Tuesday, February 28, 2017

කළුතර ජාතියේ කලු පැල්ලම; වගකිවයුත්තෝ කවරහුද?





පසුගියදා කළුතරදී සිදුවුනු ඛේදවාචකය මීට පෙර සිදුවූ එවැනි සිදුවීම් මෙන්ම තව ටික දිනකින් අමතක වී යනු ඇත. ආපසු මුලු ජාතියම මෙය අමතක කර නැවත වරක් සාමාන්‍ය ජීවිතයට ආපසු යනු ඇත. 

නමුත් මෙය එසේ අමතක කර දැමිය හැකි සුලු පටු කරුණක් නොවේ. මක්නිසාද රජයේ ආරක්ෂාව යටතේ රජයෙන් ආරක්ෂා කරන ස්ථානයක සිට තවත් රජයේ ආයතනයක් වෙත ගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මහ දවල් මහා මාර්ගය හරස් කර ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධ වුනු දහ දෙනෙකුගෙන් පමණ පිරිසක් පැමිණ වෙඩි තබා මරා දැමීම සාමාන්‍ය අපරාධයක් නොවේ. එය ජාතියටම කලු පැල්ලමකි. ඇත්තෙන්ම රජයට රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව කෙනෙකුගේ හිතට ප්‍රශ්නයක් නැගෙන තත්වයකි. 

මෙම ප්‍රශ්නය තවත් බරපතල වන්නේ ශ්‍රී ලංකාව සාමාන්‍ය රාජ්‍යයක් නොවන නිසාය. මෙවැනි සිද්ධියක් පිළිබඳ කථාකරන විට අප සාමාන්‍ය රාජ්‍යයක් නොවන්නට හේතුව අපට මෙවැනි සිද්ධියක් වලක්වා ගැනීමට ලෝකයේ වෙන කිසිම රටකට වඩා හැකියාවක් තිබිය යුතු නිසාය. ලෝකයේ තිබෙන සියලුම රාජ්‍ය වලින් අපට වඩා ඒක පුද්ගල හමුදා භටයන් සිටින්නේ රටවල් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. එයිනුත් බහුතරයක් සිටින්නේ මැද පෙරදිග රටවල් වලය. අපේ සිවිල් ආරක්ෂක බලකාය පමණක් කෙන්යාවේ මුලු හමුදාව මෙන් දෙගුනයකි. පෘතුගාලය, උගන්ඩාව, ඔස්ට්‍රෙලියාවේ සහ කියුබාවේ රටවල මුලු හමුදාවම අපගේ සිවිල් ආරක්ෂක බලකායට සමාන වේ. 

එසේම අපි ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම එමෙන්ම තාක්ෂණයෙන් ඉතා ඉහල තලයක සිටි බලවත් ත්‍රස්තවාදී හමුදාවක් අවුරුදු 30 ක දීර්ඝ කාලීන යුද්ධයකින් අවසන් කල ජාතියක් වෙමු. 

මේ සදහා අපි බොහෝ ආයුධ සහ ආම්පන්න මිලදී ගත්තෙමු. මෙම ආම්පන්න අතර හෙලිකොප්ටර් බොහෝ ගණනක් තිබිය යුතුය, තිබෙන බව අපි දන්නෙමු. 

මෙයට අමතරව යුද්ධයේදී බොහෝ දක්ෂකම් පෙන්වූ පොලීසියේ 6000 ක් පමණ වන එස්.ටී.එෆ් බලකාය දැන් නියමිත රාජකාරියක් නොමැතිව රූපවාහිනියේ පෙන්වන විදිහට කසල තේ කුඩු අල්ලමින් ගම්වල හොරට කපන ලද ලී අල්ලමින් කාලය ගත කරති. 

මේ සම්පත් පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි? මෙවැනි බලවත් ආරක්ෂක තර්ජනයක් තිබෙන අවස්ථාවක ඒ සදහා ආරක්ෂාව ලබාදීමට සෑම ප්‍රධාන නගරයකම පොලිස් ස්ථානයකටම නිමේෂයකින් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකට යැවිය හැකි විශේෂයෙන් පුහුණු කල කුඩා එස්.ටී.එෆ් කණ්ඩායමක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

යුද්ධයෙන් පසු ඉතිරි වී ඇති මෙවැනි අවස්ථාවකදී එසනින්ම යැවීමට රටෙහි අඩු ගණනේ ස්ථාන 7/8 ක හෙලිකොප්ටරයක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

දිවයිනේ ඇති ප්‍රධාන බන්ධනාගාර වලට ආරක්ෂක තර්ජනයක් හෝ මෙවන් ආරක්ෂක තත්වයක් ඇතිවිට පාවිච්චි කරන්නට 25 ක පමණ එස්.ටී.එෆ්. මුර පොලක් ඇති නොකරන්නේ ඇයි? 

මේ එක් යෙදවීමකටවත් අලුතින් මුදල් වියදම් කලයුතු ඒවා නොවේ. තමන් අත ඇති සම්පත් ස්මාට් ලෙස යෙදවීමට නොහැකියාව හෝ එසේත් නැත්නම් මැලි කමක් තිබෙන්නට ඇරෙන්නට අපට වෙන හිතා ගන්නට දෙයක් නැත. 

මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනක් අපට ඇතිවේ. ඒවා පිළිතුරු ආයාචනය කරමින් සිටිති.

ආරක්ෂක සැලසුම් සම්පාදනය කරන්නට අපේ මුදලින් වැටුප් බලන්නන් උත්සව භූමිවල කැරකි කැරකි ඉදීම සීමාකර රැකියාවේ ඇති වගකීම් පිළිබඳව මීට වඩා උනන්දු වුවහොත් මෙවැනි කොලොම්බියානු ස්ටයිල් තොග අපරාධවත් වලක්වා ගත්ත හැකි නේද? 

මෙවැනි දර්ශනයක් ටී.වී. එකකවත් දකින කෙනෙක් ලංකාවේ සංචාරයකට හෝ ආයෝජනයක් සදහා පැමිණීමට දෙවරක් නොව කීප වරක් නොසිතා සිටීද?     

Friday, February 24, 2017

සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?








දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර සාමාජිකයිනට කරදරයක් පාඩුවක් නොවන ලෙසට සතුට සොයා යාමට ඉඩ ලබා දිමට සැමවිටම උත්සාහ කල යුතුය. 

මිනිසෙකුට සතුට සොයා යාමට කුමන දෑ තිබිය යුතුද? ඔහුට හෝ ඇයට මුලින්ම නිදහසේ, කාගේවත් පීඩනයකට ලක් නොවී ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් යනාදී  මූලික අවශ්‍යතා ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය. ඔවුන් ඒවා ලබා ගැනීමට උත්සුක වද්දී ඔවුනට සැනසිල්ලේ ඒවා සොයා ගැනීමට නීිතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. තමන්ට යම් අසාධාරණයක් හෝ වරදක් සිදු වුවහොත් යම් රාජ්‍ය යාන්ත්‍රණයක පිලිසරන පතන්නට හා ඉක්මනින් යුක්තිය පසදා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. 

තමනට කැමති, තමනට හැකි යැයි සිතෙන රැකියාවකට පුහුණු වී එම පුහුණුවට ගැලපෙන රැකියාවක යෙදීමටද එසේත් නැත්නම් තමන් කැමති ව්‍යාපාරයක් කර ආදායම් උපදවීමට ඔහුට නිදහස තිබිය යුතුය. 

රටේ සියලු දෙනාටම එක තැනකට එකතු වී ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි නිසා තමන්ට කැමති නියෝජිතයන් කණ්ඩායමක් තෝරා ගෙන එම නියෝජිතයින් කණ්ඩායම යම් කාල පරිච්ඡේදයක් තුල ජනතාව වෙනුවෙන් ජාතියේ කටයුතු කලමනාකරණය කිරීමද මෙහි අත්‍යන්ත කොටසක් වෙයි. එනමුදු මෙම නියෝජිතයින් කටයුතු කරන ආකාරය පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඔවුන්ගේ කටයුතු විවේචනය කිරීමට හා වරද පෙන්වා දීමට ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. එසේම කලා කටයුතු, ලිපි ලේඛන යනාදී .... සදහාද ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ජාතියේ ආරක්ෂාව ජනතාව විසින් පත්කරගත් නියෝජිතයින් මත පැවරෙන වගකීමක් වන අතර, එය මනා ලෙස කලමනාකරණය කිරීමද ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වෙයි.    

යම් ජාතියක් දියුණු වන්නේ මේ සියලු කාරනා සම්පූර්ණ වූ කල්හිය. ලෝකයේ ඉහත දැක්වූ විධි විධාන නොමැතිව දියුණු වූ රටක් නැත්තේය. ඒවායින් සමහරක් පමණක් ඇතිව දියුණු වන රටවල්ද ක්‍රමයෙන් මේ සියලු කාරණා සම්පූර්ණ වන පාලනයක් දෙසට ගමන් කරයි. 

මෙවැනි සමාජ ක්‍රමයක් ඇතිකර ගැනීමට අකුල් හෙලන්නෝ ඇත්තෙන්ම ජාතියේ සත්‍ය ද්‍රෝහීන් යැයි හැදින්විය හැක. උහු, ජාතියට මෙලෙස ස්වාධීනව සාර්ථක රටක් ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරියේ නැගී සිටින්නට ඉඩ නොදී ජාතියේ කකුල්වල එල්ලී ජාතිය මඩවලේම තබාගන්නට උත්සාහ කරති. 

මොවුන්ට මෙලෙස කටයුතු කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. 
  • හරි දෙය නොපෙනීම. 
  • තමන්ගේ සමාජ තත්වයට යම් තර්ජනයක් වේයැයි කල්පනා කිරීම. 
  • තමන් කරන ව්‍යාපාරයන්ට තරඟය වැඩිවේයැයි බියවීම. 
  • යම් ගතානු ගතික අදහස්වල මුරන්ඩු ලෙස එල්බ සිටීම. 
  • තමන් දරන දේශපාලන මති මතාන්තර නිරවද්‍ය බව පෙන්වීමට. 
  • සමාජයේ යම් කොටසක් තුල ජනප්‍රිය වීමට ඇති කැමැත්ත. 

එසේ නම් ජාතියක ද්‍රෝහීන් වන්නේ කුමන ආකාරයේ තැනැත්තන්ද? 

  • පොදු දේපල, ජනතාවගේ දේපල, අවභාවිත කරන්නන්. 
  • රාජ්‍ය බලයෙන් ජනතා සම්පත් දූෂිතව හා වංචනිකව පාවිච්චි කරන්නන්. 
  • රටෙහි විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටවීමට ඉඩ අරින්නන් සහ ඒ තත්වයට රට පත් කරන්නන්. 
  • රටෙහි පුරවැසියන්ට තමන්ට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙන්නන්. 
  • ජාතික ආරක්ෂාව පිළිබදව තමන්ට ලැබුනු වගකීම හරිහැටි ඉටු නොකරන්නන්. 
  • පොදු සම්පත් සියලු ජනයාට සමාන ලෙස බෙදා හැරීම වැලැක්වීමට කටයුතු කරන්නන්. 
  • මාධ්‍ය සහ කලා කටයුතු නිදහසට අකුල් හෙලන්නන්. 
  • ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු නොකරන රාජ්‍ය සේවකයන්. 
  • ලෝකයේ දියුණු රටවල් වැඩ කරන ආකාරයට අප ජාතියට වැඩ කිරීමට ඉඩ නොතබා එම දියුණුවට ඇට්ටර ලෙස අකුල් හෙලන කණ්ඩායම්. 
  • පුරවැසියනට තමනට රිසි අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අකුල් හෙලන්නන්. 

තවත් මෙවැනි ද්‍රෝහීන් වර්ග කිරීම් තිබිය හැකිද? 
   



Wednesday, February 22, 2017

මීගමුවේ මහා රාළ 3 the final episode


link for the previous episode



















මීගමුවේ මහා රාළට සෙනරත් රජු විසින් දුන් ලිපියේ මෙසේ සදහන් වේ.

"ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වූද, මහනුවර සීතාවක ත්‍රීකුණාමලය, යාපා පටුන, සත්කෝරලය, මන්නාරම, මඩකලපුව, පලුගම සහ යාල රාජ වූද, වඩමාරච්චි සහ පස්දුන් කෝරලයේ කුමාරයාද, බෙලිගම සහ ගාල්ලේ ඩියුක්වරයා වූද, කුරුවිට බටු ගෙදර සහ සතර කෝරලයේ කවුන්ට්වරයා වූද, සෙනරත් අදසින් විසින් මෙලෙසින් ලියා දන්වමි.

ඔබගේ මාර්තු 13 වන දින ලිපිය ලදිමි. එහි සියලු කරුණු හොඳින් තේරුම් ගතිමි. අප ඇති කර ගත් ගිවිසුම් සහ පොරොන්දු ඔබේ පැමිණීමෙන් හොඳින් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරමි. අපට මෙතෙක් කල් දුන් පොරොන්දු වසර 03 ක් ගත වීමෙන් පසුවත්, ඉටු වී නොමැති බව ප්‍රකාශ කරමි. මීගමුවේ මහා රාළ ශ්‍රී  ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන විට, ඕලන්ද රජයෙන් ඔහු අත එවා තිබූ ලිපිවල සඳහන් පොරොන්දු ඉක්මනින් ඉටුකරනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමි. ඔබේ පොරොන්දු එලෙසම ඉටුකරන්නේ නම්, මම පෘතුගීසින් සමග සටන් දිගටම කරගෙන යන්නෙමි.

ඔබ විසින් ඔබේ ලිපියෙහි ඉල්ලා සිටි පරිදි මගේ රාජ්‍යයේ සහ මා පිළිබඳව කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මීගමුවේ මහා රාළ මේ සමග එවන්නෙමි. අපගේ රාජ්‍ය සභාවේ ඔහුගේ ස්ථානය ගැනීමට ඔබ විසින් එවන ලද ග්‍රිස්බ්රෙඩ් වෑන් සූලන්ඩ් (Grisbread Van Zoolend) පිළිබඳව මගේ අකමැත්තක් නැති වුවද, මීගමුවේ මහා රාළ මගේ රාජ්‍යයෙන් පිට වී යාම පිළිබඳව මම මහත් දුකට සහ අසහනයටත් පත්වුනෙමි. නමුත් ඔහුද ගමනට කැමති වූ නිසාත්, ඔහු විසින් පෘතුගීසීන්ට විරුද්ධව උදව් රැගෙන පැමිණෙන බව පොරොන්දු වූ නිසා අකමැත්තෙන් වුවද මම ඔහු ඔබ වෙත එවමි.

ඔබගේ ලිපියේ පෘතුගීසීන් පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න අසා තිබුණි. මහා රාළට ඒ පිළිබඳව මගේ දැනුම සමානම දැනුමක් ඇත. රාජපාක්ෂිකභාවය පිළිබඳව ඔහු මට දිව්රා පොරොන්දු වී ඇති හෙයින්ද, ඔහු ඕලන්ද ජාතිකයෙකු නිසාවෙන්ද, දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි මීගමුවේ මහා රාළ කටයුතු කරන බව මට හොදටම විශ්වාසය.

දැනටමත් මෙම ලිපිය සටන් බිමේ සිට ලියන නිසා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට අපහසුය. මීගමුවේ මහා රාළ විසින් මේ පිළිබව පවසන බවට කරුණාවෙන් සලකන්න.
මම මේ සමග තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඔබ වෙත එවමි. ඔවුන් කරදරයක් නොමැතිව ඔබ වෙත පැමිණෙන බවටත්, ඔවුන් නිසා ඔබ සතුටට පත්වන බවටත් මා හට සැකයක් නොමැත. 2000 ක පමණ හමුදාවක් යුධ නැව් සමග ලබාදීමට ඔබට හැකිනම් ඔවුන්ගේ උදව්වෙන් මට පෘතුගීසීන් ලංකාවෙන්ම සහමුලින්ම උපුටා දමන්නට හැකිය. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
1615 මාර්තු 14 වන දින වේඬරුවේදී හදිසියෙන් මෙම ලිපිය ලීවෙමි.“

එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.

මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලයටද වඩා තමා වැදගතෙකු බව කල්පනා කර, උඬගු ලෙස හැසිරීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිවිසුම් ඇතිකර ගැනිමට අපහසු තත්වයක් උදාකර ගත්තේය.

පසුව මීගමුවේ මහා රාළ නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිෙස්ටියන් රජු ( Christian 04 th) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට පැමිණියේය.

මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මිගමුවේ මහා රාළ මෙම ගමනට තමන්ගේ නෙදර්ලන්ත බිරිඳද, ඔවුන්ගේ දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.

මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට කණ්ඩායමේ අනික් අයට බල කිරීම නිසා, එම පවුල කණ්ඩායමේ අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟා වූහ.

ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය. ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් එක්රැස් කර, ඔහුගේ හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව්වේය. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට කැමති නොවිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටියේය. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.

සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූ හෙයින්, නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා  නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කරන ලදි.

ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කරන ලදි. එසේ කරන ලද්දේ එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසාය.

මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර, ඉන්පසු ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යවන ලදහ. 

Monday, February 20, 2017

ආපදා කලමනාකරණය කිරීමට ආපදාවක් එනතුරු බලාසිටීම.




පසුගියදා කළුතර කටුකුරුන්දේ සිදු වූ ඛේදවාචකය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි. අනතුරු කොතරම් වැලැක්වීමට උත්සාහ කලද  ඒවා කෙසේ හෝ සිදුවන්නේ යැයි අපට මේ වගකීමෙන් වලකින්නට බැරිය. එලෙස වගකීමෙන් ගැලවෙන්නට බැරි හේතුව මෙවැනි අනතුරු වලක්වාලන්නට පොදුජනයාගේ මුදල් වියදම් කර අපි දැනටමත් ක්‍රමවේදයන් නියමිත ස්ථානයන්හි ස්ථාන ගතකර ඇති නිසාය. 

අපි කුඩා කාලයේ සිදු වූ "ආසයි බයයි" බෝට්ටුව මීට අවුරුදු 37 කට පෙර නිල්වලා ගඟ දිගේ වෙසක් බලන්නට ගොස් පෙරලී 36 දෙනෙකු මියගිය විට ඒ පිළිබඳ ශෝක වී ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුවක් කියා සිද්ධිය අමතක කරන්නට අපට හැකියාව තිබුනේ එකල මෙවැනි සිදුවීම් වලක්වන්නට ක්‍රමවේද නියමිත ලෙස ස්ථාන ගත නොකර තිබූ නිසාය. 

නමුත් දැන් තත්වය එසේ නොවේ. මුලු රට පුරාම ආපදා කලමනාකරණයට නිලධාරීන් යොදවා ව්‍යුහයක් ඇතිකර අප බොහෝ මුදලක් ආයෝජනය කර තිබේ. ඇත්තෙන්ම මේ සදහා ඇමතිවරයෙකුද අප විසින් පත් කරගෙන ඇත්තේය. ඔහුටද ලොකු අමාත්‍යංශයකුත් අමාත්‍යාංශ ගොඩනැගිල්ලකුත්, ලේඛම්වරු, අධ්‍යක්ෂකවරු වැනි මෙකී නොකී නිලධාරීන්ද පත්කර අපි ඔවුනටද වැටුප් ගෙවන්නෙමු. දැන් ආසයි බයයි සිදු වූ ලෙසටම ශෝකය පලකර, සිංදු කියා අවසන් කිරීම සුදුසු නොවේ. 

මක්නිසාද එසේ වුවහොත් අප විසින් ඒ ආයෝජනය කල මුදල් වලින් ජනතාවට ප්‍රතිඵලයක් ලැබී නොතිබීමය. ආපදාව සිදු වූ පසු ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කෙනෙකු රූපවාහිනියට පැමිණ මියගිය අයගේ සහ තුවාල කරුවන්ගේ ප්‍රමාණයන් අපට දැන්වීමෙන් පලක් නැත්තේය. අප වුවමනාවෙන් අසා සිටින්නේ ඔවුන්ගේ ආපදා වැලැක්වීමේ ක්‍රියා තුලින් කොතරම් පිරිසක්ගේ ජීවිත බේරා ගැනීමට එසේත් නැත්නම් කොතරම් වටිනාකමක දේපලක් බේරා ගැනීමට ඔවුනට හැකි වූයේදැයි දැනගන්නටය. අප ඒ සදහා යොදවන මුදල් වලින් ප්‍රයෝජනයක් ඇත්දැයි දැනගැනීමටය. 

එසේ අපට යහපත් ප්‍රතිඵල අරගෙන දෙන්නට නම් එවැනි ආපදා කලමනාකරණයට යොදවා ඇති නිලධාරීන් තමන්ගේ ආපදා බල ප්‍රදේශයේ සිදුවන්නට ඉඩ තිබෙන ආපදාවන් ලැයිස්තුවක් සාදා ගත යුත්තේය. එම ලැයිස්තුවේ ඇති ආපදාවන් සිදුවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව (likelyhood) මීට පෙර ඒවා සිදු වී ඇති ආකාරය (pattern) අනුව ශ්‍රේණි ගත කල යුත්තේය. ඉන්පසු එම ආපදාවන් වැලැක්වීමට කුමක් කල යුත්තේදැයි විශේෂඥයින් සහ අත්දැකීම් ඇත්තන් සමග සාකච්ඡා කර මෙහෙයුම් සැලැස්මක් (action plan) සාදාගත යුත්තේය. 

මෙවැනි සැලැස්මක් සෑදීමේදී අධික මුදලක් වැයවන හෙලිකොප්ටර් සහ දොඹකර වැනි ඒවා ඇතුලත් කිරීමට පෙර වියදමක් නොමැතිව කල හැකි ක්‍රියාදාම වලට ප්‍රමුඛතාවයක් දිය යුත්තේය. 

මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් කළුතර ප්‍රදේශයේ අවුරුද්දකට වරක් මෙවැනි බෝට්ටු පෙරහැරකුත් තිබුනේ නම් මේ සදහා ආපදා වැලැක්වීමේ ක්‍රියා පිළිවෙල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ තිබුනාද? 

  • මෙම බෝට්ටු පෙරහැර ආපදාවක් වියහැකි ලැයිස්තුවේ ඉහලින්ම තිබේ. 
  • බෝට්ටු කුමන වර්ගයේ ඒවාදැයි වර්ගීකරණය කර මෙවැනි අවස්ථාවක විවිධ වර්ගීකරණයන් ගෙන් යුත් යාත්‍රාවල වන්දනා කරුවන් කීදෙනෙකු යා හැකි දැයි දැනමුත්තන් සමග සාකච්ඡා කර ලේඛන ගතකර තිබීම. 
  • බෝට්ටු වරායෙන් පිටත්වීමට පෙර ඒ නියමිත ගණනට වඩා සිටිනවාදැයි පරීක්ෂා කර අධිකව වන්දනාකරුවන් සිටින යාත්‍රාවලට මුහුදට යැවීමට ඉඩ නොදීම. 


මෙවැනි ක්‍රමවේදයක් තිබුනේ නම් ජීවිත 16 ක් ආරක්ෂා වනු ඇත. දැන්වත්  මෙවැනි දෑ වැලැක්වීමට දැනට තිබෙන ආයතන සහ සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කල යුත්තේ අනාගතයේදීවත් මෙවැනි දෑ සිදුනොවීමටය.  

ඒ අතරම මෙම සංවිධානයන්ගේ නම ආපදා කලමනාකරණය නොව ආපදා වැලක්වීමේ හා කලමනාකරණය කිරිමේ සංවිධානය ලෙස නම් කලහොත් අඩු තරමින් දිනපතා නම දකිත්දීවත් අපට වැලැක්වීමේ වගකීමක් තිබෙන බව දිනපතා මතක්වනු ඇත.   

Sunday, February 19, 2017

සීගිරියට විදුලි සෝපානයක්?





ලඟකදී ඉබ්බන්කටුවේ පූර්ව ඉතිහාස සොහොන් බිමක් සංචාරකයන් සදහා විවෟත කරන අවස්ථාවේ සංස්කෟතික කටයුතු ඇමතිවරයා කතාවක් පවත්වනු රූපවාහිනියෙන් මම දැක්කෙමි. මෙතෙක් කලක් එය විවෘත නොකලේ ඇයිදැයි යන ප්‍රශ්නය අපට ඇති වුවද ඊට වඩා වැදගත් කාරණයක් ඔහු එහිදී ප්‍රකාශ කලේය. ඒ සීගිරියට විදුලි සෝපානයක් සවි කිරීමයි. මේ සදහා ඔහුගේ හේතු වූයේ සංචාරකයන් සදහා ගමනාන්තයන්ගේ තරඟයට මුහුණ දීමට අප සංචාරකයන් සදහා අළුත් ආකර්ෂණ සහ පහසුකම් ඇති කිරීමයි. 

සීගිරිය නැඟීමට අපහසු සංචාරකයන් සදහා විදුලි සෝපානයක් යෙදවීම ඉතාමත් කාලෝචිත යෝජනාවකි. මෙමගින් සීගිරිය නැගීමට අපහසු සංචාරකයන්ට එය නැරඹීමට මුදුනට යෑමට පමණක් නොව, සෝපානයම අළුත් ආකර්ෂණයක් බවට පත්වනවා නොඅනුමානය. 

සාමාන්‍යයෙන් තැනිතලා භූමියක අඩි 660 ක් උසට හුදකලාව වාගේ පිහිටි සීගිරිය කොතැන සිට බැලුවත් මනරම් දසුනකි. කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 477-495) විසින් තම බලකොටු මාලිඟාව ලෙස සීගිරිය ගොඩනැගුවේ ඔටුන්නට නියම හිමිකරු වූ තම සහෝදර මුගලන් කුමරු ඉන්දියාවේ සිට රැගෙන එන හමුදාවකට මුහුණදීම සදහාය. ඔහුගේ සැලසුම එසේ වුවද අවුරුදු 18 කට පසු සහෝදරයා මන්නාරම් තොටට ගොඩ බැසි විට මෙතරම් මහන්සි වී සාදාගත් බලකොටුවේ ආරක්ෂාව නොපතා ඔහු සහෝදරයාගේ හමුදාවට මුහුණදීමට පිටතට පැමිණියේ සමහර විට බුද්ධියෙන් මුහුකුරා යනවිට මෙවැනි බලකොටුවක සිට සතුරාට මුහුණදීම තමාට අවාසි සහගත බව තේරුම් ගත් නිසා විය හැක. 

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ඒවායේ ආකර්ෂණනය කර ගන්නා ප්‍රමාණය මත ශ්‍රේණි ගත කලහොත් සීගිරිය දෙවැනි වන්නේ අපේ මුහුද වෙරළවල් වලට පමණක් බව මට සිතේ. මේ නිසාම මෙතෙක් කලක් විදේශීය සංචාරකයන් මහනුවර හෝටල් වල දවසක් ගතකිරීම දැන් දඹුල්ල සීගිරියෙන් වික්ශේපනය කර ඇති බව පෙනේ. 

නැවතත් අපේ මාතෟකාව වන සීගිරියේ සෝපාව වෙත යොමුවෙමු. ඇත්තෙන්ම මෙය ඉතා හොද අදහසක් වන අතර, හැන්දෑවට ටී.වි. ප්‍රවෟත්ති වල තමන්ගේ කතාව සිත්කලු කර ගැනීමට යොදා ගත්තක් නොවන්නේ යයි මම විශ්වාස කරමි. 

ඔහු එය ඇත්තටම ප්‍රකාශ කලායැයි සිතා දැන් අපි මෙවැනි සෝපානයක යාන්ත්‍රණය දෙස නිකමට බලමු. ලෝකයේ බොහෝ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයන්හි දැනටමත් සෝපාන සවිකර ඇති නිසා සෝපානයක් සවිකල හොත් යුනෙස්කෝවෙන් ප්‍රශ්න ඇති වේයැයි අපි බිය විය යුතු නැත. සීගිරිය වැනි සංචාරක ආකර්ෂණයක මෙවැනි සෝපානයක් සවිකර ඇති තැනක්දැන් අපි පරීක්ෂා කල යුත්තේය. මේ සදහා හොදම උදාහරණය චීනයේ සන්ග්ජිලාජි හි බයිලෝන්ග්  විදුලි සෝපානයයි. මෙය මීටර් 335 ක් උසය. ඩොලර් මිලියන 19 ක් වැය කර සාදා ඇති මෙයට සංචාරකයින් 48 දෙනෙකු රැගෙන මීටර් 335 මුදුනට විනාඩි 2 කින් ලගාවිය හැක. 

මෙම සෝපානයේ උස වන අඩි 1100 ය සැසදූ විට සීගිරියේ උස එයින් 6/10 කි. චීන සෝපානයට වැයකර ඇත්තේ රුපියල් මිලියන 2850 කි. එයින් 60% ක් බැලූ විට එය මිලියන 1710 ක් වෙයි. ඇත්තෙන්ම මෙවැනි සෝපානයක උස වැඩිවත්ම පිරිවැයේ වැඩිවීමද ඝාතීය (exponential ) ලෙස සිදුවේ. මේ අනුව සීගිරියේ සෝපානයට වැයවන මුදල රුපියල් මිලියන 1710 ට වඩා බොහෝ අඩුවිය යුතුය. එය රුපියල් බිලියන 1.2 ක් පමන වේයැයි සිතමු. මෙය චීනයේ නොවන නිසා අපට 48 දෙනෙකු ගෙනයාමටත් අවශ්‍ය නොවනු ඇත. ඉහලට රැගෙන යන ප්‍රමාණයත් 20 කට පමණ අඩුකල හොත් මෙහි මූලික වියදම බිලියනයකට බොහෝ දකුණෙන් පිහිටනු ඇත. අප රටේ මෙවැනි ව්‍යාපෘතියකට අතගැසිය හැකි සමාගම් බොහෝ තිබේ. රජය ව්‍යාපෘතිය පටන් ගැනීමට පුද්ගලික අංශය සහභාගි කර ගැනීමට හොඳ වැඩපිලිවෙලක් සකස් කල යුතුය. 

මෙම ව්‍යාපෘතිය අපේ ඇල්මැරී ඇති සංචාරක ව්‍යාපාරයට හොඳ උත්තේජකයක් ලබාදිය හැකි බව මට හොඳටම විශ්වාසය. නමුත් මෙවැනි ව්‍යාපෘතියක් රජය කරන්නට නම් සිතන්නටවත් හොද නැත්තේ අවසානයේ වැඩෙත් හරියට නොවී දූෂණ වංචා  චෝදනාත් ඇතිවී අවුල් ජාලයක් ඇතිකර නොගැනීමටය. 

Saturday, February 18, 2017

මීගමුවේ මහා රාළ - 2 කොටස





link for the first part

http://lakshmanillangakoon.blogspot.com/2017/02/1_15.html






මෙකල පලුගම ප්‍රදේශයේ පාලකයා රජුට විරුද්ධව පෘතුගීසී සමග කුමන්ත්‍රණය කරන බව දැන ගන්නට ලැබී, ඔහුට රජු වෙත පැමිණෙන ලෙස රජු විසින් අණ කරන ලදි. ඔහු රාජ අණට අනුව නොපැමිණි හෙයින් මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ යටතේ විශාල හමුදාවක් එම ප්‍රදේශයට යවන ලදි. රාජ්‍ය හමුදාව පලුගම ප්‍රදේශයට පැමිණි පසු එම යුව රජු හමුදාවට යටත් වී, හමුදාවට වන්දි වශයෙන් විශාල මුදලක්ද ගෙවා පසුව කන්ද උඩරට මහා රජු බැහැ දැකිමට පැමිණියේය.

මෙහිදී බොහෝමයක් ප්‍රාදේශීය පාලකයන් ගෙන් සැදුම් ලත් විනිශ්චය සභාවකදී ඔහුට විරුද්ධව ඇති චෝදනා පරීක්ෂා කරන ලදි. එම චෝදනාව වූයේ පෘතුගීසී සමග කන්ද උඩරට රජු මරන්නට කුමන්ත්‍රණය කිරීම, එයට ත්‍යාග වශයෙන්ද කන්ද උඩරට රජුගේ දූ කුමරිය විවාහ කර ගැනීමට පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලා සිටීම හා කන්ද උඩරට රාජ්‍යයේ කොටසක් මඩකලපුව හා පලුගම එකතු කර ස්වාධීන රාජ්‍යයක් ඇති කර එහි පාලකයා බවට පත්වීමට පෘතුගීසීන් කුමන්ත්‍රණය කිරීමය.

මෙම විනිශ්චය සභාව විසින් චෝදනා විභාග කර ඔහු වැරදිකරු බව තීරණය කලෙන්, ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එම මරණ දඬුවමින් පසු පලුගම ප්‍රදේශයේ පාලකයා ලෙස එම ප්‍රදේශයේ හිටපු පාලකයාගේ ඥාතියෙකු වූ සෙනරත් රජුට හිතවත් නායකයෙකු පත් කරන ලදි.

මේ අතර නාවික බලයක් කන්ද උඩරට රාජ්‍ය සදහා ස්ථාපිත කිරිමට සැලසුම් කල සෙනරත් රජතුමා, මීගමුවේ මහා රාළ තම නාවික හමුදාවේ අද්මිරාල්වරයා ලෙස පත්කර මූලික පියවරක් ලෙස යුධ නැව් 03 ක් සහ අවශේෂ යාත්‍රා 03 ක් තැනීමට කටයුතු සම්පාදනය කලේය. 1711 මැයි මස 16 වන දින මෙලෙස තනන ලද විශේෂ නෞකා ඉන්දියාවේ කොමරින් තුඩුව හා ශ්‍රී ලංකාව අතර යාත්‍රා කරන සතුරු නැව් විනාශ කිරීමට නියෝග සහිතව පහත කපිතාන්වරු යටතේ ත්‍රීකුණාමලයේ වරායෙන් පිටත් විය.

1.  ‘කැන්ඩි‘ යුධ නෞකාව          -            කපිතාන් සුන්දර අප්පු
2.  ‘ඕලන්ද‘ යුධ නෞකාව          -            කපිතාන් ක්‍රිස්ටිනා
3.  ‘මීගමුව‘ යුධ නෞකාව          -             කපිතාන් දිංගප්පා
4.  ‘ෆෝචූන්‘ යාත්‍රාව                  -             කපිතාන් ඕදියා
5.  ‘ගෙලුක්‘ යාත්‍රාව                   -              කපිතාන් මාරසිංහ
6.  ‘ඩී ට්ර වාවේ‘ යාත්‍රාව            -               කපිතාන් සුන්දරප්පා
         
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කල අතර, උප අද්මිරාල්වරයා වූයේ වණ්ඩිගේ නේ හැන්නි නැමැත්තෙකි. මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවරට පැමිණි සෙනරත් රජු බැහැ දුටු පසු, ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.

1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද  වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඔවූහූ එම තරමටම එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටියහ.

මින් ටික දිනකට පසු සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක (දැන් හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස්  රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් බොහෝ කල් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු බොහෝමයක් පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා විසිනි.

මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට විරුද්ධව කැරලි ගැසූ කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් විය. උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කලහ. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.

1614 දී පෘතුගීසීන් විශාල කණ්ඩායමක් ඔවුනට පක්ෂපාතී සිංහල හමුදාවකද සහාය ඇතිව මහනුවර ආක්‍රමණය කිරීමට කොළඹ සිට ගමන් ඇරඹූහ. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී උඩරට රජුගේ හමුදාව මෙම පෘතුගීසී හමුදාවට මුහුණ දුන් අතර, දරුණු සටන් වලින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයට පත්විය. පෘතුගීසී හමුදාවේ සිටි සිංහල භටයන්ගෙන්ද 2500 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඉතිරි පෘතුගීසී භටයන් වනයට රිංගා ගෙන තම ජීවිත බේරා ගත්හ. මෙම සටන දක්ෂ ලෙස මෙහෙයවූ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ සටන් ජයග්‍රණයෙන් පසුව, ඉතා හරසරින් මහනුවරින් පිළිගනු ලැබූහ.

මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය  බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.



     




Wednesday, February 15, 2017

elevator at Sigiriya , good idea?










I recently saw a news report where minister for cultural affairs making a speech after opening the ancient burial ground  at Ibbankatuwa  for visitors , why wasn’t it open to visitors all this time  I am not too sure, in the speech he said , in the fierce competition to attract tourists we must innovate and find new ways for them to enjoy our places of interests with less inconveniences. 

And the example he used to  illustrate his point  was installing an elevator at Sigiriya, for the use of visitors who are not able to climb Sigiriya because of physical disabilities. 

This is a very good proposal, that , I am sure will become an attraction by itself adding color to climbing Sigiriya. Standing  660 ft tall, with only few companions ,  on an otherwise a large plateau, Sigiriya has been built by King Kashyappa(477-495 AD) as his castle and palace fearing an attack from his step brother who was the true heir to the throne, most likely because Kassayappas mother was a lesser queen.

Sigiriya has become one of the most significant tourist attractions in Srilanka and would probably be second only to our beaches if the merit of different types of attractions are valued and listed. Probably it is the main reason for Dambulla to recently to   become  preferred  day destination compared to Kandy  for tourists.

Back to the proposal for elevator, as I said earlier it is a very good idea and it should not be just discarded after the speech just acting as a attention seeker in the evening news, like many other proposals made by politicians in small public meetings.

Lets see the mechanics of the proposed elevator. Firstly, since  there are many other heritage sites in the world that have elevators installed,  we don’t have to worry about the wrath of UNESCO like that incident earlier in Galle fort. Then we should look at similar sites that have elevators. Most appropriate one is the Zhangjilagie in China, the  

 Bailong Elevator or Hundred Dragons Elevator is a glass elevator built onto the side of a huge cliff in the Yuanjiajie Scenic Area of Wulingyuan Scenic and Historic Interest Area that is 335 m high. At the cost of 120 million yuan or $19 million, the elevator can take 48 passengers at once to the top, rated speed 3.0 m/s, a journey that takes 2 seconds shy of 2 minutes. After it was built, the lift was said to be the world's tallest full-exposure outdoor lift, tallest double-deck sightseeing elevator, and the fastest passenger elevator with the biggest capacity.

This elevator we can see is 1100 feet in height and Sigiriya is only 6/10th of that height and the cost of the project has been 19 million $.That’s 2850 million rupees. 60% of that would be 1710 million rupees. Also I would think that the cost of elevators would rise exponentially with height especially in dizzy heights like this. So the cost at Sigiriya would be considerably lower than 1710 million  Rupees. Say 1.2 billion rupees. We also don’t need such a huge capacity, I think 20 capacity elevator should serve our purpose. That will slash the cost considerably.

 Say well south of  one billion rupees. And we know there are many private companies that can take up this challenge. The project will, I am sure, be a financially viable at that cost. More than the cost it will give a huge fillip to our tourism industry as a whole. 

මීගමුවේ මහා රාළ - 1






                            එ් කාලයේ ඉන්දියාවේ නෙදර්ලන්ත වෙළෙන්දෙකුගේ චිත්‍රයක්. 

මීගමුවේ මහා රාළ හෙවත් මාරිසල්ස් බොෂුවර්.

17 වන හා 18 වන ශතවර්ෂයන්හි මහනුවර කන්ද උඩරට රාජධානිය, ශ්‍රී ලංකාවේ එකම ලාංකික රාජධානිය විය. 1696 න් පසු නොයෙකුත් යුරෝපීයයන් එම රාජධානියෙහි වාසය කලහ. එකල අන්තර් ජාතික බලවතුන් වූ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයින් බලවත් මුහුදු අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටි අතර, ඉංග්‍රීසීන්ද පසු කලෙක මෙම තරගයට ඇතුලු වූහ.

මෙම විදේශික සම්බන්ධතාවයන් නිසා කන්ද උඩරට වාසය කල බොහෝ යුරෝපීයයන් අතර, යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද සිටියහ.

මෙම යුරෝපීයන් අතර කන්ද උඩරට රාජධානිය තුල රාජ්‍ය සේවයේ යෙදුනු මැනුවෙල් ඩයස්, දස්කොන් අධිකාරම සහ මාරියල්ස් බොෂුවර් ( Marcelis Boschouwer) කන්ද උඩරට රාජ්‍ය සභාවේ ඉහලම තනතුරු වලට පැමිණි යුරෝපීයන් තිදෙනෙක් විය.

මැනුවෙල් ඩයස් :-     විමලධර්මසූරිය රජු (1592 – 1604) ගේ රාජ්‍ය  කාලයේ රජු විසින් පෘතුගීසීන් හා යුද්ධයේදී සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසු, රාජ පාක්ෂිකභාවය සහ දක්ෂකම් නිසා ඉතා කෙටි කලකින් රජුගේ විශ්වාසය දිනා ගනිමින්, මහාධීකාරම තනතුරට උසස් විය.
දස්කොන් අධීකාරම :-    යුරෝපිකයෙකු වූ දස්කොන් අධිකාරම, අන්තිම සිංහල රජු වූ කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම විය.
මීගමුවේ මහා රාළ  :- මේ දෙදෙනාටම වඩා මීගමුවේ මහා රාළ යැයි අනුවර්ත නාමයෙන් හදුන්වනු ලැබූ නෙදර්ලන්ත ජාතික මාරියල්ස් බොෂුවර්, සෙනරත් රජුගේ (1604 – 1636) රාජ්‍ය පරිපාලනයේදී ඉතා බලවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.

1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ. මෙම ලිපිය කණීෂ්ඨ වෙළෙන්දෙකු වූ (එකල තිබූ රැකියා නාමයක්) මාරියල්ස් බොෂුවර් අත ඕලන්ද නෞකාවක් මගින් ත්‍රීකුණාමලයට එවන ලදි.

1612 මාර්තු මස මහනුවරට පැමිණි මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් මහා රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර දුන්නේය. එම ලිපිය සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව  තැබීමෙන් පසු රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම සාකච්ඡා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණියහ. මෙම ගිවිසුමට යුධ කටයුතු, වෙළදාම් හා වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීම, ගබඩා කිරීම හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් විය.

මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය  සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතු අතර, එම එකගතාවය සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට රජු සමග නෙදර්ලන්ත තානාපතිවරයෙකු සිටිය යුතු බවය.

මේ අතර රජතුමා විසින් මොහුව මීගමුව ප්‍රදේශයේ පාලකයා ලෙස පත්කල හෙයින්, ඔහු මීගමුවේ මහා රාළ යන පටබැඳි නමින් ප්‍රසිද්ධ විය. මෙයට අමතරව සත්කෝරළයේ අනුරාධපුර හා මීපිටිගල මහා රාළ ලෙසද, යුධ සංවිධානයේ සම ප්‍රධානියා ලෙසද, නාවික හමුදාවේ ප්‍රධාන අද්මිරාල්වරයා ලෙසද, ඔහුව පත් කෙරිණ.

මෙලෙස මොහු කන්ද උඩරට රාජ්‍යයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදි. මේ අතර මොහු සමග පැමිණි අනෙකුත්  ඹ්ලන්ද ජාතිකයන් ත්‍රීකුණාමලයේ බලකොටුවක් සෑදිමට සුදානම් වුහ. මේ බව ආරංචි වු කොළඹ සිටි පෘතුගීසිහු කන්ද උඩරටට උතුරු දෙසින් වටරවුමෙන් ත්‍රීකුණාමලය බලා පෘතුගීසීහූ දහසක් හා සිංහල හමුදා භටයින් තුන්දහසකින් සමන්විත වු හමුදාවක් යවා, ත්‍රීකුණාමලයේ සිටි ඕලන්ද ජාතිකයින්ට පහරදී ඔවුන් මරණයට පත් කර ප්‍රදේශය කොල්ලකෑහ.

මෙම ආරංචිය ලද විගස කන්ද උඩරට සෙනරත් රජතුමා විසින් මාරසිංහ ආරච්චි නැමැති සෙන්පතියෙකු යටතේ 5000 ක සිංහල හමුදාවක් මහනුවරින් යවා කුරුණෑගල ප්‍රදේශයේදී ආපසු කොළඹ බලා යන පෘතුගීසීන් වටකර පහරදී ඔවුන් බලවත් පරාජයකට පත් කලේය.

කෙටි කලකදීම මීගමුවේ මහා රාළ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා හා උපදේශකවරයා බවට පත්විය. කන්ද උඩරට රාජ්‍ය සභාවේ මොහු කොතරම් බලගතු වූයේද යත්, රජු පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද විශාලතම සටනේ සම නායකත්වය මීගමුවේ මහා රාළට පිරිනැමීය. මෙම යුද්ධය සදහා භටයන් 50,000 ක හමුදාවක් රැස් කරන ලදි. එම හමුදාව පිහිටුවීම සදහා පවත්වන ලද යුධ සාකච්ඡාවට කන්ද උඩරට රජු යටතේ සිටි සියලුම ප්‍රාදේශීය පාලකයන් සහභාගි වූහ.

මෙලෙස රජු සිය හමුදාව සකස් කරමින් සිටින අවස්ථාවේදී, පෘතුගීසී හමුදාව යාපනයට පහර දීමට ගමන් කරන බව ඔහුට ආරංචි විය. වහාම තම හමුදාවේ කොටසක් එම පෘතුගීසී හමුදාවට පහර දීමට යැවීය. ඔහු පෘතුගීසී හමුදාවට පහරදී ඔවුන් පරාජය කලහ. මෙයින් කුපිත වූ පෘතුගීසී හමුදාව පලා යන අතරතුර මීගමුවේ මහා රාළගේ පාලන ප්‍රදේශය වූ මීගමුව අල්ලා ගෙන බලවත් විනාශයක් සිදු කලහ.

සෙනරත් රජුගේ ඥාති සහෝදරයා වූ, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ පුත් ඔටුන්න හිමි මහස්ථානේ කුමරු මේ කාලයේ මිය ගියේය. සෙනරත් රජු තම පුත් කුමරුට රාජ්‍ය බලය ලබා දීමට, මොහුට වස දී මරා දැමූ බවට සැක කල බැවින් රට වැසියන් රජුට විරුද්ධව නැගී සිටිමට සූදානම් වන විට, ඔවුන්ට කරුනු පහදා දී එම තත්වය පාලනය කරන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ විසිනි. මහස්ථානේ කුමරුගේ අවමඟුල් උත්සවයේ දරසෑයේ ගිණි දැල්වීමට සෙනරත් රජු විසින් පත් කරන ලද්දේ මීගමුවේ මහා රාළ බව කියවේ.

to be continued..........


Sunday, February 12, 2017

scripted protests ?










Free education is much discussed issue these days. In fact it is so aggressively thrashed out  , that, its meaning; many different meanings, depending on which side of the argument you are in, has been lost in the process.   For some people, mostly young leftists and Marxists from universities, it’s a life and death issue. Every once in a while , like a ritual ,they come to the capitol, in thousands, wearing  black bands, carrying placards with slogans like ‘don’t destroy free education’ to protest.
They want to go see education minister or even president and discuss this issue, not few representatives but whole  procession, police position barricades across a main road, students attempt to break it , resulting in a  contest between policemen and students  , they push the steel barricades from either sides  as if to see which side has  stronger muscles. 
It is wrecking havoc on city traffic because the protests are timed in such a way that it will come to busiest main traffic artery exactly when the outgoing traffic start leaving the heart of the city. This is exactly what the orchestrators of these protests want; maximum disruption.  And for students horde, with a judicial sprinkle of Buddhist monks, this is most romantic part of the day’s proceedings; The tug o war at the barricades.
Because barricades are a quasi- essential part of student protests, starting from   revolutionary class struggles and mother of all revolutions, the French revolution, as dramatized by Victor Hugo in Les Miserables. So trying to pull it  down by students  and  attempting to keep the status quo by the police continues for something like half an hour. As in everything else including the second law of thermodynamics ,  disruptive attempts gain upper hand, over the endeavor to maintain order. When police feels that students have tipped the balance and barricades are losing their intended effect the water cannons and masked tear gas shooters are brought into play. 
Police fire water cannon on to the crowd, but students brave the high pressured water columns because the climax is near. Monks advance to the front to show to the cameras and in turn the TV news addicted public  that  police does not respect even monks, because here  police is synonymous with the government. 
During the watery part of the script, as the student body does not disperse, tear gas canisters are fired  into the crowd. After few minutes students disperse and go back to their hostels and homes; in the case of day scholars.
Postscript;
Few policemen and students receive minor injuries
TV stations have juicy video clips for evening news ,  prominence for coverage depends on the political leaning of the station
Evening commuters caught in the traffic jam reach home many hours late , angry and exhausted.
Free education remains same because adding nongovernmental universities will no way dilute the existing free education; in fact it will supplement free education by taking out a fair percentage of students who can afford private universities, making  available more berths to deserving students
The perpetrators of the protests expecting a serious incident like a police shooting of Dambarawe Rathanasara  on 8th January 1968 near US embassy  , hoping that  they can galvanize public for large scale anti government rallies are disappointed and wait for next opportunity.

Friday, February 10, 2017

හාල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න.







මේ වකවානුවේ ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයයි. එය දෙවැනි වනවානම් දෙවැනි  වෙන්නේ හාල් මිල පිළිබද ප්‍රශ්නයට පමණි. 

හාල් මිල පිළිබද ප්‍රශ්නයත් පුදුම ප්‍රශ්නයකි. වෙන ඕනෑම ප්‍රශ්නයක ජය - ජය, ජය - පරාජය හෝ පරාජය - ජය, ලෙසට ප්‍රතිපලයන් ඇතිවිය හැක්කේය. එහෙත් මේ හාල් ප්‍රශ්නයේ ඉතාමත් පුදුම සහගත කාරණය  නම් සියලුම පරදු දරන්නන් පරාජය වී සිටීමය.

  • ගොවියෝ 
  • සිල්ලර කඩ හිමියන් 
  • තොග ව්‍යාපාරිකයන්  
  • වී මෝල් හිමියන් 
  • පාරිභෝගිකයන් 
  • පිටරටින් සහල් ගෙන්නන් 


යන සියලුම පාර්ශවයන් අසතුටට සහ කෝපයට පත්ව සිටින බව පෙනේ. මෙලෙස එක් ප්‍රශ්නයක පරදු දරන්නන් සියලු දෙනා තමන් නියෝජනය කරන සමාජ කොටස මෙම ප්‍රශ්නයෙන් පාඩු ලැබුවා යැයි සිතන්නට පුළුවන් වන විදිහට මෙවැනි ප්‍රශ්නයක් අවුල් කර ගත හැකි කළමනාකරුවන් පිරිසක් ලෝකයේ වෙන කොහේ සිටින්නේදැයි සිතා ගන්නටත් අපහසුය. 

මෙවැනි පසුබිමක මේ විශ්ව විද්‍යාල ප්‍රශ්නය දෙස නිවිහැනිල්ලේ බලමු. 

විශ්ව විද්‍යාල ප්‍රශ්නයේ පරදු දරන්නන් කවරහුද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ලබැදීයාවන් කවරක් වන්නේදැයි දැන් අපි පරික්ෂා කර බලමු. 

1.පුද්ගලික විශ්ව විද්‍යාලවල දැනට ඉගෙන ගන්නා සිසුන්  - ඔවුනට මහත් අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබේ. ඉක්මන් විසදුමක් මේ තත්වය මග හරවයි. 
2.එම සිසුන්ගේ දෙමව්පියන් - දරුවන්ගේ හැගීම් වලට සමානය.
රජය - පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීම රජයේ ඕනෑකම විය යුතුය. 
3.අපි, පොදු ජනතාව -
මුදල් වියදම් නොකර වෛද්‍යවරු ජනතාවගේ සේවයට එකතුවීම.
සිසුන් පිටරට අධ්‍යාපනයට යාමෙන් සිදුවන බිලියන ගණනක විදේශ විනිමය විනාශවීම නැවතීම. 

 4.රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන් - තමනට රැකියා වෙළද පොලේ තරගයක් ඇතිවේයැයි සිතුවිල්ල.
5.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, චීනය, ජෝර්ජියාව, යුක්රේනය .... වැනි රටවල රාජ්‍යයන් සහ ඒවායේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - මෙහි පු.වි.වී. ඇතිවීමෙන් ඔවුන්ගේ රටට ගලාගෙන එන විදේශ විනිමය සහ ලාබ නැතිවීම.  
5.ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - වී වී මගින් ලාබ ලබාගැනීමට හැකි වීම.
6.ශ්‍රී ලංකාවේ අනාගත ශිෂ්‍ය පරම්පරාව - පෙර නොතිබූ ආකාරයෙන් අධ්‍යාපන අවස්තා ඇතිවීම. 
7.සමහර වුර්තිකයින් - තමන්ගේ ව්‍යාපාරවලට තරගය වැඩිවේයයි බිය. 
වාමාංශික දේශපාලන පක්ෂ - වාමාංශික වූ විට සියල්ල රජයෙන්ම කල යුතු යයි ඇති හණමිටි අදහස්. 
8.තාමත් ලෝකයේ කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක කල හැකියැයි සිතන්නන් - සිහින ලෝක මවා ගැනීම. 
9.රජය අමාරුවේ දැමීමට අවස්තාවක් ලැබෙනතුරු බලා සිටින්නන් - ලංකාවේ මෙවැනි කණ්ඩායම් වලින් අඩුවක් නැත්තේය. 
10.රජයෙන් පමණක් අධ්‍යාපනය කල යුතුය යැයි සිතන අය - ලෝකයේ සිදුවන දෑ ගැන නොතකා සිටීම.
11.පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන විට තමන්ට ඒවාට යාමට මුදල් නැති නිසා දුප්පත් ළමුන් දුක් වේයැයි සිතන bleeding heart liberals - ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය. පු වී වී  ඇතිවීමෙන් බැංකු නය ක්‍රම වලින් හා ශිෂත්ව මගින් බොහෝ දුප්පත් දරුවනට අධ්‍යාපන අවස්ථා ඇතිවනු ඇත්තේය.    
  
මෙවැනි තවත් ලබැදියා කණ්ඩායම් තිබේද ?

Wednesday, February 8, 2017

Auschwitz සමාන අත්දැකීමක් සෙන්කඩගලපුරයෙන් ලබාගන්න.









ලංකාවේ මිනිසා විසින් සිදුකෙරෙන වැළක්විය හැකි විශාලතම පරිසර හානිය සිදුවන්නේ කොතැනකදැයි මේ දිනවල ඇසුවොත් 99% ගේ පමණ පිළිතුර වනුයේ  විල්පත්තු වනය කැපීම  යන්නය. තවත් කිහිප දෙනෙකු කුඩා ජලවිදුලි බලාගාර, ගංගා වලින් වැලි ගොඩ දැමීම, වැනි පිළිතුරු ලබා දෙනු ඇත. ඇත්තෙන්ම ඒවා හරි පිළිතුරු නොවේ. 

මෙයට හරි පිළිතුර සොයා ගැනීමට පෙර අපි පරිසර හානි යනු කුමක්දැයි සොයා බැලිය යුතුය. 

        පරිසර විනාශය යනු ස්වභාවික පරිසරය අයහපත් ලෙස වෙනස් කරන දුෂක පරිසරය වෙත මුදා හැරීමයි. මෙම දුෂක රසායනික හෝ ශක්තිය මුල් කොට ගත් ඒවා විය හැක්කේය. ශක්තියේ ප්‍රභේදයන් ශබ්දය තාපය හෝ ආලෝකය විය හැක්කේය. 


මෙයින් පරිසරයට අහිතකර දුෂක වැඩියෙන්ම එකතු කරන මිනිස් ක්‍රියාකාරකම් වාහන පාව්ච්චි කිරීමයි. වාහනයක් ක්‍රියා කරන විට අනික්වාට අමතරව පහත දුෂක පරිසරයට එක්වෙයි. 

1. යකඩ සහ දැලි අංශු -  හිසකේ ගසක විෂ්කම්බයේ 1/10 ටත් වඩා ප්‍රමාණයෙන් අඩු මෙම අංශු කෙලින්ම පෙනහළු ඇතුලට යා හැකි හෙයින් අවට ජීවත් වන්නන්ගේ සෞඛ්‍යට වඩාත්ම අහිතකරය. 
2.  හයිඩ්රෝකබන් - මේවා වාතයේ නෛට්‍රජන් ඔක්සයිඩ් සමග එකතු වී භූමිය අසල  ඕසෝන් සැදේ. මේවයින් ශ්වසන  පද්දතිය දුර්වල කර පෙනහළුවල ධාරිතාවය අඩු කරයි. 
3.  නයිට්‍රජන් ඔක්සයිඩ්  - මේවා ශරීරයේ ස්වසන පද්ධ්තියේ  ආරක්ෂාව අඩපන කර නිව්මෝනියා සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. 
4.  කාබන් මොනොක්සය්දේ - මෙයින් මොලයට ඔක්සිජන් යාම වලක්වයි. ඉපදීමට සිටින දරුවන්, කුඩා දරුවන්ට මෙය වඩාත් භයානයකය. 
5.  සල්ෆර් ඩයොක්සයිඩ් - කුඩා දරුවන්ට සහ ඇදුම රෝගීන්ට ඉතාමත් භයානයකය. 
6.  බෙන්සීන්, බුටඩීන් වැනි දුෂක - අංගවිකල ඉපදීම්, පිළිකා සහ වෙනත් නොයෙකුත් භයානක රෝග වලට හේතු වන බව කියවේ. 
7.  හරිතාගාර වායු - මේවායින් පෘතුවිය උණුසුම් වීම ඉක්මන් කරයි. 

මෙම විස්තර අනුව සලකා බලන විට දිනකට වාහන 10,000 ක් පමණ ශ්‍රී  දළදාමාලිගය අසල A 26 මාර්ගය වසා තැබීම නිසා කිලෝ මීටර් තුන හමාරක් පමණ අමතරව ගමන් කරන අතර උදේ සහ හවස බ්ලොක් එකට අසු වී එන්ජෙන් දහස් ගණනක් රේස් කරමින් ඉබි ගමනෙන් ඉදිරියට ඇදේ. මෙහි මුළු ප්‍රමාණය වාහන කිලෝ මීටර් 50,000 ක පමණ හානියක් වනු ඇත. 

දහවල් වන විට, තේ කෝප්පයක හැඩය ඇති මහනුවර නගරයේ පතුල,  මේ විෂ වායුවෙන් සහ ලෝහ කුඩු වලින්  පිරුණු ඝන බුබුලක් බවට පත් වන්නේය. ඇතුල්වන සහ ජිවත්වන සියලු  දෙනා හිට්ලර්ගේ පෝලන්තයේ  Auschwitz කදවුරට ඇතුළුවනවා හා සමානය. 

මේ ප්‍රදේශයේ සිටින්නෝ කවරහුද? 

ධර්මරාජ, ඩී එස් සේනානායක, මහමායා, කැප්පෙටිපොල, සිල්වෙස්ටර්, ට්‍රිනිටි, පුෂ්පදාන, හිල්වුඩ් වැනි විද්‍යාල වල 40000 ක් පමණ වන සිසුන් 
මල්වත්තේ මහා නාහිමි ඇතුළු මල්වත්තේ හාමුදුරුවරුන්, 
නගරයේ වියපරිකයින් සහ රජයේ සේවකයන්, 
නගරයට පැමිණෙන්නන්, 
මහනුවර අරෝගියෂලව,කැන්ඩි නර්සින් හෝම් සහ ලේක්සයිඩ් ආරෝග්‍ය ශාලාවේ නේවාසික ලෙඩුන් 
මාලිගාවට එන බැතිමතුන්  

සිසුන් 40,000 කට පමණ මෙතරම් රෝගකාරක වන හිට්ලර්ගේ ගෑස් වධකාගාරයක් වැනි මෙම පරිසර හානියටත් වඩා පහසුවෙන්ම වැළක්විය හැකි පරිසර හානියක් මේ ලංකාවේ තවත් තිබිය හැකිද? ආසියාවේම?

විල්පත්තුව ගැන කෑ මොර දෙති, කුඩා දිය ඇලි වෙනුවෙන් සමිති හදාගෙන සිටිති. එහෙත් මේ මහා විනාශය ගැන කතා කරන පරිසරවේදියෙක් හෝ දේශපාලඥයෙක් පෙනෙන්නට නැත්තේ කුමන  ඛේදවාචකයක් නිසාදැයි මට නම් තේරෙන්නේ නැත. 

Tuesday, February 7, 2017

ප්‍රශස්ති නොගැයුනු වීරයෝ - 3 (අවසාන කොටස)

link for first part  http://lakshmanillangakoon.blogspot.com/2017/02/1.html
link for second parthttp://lakshmanillangakoon.blogspot.com/2017/02/2.html

final episode 

 සමරකොන් මුදලි එක්වරම සිංහල හමුදාව මැදට තම හමුදාව සමග පැන, සිංහල හමුදාවට පහර දෙන්නට පටන් ගත්තේය. මේහිදි එදිරිල්ලේ රාළගේ මස්සිනා වු ඉද්දගොඩ නයිදේ මරුමුවට පත් විය. මෙයින් පසු එදිරිල්ලගේ හමුදාව  හා පෘතුගීසීන් අතර යුද්ධයෙන් ඉතිරි  වු පනහක්  පමණ පෘතුගීසි හමුදාව සමරකොන්ගේ  හමුදාව  සමග කොළඹට  පැමිණියහ.

තම මස්සිනා වන ඉද්දගොඩ නයිදෙගේ මරණයෙන් බලවත් කම්පාවට පත් එදිරිල්ලේ රාළ, බරපතළ තුවාල  ලබා සිටියදී නැවත සටනට අවතීර්ණ වෙමින් දෝලාවක හිඳ තම හමුදාව සමග පෘතුගීසීන් දැඩි ලෙස පීඩාවට පත් කරමින් ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරමින් පෘතුගීසීන්ට බලවත් තර්ජනයක් නැවත ඇති කරන්නට සමත් විය. 

මේ අතර ඔහු විසින් රාජසිංහ රජුගේ ඥාතියෙකු වූත්, කන්ද උඩරට විමලධර්ම රජුගේ විරුද්ධකාරයෙකු වූත්, කෝරකේ බංඩාර අල්ලා ගෙන සිරකරුවෙකු ලෙස ඔහු මහනුවරට එවීය. මෙම අවස්ථාවේ රාජසිංහ රජුගේ මරණින් පසු කන්ද උඩරට හැරෙන්නට ලංකාවේ සෑම තැනම බලය අල්ලා ගෙන සිටි පෘතුගීසීන්ට එදිරිල්ලේ රාළගේ යුධ කටයුතු නිසා කොළඹ හා ගාල්ල කොටුව පමණක් සීමා විය. 

සමරකෝන් මුදලි ඔහුගේ සිංහල හමුදාවත් කොළඹ සිටි පෘතුගීසීන් සහ මන්නාරමින් පැමිණි පෘතුගීසීන් සමග නැවත සීතාවක බලා ගමන් ගත්හ. ඔවූහු හංවැල්ලේදී එදිරිල්ලගේ සහෝදරයාගේ හමුදා සමග සටන් කර ඔහු පරාජයට පත් කලහ. මෙය ආරංචි වූ එදිරිල්ලේ රාළ ඔහුගේ හමුදාව සමග පැමිණ නැවත පෘතුගීසීන් හා සමරකෝන්ගේ සිංහල හමුදා සමග සටන් වැදුනි.  

එහිදී ඇති වූ දරුණු සටන් වලින් පසුව එදිරිල්ලේ රාළගේ හමුදා පරාජය වූ අතර රිදී පටවා ගත් අලි පස් දෙනෙකුත්, රත්තරන් පටවා ගත් අලි දෙදෙනෙකුත්, ඇතුලුව විශාල වස්තු සම්භාරයක් සමරකෝන් මුදලිට හා පෘතුගීසීන්ට ලැබුණි. 

මෙහිදී වූ පරාජයෙන් පසු එදිරිල්ලේ රාළ ඉතිරි වූ හමුදාවත් සමග කන්ද උඩරටට පලා ගොස් කන්ද උඩරට එකල රාජ්‍ය  කල විමලධර්මසූරිය රජතුමා බැහැ දැක්කේය. ටික කලක් විමලධර්මසූරිය රජු සමග මහනුවර ජීවත් වූ එදිරිල්ලේ රාළ කෝට්ටේ සහ සීතාවක යුවරජ තනතුරෙහි හා එදිරිමාන්නසූරිය බංඩාර යන රාජ්‍ය  නාමයෙන් ඔටුනු පලදවන ලදි. ඔහු මෙම යුව රජ තනතුරට පත් කරන ලද්දේ එකල ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වශයෙන් පිලිගත් විමලධර්මසූරිය රජු යටතේය. පසුව සත් කෝරලයේ යුවරජ වරයෙකු වූ වීදිය බංඩාරගේ දියණිය එදිරිල්ලේ රාළට සරණ පාවා දෙනු ලැබීය. 

විශාල පිරිසක් සහභාගි වූ මෙම උත්සවය රනින් හා රිදියෙන් සරසන ලද අලි ඇතුන්ගෙන්ද, ඇත් දළ හා රනින් කරන ලද දෝලා වලින්ද, යුක්ත විය. එදිරිල්ලේ රාළ අලි ඇතුන් පෙරටු කොට ගෙන රනින් සරසන ලද ඇතෙකු පිට නැගී රන් ඔටුන්න හිසලා පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කලේය. මෙම සරණ මංගල්‍යය උත්සව දින එදිරිල්ලේ රාළගේ හමුදාවේ උප ප්‍රධානීන්ට හා හමුදා නිලධාරීන්ට නොයෙකුත් තාන්න මාන්න හා පදක්කම් විමලධර්මසූරිය රජු විසින් පිළිගන්වන ලදි. 

සරණ මංගල්‍යයෙන් දින කිහිපයකට පසු, කන්ද උඩරටින් එදිරිමාන්න සූරිය බංඩාර රජුන් සදහා හමුදාවක් සූදානම් කෙරුණි. මෙම හමුදාව සීතාවකට පැමිණි අතර එහිදී පෘතුගීසී හමුදාවේ මුදලිවරයෙකු වූද, සීතාවක රාජසිංහ රජුගේ ලඟ ඥාතියෙකු වූද, දොන් කොන්ස්ටන්ටීනෝ නවරත්නගේ හමුදා හා ගැටී ඔවුන් අන්ත ලෙස පරාජයට පත් කලහ. මෙම සටනින් පසු එදිරිල්ලේ නැවත මහනුවරට පැමිණියේය. කෙටි කලක් එදිරිමාන්න සූරිය බංඩාර රජුට සාමයෙන් කල්ගත කරන්නට ලැබිණ. 

මේ අතර පෘතුගීසීන්ට ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට විශාල වශයෙන් උපකාරක සේනා ලැබුණි. මෙම සේනාවන් ගෙන් කොටසක් ගාල්ල හා මාතරට යැවූ අතර, සමරකෝන් මුදලි ප්‍රධාන විශාල පෘතුගීසී හා සිංහල හමුදාවක් කළුතර කොටුව ඉඳිකිරීම සදහා යවන ලදි. 

සමරකෝන් මුදලිගේ හමුදාව කළු ගඟ අද්දර කඳවුරු බැඳ එම ස්ථානයේ විශාල බලකොටුවක් ඉඳිකරමින් සිටියේය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පෘතුගීසී ජෙනරාල්වරයාද කළුතරට පැමිණ සිටියේය. 

මෙම බලකොටුව ගැන ආරංචි වූ විමලධර්මසූරිය රජු, එදිරිමාන්න සූරිය බංඩාරට පන්දහසක හමුදාවක් සමග ගොස් මෙය විනාශ කිරීමට නියම කලේය. කොටුව විනාශ කිරීමට සිදු කල සටන එදිරිමාන්න සූරිය බංඩාර විසින් පෙරමුනේ සිට මෙහෙය වන ලද අතර, හදිසියේ ඇඳ හැලුනු විශාල වර්ෂාවක් නිසා කළුඟඟ උතුරා යාමෙන් ඔහුගේ හමුදාව බලවත් කරදරයට පත්විය. 

එකල තිබූ තුවක්කු වර්ෂාවකදී එලිමහනේ පාවිච්චි කල නොහැකි ඒවා වුවත්, වර්ෂාවෙන් තම තුවක්කු නොතෙමී ආරක්ෂා කරගැනීමට  නොහැකි විය. නමුත් සමරකෝන් මුදලිගේ හමුදාව බලකොටුව තුල සිටීම නිසා එම හමුදාවට තම තුවක්කු තෙමීමෙන් ආරක්ෂා කර ගත හැකිවිය. මෙම හේතුව නිසා උඩරට හමුදාවේ ඉතිරි කොටස් වෙඩි වැදීම් වලින් දරුණු ඝාතනයකට  ලක්විය. 

හමුදාවේ පසුපස කොටස මෙයින් කලබල වී ඇති බව පෙනී ඔවුන් දිරිමත් කිරීමට එදිරිමාන්න තම හමුදාව පසු පසට ගමන් කලේය. මෙය දුටු අනෙකුත් හමුදා කොටස් ඔහු පසු බසින්නට සූදානම් වෙනවා යැයි සිතා, තමුනුද පසු බසින්නට විය. මෙම අවස්ථාවේදී උඩරට හමුදා දරුණු පරාජයකට ලක්වූ අතර, උඩරට හමුදාවේ කිහිප දෙනෙකු හැරෙන්නට අන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. 

තුවාල වී තම හමුදාවෙන් වෙන් වූ එදිරිමාන්න සූරිය බංඩාර රයිගම් කෝරළයේ දින කිහිපයක් ඇවිදිමින් ගතකල අතර, නිරාහාරව සිටි ඔහු මහලු සිංහල කාන්තාවකගේ ගෙදරට ගොස් කෑමට යමක් ඉල්ලා සිටියේය. පෘතුගීසීන් මොහුව අල්ලා දුන් කෙනෙකුට විශාල මුදලක් ලබා දෙන බවට ප්‍රසිද්ධ කර ඇති බව දැන සිටි මෙම කාන්තාව මොහුට කෙසෙල් හැලියක් තම්බා දී නිවසේ නිදා ගැනිමට සලස්වා කළුතර කොටුවට ගොස් සමරකෝන් මුදලිට මේ පිළිබදව සැලකර සිටියේය. 

මේ කාන්තාව ගෙන් ආරංචිය පිළිගැනීමට නොහැකි තරම් සුභ ආරංචියක් වූ නිසා, සමරකෝන් මුදලි එය බොරු ආරංචියක් යැයි මුලින් සිතුවේය. එහෙත් කාන්තාවගේ බලවත් ඇවිටිල්ල නිසා සමරකෝන් මුදලිගේ මස්සිනා වූ දොන් හෙන්රික් කුඩා හමුදාවක් සමග ආරංචිය පරීක්ෂා කිරීමට යවන ලදි. දොන් හෙන්රික් නිවසට පැමිණ නිදා සිටි එදිරිමාන්න සූරිය බංඩාර අත්අඩංගුවට ගත් අතර, සතුරකු වුවද මොහු මහත් ගෞරව හරසරින් යුක්තව කළුතර කොටුවට ගෙන එන ලදි. 

එදිරිමාන්න සූරිය බංඩාරගේ තුවාල වලට බෙහෙත් කර කළුතර ගංගාතිලක විහාරය කඩා පෘතුගීසීන් එහි ඉඳිකර තිබූ පෘතුගීසී කොටුවේදී ජෙනරාල්වරයාට භාර දුන් අතර, එහිදී ඔහු සිරකරුවෙකු බවට පත්කර, විශාල දම්වැල් වලින් ගැටගසා කොළඹට ගෙන යන ලදි. 
එදිරිමාන්න සූරිය බංඩාර රැගෙන යාත්‍රා කිහිපයකින් කළුතර කොටුව වෙත සමරකෝන් මුදලි පැමිණෙන විට එම කොටුවේ සිටි ඩී.අසවේදු සෙන්පතිවරයා බෝට්ටු අසලට ගියේය. දස දහස් ගණන් ජනයා බලා සිටියදී සමරකෝන් මුදලි ඔහුගේ කරට ගෙන තවත් සෙනෙවියන් දෙදෙනෙකු සමග ගං ඉවුරට ඔසවාගෙන ආවේය. එදිරිල්ලේ රාළ අල්ලා ගැනීම පෘතුගීසීන් හට එතරම්ම ජයග්‍රහණයක් විය. 

මොහු විසින් සඟවා ඇති වස්තුව ගැන අසමින් දවස් හතලිහක් පමණ කාලයක් මොහුට වද දී එම තොරතුරු ලබා ගැනිමට නොහැකි වූ හෙයින්, ඔහුට මරණ දඩුවම නියම කරන ලදි. එදිරිමාන්න සූරිය බංඩාරගේ ශරීරය කොටස් හතරකට කපා ප්‍රසිද්ධ ස්ථානවල එල්ලන ලදි. ඔහුගේ හිස අළුත්ගම දින කිහිපයක් එල්ලා තබන ලදි.

 පෘතුගීසීන් මෙරටින් නෙරපා දැමීමට ජාතික සටනක් මෙහෙය වූ දොන් ඩොමිනිගෝ කොරේයා හෙවත්, එදිරිල්ලේ රාළ හෙවත්, එදිරිමාන්න සූරිය බංඩාර රජු මෙලෙස තම දේශය වෙනුවෙන් ජීවිතය පූජා කලේය. 

සමරකෝන් මුදලිට කුමක් වූයේද? එදිරිල්ලේ රාළ මිය ගිය පසු, (1604 – 1605) වර්ෂවලදී පෘතුගීසීන් පාලන ප්‍රදේශවල කාන්ගර ආරච්චි, ඇන්ටෝනියෝ බැරටෝ සහ තවත් නායකයන් කිහිපදෙනෙකු, විමලධර්මසූරිය රජුගේ උදව් ඇතිව පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගැසූ හෙයින්, පෘතුගීසී කඳවුරු කිහිපයක්ම කන්ද උඩරට රජුට යටත් විය. පනික්කි නැමැති නායකයෙකු යටතේ කැරලි කණ්ඩායමක් මාතර පෘතුගීසී දිසාවට පහර දී අල්ලා ගත් හෙයින්, මාතර දිසාව පෘතුගීසී යටතේ  පාලනය කල සමරකෝන් මුදලි උදව් ඉල්ලා පෘතුගීසී ජෙනරාල්වරයා වෙත පණිවිඩ යැවීය. 

මෙම සටන් වලදී සමරකෝන් මුදලි ක්‍රියාකල ආකාරයෙන් ඔහුගේ පෘතුගීසීනට ඇති පක්ෂපාතිත්වය පිළිබඳව පෘතුගීසී ජෙනරාල්වරයා වූ අසවේදු සැක පහල කලේය. එම නිසා සමරකෝන් මුදලි දම්වැල් වලින් විලංගු ගසා සිරකරුවෙකු ලෙස ගෝව නගරය වෙත පිටත් කර හරින ලදි. එහෙත් සමරකෝන් මුදලි පිළිබඳව හොදින් දැන සිටි ගෝවේහි පෘතුගීසී නිලධාරිහු සමරකෝන් මුදලි ගෝවේ කපිතාන්වරයා ලෙස පත් කලහ. මෙම නිළය පෘතුගීසී රාජ්‍යයක බලයෙන් වයිස්රෝයිවරයාට පමණක් දෙවැනි වූ අතර, කපිතාන්වරයා රාජ්‍ය පාලනයෙහි උත්තරීතර මංඩලයේද සාමාජිකයෙකු විය. 

මින්පසු සමරකෝන් මුදලි ආපසු කිසි දිනක තම මව් බිමට නොපැමිණි 
අතර, ආසියාවේ පෘතුගීසී පාලන ප්‍රදේශයන්හි නොයෙකුත් නිලතල දරමින් වාසය කලේය. ඔහු මිය යන විට පෘතුගීසී වෙළඳ නගරයක් වූ ඉරානයේ  ඔමුස් (Homuz) හි කපිතාන්වරයා ලෙස කටයුතු කලේය. 

    

Monday, February 6, 2017

ප්‍රශස්ති නොගැයූනු වීරයෝ - 2









මුල් කතාව
http://lakshmanillangakoon.blogspot.com/2017/02/1.html






මෙම ජෙනරාල් ඩී  සූසා ශ්‍රී ලංකාවේ එතෙක් සිටි පෘතුගීසි ජෙනරාල්වරුන් ගෙන් ඉතා කෘරතර සෙනෙවියෙක් විය. කුඩා ළමුන් මව් ඇකයෙන් උදුරා ගෙන ඉහලට විසිකර ළමයා පහලට වැටෙන විට හෙල්ලය ඇල්ලීම මොහුගේ විනෝදාංශයක් වූ බව ජනප්‍රවාද වල දැක්වේ. 

ඩොමිනිගෝ කොරේයා පෘතුගීසි හමුදාවේ ඔවුන්ගේ ආගම හා නම්වර ලබා ගෙන එම හමුදාවේ සෙනෙවිවරයෙකු ලෙස කටයුතු කලද, ඔහු ජාතිමාමක සිංහලයෙකු විය. මෙම පෘතුගීසි ජෙනරාල්වරයා කෘර ලෙස සිංහල මිනිසුන් තලා පෙලමින් ඔවුන්ගේ බෞද්ධ සිද්ධස්ථාන ආදිය විනාශ කල නිසා, ඩොමිනිගෝ කොරේයා මහත් කලකිරීමට පත්ව සිටියේය.

මෙම කෘරතර පෘතුගීසි පාලනයෙන් තම ජාතිය බේරා ගැනීමට 1595 නොවැම්බර් මස 17 වන දින අටුලුගමදී එදිරිල්ලේ රාළ ලෙස සිංහල නමක් පටපැඳ ගෙන පෘතුගීසින්ට විරුද්ධව ඩොමිනිගෝ කොරේයා යුද්ධ ප්‍රකාශ කලේය. මෙදිනට ඔහුගේ වයස අවුරුදු 30 කටත් අඩුවිය. ඔහුට එම අවස්ථාවේදී එක්වූ සිංහල හමුදාව 7000 ක් පමණ විය.

මෙම අවධිය වන විට පෘතුගීසින් අතර සිටි සිංහල මුදලිවරුන් ගෙන් ඉතා බල සම්පන්න මුදලිවරු දෙදෙනෙකු වූයේ ඩොමිනිගෝ කොරේයා සහ දොන් ෆැරැන්සිස්කෝ සමරකෝන්ය. ඔටුනු පැලදීමෙන් පසු එදිරිල්ලේ රාළ දොන් ෆ්රැන්සිස්කෝ සමරකෝන්ට ලිපියක් ලියමින් ඔහු සමග එකතුවන ලෙසට ඉල්ලීය. එහෙත් සමරකෝන් මුදලි එය මුලින් පිලිගත් බව පෙන්වා පසුව මාතර සිට තම පිරිස සමග කොළඹ කොටුවට ගොස්, පෘතුගීසින් හට එකතු විය. කළුතර කොටුවේ සිට පෘතුගීසිහුද එදිරිල්ලේ රාළට විරුද්ධව සටන් කිරීම සදහා කොළඹ කොටුවට පැමිණියහ. 
කොළඹ සිට පෘතුගීසීහු එදිරිල්ලේ රාළ ගෙන් පලි ගැනීමට ඔවුනට පකෂපාතී සිංහල හමුදාවන්ද සමග සීතාවක වෙතට පැමිණියහ. එදිරිල්ලේ රාළගේ හමුදාවන් විසින් මාර්ගයේ ගස් කපා බාධක ඇති කර සතුරාට පහර දෙන්නට පටන් ගත්තha. සීතාවක සිටි පෘතුගීසීන්ට පක්ෂපාතී වූ දොන් ජුවන් ධර්මපාල රජුද රැගෙන පෘතුගීසීන් ක්‍රමයෙන් කොළඹ දෙසට පසුබැසීමට පටන් ගත්හ.

 එදින රාත්‍රියේ අලි කිහිප දෙනෙකුගෙන්ද සමන්විත එදිරිල්ල රාළගේ හමුදාව පෘතුගීසි හමුදාවට දිගින් දිගටම පහර දුන්හ. එදින පෘතුග්‍රීසීන් පසු බසිමින්  ගුරුබැවිලට (වර්තමානයේ හංවැල්ල) පැමිණෙන විට, ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් මිය ගොස් විශාල ගණනක් තුවාල ලබා සිටියහ. එදිරිල්ලගේ හමුදාව ඔවුන් වටකර සිටි හෙයින් පෘතුගීසීන්ට බීමට ජලය ලබා ගැනීමට පවා මහත් සටනක් සිදු  කරන්නට විය. කොළඹට පණිවිඩ යැවීමට පිටත් කල පෘතුගීසිහු සොල්දාදුවන්ද එදිරිල්ලරාළගේ හමුදාව විසින් අල්ලා ගත්හ. 

පෘතුගීසිහු කෙලින්ම කොළඹට  යාමට බියෙන් හොරණ (රයිගම) ප්‍රදේශයට යාමට ගමන් ඇරඹූහ. මෙම උපාය දැනගත් එදිරිල්ලේ රාළගේ හමුදාව කලින් ගොස් ගලගෙදර පුස්සැල්ල ඔයෙහි වැල් පාලම විනාශ කලහ. පසුව එදිරිල්ලේ රාළ පුද්ගලිකවම හමුදාව මෙහෙයවමින් පෘතුගීසී හමුදාව මධ්‍යයට කඩා පැන්නේය. පැය ගණනක දරුණු සටනකින් පසු පෘතුගීසීන් 150 ක් පමණ මිය ගිය අතර, පෘතුගීසීන්ගේ ආයුධ හා වස්තුව රැගෙන ගිය අලි අට දෙනෙකුද අල්ලා ගැනීමට එදිරිල්ලේ රාළ සමත් විය. 

එම අවස්ථාවේ මීට පෙර කිසි දිනෙක නොවූ ලෙසට ශ්‍රී ලංකාවෙන් පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම පලවා හරින්නට ඉඩ ප්‍රස්ථාවක් ඇතිවිය.

 එහෙත් ඒ වන විට එදිරිල්ලේ රාළ මිය ගොස් ඇති බවට සිංහල හමුදාව තුල කට කථාවක් පැතිර ගියේය. නමුත් සිදුව තිබුනේ පෘතුගීසී හමුදාව මැදට කඩා පැන සටන් වැදුණු එදිරිල්ලේ රාළට වෙඩි වැදී බරපතල තුවාල ලබා බෙහෙත් කිරීම සදහා කැළයට රැගෙන යාමයි.

 ඉන් පසු එදිරිල්ලේගේ හමුදාව ඔහුගේ මස්සිනා කෙනෙකු විසින් මෙහෙය වන ලද අතර හොරණ මිල්ලෑවේදී දරුණු සටන් ඇති විය. තව එක් දිනක් මෙලෙස සටන් පැවතුනි නම් ලංකාවෙන් සියලු පෘතුගීසීන් පලවා හරින්නටද බොහෝ විට ඉඩ තිබුණි.  

එම අවස්ථාව වන විට ඉතිරිව සිටියේ ඔවුන්ගේ ජෙනරාල්වරයාත් තවත් දෙසියක් පමණ හමුදාවකුත් දොන් ජුවන් ධර්මපාල හා ඔහුගේ පිරිවරත් පමණි. මෙම අවස්ථාවේදි එක්වරම ඈතින් විශාල හමුදාවක් දිස්විය. පෘතුගීසිහු එක්වරම එදිරිල්ලේ රාළ නැවත එන බව සිතා යටත් විමට ආයුධ බිම දැමුහ. 

ළගට එන විට එම හමුදාව පෘතුගීසින් යටතේ සිටි සිංහල මුදලිවරයෙකු වු මාතර දිශාව භාරව කටයුතු කල සමර‍කොන් මුදලිගේ හමුදාව බව පෙනුණි. එම අවස්ථාවේ යුද්ධය ජයගන්නා පැත්තට තීරණය කළහැකි වුයේ සමරකොන් මුදලිටය. මන්ද ඔහු එකතුවන පැත්තට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වෙන නිසාය. එයට හේතු වුයේ ඊට පෙර සටන් වලින් එදිරිල්ලගේ හමුදාව හා පෘතුගීසි හමුදාව දැඩි ලෙස හෙම්බත්ව සිටිමත්, සමරකොන් මුදලිගේ හමුදාව අළුතින්ම සටනට එක්විමත්ය.

next........ final episode
http://lakshmanillangakoon.blogspot.com/2017/02/3.html

Sunday, February 5, 2017

ප්‍රශස්ති නොගැයුනු වීරයෝ - 1




                                කළුතර පෘතුගීසි බලකොටුව


අප ඉතිහාසයේ බොහෝ වර්ණවත් චරිත වරින් වර කරලියට පැමිණියහ. එයිනුත් පෘතුගීසි අප රටේ කොටසක් අල්ලා ගෙන සිටි කාලය විශේෂිතය. එකල ජීවත් වූ සමහර පුද්ගලයන් සාමාන්‍ය චරිත වලට වඩා ප්‍රබන්ධ චරිත ලෙස හිතෙන තරමට පුදුම සහගතය. එහෙත් අපට ඔවුන් ගැන අහන්නට හෝ කියවන්නට ලැබෙන්නේ කලාතුරකිනි. 

විමලධර්මසූරිය රජු, වීදිය බංඩාර, මාන්නප්පෙරුම මොහොට්ටාල, කුසුමාසන දේවි, එදිරිල්ලේ රාළ, සමරකෝන් මුදලි යනාදීන් මේ අතර ප්‍රමුඛය. 

මේ ඒ එදිරිල්ලේ රාළගේ කතාවයි. 

එදිරිල්ලේ රාළ හෙවත් එදිරිමාන්න සූරිය බංඩාර. 

16 වන සියවස අවසාන භාගයේදී (1594) කන්ද උඩරට රාජධානිය හැරෙන්නට ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ආරාජික කාලයක් පැවතුණි. 

ඉතා බල සම්පන්න එලෙසම ධනවත් රජෙකු වූ සීතාවක රාජසිංහ රජු 1593 වර්ෂයේදී මියගිය අතර, ඔහුගෙන් පසුව එම ස්ථානය ගැනීමට සුදුසු පුත් කුමරෙකු නොවූ හෙයින්, නොයෙකුත් ප්‍රභූවරුන් සහ රජ පවුලේ සාමාජිකයින් රාජසිංහ රජුගේ වස්තුව කොල්ල කමින් සීතාවක රාජධානිය ලබා ගැනීම උදෙසා සටන් වැදුනහ. සීතාවක ඔටුන්න ලබා ගැනීම සදහා තරඟයේ,
රාජසිංහ රජුගේ මුණුපුරා
අරිට්ටකිවෙණ්ඩු නම් වූ, රාජසිංහ රජුගේ උපදේශකයෙකු  
කෝරකේ බංඩාර මොහොට්ටාල 
රජුගේ ලග නෑයෙකු වූ අකරගාව අප්පුහාමි 
යන බලවත් පුද්ගලයන් ප්‍රමුඛස්ථානයක් ගත්හ. 

මේ අතර මිය ගිය රාජසිංහ රජුගේ දියණිය වූ මැණික් බිසෝ බංඩාර කුමරියගේ පුත් වූ රාජසූරිය නම් වූ කුමාරයාට සීතාවක රාජධානියේ ඔටුනු පලදවන ලදි. එහෙත් රජ වාසලේ කුමන්ත්‍රණයකින් රාජසූරිය කුමරු, නොබෝ දිනකින්ම වස දී මරණයට පත් කරන ලද්දෙන්  සීතාවක රාජධානියේ බලවත්ව සිටි රාජසිංහ රජුගේ සොහොයුරියක වූ සීතාවක මහා බිසෝ බංඩාර කුමරියගේ මුණුපුරෙකු වූ, නිකපිටියේ බංඩාර හට සීතාවක රජු ලෙස ඔටුනු පැලද විණ. 

පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට මේ ආරාජික කාලය හොදම කාලය වූ බැවින් මොවූහු හමුදා රැගෙන සීතාවක දෙසට ගමන් ඇරඹුහ. ගුරුබැවිල (දැන් හංවැල්ල) අසලදී පෘතුගීසි හමුදාව සමග රාජසිංහ රජුගේ නෑයෙකු වූ අකරගාව අප්පුහාමි (කෝරකේ බංඩාර) ගේ හමුදා  සටන් වැදුණි. මෙහිදී පෘතුගීසීන් අතින් කෝරකේ බංඩාරගේ හමුදාව පරාජයට පත්ව රට ඇතුලට පසු බැස්සාහ. 

මෙම කාලයේදී පෘතුගීසි හමුදාවේ මුදලිවරු (හමුදාවේ උසස් නිලධාරීන්) ලෙස, සිංහලයෝ කිහිප දෙනෙක් කටයුතු කලහ. මෙයින් ඩොමිනිගෝ කොරේයා මුදලිවරයා මුදලිවරුන් අතර කැපී පෙනෙන තරුණයෙකු විය. මොහු සීතාවක රාජසිංහ රජුගේ ඥාතිවරයෙකු වූ ජේර්නිමෝ කොරයාගේ පුතෙකු විය. 

දොන් ඩොමිනිගෝ කොරෙයා මුදලිවරයා, ප්‍රසිද්ධ රණශූරයෙකු වූ අතර, එයටම ගැලපෙන ආරෝහපරිනාහ දේහයකින්ද යුක්ත විය. එලෙසම ඔහු මනා පොත පතේ දැනුමකින්ද, යුක්ත වූ අයෙකු විය. පෘතුගීසීන් විසින් ඔහු “භාගෙට හිස ගැසූ“ (I’ll be headed) යන අනවර්ථ නමින්ද හදුන්වනු ලැබීය.  

ඩොමිනිගෝ කොරේයා සීතාවක රාජසිංහ රජු යටතේ රාජකාරී කරන සමයේ, මොහු සමග ඇතිවූ අමනාපයක් නිසා, රාජ පුරුෂයන්ට මොහු මරා දමන ලෙස රජු අණ කළේය. රාජ පුරුෂයෝ මොහුගේ බෙල්ල කපා  කැළයට දැමූ අතර, සිංහල වෙදකම් දත් ස්ත්‍රියක් මොහු සුවපත් කලද, බෙල්ල කැපූ තුවාල ලකුණු බෙල්ල වටා තිබීම නිසා මොහු මෙම අනුවර්ථ නාමයෙන් ප්‍රසිද්ධ වී සිටියේය.  

රාජසිංහ රජුගේ මරණින් පසු සීතාවක රාජ සභාවේ හමුදා පරිපාලන කටයුතු සිදු කරන ලද්දේ රාජසිංහ රජු ජීවත්ව සිටියදී, මොහුට ඉතා විශ්වාසවන්ත උපදේශකයෙකු වූ ඉන්දියානු ජාතික අරිට්ඨකීවෙන්ඩු නම් පුද්ගලයෙකු විසිනි. මොහු රාජසිංහ රජු මිය ගොස් ටික කලකට පසු රාජ්‍ය  භාණ්ඩාගාරයේ බොහොමයක් වස්තුවද, හමුදාවෙන් කොටසක්ද ගෙන, පෘතුගීසීන්ට එකතු විය. මින් පසු මොහු මහනුවරදී මිය යන තෙක්ම ජයවීර බංඩාර රජු ලෙස හැඳින්වින. පෘතුගීසීන් ඔවුනට එකතු වූ මන්නප්පෙරුම මොහොට්ටාල හෙවත් අරිට්ඨකීවෙන්ඩුගේ හමුදාව සමග සීතාවකට ලඟාවූහ. මෙම හමුදාව සහ නිකපිටියේ බංඩාරට පක්ෂපාත හමුදා අතර ගුරුබැවිලේදී (හංවැල්ලේදී) ඇති වූ ගැටුමෙන් දහස් ගණන් මිය ගිය අතර, පෘතුගීසීහු ජයගෙන සීතාවකට ඇතුලු වූහ. 

පෟතුගීසීන් හා ඔවුන් සමග සිටි සිංහල හමුදා රාජධානිය කොල්ල කන ලදි. සීතාවක මාලිගයේ ගබඩාවල තිබූ රන්, රිදී, මුතු, මැණික්, ඇත් දළ, මී ඉටි යන වටිනා දේවල් මෙම කොල්ල කෑමට ලක්විය. නිකපිටියේ බංඩාර කුමරු ඔහුගේ මිත්තණිය වූ මහා බිසෝ බංඩාර සමග රාජකීය වස්තුවෙන් කොටසක්ද රැගෙන දෙනවකට පලා ගියේය. මාන්නප්පෙරුම මොහොට්ටාල පෘතුගීසී හමුදා සමග ගොස් දෙනවක වටලා රැජින හා කුමරු අත්අඩංගුවට ගෙන, ඔවුන් සන්තකව තිබූ වස්තුවද කොල්ල කෑවේය. 

අත්අඩංගුවට පත් නිකපිටියේ බංඩාර කුමරුන් දොන් පිලිප් යන නමින් බෞතීස්ම කරන ලදි. පසු කලෙක ඔහු කොයිම්බතූර් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී වර්ෂ 1611 දී මරුමුවට පත් විය. මෙම කුමරු පිටරට විශ්ව විද්‍යාලයකට ඇතුලු වූ පළමු ශ්‍රී ලාංකිකයාද වූයේය. 
මෙම අවස්ථාවේ සූසා නමැති පෘතුගීසි ජනරාල්වරයා ඉන්දියාවේ එකල සිටි සටනෙහි ඉතාමත් දක්ෂ, පෘතුගීසි හයසීයක හමුදාවක් සමග යුධ නෞකා විස්සකින්, කොළඹට පැමිණියේය. 

ඔහු ලංකාවට පැමිණ, ලංකාවේ පෘතුගීසි හමුදාවේ නායකත්වයට පත් විය. මෙම හමුදාවේ සිටි මුදලිවරයෙකු වූ ඩොමිනිගෝ කොරේයාට, එකල පෘතුගීසි සෙනෙවියා වූ ඩා සුසා කොතරම් ගෞරවයක් දැක්වූවාද කිවහොත් එක් වරෙක හමුදාවෙන් පැන ගිය හත් දෙනෙකු අල්ලා ගැනීමටද යෙදවූයේ මොහුය. 

වරෙක සිංහලයන් හා පෘතුගීසින් අතර පැවති සටනකින් පෘතුගීසීන්  පරාජය වී අවමානයට පත් විය. මේ අවස්ථාවේදී සූසා ජෙනරාල්වරයා ඩොමිනිගේ කොරේයා කැඳවා, “මාගේ පුත්‍රය, මාගේ නිලධාරීන්ට වූ අවමානය බලන්න, මෙම කහට පැල්ලම ඔබ විසින් මාගෙන් ඉවත් කල යුතුයි.“ යනුවෙන් පැවසීමට තරම් ඩොමිනිගේ කොරේයාගේ රණශූරත්වය හා නායකත්වයට ඔහු ගෞරවයක් දැක්වීය. 

P S
a clarification  
/කෝරකේ බංඩාර මොහොට්ටාල සහ
රජුගේ ලග නෑයෙකු වූ අකරගාව අප්පුහාමි යනු දෙදෙනෙකි. ඒ අතර අරිට්ඨකීවෙන්ඩු පසුව මාන්නප්පෙරුම මොහොට්ටාල වූ අතර රාජසිංහ රජු මිය ගිය පසු ජයවීර බංඩාර නමින් රජ වී පෘත්‍රගීසීන් සමග මහනුවරට යුධ කරන්නට ගොස් දොනා කතරිනා විවාහයට ඉල්ලා පෘතුගීසීන් සමග ආරවුලක් ඇති කරගෙන ඔවුන් අතින් මරණයට පත්විය.


to be continued 

Saturday, February 4, 2017

ජාතියේ කුලකය, උප කුලක සහ මහ කුලක.









මම අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට ඉගෙන ගන්නා කාලයේදී මොඩර්න් මැත්ස් නමින් අළුත් ගණිතය විෂයක් මුල් වතාවට අප විෂය මාලාවට ඇතුල් කෙරිණ. එයට අළුත් බයිනරි සහ කුලක, වෙන් ඩයග්‍රම් යනාදිය ඇතුලත් විය. මෙම විෂයේ කුලක ප්‍රධාන තැනක් ගත්තේය. ඉංග්‍රීසියෙන් සෙට් යනුවෙන් හැඳින්වෙන මේවාට සිංහලට කුලක ලෙස පරිවර්තනය කෙරුණි. 

මෙම කුලක ක්‍රමය අනුව කල්පනා කරන විට අපේ ජාතියත් අපිට කුලකයක් ලෙස සැලකිය හැක. අප සියලු දෙනා සිටින එම මව් කුලකය ඇතුලේ තවත් බොහෝ උප කුලකයන් ජීවත් වෙති. ලෝකයේ ඕනෑම ජාතියක් මෙන් නොයෙකුත් රැකියාවන් කරන්නන්, නොයෙකුත් මට්ටමේ අධ්‍යාපනය ලැබූවන්, නොයෙකුත් ආර්ථික තත්වයේ සිටින්නන්, යනුවෙන් සඟ, වෙඳ, ගොවි, ගුරු, කම්කරු, යනාදී වශයෙන් සියලු දෙනා එහි සිටිති. 

ලක්ෂ දා හතරක් ත්‍රීවිලර් තිබෙන නිසා බංඩාරනායක මහත්මයා මේ දවස්වල පොදු ජන බලවේගය පිහිටු වැව්වේ නම් සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු සහ ත්‍රීවීලර් (එසේත් නැත්නම් විදේශිකයින් කියන විදිහට ටුක් ටුක්) යනුවෙන් ඔහුගේ සටන් පාඨය පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. 

දැන් මේ ප්‍රධාන කුලකයේ සිටින සියලු දෙනාම කුඩා උප කුලක වලට අයත් වේ. උදාහරණයක් වශයෙන් ගුරුවරු එක් උප කුලකයක් වෙයි. එහෙත් එම උප කුලකය නැවත උප කුලක තුනක් වෙයි. ඒ රජයේ ගුරුවරු, ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු යනාදී වශයෙනි. අවශ්‍ය නම් මේ උප කුලක නැවත නැවතත් උප කරන්නට පුලුවන. රජයේ ගුරු කුලකය ඉංග්‍රීසි හා විද්‍යා උප කුලක වශයෙන් නැවත බෙදන්නට පුලුවන.    

මෙම කුලක සියල්ලෙන් සෑදුනු ජාතිය නැමැති මහා කුලකය ඇතුලේ සිටින අය පොදු ජනතාව ලෙස හදුන්වනු ලැබේ. යම් කරුණක් නිසා මෙම පොදු ජනතාව නැමැති මහා කුලකය ඇතුලේ සිටින කුඩා උප කුලකයක් ප්‍රධාන කුලකයෙන් එළියට ගොස් තමන් සිටිනා කුඩා කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙස මහ ජනතාව නැමැති ප්‍රධාන කුලකයෙන් ඉල්ලා සිටිති. ඔවුන් එසේ ඉල්ලා සිටින විට එම උප කුලකය හැරෙන්නට අනෙක් උප කුලක සියල්ල එකතු වී මේ අවස්ථාවේ තාවකාලික පොදු ජනයා නැමැති මහා කුලකය බවට පත්වේ. පොදු ජනයා නැමැති සියලු දෙනාට බෙදා ගැනීමට තිබෙන සම්පතකින් තම  උප කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිති. 

එලෙස ඉල්ලා සිටින උප කුලකයට යමක් වැඩිපුර දුනහොත් මහා කුලකයේ සිටින සියල්ලන්ගෙන්ම කුඩා සම්පත් ප්‍රමාණයක් අඩුවෙයි. එහෙත් එහි සිටින බොහෝ දෙනෙකුට මෙය පැහැදිලි නැත. ඒ නිසා ඔවූහූ මේ අසාධාරණය නොදැක්කාක් මෙන් සිටිති. ඇතුලේ සිටින තවත් සමහරක උප කුලක ඔවුනුත් මෙවැනි අසාධාරණ ඉල්ලීම් මීට පෙර කර ඇති නිසා හෝ අනාගතයේ කරන්නට සැලසුම් කරන නිසා නොදැක්කා වාගේ සිටිති. සමහර විට පොඩි උඩ ගෙඩියකුත් දෙති. 

මෙවැනි මහා කුලකයෙන් එළියට පැන යම් යම් දෑ ඉල්ලා සිටිය හැක්කේ හොදින් සංවිධානය වුනු, එසේම එම කුලකය මහා කුලකයෙන් එළියට ගිය විට මහා කුලකයට යම් අපහසුතාවක් දැනෙන සහ එම උප කුලකයෙන් කරන කියන දෑ ඔවුන් නොමැතිව කරවා ගැනීමට අපහසු උප කුලක වලට පමණි. 

උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු එවැනි උප කුලකයක් නොවේ. රජයේ ගුරුවරුද එසේමය.

 ඒ නිසා ඇත්තෙන්ම මෙලෙස උප කුලක එළියට පැනීම නැවැත්වීමට නම් ඉහත කරණු තුනෙන් අඩු තරමේ එකක් හෝ ඔවුන්ගෙන් ඉවත් කිරීමට ක්‍රමවේදයක් යොදා ගත යුත්තේය.   

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...