Saturday, June 24, 2017

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.









 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ගේ සුහද හමුවක් පවත්වන ලද්දේය. මේ හමුව සදහා ආසියාවේ නාවික හමුදාවන්  8 කට ආරාධනා ලැබූ අතර පකිස්ථානය හැරෙන්නට අනෙක් රටවල් සියල්ලම පාහේ යුධ නැව් එවීමට කටයුතු කලහ. බංගලාදේශය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ශ්‍රී   ලංකාව, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව මේ සදහා පැමිනි රටවල් හත විය. 
ශ්‍රී  ලංකාවෙන් මේ සදහා යැවීමට තෝරා ගත්තේ මා අණදුන් ශක්ති නෞකාව සහ ශ්‍රී  ලංකා නාවික නෞකා ජය සාගර නැමති නැවයි. එහි අණදෙන නිලධාරියාව සිටියේ එකල ලුතිනන් කමාන්ඩර් ක්ලෙමන්ට් ගුනනායගම්ය. 

මේ ‘මිලාන් 1997’  නම් වූ මිලාන් එකතුවීමේ දෙවෙනි සුහද හමුව වූ අතර, එය පැවැත්වුනේ ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත්වල අගනුවර වන පෝට් බ්ලෙයාර් වරාය නගරයේදීය.  
කොළඹ සිට මෙම වරායට දුර කිලෝ මීටර් 1600 ක් වන අතර, අපට පෝට් බ්ලෙයාර් වෙත ලගාවීමට දින හතරක් පමණ ගතවිය. ඉන්දියාවේ සිට අන්දමන් දූපත් වලට දුර මෙපමණ වුවද ඒඅසල පිහිටි ඉන්දුනීසියාවේ අච්චේයි ප්රා න්තයට ඇති දුර කිලෝ මීටර් 150 ක් පමණි. මේ දුර ප්‍රමාණයන්  බලන විට මෙම දූපත් කුමක් නිසා ඉන්දියාවට අයත් වූයේ දැයි කුකුසක් ඕනෑම කෙනෙකුට ඇති වේ.මෙය සිදුවී තිබුනේ නොයෙකුත් මුහුදු අධිරාජ්‍යයන්ගේ ක්‍රියාකාරකම් නිසාය . 

පෝට් බ්ලේයාර් වල ජනගහනය ලක්ෂ තුනක් පමණ වෙයි. දූපත් පන්සිය ගානකින් යුක්ත වූ මෙම දූපත්වල ඇතුලෙහි ගෝත්‍ර  කිහිපයක් ජීවත්වෙයි. 


දෙවන මහා ලෝක යුද්ධය කාලයේ ඉන්දියාවේ සමහර පිරිස් ජර්මනිය සහ ජපානය නායකත්වය දුන් ත්‍රයි  පක්ෂ (axis) පෙරමුණට උදව් කලහ. මෙම ඉන්දියානු ජපන් පක්ෂ සංගමයේ ප්‍රධානියා  වූයේ සුභාෂ් චන්ද්‍රබෝෂ්  නැමති ඉන්දියානු නායකයෙකි. යුධ කාලයේ ජපානය යටතේ තිබූ මෙම දූපත් එකල ඉන්දියානු ජපානයට ලැදි ඉන්දියානු ජාතික හමුදාවේ නායක සුභාෂ් චන්ද්‍රබෝස්  බාරදුන් පසු ඔහුගේ නියෝජිතයෙකු වූ ජනරාල් ලෝගනාදන් මෙහි කෙටි කලකට පාලකයා වූ බව සදහන් වෙයි. 
ඉන්දියානු නිදහස් සටනේ සිරකරුවන් හැකි තරම් ඉන්දියාවෙන් ඈත්කර තබා ගැනීම සදහා ඉංග්‍රීසින්  විසින් සිරකොට තබා ඇත්තේත් මෙහිය. මෙම වෘතාකාර සිරගෙය දැන් ජාතික සිහිවටනයක් ලෙස නම්කර නඩත්තු කරගෙන යනු ලැබේ. 



පෝට් බ්ලෙයාර් වෙතට අපි ගිය පසු අප ඔවුන් විසින් පිලිගත් විලාසය සහ සැලකූ ආකාරයෙන් අපට දැනුනේ ඉතාමත් දුර සිටින නිතරම නොයන අපේ නෑ කෙනෙකුගේ ගෙදරට ගිය ආකාරයක් වැනි ලෙසටය. නවාතැන් පහසුකම්, ගමනා ගමන පසහුකම්, යනාදිය ඉතා ඉස්තරම් ආකාරයෙන් පිලියෙල කර තිබිණ. 

කලා සංදර්ශන, ක්‍රීඩා  තරඟ, සංගීත සංදර්ශන, වෘතීය සාකච්ඡා, නෞකා අතර අණදෙන නිලධාරීන්ගේ සංචාර සහ භෝජන සංග්‍රහ  වලින් ඒ ගතකල කාලය පිරී ඉතිරී ගියේය. 

අපගේ ශක්ති නෞකාව විශාල උභයාකාර නෞකාවක් නිසා බොහෝ ඉඩ තිබුනේ අපි මේ සුහද හමුවේ තිබෙන නොයෙකුත් අංගයන්ට ගැලපෙන පරිදි නෞකා කණ්ඩායමට අමතරව, එහි තිබෙන්නට නියමිත  ක්‍රීඩා  අංගයන්ට ගැලපෙන පරිදි ක්‍රීඩකයන්  කිහිප දෙනෙක් බැගින්ද රැගෙන ගියෙමු. ඉඩ තිබූ පරිදි නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දක්ෂයන් කිහිප දෙනෙකුද මේ අතරට එකතුකර ගත්තෙමු. 

එහිදී පැවැත්වුනු සෑම තරගයකදීම අපි ඉහලින්ම ජයග්‍රහණය කරන්නට අපගේ සහජ දක්ෂකම් හැරෙන්නට ඉහත හේතුවත් පිටිවහල් වන්නට ඇත. අනෙක් රටවල නැව්වල පැමිණ සිටියේ නැව් කණ්ඩායම් පමණක් වීම නිසා මට සමහර තරඟ නරඹද්දී ඔවුන් ගැන කනගාටුවක්ද ඇතිවිය. 
අවසාන දිනයේ තිබූ සංස්කෘතික සංදර්ශනයේ පෙරහුරුවකට අපේ කණ්ඩායම සමග මමත් එය තිබූ තැනට ගියෙමි. සමහර රට වලින් පැමිණ සිටි නැව්වල නැවියන් විසින් ඉතාමත් ආධුනික ආකාරයෙන් ලී කෙලි නැටුම් සංදර්ශන යනාදිය ඉදිරිපත් කලහ. අප කණ්ඩායමේ වෙස් නැටුමක් සහ සලුපාලිය අංග ඉදිරිපත් කල විට සියලු බලා සිටින්නන් මවිතයට පත්විය.  පෙරහුරුවේ සංවිධාන කටයුතු බාරව සිටියේ ඉන්දියානු නාවික හමුදාවේ කපිතාන් නිලයේ වෛද්‍යවරියකි. ඇය පෙරහුරුව අවසානයේ මා සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී, 

“ඔබගේ සංදර්ශනයේ ඔබ සනත් ජයසූරියගේ සියලුම හතරේ සහ හයේ පාරවල් එකට එකතුකර තියෙනවා.“  කීවාය. එකල   සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම දක්ෂකම් පෙන්වූ අවධිය විය යුතු බව නොකිවමනාය.

Wednesday, June 21, 2017

මිරිස් සහ මිරිස් සැර මාපකය.




                            Carolina reaper
මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට පටන් ගෙන ඇති නිසාය. මම හොදින් දන්නා විශ්‍රාමලත් ඉංජිනේරුවරයෙකු ඔහුගේ ගෙවත්තේ නයි මිරිස් වවා කිලෝ එක රුපියල් 500 ගණනේ කඩේකට විකිණීමටද පටන් ගෙන ඇත. එය දැක අපිත් අපේ ගෙවත්තේ නයි මිරිස් වවා දැන් කෑමට යොදා ගන්නෙමු. මීට පෙර අපි නයි මිරිස් මිලයට ගත්තේ ග්‍රෑම් 100 රුපියල් 100 ගණනේය.  

මිරිස් ලෝකයට හදුන්වා දුන්නේ ඇමරිකානු මහාද්වීපය යැයි කියනු ලැබේ. ඒ යුරෝපීයන් ඇමරිකාවට යාමට බොහෝ කලකට පෙරය. මෙයට අවුරුදු 10,000 කට පමණ පෙරය. මිරිස් කැලයේ ගොවිපලවල ගෙනෙන්නට  පටන් ගෙන ඇත්තේ මෙයට අවුරුදු 6000 කට පමණ පෙර මැක්සිකෝවේදීය. 

මිරිස් ගස මුලින්ම දැකපු යුරෝපීයයෙකු වන්නේ ක්‍රිස්ටෝපර් කොළොම්බස්ය. ඔවුන් මිරිස් යුරෝපයට ගෙනවිත් ක්‍රිස්තියානි ආශ්‍රමවල වැව් පසු මිරිස් ගම්මිරිස් වෙනුවට ආහාර වලට යෙදිය හැකි කුලුබඩුවක් බව ඔවුනට පැහැදිලි විය. මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වූයේ එකල ඉන්දියානු අර්ධද්වීපයෙන් යුරෝපයට රැගෙන ගිය ගම්මිරිස් කොතරම් මිළ අධික වූයේද යත් සමහර රටවල ගම්මිරිස් ඇට මුදල් ලෙස භාවිත වීම නිසාය. 

15 වන ශතවර්ෂයේ අප ප්‍රදේශ වලට පැමිණි පෘතුගීසීන් මගින් මිරිස් අපට ලැබුනේ යැයි සාමාන්‍ය බටහිර ලියකියවිලි වල සදහන් වෙයි. එහෙත්  මහා වංශයේ 26 පරිච්ඡේදයේ ලිය වී ඇති පරිදි මිරිසවැටිය චෛත්‍යය  දුටුගැමුණු රජතුමා  අභිෂේක උත්සවයෙන් පසු ජල ක්‍රීඩා සදහා තිසා වැවට ගොස් ජල ක්‍රීඩා අවසන ඔහුගේ කුන්තායුධය ආපසු ගැනීමට යන විට එය ගැනීමට අපහසු ලෙස පොලවට තද වී තිබුනු නිසා එය මැදිකර වෙහෙරක් සාදා, 

“වහන්ස! සංඝයා සිහි නොකොට මිරිස් කරලක් අනුභව කලෙමි. ඊට දඩුවම් වශයෙන් මෙම චෛත්‍යය ඉදි කලෙමි. මෙය පිලිගනු මැනව,“ යැයි පවසා එය සංඝයාට පූජා කල බවද පැවසේ. 

එසේ එකල මිරිස් ලංකාවේ භාවිතයේ තිබුනේ නම් ඇමරිකානු මහාද්වීපයෙන් මිරිස් සොයා ගත් යුරෝපීයයන් ආසියාවේ ඉන්දියාවට සහ අපට මිරිස් හදුන්වා දුන් බව කීම නිවැරදි නොවේ. 

අනෙක් අතට අපේ පැරණි ජනකතා ආදියේ මිරිස් ගැන එතරම් සදහන් වන්නේ නැත. මෙතරම් අපූරු බලයක් සහිත ආහාර වර්ගයක් උපමා කතා ආදියෙහි බොහෝ තැන්හි සදහන් විය යුතුය. එහෙත් අපට එවැනි මිරිස් පිළිබඳ කතාවන් අපේ ඉතිහාස කතාවල අසන්නට නොලැබේ. ඇත්තෙන්ම අපට මිරිස් ලැබුනේ පෘතුගීසි ගෙන් වත්ද? මහා වංශයේ සදහන් වන මිරිස් කරල පරිවර්තනයේ යම් වැරැද්දක් වත්ද? 

ඒ මිරිස් කරලේ ඉතිහාසයයි. විද්‍යාත්මකව මිරිස් කෑ විට අපට දන හැඟීමක් දැනෙන්නේ මිරිස් වල ඇති කැප්සයිසින් නැමැති රසායනික ද්‍රව්‍යයක් නිසාය. මෙම රසායනික ද්‍රව්‍යය අපේ ඇගෙහි, විශේෂයෙන් දිවෙහි ගෑවුනු විට තාපය අධික වූ විට මොලයට පණිවිඩ යවන සෛල හා බැඳේ. මෙවිට එම සෛල මොලයට අධික තාපයක් ශරීරයේ එම ප්‍රදේශයට ලැබෙන බවට පණිවිඩ යවයි. මෙම පණිවිඩයට මොලය ප්‍රතිචාර දක්වන්නේ සාමාන්‍ය අධික තාපයක් දැනුනු විට ප්‍රතිචාර දැක්වෙන ආකාරයට හඳවතේ ගැස්ම, දහඩිය ගැලීම වැඩි කිරිමෙනි. මිරිස් කෑමට පුරුදු වන හිතට සතුට ලබාදෙන එන්ඩෝර්පින් නැමැති රසායනික ද්‍රව්‍යයට මොලයෙන් ස්‍රාවයක වන බව කියනු ලැබේ. එසේ යමක් තිබිය යුතුය, මක් නිසාද එසේ යම් සතුටක් ගෙන දෙන්නේ නැත්නම් මිරිස් වලට මෙතරම් මිනිසුන් ඇබ්බැහි වීමට හේතුවක් නැති නිසාය. 

දැන් මිරිස් වල සැර මනින්ට ඒකකයක්ද තිබේ. එය ස්කොවිල් සැර මාපකය (SHU) නමින් හැදින්වේ. පිරිසිදු කැප්සයිසින් වල ස්කොවිල් අගය මිලියන 16 ක් වෙයි. 

බෙල් පෙපර් හි එම අගය 0 කි. ලෝකයේ වැඩිම සැර මිරිස් වර්ගය ඇමරිකාවේ වැවෙන කැරොලිනා රීපර් (අපේ නයි මිරිස් මෙන් පෙනුම ඇති) ලෙස හැදින්වේ. එහි ස්කොවිල් අගය මිලියන 2.2 කි. සාමාන්‍ය මිරිස් කරලක එම අගය 0 සිට ස්කොවිල් 70,000 දක්වා පවතී. ඒ කියන්නේ කැරොලිනා රීපර් මිරිස් අප දන්නා සැර අධිකම මිරිස් කරලකටම වඩා 30 ගුනයක් තරම සැර බවය. ඉන්දියාවේත් බූට් ජොලොකියා නමින් ස්කොවිල් මිලියන 1.58 ක මිරිස් වර්ගයක් ඇත. 

මිරිස් ආර්ථික වශයෙන් බැලූ විට ප්‍රධාන නොවූවද සමහර රටවලට බොහෝ ආදායම් ගෙන දෙයි. ඉන්දියාව, චීනය, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, පකිස්තානය, මොරොක්කෝව සහ තුර්කිය පිලිවෙලින් ලෝකයේ වැඩියෙන්ම මිරිස් අපනයනය කරන්නන්ය. ඉන්දියාව සහ චීනය මුලු වෙළඳපොලෙන් 50% ක් අත්කරගෙන සිටී. අප අනෙක් පැත්තෙන් මිරිස් ආනයනය කරන රටක් වීම පුදුම සහගතය.           

Tuesday, June 13, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ගිල්ගිට් බල්ටිස්තානය.



ඊයේ චැම්පියන් කුසලාන තරඟාවලියේ අවාසනාවන්ත පකිස්තාන ශ්‍රී ලංකා ක්‍රීඩා තරඟය බලද්දී, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ ක්‍රීකට් යන යතුරු වචන තුනම තිබෙන මිහිරි මතකයක් සිහියට නැගිණ. ඒ මා 2009/2010 වර්ෂ වල පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියදීය. පකිස්තානයේ බොහෝ වැසියෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රිය කරති. යමක් මිලදී ගැනීමට වෙළඳ සැලකට ගියත්, වෙන වැඩක් කර ගැනීමට බැංකුවකට හෝ ආයතනයකට ගියත් ශ්‍රී ලාංකිකයෙකු යැයි දැනගත් විට යමක් විශේෂ සැලකිල්ලක් දක්වන අතර, සෑහෙන දුරකට මිලදී ගන්නා දෙයට මිළ අඩුකර ගැනීමටද ව්‍යාපාරිකයාගේ සැලකිල්ල අනුව කර ගැනීමටද ඉඩ ඇත්තේය. ඉහල සමාජයේ මිනිසුන්ගේ සිට පහලම ස්ථරය දක්වා පකිස්තානුවන් අප සමග කතාවට වැටුනු විට ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයන් ගැන බොහෝ උනන්දුවෙන් අපෙන් විමසති.

ක්‍රිකට් වලට අමතරව 1971 ඉන්දියා පකිස්තාන යුද්ධයේදී පකිස්තාන ගුවන් හමුදා යානයන්ට කොළඹ ගුවන් තොටුපලේ ඉන්ධන ලබාදීම සහ කුඩා රටක්ව තිබියදීත් ඉන්දියාවත් සමග කටයුතු කිරිමේදී ගෞරවය ආරක්ෂා කරගෙන ස්වාධීනව සිටීම මෙවැනි කැමැත්තකට හේතු සාධක වූවා වන්නට පුලුවන. 

මෙම උනන්දුව කොතරම්ද යත් අප සිටි විශ්ව විද්‍යාලයේ අපට මාසික දීමනා ගෙවූ මැදිවියේ ලුතිනන් කමාන්ඩර් වරයෙකුට චමින්ද වාස් ගේ සම්පූර්ණ නමම මතකයෙන් කියන්නට හැකියාව තිබුණි.  ඉතා දීර්ඝ වූ එම නම මා මුලින්ම දැන ගත්තේත් ඔහු එය කියන විටය.

මෙම විශ්ව විද්‍යාලයෙන් මසකට දෙකකට වරක් පකිස්තානයේ යම් ප්‍රදේශයකට 50 ක් පමණ වූ අපගේ පාඨමාලාවේ සිසුන් සදහා සංචාරයක් පිලියෙල කලහ. මෙම සංචාර වලට ඉරාන දේශ සීමාවේ ඇති ගවුදාර් වරාය ප්‍රදේශය, මොහෙන්දෝ ජාරෝ නටබුන්, තක්ෂිලා නටබුන්, පන්ජාබ් ගොවිපලවල්, සියාචන් හි පිහිටි ලෝකයේ උසම තැනක පිහිටුවා තිබෙනවා යැයි කියන හමුදා කඳවුර, ලාහෝර් නගරය වැනි ස්ථාන ඇතුලත් විය.



                                                       taxila

මෙසේ සංචාරවල යෙදෙද්දී වරෙක අපි පකිස්තානයේ උතුරු කෙලවරේ පිහිටි ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශයේ සංචාරය කරද්දී එහි ප්‍රධාන නගරයක් වන ස්කාර්දු නගරයේ පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් ගත්තෙමු. මනරම් වැවක් වටා විලා ක්‍රමයට සාදා තිබූ මෙම හෝටලයේ දහවල් ආහාර ගෙන හවස් වරුවේ මා සමග පාඨමාලාවේ සිටි ලාංකික ජෙනරල්වරයාද, ඔහුගේ බිරිඳද මම සහ මගේ දියණියද මුහුද මට්ටමෙන් අඩි 10,000 ක් පමණ උස් වූ ඒ ප්‍රදේශය නැරඹීමට ඇවිදින්නට ගියෙමු.

අපිට නොදැනුවත්වම ටික වේලාවකට පසු අප බොහෝ දුර ගොස් ඇති බව අපිට වැටහෙන විට තරමක් අඳුරු වෙන්නටද පටන් ගෙන තිබුණි. වැඩි ජනගහනයකුත් නොමැති මෙම කඳු සහ කැලෑ ප්‍රදේශයේ පකිස්තානයේ එකල තිබූ ආරක්ෂක තත්වයද නිසා මෙලෙස ඇවිදීම එතරම් සුදුසු නොමැති බව වැටහුනේ එවිටය.

ටික වේලාවකින් අප දැක තරමක ජීප් රථයක් අප අසල නතර කෙරිණ. එහි මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර එම රථයේ අයිතිකරු යැයි අපට හැගුණු පුද්ගලයා අපෙන් එහි කුමක් කරන්නේදැයි ඇසුවේය. දන්නා උර්දු සහ ඉංග්‍රීිසි භාෂා වලින් සන්නිවේදනය කර ඔහුට අප වැටී ඇති තත්වය පැහැදිලි කලෙමු. ඔහු එම ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු බවද විවාහ මංගල උත්සවයක් සදහා යමින් සිටින බවද පවසා අප කැමති නම් අපට ඔහුත් සමග එම විවාහ මංගල්‍යයට පැමිනෙන්නේ නම් ඔහුගේ වාහනයෙන්ම අපව හෝටලයට රැගෙන ගිය හැකි බව ඔහු පැවසුවේය.

අප තරමක දෙගිඩියාවකින් යුක්තව නමුත් වාහනයට නැංගේ වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාය. තවත් කිලෝ මීටර් 10 ක් පමණ දුෂ්කර අතුරු මාර්ගයක ගොස් අපි විවාහ මංගල්‍යය තිබෙන නිවසට ගියෙමු. අප ශ්‍රී ලාංකිකයන් යැයි මන්ත්‍රීවරයා හදුන්වා දුන් පසු උත්සවයේ සිටි සියල්ලන්ම පාහේ කතා කරන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවය. රූපවාහිනී සේවාවන් වත් නොමැති ; ගුවන් විදුලි සේවාවන් වත් තිබුනේදැයි මට විශ්වාස නැත, මෙවැනි අති දුෂ්කර ප්‍රදේශයක ජනතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන මෙතරම් උනන්දුවකින් කතා කරනු දැක අප පුදුමයට පත්වුනෙමු.

අපට ඔවුන් කොතරම් ගෞරව කලේද යත් එම කුඩා නිවසේ මනමාලිය සදහා සාදා තිබූ කාමරයේ අපට ඉඳ ගන්නට සලස්වා නොයෙකුත් රස කැවිලි සහ බීමෙන් සංගුහ කර අපට රාත්‍රී ආහාර ගැනීමටද පෙරැත්ත කලහ. අපි බොහෝ අපහසුවෙන් කෑම ප්‍රතික්ෂේප කර පිටත්වන විට හෝටලයට ගෙන යෑමට රස කැවිලි පාර්සල්ද අප වෙත ලබා දුන්හ.
පකිස්තානයේ අපේ ක්‍රිකට් වලට ඇති තැන එලෙසය.

Monday, June 5, 2017

නාය යාමෙන් ජීවිත බේරාගත හැකි නිසැක ක්‍රමය.



අපේ ලංකාවේ නිතරම ගං වතුර ඇති වේ. ඒ බොහෝ ගං වතුර ඇතිවන අවස්ථාවල වැඩිපුර ජීවිත හානි වන්නේ ගං වතුර නිසා නොව අධික වැසි නිසා ඇතිවන නාය යෑම් වලින් බව පෙනේ.  

නාය යෑමක් යනු පස් කන්දක් හෝ ලොකු ගල් පර්වතයක් කඳු සහිත ප්‍රදේශයකින් ඇදවැටීම හෝ පහලට කඩාගෙන යාමය. මෙතෙක් ලෝක ඉතිහාසයේ දරුණුම නාය යෑම සිදු වී ඇත්තේ චීනයේ නින්ග්සියා ප්‍රදේශයේ 1920 දීය. එහිදී මිය ගිය ගණන ලක්ෂයකට අධිකය. ඊලගට 1999 වෙනින්සියුලාවේ වර්ගාස් ප්‍රදේශයේ 30,000 ක් මිය යෑම දෙවෙනි තැනට එයි. මෑතකදීම සිදු වූ මෙවැනි ඛේදවාචකය ඉන්දියාවේ 2013 උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ 5700 ක් මෙලෙස මිය යාමය. 

දැන් අතුරුදහන් වී ඇතැයි කියන 75 ක් පමණ අපේ ජනයා හා මියගිය 202 න් ගං වතුරෙන් මිය ගිය ගණන 20 ක් පමන වන්නේ යැයි අනුමාන කල හැක්කේය. 250 ක් පමන මිය යන්නට ඇත්තේ නාය යෑම් වලින් බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගං වතුර ක්‍රමයෙන් වැඩි වන්නේ වුවත්, නාය යෑම් ක්ෂණිකව සිදුවන නිසාත් නිවසක් ඇතුලත සිටියදී නිවස නාය ගියහොත් නිවස පසට යටවීමය. 

මේ අනුව බලන විට ගං වතුරෙන් වන හානිය වැඩි වශයෙන් සිදු වන්නේ දේපලවලටය. නායයෑම් වලින් වැඩි හානියක් සිදු වන්නේ ජීවිත වලටය. ගං වතුර වලක්වන්නට නොයෙකුත් ක්‍රම තිබේ. එක් ක්‍රමයක් නම් යම් ජල පහරක ගං වතුර මට්ටමෙන් ඔබ්බට යාමට පෙර ඒ ජලය එම ජල මාර්ගයෙන් ඉවත් කර වෙනත් ජලය අඩු ජල මාර්ගයකට ගෙන යාම ගං වතුර අඩු කිරීමයි.

 ලංකාව වැනි කුඩා එමෙන්ම වර්ෂාපතනය නියමිත කාලයකට ලැබෙන මධ්‍යම කඳුකරයෙන් සියලුම ප්‍රධාන ජල පහර ගලා බසින රටක් භූගෝලීය වශයෙන් මෙවැනි ඉංජිනේරුමය ව්‍යාපෘතියකට සැලසුම් සහගතව භූගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති රටක් වැනිය. තරමක ආයෝජනයක් අවශ්‍ය වුවද මෙවැනි ව්‍යාපෘතියක් කිරීමෙන් ගං වතුර වැලැක්වීමට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක්කේය. අවශය වන්නේ එඩිතර එමෙන්ම ඉංජිනේරුමය දැක්මක් ඇති නායකයෙකුය. 

අනෙක් පැත්තෙන් නාය යෑම වැලැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් නාය යෑමෙන් සිදුවන ජීවිත හානිය වලක්වා ගැනීම එතරම් අපහසු නැත්තේය. ඒ සදහා කල හැකි එකම ක්‍රියාව නාය යෑමට වැඩියෙන්ම ඉඩ ඇති ස්ථාන තෝරා ගැනීමයි. ඉන්පසු පහත සදහන් පියවර අනුගමනය කලහොත් වසරින් වසර නාය යෑමෙන් මියගිය හැකි මිනිස් ජීවිත ප්‍රමාණය 10%  බැගින් පමණ අඩුකර අවුරුදු 10 ක් පමන වන විට - ඒ කියන්නේ ඊලග ගං වතුරට පෙර නාය යෑමෙන් විපතට පත්විය හැකි ජීවිත ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ වලක්වා ගන්නට හැකිවනු ඇත. 


  • එක් එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවල වැඩියෙන්ම නාය යෑමට ඉඩ තිබෙන නිවාස 100 ඔවුන් අත ඇති සියලුම තාක්ෂණික හැකියාවන් යොදා මසක් ඇතුලත තෝරා දෙන ලෙසට ඒ සදහා වගකීම ඇති රාජ්‍ය ආයතන වලට නියෝග කිරීම. 
  • එම නිවාස වල අයිතිකරුවන්ට තව මාස හයක් තුල එම නිවාසවලින් ඉවත් වීමට දැනුම් දීම. 
  • නිවාස විස්සේ තට්ටු තුනේ තට්ටු නිවාස පහක් ප්‍රවේශම් තැනක ගොඩ නගා එම නිවාස අයිතිකරුවන්ට ලබාදීම. 
  • පවුල් ඉවත්කල ඉඩම් ඔවුනට ගොවිතැන් කිරීමට ඉඩ දී නිවාස සෑදීමට තහනම් කිරීම. 


මෙලෙස අවුරුදු පතා කිරීමෙන් සෑම අවුරුද්දකම බොහෝ විට නාය යන දිස්ත්‍රික්කවල නාය යාමට වඩාත්ම ඉඩ තිබෙන පවුල් 4000 ක් පමණ එම අනතුරෙන් ඉවත් වේ. මෙලෙස අවුරුදු 10 ක් ගියහොත් සම්පූර්ණ නාය යෑමට ඉඩ තිබෙන නිවාස සියල්ලම පාහේ එම අනතුරෙන් ඉවත් වේ. 

දැන් පිටරට වලින් ලැබෙන්නට තිබෙනවා යැයි නිතරම ටී.වී. වල කියන මුදල් මේ සදහා යෙදවිය හැකිය. ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇමරිකාවෙන් මිලියන 350 ක් ලැබෙන බව කියා සිටියේය. ඒ මුදල් සහ අනෙකුත් මුදල් දීමට අකමැති එහෙත් වෙනත් ද්‍රව්‍ය දීමට කැමති මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව හොඳ යෝජනාවක් ලියා ඉදිරිපත් කරන්නේ නම් නිවාස 4000 ක් නොව 10000 ක් වක් සාදා ගැනීමට පුලුවන. 

මේ යෝජනාව කෙනෙකුට ආධාර කරන්නට සිතෙන සේ ඉහල තත්වයකින් ලියා ගත හොත් බිල් සහ මිලින්ඩා ගේට් වැනි පදනමකින් වුවත් ප්‍රධානයක් ලබා ගැනීමට බොහෝ ඉඩ තිබෙන බව මට හොඳටම විශ්වාසය. 


   

Friday, June 2, 2017

තුආන් කිචෙල් නොහොත් පාර තනන්නා




කඩුගන්නාව දුර්ගයේ ගමන් කරද්දී එම මාර්ගය දැක විශ්මයට පත් නොවන්නකු සිටි දැයි සිතන්නට අපහසුය. උදලු, කැති, පොරෝ හැරෙන්නට  දැන් තිබෙන පාර සැදීමේ උපකරණ කිසිවක් නොමැතිව  1820 දී මෙම මාර්ගය සාදන ලද්දේ කිසිම ඉංජිනේරු පුහුණුවක් නොමැති වයස 16 ක තරුණයෙකු බව දන්නේ නම් අප තවත් කොතරම් පුදුමයට පත්වේද?අනික් විශ්මයජනක කාරණය නම් මේ පාර සැදෙන්නේ කොළඹ නුවර දුම්රිය පාර තනන්නට අවුරුදු 60 කට පෙර වීමය.

මෙම දුර්ග මාර්ගය ලෝකයේ 34 වෙනියට ලස්සන මාර්ගය බව බොහෝ කලකට පෙර මේ ප්‍රදේශය කිට්ටුව පදිංචිව සිටි ජෙනරාල් රණතුංග වරක් කිවූ බවත්, ඒ අවස්ථාවේ ඔහුගෙන් ඇසීම සුදුසු නොවුවත් ඒ තරම් දුරකට - 34 දක්වා , ලස්සනම පාර කෙසේ තෝරන ලද්දේ දැයි මම නිශ්ශබ්දව කල්පනා කල බවත් මට මතකය.

 ඔහු මේ බව කිවේ කඩුගන්නාව පාරේ  බැවුම පැත්තට බතලේගල දෙසට තිබු දර්ශනය වසා ගනිමින් කොළඹ සිට එනවිට පාරේ දකුණු පැත්තේ තිබු කඩ පෙළ අනික් පැත්තට ගන්නට ඔහු විසින් දෑරූ උත්සාහයක් විස්තර කරද්දීය. 

මේ විශ්මිත දුර්ඝ  මාර්ගය තැනීම, විශේෂයෙන්ම කඩුගන්නාව දුර්ගය හරහා යන සැතපුම් 11 සෑදීම බාරව කටයුතු කරන්නේ ලුතිනන් තෝමස් ස්කිනර්ය. 

1820 දී  බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාන්ඩුකාරයා වුයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ය. ඔහු වයස 16 ක් වූ තෝමස් ස්කිනර් නම්  මේ හමුදා නිලධාරියාට කඩුගන්නාව දුර්ගයේ සැතපුම් 11ක් වූ දුර්ග මාර්ගය සාදන්නට උපදෙස් දුන්නේය. ඔහුට ලැබුණු අනෙක් උපදේශය නම් එම පාරේ නැගීම අඩි 20 කට එකකට වඩා සිග්‍ර නොවිය යුතු බවය - අහෝ ඛේදයකි ! ඔහු එය 1/10 යයි කිවේ නම් පාර මිට වඩා බොහෝ කෙලින් වන්නට ඉඩ තිබිණ.    

තෝමස් ස්කිනර් ගේ පියා ලංකාවේ සේවය කරන්නේ ඉංග්‍රීසි හමුදාවේ කර්නල් වරයෙක් ලෙසය. ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරද්දී වයස 14 ක් වූ තෝමස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙයි. පියා ඔහුව ඉගෙන ගැනීමට ආපසු එංගලන්තයට යැවීමට සුදානම් වුවද, ත්‍රිකුණාමලයේ සේවය  කරන නාවුක නිලධාරින් දෙදෙනෙකුගේ නිර්දේශ මත බ්‍රව්න්රිග්  ආණ්ඩුකාරයා මෙම දරුවා දෙවන ලුතිනන් වරයකු ලෙස අධිකාරයට පත්කරයි - ආණ්ඩුකාරයා 1949 ජිනීවා සම්මුතියට අනුව ළමා සොල්දාදුවෙකු බඳවා ගැනීමෙන් යුධ  අපරාධයක් කර ඇත්තේ වුවද මෙය සිදුවන්නේ 19 වන ශත වර්ෂයේ  නිසා ප්‍රශ්නයක් නැත.

මොහුට ලැබෙන පළමුවන  රාජකාරිය ලංකා රයිෆල් හමුදාවේ, 19 සහ 83  ත්‍රිකුණාමලයේ තිබු හමුදා කාණ්ඩය  අලුතින් අල්ලාගත් මහනුවර හරහා කොළඹට රැගෙන යාමය. පාරවල් නොමැති  ඒ  කාලයේ වනයේ අත්දැකීම් නොමැති වයස 16 ක තරුණයෙකුට මෙය දුෂ්කර රාජකාරියක් වීම පුදුමයක් නොවේ. ඔහු යටතේ සිටි හමුදා කාණ්ඩයේ මැලේ සොල්දාදුවන් බොහොමයක් සිටින්නට ඇත. ඒ නිසා ඔහුට තුවාන් කිචෙල් (කුඩා නිලධාරියා) යනුවෙන් නමක්ද පට බැඳිණ. මේ නම තිබු මා දන්නා කෙනෙකු නුවර වාසය කළේය. මේ සිංහලෙන් පොඩි මහත්මය වැනි මැලේ නමක් විය යුතුය


කඩුගන්නා දුර්ගයේ පාර කපන්නට ඔහු යටතේ සේවය කරන්නට ඔහුට ලැබුනේ අවට ගම් වලින් රාජකාරී ක්‍රමය යටතේ සේවය කරන ගැමියන් 200 ක් සහ ඔහුගේ අණු කණ්ඩයේ සිටි සොල්දාදුවන්ය. සිංහල රජකාලේ සිට පැවති රාජකාරී ක්‍රමය -  තම ඉඩම් වලට බඳු ගෙවීම වෙනුවට රජයේ මාර්ග, වැව් හෝ ජල මාර්ග වැනි ව්‍යාපෘති වලට වසරකට සති දෙක තුනක් සහභාගි වීම, 1802, දී ඉංග්‍රීසින් විසින් ඉවත් කර ඒ වෙනුවට ගැමියන්ගේ ඉඩම්වල නිෂ්පාදනයෙන් කොටසක් බඳු ලෙස ගෙවීමට නියම කරන ලදි. එහෙත් මෙයට ඇති වූ ජනතා විරෝධය නිසා නැවත එම රාජකාරී ක්‍රමය ඇති කලේ වුවද 1832 දී රාජකාරී බඳු ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද්දේය. 

වසර 50 ක් රජයේ සේවයේ යෙදුනු මේජර් ස්කිනර් ප්‍රථම වරට පාරවල් සෑදීම වැනි ඉංජිනේරු ව්‍යාපෘති සදහා අර්ධ හමුදාමය සාමාජිකයන් 4000 කින් යුත් පුරෝගාමී බලකාය පටන් ගත්තේය.   

ඔහු පොදු වැඩවල යෙදෙද්දී ව්‍යාපෘතිය තිබෙන ස්ථානයේම තල් අතු පහකින් සෑදූ කූඩාරමක ජීවත් වූයේය. පාන්දර 4 සිට රෑ 8 දක්වා වැඩෙහි යෙදුනේය. තමන්ගේ ශරීර ශක්තිය ගැන බොහෝ උනන්දු වූ ඔහු බොන ජලය සහ ආහාර ගැනීම බොහෝ අඩුකර කාය ශක්තිය ගැන නොයෙකුත් පරීක්ෂණ කලේය. මොහුගේ මේ කාය ශක්තිය පිලිබඳ උනන්දුව දැනගත් එක් සිංහල ගම්පතියෙකු ඔහුට සමනල කන්ද මුදුනට නැඟ පහලට එන්නට තරඟයකට අභියෝග කලේය. එම තරඟයේ නගිද්දී ගම්පති තැන ඉදිරියෙන් සිටියද, අවසානයේ ජයග්‍රහණය කලේ ස්කිනර්ය. 

වසර 50 ක රාජ්‍ය සේවයේ, රාජ්‍ය මැනුම්පති හා මහා මාර්ග කොමසාරිස් ලෙසද සේවය කර පසුව මේජර් ස්කිනර් විශ්‍රාම ගෙන ආපසු එංගලන්තයට ගියේය. 


  



  



වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...