Thursday, March 30, 2017

part 4 -කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමාරයාගේ කථාව.

මේ විජයපාල කුමාරයාගේ කථාවේ 4 වෙනි කොටසයි. පහල ඇති ලින්ක් එකෙන් මීට පෙර කොටසට පිවිසිය හැකිය.




විජයපාල කුමරු විසූ එකල ගෝව නගරයේ දර්ශනයක්.



මෙම ලිපිය ලියා මාස තුනකට පසු එය ලන්දේසීන් හට ලැබිණ.

මෙම ලිපිය පිළිබඳව දැනගත් පෟතුගීසීහු, කුමරු ඔහුගේ පිරිසෙන් වෙන් කර කොළඹ කොටුව තුල පිහිටි ශාන්ත ෆ්රැගන්සිස්කෝ කන්‍යාරාමය තුල සිරකරුවෙක් කරන ලදි. මේ සිදු කරන අවස්ථාවේදී විජේපාල කුමරුගේ හමුදා එයට විරුද්ධ වූ හෙයින්, එම අවස්ථාවේ ඇති වූ අරගලය මුවාවෙන් කුමරුට අයිතිව තිබූ බොහොමයක් වස්තුවද පෟතුගීසීන් විසින් කොල්ල කන ලද්දේය.

1643 මාර්තු මස  විජේපාල කුමරු, එකල පෟතුගීසීන්ගේ ආසියාවේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයක් වූ ගෝවා නගරය වෙත නෞකාවක් මගින් රාජකීය ගෞරව සහිතව පිටුවහල් කරන ලද්දේය.
මාර්තු මස 26 වන දින කුමරු ගෝවට පැමිණි පසු, රජ කුමරෙකුට ගැලපෙන අන්දමෙන් වාසය කිරීමට සෙරෆිම් (Xerafim) 250 ක දීමනාවක් සහිතව, තමන්ගේ පරිවාර ජනයා සමග වාසය කිරීමට සුදුසු නිවෙස් ආදිය ලබාදෙන ලදි. 

ගෝවට පැමිණ සති හයකට පසු, ගෝවේ සිටි පෘතුගීසි වෙයිස්රෝයිවරයා වෙත ලිපියක් යවමින්, තමනට කොළඹදී එහි සිටි පෘතුගීසි ජෙනරාල්වරයා ගෙන් සිදුවූ අකටයුතු පැහැදිලි කර, තමන්ගේ රාජකීය තත්වයට ගැලපෙන ලෙස තමාට ගෝවේහිදී සැලකීමට කටයුතු කරන ලෙසද, කොළඹ තමන්ගෙන් සොරාගත් වටිනා රන් ආභරණ, මුතු, මැණික් යනාදියද, ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙම වස්තුව අතර, කුරුල්ලන් බැඳි මාලය නම් විශේෂ ආභරණයක් ගැන සඳහන් විය. ඇතුලත බැලූ විට ආලෝක කිරණ නමයක් වැටෙන ආරනූල් මැණික් ගලින් සෑදූ මෙම මාලය, විජේපාල කුමරු වෙතින් සොරකම් කරන ලදුව, එය ආපසු ලබා ගැනිමට කුමරු මහත් වෙහෙසක් දැරූ බව ලියකියවිලි වලින් දක්නට ලැබේ. 

වෙයිස්රෝයිවරයා වෙත පැමිණිලි කරනු ලැබීමෙන් පලක් නොවූ හෙයින්, පෟතුගාලයේ ලිස්බන් නගරයේ හතරවෙනි දොම් ජාඕ (Dom Joao 1V) රජු වෙත, තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි. කුමරුගේ මෙම දුක් ගැනවිලි විසදා ගැනීමට, එකල ගෝවේ ක්‍රිස්තියානි ආගමික ප්‍රධානියා වූ මීරාහි ආවි බිෂොප් වරයා මහත් ලෙස උදව් කල අතර, කුමරුට එකල රෝමයේ විසූ ක්‍රිස්තියානි පාප් වහන්සේ වූ අටවැනි උර්බාන්ස් (Urbans V111 1623 – 1644) වෙත තමාට වූ අපහසුතාවයන් ලියා දැන්වීමට උපදෙස් දුන්නේය. 

එම උපදෙස් අනුව ලිපියක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව විජේපාල කුමරුට සිදු වූ අසාධාරණයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ලිස්බන්හි පෟතුගීසි රජු විසින් ගෝවේ වෙයිස්රෝයිවරයා වෙත, දැනුම් දෙන ලදි.

මේ සම්බන්ධව ගෝවේහිදී පරීක්ෂණයක් පැවැත්වුනද, විජේපාල කුමරුට සිදුව ඇති අකටයුතු සදහා පැහැදිලි විසදුමක් ලැබුනේ නැත. ටික කලකට පසු විජේපාල කුමරු කතෝලිකයෙකු ලෙස බෞතිස්ම විමට කැමැත්ත පල කල හෙයින්, ලිස්බන්හි පෘතුගීසි අගරජ ඥාන පියා (God Father) ලෙස පෙනී සිට බෞතිස්ම කිරිමට ආගමික ප්‍රධානියාවු ආචි බිෂොප් වරයා කටයුතු යෙදිය.

1646  දෙසැම්බර් මස 08 වැනි දින විජේපාල බෞතිස්ම කිරිම හා ඔහුගේ ඔටුනු පැළදවිමේ උත්සවය, ගෝවේහි වෙයිස්රෝයිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එදින විජේපාල කුමරු තම ඔටුනු පැළදවිමේ උත්සවය සදහා එකල පෘතුගීසි වංශාධිපතින් අතර, ජනප්‍රියව පැවති වෙල්වට් හිස් වැසුමක්, සැටින් පාවහන් යුගල සමග වර්ණවත් ඇඳුමකින් සැරසී තම මාලිගයෙන් පිටතට බැස්සේ ඔහුගේ කොළ පැහැති රාජකීය ධජය පෙරටු කොට ගෙනය. ඔහුගේ මාලිගයේ ගේට්ටුවෙන් පිටත හිස මුඩු කරන ලද පෟතුගීසි සොල්දාදුවන් කුමරු පෙරහැරෙන් දේවස්ථානය වෙත ගෙන යාමට පෙල ගැසී සිටියහ.

to be continued 

Tuesday, March 28, 2017

part 3 - කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමාරයා; මෙය ඔබ වෙත ලියන නව වැනි ලිපියයි

from 
http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_26.html


                                          plan of Galle fort
2000 ක් පමණ වූ තමන්ගේ හමුදාවද, රාජ සභාවද සමග විජේපාල කුමරු කොළඹ නගරයට පැමිණියේය. ඔහු අධිරාජ්‍යයෙකුට ගැලපෙන පරිදි අලංකාර රාජකීය උත්සවයක් පවත්වා කොළඹ නගරයට පිළිගන්නා ලදි.
මෙම වකවානුවේදී ඕලන්ද යුධ නෞකා හතක් කොළඹ කොටුව ආක්‍රමණය කිරීමට කොළඹ අවට මුහුදේ නැංගුරම්ලා සිටියහ. පෟතුගීසිහු කොටුව ආරක්ෂා කර ගැනීම සදහා කටයුතු සම්පාදනය කරමින් සිටින විට, මෙලෙස විශාල හමුදාවක් උදව්වට පැමිණීම පෟතුගීසීන්ගේ ඉමහත් සතුටට කරුණක් විය. ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා විජේපාල කුමරු තමන්ගේ වියදමින්ම කොළඹ කොටුවේ මාපනේ දිය අගලද, ප්‍රතිසංස්කරණය කරවීය.

සති කිහිපයකින් විජේපාල කුමරුගේ හමුදාව සහ පෟතුගීසි හමුදාව අතර මතභේදයක් ඇති වී, පසුව එය සටනක් බවට පරිවර්තනය විය. මෙම සටනින් දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මිය ගියහ.

මෙයින් විජේපාල කුමරු සහ පෟතුගීසි ආණ්ඩුකාරවරයා අතර හොඳ හිත පලුදු විය. විජේපාල කුමරුගේ ගමන් බිමන් ආදිය පාලනය කර ඔහු නිවාස අඩස්සියේ සිටින සිරකරුවෙකු බවට පත් විය. මෙයින් බලවත් කම්පාවට පත් කුමරු, පෟතුගීසීන් විසින් තමන් රවටන ලද බවද, තමාට වූ පොරොන්දු සියල්ල අමතක කර තමා දැන් සිරකරුවෙකු බවට පත් කර ඇති බැවින්ද, තමනට කොළඹ කොටුවෙන් නිදහස්ව යාමට උදව් කරන ලෙස ඉල්ලා එවකට මඩකලපුවේ සිටි ලන්දේසීන් වෙත රහස් ලිපියක් යවන ලදී.

විජේපාල ගෙන් ඕලන්දවරු වෙත,

ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටුවල හෝ ඕලන්ද නැව් වල සිටින ඔවුන්ගේ ඉහල සහ පහල තරාතිරම් වල නිලධාරීන් වෙත,

දෙවියන්ගේ නාමයෙන් ලියමි.

සියලුම නායකයන්ගේ නායකයා වෙමි. දෙවි කෙනෙකු හා සමානය. සාගරය හා ශේෂ්ඨය. සූර්යා මෙන් බැබලෙන්නෙමි. තුන් ලෝකයටම අධිපති වෙමි. සෑම විටම සත්‍ය කතා කරන සියලුම දේ පැහැදිලිව තේරුම් ගන්නා උපකාර අවශ්‍ය වූ  සියලු දෙනාට උපකාර කරන, විජේපාල කුමරු වන මම මේ ලිපිය ලියමි.
මාගේ සහෝදර රාජසිංහ රජු, මට කරන ලද අසාධාරණ ඔබ දන්නෙහිය. ඔහු විසින් මට කරන ලද අසාධාරණයන් විස්තර කරන්නට මට වචන නැතිය. මට විරුද්ධව ගාල්ලේ සිට මඩකලපුව දක්වා පාර වසා ඔහු කල වැරැද්දෙන් අද මා සිරකරුවෙකුව සිටිමි. පෟතුගීසීන් හා ඔහු කල සටන් වලදී, මම හැම විටම මගේ හමුදා සමග මම ඔහුට උදව් කලෙමි. එහෙත් මෙම උදව් වලට ඔහු විසින් කෟතගුණ සලකන ලද්දේ මට තවත් අසාධාරණකම් කිරීමෙනි.

මම මෙහි පැමිණීමට පෙර, මඩකලපුවේ ලන්දේසි කපිතාන් වරයාට මට උදව් කරන ලෙස ඉල්ලා ලිපියක් යැව්වෙමි. එහෙත් ඒ සදහා මට පිළිතුරක් වත් නොලැබිණ. ඉන්පසු මම මගේ හමුදාවත් සමග කොළඹ පෟතුගීසීන් වෙත පැමිණියෙමි. මම කොළඹට පැමිණ දින නවයකට පසු, ලන්දේසි යුධ නැව් කිහිපයක් කොළඹ අසලට පැමිණියහ. කොළඹ පෟතුගීිසි ජෙනරාල්වරයා මහත් බියට පැමිණ, මගේ හමුදාවෙන් කොළඹ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ මුලු කොළඹම මගේ භාරයේ පැවතිණ.  නමුත් මට ලන්දේසි නැව් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකි විය. ටික දිනකට පසු, ගාල්ල කොටුවේ සිටින ලන්දේසි හමුදා පානය කරන ජලයට වස මිශ්‍ර කර ඔවුන් සමූල ඝාතනය කිරීමට උදව් කරන ලෙසට පෟතුගීසි ජෙනරාල්වරයා මගෙන් ඉල්ලා සිටියේය.

“මගේ සහෝදර රාජසිංහ රජු, ඕලන්ද අද්මිරාල් වරයාට ද්‍රෝහි ලෙස කටයුතු කල අවස්ථාවේ මම එයට විරුද්ධ වුනෙමි. දැන් පෟතුගීසීන් ඊටත් වඩා අවමන් සහිත ක්‍රියාවකට මගෙන් උදව් ඉල්ලයි.“ යනුවෙන් මම ඔහුට පවසා සිටියෙමි.

මෙය ඔබ වෙත ලියන නව වැනි ලිපියයි. ඔබට ලිපි කීයක් ලැබුණාදැයි මා නොදනිමි. මම මේ නගරයේ ඉතා අපහසුවෙන් කාලය ගත කරමි.
                                                                               මෙයට විජේපාල අධිරාජ්‍යයා.

to be continued 

Monday, March 27, 2017

අපට සතුටුයිද දැන්? හෙවත් ලද දෙයින් සතුටුවීමේ ආදීනව.



මේ මස 20 වෙනිදා යෙදී තිබුනු ලෝක සතුටු දිනය අපටත් නොදැනීම ගෙවී ගියේය. වැලන්ටයින්ගේ දිනය මෙන් කවුරුත් ඒකට තෑගි දුන්නේ වත්, වෙළෙඳ දැන්වීම් දැම්මේ වත්, විවේචනය කලේ වත් නැත. 

පසුගිය වසරේ ලෝකයේ සතුටුම රට බවට පත්වුනු ඩෙන්මාර්කය මෙවර දෙවෙනි තැනට පත්ව ඇති අතර, නෝර්වේ රාජ්‍යය ලෝකයේ සතුටුම රට බවට පත්ව තිබේ.
 මෙම ලැයිස්තුවේ සමහර පුදුම සහගත දේවල් තිබේ. උදාහරණයක් වශයෙන් මුල ඉදන් බලාගෙන යන විට ආසියානු රටක් හමුවන්නේ 26 වන ස්ථානයේදීය. ඒ සිංගප්පූරුවයි. ඊලගට 32 සහ 33 තායිලන්තය සහ තායිවානය සිටිති. මලයාසියාව 42 ය. මෙතරම් හොඳ යැයි කින ජපානය සිටින්නේ 51 වන ස්ථානයේය. අපි රටවල් 155 කින් 120 වන ස්ථානයේ සිටිමු. ඇත්තෙන්ම අපි ගිය අවුරුද්දට වැඩියෙන් ස්ථාන 3 ක් පල්ලෙහාට ගොස් තිබේ. අපිට එක සැනසිලි තෑග්ගක් නම් තිබේ. ඒ ඉන්දියාව සිටින්නේ අපට ස්ථාන 2 ක් පහලින් 122 වන ස්ථානයේය සිතා හිත හදා ගැනිමය.  

නමුත් අනෙක් සමාජ දර්ශක මෙන් අඩු තරමේ සාක් කලාපයේ වත් අපි නොම්මර එකට සිටිනවා යැයි සතුටු වන්නට නම් අපට මෙවර බැරිය. මක් නිසාද බංගලාදේශය සිටින්නේ 110 යේය; සමහර විට පහුගියදා දඹුල්ල මැච් එකෙන් තවත් ටිකක් ඉහලට යන්නට ඇත - පකිස්ථානය පුදුම සහගත 80 වන ස්ථානයේය, චීනයට එකක් පහලිනි. 

අපි මෙතරම් කනස්සල්ලෙන් සිටින ජාතියක් යැයි මම නම් කිසිසේත්ම සිතුවේ නැත. කන බොන විදිහටත්, ආගම් අදහන විදිහටත්, ඇත්තෙන්ම සියලු දෙනා සතුටින් උතුරා යමින් සිටිය යුතුය. විශේෂයෙන්ම අප ආගමේ තිබෙන ලද දෙයින් සතුටුවීම අප හරියට අනුගමනය කරන්නේ නම් අප සැම විටම සතුටින් වෙලී ගොස් සිටිය යුතුය. අප මෙතරම් ශෝකාකූල ජාතියක් වන්නට හේතුව කුමක්දැයි සොයා බැලීමට මම මෙම සතුටු වාර්තාව සැකසීමට යොදා ගන්නා මිනුම් දඩු මොනවාදැයි බැලුවෙමි. 

ඒවා පහත සදහන් පරිදිය. 


  • ඒක පුද්ගල ආදායම.(මුදලින් දෙන සතුට).
  • සමාජ ආරක්ෂාව. (නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය, හෝ සමෘධිය සතුටක් දී නැති හැඩයි). 
  • සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන පරමායුෂ.  
  • ත්‍යාගශීලීභාවය. 
  • රජය, ආයතන සහ අනෝන්‍ය විශ්වාසය. (දූෂණ සහ අල්ලස් අඩු බවට ඇති හැගීම). 
  • ඩිස්ටෝපියාවට ඇති දුර. (අමිහිරිම මනෝරාජ්‍යයට ඇති දුර).
  • තෝරා ගැනීමට ඇති නිදහස. 


මෙම සමීක්ෂණයන් සදහා දත්ත ලබාගෙන ඇත්තේ ගැලොප් පෝල් ආයතනය මගින් වන අතර, සමීක්ෂණය එක්සත් ජාතික මංඩලය විසින් පවත්වා විෂය විශාරදයන් විසින් විශ්ලේෂණය කර අවසාන ලැයිස්තුව සාදනු ලැබේ. 

අප අසමර්ථ වන්නට ඇත්තේ කුමන දර්ශක වලින්ද? එසේ නැත්නම් අප         උපන් ගෙයි දුකෙන් පසුවන්නන්ද? 


   

Sunday, March 26, 2017

part 2 -කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමාරයා; සොහොයුරන් අතර යුද්ධය

මීට පෙර කොටස
http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-1-part-1.html



                                    Rajasingha ll of Kandy, the youngest of the brothers

මෙම ආරවුල නිසා රාජසිංහ රජු හා විජේපාල කුමරු අතර මත භේදයක් ඇති වී විජේපාල කුමරුන් මහනුවරින් ඉවත්ව මාතලේ වාසය කිරීමට පටන් ගත්තේය.

මෙකල ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය තුල පෟතුගීසිහු මෙම ආරවුල ප්‍රයෝජනයට ගෙන, සිංහල රජ පවුල දෙකඩ කර කන්ද උඩරට රාජ්‍ය යටත් කර ගැනීමට කුමන්ත්‍රණය කලහ. මෙම අදහස එවකට ලංකාවේ සිටි පෟතුගීසි පාලකයා වූ මෙලෝඩි කැස්ට්රෝ කපිතාන් ජනරාල්වරයා විසින් ගෝවේ පෟතුගීසීන් වයිස්රෝයිවරයා වෙත ලියා දන්වන ලදුව, ඔහු විසින් පෟතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයෙහි රාජ සභාව වෙතින්ද, මේ සදහා අවසර ලබා ගත්තේය.

මෙම සැලසුම අනුව විජේපාල කුමරුට ඔහුගේ පිරිවරත් සමග කොළඹට පැමිණ, පෟතුගීසිනට එකතු වන ලෙසටද, එලෙස එකතු වූ පසු ඔහුට සත්කෝරළයේ පාලක තනතුර ලබා දෙන බවද, ඉන් පසු පෟතුගීසි හමුදාව සහ ඔහුගේ හමුදාව එකතුව මහනුවර යටත් කර ඔහු කන්ද උඩරට රජු බවට පත් කරන බවටද, පෟතුගීසි නිලධාරීහු රහසේ පැමිණ ඔහුට දන්වා සිටියහ.

විජේපාල කුමරු මේ අදහසට තරමක කැමැත්තක් දැක්වුවද, ඒ කාලයේදීම සහෝදරයන් දෙදෙනා අතර මතභේදය සමතයකට පත් වූයෙන්, නැවතත් ඔහු මහනුවර රාජ සභාවේ කාලය ගත කිරීමට පටන් ගත්තේය. බාල සොහොයුරු මහා රජු වශයෙන් සිටියදී වැඩිමහල් එමෙන්ම දක්ෂ හැකියාවලින් හෙබි කුමාරයෙකු තම බාල සොහොයුරාගේ රාජ සභාවේ සිටීම ඉතාමත් අවුල් සහගත එමෙන්ම ඇවිලෙන සුලු තත්වයක් බව නොකිවමනාය.
වසර කිහිපයකට පසු, 1638 දී පෟතුගීසි හමුදාව කන්ද උඩරටආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය පෟතුගීසි ජෙනරාල්වරයා විසින්ම මෙහෙයවන ලද්දේය. මහනුවරට ඇතුලුවන දන්තුරේ ප්‍රදේශයේදී ඇති වූ පෟතුගීසි හමුදාව හා කන්ද උඩරට හමුදා අතර ඇති වූ මහ සටනින් පෟතුගීසි හමුදාව පරාජය විය. මෙහිදී ජෙනරාල්වරයා ඇතුලුව පෟතුගීසි හමුදාව 2500 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි.

මෙම සටනට විජේපාල කුමරුද තම හමුදා සමග සහභාගි වුවද, සටන අවසානයේ පෟතුගීසිනට ඇති අනුකම්පාව නිසා, සමහර පෟතුගීසි සිරකරුවන් නිදහස් කිරිමට උත්සාහ කලේය. මෙය ආරංචි වී කෝපයට පත් රාජසිංහ රජු, විජේපාල කුමරු ටික දිනකට සිර භාරයට පත් කලද, පසුව ඔහු සිර භාරයෙන් නිදහස් කර නැවත මාතලේ ප්‍රදේශයට පිටත්කර යැවීය.

1641 ජුලි මාසයේදී යම්කිසි සිදුවීමක් නිසා, රාජසිංහ රජුගේ හමුදා සහ විජේපාල කුමරුගේ හමුදා අතර ඌවේහිදී සටනක් ඇති වූ අතර, මෙම අවස්ථාවේ ලන්දේසි ආක්‍රමණය නිසා, බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටි පෟතුගීසි ආණ්ඩුකාරවරයා විජේපාල කුමරුට තම හමුදාවත් සමග කොළඹට පැමිණ තමනට උදව්කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් මෙය කරන්නට ඇත්තේ සහෝදරයන් අතර විරසකය තවත් වැඩි කරන්නට විය හැක.
to be continued

part 1 -කුරුල්ලන් බැඳි මාලය හෙවත් විජයපාල කුමාරයා part 1






                         Colombo port during Portuguese times 

කන්ද උඩරට කලකට පෙර පාලනය කරන ලද කරල්ලියද්දේ බංඩාර (1551-1581) නම් වූ රජ කෙනෙකුගේ දියණිය වූ කුසුමාසන කුමරිය,තම පිය රජුගේ රාජධානිය සීතාවක රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් අනතුරුව පිය රජු මියගිය හෙයින්, මන්නාරමේ පෟතුගීසීන් යටතේ ඇති දැඩි වූවාය. 

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සදහා එම ප්‍රදේශ වාසීන්ගේ උදව් ලබා ගැනිමට එම රජ පවුලේ කෙනෙකු අවශ්‍ය වූ නිසා, මන්නාරමේ පෟතුගීසි බලකොටුවේ ඇති දැඩි වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් විසින් මහනුවරට රැගෙන එන ලදි. මෙම කුමරිය සමග කන්ද උඩරට බලය අල්ලා ගැනීමට පැමිණි පෟතුගීසි හමුදා හා මහනුවර විමලධර්මසූරිය රජු අතර බලවත් සටන් පැවතිණ.

 එම සටනින් පෟතුගීසීන් පරාජය කර මහනුවර බලය තහවුරු කර ගත් විමලධර්මසූරිය රජු, පෟතුගීසීන් රැගෙන එන ලද කුසුමාසන දේවිය විවාහ කරගෙන මහනුවර රාජධානිය සදහා තමන්ට ඇති අයිතිය තහවුරු කර ගත්තේය. මුලින් කුසුමාසන දේවිය නම් වූ ඇය පෟතුගීසීන්ගේ ආරක්ෂාවට පත් වූ පසු දෝන කතිරිනා  (පෘතුගීසි හා ස්පාඤ්ඤ ගරු නම්බු ආමන්ත්‍රණයක්) නමින් හැඳින්විණ.

1608 වර්ෂයේ වසර 12 ක රාජ්‍ය කාලයකින් පසු විමලධර්මසූරිය රජු මිය ගියෙන් ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් කුමරු හා ඌවේ කුමරු අතර කන්ද උඩරට රජකම සදහා තරඟයක් ඇති විය. අවසානයේදී සෙනරත් කුමරු විසින් මහනුවර මහා වාසලදීම ඌවේ කුමරු ඝාතනය කර කන්ද උඩරට රජකම ලබා ගත්තේය.

සෙනරත් රජු රජකමට පත් වීමෙන් පසු, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝනකතිරිනා දේවිය තම බිසව කර ගත්තේය. මෙලෙස ඇය සෙනරත් රජු හා විවාහ වන විමලධර්මසූරිය රජුගෙන් දෝනකතිරිනා දේවියට දූ කුමරියන් දෙදෙනෙකු සහ පුත් කුමරෙකු සිටියේය. ටික කලකින් මේ කුමරා මිය ගියේය. තම දරුවනට රාජ්‍ය ලබාදීම සදහා විමලධර්මසූරිය රජුගේ පුත් කුමරු වස දී මරා දැම්මේ යැයි ජනතාව අතර සෙනරත් රජු කෙරෙහි අප්‍රසාදයක් ඇති වූ නමුත්, කලකින් එය පහව ගියේය.

දෝනකතිරිනා රැජිනට හා සෙනරත් රජුට කුමාරසිංහ, විජේපාල සහ මහා අස්ථාන යන නමින් පුත් කුමරුන් තිදෙනෙකු වූහ.

බොහෝ කලක් පෟතුගීසීන් යටතේ හැදී වැඩුණු හෙයින්, දෝනකතිරිනා දේවිය ක්‍රිස්තියානි ආගමට හා යුරෝපීය ගති සිරිත් වලට ලැදිකමක් දැක්වූවාය. එහෙයින් තමන්ගේ දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදීම සදහා, ඇය කතෝලික පූජකවරයන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කලේය. විජේපාල කුමරුන් හට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ෆ්රැන්සිස්කෝ නෙග්‍රෝවා (The Padre Frey/Francisco Negrao) නමැති පූජකවරයා විසිනි.

මෙම පූජකවරයාගේ ආභාෂයෙන් විජේපාල කුමරු, සිංහල රජකුමරෙකු ලෙස ජීවත් වනවාට වඩා පෟතුගීසි ගතිගුණ සහ හැසිරීම් අගය කරන පෟතුගීසි කුමරෙකු ලෙස ජීවත්වීමට කැමති පුද්ගලයෙකු බවට පත්විය.

මහා අස්ථාන කුමරුන්ගේ යුධ නිපුණතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා තේරුම් ගත් සෙනරත් රජු ඔහුගේ රාජධානිය බාලම පුත් කුමරා වන මහා අස්ථාන කුමරු වෙත පවරා දීමට තීරණය කරන ලදි. නමුත් පිය රජුගෙන් පසු රජකම හිමි විය යුත්තේ වැඩිමහල් පුත් කුමරු හටය. තම රාජධානිය වැඩිමහල් පුත් කුමරුට නොපවරා මහා අස්ථාන කුමරුට ලබා දීම සදහා, සෙනරත් රජු උපක්‍රමයක් යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මේ අනුව තම රාජධානිය ඌව, මාතලේ  සහ මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදා, කුමරුන් තිදෙනා හට පවරා දෙන බව  සැල කරන ලදි. රජුගේ අවශ්‍යතාවය වූයේ තම රාජධානියේ අගනුවර වන මහනුවර, මහා අස්ථාන කුමරු හට ලබා දීමටය. ඒ අනුව ඔහු උපක්‍රමයක් යෙදුවේය. එනම් මෙම රාජධානි තුන, කුසපත් ක්‍රමයකට බෙදා දීමට තීරණය කිරීමය. එහිදී පිය රජු විසින් තම බාල පුත් කුමරා හට මහනුවර රාජධානිය යනුවෙන් සඳහන් ඇති කුසපත් ලබා ගන්නා ආකාරය පිළිබද කුසපත් ඇදීමට පෙර රහසේ උපදෙස් දුනි.

ඒ ආකාරයටම වැඩිමහල් කුමරු වූ කුමාරසිංහ කුමරුට ඌවද, විජේපාල කුමරුට මාතලේද, මහා අස්ථාන කුමරුට, රාජධානියේ අගනුවර වූ මහනුවරද ලැබුණි.

කන්ද උඩරට රාජ්‍යයේ යුධ කටයුතු මෙහෙයවීම මෙම කුමරුන් තිදෙනාට බාර වූ අතර, 1630 වර්ෂයේ ඌවේහිදී ඇති වූ මහ සටනකින් එකල ලංකාවේ පෟතුගීසි ජෙනරාල් වරයා වූ කොන්ස්ටන්ටිනෝ නොරන්හා (Constantino de Say Noronha) ඇතුලුව මුලු පෟතුගීසි හමුදාවම සමූල ඝාතනය කිරීමට මේ කුමරුන් තිදෙනාට හැකියාව ලැබුණි.

1634 දී සෙනරත් මිය ගියෙන් රාජ්‍ය  පාලනය කුමරුන් තිදෙනාට භාර විය. කුමාරවරු තිදෙනා මහනුවර රාජ සභාවේ සිට සිය ප්‍රදේශ පාලනය කරමින් සිටියහ. මොවුන් අතරින් වැඩිමහල් කුමරා වූ කුමාරසිංහ කුමරු රාජාභිෂේක කරන ලද අතර, අනික් කුමාරවරු දෙදෙනා ඔහුගේ ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකිණ. 1634 වර්ෂයේදී ඌව ප්‍රදේශය පාලනය කල කුමාරසිංහ කුමරු මිය ගියේය.

මේ අවස්ථාවේදී මීලඟට ජේෂ්ඨ කුමරු වූ විජේපාල කුමරු අභිෂේක කරනු ලැබිය යුතු වුවද, රාජධානියේ ප්‍රධාන නුවර වූ සෙන්කඩගල පාලනය කල මහා අස්ථාන කුමරු වැඩි බලයකින් යුතු වූ හෙයින්, රාජසිංහ නමින් රාජාභිෂේක ලැබීය. මිය ගිය කුමාරසිංහ කුමරුට අයිති වූ ඌව රාජ්‍යයද මහනුවරට ඈඳා යා කර ගත් රාජසිංහ රජු, කුමාරසිංහ කුමරුට අයිති වූ සියලු වස්තුවද තම සන්තකයට ගෙන, මුදල් පෙට්ටි දෙකක් පමණක් විජේපාල කුමරුට ලබා දුන්නේය.
to be continued..

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_26.html

Wednesday, March 22, 2017

අවදිවනු, මේ පන්ති අරගලය සදහා කාලයයි; දොන් කුයිසෝට් අනුගමනය කරමු.








අප කුඩා කාලයේ ධනපති පන්තිය, නිර්ධන පන්තිය, පන්ති අරගලය වැනි ලේ කැකෑරෙන වචන නිතරම අහන්නට ලැබුණි. වරාය, ලංගම සහ නොයෙකුත් රාජ්‍ය ආයතනවල හැමදාම පාහේ වර්ජන  පැවැත්වෙන විටත් මැයි දින පෙලපාලි වලත් මෙවැනි සටන්කාමී වචන තොග ගණනේ භාවිතා කෙරිණ. 

මෙවැනි සමාජවාදී එමෙන්ම පන්ති අරගලය කොතරම් උණුසුම්ව තිබුනේද යත් අප පීඨයේ එක් සිසුවෙකුව අනවර්ථව හැදින්වූයේ නිර්ධනයා යන නමිනි. ඒ ඔහු කොතරම් නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනවාද යන්න නිසාය. 

තවත් අප පීඨයේ සිසුවෙකු විශ්ව විද්‍යාලයේ තමන්ට කාමරය ලැබුනු ගමන්ම කාමරයේ බැල්කනියේ පැත්තට එළියේ බිත්තියේ තඩි අකුරෙන් ක්‍රෙම්ලින් කියා ලිව්වේ ඔහු කොතරම් කොමියුනිස්ට් වාදියෙකුදැයි විශ්ව විද්‍යාලයේ සියලු දෙනාට ප්‍රදර්ශනය කිරීමටය; මෙය සිදුවූයේ 1989 බර්ලින් තාප්පය බිදවැටිමට පෙරය. 

ටික කලක් භාවිතයෙන් විශාල ලෙස ඉවත්වී තිබී දැන් මේ යෙදීම් නැවතත් අළු ගසා දමා හෙමින් හෙමින් භාවිතයට එන බව පෙනේ. යම් අවශ්‍යතාවක් නිසා පන්ති අරගලය ක්‍රමයෙන් හිස ඔසවන බව පෙනේ. 

ප්‍රංශ විප්ලවයේ එසේත් නැත්නම් රුසියාවේ මෙලෙස ඇත්තෙන්ම පන්ති අරගල පැවතුන රටවල් දෙකකි. ඒවායේ පන්ති අරගල කර ගැනීමට පැහැදිලිව පන්ති දෙකක් එකල තිබුනි. ඉහල පන්තියේ සිටියේ වංශාධිපතිවරුන්ය. ඔවූහූ විශාල ඉඩම් හිමියන්, පල්ලියේ ප්‍රධානීන් හෝ එසේත් නැත්නම් ඉහල රාජ්‍ය හා හමුදා නිලධාරීන් වූහ. බොහෝ දෙනෙකු මෙම කණ්ඩායම් තුන අතර මාරුවෙමින් සිටි අය වූහ. 

අනෙක් පන්තියේ සිටියේ ගොවියන්, කම්කරුවන්, වෙළෙන්දන් වැනි රැකියාවල යෙදුනු පුද්ගලයන්ය. මෙම වැඩවසම් පාලනක්‍රම පැවතුනු යුගවල පහල පන්තියේ සිටි කිසිවෙකුට කොතරම් දක්ෂතා තිබුනද, කොතරම් හැකියාවල් තිබුනද ඉහලින් තිබූ පන්තිය තුලට යාමට පුලුවන් කමක් තිබුනේ නැත. ඔවූහූ කොතරම් හැකියාවක් හෝ දක්ෂකමක් තිබුනත් තමන්ගේ පන්තියෙන් ඉහලට යාමට හැකියාවක් ලැබුනේ නැත. මෙය බොහෝ දුරට ලංකාවේ එකල පැවති කුලබේදය වැන්නකි; කොතරම් ගණන් පුලුවන් වුවත් ඔහු අයත් වූයේ ගණිත හෝ නැකැත් කුලයටය.

සමහර රටවල මෙම පන්ති අරගල ඇතිවන්නට පෙර කර්මාන්ත යුගය ඇතිවිය. කර්මාන්ත යුගයෙන් ලොව බොහෝ වෙනස්කම් ඇතිවිය. එයින් වැදගත් එකක් වූයේ හැකියාවන් හා දක්ෂතාවයන් ඇති පුද්ගලයන්ට තමන් ඉපදුන පන්තිය හෝ කුලය බිදගෙන එයින් ඉහලට යාමට ඇති හැකියාවයි. එය ක්‍රමයෙන් ඉදිරියට ගොස් දැන් එම සීමාවල් ඇත්තෙන්ම ඉවත්ව ගොසිනි. උදාහරණයක් වශයෙන් ලෝකයේ දැන් සිටින ධනවත්ම පුද්ගලයන් සියදෙනා ගතහොත්; මේ අවුරුද්දේ නැවත වරක් බිලියන 80 ගනනක වත්කම් සහිතව බිල්ගේට්ස් අංක එකට පැමිණ තිබේ - තමන්ගේ දෙමව්පියන්ගේ ධනයෙන් යම් තරමකට හෝ ආරම්භයක් ලබා ගත්තේ නම්, ඒ මට හිතෙන විදිහට ඉන්දියාවේ මුකේෂ් අම්බානි(33) පමණි.  

මේ සිය දෙනාගෙන් ඇති බහුතරයක් බොහෝ දුප්පත් පවුල් වලින් පැමිණ අමාරුවෙන් අධ්‍යාපනය ලබා ව්‍යාපාරවල යෙදී ‍පොහොසත් වූවන්ය. ඔවුන්ගේ විස්තර ඕනෑම කෙනෙකුට විකිපීඩියා වෙත ගොස් බලාගත හැක. ඇත්තෙන්ම පන්ති අරගල ජයග්‍රහණය කලෝ මොවුන් නොවේද? තමන් ඉපදුන සමාජ ස්ථරයෙන් ගැලවී තමන්ගේ හැකියාවන් සහ දක්ෂතා ඔප මට්ටම් කරගෙන එම ලැබූ හැකියාවන් ගෙන් තමා ඉපදුනු ජන සංහතියට අලුත්දෑ ලබාදී සම්පත් බිහිකර සමාජය වෙනස්කර තමා ඉපයූ මුදලින් වැඩි කොටසක් ආපසු සමාජයේ දියුනුවටම යොදවමින් පන්ති සම්පූර්ණයෙන් අභිබවා ගොස් මුලු ලෝකයටම ආදර්ශයක් ගතහැකි මෙවැනි පුද්ගලයන් අප සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර විය යුතු නොවේද? 

අප අනාගත පරම්පරාවන් ආදර්ශයට ගත යුත්තේ මෙවැනි සාර්ථක පුද්ගලයන්ද, එසේත් නැත්නම් දොන් කුයිසෝට් ලෙසට සිතින් මවාගත් පන්ති බලකොටු වලට පහර දෙමින් තමන්ගේ කාලය නාස්ති කරන ගමන් අනුන්ගේ කාලයද නාස්ති කරනා පුද්ගලයන්ද?  


     

Monday, March 20, 2017

part 6 final - එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - part 6 final


From 










අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් පසු තවත් නෙදර්ලන්ත අද්මිරාල්වරයෙකු මඩකලපුවට පැමිණි අතර, රජු ඔවුන් මුණ ගැසීමට එම ප්‍රදේශයට ගියේය. එහිදී රජු හා එම තානාපතිවරයා අතර අමනාපයක් ඇතිවූයේ, බීමත්ව සිටි එම තානාපතිවරයා රජුගේ බිසවට අවමාන වන පරිදි යම් ප්‍රකාශයක් කරන ලද බැවිනි.

 “මේ බල්ලා බැඳ දමාපල්ලා“ යැයි රජු ප්‍රකාශ කර ඇත. මෙහිදී ඇති වූ අරගලයේදී නෙදර්ලන්ත තානාපතිවරයා හා ඔහුගේ 50 ක් පමණ පිරිස රජුගේ නිලධාරීන් අතින් මරුමුවට පත්විය. රජු කලකිරීමට පත්ව ආපසු මහනුවර බලා පිටත් වූ අතර, පිටත්විමට පෙර පහත පණිවිඩය මඩකලපුවේ නැංගුරම්ලා තිබූ, නෙදර්ලන්ත නෞකා වලට යැවීය.
“බීමත් වූ පුද්ගලයන් ප්‍රවේශමෙන් කටයුතු කල යුතුය. දෙවියන් ඔහුට දඬුවම් කර ඇත. නෙදර්ලන්තයට සාමය අවශ්‍ය නම් මම සාමයට කැමතිය. එහෙත් යුද්ධය අවශ්‍ය නම් මම යුද්ධ කරන්නෙමි.“

මෙයින් ටික කලකට පසුව විමලධර්මසූරිය රජු අසනීපයට පත්විය. ඔහුගේ ශරීරයේ තදබල දැවීමක් ඔහුට දැනෙන්නට වූ අතර, මෙය සදහා කොතරම් ප්‍රතිකාර කලද සුවයක් නොවීය. රජුගේ සිරුරෙහි ගිණිගෙන දැවෙන්නාක් මෙන් වූ අපහසුතාවය සමනය කිරීමට, එම රාජ්‍යයේ තිබූ ඉතාමත් ශීතල ජලය සහිත බදුල්ලේ හල්ග්‍රමන් ඔයෙන් ජලය රැගෙනවිත් ඔහුට පානය කිරීමට සැලැස්වීය. එම ජලය කොතරම් ශීතල වුවත් ඉන් ඔහුගේ අපහසුතාවයට සුවයක් ගෙන දුන්නේ නැත. 

විමලධර්මසූරියරජු 1604 දී මියගිය අතර, ඔහු මියයන විට ‘මහස්ථානේ අදසිය‘ නමින් හැඳින්වූ පුත් කුමරු හා සූරිය අදසිය, කාන්ති අදසිය නමින් දූ කුමරියන් දෙදෙනෙකුද විය. එකල විදේශීය ලේඛකයන් විස්තර කරන අන්දමට විමලධර්මසූරිය රජු ඉතාමත් නිර්භීත හා අති දක්ෂ යුධ ශිල්පයෙකු වූ අතර, ඔහු සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස මනාව වැඩුණු තද පැහැයකින් යුත් සිරුරකින් හෙබි පුද්ගලයෙකු විය. තමද ඉතා ගැඹුරු කටහඬකින් සටනේදී අණදුන් ඔහු සැම විටම ප්‍රධාන සටන් පුද්ගලිකවම මෙහෙය වූ බව සඳහන් වේ. විශාල ධන සම්භාරයක් රාජකීය ගබඩාවට එකතු කල ඔහු තම රාජ්‍යයේ මගියන් සදහා අම්බලම් විශාල ගණනක් රාජ්‍යය තුල ඇතිකර ඒවා ඉතා හොදින් නඩත්තු කලේය.

රාජ්‍ය පාලනයේදී ඔහු වැරදි කරුවන්ට ඉතා දැඩි දඩුවම් ලබා දුන් අතර, පාලනයේ හා යුද්ධයේ දක්ෂයන්ට උසස් ත්‍යාග හා තානාන්තර ලබාදීමට අමතක නොකලේය. ඉතාමත් ඉහල පෙලේ පාලකයෙකු වූ ඔහු තම මිතුරන්ට ගෞරව කල අතර, තමා ඇතිකර ගත් ගිවිසුම් හා පොරොන්දු එලෙසම ඉටු කලේය. රාජ්‍ය පාලනය ආගම හා සම්බන්ධ කිරීම අප්‍රිය කල ඔහු තම රාජ්‍ය තුල සියලු ආගම් ඇඳහීම් සදහා පූර්ණ නිදහසක් දී තිබුනේය.

මෙලෙස විදේශීය ආක්‍රමණ වලට විරුද්ධව ශත වර්ෂ ගණනාවක් සටන් කර ලංකාවේ ස්වාධීනත්වය සහ සිංහල රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සීතාවක රාජසිංහ රජු සහ විමලධර්මසූරිය රජු සමත් විය.
විමලධර්මසූරිය රජු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා උසස් ගණයේ රාජ්‍ය පාලකයෙකු වූ බව ඔහු පිළිබඳ සටහන් තබා ඇති විදේශිකයන්ගේ ලිපි ලේඛන වලින් සාක්ෂාත් වේ.  

                                     
                                       king wimaladarmasuriya and Admiral speilbergen 

Sunday, March 19, 2017

Ethera Wimasuma 2017 03 18 - my first assignment as TV commentator


My first TV program as a commentator  

part 5 එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා part 5

http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-three-part-three.html

හි ඊලග කොටස




පෘතුගීසින්ගෙන් ලබාගත් වස්තුව ද ආයුධ උපයෝගි කර ගනිමින්, කොළඹ හා ගාල්ල හැරෙන්නට ලංකාවේ මුලුමනින්ම තම අණසක යටතට ගත් විමලධර්මසුරිය රජු, ඉන්පසුව ශ්‍රී  ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු සම්පාදනය කළේය.

තම රාජධානිය සතුරන්ගෙන් ආරක්ෂා කරගැනිමට ශක්තිමත් බලකොටු පද්ධතියක්ද,  සතුරන් පැමිණෙන බව කලින් දැනගැනිමට රාජධානිය වටා උස් ස්ථාන වල කුඩා කදවුරු විශාල ගණනක්ද ඇති කල විමලධර්මසුරිය රජු, සෙංකඩගල ප්‍රදේශයේදි මනරම් මාළිගයක්ද තැනවිය. මෙම මාළිගාව දිය අගල් හා බලකොටු සහිතව පිහිටවු අතර, එය තැනිම සදහා ප්‍රයෝජනයට ගන්නා ලද්දේ පෘතුගීසි සිරකරුවන්ය. මාළිගාව අවට අලංකාර කිරිම සදහා යුද්ධයේදි අල්ලා ගත් පෘතුගීසි ධජ යොදාගත් අතර, තම රාජ්‍ය කාලයේ නොයෙකුත් වෙහෙර විහාර හා බෞද්ධ පුජනීය ස්ථානද කරවිය. තමන්ගේ දක්ෂතම ජෙනරාල්වරයාට හා හමුදාවට සිදු වු  දෙය  දැනගන්නට ලැබුනු ගෝවේ විසු පෘතුගීසි පාලකයා, දොන් ජෙරමින් අසවේදු නම් සටනේ ඉතා දක්ෂ, එමෙන්ම ඉතාම කෘර පෘතුගීසි නායකයෙකු යටතේ විශාල හමුදාවක් කන්ද උඩරට පරාජය කිරිම සදහා ශ්‍රී  ලංකාවට එවිය. දැන් පෘතුගීසීන් හට මහනුවර අල්ලා ගැනිම තමන් ආසියාවට පැමිණි ප්‍රධාන කාර්ය වු වෙළද හා ආගම් පැතිරවිමට වඩා, තමන්ගේ ආත්ම ගෞරවය පිළිබද  ප්‍රශ්ණයක් විය.

ලංකාවට පැමිණි අසවෙදු හා ඔහුගේ හමුදාව ඉක්මනින්ම මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් අතර, ඔවුන් කඩුගන්නාව හරහා පැමිණ මහනුවරට ඇතුලු වීමට උත්සාහ කලහ. බලන සිට තම සටන් ඇරඹූ විමලධර්මසූරිය රජු කුඩා කණ්ඩායම් ලෙස මඟ රැක සිට සතුරාට පහර දීමට සංවිධානය කලේය. තමන්ගේ හමුදාවන් පෘතුගීසී හමුදාවන් හා සසඳන කල පුහුණුවෙන් හා අවි හරඹයෙන් දුර්වල බව දන්නා විමලධර්මසූරිය, එම අඩුව එඩිතර බාවයෙන් හා යුද්ධ ඥානයෙන් සපුරාලීය. පෘතුගීසීන් හට ඔවුන් සෑම තැනකම සිටින්නාක් මෙන් දැනෙන පරිදි යුද්ධය මෙහෙය වූ විමලධර්මසූරිය, ඉතාමත් දරුණු සටන් වලින් පසුව අසවේදුගේ පෘතුගීසි හමුදාව පරාජය කලේය. ඔවුන් කොළමට පසුබැස ගියහ. මෙම පරාජයෙන් ලැජ්ජාවට හා අසහනයට පත්වූ පෘතුගීසී හමුදා භටයන්, දොන් අසවේදු ඝාතනය කිරීමට උත්සාහ කල අතර, පෘතුගීසී පූජකවරයෙකුගේ මැදිහත්වීමක් නිසාම ඔහුට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙයින් පසු යුද්ධයෙන් පරාජය කල නොහැකි විමලධර්මසූරිය රජු කුමන්ත්‍රණයකින් මැරීමට පෘතුගීසීන් කල්පනා කලහ. මේ අනුව විමලධර්මසූරිය රජු යටතේ රාජකාරී කල පෘතුගීසී නිලධාරියෙකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තාට, විශාල මුදලක් හා විමලධර්මසූරිය රජු ඝාතනය කල පසු මහනුවර ප්‍රාදේශීය පාලක තනතුරද ලබාදෙන පොරොන්දුව පිට රජු මැරීමට සැලසුම් කලහ. පෘතුගීසීන් තම සෙබලුන් 05 දෙනෙකු කොළඹ කොටුවෙන් පැනගොස්, සිංහල රාජ්‍යයට එකතුවන ලෙස පෙන්වා රජු වෙත එවූහ. ඔවුනට උපදෙස් දී තිබුනේ අවස්ථාවක් ලැබුනු විට රජු මරණයට පත් කිරීමටය. මෙලෙස රජු මරණයට පත් කල විගසම එම තොරතුරු වෙඩිල්ලකින්  සංඥා කරන ලෙස ඔවුනට දන්වා තිබුණු අතර, ඒ විගසම මහනුවරට ඇතුලු වීමට තරමක පෘතුගීසී හමුදාවක් බලනට පහතින් කැළයේ සැඟවී සිටියහ.

මෙම උපක්‍රම පිළිබඳ සියලු විස්තර දොන් මැනුවෙල් ඩයස් රජු වෙත සැලකර සිටියේය. එම කුමන්ත්‍රණය ආපිට පෙරලා තමනට වාසියක් ගැනිමට විමලධර්මසූරිය රජු කල්පනා කලේය. එමසොල්දාදුවන් 05 දෙනාට කන්ද උඩරට රජුගේ සේවයට පැමිණෙන ලෙස දන්වා, රජු මරන්නට පැමිණි කණ්ඩායම බලනට පැමිණෙන විට තමන්ට විශ්වාස හමුදා භට පිරිසක් සමග බලනට ගොස් රජු, වහාම එම භටයන් සිරභාරයට ගෙන කැලෑවේ සැගවී සිටි පෘතුගීසී හට රජු මියගිය බවට දැන්වෙන සංඥාව නිකුත් කලේය. ඔවුන් බලන දූර්ගයට ඇතුලු වූ පසු සමූල ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නමුත්, යම් අයුරකින් රජුගේ සැලැස්ම පිළිබඳ දැනගත් කඳවුරු බැඳ සිටි පෘතුගීසීහු, වහාම තම ආයුධ අතහැර කොළඹ බලා පලා ගියහ.

මෙයින් පසු විමලධර්මසූරිය රජු මියයන තෙක්ම පෘතුගීසීහු ඔහුගේ රාජධානියට ඇඟිලි නොගැසූ අතර, 1602 අද්මිරාල් ස්පිල් බර්ගන්ගේ ලංකාවට පැමිණීම, විමලධර්මසූරිය රාජ්‍ය සමයේ වූ විශේෂ සිද්ධියක් විය. පලවෙනි ඕලන්ද (නෙදර්ලන්ත) තානාපතිවරයා වූ ඔහු මඩකලපුව වෙත නෞකාවෙන් ගොඩ බැස, අනුගාමිකයන් පිරිසක් සමග සති කිහිපයක දුෂ්කර ගමනකින් පසු මහනුවරට පැමිණියේය. ඔහු, රජු හා පැවැත්වූ සාකච්ඡා තානාපතිවරයා සමග පැමිණි අයෙකු විස්තර කර ඇති අතර, එකල උඩරට රාජ්‍යයේ තිබූ දියුණු තත්වය එම විස්තර වලින් මනාව පැහැදිලි වේ. විශේෂයෙන්ම පෘතුගීසීන්ට විරුද්ධව මුහුදු සටන්හි යෙදීම සදහා කුඩා යුධ නැව් පවා මහියංගනයේ මහවැලි ගඟෙහි තැනෙමින් පැවැති බව යුරෝපීය සංචාරකයෙකු විස්තර කර ඇත.

අද්මිරාල්වරයා හා විමලධර්මසූරිය රජු අතර පැවැත්වූ සාකච්ඡාවන්ද, මහනුවරදී ඔහුට රජු විසින් දක්වන ලද ගෞරවය හා සංග්‍රහයන්ද, එම ගමන පිළිබඳ විස්තරයේ සටහන් කර ඇත. විමලධර්මසූරිය රජු කොතරම් පෘතුගීසීන් අප්‍රිය කලාද යත්, ඔහු අද්මිරාල් ස්පිල් බර්ගන් හා සාකච්ඡාවේදී එක් වරක් පවසා සිටියේ, නෙදර්ලන්ත ජාතිකයන් පෘතුගීසීන්ට විරුද්ධව ලංකාවේ බලකොටුවක් තනන්නේ නම්, එම බලකොටුව සදහා ගල් තමන් හා රාජකීය පවුලේ සාමාජිකයින් විසින් තම හිසින් පවා ඇදිමට කැමති බවයි.

Wednesday, March 15, 2017

part 4 - එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - part 4

http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-three-part-three.html හි ඊලග  කොටස.



                                 king wimaladarmasooriya 
මෙම හමුදාවේ නායකයා වශයෙන් පෙරෝ ලොපෙස් ඩි සූසා නැමැති සටනෙහි දක්ෂ සෙනෙවියකු පැමිණි අතර, මෙම හමුදාව සහ සීතාවක රාජසිංහ රජුගේ සේවයේ නිලධාරියෙකු වූ අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් යටතේ තිබූ විශාල සිංහ හමුදාවක් මහනුවර බලා පිටත්විය. මෙම අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල්, රාජසිංහ රජු මියගිය පසු ඔහුගේ වස්තුව බොහොමයක් අත්පත් කරගෙන විශාල හමුදාවක නායකයා බවට පත්ව ‘ජයවීර බංඩාර‘ යන නමින් ප්‍රසිද්ධව සිටියේය. මෙම සංයුක්ත හමුදාවට සොල්දාදුවන් 150,000 ක් පමණද, අලි ඇතුන් 1200 පමණද, භාණ්ඩ ඇදීම සදහා දස දහස් ගණන් ගොනුන්ද යොදා ගැණින.

මේ සමගම දෝනකතිරිනා කුමරියද මහනුවරට රැගෙන ගොස්, උඩරැටියන්ගේ කැමැත්ත ඇය තුලින් ඔවුන් වෙත ලබා ගැනීමට පෘතුගීසීන් සැලසුම් කලහ. ඒ සදහා අතරමගදී මෙම හමුදාව මන්නාරමේ එවකට නැවතී සිටි දෝනකතිරිනා කුමරියද ගෙන්වා ගත්හ. දෝනකතිරිනා කුමරිය කරල්ලියද්ද බංඩාර රජුගේ දූ කුමරිය වූ නිසා, කන්ද උඩරට ජනතාව මැයගේ රාජ්‍ය උරුමය පිළිගන්නා බව පෘතුගීසීන් දැන සිටියහ.

විමලධර්මසූරිය රජුට මෙයට විරුද්ධව සම්පාදනය කරගත හැකිවූයේ 30,000 ක පමණ හමුදාවක් පමණි. රජු දින කිහිපයක බලවත් සටන් වලින් පසු කැලෑවට පලාගිය අතර, පෘතුගීසීන් දන්තුරය හා මහනුවර යන ස්ථානවල කඳවුරු බැඳගත්හ.

දෝනකතිරිනා කුමරිය බලන නම් ස්ථානයෙන් ඇතුළු වී මහනුවරට පැමිණෙන තෙක්, මග දෙපස රැස්ව සිටි ජනතාව ඇය මහත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිලිගත්හ. කුමරිය මහනුවර නගරයට ඇතුළු වන අවස්ථාවේ පෘතුගීසී සෙන්පති දොන් පෙඩ්රෝ  සහ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් දණින් වැටී ගෞරව කර ඇය පිලිගත්හ. කන්ද උඩරට අනෙකුත් ජන ප්‍රධානීන්ද, කන්ද උඩරට රාජ්‍යයද පරම්පරාවේ අවසාන පුරුක වූ ඇය මහත් හරසරින් පිළිගෙන, ඇය වෙත ඇති තම රාජපාක්ෂකභාවය පිළිබඳ ප්‍රතිඥා දුන්හ.

ඇය දන්තුරේ සිට මහනුවරට ගමන් කරන තෙක් මග දෙපස රැස්ව සිටි ජනතාව සදහා රන් හා රිදී කාසි දෝලාවේ සිට විසිකරමින්, ජනතාවට ආචාර කරමින් මහනුවර දක්වා ගමන් කල බව සඳහන් වේ. දින 03 ක රාජකීය සැණකෙලි වලින් පසුව ඇය කන්ද උඩරට අගරැජිණිය ලෙස ඔටුනු පලඳවන ලද අතර, එම සම්පූර්ණ උත්සවය සදහා රත්තරන් ටොන් 19 ½ ක් පමණ වටිනා මුදලක් වැය වූ බව සඳහන් වේ.

මෙහිදී අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් හා පාතුගීසීන් අතර මතභේදයක් හට ගත්තේය. මෙම මතභේදයෙන් පසු පෘතුගීසී සේනාධිපතියා විසින් කුමන්ත්‍රණය කර ජයවීර බංඩාර මරා දමන ලද අතර, ජයවීරගේ හමුදා පෘතුගීසීන් අතහැර සටනින් ඉවත්වූහ.

මෙම මතභේදයට හේතුව හරිහැටි පැහැදිලි නැති නමුත්, අරිට්ඨකීවෙන්ඩු දෝනකතිරිනා විවාහ කර ගැනීමට හා ඉන්පසු පෘතුගීසීන් යටතේ, කදුරට යුව රජකමට පත්වීමට තිබූ බලාපොරොත්තුවට පෘතුගීසීන් විරුද්ධ වීම මෙයට මූලික හේතුව වන්නට පුලුවන. 

මෙම මතභේදයෙන් පසු අරිට්ඨකීවෙණ්ඩු සහ විමලධර්මසූරිය රජු අතර ලියුම් ගණුදෙනුවක් සිදුවිය. මෙකල මහනුවර අවට සැඟවී සිටි විමලධර්මසූරිය රජු පෘතුගීසීන් හා ජයවීර බංඩාර අතර මතභේදයක් ඇතිකිරිමට, ඔහු හා කුමන්ත්‍රණයක් සිදුවන බව පෙන්වීමට ලිපි දෙකක් පෘතුගීසීන් අතට ලැබීමට සැලැස්වූ බවද, එලෙස ලියූ ලිපි දෙක තම විශ්වාසවන්තයෙකු අත යවා එය පෘතුගීසීන් විසින් අල්ලා ගැනීමට ඉඩ තැබූ බවද, එකල පෘතුගීසී ලේඛකයන් පවසයි.

එම ලිපි වලින් අරිට්ඨකීවෙණ්ඩුගේ හමුදාව විමලධර්මසූරිය රජු සමග එකතු වීමටත්, පෘතුගීසීන් පරාජය කර ඔහුට විමලධර්මසූරිය රජු යටතේ සීතාවක රාජධානිය දීමටත් සාකච්ඡා විය.

එහෙත් මෙම සිද්ධියෙන් අධෛර්යමත් නොවූ පෘතුගීසීන් මහනුවර බලා ගමන් ඇරඹූහ. බලන දී පෘතුගීසී හමුදාව වටකර විමලධර්මසූරිය ඉතා දරුණු සටන් වලින් පසු මුලු පෘතුගීසී හමුදාවම සමූල ඝාතනය කල අතර, ජෙනරාල් දොන් පෙඩ්රෝද මරුමුවට පත්විය. එම අවස්ථාවේ තමාගේ දරුවා ඔහු විමලධර්මසූරිය භාරයට පත් කලේය.

මෙම බලන සටනෙහිදී පෘතුගීසී සමූල ඝාතනය කිරීමෙන් පසු, විමලධර්මසූරිය රජු පෘතුගීසීන් යටතේ පසු වූ දෝනකතිරිනා කුමරිය එම සටන් බිමේදීම විවාහ කර ගත්තේය. මෙලෙස කරල්ලියද්දේ රාජ පරම්පරාවේ අවසාන ඔටුන්න හිමි කුමරිය හා විවාහ වීමෙන්, කොනප්පු බංඩාරට උඩරට රාජධානිය සදහා හිමිකම් කීමට විශේෂ අයිතියක් ලැබුණි. මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉතා අලංකාර ලෙස දින 110 ක් පුරා මහනුවර නගරයේ පැවැත්විණ. මෙය කොතරම් ඉහලින් පැවැත්වුනිද යත්, එම උත්සවයට වියදම් කරන ලද මුළු මුදල පගෝදි 968,754 ක් විය.

to be continued 

Monday, March 13, 2017

part three - එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා- part three


http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-2.html

හි ඊලග කොටස

සීතාවක රාජසිංහ රජුගේ සොහොන.


1642 වර්ෂයේ වයස 74 ක් ගත වී ලිස්බන් හිදී මියගිය මෙම කුමරුට ඩෝනා මරියාඩා කැන්ඩියා  නමින් දියණියක් සිටි අතර, කුමරු මියගිය පසු ඇය විලා ලොන්ගා කන්‍යාරාමයේ කතෝලික පූජකවරියක් බවට පත්ව එහි අවුරුදු 59 ක් ගත කිරීමෙන් පසු 1708 දී මියගියාය. බොහෝ විට කුමරු තම දියණියන්ට කැන්ඩියා යනුවෙන් නම් කරන්නට ඇත්තේ කන්ද උඩරට රාජධානියේ උරුමය නිසා වන්නට පුලුවන. පෘතුගීසීන් විසින් එකල කන්ද උඩරට රාජ්‍යය හදුන්වන ලද්දේ ‘කැන්ඩියා‘ යන නමිනි. 

මේ අතර කොනප්පු බංඩාර මහනුවර රජ වූ බවට ආරංචිය ලද සැනින් සීතාවක රාජසිංහ රජු මහත් කලබලයට පත්විය. ඔහුගේ පියා තමා අතින් මියගිය හෙයින්ද, කොනප්පු බංඩාරගේ රණශූරත්වය පිළිබඳව අසා තිබූ බැවින්ද, ඔහු මහනුවර සේනා සංවිධානය කිරීමට පෙර, ඔහු යටත් කරගත යුතු යැයි රාජසිංහ රජු කල්පනා කලේය. එහෙයින් ඔහු යටතේ සිටි ඉන්දියානු සේනාධිපතිවරයෙකු වූ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් නැමැත්තා යටතේ බලවත් හමුදාවක් මහනුවර ආක්‍රමණය කිරීමට පිටත් කර හැරීය. 
බලන කොටුව

බලන නම් ස්ථානයේදී මෙම හමුදාවට මුහුණ දුන් විමලධර්මසූරිය රජු,  ඔවුන්ට බලනින් ඇතුල්වීමට ඉඩ නොදුණි.

 මෙම සටනින් පසු තමන්ගේ හමුදාවේ ඉතිරි කොටසත් සමග පැමිණ මාවෙල නැමැති ස්ථානයේ කඳවුරු බැදගත් සීතාවක රාජසිංහ රජු, විමලධර්මසූරිය රජු වෙත පණිවිඩයක් යැවීය. 

එයින් කියවුනේ විමලධර්මසූරියට තම පියාට අත්වූ ඉරණම වූ කැබලි වලට කැඩී මියයාම ඉක්මනින්ම බලාපොරොත්තු විය හැකි බවයි. 

තම පියා තමා මෙන් කල්පනාවෙන් වැඩකලේ නම්, ඔහුට එම ඉරණම අත් නොවන බවත්, තම පියාට සිදු කරන ලද අපරාධයට පලි ගැනිමට තමාට දැන් අවස්ථාවක් ලැබී තිබෙන බවත් රාජසිංහ රජුට දන්වා යැවූ විමලධර්මසූරිය, තම කුඩා හමුදාවත් සමග රාජසිංහ රජුගේ හමුදාව වෙත කඩා පැන්නේය. 

මෙම සටනේදී ඉමහත් කාලයකට පසු විමලධර්මසූරිය රජු, පෙර සිංහල අධිරාජයන් සටන් බිමට පිවිසුනු සම්ප්‍රදායට අනුව, සුදු පැහැති මුතු කුඩ දෙකක් පෙරටු කොට ගෙන සටන අවසාන වන තෙක් සටන් බිමෙහිම සිට උස් හඬින් අණ දෙමින් පුද්ගලිකව සටන් මෙහෙයවීය. 

එම සටනින් පැරදුණු සීතාවක රාජසිංහ රජු ආපසු යන ගමනේදී කකුලේ උණ කටුවක් ඇණුනු අතර, පරාජය නිසා ඔහු කොතරම් කනගාටුවකට පත්ව සිටියේද යත්, තම කකුලට බෙහෙත් කරන්නට නොදී එයින් මියගිය බවටද, ඔහුගේ මුනුබුරෙකු විසින් කරන ලද කුමන්ත්‍රණයකින් විෂ ශරීර ගතකර මරා දැමූ බවටද ජනප්‍රවාද තිබේ.  කැලණි ගඟ දිගේ රුවන් වැල්ලට යාමට රාජකිය යාත්‍රාවට ගොඩවූ රාජසිංහ රජු, ඒ යාත්‍රාව තුලදීම මිය ගියේය

රාජසිංහ රජු පරදා බලනේ සටන ජයග්‍රහණය කර ආපසු මහනුවරට පැමිණි කොනප්පු බංඩාර, කන්ද උඩරට අගරජ ලෙස විමලධර්මසූරිය නමින් රාජාභිෂේක ලැබීය. 

රාජසිංහ රජුගෙන් පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ හෙයින්, මහනුවර සිංහල රාජ්‍යයේ අගනුවර බවට පත්විය. මෙලෙස ඔවුන් යටතේ සිටි රජ පවුලකින් පැවත නොඑන මුදලිවරයෙකු, ඔවුනට විරුද්ධව මහනුවර රජවීම තමන්ට මහත් අවමානයක් බව සැලකූ පෘතුගීසීහු, කෙසේ හෝ විමලධර්මසූරිය රජු හා සටන් කොට මහනුවර අල්ලා තම යටතට ගැනීමට මහත් අධිෂ්ඨානයකින් උත්සාහ කලහ. 

මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා එකල ඉන්දියාවේ සිටි පෘතුගීසී පාලකයා විමලධර්මසූරිය රජු හා කන්ද උඩරට රාජ්‍යයේ යටත් කර ගැනීම සදහා, කොළඹ පෘතුගීසීන් වෙත බලවත් පෘතුගිසී හමුදාවක් එවීය. 

to be continued 

Saturday, March 11, 2017

part 2 -එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - part 2

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_7.html

හි දෙවනි කොටස





                                  Convento de S Francisco
මේ වන විට දෝන කතිරිනා කුමරිය මන්නාරම් කොටුවේද, යමසිංහ කුමරු කොළඹ කොටුවේද, පෘතුගීසීන් සමග ජීවත් වූහ. පෘතුගීසීන්ගේ අනාගත බලාපොරොත්තුව වූයේ මෙම රාජකීයයන්ගේ රාජ්‍ය උරුමය හරහා කන්ද උඩරට රාජධානියේ අයිතිවාසිකම් ලබා ගැනීමටය. මෙම කුමරියට කන්ද උඩරට රාජ්‍ය ලබා දී, කන්ද උඩරට පෘතුගීසී රාජ්‍යයේ කොටසක් ලෙස තබා ගැනීමට කල්පනා කල පෘතුගීසීහු එම කටයුතු සදහා විශාල හමුදාවක් සම්පාදනය කලහ. 

මෙම වකවානුව වන විට රාජසිංහ රජු ඔහුගේ දරදඬු පාලනය නිසා, කන්ද උඩරට ජනතාව අතර බලවත්  අප්‍රසාදයට පත්වෙමින් සිටියේය. මෙම අවස්ථාවේ ගම්පොල දේවියගේ මුණුපුරෙකු වූ, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි දොන් ප්‍රැන්සිස්කෝ ඉලංගකෝන් මුදලි විසින් රාජසිංහ රජුට විරුද්ධව මහනුවර කැරලි ගසා, පෘතුගීසීන් අතර සිටි යමසිංහ කුමරුට කන්ද උඩරට රාජධානියට පැමිණෙන ලෙසට ආරාධනා කලේය. යමසිංහ කුමරු සහ පෘතුගීසි හමුදා මහනුවරට එන අතර මඟ මාතලේ වහකෝට්ටේ නම් ස්ථානයේදී දොන් ප්‍රැන්සිස්කෝ විසින් උඩරට රාජධානිය යමසිංහ කුමරුට පැවරූ අතර, යමසිංහ කුමරු කන්ද උඩරට රජු බවට ප්‍රකාශ කලේය.       

යමසිංහ කුමරු මහනුවර රජු බවට අභිශේක ලැබු පසු, පෘතුගීසින් විසින් කොනප්පු බංඩාර කන්ද උඩරට රාජ්‍යයේ සේනාධිපති ලෙස පත් කරන ලදි. මහනුවර ආක්‍රමණය සදහා දැඩි කැපවිමකින් කටයුතු කල කොනප්පු බංඩාර, මහනුවර රාජධානියේ අවසාන රජු වශයෙන් සිටියේ තම පියාවු වීරසුරිය නිසා කන්ද උඩරට රාජ්‍යයේ යමසිංහ කුමරුට නොව තමාට ලැබිය යුතුයැයි කල්පනා කලේය.

මේ අතර හදිසියෙන්ම දොන් පිලිපේ (යමසිංහ කුමරු) මියගිය අතර, කොනප්පු බංඩාර විසින් වසදී මොහු මරාදැමු බවට සැකයක් එකල පැවතුණි. යමසිංහ රජුගෙන් පසු පෘතුගීසින් විසින් ඔහුගේ කුඩා පුත් කුමරාවු දොන් ජෝහා අභිශේක කරන ලදි. එහෙත් මේ වනවිට කොනප්පු බංඩාරට කන්ද උඩරට ජනතාව අතර මහත් ජන ප්‍රසාදයකට පත්ව බලයක් ගොඩනගා ගැනිමට හැකියාව ලැබී තිබු හෙයින්, කන්ද උඩරට ජනතාවගේ ඒකමතික සහයෝගයෙන් ඔහු පළමුවන විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය. 

ඔහු තමන් මහනුවර රජු බවට ප්‍රකාශ කරමින් පෘතුගීසීන්ට කන්ද උඩරටින් පිටව යාමට දින පහක් කල් දුන්නේය. පෘතුගීසීහු තමන්ගේ බලය පිරිහෙමින් පැවති හෙයින්ද, මහ ජනතාව කොනප්පු බංඩාර වටා එක්රොක්වූ හෙයින්ද, ඔවුන් වාඩිලාගෙන සිටි පේරාදෙනියේ ගන්නෝරුව අතහැර කොළඹ බලා යාමට පිටත්වූහ. 
පෘතුගීසීන් ඔවුන් විසින් රාජාභිෂේක කල දොන් ජෝහා කුමරු වහකෝට්ටේට හා එතැනින් කොළඹට රැගෙන ගොස්, කොළඹ පෘතුගීසි අධ්‍යාපන ආයතනයක් වූ, ෆ්රැ න්සිස්කෝ විදුහලට (Colegio S Francisco) අධ්‍යාපනය සදහා ඇතුලත් කරන ලදි. ඉන්පසු 1594 දන්තුරය සටනින් පෘතුගීසීන් මහත් පරාජයට පත් වූ හෙයින්, මෙම කුමාරයාගේ ආරක්ෂාව සදහා ඔහු ඉන්දියාවේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානයක් වූ ගෝව නගරයට යැවූහ. 

එහිදී ‘රජවරු තිදෙනාගේ විද්‍යාලය‘ (College of Three Kings) වෙත ඇතුල් කරනු ලැබූ මෙම කුමරු, 1610 දී පමණ පෘතුගාලයේ ලිස්බන් නගරයට යවන ලදුව” අධ්‍යාපනය සදහා ආගමික පාසැලකට (Convento de S Francisco) ඇතුලත් කරන ලදි. 

එහිදී මෙම කුමරුට කෘසඩෝස් (Crzados) 2000 ක වාර්ෂික දීමනාවක් ලබාදී වැඩිදුර අධ්‍යාපනය සදහා පෘතුගාලයේ කොයිම්බා නගරයෙහි රාජකීය විද්‍යාලයට ඇතුල් කිරීමට පෘතුගීසී රජයෙන් සැලසුම් කලද, මෙම කුමරු එය ප්‍රතික්ෂේප කර ලිස්බන් නගරයෙහි රාජ සභාවේ රාජකීයෙකු ලෙස ජීවත්වීමට කැමැත්ත පල කලේය. 

ඔහුගේ ඉල්ලීම පිට රජ කෙනෙකුගේ පැවැත්මට සරිලන පරිදි නිවාස සහ අනෙකුත් පහසුකම්ද, වාර්ෂිකව කෘසඩෝස් 4000 ක දීමනාවක්ද, පෘතුගීසි රජයෙන් ලබාදෙන ලදි. තමන්ට ලැබෙන පහසුකම් ඔටුන්න හිමි කුමාරයෙකුට තරම් නොගැලපෙන බව පවසා පෘතුගාලයේ රජු සමග සාකච්ඡා කර කුමරු කන්ද උඩරට වෙල්ලස්ස සහ සත්කෝරලය තමන්ගේ ඇති රාජකීය අයිතිය පෘතුගීසීන්ට පවරා දෙනු ලදුව, පෘතුගීසි රජ විසින් ස්පාඤ්ඤ වංශාධිපතියෙකු ලෙස බිෂොප්වරයෙකු හා සමාන තත්වයට පත් කරන ලදි. ඔහුට ලබා දෙන දීමනාවන්ද කෘසඩෝස් 8000 ක් දක්වා ඉහල දමන ලද අතර, ඉන්පසු ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ස්පාඤ්ඤ රාජ සභාවේ වාසය කලේය. 

Friday, March 10, 2017

එක රාත්‍රියකින් පොහොසෙතෙකු වීමේ සිහිනය




අප පාසැල් යන කාලයේ එක්වරම දිවයින පුරා VOC පිඟන්, කාසි සහ බොතල් පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවිය. එය ඝණ ඉඩවරයක ඇති වූ ලැවි ගින්නක් ලෙස ගම් දනව් සිසාරා පැතිර ගියේය. ව්‍යාපාරිකයින් පමණක් නොව ගොවියන්, රජයේ සේවකයන් යනාදී කිසිදා ව්‍යාපාරයකට සම්බන්ධ නොවී සිටි මිනිසුන්ද එක රාත්‍රියකින් පොහොසෙතෙකු වීමේ බලාපොරොත්තුවෙන් VOC ව්‍යාපාරයට බැස්සහ. 

කිහිප දෙනෙකුට යම් මුදලක් සොයා ගැනීමට හැකි වුවද බහුතරය ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුට අසුවී තමන් අත තිබූ සියලු මුදල් නැතිකර ගත්තා පමණක් නොව අනුන්ගේ මුදල් ණයට ගෙන ඒවාද විනාශකර ගත්හ. අපට දුරින් නෑකමක් තිබූ විදුහල්පතිවරයෙක් VOC හරහා එක රාත්‍රියෙන් කෝටිපතියෙකු වන්නට සිතා අවසානයේ ණය ගෙවීමට නොහැකිව සියදිවි නසා ගත්තේය. 

මෙම සිද්ධිය මට මතක් වූයේ මාගේ මිතුරෙකු ගිය සතියේ මට කිවූ කථාවකින් පසුවය. ඔහු මට කීවේ ඉංග්‍රීසි කාලයේ ලංකාවේ ගොඩනගන ලද සමහර ස්ථානවල සවිකර ඇති අතුණු සන්නායකවල පොළොව යට ඇති තඹ තහඩුව ඉතා විශාල මිලකට මිලදී ගැනීමට ඇමරිකාවේ යම් සමාගමක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් උත්සාහ කරන බවයි. විශේෂයෙන්ම මෙවැනි පැරණි අකුණු සන්නායකවල තඹ තහඩු බොහෝ විට හමුවන්නේ ඉංග්‍රීසි වතු පාලකයන්ගේ නිවෙස් වලය. 

මෙලෙස අවුරුදු සිය ගණනක් අකුණු ඒ හරහා ගොස් පැරණි පොළොව යට ඇති තඹ තහඩුව ඉරේඩියම් නැමති ඉතා වටිනා ලෝහයක් බවට පත්වන නිසා මෙම තඹ තහඩුව කලක් ගතවන විට අධික වටිනාකමකට මිලදී ගන්නට ඔවුන් පෙලබී ඇති බව මට දැනගන්නට ලැබුණි. ඉරේඩියම් යනු දුර්ලභ ලෝහයක් වන අතර මාර්තු මස 10 වන දින ලෝක වෙළඳපලේ එහි මිළ අවුන්සයකට ඇමරිකානු ඩොලර් 755 කි. 

එහෙත් මෙලෙස දීර්ඝකාලයක් විදුලි සැර වැදීමෙන් තඹ ඉරේඩියම් බවට පත්වන්නේ දැයි හරියට පැහැදිලි නැත. නමුත් ඉරේඩියම් ලෝකයේ දෙවෙනි ඝනත්වයෙන් යුත් මූල ද්‍රව්‍ය වන අතර අඩුවෙන්ම මලකඩ කන ලෝහයද වෙයි. මෙය ලෝකයේ අඩුවෙන්ම හමුවන ලෝහය වන අතර බොහෝ විට උල්කාපාතවල වැඩිපුර දක්නට ඇත. 2010 දී මුලු ලෝකයේම ඉරේඩියම් පාවිච්චිය ටොන් 10.4 ක් විය. මාලිමා යන්ත්‍රවල බෙයාරින් සාදන්නේද මේ මූලද්‍රව්‍යයෙනි. එහි තදකම හා මලකඩ නොසෑදීම හේතුවෙන් ගුවන් යානා සෑදීමේදීද පාවිච්චි වේ. 

ඉරේඩියම් මොහොතකට පැත්තකට තබමු. මෙවැනි එක රැයකින් පොහොසත් වීමට අහිංසක මිනිසුන්ට සිහින විකුණන ජාවාරම් විටින් විට ඇති වන බව නොරහසකි. 

  • නිදන් වදුලට අනුව යමින් නිදන් ගොඩ ගැනීම. 
  • ගජමුතු වෙළඳාම.
  • දඹරන් කාසි.
  • VOC
  • වල්ලපට්ටා වෙළඳාම.
  • ගෙම්බා මාර්ක් මහණ මැෂින්. 
  • හොදන් මෝරපු කරපිංචා ගස් අරටුව. 


මෙවැනි තවත් බොහෝ දෑ අපි නොදැනුවත්ව අහිංසක මිනිසුන් රැවටීමට යොදා ගන්නට ඇත. දැනටමත් පැරණි අකුණු සන්නායකවල තඹ තහඩු සොරකම් කර කිහිප දෙනෙකුම රිමාන්ඩ් ගත වී සිටිති. හරියටම ලෝකයේ තිබෙනවාදැයි නොදන්නා ගජමුතු නිසා සතියකට සැරයක් පමණ කවුරුන් හෝ අමාරුවක වැටෙනවා එසේත් නැත්නම් අත්අඩංගුවට පත්වෙනවා දකින්නට පුලුවන. 

මේ සම්බන්ධයෙන් මෙවැනි වරදි තොරතුරු නිසා මිනිසුන් අමාරුවේ වැටීම නැවැත්වීමට මෙවැනි එක් රාත්‍රියකින් පොහොසත් වන කථාවක් සමාජයේ ඇති වූ වහාම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය අමාත්‍යංශයෙන් හෝ යම් වැඩ පිලිවෙලක් ඇති කිරීම කාලෝචිත නොවේද?  

.  

Tuesday, March 7, 2017

first part -එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - first part









කොනප්පු බංඩාර හෙවත්. විමලධර්මසූරිය රජතුමා. ( 1598 – 1612)  

ක්‍රි :ව: 1580 දී සෙංකඩගල රජකම් කලේ කරල්ලියද්ද බංඩාර නම්  රජ කෙනෙකි. එවකට කන්ද උඩරට රාජධානියේ, පේරාදෙනියෙහි වීරසූරිය නම් ජන ප්‍රධානියෙක් වාසය කලේය. 

පෟතුගීසීන් සමග දීර්ඝ කාලයක සිට දරුණු සටන් වල නිරතව සිටි සීතාවක රාජසිංහ රජු කරල්ලියද්දේ බංඩාර, තමන්ට විරුද්ධව පෟතුගීසීන් සමග එකතුවේ යැයි සැකයෙන් හදිසියෙන්ම මහනුවර ආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය සදහා කරල්ලියද්දේ රජුට පක්ෂපාතීව සිටි පේරාදෙනියේ වීරසූරියද තම පිරිස සමග රාජසිංහ රජුගේ හමුදාවට එකතු විය. 
කරල්ලියද්දේ රජු කතෝලික ආගම වැලඳ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල සමග පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවයක්, මෙම කන්ද උඩරට ප්‍රධානීන් හා රජු අතර මත භේදයට තුඩු දෙන්නට ඇත. කරල්ලියද්ද රජු පෟතුගීසීන් සමග එකතුව කන්ද උඩරට පෟතුගීසීන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත් කරන්නට යන්නේ යැයි සැකයක්ද මෙකල පැවතින. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී ඇති වූ මෙම සටනින් පැරදුනු කරල්ලියද්දේ බංඩාර රජු තම දරුවන් සහ පිරිවරද කැටුව වන්නියට පලා ගියේය.  

කදුකරයෙන් පලා ගිය කරල්ලියද්දේ රජු හා පිරිස උතුරුකරයේ කටුපත නැමැති ස්ථානයේ, තාවකාලිකට ලැගුම් ගත්හ. ඉන්පසු ඔහුගේ බෑණා වූ, කෝට්ටේ ධර්මපාල රජු සහ පෟතුගීසීන්ගේ උදව් ඇතිව මන්නාරමේ පෟතුගීසී කොටුව වෙත පැමිණියේය. එහිදී කරල්ලියද්දේ බංඩාර රජු වසූරිය රෝගයෙන් මිය ගියේය. රජුගේ දියණිය වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් අතර දෝන කතිරිනා යන නාමයෙන් ඇති දැඩිව පසු කලෙක සෙංකඩගල මහ රැජිණ බවට පත් විය. කරල්ලියද්ද රජුගේ බෑනකු වූ යමසිංහ බංඩාර කුමරුද පෟතුගීසීන් අතර ඇති දැඩිව පසු කලෙක ටික දිනකට කන්ද උඩරට ඔටුණු පැලැන්දේය. 

සීතාවක රාජසිංහ රජු විසින් යටත් කල කන්ද උඩරට රාජ්‍යයෙහි යුව රජු වශයෙන් පේරාදෙනියේ වීරසූරිය පත් කල අතර ටික කලකින් වීරසූරිය හා රාජසිංහ රජු අතරද, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු මතුවන්නට පටන් ගැණිනි. වීරසූරිය විසින් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නට සැලසුම් කරන්නේ යැයි සැකයක් රාජසිංහ රජු තුල පැවතුන අතර, පෟතුගීසීන් හා නිතරම සටන් වැදුනු රාජසිංහ රජුට අවශ්‍ය සේනා සම්පාදනය කිරීමට සිදුවීම නිසා රාජසිංහ රජු කන්ද උඩරට ජනතාව අතර බලවත් අප්‍රසාදයකට පත්ව සිටියේය. 

මේ හේතුව නිසා වීරසූරිය යුව රජ කන්ද උඩරට පාලනයෙන් ඉවත් කිරීමට, රාජසිංහ රජුට අවශ්‍ය විය. මේ සදහා ඔහු තමා වෙත ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස කරල්ලියද්ද රජු හා කල සටනින් ජය ගත් අවස්ථාවේ රාජසිංහ රජුට ලැබුණ කන්ද උඩරට රාජකීය වස්තු ලබා ගැනීමට, සීතාවකට පැමිණෙන ලෙසට රාජසිංහ රජු වීරසූරියට ආරාධනා කලේය. 
මෙම වස්තුව අතර කන්ද උඩරට රාජධානියේ ඔටුන්න ඇතුලු තවත් රාජකීය භාණ්ඩද තිබූ හෙයින්, වීරසූරිය තම පිරිවර සමග මේවා ලබා ගැනීම සදහා සීතාවකට පැමිණියේය. රාජසිංහ රජු නොයෙකුත් උපක්‍රම වලින් වීරසූරිය යුව රජු හා ඔහුගේ පිරිවර නිරායුධ කර අල්ලා ගෙන ඔහු කරවට තෙක් පොලවේ වලලා ලී වලින් තනන ලද බෝල වලින් පහර දී මරුමුවට පත් කලේය. 

මේ ආරංචිය සෙංකඩගලපුරට ලැබුණු පසු කන්ද උඩරට සංඝයා සහ ජන ප්‍රධානීන් එකතුව වීරසූරිය බංඩාරගේ පුතු වූ කොනප්පු බංඩාර නැමැති කුඩා දරුවා හේවාහැට හගුරන්කෙතට ගෙන ගොස් සැඟවූහ. මේ ආරංචිය ලැබූ රාජසිංහ රජු තම හමුදා යවා කොනප්පු බංඩාර ලබා නොදුනහොත් හගුරන්කෙත නගරය විනාශ කරන බවට තර්ජනය කලේය. නගර වැසියන් බියට පත්ව කොනප්පු  බංඩාර හා සමානකම් ඇති වෙනත් දරුවෙකු රාජසිංහ රජුට භාරදී රජු රැවැට්ටුවෝය. එහෙත් පසුව සත්‍ය  දැන ගන්නට ලැබී ඔහු රැවටූ බොහෝ පිරිස් සහ සංඝයා, රාජසිංහ රජු විසින් මරා දමන ලද බව එකල ලියවුන පොතක් වන ‘මන්දාරම්පුර පුවත‘ හි සඳහන් කර ඇත. 

මන්දාරම්පුර පුවත එය විස්තර කරන්නේ මෙසේය. 

ණැනැති දනන් හේවාහැට වැසි             සියලා
සිටිනා ලෙඩින් පෙලෙනා කුමරු           ලංවෙලා
එවැනි රුවින් සම අන් කුමරෙක් හු        බලා
ගෙන්න දෙමින් රැවටූ රජසිංහ               එකලා

එවිට නිරිඳු ඔහු මුරකරවා                      එදින
සැට ඇඳුතු ඔංඩුවක් සගුන්                    මරමින
සියලු වෙහෙර ගිණිලා පාලු                  කරමින
පලියගත්තු ඒ කුමරු නික්මු                  බැවින

මෙලෙස ජීවිතය බේරා ගත් කොනප්පු බංඩාර ආරක්ෂා සහිතව කොළඹ සිට පෘතුගීසීන් වෙත යවන ලදි. මන්දාරම්පුර පුවත ග්‍රන්ථයෙහි ඔහු එලෙස පෟතුගීසීන් වෙත යැවීම මෙලෙස විස්තර කෙරේ. 

රාජසිංහ නිරිඳු රැවටී මෙලෙස              ගියවර
ලක්දිව ඉසුරු ලැග සිටිනා කොළොම්   පුර 
පෟතුගාල් රජහු වෙත පඬුරුත් සමග      කර 
කොනප්පු බංඩාර හැරියෝ භාර           කර

මොහුව පෟතුගීසීන් විසින් කොනප්පු බංඩාර කුමරු දොන් ජෝන් ඔෆ් ඔස්ට්රිලයා (Don John of Austria) යන නමින් භෞතීස්ම කරන ලදි. ටික කලක් කොළඹ කොටුවේ පෟත්‍රගීසීන් සමග වාසය කල තරුණ කොනප්පු බංඩාර, එවකට කෝට්ටේ ධර්මපාල රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වන තම්මිටරාළ නැමැත්තාගේ දියණියක් සරණ පාවා ගත්තේය. ටික කලක් කොළඹ කොටුවේ වාසය කරන අතර තුර කොනප්පු බංඩාර හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සලප්පු බංඩාර නැමැත්තා සමග ඇති වූ ද්වන්ද සටනකදී සලප්පු බංඩාර මරණයට පත් වූ බව සඳහන් වේ. 
මෙම මිනී මැරුම නිසා අවමානයට පත් කරන ලද කොනප්පු බංඩාර, එකල පෘතුගීසීන්ගේ ආසියාවේ පිහිටි ප්‍රධාන බලකොටු නගරය වූ ඉන්දියාවේ ගෝවේ නගරය වෙත පිටුවහල් කර යවන ලදි. 
දක්ෂ රණශූරයෙකු වූ කොනප්පු බංඩාර ගෝව නගරයේ වාසය කරන අතර තුරදී එහි විසූ රණශූරයෙකු වූ පෘතුගීසි කපිතාන් වරයෙකු ද්වන්ද සටනකින් ජීවිතක්ෂයට පත් කලේය. මෙම මිය ගිය පෘතුගීසි රණශූරයා නිසා මෙම නගරයේ වැසියන් මහත් කරදරයකට පත්ව සිටි හෙයින් මෙම සටනින් පසු කොනප්පු බංඩාර ගෝවේ පෘතුගීසීන් අතර මහත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් විය. 

මෙම ක්‍රියාව නිසා මොහුට ලබා දී තිබූ දඬුවම ඉවත් කල අතර, නැවත වරක් කොළඹට ආපසු පැමිණීමටද පහසුකම් සැලසින. ඉන් පසු ටික කලක් පෘතුගීසීන් සමග කොළඹ කොටුවේ වාසය කල කොනප්පු බංඩාර, පසුව ඔවුන්ගේ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කලේය. සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුව වට කල අවස්ථාවේ එම කොටුවෙහි සෙබස්තියන් කෙලවරේ සිට ඇන්ටෝනියෝ කෙලවර දක්වා ආරක්ෂාව භාරව තිබුනේද කොනප්පු බංඩාර වෙතය. 

to be continued .....

Thursday, March 2, 2017

රුපියල බහින්නේ ඇයි? එහි පල විපාක සන විසඳුම් කවරේද?






මේ දිනවල ඇමරිකානු ඩොලර් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම බොහෝ සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. ඩොලරයේ සහ රුපියලේ වටිනාකම් පිළිබඳව මුලින්ම යමක් කියවූයේ ශ්‍රී ලංකාවේ සිටි අන්තර් ජාතිකව ප්‍රසිද්ධ පොත් කතුවරයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ පොතකය. 

මා එය කලකට පෙර මිලදී ගත්තද, දැන් එය කොතනක හෝ සැඟවී ඇත. මට මතක හැටියට එහි තිබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ ජීවිත කථාව වන අතර, එහි ඔහු ලංකාවේ පදිංචි වීමට තෝරාගෙන තමාගේ අම්මාට ලිපියක් ලියයි. එහිදී ඔහු 1956 වසරේ තමාගේ කොළඹ අලුත් නිවසට ගෘහ සේවකයෙකු බඳවා ගත් බවද, ඔහුගේ මාසික වැටුප, මට මතක හැටියට, රුපියල් පහක් බවද, එහි ඩොලර් වටිනාකම ඩොලර් දහයක් වන බවද කියයි. ඒ අනුව එකල රුපියලේ වටිනාකම ඩොලරයේ වටිනාකමට වැඩි බව පෙනේ. වසර 60 ක කාලයකින්, දැන් ඩොලරයේ අගය රුපියල් 153 කි. ඒ කියන්නේ 56 දී  සමාන අගයක් ගත්තත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුම තරමින් 153 ගුනයකින්වත් අඩු වී තිබේ. මේ කියන්නේ 15300% කින් අගය අඩු වී ඇති බවයි. මෙතරම් විශාල පසුබෑමක් පිලිගන්නටත් අමාරු නිසා එක්කෝ මට හෝ එසේත් නැත්නම් ආතර් සී ක්ලාක්ට මේ පිළිබඳ වැරැද්දක් වූවාදැයි සැක සිතෙන තරමට මේ පරිහානිය විශාලය. 

එය වැරදීමටත් බැරිය. 1980 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8 ක් බව මට හොඳට මතක මම මුලින්ම පිටරට ගියේ ඒ අවුරුද්දේ නිසාය.

මෙලෙස මුදල්වල වටානාකම අඩුවීම සිදුවන්නේ කෙසේද? මෙයට ප්‍රධානතම හේතුව අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීමය. ඩොලර් මිලදී ගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරද්දී ඩොලරයට රුපියලට සාපේක්ෂව ඇති ඉල්ලුම වැඩිවෙයි. එසේ ඉල්ලුම වැඩිවන විට එහි මිලද අධික වෙයි. මෙය නිදහස් වෙළඳපොල මූලික ලක්ෂණයකි. අනික් අතට ලෝකයේ අනික් රටවල් ලංකාවේ නිපවන යම් දෙයක් මිලදී ගන්නට පොර කන්නේ නම් ඔවුන් එය මිලදී ගත යුත්තේ ඩොලර් වලින් රුපියල් මිලදී ගෙන එම රුපියල් වලිනි. එවිට රුපියල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙයි. ඉල්ලුම වැඩි වුවද සැපයුම නියත නිසා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහල නගී. නැවතත් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙළඳපොල මූලික සිද්ධාන්තයන්ය. 

උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් මිලදී ගන්නා විට මෙහෙ කාර් නිෂ්පාදනය කරන්නේ නැති නිසා පිටරටකින් ඩොලර් වලින් එහි වටිනාකම ගෙවා කාර් එක මිලදී ගත යුතුය. අපිට ඩොලර් නැති නිසා මේ සදහා ඩොලර් මිලදී ගත යුත්තේ එහි වටිනාකමට රුපියල් වලින් මුදල් ගෙවාය. එසේ මිලදී ගන්නා හැම ඩොලර් එකකටම රුපියලේ අගය සාපේක්ෂව ඉතා ස්වල්ප ප්‍රමාණයකින් අඩුවේ.  

අනික් අතින් අපේ මැද පෙරදිග ශ්‍රමිකයෙකු තමන්ගේ මාසික වැටුප වන ඩොලර් 500 ක් බදුල්ලේ ජීවත්වන තම පවුල වෙත එව්වොත් ලංකාවට එන විට ඔහු ඒ ඩොලර් විකුනා රුපියල් මිලදී ගනී. මෙලෙස රුපියල් මිලදී ගන්නා විට රුපියලට ඩොලරයට සාපේක්ෂව ඉල්ලුමක් ඇතිවේ. එවිට රුපියලේ වටිනාකම සාපේක්ෂව ඡායා මාත්‍ර ප්‍රමාණයකින් ඉහල යයි. මෙම ගනුදෙනු යම් සමබර තාවයකින් සිදුවන්නේ නම් මෙම මුදල් වර්ග දෙකේ සාපේක්ෂ අගයන් එතරම් විශාල ලෙස වෙනස් වන්නට නුපුලුවන.    

මෙලෙස මෙකල සිදු වෙමින් පවතින රුපියලේ අවපාතනයට කුමන හේතු කාරණා වී ඇත්දැයි බලමු. එවැනි කාරණා විය යුත්තේ අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම වැඩිවීමට තුඩු දී ඇති කාරනාය. පසුගිය කාලයේ නොතිබුනු දැන් සිදුවන එවැනි හේතු මොනවාද?  

  • වාහන වැඩිපුර මෙරටට ගෙන්වීම. ලංකාවේ දැන් දිනකට මෝටර් බයිසිකල්ම 1000 ක් පමන විකිනෙන බව මට සිතේ. 
  • අධ්‍යාපනය සදහා දරුවන් පිටරට යැවීම මේ සදහා ඉතා විශාල මුදලක් එක්වරම පිටරටට ඇදී යයි. වෛද්‍ය අධ්‍යාපනයට පිටරට යන සිසුවෙකුට ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියන 10 කට කිට්ටු ප්‍රමාණයක් ඩොලර් කරයි. සිසුන් 1000 ක් එසේ ගියොත් එය බිලියන් 10 කි.  
  • එයට අමතරව පිටරටට පදිංචි වීමට යන දරුවන්ට යවන මුදල්. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයෙන් පසු පදිංචි වන දරුවන්ට එහි නිවාස මිලදී ගැනීමට මෙහෙන් මුදල් යැවීම දැන් පුරුද්දක් වී තිබේ. එවිටද පහලට යන්නේ රුපියලේ වටිනාකමය.   
  • නොයෙකුත් උපාධි, ආයතන සහ අන්තර්ජාතික සමාජවල සාමාජික මුදල් සහ විභාග ගාස්තු යනාදිය. වසර පතා මේ හරහා මිලදී ගන්නා ඩොලර් ප්‍රමාණය මිලියන් සිය ගණනක් විය යුතුය. 
  • ශ්‍රී ලාංකිකයින් පිටරට සංචාරයට යාම මේ සදහාද රුපියල් වලින් ඩොලර් මිලදී ගත යුතුය.  
  • ජංගම දුරකථන, පරිඝනක ඇතුලු වෙනත් විද්යුත් උපකරණ මෙරටට ගෙන්වීමට මිලදී ගැනීම සදහා රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීම.


මේ සියලු වියදම් සදහා අප ඩොලර් සපයාගත යුත්තේ විදේශ ශ්‍රමිකයින්, මෙරටට පැමිනෙන සංචාරකයින් සහ තේ, පොල්. රබර්, ඇතුලු අපගේ සම්ප්‍රදායික අපනයන වලින් ලැබෙන සීමිත ඩොලර් ප්‍රමානයෙනි. 
අප රටක් වශයෙන් හම්බ කරන ඩොලර් ප්‍රමාණය වියදම් කරන ඩොලර් ප්‍රමාණයට අඩු වූ විට පැහැදිලිවම ඩොලර් සදහා ඉල්ලුම වැඩිවී ඩොලරයේ සාපේක්ෂ වටිනාකම ඉහල යයි, අපේ අහිංසක රුපියල පරිහානියට පත්වෙයි.  

බටහිර ආයෝජිකයින් ලංකාවේ ආයෝජනය කල මුදල් ආපසු ගැනීම හෝ අප ලබාගත් ණය වල වාරික ගෙවීම හැරෙන්නට වෙන ලොකුවට ඩොලර් එළියට යන ක්‍රමයක් හිතා ගන්නට අපහසුය. 

මෙයින් පෙනෙන්නේ අපිට එක් වරම රටේ ඩොලර් ආදායම වැඩිකර රුපියල පරිහානියට පත්වීම වලක්වා ගන්නට හදිසි ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ නම් ඒ සදහා ඇති එකම පිලියම ඩොලර් වියදම් අඩු කිරීමයි. ඒ සදහා කිසිම කරදරයක් නොමැතිව බිලියන ගණනක් ඉතිරි කරගත හැකි පහසුම ක්‍රමය රටතුල පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීම බව පෙනේ.  


 

 ‍ෙ

මිරිස් සහ මිරිස් සැර මාපකය.

                            Carolina reaper මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට...