීවී සහ අමුතු නිශ්ශබ්දතාවයකින් යුක්ත බව අපි දුටුවෙමු. මගේ සිහියට ආවේ 1950 කාලයේ ඇමෙරිකාවේ මෙවැනි රැස්වීම් වල FBI ආයතනය විසින් රැස්වීම පටිගත කරනවාදැයි තිබූ බියයි.

මගේ සහ ස්ටයිරෝන් ගේ පොත් ගැන සභාවට අවබෝධයක් තිබේ දැයි සැක සහිත නිසා අපි දෙදෙනා අපේ පොත් හා නාට්‍ය ගැන කෙටි විස්තරයක් කර ප්‍රශ්න තිබේ දැයි ඇසුවෙමු. එක මිනිසෙකු නැගිට “ඔබලා මෙහි පැමිණීමට හේතුව කුමක්ද?” යනුවෙන් ඇසිය.
මෙම සරල ප්‍රශ්නය මගේ සිතිවිලි දශක ගණනකට පෙර නැගෙනහිර යුරෝපයට ගෙන ගියේය; එහිද එකල මෙවැනි රැස්වීමක දේශපාලන අරමුණක් නොමැති බව ඔවුනට සිතාගන්නට නොහැකි විය. මට සහ ස්ටයිරෝන්ට පිළිතුරක් තිබුනේ නැත. අප කියුබාව ගැන කුතුහලයක් ඇති බවද කියුබාව ලෝකයෙන් කොන්  වී සිටීමට විරුද්ධ බවද ඒ නිසා කෙටි සංචාරයක් අපට යමක් කියාදෙන්නට පුළුවන් නිසාත් මෙහි පැමිණි බව මම අවසානයේ කීවෙමි. “නමුත් ඔබේ පණිවුඩය කුමක්ද?” ඔහු අසා සිටියේය.
ඇත්තෙන්ම අපට එවැන්නක් තිබුනේ නැත. අපි එය පිළිගැනීමට ලැජ්ජා වුවෙමු. එහෙත් අපි අවසානයේ  වෙන් වී එනවිට ඔවුන් සියලු දෙන පැමිණ අපට අතට අත දී යම් සහෝදරත්වයක් ප්‍රකාශ කළහ; අඩු තරමින් මම එසේ සිතුවෙමි. නමුත් සමහරෙකුගෙන් පෙනුනේ සැකයයි. කෙලින්ම පෙනුනේ නැති වුවද ඔවුන් අප ඔවුන්ගේ කොන් වීම අවසන් කරන්නට යම් පණිවුඩයක් ගෙන නොපැමිණීම  පිළිබඳව ඔවුන් තරහෙන් පසුවන බව මට සිතුනි. නමුත් දැන් ආපසු කස්ත්‍රෝ සමග රාත්‍රී භෝජනයට...

එහි අග්‍රගනයේ  ඉස්සන් සහ විශිෂ්ට ඌරු මස් තිබුණි. කියුබානුවෝ ඌරු මස් වලට ප්‍රසිද්ධය. ( කස්ත්‍රෝ කෑවේ කොළ පමණි, ඔහු අමරණීයව  ජීවත්වන්නට සිතා සිටිනවා විය හැක.) අපේ කණ්ඩායම කියුබානු රජයේ ඇමත්වරුන් සහ කස්ත්‍රෝ ගේ මිතුරන්  සමග කවලමේ ඉඳ ගත්තෙමු. මෙයින් කිහිප දෙනෙකු කාන්තාවන් විය. ස්ටයිරෝන් ඉඳ ගත්තේ  කස්ත්‍රෝ සහ ඔහුගේ එසැනින් පරිවර්තනය කරන කාන්තාව අසලය. ඇය අවුරුදු 25 ක් කස්ත්‍රෝ ළඟ වැඩකරන ඉතා දක්ෂ පරිවර්ථිකාවක් වුවාය. මේසය වටා සරසා තිබුනේ ප්ලාස්ටික් කැලයකිනි, සමහරවිට ඒ ඔවුන්ගේ විප්ලවය පැන නැගුනු වනය සිහිකරන්නට විය හැක.
මෙතන සිදුවන්නේ කතා බහක් නොව කස්ත්‍රෝ ගේ සිතේ මතුවන නොයෙකුත් අදහස් වලට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි පෙන්නා දීම බව ටිකකින් අපට වැටහුණි. එදින එම මාතෘකා බොහොමයක් මට අමතක වී ඇතිමුත් කස්ත්‍රෝ වරෙක රුසියානුවන්ගේ මෝඩ ආඩම්බරකම් ඔවුන් කතාකරන ආකාරය අනුකරණය කරමින් පෙන්වා දුන්නා  මතකය. ඔහුගේ රුසියානුවන්ට විරුද්ධව තිබූ ලොකුම තරහ ලෙස පෙනුනේ ඔවුන් සදාතනික විප්ලව වාදීන් සේ නොසිටීම බව පෙනුනි. නමුත් පසුදින කස්ත්‍රෝ සමග  දීර්ඝ පුද්ගලික සාකච්චාවක යෙදුනු ලුයර්ස් කිවේ ඔහු රුසියාවත් සමග මේතරම්  කෝපයෙන් කතා කරනුයේ ඔවුන් ලතින් ඇමෙරිකාවේ අනික් රටවලට විප්ලවය ගෙන යාමට උදව් නොකිරීම නිසා බවය.

රුසියානුවෝ ඇමෙරිකාව සමග ප්‍රශ්න ඇතිකර ගැනීමට අකමැති වූ අතර එසේ සිතීම කස්ත්‍රෝට අනුව ඉතාමත් අවිප්ලවකාරිය. කෑම මේසයේදී  CIA ආයතනය විසින් ඔහු ඝාතනය කරන්නට උත්සාහ කල නොයෙකුත් උත්සාහයන් පිළිබඳව ඇණුම් පද කිහිපයක් කීවද ඔහු ඒවායින්  කෝපවිමට වඩා විනෝදයක් ලබන බව පෙනුනෙ බොහෝවිට ඒවායින් අවසානයේ  ඇමෙරිකානුවන්ටම  ලැජ්ජා වෙන්නට සිදුවීම නිසා විය හැක. ඔහු ඇමෙරිකාව ගැන කතාකරන විට එයට විරුද්ධව යම් ආඩම්බරකාරී විශ්වාසයක් ඇතිවී ඇති බව පෙනේ. ඒක හරියට කියුබාව සුපිරි බලවතා ද ඇමෙරිකාව ඉඳ හිට එය දෙසට ගලක් විසිකරන දඩබ්බර ළමයෙකු ලෙසද වාගේ හැඟීමක් බව පෙනුනි. කෙසේ වුවද ඔහු එක නිවසේ එක දිනකට වඩා නිදා නොගන්නා බවද ඔහුගේ පුද්ගලික ගමන් දන්නේ ඉතා කිහිප දෙනෙකුට බවද කියනු ලැබේ. මගේ බිරිඳගේ ඡායාරුප පොතක් ඔහුට පෙන්වූ පසු ඇගේ කැමරාව ගෙන්වා කෑම වෙලාවේම ඇයට එය ආපසු ලබාදෙන්නට ඔහු ක්‍රියා කළේය. ඉන්පසු ඉතිරි රාත්‍රියේ ඇගේ ඡායාරුප ගැනීම ගැන ඔහුගේ විරුද්ධත්වයක් තිබුනේ නැත.

අපි රාත්‍රී 9:30 ට ඉඳගත් අතර 11:30 වනවිට මම නිදා වැටුනෙමි. මේ අතර කස්ත්‍රෝ ගතවන සැම මොහොතක් පාසාම නව ජවයක් ලබාගෙන මුලු රාත්‍රියම නොනිදා සිටින්නට ප්‍රිය කලේ ඔහු මුලු දහවලම නිදා ගන්නා නිසාය. මෙලෙස නිදි කිරා වැටුනේ මා පමණක් නොවේ, ඔහුගේ පරිවාරයද; ඔහුගේ මෙම කතා නොයෙක් වාරයක් අසා ඇත්තන්ට කිසිම සැකයක් නැත, අවදියෙන් සිටින්නට බොහෝ උත්සාහ කරනු මම දැක්කෙමි. වෙලාව 12:30 විය, ඊළඟට 1:30 වනු ඇත. කස්ත්‍රෝ ඔහුගේ විශේෂ විටමින් පෙති වලින් (ඔහු මේවා මල්ල බැගින් පසුව අපටද දුන්නේය.) තවත් ජවය වැඩිකර ගනිමින් සිටියේය. ගර්සියා  මාර්කස් නින්දෙන් වුවද පුටුවේ කෙලින් ඉඳ ගෙන ඉන්නවා දුටිමි. කස්ත්‍රෝ දැන් ඔහුගේ කතා බලවත්  උනන්දුවකින් කරගෙන ගියේය. යම් විද්‍යාත්මක සොයාගැනීමක් හෝ කෙනෙකුගේ යම් අදහසක්  ගැන ඔහු කතා කලේ එය මුල්වරට ලොවට ප්‍රකාශ කරන අන්දමටය, නමුත් ඒ අතර තමා විෂය කර විහිලු සහ  යම් හාස්‍යක්ද  නොතිබුනා නොවේ. තමා වටා පුළුවන් තරම් අවකාශයක් පාලනය කිරීමට මෙන් ඔහු දිගින් දිගටම කතාව කරගෙන ගියේය. අවුරුදු 50 කටත් වැඩි කාලයක් නොකඩවා රාජ්‍යක් පාලනය කල; නවීන කාලයේ කිසිම රජෙකුට හෝ ජනාධිපතිවරයෙකුට වඩා, කෙනෙකුගෙන් මිට වඩා වෙනසක් බලාපොරොත්තු විය හැකිද?.

මෙලෙස අවසානයක් නැති පාලනයකින් මොහු බලයට පැමිණීමෙන් පසුව ඉපදුනු පරම්පරාවන්ට මොහුගේ පාලනයෙන් කුමන ආකාරයේ බලපෑමක් ඇතිවන්නට ඇද්ද? මම කියුබානු  ලේකඛයන් සමග කතාකරද්දී මේ ගැන ඔවුන්ගෙන් ඇසුවෙමි. කස්ත්‍රෝ ගෙන් පසු කවුරු හෝ කුමක් බලයට පැමිණි පසු රට කුමන දිශාවට ගමන් කරනු ඇත්තේ දැයි ඔවුන්ගෙන් ඇසුවෙමි. සභාවේ අසීරුව අපට දැනුණු අතර කිසිවෙකු පිළිතුරක් දෙන්නට එඩිතර වුයේ නැත. සභාව අවසානයේ විසිර යනවිට කෙනෙක් මා වෙත පැමිණ “එකම විසඳුම ජිවවිද්‍යාත්මකයි” කියා යන්නට ගියේය.

පාන්දර දෙක පමණ වනවිට මේ ‘සතුටේ මිනිස් එන්ජිම’ අප උදැසන දක්වා අවදියෙන් තබාගැනීමට බලාපොරොත්තු වන බව මට සිතුනි. නිඳා ගැනීමට තිබූ බලවත් ඕනෑකම නිසාම මම වැඩිදුර කල්පනා කරන්නෙත් නැතිව අත උස්සා “ජනාධිපති තුමනි, මට සමාවෙන්න, ඔබට මතක ඇති අපි මෙතනට එද්දී ඔබ කිව්වා මම ඔබට වඩා අවුරුදු 11යි මාස පහයි දවස් 14 ක් වයසින් වැඩියි කියල” ඔහුගේ මුහුණේ පුදුමය සහ එක්වරම බාධා කිරීම නිසා සමහරවිට සුළු තරහක් පෙනුණු නිසා මම නැවැත්තුවෙමි. “දැන් ඒ දවස් ගණන 15 යි”
ඔහු අත් ඉහලට විසි කළේය. “මම සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා” සිනහවෙමින් කී ඔහු භෝජනය අවසන් කර නැගිට්ටේය. අපේ කණ්ඩායම ශාලාවෙන් එලියට යනවිට කෘතවේදී කස්ත්‍රෝ ගේ පරිවාරය අත්පොලසන් නැඟුහ.

ඊළඟ දවසේ අප රට ඇතුලේ අක්කර සිය ගණනක වන වගා කර තිබූ නැවත වන වගා ආයතනයේ මුලස්ථාන කාර්යාලයේ මිදුලේ දහවල් ආහාර ගනිමින් සිටියෙමු. වාතය පිරිසිදු වූ අතර නිශ්ශබ්දතාවය ප්‍රසන්න විය. එක්වරම බර එන්ජින් ශබ්දයක් සහිතව ලොකු දුවිලි වලාකුලක් මැදින් නවීන පන්නයේ මර්සිඩීස් බෙන්ස් තුනක් පැමිණ අප අසල නතර කළහ. මැද රථයෙන් හමුදා ඇඳුමක් ඇඳ සිටි කස්ත්‍රෝ බැස්සේය. අපේ පිළිගැනීමෙන් පසු ඔහු එතන පුටුවක් ඇද හිඳ ගත්තේය.

අද අවධානයේ කේන්ද්‍රය වුයේ නවකතා කරු ස්ටයිරෝන්ය. කස්ත්‍රෝ ඇමෙරිකාවේ හොඳම නවකතාකරුවන් කවුදැයි විමසා සිටියේය. ඔහුට අවශ්‍ය 19 වන සියවසේ ගත් කතුවරුන් බවත් ඒ අපෙන් විසි වන සිය වසේ නම් ඇසුවොත් අපද අයත්වන නිසා නම් කීමේදී යම් තරඟකාරීත්වයක් ඇතිවිය හැකි බවයි කියා ඔහු සිනාසුනේය.
ඔහු කිසිමදාක ඇමෙරිකානු සාහිත්‍ය ඉගෙන ගෙන නොමැති බවත් ඒ පිලිබඳ දැනීම ඉතා මඳ බවත් ඔහු කීවේය. හෙමින්ග්වේට කියුබාවේ ඇති ස්ථානය; ඔහුගේ නිවාස එහි ශුද්ධවූ ස්ථානයක් බඳුය, දෙස බැලූ විට මෙම ප්‍රකාශය තරමක් නොගැලපෙන බව සිතේ. ඇත්තෙන්ම කස්ත්‍රෝට ඔහුගේ සතුරාට සාහිත්‍යක් හෝ අධ්‍යාත්මික ජිවිතයක් තිබෙන බවක් පිළිගන්නට බැරි කමක් ඇද්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මේ කස්ත්‍රෝ ගේ ඔහු තදින් විවේචනය කරන ඇමෙරිකානු සාහිත්‍ය පිලිබඳ කිසිම දැනුමක් නැති කාරණය පිලිබඳ කිසිත් නොදැන සිටි  ස්ටයිරෝන් කස්ත්‍රෝට අමෙර්කානු සාහිතයේ විශිෂ්ට අවස්ථාවන් කිහිපයක් පිළිබඳව කෙටි දේශනයක් කරන්නට උත්සාහ කළේය. කස්ත්‍රෝ ඇත්තෙන්ම අපේ රට ගැන එතරම් නොදැන සිටින ආකාරයෙන්ම තමන්ගේ රට ගැනත් නොදන්නේ දැයි මට සිතුනි.
කෙනෙකු සදාතනිකව තොරතුරු වලින් පොහොසත් ඥානය, බලය සඳහා හේතුවක් ලෙස කීවද තමන් වටා ඇතිවී ඇති දරිද්‍රතාවය දකින ඕනෑම නුවණැති නායකයෙකු; නිදහස් ඡන්දයකින් නැවත පහසුවෙන්ම පත්විය හැකි නායකයෙකු වුවද, අවුරුදු 50ක පුර්ණ පාලනයකින් පසුව  අලුත් අදහස් ඇති නව පාලකයන් කණ්ඩායමකට බලය දී ඉවත් වීමට සිතිය යුතු නේදැයි මට සිතුනි.
ඔහු දහවල් ආහාර ගන්නවා බලා සිටිනවිට; ඔහු කෑවේ සලාද කොළ දෙකක් පමණි, පෙනුනේ එන්ට එන්ටම අපහසුවන, මිනිසුන් සමග නැවුම් සම්බන්ධතා ඇතිකර ගන්නට උත්සාහ කරන වයස්ගත හුදකලා මිනිසෙකි. ඔහු ක්‍රියාකාරී ලෙස තව අවුරුදු 10 ක්, එසේ නැත්නම් ඔහුගේ දෙමව්පියන් ලෙසට තවත් ටිකක් වැඩිපුර, ජීවත්වන්නට පුළුවන. තම ජනතාවගේ කෘතගුණය යද ලැබෙන ඔහු බලයෙන්  ගෞරවාන්විතව පිට වීම වලක්වාලන්නේ කුමක්දැයි මම කල්පනා කලෙමි.
බල කාමය? සමහරවිට. ඔහුගේ ඉතිහාසය බැලුවිට, බොහෝවිට එය “පීඩිතයනි   නැගිටිව්” කියා තමන් නායකත්වය දෙන ලෝක විප්ලවයක් සඳහා වූ කාව්‍යමය අදහස විය හැක්කේය. ඇත්තෙන්ම කුඩා දිවයිනක ප්‍රධානියා වුවද  ඔහු මිලියන ගණනාවක ජනතාවගේ මනසේ එවැනි ප්‍රතිරූපයක් නංවා ඇත්තේය. එම ප්‍රතිරූපය වර්තමානයේ තවත් බලගතු වී ඇත්තේ ලතින් ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ තත්වය තවත් දරුණු වී ඇති නිසාත්   ඔහුට සිටි තරඟ කරුවන් සියලු දෙන මියගොස් ඇති නිසාය. එලෙසම ඒ රටවල්   නැවත වරක් පිපිරීමට බලා සිටින  නිසාය. වරෙක ඔහු රටේ මෙතරම දරිද්‍රතාවයක් තිබියදීම කියුබානු හමුදා ලොව පුරා රටවල විප්ලව සඳහා උදව් කිරීමට යැව්වේ ඔහුගේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ දැන් කඩා වැටි ඇති සෝවියට් රුසියාවේ බලවත් අකමැත්තද නොතකාය.
අවුරුදු 50 ක් බලයේ සිටීමෙන් පසුවත් ඔහු කාලයට නොගැලපෙන;  අලංකාර පෞරාණික එහෙත් වෙලාව වැරදියට පෙන්වන  සහ නිවසම අවුල් කරමින් මධ්‍යම රාත්‍රියේ  හිතෙන වෙලාවට වදින ඔරලෝසුවක් වැනි, තත්වයකට පත් නොවෙන්නේයැයි බලාපොරොත්තු වීම ඇත්තෙන්ම අසාධාරණය. ඔහුගේ සියලු උත්සාහයන් මධ්‍යයේ වූවද අවසානයේ මේ පීඩිත විප්ලවය සමාන කල හැකි වන්නේ වර්තමානයේ ඇති වී ඇති නවීනත්වයට  විරුද්ධ ඉස්ලාමිය රැල්ලට පමණි. ඇත්තෙන්ම මාක්ස්වාදීන්ට අනුව එය මධ්‍යතන යුගයෙන් එන සිහිනයක පාවෙන අදහස්ය.
අපත් සමග ඔහු සොයන්නේ යම් මනුෂ්‍ය සම්බන්ධයක් බව පෙනේ. ඔහු ගේ දක්ෂතාවයන්ගෙන් හෝ කියුබානුවන්ගේ ජවය සහ හැකියාවන්ගෙනුත් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි සේ ඔහුගේ කෙළවරක් නැති පාලනය කියුබාව නමැති වෘක්ෂය බාහිර මුලිකාංග වලින් ආරක්ෂා කරන ගමන්ම ගසේ ස්වභාවික වර්ධනයේ හුස්ම හිර කරමින්, ඒ අතරම තමන්ගේ හුස්මද හිරකර ගනිමින්, වැවෙන වැලක් වී ඇති බව පෙනේ. න්‍යායන් පැත්තක තිබ්බද ඔහු තමන්ට සාර්ථකත්වය ලබාදුන් ඔහුගේ දේශපාලන අදහස්; ඒවාගේ කිසියම්ම  සත්‍යයක් නොතිබුණද, වල  සිහිනයේ තවමත් ජිවත්වන බව පෙනේ. මෙයට හොඳම උදාහරණය ඔහු ගොර්බචෝෆ් ගේ සෝවියට් රුසියාව ගලවා දැමීම අනවශ්‍ය වැරදීමක් ලෙස තවමත් කියා සිටීමයි.
කෙටියෙන් කියන්නේ නම් සෝවියට් රුසියාව කඩා වැටීමට හේතුවක්  ඒ ක්‍රමවේදය ඇතුලේ  පිටතින් බලනවිට පෙනෙන්නට නැත්තේය. එලෙස කස්ත්‍රෝ ගේ කියුබාවේද මේ තරම්; කස්ත්‍රෝ ගේ පැහැදිලි කිරීමට අනුව, දරිද්‍රතාවයක් ඇතිවන්නට හේතුවක් නැත්තේය. ඔහුගේ ඒ සඳහා පැහැදිලි කිරීම ඇමෙරිකානු සම්භාධක සහ රුසියාව ඔවුන් අතහැර දැමීමයි. එය දොන් ක්විසොට් දැනටමත් පොලවට පස් වී ඇති සුළං කුලුනකට පහර දෙනවා වැනිය.
අප නැවතී සිටි සන්ටා ඉසබෙල් හෝටලයට ඉදිරිපස ඇති ප්ලාසා එකේ පොත් සාප්පු 15/20 ක ඉදිරිපස පොත් රාක්ක වල පරණ මාක්ස් -ලෙනින් පොත් විකිනීමට තබා තිබේ. දවස පුරා කිසිම වෙනසක් නොවන ඒ පොත් තොග සේවකයෝ උදයේ එළියෙන් තබා හවස අයින් කරති. රජයේ යම් කෙනෙකු, සමහරවිට කස්ත්‍රෝම විය හැක,  මේ වෙනත් යුගයකින් එන අයිතිහාසික භාණ්ඩ කියවීම කෙසේ වෙතත් මිලදී ගන්නට පෙළඹ වෙනු ඇතැයි සිතනවා විය හැක.
මේ සියල්ල මෙලෙස පවතින්නේ කෙසේද? කෙනෙකු සිතන්නට පුළුවන. ඒ කියුබානුවන්; ක්‍රමයට කැමති සහ විරුද්ධ සියල්ලන්ගේ, දේශප්‍රේමයද? එසේ නැත්නම් ඇමෙරිකානු දේශපාලකයන්ගේ සම්බාධක නිසා ජනතාව අධිරාජ්‍යවාදිනට විරුද්ධ වීමට පොළඹවා  කස්ත්‍රෝට රටේ අතවශ්‍ය වෙනස්කම් නොකර සිටීමට ලැබී ඇති රක්ෂණයද? ඇත්තෙන්ම මෙම සම්භාධක ඔහුගේ රජයේ සෑම අසමර්ථ කමක්ම වසා ගන්නට හේතුව ලෙස පෙන්නා දෙන්නට ඔහුට  හැකියාව ලැබී තිබේ. මෙම කිසිම හේතුවක් හෝ  අවශ්‍යතාවයක්  නොමැතිව දුක් විඳින ජනතාව ගැන නව කරුණාබර ශෝකයන් පැහැදිලි කරන්නට ඇත්තෙන්ම අලුත් සර්වන්ටේ වරුන් අවශ්‍ය වවන කාලයයි"

3 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 3

අල්ලපු වත්තේ වැඩ කරමින් සිටි ආච්චි පසුව මගේ බිරිඳ සමග කතාවට වැටුනාය. ඇය කියා සිටියේ එතන සිටින දරුවන් දෙගොල්ලකගේ මවුවරුන් මැද පෙරදිග වැ...