Friday, October 14, 2016

විහාරමහා දේවිය පැමිණියේ කොහි සිටද?











 විහාරමහා දේවිය පැමිණියේ කොහි සිටද?
වසර ක්‍රිස්තු පූර්ව 101 දී දුටුගැමුණු කුමරු, ශ්‍රී ලංකාවට වැදගත්මයැයි සැලකෙන යුද්ධයක් සදහා පිටත්වීමට කටයුතු සම්පාදනය කරයි. ඔහුගේ පියාද, පියාගේ පියාද, කරන්නට මැලි වූ මේ යුද්ධය කරන්නට ඔහු සූදානම් වන්නේ, ඊට අවුරුද්දකට පෙර තම බාල සහෝදරයා වූ සද්ධාතිස්ස කුමරු සමග මාගම රාජධානිය සදහා දරුණු යුද්ධ දෙකක් කිරීමෙන් පසුවය; දුටුගැමුණු රජ මියගිය පසු අනුරාධපුරයේදී රජ වන්නේ මේ තිස්ස කුමරා වීම එක් අතකින් දෛවයේ සරදමකි. මේ යුද්ධ දෙකෙන් පලමුවැන්න අවසානයේදී ගැමුණු කුමරු කොතරම් දරුණු පරාජයකට පත්වෙන්නේද යත්, ඔහුට යුද්ධය අවසානයේ ඉතිරි වන්නේ එක් තිස්ස නැමැති ඇමතියෙකුත්, දීඝතුනික නම් වෙළඹකුත් පමණි.

කෙසේ හෝ දෙවෙනි යුද්ධයෙන් සහෝදරයා පරාජය කරන ඔහු, දැන් පිටත් වන්නට යන්නේ ඔහුගේත් ඔහුගේ ජාතියේත් අනාගතය විසඳන යුද්ධයටය. ඔහුගේ සියලුම යුද්ධයන්ගේ මව් වන යුද්ධයටය. එසේ නම් ඔහු මේ යුද්ධයට ඔහුගේ 11110 ( 10x10x10x10+10+100) ක් වන ස්ථීර හමුදාව මෙන්ම තවත් හැකි සෑම තැනකින්ම යුද්දාධාර ලබාගත යුතුය.

ඔහුගේ මව වන විහාරමහා දේවිය මහා වංශයේ සඳහන් වන පරිදි කැළණිය රාජධානියේ රජු වන කැළණිතිස්ස රජුගේ දියණියයි. ඒ කියන්නේ කැළණිතිස්ස රජු දුටුගැමුණු කුමාරයාගේ සීයාය. දැන් දුටුගැමුණු රජු තමාට සහ තම රාජ්‍යයට අතිශයින්ම වැදගත් යුද්ධයකට යාමට කටයුතු පිළියෙල කරයි. එහෙත් ඔහු කිසි විටෙකත් තම සීයාගෙන් උදව් ඉල්ලන්නේ නැත. තරමක් ගැටළු සහගතය. ඇත්තෙන්ම ගැටළු නොව පුදුම සහගතය.

එසේම ඔහු තම හමුදාව මෙහෙයවීමට සැලසුම් කරන්නේ සතුරන් වැඩියෙන්ම කඳවුරු බැඳ සිටින නැගෙනහිර පළාත හරහාය. මහවැලි ගඟෙන් පහලට මහියංගනයේ සිට එළාරගේ සෙනෙවියෝ කඳවුරැ බැඳ සිටිති. දුටුගැමුණු කුමරු ගඟ දිගේ ඇති සතුරන්ගේ බලකොටු බිඳලන්නට වසරක් පමණ දරුණු සටන් කරයි. එහෙත් ඔහුට මෙම මහවැලි ගඟ දෙපස සටන් සිදු නොකර කෙලින්ම එළාර රජුගේ අගනුවරටම පහරදීමට හැකියාවක් තිබුණි. ඒ නැගෙනහිර පැත්තෙන් අනුරාධපුරයට පහරදීමට සැලසුම් කරන්නේ නැතිව, කඳුකරයට බටහිර පැත්තෙන් ගොස් තම සීයාගේ රාජධානිය හරහා කුරුනෑගල පැත්තෙන් අනුරාධපුරයට පැමිණීමයි.

ඔහු එසේ කරන්නට සිතන්නේවත් නැත. එසේම එළාර රජු පරාජය කර ශ්‍රී ලංකාව එක් සේසත් කල පසුද ඔහු කැළණියේ රාජධානිය ගැන සොයා බලන්නටවත්, එසේත් නැත්නම් එය තම රාජධානියේ කොටසක් කර ගන්නටවත් කිසිම උත්සාහයක් කරන්නේ නැත. දුටුගැමුණු රජුගෙන් පසුවත් මහා වංශය කැළණි රාජධානිය ගැන කිසිම විස්තරයක් කරන්නේ නැත.

මහා වංශය විහාරමහා දේවිය කුඩා යාත්‍රාවක දමා මුහුදට පා කර හැරීමට හේතු වන කාරණා සම්පූර්ණ විස්තර සහිතව ඉතා පැහැදිලිව කියයි. කැළණිතිස්ස රජුගේ බිසව සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගත් රජුගේ සහෝදරයාගේ නම අයිය-උත්තිකය. ඔහු මෙම රහස එලි වූ පසු පැනගොස් සැඟවුන ප්‍රදේශය යනාදී විස්තර පවා එහි සඳහන් වෙයි. එහෙත් මුහුදු රළ අතිශය භයංකාර වැඩි වූ විට,  විහාර මහා දේවිය කුඩා යාත්‍රාවක දමා පා කර හැරීමෙන් පසු, මේ රාජධානිය එහි රජුන් සහ ජනයා සම්පුර්ණයෙන්ම ඉතිහාසයෙන් නොපෙනී යයි.

මෙසේ එක්වරම රාජධානියක්ම සම්පූර්ණයෙන් පෘතුවි පෘෂ්ඨයෙන් මැකී යාමට හැකියාවක් තිබේද? තිබෙන්නේ නම් ඒ කුමන ආකාරයේ හේතු විය හැකිද?
·        
  • සුනාමියක් වැන්නක් ලංකාවේ බටහිර වෙරළට පැමිණීම - එහෙත් ඉන්දියන් සාගරයේ මෙකල සිදු වූ සුනාමි තත්වයක් පිළිබඳව වාර්ථා වී නොමැත. නමුත් මෙතරම් අතීතයේ අප ප්‍රදේශයේ සිදු වූ මෙවැනි සුනාමි තත්වයන් සමහර විට වාර්ථා ගත නොවන්නට පුලුවන. යුරෝපයේ සහ මැද පෙරදිග සිද්ධි කිහිපයක් පමණක් වාර්ථා ගතව ඇත.
  • ·        සතුරු ආක්‍රමණයකින් එම රාජ්‍යය සම්පුර්ණයෙන්ම විනාශ වීම - එසේ සිදුවූයේ නම් ආක්‍රමණිකයාගේ රාජ්‍යය; එළාර රජුගේ රාජ්‍යය මෙන් පසුව ස්ථාපිත විය යුතුය. එවැන්නක්ද සිදු වී නොමැත.
  • ·        වසංගතයක් වැන්නක් පැතිරීම - එසේ නම් ඒ පිළිබඳ වාර්ථා වී තිබිය යුතු අතර රටේ අනෙක් ප්‍රදේශ වලටද සුලුවෙන් හෝ පැතිරිය යුතුය.
  • ·        වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීම - එසේ ගියේ නම් එවැනි මහා ජන සංක්‍රමණයකින් පසුව ඇතිවෙන රාජධානිය පිළිබඳව වාර්ථා විය යුතුය.

මෙයින් විස්තර කරන පරිදි කැළණියේ රාජ්‍යයක් තිබී නොමැති බවත්,  විහාරමහා දේවිය මුහුදට පා කර හරින ලද්දේ ලංකාවේ කැළණිය ප්‍රදේශයෙන් නොව ඉන්දියානු රාජ්‍යයක හෝ වෙනත් ලංකාවට බාහිර රාජ්‍යයකින් බවත් කෙනෙකු සිතුවොත් එහි වරදක් නොමැත. ‍
මෙයට ටික කලකට පෙර ගංගා නම් ගඟ අයිනේ ශාක්‍යපණ්ඩු රජ බද්ධකච්චායනා කුමරියට කලේ මෙවැනිම දෙයකි. අසල රාජ්‍යවල රජ කුමාරවරු කිහිප දෙනෙක් මැය අරභයා යුධ කරන්නට සූදානම් වන විට ඔහු බද්දකච්චායනා කුමරිය, තවත් තරුණ කාන්තාවන් පිරිසක් සමග නැවක දමා පා කර හරියි.

විශේෂයෙන් ‘මේ යාත්‍රාවේ සිටින්නේ රජුගේ දූ කුමාරිකාවයි‘ යනුවෙන් විහාරමහා දේවිය පා කර හැරි යාත්‍රාවේ පුවරුවක් සවිකර තිබීමෙන්ද මෙම තර්කය තවත් ශක්තිමත් වෙයි.


 සියලු කරුණු සලකා බලද්දී මෙම විහාරමහා දේවිය බාහිර රටකින් පැමිණීමේ යෝජනාව වඩාත්ම භාව්‍ය වියහැක්ක බව පෙනේ. තමන් යාත්‍රාවේ දමා පා කර එවූ තම අගනුවරට කිලෝ මීටර් 125 ක් ලඟින් වෙසෙන තම නෑසියන්ට කුමක් සිදුවූයේදැයි සොයන්නට විහාරමහා දේවිය රැජිනක් වූ පසුත් කිසිම උත්සාහයක්  නොකිරීමෙන්ද සාමාන්‍යයෙන් එකල සිංහල රැජිනක් එතෙක් නොකල යුද බිමට ගොස් සටන් මෙහෙයවීමෙන්ද  මෙම හැකියාව වඩාත් පිළිගත හැකි වියහැක්ක බවට කෙනෙකු සිතන්නේ නම් ඒ සිතිවිල්ලේ තර්කානුකූල බවක් නැත්තේ යැයි කියන්නට නුපුලුවන.   



    
මෙම තර්කයට සාගර හැසිරීම් වලින්ද උදව්වක් ලැබේ. ඉහත සිතියමේ ආකාරයට මෙවැනි කුඩා බෝට්ටුවක් කොළඹින් එළියට දමා පාවෙන්නට ඇරියහොත් නිරිතදිග මෝසම් කාලය නම් යාත්‍රාව ආපසු කොළඹට පැමිණීමට හෝ එසේ නැත්නම් පුත්තලම ප්‍රදේශයට ගසාගෙන යා යුතුය. මෙය සිදුවූයේ ඊසානදිග මෝසම් කාලයක නම් එය කොළඹින් එළියට ගොස් මාලදිවයින, මැඩගැස්කර් පැත්තට ගමන් කල යුතුය. කොළඹින් එළියට දමන බෝට්ටුවක් පාවෙන්නේ නම් එය නැවතත් දකුණු වෙරළේ තිස්සමහාරාමය පැත්තට ගසාගෙන යන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුය. 

නමුත් ලංකාවෙන් නැගෙනහිර පැත්තේ රටකින් නම් කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඊසානදිග මෝසමේ ඒ පැත්තෙන් බෝට්ටුවක් පා කර හැරියහොත් ලංකාවේ නැගෙනහිර හෝ ගිනිකොණ වෙරළට පාවී එන්නට බොහෝ ඉඩ තිබේ. මියන්මාරයේ තොවිල් වලට ගන්නා නොයෙකුත් පූජා භාණ්ඩ ඒ මෝසමේදී ලංකාවේ වෙරළට ගසාගෙන විත් තැන්පත් වී තිබෙනවා මම බොහෝ විට දැක තිබේ. 

5 comments:

  1. බොහොම වටිනා විස්තරයක්. අප නොදන්නා සොයා නොබැලු පැත්තක් ගැන සොයා යන්නට හොද මාර්ගයක් පාදාදිලා තියෙනවා.

    ReplyDelete
  2. ඔබගේ කරුණු දැක්වීමට එකහෙලාම එකඟයි. ඔය කැළණිතිස්ස කතාව හුදු ප්‍රබන්ධයක් කියලයි මමත් හිතන්නෙ.

    ReplyDelete
  3. ගැමුණු ගේ පියා මෙන්ම සාලිය ගේ සීයා ද වූ කාවන්තිස්ස ද, තමන්ගේ පසු පරම්පරාවල දරුවන් කරන්නට නියමිතව තිබුණා සේ, රජ පෙළපතෙන් පිට විහාර නම් තරුණියකට පෙම් බැඳ, ඇය රජ පවුලක බව කියන්නට මඩකළපුවෙන් නැව් නංවා, මාගමින් බස්සා මාධ්‍ය සංදර්ශනයක් කළා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනාවක්, ඒ අදහස දුර්වල කරන්නට තිබෙන එකම සාක්ෂිය මැයට කඩුව සෝදා ලේ බොන්නට දොල දුකක් ඇතිවීමයි. සිංහල බෞද්ධ කාන්තාවකට මෙය හිතන්නටවත් බැරි දෙයකි. මහා වංශයේ ඇත්තෙන්ම මෙම කාරණය ඇත්තට හෝ බොරුවට ලියූ එකත් පුදුමයකි.

      Delete

වකුගඩු වසංගතය ට හේතුව කුමක්ද ?

අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කල...