Tuesday, November 29, 2016

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පෙලපාලි යාම සදහා තවත් ඉල්ලීම් කිහිපයක්! viva la France










මේ මා කලකට පෙර ලියූ බ්ලොග් එකකි. ඒ සිදුවීමම නැවත නැවතත් සිදුවන හෙයින් නැවත ප්‍රසිද්ධ කිරීමට සිතුණි. 
ඊයේ සුපුරුදු පරිදි පොලීසියත් සමග ජල ක්‍රීඩා කිරීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කැළණියේ සිට පැමිණියහ. ඔවුන් ඊයේ පැමිණියේ ටික කාලයකට පසුවය. එසේ පැමිණ 1789 ප්‍රංශ විප්ලවයේ සිසු අරගලය වීදි නාට්‍යයක් මෙන් රඟපා සතුටින් විසිර ගියහ. ප්‍රංශයේ දේවල් පරණ වුනාට කමක් නැත. ඒවා කල් යන්ට යන්ට වටිනාකමෙන් වැඩිය.

ඊයේ පැමිණි පෙලපාලියට හේතු භූත වූ කාරණා දෙකකි.


  • සයිටම් එක වසා දැමීම.
  • අයවැයට විරුද්ධ වීම. 

.

සයිටම් එක වසා දැමීම මේ පෙලපාලි වලට සදාතනික ඉල්ලීමක් වෙයි. පිටරට විශ්ව විද්‍යාල වල; බංගලාදේශයේ පවා, පුද්ගලික විශ්ව විද්‍යාල වල මෙහෙ ශිෂයයන් ගොස් විදේශ විනිමය කෝටියක් පමණ ගෙවා ඉගෙන ගෙන ආවාට ඔවුනට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ පටන් ගැනීමය. කුමන හේතුවක් නිසාදැයි කිසිසේත්ම තේරුම් ගත නොහැක්කේය. අඩු තරමින් සයිටම් එක not for profit ආයතනයක් කරන ලෙසටවත් ඉල්ලුවේ නම් මෙි සිසුන් මේ කරන්නේ ධනපතියන්ට එරෙහි කොමියුනිස්ට්වාදී romanticism නිසා යැයි කියා අනුමාන කරන්නට පුලුවන.

අනික් පැත්තෙන් අයවැය ගැන විරුද්ධ වීම ගැන මගේත් විරුද්ධත්වයක් නැත. එහි බොහෝ පිරිස් අකමැති කරුණු තිබේ. නමුත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අයවැය ගෝනියක දමා කට වසා මුළු ගෝනියටම විරුද්ධ වීමට වඩා තමන් විරුද්ධ අයවැයේ කුමන කොටස් වලට දැයි පැහැදිලිව දැක්වූයේ නම් අපටත් ඔවුන් සමග හදවතින් හෝ ජල ක්‍රීඩාවට එක්වීමට ඉඩ තිබුණි. ඒ කාලයේ අර ‘හදවතින් අප යුධ බිමේ‘ කියු පිරිස මෙනි. ඔවූහු යුද්ධයට ගියේ නැතත් හදවතින් බිමට ගොස් එය එන්ජෝයි කලහ.

ඇත්තෙන්ම මෙවැනි පෙලපාලියක් රටේ ජනතාවට මෙතරම් අපහසුවක් සිදුකර, එමෙන්ම අන්තර් ජාතික ආයෝජකයන් භීතියට පත්කර ආර්ථිකව අප රටට මෙතරම් විනාශයක් කරන්නට විශේෂ කාරණා තිබිය යුතුය. එසේ පැහැදිලි කාරණා නොමැතිව අගනුවර මැදට පැන ඩෙඟා නැටීම රටට කලහැකි ලොකුම දේශද්‍රෝහී ක්‍රියාවකි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මෙවැනි පෙලපාලියක් පැවැත්වීමට අවශ්‍යමැයි හැඟෙන්නේ නම්; අඩු තරමින් රොමැන්ටික් හැඟීම් තවදුරටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර තිබෙනවා යැයි පෙන්වීමටවත්, මට ඉල්ලීම් කිහිපයක් යෝජනා කිරීමට පුලුවන. ඒවා පහත පරිදි වේ.


  • අ.පො.ස. උසස් පෙල සමත් වී විශ්ව විද්‍යාලයට නොතේරෙන සිසුන් සියලු දෙනාටම භාහිර උපාධි ලබා ගැනීමට ක්‍රමයක් ඇතිකර ඔවුනටද මහපොල ශිෂත්වාධාර ගෙවනු. 
  • ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ඇතුලුන සියලුම ශිෂ්‍යයන්ට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබාගෙන පිටවී යාමට ක්‍රමවේදයක් ඇතිකරනු. 
  • දුෂ්කර පාසැල්වල පන්ති කාරවත් හරියට නොමැති නිසා ජනප්‍රිය පාසැල් වලින් සියලුම පහසුකම් ලබා ගන්නා සිසුන් ගෙන් ගැලපෙන මුදලක් අය කර විනිවිද පෙනෙනා ආකාරයෙන් ඒවා දුෂ්කර පාසැල්වල දියුණුවට යොදවනු. 
  • අන්තර් ජාතික පාසැල් වලත් ඉගෙන ගන්නා ලංකාවේ පුරවැසියන්ගේ ළමයින්ට වවුචර් ක්‍රමයක් මගින් සහනයක් ඇතිකරනු. 
  • දුප්පත් ජනතාවගේ මුදලින් නොමිලේ ඉගෙන ගන්නා අපට රැකියා ලැබුනු පසු ඒ මුදල් අයකර ගන්නා ක්‍රමයක් ඇතිකරනු. 
  • රට තුල අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව; පර්යේෂණ ග්‍රන්ථ යනාදිය විශ්ව විද්‍යාල ප්‍රමිති ක්‍රමවේදයක් ඇතිකර (පුද්ගලික විශ්ව විද්‍යාලද ඇතුලුව) එම ලේඛනයෙහි ලබන දියුණුව මත විශ්ව විද්‍යාල ආචාර්ය මංඩල වලට දිරි දීමනා ගෙවනු.  


පෙලපාලියේ බෝඩ් ඔසවා ගෙන යා හැක්කේ සීමිත සංඛ්‍යාවක් නිසා මා මෙතනින් නවතිමි. තව මෙවැනි සාධාරණ දිනා ගතයුතු ඉල්ලීම් ඕනෑ නම් දුසිම් ගණනක් ලියා දෙන්නට පුලුවන.

සිසු අරගලයට ජයවේවා.
     




Sunday, November 27, 2016

ලංකාවේ ඊලඟ ජනාධිපතිවරණය පිළිබඳව ගණිතමය විශ්ලේෂණයක්; අපේක්ෂකයන් කවුරුන් විය හැකිද? කවුරුන් ජයග්‍රහණය කරන්නේද?






                                                                       2020







පසුගිය මාස කිහිපයේම අපි ඇමරිකාවේ ජනාධිපති ඡන්දය බොහෝ උනන්දුවෙන් නිරීක්ෂණය කළෙමු. අවසානයේ බොහෝ ජනමත විචාරණ වලින් සහ නොයෙකුත් තමන්ම පත්කර ගත් පණ්ඩිතයන් බහුතරයක් බලාපොරොත්තු නොවූ පරිදි, ඔවුන්ගේ අනාවැකි සියල්ල වැරදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

ඇත්තෙන්ම එම ජයග්‍රහණය රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණයකටත් වඩා පුද්ගලිකව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයක් බව කිව හැක්කේ ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුල ජේෂ්ඨ රිපබ්ලිකන් පක්ෂ නායකයන් අති බහුතරයක් ඔහුට උදව් නොකල නිසාවෙනි.

දැන් අපේ ජනාධිපති ඡන්දය අවසන් වී අවුරුදු දෙකකට කිට්ටුව ගතවී ඇත. සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ දූර කාලය අවසන් වූ පසු නැවත තමා ඡන්ද ඉල්ලන්නේ නැති බව පසුගිය මැතිවරණයේදී පැවසුවේය. ඔහු පොරොන්දු කඩ නොකරන අසාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාඥයෙකු යැයි සිතුවොත් 2020 ඡන්දයට කවුරුන් ඉදිරිපත් විය හැකිද යන්න පරීක්ෂා කර බලන්නට මේ හොඳ කාලයක් යැයි පෙනේ.

ඇමරිකානු ඡන්දය මාස දෙකක් පමණ එහි සියලුම සිත් ගන්නා තාක්ෂණික සහ අනෙකුත් ක්‍රමවේද නිසා උනන්දුවෙන් පරීක්ෂාවෙන් සිටි මට ලංකාවේ ඊලඟ ඡන්දයේදී කුමක් වේදැයි නිකමට ගණනය කර බලන්නට සිතුණි.

ඡන්දය ඉල්ලන්නට ඉදිරිපත් විය හැකි ප්‍රධාන අපේක්ෂකයින් කවුරුන් විය හැකි දැයි මුලින් බලමු.


මහින්ද රාජපක්ෂ - ව්‍යවස්ථාවෙන් ඇති බාධක නිසා ඔහුට ඉදිරිපත් විය නොහැක. ඇති එකම අවස්ථාව ඔහු සහ සිරිසේන ජනාධිපතිවරයා අතර යම් ගිවිසුමක් ඇති වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන කණ්ඩායම හා රාජපක්ෂ කණ්ඩායම එකට එකතු වී රජයක් පිහිටුවා 2/3 අඩුව පුරවන්නට තවත් එ.ජා.ප. මන්ත්‍රීන් කණ්ඩායමක ගේ සහාය යම් ක්‍රමයකින් ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. නමුත් මෙය ඉතාමත් දුෂ්කර එසේම අපහසු සිදුවීමකි.


රනිල් වික්‍රමසිංහ - මා කොතලාවල විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරද්දී අපට ව්‍යාපාර සන්නිවේදනය ඉගැන්වූ කැළණියේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු, නොයෙකුත් නායකත්ව වර්ග පිළිබඳව උගන්වා එහි විශිෂ්ඨතම නායකයන් වර්ගය අලුත් නායකයන් හදන්නට උත්සාහ කරන නායකයන් බව පවසා එම වර්ගයට උදාහරණයක් අප පන්තියෙන් ඇසුවේය. බොහෝ දෙනෙකු නොයෙකුත් උත්තර දුන් අතර, මගේ පිළිතුර වූයේ ජේ.ආර්. ජයවර්ධන යන්නය. මගේ පිළිතුරට පන්තියේ බොහෝ දෙනා සිනා සුනහ. එහෙත් අවසානයේ මහාචාර්ය වරයා පිලිගත්තේ ඒ පිළිතුරය. ඒ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි නිසාය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ජයවර්ධන කල දේ කර නැත. එ.ජා.ප. යේ ඊළග අපේක්ෂකයා ඔහුමය.


අනුර දිසානායක - ගියවර ඔහු ඉල්ලුවේ නැතත් මෙවර ඔහු ඉල්ලිය යුතුමය. ඔහු නොඉල්ලා සිටියොත් ජ.වි.පෙ. දේශපාලන බලයක් ලෙසට ලංකාවේ දේශපාලන සිතියමෙන් ඉවත්ව යනු ඇත්තේ කවදාවත් බලය ලබා ගන්නට උත්සාහ නොකරන සුලු පක්ෂයක් වීම හේතුවෙනි.


ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂට ඡන්දය ඉල්ලීමේ ඇති හැකියාව විය සිදුරේ අවස්ථාව මෙන් හෙයින් ඔහුගේ ඡන්ද විභවය මුදල් කර ethanimuth obbata  හැකියාවක් ඇති එකම තැනැත්තා ගෝඨාභය රාජපක්ෂය. ඔහුගේ සුදුසුකම් ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට; විශේෂයෙන්ම ග්‍රාමීය බෞද්ධයන්ට හොඳින් ගැලපෙන්නේය. ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද පාර්ශවයේ මොහුට ඊළග ඡන්දයේ අපේක්ෂකයා වීමට තරඟයක් පෙනෙන තෙක් මානයේ නැත්තේය. විශේෂයෙන්ම දේශපාලනයෙන් භාහිර පුද්ගලයින් සදහා අලුතින් ඇති වී ඇති කැමැත්ත සහ වෘතීය දේශපාලඥයන්ට ජනතාවගේ ඇති නොකැමැත්ත මොහුගේ අපේක්ෂකත්වයට තව දුරටත් උදව් වනු ඇත.


නූතන දියසේන එසේත් නැත්නම් ලංකාවේ ට්‍රම්ප් - ලංකාවේ දේශපාලනය ජනතාවට එපා වී යන වේගය බැලූ විට සමහර විට ඉදිරි වසර තුන ඇතුලත අප කිසි කෙනෙක් නොසිතන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අපගේම දියසේන කුමරෙකු ජනතාව අතුරින් මතුවීමට ඉඩ තිබේ. එහෙත් මෙය සම්භාව්‍යතාවය ඉතාමත් අඩු සිදුවිය හැක්කක් නිසා ගණිතමය අනාවැකි වලට යාමේදී මෙවැන්නක් සිදු නොවේ යැයි උපකල්පනය කිරීමට සිදුවේ.

ඡන්ද හැසිරිය යුතු ආකාරය


ලංකාවේ ජන සංයුතිය අනුව, අනෙක් බොහෝ රටවල වාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවනතාවය අනුමාන කල හැක. මෙම ප්‍රවනතාවය විවිධ ජාතීන් ජීවත්වන රටක ප්‍රධාන ජාතියට වඩා අඩු ප්‍රතිශතයක් ඇත ජාතීනට සත්‍යය.

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් අතර ප්‍රතිශතය පහත පරිදිය.

සිංහල                          74.9      
ලාංකික දෙමළ             11.2
මුස්ලිම්                           9.2
ඉන්දියානු දෙමළ            4.2
අනෙකුත්                         .5

මෙම ප්‍රතිශතයන්ට සමානුපාතික ලෙස ඡන්ද දායකයන් බෙදී යනු ඇතැයි උපකල්පනය කරමු. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනය පටන් ගත් දා සිට සුළු ජාතීන්ගේ ඡන්ද බොහෝ විට ලැබුනේ එක්සත් ජාතික පක්ෂයටය. ඒ බොහෝ විට පසුව පටන් ගත් ශ්‍රී.ල.නී.ප. සිංහල බෞද්ධ පදනමක සිට ඡන්ද ලබා ගැනීමට උත්සාහ කිරීමත්, එම පක්ෂය විශාල වශයෙන් සිංහල බෞද්ධයන්ගේ ඕනෑ එපාකම් පිළිබඳව වැඩිපුරව පෙනී සිටින පක්ෂයක් යැයි සුළු ජාතීන් අතර ඇති වී තිබෙන හැඟීමය. ජනාධිපති ඡන්ද ක්‍රමයේ කොට්ඨාශ, දිස්ත්‍රික්ක හෝ පළාත් ජයග්‍රහන අනුව බහුතරය ලබා ගැනීම නොහැකි නිසා කොට්ඨාශ මැතිවරන වලදී ඔවුනට වාසි ගෙන දුන් මෙම ආකල්පය දැන් ශ්‍රී.ල.නි.ප. යට ඩැමොක්ලීස්ගේ කඩුව මෙන් සෑම ඡන්දයකදීම ඉහලින් එල්ලී තිබේ.

මට පෙනෙන විදිහට යුද්ධයක් නොමැති මෙවන් කාලයක; එය කිසි සේත්ම නැවත පටන් ගැනෙන්නේත් නැත, මෙම සුළු ජාතීන්ගේ ඡන්ද බෙදී යාම පහත ආකාරයට සිදු වේ යැයි උපකල්පනය කලහොත් එහි කිසිම වැරැද්දක් නැත.

                                   UNP/SLFP
ලාංකික දෙමළ             80/20
මුස්ලිම්                         80/20
ඉන්දියානු දෙමළ          65/35
අනෙකුත්                     50/50

මේ අනුව පක්ෂ දෙකට මුළු ඡන්ද දායකයන්ගේ අනුපාතයක් වශයෙන් මෙසේය.

පක්ෂය                           ලාංකික දෙමළ      මුස්ලිම්      ඉන්දියානු දෙමළ    අනෙකුත්    මුළු අගය

UNP                                       8.92               7.44               2.71                   .25              19.32
SLFP                                      2.23               1.86               1.46                   .25                5.8

මේ අනුව සිංහල ඡන්ද සදහා තරඟ කරන විට එ.ජා.ප. දීර්ඝ එමෙන්ම අසාධාරණයැයි කෙනෙකුට කිවහැකි පිම්මක් දැනටමත් පැන ඇත්තේය. ඔවුන් සිංහල ඡන්ද සදහා තරඟ කරන්නේ 19.32% ප්‍රතිශතයක් අතේ තබා ගෙනය. ඔවුනට 50.1% ප්‍රතිශතයක් ලබා ගැනීමට තවත් අවශ්‍ය 30.78% ක ප්‍රතිශතයකි.

අනෙක් පැත්තෙන් ශ්‍රී.ල.නි.ප.යට පටන් ගන්නා විට අතේ තිබෙන්නේ 5.8% ක ප්‍රතිශතයකි. ඔවුනට දිනුම් කනුව පසු කිරීමට තව 44.3% ක ප්‍රතිශතයක් ලබා ගත යුතුය.

ඒ කියන්නේ සිංහල ඡන්ද 75% සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය යැයි සැලකුවහොත් (100%) එ.ජා.ප. අපේක්ෂකයා දිනන්නට මුළු සිංහල ඡන්ද වලින් ගත යුත්තේ 41% ක් පමණි. (30.78x100/75)

ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයාට 50.1 ලබා ගැනීමට අනික් අතින් සිංහල ඡන්ද වලින් 59% ක් ලබා ගත යුතුය. 44.3x100/75)

අනුර දිසානායක අපේක්ෂකයා මේ අතර මේ සිංහල ඡන්ද වලින් වෙනදා මෙන් 6% ක් පමණ ලබා ගනු ඇත. ජයග්‍රාහී අපේක්ෂකයා ඔහුට ලබා ගත යුතු ප්‍රතිශතයට තරඟ කරන්නේ මෙවැනි වාතාවරණයකය.

මෙම සිංහල ඡන්ද සදහා තරඟ කරද්දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්ද සදහා ජනතාව අතර බොහෝ වැඩි ආකර්ශනයක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වෙතය. ඔහු සූට් එකක් ඇන්දද එය හදවතින් අදින්නක් නොවන බව ජනතාව සිතති.

පසුගිය ඡන්දයේ සමහර තෝරාගත් (නාගරික සහ ග්‍රාමීය සංකලනයක් ලබා ගැනීමට) දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිපල පහත පරිදිය.

දිස්ත්‍රික්කය                          ශ්‍රී.ල.නි.ප.                        එ.ජා.ප.

ගාල්ල                                    55.64                              43.37
මාතර                                     57.81                              41.24
මොනරාගල                           57.11                               39.61                      
ගම්පහ                                   49.49                               49.83
හම්බන්තොට                         63.02                               35.93

 මෙම ප්‍රතිපල වලට අනුව ඉහත ගණනය කල 59% ලබාගත හැකි වනුයේ හම්බන්තොටින් පමණි. නමුත් මේ ජ.වි.පෙ. ත් සමග රටේ බොහෝ සිංහල බෞද්ධ භාහිර පෙනුම ඇති පක්ෂ හා නායකයන් ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයාට විරුද්ධ වී සිටියදීය. ඒවාත් නැති වී ජ.වි.පෙ. 6% ත් ඉවත්වූ විට මෙම තරඟය ඉතාමත් කිට්ටු සහ උණුසුම් තරඟයක් වනු නොවනුමානය. විශේෂයෙන්ම බලයේ සිටින රජයකට තම බල කාලය අවසානයේ ඡන්දයකට යාමේදී ඇතිවන පාඩු සහ ජනතා අප්‍රසාද නැමති බර කුරුසය රනිල් වික්‍රමසිංහට මෙම ඡන්දයේදී ඔසවාගෙන යාමට සිදුවන බවද නොකිවමනාය. එංගලන්තයේ මෙන් ඕනෑම දේකට ඔට්ටු දමන්නට පුලුවන් බුකී මෙහි තිබෙන්නේ නම් කාට ඔට්ටුවක් දමන්නට දැයි සිතන්නටත් අමාරුය.                        

Saturday, November 26, 2016

අපි අරාජික වෙමුද? අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටස








අපි අරාජික වෙමුද? අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටස





ඊයේ රාත්‍රියට කෑම කන්නේ මොනවාදැයි සාකච්චා කර අවසානයේ ආප්ප කන්නට තීරණය කළෙමු. නමුත් නිවස අසල ආප්ප තිබෙන කඩේ හැමදාම ආප්ප හදන්නේ නැති නිසා ආප්ප තිබේදැයි හරියටම දැන ගැනීමට අවශය විය. ඒ සඳහා ඔවුන්ට දුරකථන ඇමතුමක් දී විමසන්නට උත්සාහ නලද ඔවුන් පිළිතුරු දෙන්නේ නැත. ව්‍යාපාරය දියුණු කර ගන්නට ඕනෑ නම්; අඩු තරමින් පවත්වා ගෙන යන්නටවත් ඕනෑ නම් ඔවුන් මීට වඩා උනන්දුවෙන් වැඩකල යුතුය. ඒත් අනික් පැත්තෙන් ඔවුන්ට වැරැද්දක් කිව නොහැක්කේ ඔවුන්ගේ රට වැඩ කරන්නේත් ඒ අයුරෙන් නිසාය.

ඒ ආප්ප කඩය අසල මහනුවර නගරයට යන බස් නවත්තන ප්‍රධාන හන්දියකි. සතියේ දවසක උදේ 6.00 සිට රාත්‍රී 8.00 දක්වා පමණ ඕනෑම වේලාවක හන්දිය දෙස බැලුවහොත් වාහන 5/6 ක් දකින්නට පුලුවන. මෙතනින් යන්නේ එකම රූට් නොම්මරයක බස් වේ. එහෙත් මෙතනට බස් පැමිණෙන වේලාවල් සටහන් කරන ලද කාලසටහනක් එතන නැත්තේය. බස් රියදුරන් කරන්නේ හන්දියට මීටර් 300/400 තිබියදී හෝන් ගන්නට පටන් ගැනීමය. ඒ බස් එක එනවා යැයි අවට සිටින මගීන්ට දන්වා ඔවුන් හැකි තරම් හන්දියට ගෙන්වා ගැනීමටය.

ලංකාවේ හෝඩියේ පන්තියක බැඳෙන‍ෙ ළමුන් ප්‍රමාණයෙන් 5% ක් පමණ අ.පො.ස.උසස් පෙල විභාගයෙන් විශ්ව විද්‍යාල වලට තේරෙති. ඉතිරි 95% නොයෙකුත් තැන් වලින් අධ්‍යාපනයෙන් ඉවත් වී විවිධ රැකියාවල නිරත වෙති. විශ්ව විද්‍යාල වලට යන මේ ශිෂ්‍යයන්ට නොමිළේ අධ්‍යාපනය දී ඒ අවුරුදු 3,4,5, තුල මාසික දීමනාවකුත් ගෙවනු ලැබේ. ඒවා ගෙවන්නේ නොපැමිණි 95% සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගෙවන බඳු වලිනි. උපාධි ලබා විශ්ව විද්‍යාල වලින් පිටවල ශිෂ්‍යයෝ අර බඳු මුදලෙන්ම ගෙවා ජීවිතාන්තය දක්වා රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙළපාලි යති.

විශ්ව විද්‍යාල වලට නොගිය 95% න් වැඩි දෙනෙකු ඉන්පසු කරන රැකියාවල් පහත පරිදිය.

ත්‍රීවිලර් රැකියාව
ලංකාවේ සහ පිටරට ඇදුම් කර්මාන්ත ශාලාවල රැකියාව
මැදපෙරදිග ගෘහ සේවිකා

මෙවැනි රැකියාවල් කිරීමට බහුතරයකට සිදුවන බව දන්නවා නම් සිංහල, තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, භූගෝලය වැනි විෂයයන් පාසැලේදීත් උගන්වා මෙතරම් ටියුෂන් පන්තිත් පවත්වන්නේ ඇයි?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිහින් ගුවන් සේවය වැනි සුදු අලි කෝටි ගණන් ජාතියේ සංවර්ධන වැඩ වලට යෙදවිය හැකි මුදල් නාස්ති කරති. මේවා වසා දමන්නට යැයි කවුරුත් ඉල්ලා සිටිනු නොපෙනේ.

රජය කරන ව්‍යාපාර, ලංගම, දුම්රිය, තෙල් පිරිපහදුව වැනි බොහෝ ආයතන වලින් අවුරුද්දකට හයිවේ පහක් පමණ සාදන්නට පුලුවන් ජනතාවගේ මුදල් නාස්ති කරති. මේවා පෞද්ගලික කරණය කරන ලෙස කවුරුත් ඉල්ලා සිටින්නේ නැත්තේ ඇයි?

ජනප්‍රිය පාසැල් වලට ළමයින් මුලු ළමා ජනගහනයෙන් 5% ක් පමණ තෝරා ගෙන මුලු රටේම ජනතාවගේ මුදලෙන් ඒ 5% ට දෙන්නට පුලුවන් සියලුම පහසුකම් දෙති. අඩු තරමෙන් සියලු දෙනාගේ මුදලෙන් ලබාදෙන ඒ පහසුකම් වලට යම් අය කිරීමක් කර එම මුදල දුප්පත් පාසැල් වලට පහසුකම් වැඩි කිරිමට යොදවන ලෙසට ඉල්ලා මිනිසුන් පාරට බසින්නේ නැත්තේ ඇයි?   

මෙතරම් රටේ මාළු මුදලාලිවරුන්, මාළු කඩ සහ හෝම් ඩිලිවරි මාළුකාරයන් සිටියදී මහජන මුදලින් ධීවර සංස්ථාවක් දමා රට පුරා මාළු කඩ දමා මහජන මුදල් නාස්ති කරති. දැන් පාඩු නිසා වසා දමන්නට යන විට 700 ක් දෙනා රැකියා නැතිවන නිසා  නොවසා දිගටම ඔවුනට මහජන මුදලින් පඩි ගෙවන්නට කියති. 

සෑම දේකටම සංස්ථාවක් දමා රජය ව්‍යාපාර කරන්නට ගොස් ඇන ගනිති. තුනී ලෑලි වලටත් සංස්ථාවක් දමන්නට තරම් මෙය දුර දිග ගියේය.

 රටෙහි ප්‍රධානතම නගරයක ප්‍රධානතම මහා මාර්ගය කිසිම හේතුවක් නැතුව වසා දමා සමහර විට පෘතුවිය උෂ්නත්වය වැඩි වීමෙන් පසුව මිනිසා විසින් මෑත කාලයේ කරන ලද ලොකුම වැලැක්විය හැකි පරිසර විනාශය සිදු කරති. 

තරඟකාරී මට්ටමකට පැමිණි නැති ක්‍රීඩකයන් 9 දෙනෙකු රැගෙන නිලධාරීන් 40 ක් කෝටි ගණන් මුදල් වියදම් කර ලෝකයේ අනික් පැත්තේ ඇති ඔලිම්පික් තරගයට යති. 

දුප්පත් මහජන මුදලින් වෛද්‍යවරු හදන්නේ නැතිව ඔවුන්තේ මුදලෙන් වෛද්‍යවරු වීමට කැමැත්තන්ට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරේ. එය වසා දමන ලෙසට රජයට බලකෙරේ. පොදු ජනතාවගේ ඕනෑ එපාකම් බලා ගන්නට පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයනුත් එයට විරුද්ධ වෙයි. අඩු තරමින් මෙය හා මින් ඉදිරියට එන පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල කලමණාකරනය වන පරිදි not for profit ආකාරයටවත් කරන්නට කිසිවෙකු යෝජනා කරන්නේ නැත. 

මම ජීවත්වන්නේ මහනුවර නගැයට කිලෝ මීටර් දෙකක් පමන දුරින් නාගරික/ග්‍රාමීය පරිසරයකය. අපි කුඩා කාලයේ අලකොළ අල බතල මිනිසුන් ගොඩ ඉඩම්වල පමණක් නොව ඉඩෝරයට කුඹුරු වලත් වැවූහ. දැන් ගෙවත්තේ පොල් පැලයක් වත් සිටුවන්නේ නැත්තේ ඌරන් සහ ඉත්තෑවන් පැමිණ විනාශ කර දමන නිසාය. තව අවුරුදු 10/15 ක් යන විට මේ සතුන්ගේ ජනගහනයත් 3/4 ගුනයකින් වැඩිවී ඉතිරී වී තිබෙන පැරණි පොල් ගසුත් පෙරලා දමන්නට පටන් ගතහොත් පුදුම විය යුතු නැත. 

මේ අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටසේ අංශූ මාත්‍රයක් පමණි. රටක් මෙලෙස පවත්වා ගැනීමට මෙතරම් වියදම් කර රජයක් පවත්වා ගත යුතුද?  

Wednesday, November 23, 2016

අසාධාරණයන්ට ඇස් වසා සාධාරණයන් අසාධාරණයන් බවට පත් කිරීම; guns versus butter












ලංකාවේ සමහර දේශපාලඥයන් සාධාරණය සහ අසාධාරණය වෙන් කර ගැනීම විශාල අවුලක් කරගෙන ඇති බව පෙනේ. ඔවුන් සාධාරණය සහ අසාධාරණය දකින්නේ පොදු ජනතාවගේ පැත්තෙන් නොවේ. තමන් කැමති කණ්ඩායමක ලබැඳියාවන්ගේ අවශ්‍යතාවයන් අනුකූලවය. 

දේශපාලන පක්ෂයකට ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවගේ ඕනෑ එපාකම් ජනතාවට වඩාත්ම වාසිදායක පරිදි කළමනාකරණය කිරීමටය. ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් බඳු ගෙවා ලබා දෙන මුදල් ජනතාවට වඩාත්ම ප්‍රතිලාභ ඇතිවන පරිදි වියදම් කිරීමටය. දේශපාලන පක්ෂ තමන්ගේ ඊනියා ජාති මාමකත්වය අනුව දිනූ දේශය, ජාතිය, මව් රටසහ මාතෘ භූමිය යන නොයෙක් අලංකාර සහ ලොමු ඩැහැ ගැන්වෙන වචන වලින් හඳුන්වන්නේ මේ පොදු ජනයාය. රටේ කුදු මහත් දුප්පත් පොහොසත් සියලු දෙනාම අයිති වන්නේ මෛ් ප්‍රධාන කුලකයටය. එසේ නැතුව ජාතිය නැමැති කුලකයේ කුඩා උප කුලක වන රියදුරන්, ගුරුවරු, ගොවියන් හෝ වෛද්‍යවරුන් වැනි කුඩා උප කුලකවල අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට නොවේ. 

නමුත් අපගේ රටේ දේශපාලන පක්ෂ; බලයට පැමිණි පක්ෂය පමණක් නොව සියලුම පක්ෂ වලට මෙය පොදුය. ඡන්දයෙන් පසු හැසිරෙන්නේ පොදු ජනයාගේ අවශ්‍යතාවයන් ඔවුනට කිසිසේත්ම දැනෙන්නේවත් නැති ආකාරයටය. 

මෙයට හොදම උදාහරණය මම ඊයේ ප්‍රවෘත්ති බලද්දී පාර්ලිමේන්තුවේ කතා කරන මන්ත්‍රී වරුන්ගෙන් දැක්කෙමි. ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධවය. මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබිය යුතු යැයි එහිදී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලහ. නමුත් එහෙත් ඇත්තෙන්ම තර්කානුකූල සිතන කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නේ රටෙහි පොදු ජනතාවට ප්‍රයෝජනයක් වීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව තවත් ඇතිකල යුතු බවයි. එසේ ඇතිකල යුත්තේ කුමක් නිසාදැයි අප අපගේ දේශපාලන මති මතාන්තර, යල් පැනගිය පන්තිවාදී හැඟීම් සහ මන්ද මානසිකත්වය පැත්තකින් තබා බැලුවහොත් පහත ආකාරයට පෙල ගැසෙනු ඇත. 



  1. ලෝකයේ දියුණු රටවල් වල බහුතරයක් විශ්ව විද්‍යාල රජයේ ඒවා නොවේ. (රජයට විශ්ව විද්‍යාල වලට වියදම් කිරීම හැර පොදු ජනයා වෙනුවෙන් කරන්නට බොහෝ දෑ තිබේ.)
  2. ලෝකයේ තිබෙන හොඳම විශ්ව විද්‍යාල; ඕනෑම ක්ෂේත්‍රයකින් බැලූ විට, රජය නොවන විශ්ව විද්‍යාලය.
  3. ලංකාවේ මිලියන ගණනක් තරුණයෝ අ.පො.ස. සාමාන්‍ය පෙල සමත්ව හෝ අසමත්ව හොඳ රැකියාවක් ලබා ගැනීමට පුහුණුවක් නොමැතිව ත්‍රීවීලර් රැකියාව වැනි රැකියා කරති. (රජය තවත් විශ්ව විද්‍යාල විවෘත කරනවාට වඩා පොදු ජනතාවගේ මේ උප කුලකයට  ප්‍රමුඛතාවය දිය යුතු නේද? 
  4. ලංකාවේ බොහෝ මධ්‍යම පන්තියේ ශිෂ්‍යයෝ බිලියන ගණනක් විදේශ මුදල් වියදම් කර පිටරට පුද්ගලික වෛද්‍යවල ඉගෙන ගනිති. (මේවාට විරුද්ධ වන පිරිසට ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වඩා පිටඑට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මේ තරම් විශ්වාසයක් ඇති වී ඇත්තේ කෙසේද?)
  5. මෙලෙස දාපු පලවෙනි විශ්ව විද්‍යාලයම විනාශ කරන්නට හදන්නේ නැවත මෙවැනි විශ්ව විද්‍යාල ඇති කිරීම වැලැක්වීමට බව ඔවුනට පෙනෙන්නේ නැද්ද? 
  6. මෙලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල බොහෝ ගණනක් ඇති වුවහොත් ඉන්දියාව මැදපෙරදිග සහ චීනය වැනි රට වලින් බොහෝ සිසුන් මෙහි අධ්‍යාපනයට පැමිණ අපට දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන්නට හැකි බව ඔවුනට පෙනෙන්නේ නැද්ද? 
  7. ලංකාව ජනගහන ප්‍රතිශතයක් ලෙසට වෛද්‍යවරු ඉතා අඩු රටකි. ජනතාවගේ මුදල් වියදම් නොකර රටේ වෛද්‍යවරු වැඩිකර ගන්නට හැකි වන්නේ නම් එයට විරුද්ධ වීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කෙසේද? 

(මේ සෑම කරුණක් ගැනම විචාරය කරන විට අප සිත්හි තබාගත යුතු මූලික කරුණු දෙකක් තිබේ. ඒවා නම් 


  • ඕනෑම රටක කොතරම් පොහොසත් රටක් වුවද සම්පත් තිබෙන්නේ සීමිත ප්‍රමාණයකි. 
  • ජාතියක් එක් අවශ්‍යතාවයකට වැඩියෙන් වියදම් කලහොත් ඒ වැඩි වූ වියදම තවත් වියදම් කලයුතු අවශ්‍යතාවයකින් අඩුකල යුතුය. උදා:- අධ්‍යාපනයට යන වියදම වැඩි කලහොත් ආරක්ෂාව, සෞඛ්‍යය වැනි අවශ්‍යතාවයකට කරන වියදම් වලින් අඩුකල යුතුය.)

මෙලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකල යුත්තේ ඇයිදැයි පැහැදිලි කරන්නට කරුණු සිය ගණනක් තිබේ. එය නොකල යුතු යැයි කියන්නට එකම හේතුව ඊර්ෂියාව සහ වරද්දා ගත් යල් පැන ගිය දේශපාලන න්‍යායන් පටලවා ගැනීම පමණක් බව මට හැගේ.
for more details 

http://lakshmanillangakoon.blogspot.com/2016/08/blog-post_24.html

   

Monday, November 21, 2016

ට්‍රම්ප් බලයට පැමිණීම කෙලෙස අපට බලපායිද?










අපි පසුගිය වකවානුවේ ජනාධිපතිවරණ ගැන බොහෝ දේ කතා කළෙමු. ඒ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතරය. බොහෝ පණ්ඩිතයන් ඒ අනාවැකි බොරු කරමින් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ධූරයට තේරී පත්විය. ඇත්තෙන්ම ජනප්‍රිය ඡන්ද වලින් තේරී පත්වූයේ නම් ඒ සදහා තේරී පත්විය යුත්තේ හිලරි ක්ලින්ටන්ය. එහෙත් රටෙහි ජනගහනයෙන් අඩු ප්‍රාන්ත වලටත් පැහැදිලි නියෝජනයක් ලබාදීම සදහා සකස් කර ඇති electoral college, ප්‍රාන්ත නියෝජිත කණ්ඩායම් ක්‍රමය නිසා ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. (ලංකාවේ සමහර රූපවාහිනී නාලිකා මෙම පාඨය ඡන්ද විද්‍යාල නමින් ඉතාමත් වැරදි සහගත ලෙස පරිවර්තනය කරන්නට එකල පෙලඹුනේ ශබ්දකෝෂයේ පලවෙනියටම දකින තේරුම, එසේත් නැත්නම් වචනයක තමන් දන්නා තේරුම යෙදීම නිසාය).

ඇමරිකාවේ ජනාධිපති පත්වීම මුළු ලෝකයටම වැදගත් බව කිව යුත්තක් නොවේ. ඒ මක්නිසාද යත් ආර්ථිකව, දේශපාලනිකව, යුධ බලය, අධ්‍යාපනය, කලාව, විද්‍යාව, යනාදී මෙකී නොකී සියල්ලෙන්ම ලෝකයේ මුල් තැන ගන්නේ ඇමරිකාව නිසාය. මේ සියල්ලටම වඩා අලුත් දේ සොයා ගැනීම සහ ඒවාට ඇති කැමැත්ත ඇමරිකාව ලොව ප්‍රධාන රාජ්‍ය බවට පත් කරයි. විශේෂයෙන්ම අපට ඇමරිකාව වැදගත් වන්නේ අපෙන් වැඩිම වටිනාකමකට රාජ්‍යයක් වශයෙන් මිළදී ගන්නා රට ඇමරිකාව නිසාය. එහි දශම එකක ආර්ථික වර්ධනයේ වැඩිවීමක් වුවද අපේ ආර්ථිකයට මහත් සේ බලපෑමක් ඇති කරයි.

වෙනත් ජනාධිපති ඡන්ද මෙන් නොව ඇමරිකාවේ මෙවර ජනාධිපතිවරණය විශේෂ වැදගත් කමක් ගනී. ඒ බලයේ සිටින ජනාධිපතිවරයා සහ අලුතෙන් එන ජනාධිපතිවරයාගේ ඇති වෙනසයි. එම වෙනස ඡවි වර්ණයෙන් බොහෝ ඔබ්බට විහිදෙයි. බැරැක් ඔබාමා නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. එහි වමට බරවූ ලිබරල් එසේත් නැත්නම් ප්‍රගතශීලී (progressive) කොටසයි. මොවුන් සහනාධාර වැඩිකර රජය විශාල කරන්නට උත්සාහ කරති. හමුදා වියදම් අඩු කරති. ත්‍රස්තවාදීන්ට අනුකම්පා කරති. කුඩා රාජ්‍යයක ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇති වුවහොත් ඔවුන් බොහෝ විට ගන්නට ඉඩ ඇත්තේ ත්‍රස්තවාදීන්ගේ පැත්තය; බෙලහීන බල්ලාගේ පැත්තය.

අනික් අතට රිපබිලිකන් පක්ෂය සහනාධාර අඩුකර රජය කුඩා කර එම වියදම්ද අඩුකර පුද්ගලික ව්‍යාපාර වලට වැඩිපුර අවස්ථාව ලබාදේ. හමුදාද ශක්තිමත් කරයි. මෙවැනි ප්‍රතිපත්ති සමූහයක් ඉදිරියට ගෙන ගිය හොත් ලැබෙන ප්‍රතිපල කුමන ආකාරයේ විය හැකිද?

  • මැදපෙරදිග දැන් පවතින ආරවුල් ඉක්මනින්ම අවසන් වනු ඇත. රුසියාව සහ ඇමරිකාව එකතු වී ඔවුන්ට ඇති යුධ බලය සහ මිත්‍ර රටවල් මත ඇති බලය පාවිච්චි කල විට මූලධර්මවාදීන්ට සහ අනෙකුත් ත්‍රස්තවාදීන්ට කිසිඳු ඉඩක් නැත්තේය. මේ ලඟකදී රුසියාවේ ඩූමාහි අන්තර්ජාතික කටයුතු පිළිබඳ ප්‍රධානියා CNN සමග කල සාකච්ඡාවකදී මේ බලාපොරොත්තුව පැහැදිලිව පෙනුනි.  
  • ඇමරිකාව තුල පුද්ගලික ව්‍යාපාර වලට වැඩි පහසුකම් ලබාදීම. බොහෝ නව නිපයුම් ඇති වී සියලු ජනයාට එයින් මහත් ප්‍රයෝජන ලැබෙනු ඇත. 
  • ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය ඉහල යනු ඇත. මෙයින් අප වැනි ඇමරිකාවට අපනයනය කරන්නන්ට, විශේෂයෙන්ම ඇඟලුම් වැනි පාරිභෝගික ද්‍රව්‍යයන්, මහත් වාසි ගෙන දෙනු ඇත. 
  • ඇමරිකාව මැක්සිකෝව වැනි අසල්වැසි රාජ්‍යයන් සමග ඇතිකර ගෙන තිබූ ද්වී පාක්ෂික සහ බහු පාක්ෂික වෙළෙඳ ගිවිසුම් නිසා එම තදාසන්න රාජ්‍ය වලට ගිය ආයෝජන කොටසක් ආසියාවටත් එන්නට ඉඩ තිබේ. 
  • ඇමරිකාවේ රාජ්‍ය වියදම් අඩු වීමෙන් සහ බඳු අඩු වීමෙන් මධ්‍යම පන්තියට වැඩිපුර පාරිභෝගික ද්‍රව්‍ය සදහා වියදම් කිරීමට මුදල් අත ගැවසෙනු ඇත. මෙයත්අප වැනි රටවලට වාසිදායක වනු ඇත. 
  • අපට ඇතිවිය හැකිව තිබූ ජිනීවා ගැටලුව අහන්නට වත් නොලැබෙනු ඇත. මක්නිසාද ඒවාට උල් පන්දම් දෙන ඊනියා bleeding heart ලිබරල් වාදීන් දැන් බලයේ නැති හෙයිනි. 
  • තවමත් විනාශ වුනු එල්.ටී.ටී.ඊ. යට කෙසේ හො පණ දිය යුතු යැයි සැලසුම් කරන ඩයස්පෝරා කොටස් නිශ්ශබ්ද වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ආතපාලුවන් ගෙන් මුදල් ආධාර ලබා ගත්තේ නැත. 
  • ඇමරිකාවට ඇතුල්වීමට මීට වඩා පැහැදිලි එමෙන්ම ක්‍රමවත් පද්ධතියක් ඇති කිරීමෙන් ඇත්තෙන්ම යම් අවශ්‍යතාවයකට ඇමරිකාවට යන අයට පහසු වනු ඇත. 
  • හාවාත් දඩයම් බල්ලාත් යන දෙදෙනාම සමග දුවන මැදපෙරදිග රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුට එය කිරීම අපහසු වනු ඇත. 
  • ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන තෙක් ට්‍රම්ප් ඇමරිකාවේ කිසිම දේශපාලන අත්දැකීමක් ලබා නැත්තේය. මොහුගේ මෙම සාර්ථක අත්හදා බැලීමෙන් වෙන බොහෝ රටවල මෙවැනි පුද්ගලයින් දේශපාලනයට ඒමට  ධෛර්යයක් ලැබීමට හේතු විය හැක.
  • මේ සියල්ලටම වඩා මේ අන්තවාදී ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් වූ විට සපත්තු මේස් නොගලවා අපට ගුවන් යානාවකට ගොඩ වන්නට ඉඩ ලැබෙනු ඇත. 




        

Sunday, November 20, 2016

ජාතියට පාඩුකර ජාති හිතෛශ්‍රීන් වීම.







ලංකාවේ දේශපාලඥයන් මෙන්ම බොහොමයක් ජනතාව රටේ සියලු ව්‍යාපාර සහ සේවාවන් රජයෙන්ම කරනවාට කැමැත්තක් දක්වති. ඉන්පසු ඒවායින් පාඩු ලැබූ විට, දූෂණය ඒවායේ රජයන විට සහ බලාපොරොත්තු වූ සේවාවන් ඉටුවන්නේ නැති විට රජය කරවන තමන් විසින් ඡන්දයෙන් පත් කරන ලද දේශපාලඥයිනට බැණ වදී. අනේ අපොයි කියති.

රජයෙන් කලමනාකරණ ව්‍යාපාර, ලංගම, දුම්රිය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මිහින් ගුවන් සේවය, ජනසතු කරන ලද වතු, උපයෝගිතා සේවාවන්, සියල්ලන්ගෙන්ම සිදුවන්නේ පාඩුය. රුපියල් 10/15 පාඩු නොවේ. බිලියන ගණනේ පාඩුය. මෙම පාඩු යම් කෙනෙකු මුදලින් පියවිය යුතුය. එසේ පියවන යම් කෙනා අප වෙමු. එසේ නැතිව මෙම පාඩු මකා ගැනීමට මුදල් දීමට වෙනත් කවුරුත් නැත්තේය.

මෙලෙස පාඩු ලබන ව්‍යාපාර කරන්නට ගොස් වන අතිමහත් අලාභ නිසා ඒවා පියවා ගැනීමට අවුරුදු පතා අපි දමන්නේ අපගේ ජාතියේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යොදවන්නට තිබෙන මුදල්ය. මෙවැනි ව්‍යාපාර තව දුරටත් කලයුතුය, මේවා රජයට වඩා ඉතාමත් කාර්යක්ෂම ලෙස ව්‍යාපාර කරන පුද්ගලික කලමනාකරණයට නොදිය යුතුය යනුවෙන් කෑ ගසන දේශපාලඥයින් ඇත්තෙන්ම මේ කරන්නේ ජාතිය දවසින් දවස වලපල්ලට රැගෙන යාම නේද?

පුද්ගලික ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය රජයේ ව්‍යාපාර හා සසඳන කල්හි කොතරම් දැයි බලන්නට එතරම් ගැඹුරට හාරා මහන්සි වෙන්නට ඕනෑ නැත. දඹුලු පාරේ ත්‍රීකුණාමලයට යන විට හමුවන සී.අයි.සී. ගොවිපල සහ ඒ අවට තිබෙන රජයේ ගොවිපල දෙස වරක් බැලීමම ප්‍රමාණවත්ය. එම ගොවිපලවල් දෙකක (රජය සහ සීඅයි.සී.) සත්‍ය සහ තාත්වික ක්ශේෂ පත්‍රයන් සාදා සන්සන්දනය කලහොත් අපට නැවත රජයේ ගොවිපලක් දෙස බලන්නටවත් සිත් නොදෙනු ඇත.

මෙලෙස ජාතියට අයත් සම්පත්; ඉඩම්, ජලය, යනාදිය අකාර්යක්ෂමව පාරිභෝජනය කිරීම ජාතියට පාඩු දෙකක් සිදුවේ.

එයින් සිදුවන පාඩුව මකා ගැනීමට මුදල් නිරපරාදේ යෙදීමට සිදුවේ.

අකාර්යක්ෂමව සම්පත් පාවිච්චි කිරීමෙන් ඒ සම්පත් වලින් ලබාගත හැකි උපරිම පලය ලබාගත නොහැකි වේ.

මේ පිළිබඳව සොයා බලන්නට මම යම් ව්‍යාපාරයක් රජයෙන් කලමනාකරණය කිරීම හා පුද්ගලික අංශයෙන් කලමනාකරණය කිරීමේ වාසි සහ අවාසි ලගු ගතකර බලන්නට සිතුවෙමි. පහතින් තිබෙන්නේ එලෙස මා විසින් සාදන ලද වගුවයි. බ්ලොග්වල ලගු ඇතුලත් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව පෙනේ. එහෙයින් ලැයිස්තු ගත කරන්නට සිදු විය.   








වාසි

රජයේ:- 

අපිට අයිති යන හැඟීමෙන්  පොඩි කික් එකක් ලැබේ.

පුද්ගලික:-


  1. ජනතාවගේ මුදල් යෙදවීමට අවශ්‍ය  නැත. 
  2. පාඩු වුවහොත් ජනතාවගේ මුදල් දැමීමට අවශ්‍ය නැත. 
  3. වෙළෙඳපොල තරඟකාරිත්වය අනුව මිළ නියම වේ.
  4. පාඩු සිදු වූ විට ඒවා දරා විඳදරා ගත යුත්තේ ව්‍යාපාරය කරන්නන්ය. අහිංසක පොදු ජනයා නොවේ.  
  5. වර්ෂය අවසානයේ ක්ශේෂ පත්‍රයක් බලන්නට පුලුවන. 
  6. ඔවුන් ලාභ උපයාගත් විට රජයට සමාගම් බඳු මුදල් රටේ සංවර්ධනයට ආයෝජනය කල හැක. 
  7. අයිතිකරුවන් හෝ සමාගම කලමනාකරණයට සහ රැකියාවලට සුදුසුම පුද්ගලයන් පත් කරයි.
  8. සේවකයන් ත්‍යාග ලබන්නේ ඔවුන්ගේ දක්ෂතාවයන් අනුවය. 
  9. පාරිභෝගිකයන්ට කාරුණික නොවූවහොත් ලාභ අඩුවේ. 
  10. ලාභ අරමුන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ දීමට කටයුතු කරයි. 
  11. තීරණ ගැනීමේදී දේශපාලඥයන්ගේ බලපෑම් අවමය. 
  12. වෙළෙඳපොල අවශ්‍යතාවයන් අනුව ඉක්මනින් වෙනස් වන්නට පුලුවන. 
  13. අන්තර් ජාතික තරඟ වලට සාර්ථකව මුහුණ දේ.


අවාසි

රජයේ:-

  1. යෙදිය යුත්තේ ජනතාවගේ මුදල්ම පමණි. 
  2. පොදුනීති හා ප්‍රතිපත්ති මෙම ව්‍යාපාර වලට බලපාන්නේ නැත. (ලංගම - ඉකෝ ටෙස්ට්) 
  3. නිතරම වර්ජන ඇතිවේ. 
  4. පාඩු විදිය යුත්තේ පොදු ජනතාවය.
  5. ක්ශේෂපත්‍රයක් බැලිය නොහැක. 
  6. බොහෝ විට වන්නේ පාඩු නිසා මෙය එතරම් අදාල නොවේ. 
  7. නුසුදුස්සන්, දේශපාලන හෙන්චයියන් සහ නෑදෑ හිතවතුන් කලමනාකරණය සදහා පත්කෙරේ.
  8. සේවකයන් ත්‍යාග ලබන්නේ පන්දම්වල එළිය මතය. 
  9. පාරිභෝගිකයන්ට කාරුණික වීමට ප්‍රේරකයක් නැත්තේය.  
  10. ලාභ සදහා උනන්දුවක් නැති නිසා පාරිභෝගිකයන් ගැනද උනන්දුවක් නැත. 
  11. තීරණ ගැනීමේදී දේශපාලඥයන්ගේ බලපෑම් උපරිමය. 
  12. වෙළෙඳපොල අවශ්‍යතාවයන් අනුව ඉක්මනින් වෙනස් නොවන්නට පුලුවන.  
  13. ඉහත බොහෝ කරුණු නිසා අන්තර් ජාතික කරුණු වලට මුහුණ දීමට නොහැක. 


පුද්ගලික:-

ධනවතුන් මුදල් හම්බකර ගන්නවායැයි පොඩි ඊර්ෂියාවක් ඇතිවේ. 


මෙතරම් පැහැදිලිව වාසි අවාසි පෙනෙද්දී ව්‍යාපාර රජයෙන් කල යුතුය, මේ දේශීය සම්පත් පුද්ගලික අංශයේ කලමනාකාරිත්වයට ලබාදීම දේශ ද්‍රෝහී ක්‍රියාවකි, යනුවෙන් පවසමින් දේශපාලඥයන් ජනතාව මුලා කරන්නේ ඇයි? 

අපි හැමදාම දුප්පත්ව තබා ගැනීමටද?  


 

                               



Saturday, November 19, 2016

ටැබ් දීමේ ආදීනව; God created man but Samuel colt made them equal.











ටැබ් දීමේ ආදීනව.

උසස් පෙළ ශිෂ්‍යයන්ට නොමිලේ ටැබ් ලබාදීම පිළිබඳව නොයෙකුත් කතාබහ තැන තැන මේ දිනවල දක්නට ලැබේ. කොටසක් එම ක්‍රියාව අගය කරන අතර, තවත් කොටසක් එය වැඩකට නැති දෙයක් යැයි පෙන්නන්නට නොයෙකුත් හේතු ඉදිරිපත් කරති. මේවා කැඩුනාම හදන්නේ කෙසේදැයි කෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා මැ දැක්කෙමි. එවැනි තුනී හේතු දක්වා මෙම බෙදා හැරීමට විරෝධය පල කිරීම ඇත්තෙන්ම පුදුම සහගතය.

මක්නිසාද එතරම් විශාල ටැබ් ප්‍රමාණයක් සමාජ ගත වූ විට ඒවා නඩත්තු කිරීමට සහායක සේවාවන් ඕනෑ තරම් ඇති වෙනවා පමණක් නොව ඇත්තෙන්ම එම සාධකය ටැබ් ලබා දීමෙන් ජාතියට වන එක් වාසියකි.

ගිය වර අ.පො.ස. උසස් පෙළ සිසුන් 250,000 පමණ පෙනී සිට ඇත. ඒ කියන්නේ දැන් ඒ පන්ති දෙකේ සිසුන් 500000 පමණ සිටින බවය. එලෙසම සෑම අවුරුද්දකම සිසුන් 250,000 මෙම ටැබ් ජනගහනයට එකතු වන බවය.

මෙලෙස ටැබ් ලබා දීමෙන් ලැබෙන වාසි මොනවාදැයි බලමු.

  • රටේ සෑම තැනම අ.පො.ස. උසස් පෙළ ඉගෙන ගන්නා ළමයින්ට පරිගණකයක් ලැබීම. 
  • තමන්ගේ දරුවන්ට ටැබ් මිලදී ගන්නට පුලුවන් දෙමව්පියන්ගේ දරුවන්ට පමණක් නොව සෑම උසස් පෙළ දරුවෙකුටම මෙය ලැබීමෙන් පන්ති පරතරය අඩු තරමින් මේ පැති තලයෙන් වත් ඉවත්වීම. (God created man but Samuel colt made them equal.) 
  • ඕනෑම උසස් පෙළ සිසුවෙකුට ගූගල් සර්ච් එකකට යෑමට පුලුවන් වීමෙන්ම ලෝකයේ තිබෙන විශාල දැනුම එකතුවට ප්‍රයෝජනය ගන්නට හැකියාව ලැබීම. 
  • ප්‍රශ්න අසමින් වැරදි උත්තර සාකච්ඡා කරමින් හෝ හරි උත්තරයක් සොයා ගැනීමට හෙට පාසැලට යනතුරු බලා සිටීමට අවශ්‍ය නොවීම. 
  • අතිරේක පොත්පත් මිළදී ගැනීමට ඇති අවශ්‍යතාවය අවම වීම. 
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙබ් සයිට් එකක් ආරම්භ කර එයින් සිසුවන්ට අවශ්‍ය සියලු දෑ බෙදා හැරීමෙන් සිසුන්ට, විශේෂයෙන්ම ගම්බද සිසුන්ට බොහෝ දුර හා මුදල් ගෙවා ටියුෂන් සදහා නගර වලට පැමිණීමට ඇති අවශ්‍යතාවය අවම කිරීම. 
  • අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ඒවාට ආදර්ශ උත්තර මෙම වෙබ් සයිට් එකේ තැබීමෙන් සෑම සිසුවෙකුටම සමාන මට්ටමේ අවස්ථා ඇතිවීම. 
  • රජයට නොමිලේ දෙන පෙල පොත් E පොත් ආකාරයෙන් බෙදා දීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්නට හැකි වීම. 
  • පෙල පොත් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ලබා දීමෙන් (audio books) දෘශ්‍ය ආබාධිත සිසුන්ට මහත් පහසුවක් වීම. 
  • සෑම අවුරුද්දකම පොත් ලබා නොදීමෙන් ගස් ලක්ෂ ගණනක් ඉතිරි කර ලෝක පරිසරය ආරක්ෂා කර ගැනීමට මහගු සේවයක් කල හැකිවීම. 
  • එලෙස මෙතෙක් කල් විනාශ වූ ගස් ඉතිරි කිරීමෙන් සිදු වන පරිසර සේවයට රජයට කාබන් ක්‍රෙඩිට් සදහා ඉල්ලුම් කරන්නට හැකිවීම. 
  • අ.පො.ස. සාමාන්‍ය පෙල පන්ති වලදී සිසුනට විභාගය හොඳින් සමත් කර උසස් පෙල අධ්‍යාපනයට යාමට ටැබ් එක කදිම උත්ප්‍රේරකයක් වීම. 
  • ටැබ් එකේ මූලික කැමරාවක්ද ඇති කිරීමෙන් රටේ සෑම උසස් පෙල සිසුවෙකුටම ඔවුන්ගේ විදුහල්වල ප්‍රශ්න යනාදිය අමාත්‍යාංශය වෙත කෙලින්ම ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබේ. 


මේ සම්බන්ධයෙන් අපට සිතිය හැකි අවාසි කිහිපය පහත පරිදිය. 

  • ඔවුන් අන්තර් ජාලය නරක දෑ සදහා පාවිච්චි කිරීම; මෙය හරියට සිසුන් පෙම් හසුන් ලියාවි යැයි සැකකර පෑනක් නොදීම වැනි අදහසකි. 
  • අති විශාල වියදම; මෙවැනි ටැබ් 500000 ක් පමණ ටෙන්ඩර් කර එකවර මිළදී ගන්නා විට මට හැඟෙන විදිහට රුපියල් 7500 කට පමණ එකක් මිළදී ගන්නට පුලුවන. මහපොල ශිෂ්‍යාධාර හා සසඳන විට මෙය එතරම් අධික වියදමක් නොවේ. හරියට පැහැදිලි කලහොත් ගේට් පදනම වැනි පදනමක් මෙවැනි දේකට උදව් කරන්නට ඉදිරිපත් වන්නට පුලුවන. 
  • ටියුෂන් විනාශ වීමේ ආරම්භය මෙය විය හැක; රැකියා විශාල ගණනකට බලපෑම් ඇතිකල හැකි වුවද ලැබෙන සාධනීය ප්‍රතිපල දෙස බලන විට මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ.        


මේ සියල්ල සලකා බලන විට ඇති නැති පරතරය අඩු කිරිමට මෙය හොඳ පියවරක් බව අපට පෙනේ. සමාජවාදී යැයි කියා ගන්නා පක්ෂවල අය ඇත්තෙන්ම මේ සදහා ඉතා උනන්දුවෙන් උදව්කල යුතු යැයි මට සිතේ.  

Saturday, November 12, 2016

ජනතාවට ජලය විකිණීම; වෙළෙඳ ඒකාධිකාරයන් හැසිරිය යුත්තේ කෙසේද?





ලංකාවේ නිවෙස් වලට බට වලින් ජලය බෙදා හැරීම සදහා බලය ලත් එකම ආයතනය ජාතික ජල ප්‍රවාහන මංඩලයයි. මේ නිසා ජල ප්‍රවාහන මංඩලය මොනෝපොලියක් එසේත් නැත්නම් වෙළෙඳ ඒකාධිකාරියක් බවට පත්වේ. 

තරඟකාරී වෙළෙඳපොලක යමෙක මිල වැඩි කරන්නට පෙර සිතන්නට දෑ බොහෝ තිබේ. විශේෂයෙන්ම මිළ වැඩි කලහොත් තමන්ගේ තරඟ කරුවන්ගේ නිෂ්පාදන විසින් තමන්ට මෙතෙක් තිබූ වෙළෙඳපොල අල්ලා ගැනීමට ඉඩ තිබෙන බව ඔවුන් විසින් සිහියේ තබාගත යුතුය. අනෙක තමන් ඕනෑවට වඩා තමන්ගේ නිෂ්පාදනයේ මිළ වැඩිකල හොත් ආදේශකයන් වෙළෙඳපොලට පැමිණ තමන්ගේ නිෂ්පාදනයන්ට ඇති වෙළෙඳපොල සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ ඇති බවත් ඔවුන් මිළ ගණන් වැඩි කිරිමේදී සිහි තබාගත යුත්තේය. 

එහෙත් වෙළෙද ඒකාධිකාරියක් රජයෙන්ම ලබා දී ඇති ජාතික ජල ප්‍රවාහන මංඩලය වැනි ආයතනයකට තමන්ගේ නිෂ්පාදනයේ මිළ වෙනස් කරන විට මෙවැනි කිසිම සාධකයක් සලකා බැලීමට අවශ්‍යතාවයක් නැත්තේය. මන්ද ඔවුන් සමග සිටින පාරිභෝගිකයාට මෙම ආයතනය කියන ගණනකට එම නිෂ්පාදන මිළදී ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති හෙයිනි. 

එහෙත් මෙවැනි වෙළෙඳපොල ඒකාධිකාරයක් යම් ආයතනයකට රජය විසින් ලබාදෙන විට එම ආයතන වලට විශේෂ වගකීමක් පැවරේ. ඒ පාරිභෝගිකයාට තත්වයෙන් හොඳම නිෂ්පාදනයක් ලබාදිය හැකි අඩුම මිළට ලබාදීමයි. ආයතනය රජයට අයිති නොවන ආයතනයක් නම්; බටහිර රටවල ඇති Utility ආයතන වැනි, ඔවුනට එම ඒකාධිකාරී තත්වය ලබාදීමට පෙර එලෙස පාරිභෝගිකයාට හොඳම සේවයක් ලබාදීමට හැකි වන පරිදි ගිවිසුමකට එලබේ. එවිට ඔවුන්ට ජලය, විදුලිය හෝ ගෑස් මිළ වෙනස් කල හැක්කේ මුල් ගිවිසුමෙහි ගිවිසුම් ගතව ඇති සමීකරණයකට අනුවය. බොහෝ විට මෙම මිල වැඩි කිරීම් කල හැකි වන්නේ රටෙහි වැටුප් වැඩිවීම්, වෙළෙඳපොලෙහි ඩීසල් මිළ වැඩිවීම වැනි ඔවුන්ගේ නිෂ්පාදන වියදම වැඩිවන සාධක යන්හි මිළ වැඩි වුවහොත් පමණි. 

ඊයේ ලංකාවේ කරන ලද 30%  ක ජල මිළ වැඩි කිරීම මෙවැනි ජාත්‍යන්තරව සිදු කරන ඒකාධිකාරයන්හි, විශේෂයෙන්ම උපයෝගීතාවයන්ගේ මිළ වැඩි කිරීමේ සාධාරන ක්‍රමයන්ට වඩා බොහෝ වෙනස්ය. 

වතුර බිල 30% කින් වැඩි කල බව ප්‍රවෘත්ති නිවේදනයකින් ජනතාවට දන්වයි. ඉන්පසු හදිසියෙන්ම නින්දෙන් අවදි වූවාක් මෙන් සභාපතිවරයා රූපවාහිනියට පැමිණ ජල ඒකකයක් නිපදවීමට රුපියල් 46 ක් වියදම් වන බවත්, මේ මිළ වැඩි කරන්නේ අවුරුදු 3 කට පසුව බවත් බොහෝ ආපාතිකව අපට දන්වයි. දැන් අපි ඔහුගේ පැහැදිලි කිරීම පිළිගෙන එන මාසයේ සිට 30% ක් වැඩියෙන් ජල බිල්පත් ගෙවිය යුතුය. 

නමුත් ඔහු මේ කියන අවුරුදු 3 නේ කතාව හෝ රුපියල් 46 කතාව ජලයේ මිල වැඩි කිරීමට කිසිම විදිහකින් හේතුවක් නොවේ. 

ජලය නිපදවා බෙදා හැරීමට ගන්නා මූල ද්‍රවය හා සේවාවන්ගේ පිරිවැය වැඩි වී ඇත්තේ කෙසේදැයි ඔහු අපට පෙන්වා දිය යුතුය. පසුගිය අවුරුදු 3 න ඇතුලත එම සේවා සහ භාණ්ඩ මිළ වැඩි වූයේ කෙසේදැයි පැහැදිලි කල යුතුය. ජලය ඒකකයකට වැය වන එම රුපියල් 46 බෙදී යන ආකාරය අපට පෙන්වා දිය යුතුය. 

මක්නිසාද ඔවුන් ජලය විකුනන්නේ හරකුන්ට නොවන බැවිනි.  

  ජනතා audit ඵකකට කාලය උච්ත බව පෙනේ  

Wednesday, November 9, 2016

ඇමරිකානු ඡන්දයෙන් උගත හැකි කරුණු කිහිපයක් උණු උණුවේම.







ඇමරිකානු ඡන්දය අද අවසන් විය. බොහෝ පණ්ඩිතයන්ගේ අනාවැකි බොරු කරමින් බොනල්ඩ් ජේ ට්‍රම්ප් ජනාධිපති බවට පත්විය. (මුල් නම, මැද නම සහ අග නම පිළිවෙලට තිබේ.) මේ ඡන්දයෙන් සහ එහි ප්‍රතිපලයෙන් බොහෝ සිත් ගන්නා කරුණු සහ වෙනත් දේශපාලන පක්ෂ විසින් ඉගෙන ගතයුතු බොහෝ කාරණා තිබේ. 

  1. ප්‍රධාන පක්ෂයේ උදව් නොමැතිව අපේක්ෂකයෙකුට ඕනෑම මැතිවරණයක් ජයග්‍රහනය කල හැකිය. ජුලියානි හැරෙන්නට ට්‍රම්ප්ට කිසිම රිපබ්ලිකන් පක්ෂ නායකයෙකු උදව් කලේ නැත. 
  2. ඡන්දයකදී වැදගත් වන්නේ ඡන්ද දායකයන්ට දෙන පණිවිඩයේය. 
  3. වේදිකාවට බයිලා කාරයන් අරගෙන ඒමෙන් වැඩක් නැත. ලේඩි ගාගාටත් බැරිනම් අනෙක් බයිලා කාරයන් ගැන කියනුම කවරේද?
  4.  හිටපු සහ ඉන්න ජනාධිපතිවරු වේදිකාවට ගෙන ඒම ඡන්ද අඩුකර ගැනීමට වට්ටෝරුවකි. ඔබාමා වාර විසි ගණනක් හිලරිගේ රැස්වීම්වල කතා කළේය. 
  5. කාන්තාවක් ඡන්දය ඉල්ලන විට කාන්තාවන් ඡන්දය දෙයි කියා සිතීම මුලාවකි. කාන්තාවන් වැඩිපුර ඡන්දය දෙන්නේ රට හොඳින් පාලනය කල හැකි යැයි සිතන පුද්ගලයාටය. 
  6. විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඡන්ද ප්‍රතිපල ගැන කියන අනාවැකි බොහෝ විට බොරු වෙයි. ට්‍රම්ප්ට විරුද්ධව CNN එකේ වැඩියෙන්ම ගෙනාවේ ප්‍රින්ස්ටන් වගේ ලොව සුපිරි විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුය. ඡන්දදායකයන් කිසිවෙකු ඒවා අසා නැති බව පෙනේ. 
  7. දේශපාලන පලපුරුද්ද දැන් අළුත් දේශපාලනයේ නුසුදුසු කමකි. හිලරිගේ අවුරුදු තිහේ පලපුරුද්දට වඩා ඡන්දදායකයන් පිළිගත්තේ තමන් විසින්ම ව්‍යාපාරයක් දියුණු කරගත් ට්‍රම්ප්ටය. 
  8. කුඩා ජාතීන් සතුටු කර ඡන්ද දිනන්නට බැරිය. කලයුත්තේ සියලු දෙනාටම ගැලපෙන පණිවිඩයක් ඉදිරිපත් කිරීමය. 
  9. ඕනෑවට වඩා අවශේෂ ජාතීන් සහ වර්ග සතුටු කරන්නට යාම භයානකය. 
  10. ඕනෑවට වඩා මාධ්‍ය මිතුරන් ගෙන් උදව් ලබා ගැනීම පරාජයට මඟ පෙන්වයි. මිනිස්සු මාධ්‍යවලින් ඔවදන් අහන්නට කැමති නැත. මාධ්‍ය කලයුත්තේ ස්වාධීනව තොරතුරු සහ ප්‍රවෘත්ති වාර්තා කිරීමයි. CNN හි ආධිපත්‍යයක ආකල්ප ටික කලකින් ඡන්දදායකයන්ට අප්‍රියජනක වේ.
  11. කොණ්ඩා සැකසුම ඡන්දය ඉල්ලීමේදී වැදගත් කරුණක් නොවේ. ඩයි කළයක් විතර නාගෙන ඡනදදායකයන් රවටන්නට ඕනෑ නැත. ට්‍රරම්ප්ගේ කොණ්ඩය ගැන බොහෝ දෙන විහිළු කලහ.        
  12. ඡන්ද ව්‍යාපාර සදහා වැඩිපුර මුදල් තිබීම ජයග්‍රහනයක් ලැබීමට හේතුවක් නොවේ. ඔක්තෝබර් මස 19 වෙනිදා වන විට හිලරි ඩොලර් බිලියන 1.3 ක් ඡන්දය සදහා එකතුකර ගැනීමට සමත් වූ අතර, ට්‍රම්ප්ට එකතුකර ගත හැකි වූයේ ඩොලර් මිලියන 795 කි. 
  13. මුල්වර ඡන්දය ඉල්ලද්දී බබාලා වඩා ගැනීම ප්‍රයෝජනවත් බව පෙනේ. දෙවෙනි තුන්වෙනි වාර වලදී එය එතරම් ප්‍රයෝජනයක් නැති බව අප මීට පෙර දැක ඇත. 
  14. ඡන්ද අපේක්ෂකයාගේ දක්ෂකම් හා අත්දැකීම් වලට වඩා ඡන්දයකදී වැදගත් වන්නේ ඔහු හෝ ඇය ජයග්‍රහණය කලහොත් ඔහු ක්‍රියාත්මක කරන්නට යන ප්‍රතිපත්ති වලින් ඡන්දදායකයන්ට සහ රටට ලැබෙන ප්‍රයෝජනයි. කාන්තාවක් හෝ වෙනත් සුළුතරයේ සාමාජිකයෙකු වීම පමණකින්ම කාන්තාවන් සහ සුළුතරය සියයට සියයක් තමන්ට ඡන්දය දිය යුතු යැයි සිතීම පරාජයට මුල්වේ.මේ දෙදෙනාගේ ඡන්ද ව්‍යාපාරවල තිබූ ප්‍රධානතම වෙනස මෙය වෙයි. 
  15. තමාගේ විරුද්ධවාදියාගේ අඩුපාඩු පෙන්වීමට වඩා, ඡන්ද ලබා ගැනීමට ඉවහල් වන්නේ තමා ඡන්දය ජයග්‍රහණය කලහොත් ඡන්දදායකයන්ට සහ රටට ලැබිය හැකි වාසිදායක ප්‍රතිපල පෙන්වා දීමෙනි.  ට්‍රම්ප්ගේ ටේප් එක සහ වරින් වර කාන්තාවන් දුසිමක් පමණ ට්‍රම්ප් තමන්ට දෙසට අපචාරාත්මකව හැසිරුනු බවට ඡන්දයේදී වරින් වර ප්‍රකාශ කලද එයින් කිසිම ප්‍රයෝජනයක් වූයේ නැත. 
  16. අවස්ථාවට උචිත වන පරිදි දක්ෂිණාංශික ධනවාදී පක්ෂයකට වාමාංශික ලිබරල්වාදී පක්ෂයකට වඩා ප්‍රගතශීලී විය හැක්කේය. ට්‍රම්ප් ධනවාදී දක්ෂිණාංශක රිපබ්ලිකන් පක්ෂයෙන් පෙනී සිටියද ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති හිලරිගේ ප්‍රතිපත්ති වලට වඩා නවතාවයකින් හා කාර්යක්ෂමතාවයකින් යුක්ත විය.        

Monday, November 7, 2016

හොරබඩු ජාවාරමට භූගෝලීය හා ආර්ථික පිහිටීමකින් ප්‍රයෝජන ගැනීම.







1982 මම යාපනය අර්ධද්වීපයේ වයඹ කෙලවරට වන්නට පිහිටා ඇති කරෙයිනගර් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර නම් වූ නාවික කඳවුරේ (තම රටට පැමිණ රට අල්ලාගෙන පසුව යුද්ධයකින් පරාජය කල ආක්‍රමණිකයෙකුගේ නමින් පිහිටුවා ඇති ලෝකයේ ඇති එකම හමුදා කඳවුර වන්නට පුලුවන.) නිලධාරියෙකු ලෙස සේවය කලෙමි.

 මෙකල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හොර බඩු ජාවාරම අධික ලෙස සිදුවිය. මෙම ජාවාරම සිදුවූයේද අනෙකුත් ආර්ථික සබඳතා මෙන් ඉල්ලුම් සහ සැපයුම් න්‍යාය අනුවය. සාමාන්‍යයෙන් 1977 ජේ.ආර්.ජයවර්ධන රජය පැමිණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන තෙක් ඉන්දියාවේ සහ ලංකාවේ ආර්ථික එකම ආකාරයට තිබුණි. ඒ පිටත ලෝකයත් සමග සම්බන්ධතා සම්පූර්ණයෙන්ම වාගේ නවත්වා තමනට අවශ්‍ය දේ තමන්ම සාදා ගත යුතු යැයි සිතා සම්පූර්ණයෙන්ම රටේ සංවෘත ආර්ථිකයක් පවත්වා ගැනීමයි. අන්තර් ජාතික ආර්ථික තරඟයෙන් ඉවත් වී එක තැන පල්වෙන ආර්ථික දිවයින් තත්වයට අප රටවල් පත්වීම එහි ප්‍රතිපලය විය. 

1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයක් ඇතිකල පසුත් ඉන්දියාවේ මෙම දරදඬු ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන ගිය අතර, මේ නිසා 80 ගණන් වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලේ කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි නොයෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සුලභ වූ අතර ඉන්දියාවේ මේවාට කළු කඩයේ බලවත් ඉල්ලුමක් තිබුනේ නීතියානුකූලව එවැනි දෑ ඉන්දියාවට ගෙන ඒමට නොහැකි වන ලෙස තද නීති ක්‍රියාත්මක වූ නිසාය. 

දැන් සැතපුම් 15 ක් මුහුදු තීරයක දෙපැත්තේ වෙළෙඳ පොල අති මහත් විභවයක් ඇති වී තිබේ. එක් පැත්තක අතිශය ඉල්ලුමක් සහිත හිඟ භාණ්ඩය, සැතපුම් 15 ක මුහුදු තීරයෙන් එහා නිදහසේ මිළදී ගන්නට හැකිය. මිළ වෙනස භාණ්ඩයේ වටිනාකම මෙන් 4/5 ගුනයක් වෙයි. හොර බඩු ජාවාරමකට ඇණවුම් කර සාදන ලද සන්නිවේශයක් මෙන් විය. 

ලංකාව විදුලි උපකරන සදහා ඉන්දියාවේ කොතරම් ප්‍රසිද්ධව සිටියේද යන්න පෙන්වීමට හොඳම උදාහරණයක් වරෙක අපට ඉන්දියාවේදී සිදු වූවා මට මතකය. අපි නිලධාරීන් දස දෙනෙකු පමණ වර්ෂයක පමණ තාක්ෂණික පුහුණුව සදහා ඉන්දියාවට ගොස් සිටියෙමු. මෙම වර්ෂයෙන් වැඩි කාලයක් අප ගතකලේ කේරලයේ කොචින් (කොච්චි) නගරයේය. අපි එහිදී පාවිච්චි කිරීමට පාඟන බයිසිකල් මිළට ගෙන රාත්‍රියේ ගමන් කිරීම සදහා බැටරි දෙකක් ඇතුලට දැමිය හැකි කුඩා ප්ලාස්ටික් කොටු හැඩය ඇති බයිසිකලයේ ඉදිරියට ක්ලිප් කල හැකි ටෝච් වර්ගයක් මිළදී ගත්තෙමු. මේවා එකල ඉන්දියවේ එතරම් ප්‍රචලිත නොවූ අතර, ඉන්දියාවේ නිෂ්පාදන වලට වඩා නවීන පෙනුමක් ගත්තේය. 

අප දෙදෙනෙකු කොචින්වල ටිකක් ඇතුලට ගමකට ගොස් තේ බීමට කඩයක් ලඟ නවත්වා සිටිද්දී, අප ශ්‍රී ලංකාවේ බව දැනගත් එතන සිටි පිරිස් සතුටු සාමීචියේ යෙදී සිටියදී, කෙනෙකු මේ විදුලි පන්දම් දැක මේවා ශ්‍රී ලංකාවේ සිට රැගෙන පැමිණියේ දැයි ඇසුවේය. අපි ඔව් කිවූ විට ඔහු ඒවා මිළදී ලන්නට කැමැත්ත පල කළේය. අපි කොචින් වලින් ගත් මුදල මෙන් දෙගුනයකට ඒවා ඔහුට විකුණා කලුවරේ හෙමින් හෙමින් කොචින් නගරයට බයිසිකල් පැද පහුවෙනිදා අලුත් විදුලි පන්දම් දෙකක් කොචින් නගරයෙන් මිළට ගත්තෙමු.   
මෙම හොර බඩු ජාවාරම බොහෝ විට සිදුවූයේ යාපනය අර්ධද්වීපයේ උතුරු පැත්තේ මැද හරියේ පිහිටි වැල්වැටිතුරෙයි ප්‍රදේශය හා අර්ධද්වීපයේ හොම්බේ දකුණු පැත්තේ මන්ඩතිවූ දූපත් ආශ්‍රිතවය. 

මෙයිනුත් හොර බඩු ජාවාරම තදින්ම සිදුවූයෙත් එසේ සම්බන්ධීකරණය වූයේත් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සමූහයකිනි. එම ප්‍රදේශයේ වෙරළ අයිනේ නිවෙස් බොහෝ ගණනක මුහුදෙන් බෝට්ටුවකට කෙලින්ම ඇතුලට පැමිණ, ගේට්ටුව වසාගත හැකි ආකාරයේ කුඩා තටාකාංගන තිබෙන බව මා එකල ඇසූ බව මතකය. යුද්ධයෙන් පසු ඇත්තෙන්ම නටබුන් වූ එවැනි ස්ථාන මම දැක්කෙමි. වෙරළෙන් මොබ්බට මීටර් 100/200 ක් කොරල්පර මත විහිදී තිබුණු කුඩා ඇලවල් වැනි ජල මාර්ග කෘතීමව වැඩිදියුණු කිරීමෙන් මෙවැනි පෞද්ගලික තටාකාංගන සාදා තිබිණ. 

මෙම හොර බඩු ජාවාරමේ ධාවකය වූයේ ලංකාවේ වෙළෙඳ පොලෙහි නිදහසේ මිළදී ගන්නට තිබුනු ජපානයෙන් ආනයනය කරන ලද කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි වෙළෙඳ භාණ්ඩය. වෙඏඳම වූයේ  ලංකාවෙන් මිළදී ගත් මුදල මෙන් 5/6 ගුනයකට  ඒවා ඉන්දියාවේ ව්‍යාපාරිකයින්ට විකුණා ඉන්දියාවෙන් බීඩි කොළ හා සාරි මෙලෙස ලංකාවට රැගෙන ඒමය. ලංකාවට ගෙනෙන බඩු වලින්ද තුන් ගුනයක ලාභයක් ලැබුණා නම්, මෙලෙස දෙපැත්තෙන්ම ලැබෙන ලාභය බැලූ විට 15 ගුනයක් පමණ වන්නට පුලුවන. ඇත්තෙන්ම පුදුමය හොර බඩු ජාවාරම සිදුවීම නොව යාපනයේ වැසියන් සියලු දෙනා එය නොකිරිමයි.  

සාමාන්‍යයෙන් ලොකු ඩිංගියක මෙවැනි DVD ප්ලේයර් 50 ක් පමණද, කැසට් ප්ලේයර් 100/200 ක් පමණද අඩංගු වූ හෙයින් සෑම බෝට්ටුවකින්ම මිලියන් ගණනක් ලාභ ගන්නා ව්‍යාපාරයක් බවට මෙය පත්විය. 

මෙලෙස ඩිංගි යාත්‍රාවල මෙන් 4/5 ගුනයක ප්‍රමාණයක් වල්ලම් යාත්‍රාවල පැටවුන අතර, ඒවා මගින් හොර බඩු ජාවාරම් කෙරුනේ කලාතුරකිනි. සමහර විට ඒ ඒවායේ වේගය අඩු නිසාත්, රේඩාර් එකට පහසුවෙන් පෙනෙන නිසාත්, හදිසියකදී ලුහු බැන්දොත් වෙරළේ ඔවුනට යැමට හැකි ස්ථාන අඩු නිසාත්, අවධානම වැඩිවීම නිසාවෙන් වන්නට පුලුවන. 

මෙම ජාවාරම පිටුපස ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සිටියහ. වරක් මන්ඩතිවුහි එක් ව්‍යාපාරිකයෙකු තමන්ට නාවික හමුදාවෙන් අවහිර නැත්තේ නම්, මිට්ෂුබිසි රෝසා බස් රථයක් මුහුදෙන් ඉන්දියාවට ගෙන ගොස් විකුනන්නට හැකි බව ප්‍රසිද්ධියේ පවසා ඇති බවට අපට එකල ආරංචි විය. 
මෙම ව්‍යාපාරයේ අවධානම අඩුකර ගැනීමට කොටස් වෙළෙඳපොල වැනි ක්‍රමවේදයකුත් තිබුන බව එකල මට ඔත්තුකරුවන් ගෙන් අසන්නට ලැබුනු බව මතකය. මෙම ක්‍රමයේදී හොර බඩු බෝට්ටුවක් ඉන්දියාවට යවන්නට ලෑස්ති වන විට එහි මුලු වටිනාකම ගණන් සාදා එහි කොටස් සීයකින් එකක් මිළදී ගන්නට එම ප්‍රදේශයේ නොයෙකුත් පුද්ගලයන් වෙත ගොස් ආරාධනය කෙරේ. ඔහු එම කොටස රුපියල් 1000 කට මිළදී ගතහොත් යාත්‍රාව එම ගමන අවසන් කර නිරුපද්‍රිතව ආපසු පැමිණිය හොත් මුල් ආයෝජනය සදහා රුපියල් 5000 ක් පමණ ලැබේ. ලාභය 500% පමණ වෙයි. බෝට්ටුව අසුවුන හොත් ආයෝජනය වතුරේ යයි. මෙලෙස සාමූහික ආයෝජන හොර බඩු ජාවාරම් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිතර සිදු වූ බව මා අසා ඇත. බෝට්ටුවක් නිරුපද්‍රිතව පැමිණීමේ සම්භාව්‍යතාවය 50% ක් වුවත්, බෝට්ටු දෙකකට සල්ලි දැම්ම එක අසුවුවත් ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැත. 

මෙම හොර බඩු ජාවාරමෙන් නාවික හමුදා පුද්ගලයන්ටද වාසි නොතිබුනා නොවේ. හොර බඩු බෝට්ටුවක් අල්ලා ගත් විට එම අල්ලා ගත් පිරිසට විශාල ත්‍යාග මුදලක් අල්ලා ගත් හොර බඩු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙසට රජයෙන් ලැබීම එයට හේතුවයි. එහෙත් එක්වරම ලැබුනේ නැත. අල්ලා ගත් හොර බඩු වෙන්දේසි කර අවසානයේ ඒ මුදල යාත්‍රාවේ සිටි නිලධාරීන්ට හා නැවියන්ට ප්‍රතිශතයක්  ලෙස ලැබුණි. මුළු වටිනාකමෙන් 10% ක පමණ මුදලක් යාත්‍රාවේ අණභාර නිලධාරියාට ලැබුණු හෙයින් සමහර විට එක් අල්ලා ගැනීමකින් තමාගේ මාසික වැටුප මෙන් 10 ගුනයකටත් වඩා වැඩියෙන් මෙවැනි ත්‍යාග මුදලක් ලැබීම එකල විරල නොවීය. 

Sunday, November 6, 2016

Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?










Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?

සමාජවාදය මිනිස් සමාජය තුල රාජ්‍ය පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගිකව කරන්නට පුලුවන් යැයි සිතා බොහෝ රටවල් එය උත්සාහ කලහ. නැගෙනහිර යුරෝපය, චීනය, රුසියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල් සම්පූර්ණ වශයෙන්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අප්‍රිකවේ බොහෝ රටවල් අර්ධ වශයෙන්ද සමාජවාදී ආර්ථික ක්‍රමය, එනම් රජය මගින් පාලනය කරන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්නට පසුගිය සියවසේ උත්සාහ කර, එය ප්‍රායෝගිකව කල නොහැකි දෙයක් බව ඉගෙන ගත්හ. දැන් අවසානයේ මෙයින් ඉතිරිව ඇත්තේ ඒකාධිපති, පවුල්වාදී, කෘර රජයක් බවට පත්ව ඇති උතුරු කොරියාව පමණි.

කියවන විට හා සාකච්ඡා කරන විට සෑම දෙනාටම සමාන ලෙස ජීවත් වෙන්නට පුලුවන් රටක් තිබෙන්නේ නම්, රටේ ජනතාව සියලු දෙනාටම ඉතා සතුටෙන් ජීවත් වන්නට පුලුවන. මෙවැනි සිහිනයෙන් පමණක් ඇතිකර ගන්නට පුලුවන් රාජ්‍යයනට උතෝපියානු රාජ්‍යයක් යැයි කියනු ලැබේ. ඒ ශ්‍රීමත් තෝමස් මෝර් ගේ 1516 උතෝපියා නැමැති ග්‍රන්ථයෙන් පසුවය.

මෙවැනි රාජ්‍යයෙන් ආර්ථිකය පාලනය කර නිෂ්පාදනය ලෙස ලැබෙන සේවා සහ භාණ්ඩ ජනතාව අතර සමාන ලෙස බෙදා හැරීම ප්‍රායෝගිකව කල හැකිදැයි පරීක්ෂා කිරිමට විශ්ව විද්‍යාලයක කරන ලද පරීක්ෂණයක් පිළිබඳව මට ලඟකදී කියවන්නට ලැබිණ.

එහිදී කරන ලද්දේ එක් පන්තියක සිටි සිසුන් 30 දෙනාටම විභාගයට පෙනී සිටි පසු ඔවුන් සියලු දෙනාගේම එක් විෂයක ලකුණු එකතුකර මුළු එකතුව 30 න් බෙදා සෑම ශිෂ්‍යයෙකුටම එම බෙදූ අඟයට ගැලපෙන ප්‍රතිඵලය ලබාදීමයි.

මුල් වාරයේ එලෙස ප්‍රතිඵල සකස් කලවිට සෑම ශිෂ්‍යයෙකුටම B සාමාර්ථයක් ලැබිණ. මහන්සි වී වැඩකල සිසුන් කනගාටු වූ අතර, මහන්සි නොවූ සිසුන් සතුටට පත්වූහ.

ඊලඟ වාරයේදී මහන්සි නොවන සිසුන් පෙර ලෙසටම වැඩ නොකර අතර, සාමාන්‍යයෙන් මහන්සි වන සිසුන්ද මෙවර එතරම් මහන්සි වූයේ නැත. මේ වාරයේ බෙදීගිය ප්‍රතිඵලය වූයේ D සාමාර්ථයකි. සියලුම සිසුන් නොසතුටට පත්වූහ.

ඊලඟ වාරයේ ප්‍රතිඵල තවත් පහලට ගොස් සෑම සිසුවෙකුටම F සාමාර්ථයකට ගැලපෙන ලකුණු ලැබුණි. ඒ තමන් වැඩකර අනුනට ප්‍රයෝජන ලබාදීමට එකදු සිසුවෙකුවත් අකමැති වූ නිසාය. මෙලෙස අවසාන විභාගයේදී සියලුම සිසුන් අසමර්ථ වූයේ ඕනෑම කෙනෙකු මහන්සි වී වැඩ කරන්නට කැමති වන්නේ එලෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය උසස් වනවා නම් පමණි. මෙලෙස අවසානයේ සියලු දෙනා අසමර්ථ වූ පසු එකිනෙකා අතර ඝට්ටන සහ ආරවුල්ද ඇති විය.

මෙම පරීක්ෂණයෙන් අපට ගම්‍ය වන වැදගත් කරුණු පහක් තිබේ;

1. පොහොසතුන් ගෙන් නීති පනවා මුදල් ලබාගෙන නීතියෙන් දුප්පතුන් පොහොසතුන් කල නොහැක.

2. කෙනෙකු වැඩ නොකර යමක් ලබා ගන්නවා නම් ඔහුට එය ලබාදීමට වෙනත් කෙනෙකු වැඩකල යුතුය.

3. රජයකට වෙනත් කෙනෙකු ගෙන් ලබා ගන්නේ නැතිව තවත් කෙනෙකුට යමක් නොමිලේ දීමට නොහැකිය.

4. රටක සම්පත් බෙදීමෙන් වැඩිකර ගත නොහැක.

5. රටක භාගයක් ජනතාව තමන්ට වැඩ නොකර අනෙක් භාගය වැඩ කරන නිසා සැප පහසුවට ජීවත් වන්නට පුලුවන් බව සහ ඉතිරි භාගය තමන් වන මහන්සියේ ප්‍රතිඵලයෙන් භාගයක්ම වැය වන්නේ වැඩ නොකරන භාගය සැප පහසුව තබන්නට යැයි දැනගත් විට එය ඕනෑම ජාතියක අවසානය වෙයි.

මෙය කියවන විට අපට මතක් වන්නේ කුමන රටක්ද?    

Saturday, November 5, 2016

එලිෆන්ට්පාස්. ‘The longest day’ of our own.












එලිෆන්ට්පාස්. ‘The longest day’ of our own.

1991 ජූලි මාසයේ යාපනයේ එලිෆන්ට්පාස් කඳවුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් වට කෙරිණ. මෙම ආක්‍රමණය ප්‍රභාකරන් විසින් එකල, පසු කලෙක සදාම් හුසේන් කීවාක් මෙන් සියලු යුද්ධයන්ගේ අම්මා බව ප්‍රකාශ කෙරිණ. කඳවුරු සංකීර්ණයට දකුණින් සහ නිරිත දිගින් එල්ල වූ ප්‍රහාර වලින් එම සංකීර්ණය බලවත් පීඩනයකට යටත් වී  බාහිර උදව් නොමැතිව ටික දිනකින් බිඳ වැටෙන තත්වයට පත්විය.

මෙම සතුරාගේ ග්‍රහනයෙන් කඳවරු පරිශ්‍රය බේරා ගැනීම සදහා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මුහුදෙන් ප්‍රදේශයට පිවිසෙන මෙහෙයුමක් සංවිධානය කළේය. මෙහිදී සැලසුම් කෙරුනේ යුධ හමුදා භටයන් 10,000 ක් පමණ මුහුදෙන් එම කඳවුරු පරිශ්‍රයට ඇතුල් කර කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ජූලි මස 15 වන දින මධ්‍යහනෙහි මෙම මෙහෙයුම කරන්නට යුධ හමුදාවද රැගෙන නාවික හමුදාවේ නැව් සමූහයක් ත්‍රීකුණාමලයෙන් පිටත් වූහ. මෙම කණ්ඩායමට මදර් ෂිප් ලෙස එකල හැඳින්වූ වෙළෙඳ නැව් මිලට ගෙන ප්‍රතිප්‍රහාරක යාත්‍රා වලට සැපයුම් සහ පහසුකම් සපයන්නන් ලෙස ක්‍රියා කල වික්‍රම, එඩිතර සහ අභීත නැව් අතරින් එඩිතර සහ වික්‍රම නැව්ද චීනයේ නිපදවන ලද ෂැංහයි වර්ගයට අයත් FGB යාත්‍රාව ක්‍රියාත්මක තත්වයේ තිබූ සියල්ලමද ඩෝරා යාත්‍රා  කිහිපයක්ද තවත් කුඩා යාත්‍රා සමූහයක්ද  අයත් විය.

මම එකල ශ්‍රී ලංකා නාවික නෞකා රක්ෂක නම් FGB යාත්‍රාෙවහි අණදෙන නිලධාරී වරයා වශයෙන් කටයුතු කලෙමි. මේ එකල තිබූ ෂැංහයි පන්තියේ වේග ප්‍රහාරක යාත්‍රාවන් වූ සූර්යා, වීර්යා, රණකාමී, දක්ෂයා සහ බලවතා නම් වූ නෞකා වලින් එකකි. නැව්වල මුල් අකුරු ටික ප්‍රවේශමෙන් ඉංග්‍රීසියෙන් බැලූ විට එම නම් පැමිණියේ කෙසේදැයි පෙනී යනු ඇත. පසුව මෙවැනිම ගැටපද සහිත නම් ඇති නැව් දෙකක්; ජගතා සහ රක්ෂක, මෙම නැව් කණ්ඩායමට පසුව එකතුවිය.

අප උදෑසන දහය පමණ වන විට ක්‍රියාන්විතය කරන්නට සැලසුම් කරගෙන සිටි චලෙයි ප්‍රදේශයට පැමිණියෙමු.

සාමාන්‍යයෙන් මෙවැනි මුහුදේ සිට සතුරාගේ ග්‍රහණය යටතේ තිබෙන වෙරළකට පහර දීමක් සදහා සැලසුම් කරන විට එවැනි සැලසුමක කේන්ද්‍රය වන්නේ සතුරා පුදුම කිරීමයි. සතුරු වෙරළකට යාත්‍රා වලින් ප්‍රහාරයක් සදහා ගොඩ බසින අවස්ථාව හා ඊට පෙර හා පසු දෙපැත්තට පැය තුන බැගින් පමණ එම මුලු ක්‍රියාන්විතයේම ඉතාමත් අනතුරුදායක කාල පරිච්ඡේදයයි. වේගයෙන් වෙඩි තැබිය හැකි තුවක්කුවක් අතැතිව හොඳ ආවරනයක් සහිතව ගොඩ බසින ස්ථානය මැනවින් පෙනෙන එක් පුද්ගලයෙකුට ඔහු මෙන් සිය ගුනයකටත් වඩා බලයක් ඇති ගොඩ බසින හමුදාවක් පහසුවෙන්ම විනාශ කර දමන්නට හෝ ආක්‍රමණිකයන්ගේ අරමුණට ලඟාවීම වැලැක්වීමට හැකියාව තිබේ. මේ නිසා මෙවැනි වෙරළක මෙහෙයුමකදී සතුරා පුදුම කිරිම ඉතා වැදගත් කොට සලකනු ලැබේ.

මෙවැනි සතුරු වෙරළවල සිදුවන මෙහෙයුම් පිළිබඳව සතුරා නොමඟ ඇරීමට හෝ පුදුම කිරීමට  බොහෝ ක්‍රම වේද යෙදවීමේ හොඳම උදාහරණය දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් කල නෝමැන්ඩි ආක්‍රමණයයි. හිට්ලර්ගේ නාසි හමුදා මෙවැනි ආක්‍රමණයක් වන්නට ඉතා ලඟ බව දැන සිටියත් කොතනක සිදුවේදැයි ඔවුන් දැන සිටියේ නැත. එවැනි ආක්‍රමණයකට ඉඩ තිබෙන කිලෝ මීටර් 1500 ක් පමණ විහිදුන වෙරළක ජර්මානු හමුදා එවැනි වෙරළේ සිදුවන ආක්‍රමණයක් වැලැක්වීමට කාල තුවක්කු, කටු කම්බි, බිම් බෝම්බ සහ කුඩා බලකොටු වලින් ශක්තිමත් කලද, හරියටම ගොඩබාන තැනක් දැන ගන්නට පුලුවන් නම් ඔවුනට එම ගිනි බලය එම ස්ථානයට එක්රැස් කර පහසුවෙන්ම ගොඩ බැසීම ව්‍යවර්ථ කරන්නට ඉඩ ප්‍රස්ථා තිබිණ.

විශේෂයෙන්ම මෙවැනි ගොඩ බැසීමක් සිදු නොවන බවද රුසියාව සමග එකතුව එකල ජර්මනිය යටතේ තිබුණු නෝර්වේ රාජ්‍යය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට හෝ ප්‍රංශයේ වැරදිලාවත් ගොඩ බැසීමක් වන්නේ නම් එය සිදු වන්නේ නෝමැන්ඩි වෙරලේ නොව නෝමැන්ඩි වෙරළට කිලෝ මීටර් 150 ක් දුරින් තිබෙන එංගලන්තයට කිට්ටුවෙන් තිබෙන කැලෙයි (Calais) වෙරළේ  බව පෙන්වීමටත් මහා බ්‍රිතාන්‍යයේ M5 නමින් හඳුන්වනරහස් ඔත්තු සේවයෙන් අධික කාර්යභාරයක් සිදු කෙරිණ.

M5 ආයතනය මෙලෙස ජර්මානුවන් රැවටීම සදහා ස්කොට්ලන්තයේ ගොඩ නැගෙන කල්පිත හමුදාවන් ඇතුළු නොයෙකුත් සිදු නොවන ක්‍රියාන්විතයන් පිළිබඳව රැවටුම් සහගත තොරතුරු රබර් යුධ ටැංකි, බොරු රේඩියෝ පණිවිඩ වැරදි ඔත්තු සහ බොරු පුවත් පත් දැන්වීම් යනාදියෙන් ගොඩ නැගූහ. මියගිය නාවික හමුදා නිලධාරියෙකු බොරු රහස් තොරතුරු ලිපි ගොනු සමග මුහුදේ පා කර ජර්මානු හමුදාවට සොයා ගන්නට හැරීමක්ද, ඉතාලියේ මෙවැනි වෙරළේ ගොඩ බෑමකදී ජර්මානු හමුදා රැවටීමට කල බව මා අසා ඇත.

එහෙත් මෙදින අපි එලිෆන්ට්පාස් අතර මුහුදට ලඟා වූයේ සතුරා බලා සිටයදී මහ දවල්ය. සතුරා පුදුම කිරීමට තිබූනු එකම ක්‍රමය මෙලෙස මහ දවාලක කිසිම සැකයක් නැතිව අප මෙවැනි දෙයක් කරන්නට ඉදිරිපත්වේද? යනුවෙන් සතුරා තුල ඇතිවිය හැකිව තිබූ සැකය පමණි. වෙරළ දිගේම ත්‍රස්තවාදීන් .50 තුවක්කු වෙරළ ඇතුලේ වැලි ගොඩවල පිටුපසින් තබාගෙන අප එනතුරු බලා සිටියහ. අප මුහුදේ නාවික සැතපුම් දෙකක් පමණ දුරින් අපේ ෂැංහයි වර්ගයේ FGB නැව් එක් පෙලකට තබාගෙන ගොඩ බසින්නට සැලසුම් කල වෙරළ වෙත ගමන් කරන්නට පටන් ගත්තෙමු. වෙරළට කිට්ටුවන විට මිලි මීටර් 37 ප්‍රධාන අවි වලින් අපි වෙඩි තබන්නට පටන් ගත් අතර, වෙරළේ ආරක්ෂිත ලෙස ආවරන පටුපස සිටි ත්‍රස්තවාදීන්ද අප වෙත වෙඩි තැබූහ. මෙලෙස කිහිප වතාවක් කලද සතුරු වෙඩි බලය එතරම් අඩුවීමක් දක්නට ලැබුනේ නැත.

එලෙස වෙඩි උණ්ඩ දෙපැත්තට හුවමාරු වන අතරතුර ඒ දෙස බලවන විට පෙනුනේ හරියටම උණ්ඩ එකට එකතුකර සෑදූ ලෑල්ලක් අප හා වෙරළ අතර තිබෙනවා මෙනි. මෙලෙස තුන්වෙනි වරට වෙඩි තබමින් ඇතුලට ගොස් ආපසු හරවද්දී නැවේ ඉදිරිපසේ තිබෙන මිල මීටර් 37 අවියෙන් සහ පසු පස තිබෙන 20 අවි දෙකෙන්ම වෙඩි තබන්නට පුලුවන් නිසා, එම අවස්ථාවේ විනාඩි කිහිපයක් නැවේ තිබෙන සම්පූර්ණ වෙඩි බලයම පාවිච්චි කරන්නට අවස්ථාව ලැබුනත් ඒ අවස්ථාවේ සතුරාට නැවේ ලොකුම පැති පෙනුම ලැබෙන බැවින් සතුරාගේ වෙඩි ප්‍රහාරයට නැව ලක්වීමේ අවධානමද ඉතා වැඩි වෙයි.

මෙලෙස මධ්‍යහනෙහි වෙඩි තබමින් යද්දී මගේ නෞකාවට සතුරු ප්‍රධාන අවි දෙකකින් බලවත් ප්‍රහාරයකට ලක්වූ අතර, මගේ 37 අවිය බාරව සිටි නැවියා හෙල්මටයට අඟලක් පමණ පහතින් වෙඩි වැදී මිය ගියේය. තවත් නැවියන් දෙදෙනෙකුට තුවාල සිදුවිය.

නැවේ බඳ දිගටම වෙඩි වැදුණු අතර, හෙමින් ජලයද ඇතුලට එන්නට පටන් ගත්තේය. බොහෝ විට මෙම සටනේදී අපට තුවාල හා මරණ අඩු වූයේ ත්‍රස්තවාදීන් වැල්ලේ සිට ඕනෑවට වඩා තරමක් ඉහලට වෙඩි තැබූ නිසාය. ඔවුන් තව සිරස් අංශක කිහිපයක් අඩුකර වෙඩි තැබුවේ නම් අපට එදින සිදු වූවාට වඩා බලවත් ලෙස අලාභ හානි කරන්නට පුලුවන් කම තිබුණි.

මම මෙලෙස නැවට වෙඩි වැදුණු පසු තුවාල කරුවන් ආරෝග්‍යශාලා නැවට; මට මතක හැටියට වික්‍රමට නෞකාව වෙත ගියෙමි. මම එලෙස තුවාල කරුවන් ලොකු නැවට මාරු කරද්දී එතනට පැමිණි ජෙනරල් කොබ්බෑකඩුව, මගෙන් මා එතන කුමක් කරන්නේදැයි විමසුවේය. මම ඔහුට තුවාල කරුවන් මාරු කිරීමට පැමිණි බව පැවසූ විට,

“හැකි ඉක්මනින් ආපසු යන්න, පරක්කු උනෝතින් තව බොහෝ දෙනෙකුට තුවා සිදුවෙයි.“ යැයි මට පැවසුවේය.

ඇත්තෙන්ම මෙම ඕනෑවට වඩා ඉහලට වෙඩි තැබීම, විශේෂයෙන්ම මධ්‍යම ප්‍රමාණයේ අවි වලින් වෙඩි තබද්දී යුද්ධය පුරාම දැක ගන්නට පුලුවන් විය. යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ ත්‍රස්තවාදීන් යටතේ තිබියදී ත්‍රස්තවාදී බෝට්ටු වලට සහ ඔවන්ගේ ක්‍රියාකාරකම් දුටු විට අපේ නැව් වලින් බොහෝ විට වෙඩි තබා ඇත්තෙමු. එහෙත් පසුව එම ප්‍රදේශ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගත් පසු අපට දක්නට ලැබුනේ එකල යාත්‍රා වලින් තැබූ බොහෝ වෙඩි වැදී ඇත්තේ තල් ගස්වල උඩ හරියට බවය. වෙරළේ යම් ඉලක්කයකට වෙඩි තබන විට වෙඩි වැදී ඇත්තේ තල් ගස්වල මුදුනට නම් අවශ්‍ය වූවාට වඩා සෑහෙන ඉහලකට වෙඩි තබා ඇති බව අපට පෙණිනි.

මධ්‍යහන කාලයම මෙලෙස කිහිප වතාවක් වෙරළේ සිටින ත්‍රස්තවාදීන්ගේ යුධ බලය අඩු කිරිමට වෙඩි තබමින් ඉදිරියට ගියද, හමුදාව ගොඩ බැස්සවීමට තරම් ඔවුන් දුර්වල කිරීමට අප අපොහොසත් වූ හෙයින් මෙම ව්‍යායාමය මඳකට නවත්වා සමහර විට කුමක් කරන්නේදැයි සාකච්ඡා කර ගැනීමට නවතා දැමුණි. අපේ නැවේ මේ අවස්ථාවේ තේ එකක් හදා ගැනීමට බලන විට නැවේ victualling store (ආහාර ගබඩාව) හි යතුර සොයා බලන විට එය සොයා ගැනීමට අපහසු වූයේ, එම ගබඩාව බාරව සිටි නැවියා ඊට පෙර ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්ව තිබීමයි. පසුව යතුර ඔහු මිය ගිය මිලි මීටර් 37 අවියේ වෙඩි නොවදින යකඩ ආවරනයක ඇතුලේ එල්ලා තිබූ හමුවිය.

ඉන්පසු හවස හතරට පමණ නැවත වරක් යුද්ධය පටන් ගැණින. ටික වේලාවක් වෙරලට පහර දෙන විට දැඩි ගුවන් හමුදා ප්‍රහාරද එකතු වූයෙන් වෙරළේ තිබූ එල්.ටී.ටී.ඊ. බලය අඩුවෙන්නට පටන් ගත්තේය. වැලි ගොඩක අනෙක් පැත්තේ සිට අප නැව වෙත  .50 අවියකින් වෙඩි තබමින් සිටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ගුවන් ප්‍රහාරයකින් විනාශ වෙනවා අපිට longest day (John Wayne, Henry Fonda, Richard Burton, Sean Connery, Robert Michem) චිත්‍රපටයේ මෙන් දකින්නට ලැබුනා මතකය.  

වෙරළේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂාව බොහෝ දුර්වල වූ පසු පලමුවෙන්ම කුඩා යාත්‍රා සමූහයකින්ද, ඉන්පසු නොයෙකුත් වෙරළට ගොඩ බැසිය හැකි යාත්‍රා මගින්ද, හමුදාව ඇතුල් කරන්නට පටන් ගැණින.
මෙලෙස හමුදාව එදින ඇතුල් කලද එතැන වෙරළේ සිට සැතපුම් 10 ක් දුරින් තිබූ පරන්තන් හමුදා සංකීර්ණයට දරුණු සටන් මැද දවස් 18 ක් පමණ යුධ හමුදාවට ගත වූ අතර, මෙම ක්‍රියාන්විතය පටන් ගත් අවස්ථාවේ සිට අවසන් වන තුරුම ගරිල්ලා හෝ අසම්මත යුද්ධයකට වඩා සම්ප්‍රදායික යුද්ධයක මුහුණුවර ගත්තේය.  

Thursday, November 3, 2016

සපත්තු ගලවා තබනවාද? දාගෙනම ඇතුලට යනවාද?








සපත්තු ගලවා තබනවාද? දාගෙනම ඇතුලට යනවාද?

අප ගෙදරකට හෝ වෙනත් තැනකට ගිය විට ගේ ඇතුලට සපත්තු දාගෙනම යනවාද? එසේත් නැත්නම් දොර ගාව එළියේ ඒවා ගලවා තබා යනවාද? යනුවෙන් බොහෝ විට අවිනිශ්චිත හැඟීමක් පැන නගී.
මම මේ දවස්වල කියවන Jens Lapidus නැමති ස්ව්ඩන් ජාතික ලේඛකයාගේ (මොහු ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ප්රeසිද්ධ අපරාධ නීතිඥයෙකුද වෙයි.)  EASY MONEY නැමති පොතෙහි මේ සපත්තු ගැලවීම/නොගැලවීම පිළිබඳව සිත් ගන්නා සුළු වර්ග කිරීමක් දැක්කෙමි. එම පරිච්ඡේදය උද්ධෘත කර සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මෙහි ඇතුලත් කරන්නට තීරණය කළෙමි.  

“Everyone wore their shoes inside – classic. The shoe question divided the Swedish indoor world. There are three types of people. The type who always walks in with shoes on and has the right attitude – is there anything worse than walking around in party attire and socks? The second type of person in the one who becomes insecure and checks out what everyone else is doing, who might keep them on if everyone else does. Wishy – washy, a turncoat. Finally, there’s the third type, who thinks you should always take your shoes off, who walks around soundlessly in sweaty socks, who only has himself to blame”.

ඵහි සිංහල පරිවර්තනය

අතීතයේ සියලු දෙන නිවෙස් ඇතුලත පාවහන් පැළඳූහ. එහෙත් දැන් ස්විඩනයේ ගෘහස්ත ජීවිතය, සපත්තු ප්ර ශ්නය විසින් කොටස් වලට බෙදා තිබේ. දැන් ලෝකයේ වර්ග තුනක මිනිසුන් සිටී; හරි ආකල්ප ඇති පුද්ගලයින් සපත්තු නොගලවා කෙලින්ම ඇතුලට ගමන් කරති - සාදයකට අඳින ඇඳුමක් ඇඳගෙන සපත්තු දෙකක් නොමැතිව සාදයේ මේස් දෙකෙන් පමණක් එහාට මෙහාට යාමට වඩා, ජුගුප්සාජනක දර්ශනයක් තවත් තිබේද? දෙවෙනි වර්ගයේ මිනිසුන් ආත්ම විශ්වාසයක් නොමැතිව පැමිණි අනෙක් පුද්ගලයන් කුමක් කරන්නේදැයි වට පිට බලා විපරම් කර අනෙක් අය කරන දේ කරන වර්ගයයි. අනෙකුන් සපත්තු දාගෙනම ඇතුලට යන්නේ නම් ඔවූහුද එසේ කරති. ආත්ම විශ්වාසයක් නොමැති පිල් මාරු කරන්නන්. අවසානයේ, තමන් සෑම විටම තැනකට ඇතුල් වන විට පාවහන් ගලවා ඇතුල්විය යුතු යැයි සිතන්නෝ තුන්වෙනි කණ්ඩායමට අන්තර් ගත වෙති. ඔවූහු තමන්ගේ දහඬිය මුසු වූ මේස් මත නිශ්ශබ්දව සාදයේ එහාට මෙහාට ගමන් කරති. ඔවුනට දොස් පවරා ගන්නට ඇත්තේ තමන්ටම පමණි.  
 

අපට නිතරම ස්විඩන් සාහිත්යායේ පොත පත කියවන්නට ලැබෙන්නේ නැත. මෙම පොත පිටපත් මිලියනයකට වඩා විකුණුනු ජනප්රියය වූ පොතක් හෙයින් එය ඉංග්රීනසියට පරිවර්තනය කර තිබූ නිසා කියවන්නට අපට ඉඩ ලැබී ඇත. එසේ නොමැති නම් ස්විඩිෂ් භාෂාවෙන් ලියවුනු පොත පත අපට රස විඳින්නට ලැබෙන්නේම නැත. මේ කුඩා පරිච්ඡේදයෙන් වුවද ඒ සාහිත්යඳයේ සිත් ගන්නා සුළු බාවය මනා ලෙස පෙන්වා දෙයි.

Tuesday, November 1, 2016

What now? Lived happily ever after?








What now? Lived happily ever after?

Cigarette prices have seen unprecedented and  dramatic price increase in recent times. Hoarding a stock of  cigarettes would have been the best investment in last month ; it would have been the  investment with best returns in recent times with about 40% returns in couple of months.
Now SL would probably be the country with highest Cigarette prices in real terms. UK has one of the highest Cigarettes prices in the world.  Compared to UK (1800 per pack) our price (1000 Rs) when  perchasing power parity , per capita income is factored in , is 41500/10600 x1000=  Rs 3900. That’s more than twice the real term price of Cigarettes in UK . on the other end of the extreme in Nigeria, a pack is 150 Rs (300 naira ), period. In Pakistan a country in the region a pack is , yes original John Player gold leaf is just 182 rupees ,that’s less than the cost of  4 Cigarettes  here. And in India on the other side of Palk Strait the prices are about half of our prices, the gold flake that I smoked when I was in India is 250 Indian Rupees now.
I made a thorough  search but couldn’t find a single country that has higher price for Cigarettes s compared to Srilanka in real terms, that’s after per capita income is taken into the calculation.
So assuming my search is complete and didn’t miss  some freak country that has higher Cigarettes  prices let us see the  possible results of this sharp price hike that probably has brought us to the no 1 spot in at least one aspect , Cigarettes prices , if we do not already have that dubious  honor in  suicide rate in the world. No just checked, South Korea and Guyana are above us, we are third with one decimal point below South Korea.
Going back to the effects and results of this price hike, what would be the likely outcomes of this move?
There will be sharp reduction in smoking – being an ex smoker I don’t think that will happen .  Whilst smokers  who can afford will continue to smoke the same brand that they are used to the smokers who can ill afford their regular brand will go one brand down to a brand that will cost them equal to their previous brand prior to  the price hike. Since there are many substitute products as they say in economics there is no compulsion to give up smoking here. I was told by a shop keeper that a gentleman who used to buy  five gold Cigarettes on the way home after work now buys two gold leafs and five beedis, probably more puffs , same dose of nicotine and more carbon too.
Cigarette making becoming a cottage industry- there is a distinct possibility for this upshot. Imagine you can buy the raw material for a Cigarette for 5 Rs, and wrap a even callous Cigarette with a Cigarette maker and sell it for 25 Rs. You just sell 100 Cigarettes among your neighbors or friends you make 2000 Rs , a days wage in half an hour,  especially in rural areas.
Less people will take up smoking because the prices are higher-  I don’t think because youth  who want to experiment, high price would not be a factor to discourage , but teaching at the schools of the consequences of smoking at least two periods a week before children take up smoking will have a much stronger effect on children to keep away from smoking
Contraband Cigarettes smuggling- this is a big business everywhere. It has been estimated that in  Europe alone  9 Billion Euros worth of contraband Cigarettes have been imported by smugglers in 2014 alone. And also it has been found that  many  fundamentalist  groups use Cigarettes smuggling to raise funds for their activities. But I am not sure the price difference on the either side of the Palk Strait divide , double the price , would  be sufficient to lure smugglers into contraband Cigarettes. However if Pakistan  was close like India to us the price difference would surely be a tailor made situation for smuggling.
So is this extreme price hike would be helpful in curbing smoking ? not much . but it will be most useful in raising revenues for the government at the cost of  pushing down people into poor quality substitutes. I recently, about two years back, quit smoking by using nicotine patches . Since then I have helped three friends quit smoking by introducing them to patches. But a set of patches is about 5000 Rs and also they are not available in Srilanka. Many friends, having seen my achievement ask me where to buy the patches.
So if government is genuinely interested in preventing people from smoking what they should do is to make available nicotine patches at reasonable price and also introduce this as a prevention care at village level, using so many government servants doing nothing in the villages to visit smokers at home and work places ; 4.5 field officials in each GS division to achieve this.

මිරිස් සහ මිරිස් සැර මාපකය.

                            Carolina reaper මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට...