Sunday, December 17, 2017

මුත්තයියා මුරලිදරන්





1955 උපන් ශ්‍රීමත් ඉයන් බොතම් ලෝකයේ ඇතිවූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රිකට්  ක්‍රීඩකයකු ලෙස සැලකේ. ඉක්මනින්ම ලකුණු 1000 ට සහ කඩුලු  100 ට ප්‍රවිෂ්ට වූ ඔහු තරඟයක තීරණය වෙනස් කල හැකි ක්‍රීඩකයෙකු ලෙස එකල ප්‍රකට විය 
ඔහු දක්ෂ පාපන්දු හා  ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන අතර දඩයම සහ ක්‍රීඩාවට මාළු අල්ලිමටද ප්‍රසිද්ධය. ක්‍රිකට් විචාරකයෙකු ලෙසද ජනප්‍රිය වූ ඔහු  මාළු ඇල්ලීම පිළිබඳවද රුපවාහිනි වැඩසටහන් පෙළක් ද  කර ඇත.
මට ලඟකදී ඔහු ලියු පොතක් කියවන්නට ලබුණි. ඒ ඔහු විසින් ඔහු හොඳින් දන්නා ඔහුගේ ක්‍රිකට් ජිවිතයට යම් ලෙසකින් සම්බන්ධ වූ පුද්ගලයන් 100 ක් පිලිබඳවය. එහි සිටින  බොහොමයක් දෙනා ක්‍රිකට් ක්‍රීඩකයන් වුවත් මේ අතර නෙල්සන් මැන්ඩෙලා වැන්නන් ද සිටියි. ඒ ඔහු කිහිපවරක් බොතම් මුණගැසී බෝතම්ගේ සිතේ විශේෂ මතකයක් තැබූ පුද්ගලයකු සහ ක්‍රීඩා වලට ඇති ලැදියාව නිසාය.
මම පොත් අතට ගත් සැටියේම ; ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු අනිවාර්යයෙන්ම කරන,  ඒ 100 අතර ලංකාවෙන් සිටින්නේ කවුදැයි පරික්ෂාකර බැලුවෙමි. ඒ අතර ලාංකිකයන් සිටින්නේ එක පුද්ගලයෙකු පමණකැයි දැක කනගාටුවට පත්වීමි.
මම හිතුවේ අඩු තරමින් ලාංකිකයන් පස්  දෙනෙකු වත් මේ 100 අතර සිටිය යුතු යයි කියාය. එහෙත් අපේ ජනගහනයේ ප්‍රමාණයත් අපි ක්‍රිකට් වලට ඇතුළු වූ කාලයත් සලකා බලන විට මෙය අප ලොකුවට කනගාටු විය යුතු කරුනකුත් නොවේ.
මේ කරුණ පැත්තක තැබුවිට අනෙක් දේ වලින් නම් පොත බොතම් ගේ  ක්‍රිකට් ජීවිතය මෙන්ම රසවත්ය. ඉතාමත් ලස්සනට ලියා තිබේ.අනවශ්‍ය වැල්වටාරම් නොමැතිව මහත් හාසයකින් යුක්තව ලියන ලද කෙටි විස්තර 100 පිටු 432 ක් පුරා විහිදී තිබේ.
මේ එහි මුරලි ගැන ලියා ඇති කෙටි  විස්තරයයි.

"මේ පෘතුවිය මත මුත්තයියා මුරලිදරන් ට වඩා සතුටින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයකු සිටීද? එසේ සිටින්නේ නම් ඔහු මට තවම මුණ ගැසී නැත.ක්‍රීඩාව විඳීම මගේ  මහේ ක්‍රිකට් දිවියේද  ප්‍රධාන අංගයකි,එහෙත් මුරලි  ගේ ජිවිතයේ ඔහු පන්දු යැවීමට  ඇලුම් කරනවා පමණක් නොව, එයට ඇබ්බැහි වී ඇති සැටියකි.

වෙරළේ, දැලේ හෝ මහත් පීඩනයක් යටතේ  ක්‍රීඩාකරන ටෙස්ට් තරඟයකදී හෝ  ඔහුට අවශ්‍ය ක්‍රීඩා කරන්නටය, පන්දු යැවීමටය, ඔහු අතේ බෝලයක් නැත්නම් ඔහු ඇඳුම් නැතුව ඉන්නවාක් සේ ඔහුට දැනෙනවා ලෙසිනි.

ඔහු තණනිල්ල ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් පසු බිහිවූ වැඩියෙන්ම බෝලය කරකවන්න වීමේ අරුමයක්  නැත්තේය.මම නම් දැක ඇති හොඳම ඇඟිලි වලින් බෝලය කරකවන්නා  ඔහුය. එහෙත් මයික් අතර්ටන් කියන්නේ ඔහුට මැණික් කටු සන්ධි දෙකක් ඇති නිසා ඔහු ඇත්තෙන්ම මැණික් කටු කරකවන්නකු මිස ඇඟිලි වලින් බෝලය කරකවන්නකු නොවන බවයි.

ඔහුගේ ක්‍රිකට් ජිවිතයේ මුල් කාලයේ ඔහු බෝලය දමා ගැසීමට චෝදනා ලැබුවේය. එහෙත් මම නම් හිතන්නේ ඒවා ක්‍රිකට් විනිසකරුවන් තමනට යම් ප්‍රසිද්ධියක් ලබාගන්නට කල ළමා වැඩ හැටියටය. වරෙක එංගලන්තයද මෙයින් ප්‍රයෝජනයක් ගත්තේ තමන්ගේ පන්දු යවන්නන්   ගේ නොහැකියාව වසා ගන්නටය.

 මට නම් දැනෙන විදිහට මුරලිට  විදුරු මේසයක් මත හෝ බෝලය කරකැවිය හැකි එමෙන්ම කවදා හෝ ටෙස්ට් තරඟ ඉතිහාසයේ වැඩිම කදුළු ගණනක් ලබාගත් ක්‍රීඩකයා විය හැකි කඩුලු  තොග ගන්නේ ලබා ගන්නෙකි. 2000/2001 දකුණු අප්‍රිකා තරඟාවලියේදී ඔහු කඩුලු  300 ට පැමිණි  අතර ඔබ ඊළඟ පිටුවට යාමට පෙර ඔහු 400 ලබා ගැනීම ගැන මට නම්  කිසිම සැකයක් නැත්තේය.
මුරලි ගිය සැම තැනකම ලෝකයේ හොඳම පිති කරුවන්ට ප්‍රශ්න ඇති කරයි.පිට සිට ඇතුලට කරකවමින්, අනික් පැත්තෙන් වමතින් වේග  පන්දු යවන චනින්ද වාස් ගේ පා සටහන් මතට පන්දුව පතිත කරමින්,එය අනුමාන කල නොහැකි බවුන්ස් එකක් සහ පෙනෙන නොපෙනෙන වේග වෙනස් කම් වලින්  දකුණත් පිතිකරුවන්ගේ වෙතට හරවමින් ඔහු පිති කරුවන් විනාශ කරයි. කෝණය වැරදියට අනුමාන කළහොත් පන්දුව කෙලින්ම කඩුල්ලට යයි, ඕනෑවට වඩා සමබර කර ඉදිරියට ගියහොත් පිතිකරු පිත්ත ඇතුලතින් උඩ  පන්දුවක් දෙයි; මෘදු අත් දෙකකින් පිත්ත හැසුරුවේ නැත්නම් පිත්තේ වැදුණු බෝලය අල්ලා ගන්නට පිට පැත්තේ රකින්නන් තිදෙනෙකු බලා සිටිති.

අනික් වචන වලින් කියනවා නම් ඔබේ පිති හරඹයේ කුඩා හෝ දුර්වල කමක් තිබේ නම් එය මුරලි ප්‍රයෝජනයට ගන්නවාට කිසිදු  සැකයක් නැත්තේය.1998 දී  එක තරඟයකදී කදුළු 16 ක් ගනිමින් ශ්‍රී ලංකාවට එංගලන්තයේදී පළමු ටෙස්ට් ජය රැගෙන දුන් තරඟය මම දැක ඇති හොඳම හෙමින් පන්දු යැවීමේ ප්‍රදර්ශනයකි. ඔහුගේ පන්දු යැවීමේ බලපෑම මොටකර තරඟය දිනාගැනීමට අනෙක් කණ්ඩායම් සැලසුම් කිරීමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු ප්‍රහාරය  මත ඔහුගේ ඇති බලපෑම පෙන්වයි.

මේ සියල්ලටම වඩා මම විනෝදයක් ලබන්නේ ඔහු බෝලය නිදහස් කරන විට ඔහුගේ පිම්බි ඇති ඇස්දෙක දෙස බැලීමෙනි. ඊළඟට ඔබ ඔහු ක්‍රීඩා කරන තරඟයක් නරඹන විට ඔහු බෝලය නිදහස් කරන විට රුපවාහිනියේ විශාලකර පෙන්වන ඔහු ගේ ඇස්දෙක දෙස බලන්න - ඔහු කොතරම් එයට අවධානය යොදවනවාද යත් ඔහුගේ ඇස්දෙක ඇස කබලෙන් එලියට එන්නට බලන බව සිතෙයි. මෙයට කිට්ටුවෙන් වත් යන ඇස්දෙකක්  තිබෙන්නේ කොමඩියන් මාටි  ෆෙල්ඩ්මන් ටය.

නමුත් මුරලිගේ  ඇස්දෙක එලියට පනින්නට යනවා සේ පෙනෙන්නෙ නම් ඒ සන්සිද්දියම ඔහු ක්‍රීඩා කරන බලා සිටින නරඹන්නන්ට ද  සිදුවේ. ඔහු ලැන්කෂයර් ප්‍රාන්තයට මුලින්ම ක්‍රීඩා කරන අවදියේ, ඔහු පන්දු යවන විට  ප්‍රදේශයේ බිමහල වල පුටු හිස් වුයේ නත්තල් කාලයට කඩවල ළමා  මේස් අවසාන වනවාටද වඩා වේගයෙනි. ඉන්පසු  ඔහු පන්දු යවා අවසන්  වන තෙක් ඔවුන් පිටියේ පුටු වලින් සෙලවුනේ වත් නැත.

ඒ නරඹන්නන් හොඳ තීරකයන් වෙති . ඔවුහු ඔහු පිති හරඹයට ආ  විටද පුටු වලින් හෙලවෙන්නේ වත් නැත. මුරලිගේ පිති හරඹය  හරියටම  පරණ අංක 11 පිතිකරුවෙකු හා  සමානය. පුහු ආටෝප නැත, තමන්ට ලං වීමට හැකි යයි සිතන සැම දෙයකටක පහර දෙයි. එය පවතින තාක් සියලු දෙනාට එයින්  සතුටක් ගෙනදෙයි, එහෙත් එයින්  වැඩියෙන්ම විනෝදයක් ලබන්නේ මුරලිමය. 

මේ කරුණ මම මුලින් කතාකල ඔහුගේ සිනහවක් සහිතව ක්‍රීඩා කිරීමට ගෙන යයි. ඒ ඔහුට එතරම් ඉර්ෂයාකාර විවේචන පැමිණෙද්දී ත්  ඔහු කඩා වැටුනේ  නැත, එහි වටිනාකම තවත් වැඩි වුයේ  ඔහු මෙතරම් විනොදාශ්වාදයක් ලබන ක්‍රිකට් ඇත හැරත්  ඔහුට කලක්  ඉන්නට පුළුවන් බව පෙන්වීමය.

ඔහුගේ උපන් බිම වන මහනුවර ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය වන ලකී ලෑන්ඩ් බිස්කට කර්මාන්තශාලාව පිහිටා තිබේ.එය ගොඩ නගා ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ පදිංචි වූ ඔහුගේ පියා විසිනි. මුරලිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුයේ නැත්නම් බිස්කට් කුවේරයෙකු ලෙස කස්ටඩ් ක්‍රීම් සමග සතුටින් ජිවත් වන්නට පුළුවන් කම තිබිණ.

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී   ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයකු විය.නමුත් ඔහුට ඕනෑ වුයේ ටෙස්ට් ක්‍රීඩාවේ වැඩියෙන්ම කඩුලු ගත්  ක්‍රීඩකයා වීමටය.  ඒ නිසා ඔහුට රගර් අත  හරින්නට උපදෙස් ලැබිණ. තල්ලු කිරීම් සහ පොකුරු ගැසීම් වලට තිත තැබිණ. ක්‍රිකට් මුල්තැනට පැමිණියේය, ඔහු මොලේ ඇතුව තොරාගත්තේ  නැතැයි කාට කිව හැකිද?  ඔහු ඔහුගේ බිස්කට් කර්මාන්තශාලාවට විශ්‍රාම යන්නට පෙර තව බොහෝ සිනාසෙන බව නම් මට විශ්වාසය."

Saturday, December 9, 2017

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්





ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහිළුවක් ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත.

තමන්ගේ වෘතියට පිරිස් වැඩි වනවාට විරුද්ධව කොටසක් වර්ජන කරති, තව කොටසක් තමන්ගේ රැකියාවට බඳවා ගැනීමේදී සුදුසුකම් වැඩි නොකරන ලෙසට ඉල්ලා වර්ජනය කරති. තවත් කොටසක් තමන්ට නිකන් දෙන දෙය වෙන කෙනෙක් සල්ලි වලට ගන්න වාට විරුද්ධව වර්ජනය කරත්. තවත් වරෙක හොරෙන් වතුර ගත්  කෙනෙකු අල්ලන්නට ගිය විට තමන්ට කරදර කලේ යයි වර්ජනය කරති.

මෙලෙස වර්ජන ඇතිවන්නේ ඇයි? මෙයට හේතුව හොයාගන්නට හොඳම ක්‍රමය වර්ජන වැඩියෙන්ම ඇතිවන ආයතන මොනවාද යයි සොයා බැලීමය. දැන් ලංකාවේ සිදුවන ප්‍රධාන වර්ජනය දුම්රිය වර්ජනයයි. ඊට පෙර සිදුවුය වෛද්‍ය වර්ජනයයි. ඊට කලින් මතක හැටියට සිදුවුයේ විදුලි බල මණ්ඩලයේ වර්ජනයයි. මේ සියලු වර්ජන බලවන විට සිදුවී ඇත්තේ රජයේ ආයතන වලය. එසේ මේවා අති බහුතරයක්  රජයේ ආයතන වල පමණක්  සිදුවීමට හේතුව කුමක්ද?
අනික් කරුණ නම් අඩු තරමින්  පුද්ගලික අංශය සමග තරඟ කරන්නට හෝ සිදුව ඇත්තේ නම් එවැනි රජයේ ආයතන වල වර්ජන සිදු වීමත් බොහෝ අඩුවී තිබේ. හොඳම උදාහරණය ලංගමය වෙයි . පුද්ගලික බස් වලට ඉඩ දීමට පෙර මාසයකට වරක් වත් ලඟම ස්ට්‍රයික් එකක තිබුණි , දැන් අහන්නට වත් නැත.
ඇත්තෙන්ම  බැලූ බැල්මට වැඩිපුර ස්ට්‍රියික් තිබිය යුත්තේ පුද්ගලික අංශයේය. මක්නිසාද රජයේ ආයතනයක් යනු ජනතාවට අයිති ආයතනයකි, එහි වැඩ කරන්නෙත් ජනතාවගෙන් කොටසකි,එසේනම් ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවට හොඳ සේවයක්  ලබාදීමටය, එසේ නම් වර්ජන රජයේ ආයතන වල සිදුවී ධනපති ව්‍යාපාරිකයන් මෙහෙයවන පුද්ගලික ආයතන වල වර්ජන සිදුවීම අප තර්කයේ පරස්පරයක් බව පෙනේ.
මට හිතෙන විදිහට ලංකාවේ පුද්ගලික ආයතන වල වර්ජන නොවෙන්න හේතුව වැඩි වැටුප්, වඩා හොඳ සේවා පහසුකම් හෝ වැඩි නිවාඩු යනාදිය නොවේ, එයට මුලික හේතුව වර්ජන කර ව්‍යාපාරය  වැසුනොත් පාඩුව සිදුවන්නේ තමන්ටම බව දන්නා නිසාය. අනික ඒවායේ වෘතිය සමිති වලට එතරම් පිළිගැනීමක් නැති නිසාය. අනික් පැත්තෙන් මා දන්නා හැටියට වෘතිය සමිත් වැඩ කිරීමට රජයේ ආයතන වල ඒවායේ නායකයන් කිහිප දෙනෙකුට පඩි ගෙවා නිකං ඉන්නටද ඉඩ දී තිබේ. මොවුන් ට ඒ නිසා දවස පුරා එකතුවී හොඳින් වර්ජන කරන්නේ කොහොමදැයි සාකච්චා කරමින් ඉන්නට පුළුවන.
මේ කරුණු සලකා බැලුවිට වර්ජන අඩු කරගන්නට නම් පහත ක්‍රියා මාර්ග අනුගමනය කලයුතු බව සක්සුදක් සේ පැහැදිලි වෙයි.

  • සැම රජයේ ආයතයක්ම පුද්ගලික කළමනාකාරිත්වය යටතේ  සිදුකිරීම.
  • මුලු ආයතනයම පුද්ගලික කරණය කල නොහැකි නම් ඒවායේ වැදගත් සේවා  බාහිර මුලාශ්‍ර වලින් ලබාගැනීම 
  • බැංකු වලට සහ ලංගමට  කලාක් මෙන් සැම රජයේ ආයතන ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක් තුලම පුද්ගලික අංශයට තරඟ කරන්නට ඉඩ ඇතිකිරීම.
  • සැම රජයේ ආයතනයන්ට ඒකාධිකාරය ඇති ක්ෂේත්‍ර වල වැදගත් කාර්යයන් සඳහා හමුදා පුහුණු කර තබා ගැනීම. උදාහරණයක් වශයෙන් දුම්රියේ වැනි  බර ඩිසල් එන්ජින්  පිළිබඳව නාවික හමුදාවට මනා දැනුමක් ඇත, මක්නිසාද නාවික යාත්‍රා වලද ඇත්තේ එවැනි එන්ජින් බැවිනි, මෙවැනි ගැලපෙන ආයතන යුගල කල හැක,
  • ආයතන විනයද ඉතා වැදගත්ය, වර්ජන කරන්නන්ට උසස්වීම් ලබාදීමේදී ලකුණු අඩුවන ක්‍රමයක්ද මෙයට ඇතුල් කල හැක.

Sunday, December 3, 2017

ස්වයං ධාවක වාහන සහ අපේ ප්‍රශ්න




ස්වයං ධාවක  වන වාහන පිළිබද බොහෝ දෙනා කතා කරති. ඉතා මෑත කාලයේදී; 2014 පමණ පටන් ගැනුණු මේ ක්‍රියාවලියට මේ දක්වා විවිධ පුද්ගලික  වාහන සමාගම් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 80 ක් පමණ ආයෝජනයක් කර තිබේ. සංසන්දනය කරන විට මෙම මුදල අප ශ්‍රී ලංකාවේ එක් වර්ෂයක මුලු ජාතික දල නිෂ්පාදනයට සමාන වේ.

ඇත්තෙන්ම මිට දශකයකට පමණ පෙර විද්‍යා කතාවල චරිතයන් වූ; බොහෝ කලකට පෙර අප නැරඹු නයිට් රයිඩර් අප මතකයට එයි. එහෙත් දැන් පෙනෙන විදිහට ඉතිර වසර කිහිපය තුල ඇමරිකාව වැනි බටහිර රටවල යතාර්ථයක් වීමෙහි කිසිම සැකයක් නැත්තේය. ටෙස්ලා BMW යනාදී සමාගම් 2021 වැනි මෑත අනාගතයේදී ස්වයං ධාවක  වාහන වෙළඳ පොලට දැමීමට බලාපොරොත්තු වෙති.

මෙයට හොදම උදාහරණ වශයෙන් ඇමරිකාවේ ෆෝඩ් කොම්පැනිය කෘතීම බුද්ධි (AI) ව්‍යාපාරයක ඩොලර් බිලියන 1 ක් යෙදවීමද උබර් සමාගම ස්වයං ධාවක  ට්‍රක් සමාගමක් මිලදී ගැනීමද සදහන් කල හැක. මේ සමාගම් සැලසුම් කරන්නේ ඒ අනාගතයේදී ඇතිවන වෙනස් වීමට මුහුණ දෙන්නටය.

මෙම ස්වයං ධාවක  වාහන මිනිස් සංහතියේ ජිවත්වන ආකාරය උඩු යටිකුරු කරන බවට සමත්වන බවට නම් කිසිම සැකයක් නැත්තේය. දැන් ශත වර්ෂයක පමණ කාලයක සිට බටහිර රටවලත් අවුරුදු 25 ක් පමණ අප රට වලත් අප ජිවන රටාවල් ගොඩ නැගී ඇත්තේ වාහන වටා වීම මෙයට හේතුවය.

ස්වයං ධාවක  වාහන වලින් මුලින් බටහිර සමාජයට සහ තරමක කාලයකට පසු අපට සිදුවිය හැකි වෙනස්කම් බොහෝය. එයින් ප්‍රධාන තැනක් ගන්නේ ඉන්ධන පාවිච්චිය සහ මාර්ග අනතුරුයි. අපි වාහන එලවන විට එක් එක් රියදුරාගේ ධාවන ශෛලිය අනුව ඉන්ධන දහනය වෙනස් වෙයි. ස්වයං ධාවක වාහන දුවන්නේ  මිනිසෙකුගේ අඩුපාඩුකම් කිසිත් නැති පරිඝනකයක් මගිනි. වාහනයේ සවිකර ඇති නොයෙකුත් උපකරණ මගින් ලබාදෙන මිනුම් අනුව පරිඝනකය වාහනය ධාවනය කරයි. ඒවා අප මෙන් නොව මිනිස් අඩුපාඩුකම්  ඇත්තේම නැත. ඒ නිසා මාර්ග අනතුරු සිදු වන්නේත් නැත. මාර්ග අනතුරු සිදු වන්නේ නැත්නම් වාහනය තුල සිටින මගීන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක පටි, එයාර් බෑග්ස් , ඇන්ටි ලොක් තිරිංග  යනාදිය වාහන වලට අවශ්‍ය වන්නේ නැත. විශාල ඉතිරියක් සිදු වේ, බරත් අඩුවේ.

මිනිසුන් ගෙන් ස්වයං ධාවක වෙතට මාරු වූ විට 80% ක පමණ ඉන්ධන පරිභෝජනයේ අඩුවීමක්   සිදුවිය හැකි බවට ගණන් බලා තිබේ. අප කොතරම් දුර්වල රියදුරන්දැයි මෙයින් සිතාගත හැක.

එහෙත් මෙයින් ඉන්ධන ඉතිරියක් සිදුවිය යුතු යයි කිව හැක්කේ  ස්වයං ධාවක වාහනද දුවන්නේ දැන් අපි දුවන කිලෝ මීටර ප්‍රමාණයම බව උපකල්පනය කලහොතිනි. නමුත් වාහනය ස්වයං ධාවක වන්නේ නම් මිනිසුන් වාහන කොතරම් කිලෝ මීටර  ප්‍රමාණයක් වැඩිපුර දුවනු ඇත්තේ දැයි සිතා ගන්නටත් අපහසුය. වාහනය ස්වයං ධාවක වන්නේ නම් ඉන්ධන පුච්චන්නේ දැන් ප්‍රමාණයෙන් 20%  ක් පමණ නම් මිනිසුන් ගමන් යාම බොහෝ වැඩි වනු ඇත. වියපත් මිනිසුන් , රෝගීන් , මහන්සි වූ අය, බීපු මිනිසුන්, එලවන්නට බැරි අය  කිසි බයක් නැතුව ගමන් යනු ඇත. ඇත්තෙන්ම සමහර විට ඉන්ධන පාවිච්චිය නොසිතු ලෙස වැඩි වන්නටත් ඉඩ තිබේ.

මෙම බොහෝ විට බටහිර රටවල වසර කිහිපයකින්  වෙන්නට යන අප රට වල දශක කිහිපයකින් සිදුවිය හැකි ජිවිත කළඹවන වෙනස් කමෙන් අප රටේ ආර්ථිකයටද ඉක්මන් බලපෑමක් ඇති විය හැකි විදිහක් තිබේ. ඒ මැද පෙරදිග රැකියාවන්ය. අපේ රටෙන් බොහෝ පිරිස් මැද පෙරදිග  රියදුරු රැකියාවන් වල දී සිටිති. බටහිර මෙම ස්වයං ධාවක වාහන පටන් ගන්නා විටම වාගේ මැද පෙරදිග පොහොසත් රටවල්, විශේෂයෙන්ම අප රට අය රියදුරු වැඩ කරන රටවල්ද , මෙම ක්‍රමයට යනු ඇත. විශේෂයෙන් ඒ රටවල සස්කෘතිය නිසා ඔවුන් මෙය ඉතා ඉක්මනින් කරනු ඇත, අප රටට එහි ඇති රියදුරු රැකියා අවස්ථා විශාල ලෙස අඩුවනු ඇත. මෙම වෙනස අපේ ආර්ථිකයටද විශාල ඍන බලපෑමක් කරනු ඇත.


ලංකාවේ ස්වයං ධාවක වාහන පාවිච්චිය කවදා සිදුවේ දැයි කියන්නට නුපුළුවන, ඒ ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් අපට ගොඩනංවන්නට බොහෝ මුදලක් යට කලයුතු නිසාය. ලංකාවේ ස්වයං ධාවක වාහන ගැන සිතන විටම මට සිහියට එන්නේ හෝමාගම දුම්රිය හරස් පාරත් එක්කම තිබෙන හන්දියයි.. එවැනි අවුල් ජාලයක් වූ හන්දියක් අසලට වත්  ස්වයං ධාවක වාහනයක් ගියහොත් එහි පරිගණකය නම් නැවත අලුත් වැඩියා කරන්නට නම් සිදුවනවා නොඅනුමානය.  

චිත්‍රපට සංස්ථාව ගල් යුගයට යාම

ඊයේ ප්‍රවෘත්ති තුල ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රසිද්ධ සිනමා නළු රවින්ද්‍ර රන්දෙනිය ඇතුළු පිරිසක් ප්‍රවෘත්ති සාකච්චාවක්...