Saturday, December 31, 2016

මිලියන 500 යේ කෞතුකාගාරය; සිංහරාජ වනාන්තරයේ තේක්ක වැවීම.







පසු ගිය සතියේ අපි විනෝද චාරිකාවක් සදහා පොලොන්නරුවට ගියෙමු. ඇත්තෙන්ම පොලොන්නරුවේ පෞරානික ස්ථාන නැරඹීම කොහෙන් පටන් ගෙන කොහෙන් අවසන් කල යුතු දැයි සිතාගන්නටවත් අමාරුය.



අනෙක් අය නිදාගෙන සිටියදී මම FITAPP ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ක්‍රියාත්මක කරගෙන හෝටලයෙන් පිට වී කිලෝ මීටර් තුනක් දෙවෙනි ඇල මාර්ගයේ ගොස් ආපසු බුෂේ එකේ වේලාවට හෝටලයට පැමිණියෙමි. මේ ඇල මාර්ගවල කඹරගොයින්, කුරුල්ලන්, යනාදී බොහෝ සතුන් ජීවත්වනු දැක මේ වතුර බොන මිනිසුන්ට වකුගඩු රෝග සෑදෙන බව පිළිගන්නට අපහසු නේදැයි කල්පනා කළෙමි.

 ඇල දිගේ ඇලට පහලින් ඇති බොහෝ නිවාසවල පිටරට යැවීම සදහා විසිතුරු මසුන් ඇතිකරන බව පෙනුනි. එදින හවස අපි සෝමාවතිවට ගොස් එනවිට අදුරන නිවසකට ගිය විට ඒ ගෙදරත් මෙවැනි විශාල මාළු ටැංකි පොලවේ හාරා තිබෙනු දැක මෙම ව්‍යාපාරය දැන් පොලොන්නරුවේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව ඇති බව පෙනුනි.

මම උදේ ඇවිදගෙන යන විට පාරේ අයිනේ හිටවා තිබූ විශාල දැන්වීම් පුවරුවක් දැක පුදුමයට පත්වුනෙමි. ඒ එම ස්ථානයේ රුපියල් මිලියන 500 ක වියදමින් කෞතුකාගාරයක් රජයෙන් සාදන බව දැන්වීමට තිබූ පුවරුවයි.

ඉන්පසු උදේ දහයට පමණ අපි නටඹුන් බැලීමට ගියෙමු. නටඹුන් පරිශ්‍රය ඇතුලට යාමට අපගේ වාහනයට රුපියල් 50 ක් ගෙවන්නට සිදු වූ අතර, විදේශිකයෙකුට ඒ අයකිරීම රුපියල් 1500 ක් බව එතැන සිටි නිලධාරියෙකු අපට පැවසීය. විදේශිකයන් බොහොමයක් එතනට පැමිනෙන්නේ පදින බයිසිකල් කුලියට ගෙන හෙයින් බයිසිකල් කුලියට දීමද පොලොන්නරුව නගරයේ ලොකු ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේය. එතැන රාජකාරියේ සිටි නිලධාරියා අප විදේශිකයන් සගවාගෙන යන්නේදැයි විවෘත කල ජනේලයෙන් නොදැනෙන්නට  බලා විදේශිකයන් වාහනයේ සිටින්නේදැයි අපෙන් ඇසීය.

ඇත්තෙන්ම පොලොන්නරුවේ නටඹුන් චමත්කාර ජනකය. ගල් විහාරය සහ ලංකාතිලකය එකල තිබූ තාක්ෂණයෙන්  කෙසේ හැදුවාදැයි  දැනුත් සිතා ගන්නට අමාරුය. අපේ ඉංජිනේරුවන් මෙවැන්නක් දැන් හැදුවත් ඔවුන්ට මේ තරම් සමබරව මෙවැනි ගොඩනැගිලි ගොඩනගන්නට හැකිවේදැයි ශබ්ද නගා මමම ප්‍රශ්න කරගන්නා විට වර්තමානයේ තාක්ෂනයත් සමග එසේ වරදින්නට ඉඩක් නොමැත්තේ යැයි මා සමග සිටි සිවිල් ඉංජිනේරු මිත්‍රයා කීවේ වෘතියේ ගෞරවයත් ආරක්ෂා කරගත යුතු නිසා විය යුතුය.



මෙලෙස අප බොහෝ උනන්දුවෙන් නටඹුන් බලද්දී මෙම අත්දැකීම් දේශිය සහ විදේශීය සංචාරකයන්ට වඩාත් පොහොසත් ලෙස ලබාදීමට කලහැකි කුඩා වෙනස්කම් කිහිපයක් සිතට නැගුණි. 



  • එම පරිශ්‍රයට ඇතුල්වීමට ටිකක් ගන්නා විට එම පරිශ්‍රයේ  තිබෙන, පොලොන්නරුවේ තිබෙන නටඹුන් පිළිබඳව විස්තරාත්මක සිතියමක් ලබාදීම. 
  • පරිශ්‍රයේ තිබෙන සෑම වැදගත් ස්ථානයක් අසලම එම ස්ථානය කුමක් සදහා පාවිච්චි කලේද? ඒ මේ සංකීර්ණයට සම්බන්ධ වන්නේ කෙසේද? මෙහි තිබෙන ඉංජිනේරුමය යනාදියේ වැදගත්කම සහිතව භාෂා තුනෙන්ම විස්තර පුවරු සවි කිරීම. 
  • නටඹුන් වලට අලාභහානි කරමින් වැවෙන ගස් සියල්ල කපා දමා නටඹුන් ආරක්ෂා කර ගැනීම.  
  • පරිශ්‍රයේ තිබෙන තෝරා ගත් ඓතිහාසික සහ ආගමික වැදගත් කමක් ඇති ස්ථාන හැර අනෙකුත් අවශේෂ ස්ථාන ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් කිරීම. මේ සදහා ජනතාවගේ බඳු මුදල් වියදම් නොකර එක් එක් ස්ථාන විශ්ව විද්‍යාල (පෞද්ගලික හා රජයේ), බැංකු, විශාල වෙළද ආයතන, රජයේ සහ පෞද්ගලික විද්‍යාල, වලට මේවා එකින් එක ප්‍රකෘති තත්වයට පත්කර පවත්වාගෙන යාමෙන් ඔවුනට යම් ප්‍රචාරක අවස්ථාවක් ලබාදී සිසුනට මේවායේ කටයුතු වලට සම්බන්ධ වී වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම. 
  • සම්පූර්ණ නටඹුන් පරිශ්‍රයේ භෞතික මොඩලයක් සාදා සංචාරකයන් නරඹන නටඹුන් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේදැයි යම් අදහසක් ලබා ගැනීමට ඉඩ සැලසීම. 



මෙවැනි ලේසියෙන් කිසිම මුදලක් වියදම් නොකර කරන්නට දෑ තිබියදී ජනතාව ගෙන් එකතු කරන ලද බදු මුදල් වලින් මුදල් වියදම් කර කෞතුකාගාරයක් තැනීම කිසිසේත් තේරුම් ගත නොහැක. කෞතුකාගාරය මිලියන් 500 ක් වියදම් කර ගොඩ නැගුවත් ඉන්පසු එහි නඩත්තු කටයුතු වලට මාසයකට මිලියන් 10 ගණනේ වත් වියදම් කරන්නට සිදුවනු ඇත. ඒවත් ජනතාව ගෙන් උඳුරා ගත් බදු මුදල්ය. 

ඇත්තෙන්ම පොලොන්නරුවේ කෞතුකාගාරයක අවශ්‍යතාවයක් ඇත්නම් කලයුතු වන්නේ එයට රජයෙන් සුදුසු තැනක ඉඩමක් ලබා දී පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවා අවශ්‍යතාවයන් සියල්ල සම්පාදනය කර කටුගෙය පුද්ගලික ආයෝජන වලින් ගොඩනංවා ගැනීමයි. දියුණු රටවල මෙවැනි දෑ බොහෝ කලක සිට සිදු වන්නේ එලෙසටය.   

Thursday, December 29, 2016

මීමුරේ සංචාරක ව්‍යාපාරය; ඔබ තවමත් අහුවුනේ නැද්ද?






සෑම සාර්ථක දෙයකටම පියෙක් සිටී. ආසාර්ථක දේ අවජාතක වෙයි.

අපේ මීමුරේ ගමනත් ඒ කථාවට හොඳ උදාහරණයකි. මීමුරේ යාමට මුලින්ම අදහස ඉදිරිපත් කලේ කවුරුන් දැයි දැන් හොයා ගැනීමට ක්‍රමයක් නැත. කවරෙකුගේ හෝ අදහසක් ක්‍රියාත්මක කර පසුගිය සතියේ අපි; මිතුරු පවුල් දෙකක්, හොන්ඩා වෙසල් එකක් සහ නිසාන්  ජූක් එකක මීමුරේ ගියෙමු.

ගමන යාමට පෙර අන්තර් ජාලයෙන් සම්බන්ධ කරගත් සංචාරක ආයතනයකට රුපියල් 3500 ක් ගෙවා එහිදී ගැමි ආහාර වේලක රස විදීමටද, සංචාරක මග පෙන්වන්නෙකුද ලබා ගැනීමටද අපි කටයුතු කලෙමු. මම මිතුරන් කිහිප දෙනෙකුගෙන් මීමුරේ යන පාර පිළිබඳව අසා සිටි අතර, ඔවුන් සියලු දෙනාම පාහේ කියා සිටියේ පාරෙහි ප්‍රශ්නයක් නොමැති බවත්, පහසුවෙන්ම අපිට මෙම වාහන වලින් මීමුරේට යාමට පුලුවන් බවය.

මෙයින් එක් මිතුරෙකු මෙයට ටික කලකට පෙර එයට කිට්ටු ප්‍රදේශයක පොලීසියේ ස්ථානාධිපතිවරයෙකුව සිටි හෙයින් මෙම පාර පිළිබඳ උපදෙස් සැක කරන්නට අපිට කිසිදු හේතුවක් තිබුනේ නැත. මම ගූගල් මැප් එකෙනුත් චෙක් කර බැලුවෙමි. නිවසේ සිට මීමුරේටම දුර කිලෝ මීටර් 65 කි. ගතවන කාලය පැය 2 කුත් විනාඩි 21 කි.

අපි 23 වන දින උදේ කුණ්ඩසාලයේ නව නගරයේ හදබිමේ ආපන ශාලාවෙන් කෑම කා ගමන ආරම්භ කලෙමු. යම් කෙනෙකු මීට කලකට පෙර මීමුරේට හැරෙනුයේ හුන්නස්ගිරි නගරය පසුකර ටික දුරකින් යැයි මට පවසා තිබූ හෙයින් හුන්නස්ගිරි නගරය පසුකල ගමන්ම මහපාරින්  හැරෙන්නට පෙර ලුණු මිරිස් සමග රොටී කෑ යුතු නිසා පාර අයිනේ කුඩා කඩයක් ලඟ නැවැත්තුවෙමු. 
එම කඩයට ඇතුල්වන තැනම ලැමිනේට් කරන ලද පරණ පත්තර කෑල්ලක් නූලකින් එල්ලා තිබුණු අතර, එහි කියා තිබුනේ ඒ කඩයේ පෙර දිනක පාරිභෝගිකයෙකුගේ මුදල් පසුම්බියක් අමතකව ගොස් පසුව එය ආපසු දුන් විස්තරයයි. අපිත් බියක් සැකක් නැතිව රොටී කා බොරු හකුරු වර්ගයක් සමග තේ බිව්වෙමු. ඉන්පසු පිටවන විට නිකමට එම කාන්තාව ගෙන් මීමුරේ පිළිබඳ ඇසූ විට ඒ පැත්තට හැරෙන පාර, ලූල්වත්ත හන්දිය අප පසුකර ගෙන පැමිණ ඇති බවත්, ඒ පාර් නම් මෙවැනි වාහන වලට යාමට නොහැකි බවත් ඇය අපට පැවසුවාය.

ඇය මීමුරේට ගොස් ඇත්දැයි මා ඇයගෙන් විමසූ විට නොමැති බව ඈ කීවෙන් එසේනම් ඒ විස්තර ඇය කෙසේ දන්නේ දැයි සිනහ සෙමින් අපි වාහන ආපසු හරවාගෙන පැමිණ ලූල්වත්ත හන්දියෙන් දකුණට හැරී මීමුරේ නියම ගමන ආරම්භ කලෙමු.

අඳෝමය! අපි කොතරම් මෝඩදැයි අපට තේරුනේ ලූල්වත්ත පාරේ වම් පැත්තේ කෝවිල පසුකල විටය. පාර එතරම්ම වලවල් සහ ගැලවුනු ගල් වලින් පිරී තිබුණි. පටන් ගැන්මේදීම යතුරු පැදියක් හමු වී ඔහුගෙන් නිකමට වාගේ පාර ඇසූ විට ඔහුද කීවේ පාරේ භාගෙට භාගයක් පමණ තැන් තැන් වලින් කාපට් දමා තිබෙන බවත්, අනෙක් කොටස් තරමක් අපහසු තත්වයෙන් බවත්ය. නමුත් තත්වය ඊට වඩා හුගක් වෙනස් බව අපට තේරුනේ ඔහු පසුකර ටිකක් ගිය විටය. 

ඇත්තෙන්ම සාමාන්‍යයෙන් වාහනයක් එලවන්නට පුලුවන් කොටස් ටික එක දිගට එකතු කලහොත් කිලෝ මීටර්  4 ක් 5 ක් ඒ කියන්නේ මුලු දුරෙන් 10% ක් පමණ විය හැක. ඉතිරි කිලෝ මීටර් 30 ක් පමණ ප්‍රමාණය වාහන එලවනවා තබා වාහන රියදුරන්ට රාත්‍රියට පෙන්වා හීනෙන් බය කරන්නට හැකි තරමේ මඟකි. මම මෙතෙක් කල් මගේ ජීවිතයට වාහන එලවා තිබූ වඩාත්ම අබල දුබල තත්වයට පත්ව තිබූ මහා මාර්ගය වසර 2000 දී මා කරෙයිනගර්හි අණදෙන නිලධාරියාව සිටියදී කන්කසන්තුරේ වෙත මුහුද දිගේ යන පාරය. මීමුරේ පාරත් ඒ දවස්වල ඒ පාරට හොද තරඟයක් දෙන බව මට හොදටම විශ්වාසය.

එහි මුලින්ම හමුවුනු වල දැක අපි හැරී එන්නටද කල්පනා කලෙමු. එහෙත් කෙසේ හෝ අපි කිහිප දෙනෙක් බිමට බැස ඉතාමත් අපහසුවෙන් වාහන එතනින් පන්නා ගත් පසු නැවත ධනාත්මකව වූ අපි ගමන කරගෙන ගියෙමු. අතරමඟදී කිහිප දෙනෙකුගෙන් පාර පිළිබඳ ඇසූ විට අපට පිළිතුරු ලැබුනේ කිලෝමීටර් 10 සිට 20 දක්වා නොයෙකුත් ගණන්ය. එම බොහෝ පුද්ගලයන් පුරුද්දට මෙන් ලොකු පිහියක් රැගෙන පාරවල් දිගේ ශෝචනීය ලෙස අතහැර දමා තිබූ ඩියර් පාර්ක් නැමැති තේ වත්තක පාරේ, ඒ කියන්නේ අපි යන පාරේ ගමන් කරමින් සිටියහ. ඔවනට පඩි ගෙවන්නේද, ගෙවන්නේ නම් ඒවාට මුදල් කොහෙන්ද යන ප්‍රශ්න දකින ඕනෑම කෙනෙකුගේ සිතට නගිනවා නොවනුමානය. මේ මුලු කිලෝ මීටර් 35 ටම මීමුරේට යන තෙක්ම එක කඩයක්වත් දක්නට නොලැබීමෙන්ද ප්‍රදේශයේ මිනිසුන් හිටියාට මිලදී ගැනීමේ හැකියාව බොහෝ අඩු බව නොකිවමනාය.

අවසානයේ කුණ්ඩසාලයෙන් පිටවී පැය පහ හමාරකට පසුව අපි ගම්මානයකට ලඟා වූයෙමු. මේ මීමුරේ යැයි බොහෝ සතුටු වූ අප එතන තිබූ කුඩා කඩයකින් අපට මීමුරේදී යාමට නියමිත තැනෙහි අයිතිකරුගේ නම කියා ඇසුවෙමු. ඔහු ඒ මීමුරේ නොවන බවත් කයිකාවල නැමැති මීමුරේට කලින් ගමක් බවත් තවත් කිලෝමීටර් 5ක් තවත් යායුතු බවත් අප බලාපොරොත්තු සුන් කලේය. ඉන්පසු පාරේ එතරම් වෙනසක් නොවුනත්, සාමාන්‍ය සිංහල ගමක පෙනුම දක්නට ලැබිණ. කුඩා ගෙවල්, කුඹුරු, ඇළ මාර්ග, තිබුණු අතර, තැනින් තැන කඩයක් දෙකක්ද දක්නට ලැබිණ.

අවසානයේ අපි වාහන තුන හතරක් එහෙට මෙහෙට  හිර කරවාගෙන සිටි හන්දියකට පැමිණියෙමු. අප එතනට පැමිණිය විගසම ලොකු කැමරා, බැග්පැක්, යනාදියෙන් අංග සම්පූර්ණව සිටි කෙනෙක් පැමිණ අපට කථා කලේය.

“ඕගොල්ලෝ හොයන.... මමයි,“ ඔහු පාරවල් දෙකක් දෙසට අත දිගුකර “ඔබ ප්‍රථමයෙන් කෑම කනවාද? නැතිනම් සංචාරය අරඹනවාද?“ කියා ඇසුවේය.

අපි ඒ වන විටත් හවස 5 පමණ වී තිබුන නිසා ප්‍රථමයෙන් කෑම ගැනීමට සතුට පලකෙරෙමු. ඒ හන්දියේ වාහන නැවැත්වීම වැලැක්වීමට ලයිට් කනු කිහිපයක් දමා හිරකර දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. ඔහු අපිට දකුණට පාරට හරවන්නට කියා ටික දුරක් ගියත් පසුපස අනෙක් පැත්තෙන් පැමිණි වෑන් එකකට ඉඩ දීමට මීටර් 100 ක් පමන රිවස් කරන්නට සිදුවිය. ඉන්පසු ඒ පාරේ ගමන් කරන විට අපිට ඉදිරියෙන් පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියක් පෙරලී ටිකක් වේලා ගතවී අප දහවල් කෑම පිළියෙල කර තිබූ නිවසට ගියෙමු. නිවස තරමක් කඳු ගැටයක තිබුනු අතර මිදුල ඉඩ තිබුනේ එක් වාහනයකට පමණක් බැවින් අනෙක් වාහනය නිවසේ තිබෙන පටු පාරේ නවත්වා ආහාර ගන්නට ගියෙමු.

දහවල් ආහාරයට මඤ්ඤොක්කා කොළ මැල්ලුම්, දෙල්, බටු,සෝයා මීට්, පපඩම් තිබුනු අතර, එම ගම්වල එලවළු පමණක් ආහාර පමණක් ගන්නා බව මාර්ග උපදේශක අපට පැහැදිලි කලේය.

නමුත් කරෝල කෑල්ලක් හෝ බැඳ තිබුනානම් දහවල් කෑම පිරියකින් ගන්නට තිබුනා නොවේදැයි සිතමින් අපි ආහාර ගත්තෙමු.

ආහාර ගත් පසු වේලාවද මඳ හෙයින් ඉක්මනින් සංචාරය ඇරඹුවෙමු. ගෙදර ලගින්ම තිබූ කුඩා පාරේ කිලෝ මීටර් එක හමාරක් පමණ පයින් ගිය අපට වෙලක් අයිනේ කමතක සාදා තිබූ කුඩා කෑම්පින් සයිට් එකක් හැරුණු විට සාමාන්‍ය ගම්මිරිස් වතු මැදින් ගමන් කලෙමු. ගම්මිරිස් ඉතා සරුවට පල දරන බව පෙනුනු අතර, ඒවා සාමාන්‍යයෙන් අක්කර 2/3 ගම්මිරිස් ඉඩම් විය. අතරමග තිබූ කුඩා ලියදි සහිත කුඹුරු ටික කලකින් වැඩකර නොමැති බවක් පෙනෙන්නට තිබුණි. අපි මෙලෙස ගමන් කර ඔයකට පැමිණි අතර, තරුණයන් පිරිසක් එහි මත්පැන් පානය කර සතුටින් දිය නාමින් සිටින බව අපි දැක්කෙමු. මේ යන අතරතුර ලකේ ගල නැමැති අලංකාර කන්දක් ඈතින් පෙනුනි. එම කන්ද මුදුනේ ඇති ඔලුවක් වැනි ගල්කුල අපේ හිටපු ජනාධිපතිවරයෙකු වන  ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුහුණට සමාන කම් තිබෙන්නේදැයි අපි සාකච්ඡා කලෙමු.




ඔයෙන් එගොඩට ගොස් ටික වේලාවක් කථා කරමින් සිට ආපසු අපි මෙගොඩට පැමිණියෙමු. ඉන්පසු අපේ කණ්ඩායමේ කෙනෙකු මීපුරට තව දුරදැයි මාර්ගෝපදේශකගෙන් ඇසුවේ තාමත් විශේෂ කිසිවක් දැක ගන්නට නොලැබුනු නිසාය.

එවිට ඔහු කියා සිටියේ මීමුරේද අප බලා අවසන් බවත් සූරිය අරණ චිත්‍රපටයේ පාවිච්ච් කල වැල් ආදිය සංචාරකයන් පැමිණ පැද කඩා දමා ඇති බවත් ජැක්සන් ඇන්තනී මස් විකුණු ගල් බැම්ම අප දැනටත් පසුකර පැමිණි බවත්ය. 

ඉන්පසු අපි අපේ වාහන නවතා තිබූ තැනට ආවෙමු. අතරමග නවතා තිබූ වාහනය පාරට දමා ගැනීමට ඉතාමත් වෙහෙසක් දරා ගැනීමට සිදුවූයේ පාරවල් දෙකම ඉතා පටු වූ නිසාය මෙයට ගල් ආදිය දමා පාර සකස් කර ගනිද්දී එහි ගැමියන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදීමට අපට හැකි විය. එම සාකච්ඡාවේදී හා ගමන අතරතුර ගම්‍ය වූ කරුණු කිහිපයක් පහත පරිදිය.
  • මෙම ගම දැන් දේශීය සංචාරක පරාදීසයක් බවට පත්ව ඇත. බොහෝ නිවෙස්වල රාත්‍රියකට රුපියල් 1000 ගණනේ නවාතැන් පහසුකම් ලබාගත හැක. 
  • බොහොමයක් නිවෙස්වල නවාතැන් සහ ආහාර සැපයීම ව්‍යාපාරයක් ලෙස සිදුවෙයි.සංචාරක ව්‍යාපාරයෙන් හා ගම්මිරිස් වලින් ආදායම් ලැබෙව නිසා කුඹුරු ගොවිතැන් අතහැර දමා ඇත.තවත් සංචාරකයන් සමග කථා කිරීමේදී දැනුනේ සියලු දෙනාම හරි අවබෝධයන් නොමැතිව මීමුරේට පැමිණෙන බවයි.මීමුරේ ඇත්තෙන්ම තනිවූ ගමක් තත්වයට පත්ව ඇත්තේ විශාල තේ වත්තක් ඒ ගම සහ හුන්නස්ගිරිය අතර ඇතිවීම නිසාය
  • එහි තිබෙන ගෙවල් පැරණි ගමක නිවාස නොව සාමාන්‍ය සිංහල ගමක දැන් කාලේ තිබෙන නිවාසයන්ය.ලකේ ගල හැරෙන්නට විශේෂයෙන් බලන්නට හෝ කරන්නට කිසිවක් එහි නැත. නමුත් ඔවැනි සිත් ගන්නා කඳු හුන්නස්ගිරිය පැත්තේ මහා පාරේ සිට බලන්නට ඕනෑතරම් තිබේ.
  • මහනුවර නැගෙනහිර සිට පැය එකොලහක් යාමට හා ඒමට ගත කර බොහෝ ත්‍රාස ජනක රිය එලවීම් වලින් පසු ඔයක් සහ කන්දක් බලා පැමිණීම එතරම් සිත් ගන්නා සුලු ට්‍රිප් එකක් නම් නොවේ.    
  • අපට හමුවුනු එක් මීමුරේ වැසියෙකු ඉගෙන ගෙන ඇත්තේ මහනුවර නගරයේ පාසැලකය. ඔවුන් අප හිතන තරමේ ග්‍රාමීය ගමක් නොවේ.
  • ගමේ සිට වෑන් එකක් දිනපතා උදේ පහට හුන්නස්ගිරියට යයි. කිලෝ මීටර් 35 ට රුපියල් 500 ක් අය කරයි. පාරේ තත්වය හිතා ගැනීමට මෙය ප්‍රමාණවත්ය.
  • ලූල්වත්ත හන්දියෙන් හැරුණු පසු ටික දුරක් ගිය විට ජංගම දුරකථන වැඩ කරන්නේ නැත. 

  • මෙතරම් වෙහෙසක් විඳ අන්තිමට ගමට ගියපසු එහි බලන්නට තිබුනේ ලකේ ගල නැමැති කන්ද හා ඔය පමණයි. එවැනි ඔයක් බලන්නට අවශ්‍ය නම් එයට වඩා බොහෝ සිත් ගන්නා හුලු ගඟ ඔය දිගන මහා මාර්ගයේ සිටම නැරඹිය හැක.
  •  මෙයට අමතරව අපේ ගම්වල පැරණි මිනිසුන් තේ බිවූ ලොකු බෙලෙක් කෝප්පයකින් බොන කෙනෙකුත් ගම්මිරිස් වතු වලට ඇතුල් වෙන්නට දමා තිබුණු පරණ පෙනුමෙන් යුත් කඩුලුද වත්තකට ගල් වලින් බැඳ තිබූ බැම්මද  අප එහිදී දුටු පරණ දේ යැයි කිවහැකිය.  

අප ඉතාමත් අපහසු ත්‍රාස ජනක රාත්‍රී වාහන පැදවීමකින් පසු බලාපොරොත්තු සුන් වී රාත්‍රී එකට පමණ ආපසු නිවසට පැමිණියෙමු. 


 සංචාරය පිළිබඳ හොඳම දෙය සිදුවුනේ පහුවෙනිදා උදෑසනය. 

සංචාරය යාමට පෙර මේ පාරවල් පිළිබඳව මා ඇසූ මගේ මිතුරෙකු මට දුරකථනයෙන් කථා කලේය. 

“මීමුරේට යන පාර පිළිබඳව මට අරංචියක් ලැබුණා. ඒ අපේ ගෙවල් ලඟ නිවසක් සෑදීමට පැමිණ සිටින මීමුරේ බාසුන්නැහැ කෙනෙක් ගෙන්. ඔහු මට කීවා පාර සම්පූර්ණයෙන්ම කාපට් කර ඇති බව.“ 

මම ඔහුට ස්තූති කලෙමි. මෙය කුමන්ත්‍රණයක්ද එසේත් නැත්නම් කියන්නන් වාලේ කීමක් දැයි මට තෝරා ගත නොහැක.

ට්‍රිප් වර්ග දෙකක් ඇති බව මා අසා තිබේ. 

  1. මුල සිට අග දක්වාම සතුටු විය හැකි 
  2. ට්‍රිප් එක අවසන් වූ පසු එය අවසාන වූවා යැයි සතුටු විය හැකි 


අපේ මීමුරේ ට්‍රිප් එක දෙවැනි වර්ගයේ ඔටුනු පැලැදිය හැකි එකක් බව නම් හොඳටම විශ්වාසය.  



Tuesday, December 20, 2016

අත්තමෙන් සමාගමට .











ඊයේ රාත්‍රියේ මම හිස්ටරි චැනල් එකේ  food tech  නම් වැඩ සටහනක් නැරඹුවෙමි. හවස හත වන විට මාගේ වැඩ අවසන් වී තිබුනොත් මෙය නරඹන්නට මම අමතක කරන්නේ නැත. ඇමරිකාවේ ඡන්දය අවසන් වන තෙක් CNN  නොවරදවාම බැලුවත් ඉන්පසු එහි ට්‍රම්ප්ට විරුද්ධව අඬා වැලපීම බලන්නට අකමැති නිසා මෙවැනි සැහැල්ලු වැඩ සටහන් බලන්නට පටන් ගත්තෙමි. එයින් නැගලාම ගිය දෙකක් නම් (ලගකදී අගමැතිතුමා පාවිච්චි කල නිසා පොලිටිකලි කරෙක්ට් වූ යෙදුමක්) මේ  වැඩසටහන සහ දවල් 1.00 සිට 2.00 දක්වා පෙන්වන pawn stars  වැඩසටහනයි. ඇත්තෙන්ම  Pawn stars  එකට දැන් addict  වන තරමට එය සිත් ගන්නා සුලුය. 

ඉතින් ඊයේ food tech  වැඩසටහනේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සහල් ගොවිපලක්, කිඹුලන් ඇති කරන තැනක්, සෝස්  හදන තැනක්, පීච් ගොවිපලක් වැනි ගොවිපලවල් බොහෝ ගණනක ඇතුලත වැඩ කෙරෙන ආකාරය පෙන්වා දුනි. මෙහි පෙන්වූ සහල් කුඹුර කාබනිකව වගා කරන අක්කර 5000 ක ලියද්දකි. වටේටම ඇත්තේ එක් නියරකි. වී ඉහින්නේ කුඩා ගුවන් යානයකි. පොහොර සහ කෘමිනාශක වෙනුවට වල් සහ කෘමීන් පාලනයට කරන්නේ භූමිය ජලයෙන් වසා තැබීමෙනි.   

පීච් වත්තේ පීච් ගස් 90,000 කි. ශීත සෘතුව කලින් ආවොත් මුලු වත්තම රත් කිරිමට කිලෝ 40 පිදුරු මිටි තැනින් තැන ගිනි තබති. ඉහල අහසේ වලාකුළු සහ ශීතල වාත ස්තර  පලවා හැරීමට මීටර් 30 ක් උස ටවර් මත සවිකර ඇති බඹර පෙති හරහා උණු වාතය විසුරුවනු ලැබේ. විශාල උණ බට තුවක්කු ලෙස ක්‍රියා කරන ලොකු ගස් තරම් අහසට එල්ල කරන ලද බට වලින් රත් වූ වාතය වාතය දෙදුරුම් කන ලෙසට නිිකුත් කිරීමෙන් පල දරන කලට වලාකුළු  වර්ධනය වීම වැලැක්වීමට අහස දෙදුරුම් කවනු ලැබේ. 

මේ ගොවියන් සමග අපට තරඟ කල හැකිද? අපේ අටලහේ, පහලොස් ලහේ ගොවියන්ට මෙලෙස තාක්ෂණය යොදා ගන්නට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත. අඩුගානේ අත් ට්‍රැක්ටරයකටවත් මුදල් යෙදවීමටත් එම මුදල ආපසු කවර් කර ගන්නටවත් වැඩක යෙදිය යුතුය. එසේ නම් එලෙස වැඩක යෙදීමට තරම් ඉඩම් තිබිය යුතුය.

 අක්කර කාලෙන් භාගෙන් මේවා කරන්නට හිතන්නටවත් බැරිය. අක්කර 5000 කුඹුරට තමන්ගේම ගුවන් යානයෙන් වී ඉහින ගොවියා සමග පොඩි ගොවියන්ට තරඟ කරන්නට හැකියාවක් නැත්තේය. ඒ අතර දවසට රුපියල් 1200 ක් කුලී ගෙවා කුඹුරු වැඩ කර ගන්නා කුඹුරු ගොවියන් මේ තරඟයෙන් කොහොමටත් පරාද වන්නේ මුදලෙන් පාඩු වෙනවා සේම කම්කරුවන් සොයා ගැනීමට නොහැකිව වැඩ කල් ගත වී වැස්සේ බස් එක මිස් වීම නිසාය. 

මෙයට පරම්පරා දෙකකට පෙර අපේ ගැමියන් මෙම ප්‍රශ්නය මිදුනේ අත්තම් ක්‍රමය භාවිතා කිරීමෙනි.  
කිසිවෙකු කිසිවෙකුට මුදල් දුන්නේ නැත. 

අප මෙම අත්තම් ක්‍රමය යොදා ගෙන මෙයින් ගැලවෙන්නේ කෙසේද? ඉස්සර අත්තම් කරන කාලයේ අප මුතුන් මිත්තන් පොදු ආයෝජනය ලෙස යෙදුවේ ශ්‍රමයයි. දැන් අපට එය කරන්නට බැරි කුඹුරු හිමියන්ගෙන් 95% ටත් වඩා ගොවිතැන සදහා නුපුහුණු ශ්‍රමිකයන් වීමයි.දැන් ගමක කුඹුරු අයිතිකාරයන් 50 දෙනෙකුට කුඹුරු අක්කර 25 ක් තිබෙනවා යැයි සිතමු. මේ 25 දෙනාගේ වුවමනා එපාකම්, අධ්‍යාපන හා මුදල් පසුබිම එකිනෙකින් වෙනස්ය. ඔවුන්ගේ කුඹුරු වැඩ කිරීම සිදු වන්නේත් මේ කරුණු මුල් කරගෙනය. එහෙත් කුඹුරු අයිතිකරුවන් සියලු දෙනාටම එලෙස ආයෝජනය කල හැකි වෙනස් ප්‍රාග්ධනයක් ඇත්තේය. ඒ තමන්ගේ කුඹුරයි. 
මෙලෙස ප්‍රදේශයේ තිබෙන කුඹුරු සියල්ලම එකතුකර එයින් සමාගමක් පිහිටුවා කුඹුරු ප්‍රමාණයන්ට අනුව ලාභාංශ බෙදා ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන ගාය හැක.එවිට කුඹුරු ප්‍රමාණයේ හැටියට කෘෂිකර්මය පිළිබඳ දැනුමක් ඇති කලමනාකරුවෙකු කොටස් හිමියන්ට පත්කර ගත හැකි අතර, මෙම සමාගම මගින් පසුගිය කන්න වගාකල අන්දම පරීක්ෂා කර වී හෝ වෙනත් භෝගයක් වගා කරීම එසේත් නැත්නම් එළුවන් හා හරක් වැනි සත්වයන් ඇති කිරීම සදහා මේ භූමිය යොදා ගත් හැකි අතර මූලික වියදමට හැකි කුඹුරු හිමියන් ගෙන් මුදල් යොදවා ගෙන ඒ සදහාත් ඔවුනට වැඩිපුර කොටස් ලබාදිය හැක්කේය. අක්කර 50 ක් පමණ වවන සමාගමකට උපකරණ සහ දැනුම සදහා තරමක ආයෝජනයක් කරන්නට පහසුවෙන් පුලුවන.  

අඩු තරමින් මුලු රටෙහිම මෙය කරන්නට පෙර මුලින් ග්‍රාමසේවක කොට්ඨාශ කිහිපයක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල හැක්කේය. 



   

Thursday, December 15, 2016

නූතන ලෝකයේ අප ජීවත්වන ආකාරය වැඩියෙන්ම වෙනස් කලේ කවුරුන් විය හැකිද?









මේ ලඟකදී මගේ වාහනයේ dash board  එකේ අමුතු වෙනදා නොවන ලකුණක් වැටිණ. මම මේ පිළිබඳව ගැරේජ් එකක් අයිති මගේ මිතුරෙකු ගෙන් ඇසුවෙමි. මෙය ජපන් අකුරු වලින් වැටෙන නිසා ඒ වැටෙන රූප සටහන තේරුම් ගත නොහැකි නිසාත් ඔහු අනුමාන කර කිව්වේ වාහනයේ හයිබ්‍රීඩ් බැටරිය කැඩී ඇති නිසා තරමක් වියදම් කර අලුත් බැටරියක් දැමීමට සිදු විය හැකි බවයි. 

වාහනයේ ඒ සංඥාව වැටී තිබියදී කිසිම කරදරයක් නැතුව දුවන නිසා දවස් කිහිපයක් මෙය ගණන් නොගෙන දුවන අතර, මට දවසක් උදේ ගණදෙවි නුවණ පහල විය. සතියකට වරක් දෙවරක්මෙසේ ගණදෙවි නුවණ පහල වන විට එකෙනෙහිම ක්‍රියාත්මක විය යුතුය. එසේ නැත්නම් එය කොහේ හෝ සටහන් කල ගත යුතුය. මහාතීර් මොහොමඩ් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට රතු පොත් දී තිබුනේ මෙවැනි මොහොතක ප්‍රයෝජනයට ගන්නටය. මම මේ සදහා යොදා ගන්නේ ජංගම දුරකථනයේ voice recorder  උපාංගයයි. 

මම වාහනය පැත්තකට කර නවතා display photo එකක් ගෙන එය  පෝස්ට් එකක් ලෙස දැමුවෙමි. ඒ සමගම මෙලෙස  එන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසුවෙමි. බොහෝ මිතුරන් මගේ උදව්වට  පැමිණියහ. ඇත්තෙන්ම පෝස්ට් එක පල කරන විට මා හිතුවේ එහි තිබෙන ජපන් අකුරු කියවන්නට පුලුවන් ජපානයේ සිටින මගේ මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු මේ පිළිබඳ උපදෙසක් ලබා දෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදු වූයේ නැත. නමුත් චිත්‍ර සටහන කියවූ මිතුරන් කිහිප දෙනෙකුම දන්වා සිටියේ වාහනයේ රිමෝට් යතුරේ බැටරිය ක්ෂය වෙමින් තිබෙන බව එයින් පෙන්වා දෙන බවය. 

මේ උපදෙස් කියවීමෙන් පසු ඔවුනට ස්තූති කර මම ආපසු වාහනයේ display එක හොඳින් පරීක්ෂා කර බැලුවෙමි. අඳෝමය; මම බොහෝ ලැජ්ජාවට පත් වූයෙමි. මුලදීම හොඳින් කල්පනා කර බැලුවේ නම් මේ පෙන්වන්නේ remote  යතුරේ බැටරි ක්ෂයවීම බව පහසුවෙන්ම මටම ප්‍රත්‍යක්ෂ කර ගත හැකිව තිබුනු බව මට පෙනුනි. ලෙඩේ මෙයමදැයි බැලීමට අතිරේක යතුර ලඟට ගෙන ආවද වෙනසක් නොවුනි. 

කෝකටත් කියා අසල ඔර්ලෝසු අලුත්වැඩියා කරන්නෙකුට කියා බැටරි මාරු කරගෙන පරීක්ෂා කල විට ප්‍රශ්නය විසඳී ඇති බව පෙනුනි. මුලු වියදම රුපියල් 200 ක් විය. 

ඉන්පසු මට කල්පනා වුනේ FB එක  දැන් අපගේ ජීවිතයට කොතරම් සම්බන්ධ වී ඇත්ද යන බවයි. එය අපගේ ජීවිතය කොතරම් පහසු කරන්නේද යන බවයි. එයින් අපට කොතරම් ප්‍රයෝජන ගත හැකිද යන බවයි. මෙය ඉතාමත් කුඩා උදාහරණයකි. මහ සයුරට දිය බිංදුවකි. දැන් ලෝකයේ වැඩිම ජනතාවක් අන්තර් ජාලයේ ඇතුල් වන ලිපිනය  FB ය. එය දැන් ඒ අංශයෙන් ගූගල්ද පරදවා ඇත්තේය. 

මේ ලඟකදී ඇමරිකවේ කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඇමරිකාවේ මිනිසුන් 30% කට අධික ප්‍රමාණයක් තමන්ගේ මූලික ප්‍රවෘත්ති ප්‍රභවය ලෙස පාවිච්චි කරන්නේද FB බවයි. බොහෝ දියුණු නිදහස් රටවල ඡන්ද දිනන්නේ හෝ පරදින්නේ FB නිසාය. ටික කලකට පෙර ඊජිප්තුවේ ඇති වුනු රාජ්‍ය පෙරලියකට මුලු වූ ජනතා විප්ලවයට මුල් වූයේත් FB එක නිසා බව කියනු ලැබේ. ලංකාවේත් පසුගිය ජනාධිපති වරණයේ FB  ක්‍රියාකාරිත්වය නිසා සෑහෙන වෙනසක් සිදු වූ බව නොකිවමනාය. 

ලංකාවේ ජනතාවද  FB ජාලය මගින් නොයෙකුත් ප්‍රයෝජන ලබා ගනිති. 


  • මිතුරන් හදුනා ගැනීම; FB අාගමනයට පෙර මිතුරන් දහ දෙනෙකු පවත්වා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. දැන් තුන් හාරදාහක් ඇසුරු කිරිම කේක් වෝක් එකකි. 
  • තොරතුරු ලබා ගැනීම; ඉහත මගේ  උදාහරණය පරිදි.
  • සම්මාදම් කිරීම; ඉස්සර ඉරිදා දවස්වල සුදු ඇඳගත් කාන්තාවන් පන්සල් හදන්නට සහ කඨින පින්කම් වලට සම්මාදම් සදහා නිවෙස් වලට පැමිණියහ. FB එකේත් මෙය නොයෙක් ආකාරයට සිදුවේ.  
  • පොත් පත්, චිත්‍රපට වැනි දෑ ගැන සාකච්ඡා කිරීම; මේ නිසා චිත්‍රපටි සහ පොත් පත් වැනි කලා කෘති වලට ලොකු උනන්දුවක් ඇතිවේ. මා දුටු පරිදි සමහර පොත්, විශේෂයෙන්ම කවි පොත් වල විකිණීම FB නිසා 10/20 ගුනයකින් පමණ වැඩි වන්නට ඇත. 
  • කවියන්ට කවි ප්‍රසිද්ධ කර ගැනීමට මාර්ගයක් විවෘත වීම; පෙරදී මෙන් පත්තර කාරයන් පිටුපස යාමට සහ ඇදුරුම්කන් ගොඩනගා ගැනීමට අවශ්‍ය නැත.  
  • තමන් දකින සිත්කලු සහ දැකුම්කලු දෑ ගැන එක් මනස් ඇත්තන් සමග බෙදා හදා ගැනීම. 
  • රටෙහි සිදුවන, විශේෂයෙන්ම පාලන අධිකාරියෙන්, අසාධාරණ වලට විරුද්ධව හඬක් නැගීම සදහා වේදිකාවක් වීම. 
  • වෙනත් කණ්ඩායම් විසින් කෙරෙන අසාධාරණ වලට විරුද්ධ වීම; මෙය සදහා පසුගිය පුද්ගලික බස් වර්ජනයට විරුද්ධ වීම හොඳ උදාහරණයකි. 
  • බොහෝ කල් සම්බන්ධකම් වලින් අත්හැරුණු පැරණි පාසැල් සමකාලීනයන් වැනි මිතුරන් නැවත සම්බන්ධතා ගොඩ නගා ගැනීම; විශේෂයෙන්ම වැඩුනු පුද්ගලයන්.
  • තමන්ගේ රැචිකත්වයට ගැලපෙන වෙළඳ දැන්වීම් බලන්නට ඉඩ ලැබීම; අප FB හි දකින වෙළඳ දැන්වීම් අපි දකින්නේ අපේ පෙර රුචිකත්ව අනුව FB එකේ  තේරීම අනුවය. 
  • අපරාධකර පැන යන පුද්ගලයන් අදුනා ගැනීමට CCTV දර්ශන ප්‍රසිද්ධ කිරීම. 
  • උසුළු විසුළු කිරිම.


මේ සියල්ල බැලූ විට පහුගිය පරම්පරා 10/15 ක්, එහෙමත් නැත්නම් මනුෂ්‍ය සංහතිය පටන් ගත් දා සිට එක් මිනිසෙකු අප ජීවත්වන හැටි වැඩියෙන්ම වෙනස් කලේ කවුරුන්දැයි කෙනෙකු මගෙන් ඇසුවොත් මම කියන්නේ සුකර්බර්ග් කියාය. 

මේ තේරීමට මා ආගමික කතෘවරුන් සම්බන්ධ කර ගත්තේ නැත. 


  

Sunday, December 11, 2016

හම්බන්තොට ඛේදවාචකය; කථාකිරීමේ වැදගත්කම.









මේ දිනවල ටී.වී. චැනල් වලට ප්‍රවෘත්ති සපයා දීමෙන් ප්‍රධාන මූලාශ්‍රය හම්බන්තොට වරාය බවට පත්ව තිබේ. ටී.වී. චැනල්ද ඉතාමත් සතුටින් තලු මරමින් හම්බන්තොට ජනනය වන ප්‍රවෘත්ති ලුනු ඇඹුල් යොදමින් ජනතාවට ඉදිරිපත් කරති.

හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක්ද? මෙම වරාය චීනයෙන් ලොකු ණයක් ගෙන හැදුවද ඇත්තටම එයින් වැඩක් නොවූ බව මේ පිළිබඳව සාධාරනව ඔිනෑම කෙනෙකු පිළිගන්නවා ඇත. අපි යමක් හදන්නේ එහින් ප්‍රයෝජනයක් ගැනීමටය. ණයක් අරගෙන එයින් ව්‍යාපාරයක් පටන් ගෙන ව්‍යාපාරය විවෘත කල පසුත් එයින් ලැබෙන ආදායමට වඩා බොහෝ මුදලක් අතිනුත් දමා ණය වාරික ගෙවන්නට සිදුවන්නේ නම් එය ව්‍යාපාරයක් නොවේ. සල්ලි වලට ගස් ගෙන ගඟට ඉනි කැපීමක් වැනිය. පොදු ජනතාවගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ රටේ යටිතල ව්‍යුහයන් දියුණු කිරීමට තිබෙන මුදල් මෙවැනි ව්‍යාපාර පටන් ගෙන ඒවායේ ණය ගෙවීමට වියදම් කිරීම ඉතාමත් ශෝක ජනකය.

වරායකට නැවක් එන්නේ එක්කෝ බඩු ගෙයාමටය. එසේත් නැත්නම් බඩු රැගෙන ඒමටය. ගෙනයාමට හෝ රැගෙන ඒමට බඩු නැත්නම් නැව් එන්න්‍ෙ නැත. යම් ස්ථානයකින් අන්තර් ජාතික මුහුදු ගමන් මාර්ගයක් වැටී තිබෙන නිසා එයින් ප්‍රයෝජන ගැනීමට වරායක් දැමීම හරියට හයිවේ එකක් ලඟ තේ කඩයක් දමා ගැනීම වැනිය. ලඟින් ඕනෑතරම් වාහන යන්නට පුලුවන. එහෙත් අපේ තේ කඩයට ඒ වාහන වලට ඒමට විශේෂ අවශ්‍යතාවයක් නැත්තේ නම් ඔවුන් අප කඩේට එන්නේ නැත.

දැන් කෙසේ හෝ මා හිතන විදිහට ඩොලර් බිලියන 1.3 ක් පමණ වියදම් කර වරාය සාදා අවසානය. දැන් ඒ ණය ගෙවන්නට වරායෙන් ආදායමක් එන්නේ නැත. චීනය අපට කර ඇත්තේ පකිස්ථානයට කලදේමය. පතිස්ථානයේත් චීනය විසින් මෙලෙස සාදන ලද ග්වඩාර් වරායට තවමත් නැව් එන්නේ නැත. දැන් අපි මේ වරාය නිසා අමාරුවේ වැටී සිටින බව මුලු ලෝකයම දනී. මෙම වරායට මෙහි සමහරුන් කියන්නා සේ ලොකු ආර්ථික විභවයක් ඇත්තේ නම් ලෝකයේ තිබෙන පුද්ගලික වරායන් අයිති කම්පැනි සහ වරාය මෙහෙයුම් ආයතන මේ සදහා ආයෝජනය කිරීමට යෝජනා සකස් කරගෙන මෙලහකටත් වරාය ඇමතිතුමාගේ කාර්යාලය ලඟ පෝලිම් ගැසෙනවා අපි දැක යුතුය. එහෙත් අපට එවන්නක් ගැන අසන්නට ලැබුනේ නැත. 

දැන් චීන රජයේ අනුග්‍රහය ලබන චීන කම්පැනිය අපි ණය බරින් නිදහස් කරයි. ඉන්පසු ඔවුන් මෙම වරායෙන් ලාභ ගන්නට නම් මෙයට වෙළඳ නැව් ගෙනා යුතුය. වෙළඳ නැව් ගෙන ඒමට නම් ඒවාට වරායට ඒමට හේතුවක් ඇතිකල යුතුය. ඒ සදහා ඔවුන් නිෂ්පාදනයන් කරන්නට යන බව පෙනේ. මෙලෙස නිෂ්පාදන කලාපයක් ඇතිවන විට සහ නැව් එන්නට පටන් ගත් විට හම්බන්තොට ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවක් දකිනු ඇත. අප රජය මෙතනදී පරිසරයට හානි නොවන කර්මාන්තශාලා ඇතිවන බවට වග බලා ගත යුතුය. විශේෂයෙන්ම චීන ව්‍යාපාරිකයින් මෙවැනි දෑ කරන්නට උත්සාහ කරනු නොවනුමානය. 

ඉහත සැකය පිළිබඳව ප්‍රවේශම් වනවානම් මෙම එකඟතාවයෙන් වෙන වැරැද්දක් වේයැයි සිතන්නට අපහසුය. සාර්ථක වරායක් සහ කර්මාන්ත ශාලාවන් බොහෝ ප්‍රදේශයක ඇති වූ විට ඒවායේ හොඳ ප්‍රතිපල ඉක්මනින්ම වක්‍රාකාරයෙන් සහ කෙලින්ම අවට ජීවත්වන පුද්ගලයන්ට දැනෙනු ඇත. 

දැන් මෙය චීන සමාගමක් සමග කිරීමේදී අලුත්ම ප්‍රශ්නයක් ඇතිව තිබේ. ඒ එම වරායේ සේවය කරමින් සිටි අනියම් සේවක පිරිසක් වරාය චීන සමාගමට දෙන්නේ නම් ඔවුන් වරාය අධිකාරියේ ස්ථීර රැකියවට බඳවා ගන්න යැයි පවසමින් කලබැගෑනියක් කිරීමයි. ඔවුන්ට මෙලෙස කලබල කිරීමට ඉවහල් වන කරුණු මොනවා විය හැකිද? 


  • චීන සමාගමෙන් ඔවුනට රැකියා ලබා නොදෙන්නේ යැයි ඇති බිය.  
  • ඔවුන් චීන සමාගමේ වැඩට ගතහොත් දැන් ලබන වැටුපට වඩා අඩු වැටුපක් ලැබේයැයි ඇති බිය. 
  • ඔවුන් දැන් රජයේ රැකියාවක් කරනවා මෙන් වැඩ කරනවාට වඩා ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් මහන්සි වී කරන්නට ඇති වේයැයි ඇති බිය. 
  • මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බොහෝ වරප්‍රසාද ඇති යැයි සැලකෙන වරාය අධිකාරියේ ස්ථිර රැකියාවක් ලබා ගැනීම. 
  • රජය අප්‍රසාදයට පත් කිරීමේ ඕනෑකම. 
  • අන්තර් ජාතිකව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිමූර්තියට හානි කිරීම. 


මේ සදහා සාධාරණ විසදුම කුමක්ද? 

වරාය අධිකාරියේ ස්ථිර රැකියා ලබාදීම ?  මෙලෙස කිරීමට නම් මොවුන් මුලින්ම රැකියාවට ආවේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ඔවුන් නියමිත ආකාරයට රැකියා ඇබෑර්තු ප්‍රසිද්ධ කර තරඟ විභාගයක් පවත්වා රැකියා වලට රැගෙන ඇත්නම් මෙලෙස වරාය අධිකාරියේ රැකියා දීම සාධාරණය. එසේ නැත්නම් වරාය අධිකාරියේ පුරප්පාඩු ඇත්නම් ඇබෑර්තු විවෘතව ප්‍රසිද්ධ කර තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සපුරාලන අයදුම් කරුවන්ට රැකියා ලබාදිය යුතු අතර මොවුනට පුමුඛතාවයක් ලබාදීම අනෙක් සියලු ජනයාට කරන අසාධාරණයකි ඔවුන් මෙයට කැමති වෙන්නේද, නැත. කවදාවත් කැමති වෙන්නේ නැත. 

මේ ලොකු ව්‍යාපෘතියක රජයට මොවුන්ට දැන් ලැබෙන වැටුපට හෝ ඊට වඩා වැඩි වැටුපකට චීන සමාගමෙන් රැකියා ලබාදෙන ලෙසට  ඉල්ලා සිටීම - මෙහි ආයෝජනය හා පරිමාණය අනුව එය සාගරයක දිය බිදක් හා සමාන වනු ඇත. මේ සදහා රජයට සේවකයන් වෙත ලිඛිතව පොරොන්දු විය හැක. ඔවුන් දැන් අනියම් සේවකයන් නම් වරායේ කලමනාකරණය වෙනස් වන විට ඔවුන් ස්ථිර සේවකයන් වීම අනිවාර්ය කාර්යයක් නොවේ. ඒ දෙකෙහි ඇත්තෙන්ම සම්බන්ධයක් නොමැත. 

බොරදියෙහි මාළු අල්ලන්නට ගොස් රටෙහි සියලු පොදු ජනයාට බලපාන ආර්ථික ප්‍රතිරූපය කුඩා පිරිසකට වනසන්නට ඉඩදීම මුලු රටේ ජනතාවටම සිදුවන මහත් අපරාධයකි. විශේසයෙන්ම මෙවැනි සිදුවීම්  වලට වෙළඳ නාවික ක්ෂේත්‍රය ඉතාමත් සංවේදී බව අප විශේෂයෙන්ම මතක තබාගත යුතුය. 

මෙතරම් පැහැදිලි විසදුමක් තිබියදී රජයේ නියෝජිතයෙකු එය ඔවුනටද පැහැදිලි කර රූපවාහිණියෙන් එය ජනතාවටද පැහැදිලි කර මෙය නොවිසදන්නේ ඇයි යන්න පුුදම ඇතිකරන ප්‍රශ්නයකි.          

Friday, December 9, 2016

අහෝ සිරියාව






මම 1981 නාවික හමුදාවේ සිටියදී ලංකා කාන්ති නෞකාවේ සේවය කිරීමට පත් කරනු ලැබ නෞකාව කොළඹ සිට මැදපෙරදිගට ගිය ගමන් වාරයක්, මාස හයක් පමණ එහි සේවය කලෙමි. මෙම කාලය තුල දැන් යුද්ධ නිසා බොහෝ ප්‍රසිද්ධව ඇති සිරියාවේ ලටාකියා වරායටද තේ ගොඩ බෑම සදහා අපි ගියෙමු. ලංකා කාන්ති නෞකාවේ ගමන් විස්තරයේ කොටසක් පිළිබදව මා විසින් ලියූ අතීත සටහනක් මෙහි පින්තූරයෙන් පසුව නැවත පලකර ඇත. 

දැන් ඉතාමත් කනගාටුදායක ලෙස යුද්ධයන්ට මැදි වී සිටින සිරියාවේ ලටාකියා වරායේ අප ගතකල කාලයද ඉතාමත් සිත් ගන්නා සුලුය. එම වරාය අසල වානිජ නැව් බොහෝ ගණනක් නැංගුරම්ලා ඇතුලට යාමට බලාගෙන සිටිති. වරාය ඇතුලේ කටයුතු සිදුවන්නේ ඉතාමත් සෙමිනි. නැව් මාස ගණන් නැංගුරම් ප්‍රදේශයේ සිට ඇතුලට යාමට බලා සිටියද දවසකට ඇතුලට ගන්නේ නැවක් හෝ දෙකක් පමණි.

එලෙස ඇතුලට ගන්නා නැව් මොනවාදැයි දන්වන ගුවන් විදුලි ප්‍රචාරයක් ඔවුන්ගේ  VHF චැනලයේ උදේ අටට පමණ ප්‍රචාරය වෙයි. නැංගුරම් ප්‍රදේශයේ බොහෝ දිනක් ගතකර වරායට යාමට සෑම දෙනාගේම උනන්දුව දිනෙන් දින වැඩිවන නිසා අද දවසේ වත් ඇතුලට යාමට හැකිවේදැයි අසන්නට නැවේ සියලු දෙනාම පාහේ බ්‍රිජ් එකට පැමිණ මෙම ප්‍රචාරයට කන්දෙති. එදින ලැයිස්තුවට අපේ නැවේ නම නැති වූ විට බලාපොරොත්තු කැඩී ආපසු යති.

මෙතැන තිබූ සමහර ඉන්දියානු නැව් වලින් වරායේ ප්‍රචාරය කරන තැනැත්තාගේ අනුකම්පාව උපදවා ගෙන ඇතුලට යාමට නොයෙකුත් ආයාචනාත්මක ඉල්ලීම් කරති.

“සර් අපේ නැව ‘මර්චන්ට් වෙස්ල් මහාභාරත්‘ දැනට මෙහි පැමිණ දවස් 32 ක් වෙනවා, කරුණාකර අපේ නැව ඇතුලට ගන්නේ කවදාදැයි අපට කියන්නට පුලුවන්ද සර්,“

“You are not in the list today, out” යන්න සැමවිටම ලැබෙන පිළිතුර විය. මෙලෙස අපේ නැවේ නම කියවේදැයි බලාපොරොත්තුවෙන් එතන රැස්වී සිටීම හරියට විභාග ප්‍රතිපලයක් හෝ ලොතරැයි දිනුමක ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් සිටිනවාක් වැනි විය.  මෙලෙස බොහෝ කාලයක් නැංගුරමේ සිටිද්දී අප නාවිකයන්ගේ වඩාත්ම ජනප්‍රිය විහිළුව වූයේ මෙලෙස ‘ලටාකියා පෝට්‘ සහ ඉන්දියානු නැව්වල කපිතාන් වරුන්ගේ දෙබස් විය.

ලටාකියා වරායට ගියපසු එහි බඩු බෑම් කෙරුනේද ඉතා සෙමිනි. එම නගරය මැදපෙරදිග නොව සම්පූර්ණයෙන්ම යුරෝපයේ නගරයක් මෙන් හැඟීමක් දුන්නේය. ඇඳුම් පැලඳුම්, හැසිරීම් සහ අනෙක් සෑම පැතිකඩකින්ම යුරෝපීය ලක්ෂණ ගත් එම නගරයෙහි අප ඇවිදින්නට හෝ යමක් මිළදී ගන්නට ගියවිට තරුණ කාන්තාවන් පැමිණ අප ඉංග්‍රීසි කථා කරන්නේදැයි අසා අපත් සමග කථා කරමින් සිටියේ ඔවුනට ඉගෙන ගත් ඉංග්‍රීසි පුරුදු පුහුණු වීමට අවශ්‍ය බව කියමිනි.

අප නගරයට ගොස් (නාවික භාෂාවෙන් මෙයට කියන්නේ ලිබර්ට් යනවා කියාය.) ආපසු එනවිට බොහෝ විට වරායෙන් නැව් වලට යාමට යොදා තිබූ බෝට්ටුව මුහුදට ගොස් තිබුණි. ඉතින් අප කීයක් හෝ වැඩිපුර ගෙවා හෝ බෝට්ටුවක් කුලියට ගෙන යාමට උත්සාහ කලද, ඔවුන් කෙසේවත් එයට කැමති වූයේ නැත. වැඩිපුර මුදලක් හොයා ගන්නට ඔවුනට කිසිම උනන්දුවක් තිබුනේ නැත. ඔවුන් එසේ අපව රැගෙන යැමට පොලඹවා ගැනීමට වරෙක අපි උත්සාහ කරද්දී අප ශ්‍රී ලංකාවේ බව දැනගෙන පොල් ගැන කතා බහක් ඇතිවුනි. ඉන්පසු අප ඔවුන්ට පොල් දෙනවා යැයි පොරොන්දු වූ විට ඉතාමත් කැමැත්තෙන් අප නෞකාව වෙත රැගෙන ආහ.

අපි පොල් ගෙඩි කිහිපයක් ඔවුන්ට දුන්නෙමු. ඔවුන් ඒවා ඒ වෙලාවේම බෝට්ටුවේ ගසා පලා ආහාරයට ගත්තේ ඉතා සතුටිනි. අපටද මෙය ලොකු මුදල් ඉතිරියක් විය. කොතරම් රෑ බෝවී පැමිණියද ඔවුන් අප දුටුවිටම නෞකාවට රැගෙන ඒමට උත්සුක වූයේ අපෙන් පොල් ලැබෙන නිසාය.  

ආපසු ගෙන ඒමට වෙළෙඳ ද්‍රව්‍ය තොග නොතිබුන හෙයින්, අප නෞකාව කොළඹට පැමිණියේ හිස් ගබඩා සහිතවය. ටික දිනකට පසු මම කරෙයිනගර් ආයතනයේ රාජකාරී කිරීමට යාපනය බලා පිටත්වුනෙමි.






සූවස් ඇල තරණය කිරීම සහ තවත් කථා

1981 උප ලුතිනන් වරයෙකු වශයෙන් සිටියදී, මා ලංකා කාන්ති නෞකාවේ හතරවන නිලධාරියා ( 4th officer) වශයෙන් සේවය සඳහා තෝරා ගැණින.

විදේශ රටවලට යාමට ඉතා කලාතුරකින් අවස්ථාව ලැබෙන එවන් කාලයක ලංකා කාන්ති නෞකාවේ සේවය කරන්නට ලැබීම, නාවික හමුදා නිලධාරීන්ට බලවත් සතුටක් ගෙන දෙන කාරණයක් විය. ඊට අවුරුදු කිහිපයකට පෙර වනතෙක් ඉතා සංවෘතව පවත්වාගෙන ගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා, පිටරට යෑම ඉතාම ටික දෙනෙකුට පමණක් සීමා වූවක් වන අතර, ගම් ප්‍රදේශයක යමෙකු විදේශ රටකට ගිය විට අහල ගම් කිහිපයකම, මෙය ප්‍රසිද්ධ වීම එකල පුදුමයට කරුණක් නොවීය. කලාතුරකින් වෙළඳ නැවක රැකියා ලබාගන්නා පුද්ගලයන් නැව් නිමල්, නැව් බංඩාර වැනි ගෞරව මුසු අනවර්ථ නිම වලින්, හැඳින්වීමට ඔවුන්ගේ මිතුරන් පසුබට නොවීමද මෙයට සම්බන්ධය.
ලංකා කාන්ති යනු 1972 වර්ෂයේදී, ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින්, මිලදී ගන්නා ලද, ගෙන යා හැකි බර ටොන් 5678 ක් වූ, දොඹකර තුනක් සහිත වානීජ නෞකාවකි. මෙ මිලදී ගන්නා විටත්, අවුරුදු 13 ක් පරණ නෞකාවක් විය. නමුත් මෙය නිෂ්පාදනය කර තිබුනේ, ස්විඩනයේ ගොතන්බර්ග් හි නිසා, එය අවුරුදු 13 කට පසුවත් හොඳ තත්වයේ පැවතිණ. මා නෞකාවට එකතු වුනේ කොළඹ වරායේදීය. හතරවන නිලධාරීන්  දෙදෙනෙකු  පත්කර තිබුන නිසා, අප දෙදෙනාටම ජීවත්වීමට සිදුවුනේ එකම කාමරයකය. එකල කොතරම් වරායේ නීති රීති තදින් තිබුනාද කිවහොත්, මගේ කුඩා රේඩියෝව නැවට ගෙනයන විටත්, මම නාවික හමුදා නිලධාරියෙකු බව දැන ගෙනත්, රේගු නිලධාරියා මගේ පාස්පෝර්ට් එකෙහි, මම ගුවන් විදුලි යන්ත්‍රයක්, රටෙන් පිටට ගෙන ගිය බව සටහන් කලේය.
මෙලෙස ලංකා කාන්ති නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාව මිලදී ගත්තා සේ ලංකා රාණි, ලංකා සාගරිකා, ලංකා දේවි, ලංකා කල්යානි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති හා ලංකා රත්න, නැමැති නෞකාවන්ද කලින් කල සංස්ථාවට එකතු විය. ලංකා කාන්ති නෞකාව මෙලෙස නාවික හමුදා නිලධාරීන් ගෙන් හා නැවියන් ගෙන් කලමනාකරණය කිරීමට හේතුව කුමක්දැයි මා නොදන්නා නමුදු, බොහෝ විට මුල් කාලයේදී සුදුසුකම් ලත් වානිජ නාවික නිලධාරීන් රටෙහි දුලබ වීම මෙයට හේතුවක් වන්නට පුලුවන. එමෙන්ම අපට එකල වැටුප වශයෙන් ගෙව්වේ, වානිජ නෞකාවල ගෙවිය යුතු වැටුපෙන් භාගයෙකි. සමහර විට මෙමගින් ශ්‍රී ලංකා නැවි සංස්ථාවට අඩු වියදමකින් නැව් දිවීමට ඇති හැකියාවද, මේ තීරණය සඳහා බලපාන්නට ඇත.
නැව් සංස්ථාව පිහිටුවන කාලයේ ඒ බාරව ඇමතිවරයාව සිටි පී.බී.ජී. කලුගල්ල ඇමතිවරයා තම ආසනයෙන් මුලින්ම බඳවා ගන්නා ලද පිරිස් නැව් මිලදී ගත් ගමන්ම, කපිතාන්වරයාගේ සහ වෙනත් නිලධාරීන්ගේ කාමර අල්ලාගෙන ඒවායේ ඉන්නට උත්සාහ කල නිසා, විනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී මෙය සිදු කරන්නට වූවා යැයිද මට එකල අසන්නට ලැබුණි. ස්ටුවට් ඇපල් ගෙඩි කපිතාන්වරයාට කෑම මේසයේදී අල්ලා ගන්නට දෑමූ බවටද එකල කථා තිබුණි. ඒවා කොතරම් සත්‍යදැයි මා දන්නේ නැත.  

 එහෙත් නාවික හමුදා වැටුප එලෙසම ලබාදුන් නිසා, අපි ඒ වැටුප ගැන එතරම් අසතුටට පත් නොවූයෙමු. අපි සිවිල් ඇඳුමෙන් නැවෙහි වැඩ කටයුතුවල යෙදුනෙමු. අපගේ පළමුවන ගමන සදහා නෞකාවට පටවන ලද්දේ තේ කොළය. ඒවා ලෙබනනයේ බීරූට් වරායට, සිරියාවේ ලටාකියා වරායට සහ සෞදි අරාබියාවේ ජෙඩා වෙත ගෙන යාමට නියමිතව තිබිණ. මාසයක් පමණ හෙමින් හෙමින් ගොඩබෑම් කටයුතු කෙරිණ. නැවේ නිලධාරීන්ගේ විවේක  කාමරයේ; එකල එය හැඳින්වූයේ ‘ස්මෝක් රූම්‘ ලෙසටය. ටේබල් ටෙනිස් මේසයක් තිබූ  හෙයින්, රාජකාරී නොමැති වේලාවලදී බොහෝ විට අපි මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනෙමු.
මාසයක පමණ කාලයක් තේ පෙට්ටි පැටවීමෙන් අනතුරුව, අපි බටහිර ඉන්දියානු සාගරයේ අරාබි මුහුදේ සති දෙකක් පමණ ගොඩබිමක් නොපෙනෙන මුහුදේ ගමන් කර, අප්‍රිකාවේ අඟ ලෙස හැඳින්වෙන භූමි ප්‍රදේශය ඇතුලත් ඒඩන් මුහුදට පැමිණියෙමු. සොකට්රා දූපත අසලින්, ඒඩන් මුහුද හරහා රතු මුහුදට වැටුනු අපි, රතු මුහුදේ පිහිටි සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත ගියෙමු. ජෙඩා වරායට ඇතුලුවීමේදී, අපට නාවිකයෙකුට ලැබිය හැකි අමිහිරිම අත්දැකීම අපට මුහුණදීමට සිදුවිය.
සාමාන්‍යයෙන් නැවක් වරායකට ඇතුලු වීමට පැමිනෙද්දී, වරාය පිටත තිබෙන නැව් ගමනා ගමනයට ඇති අනතුරු හා බාධක සලකා බලා, ඒවා පිළිබඳ දැනුමක් සහ අත්දෑකීම් ඇති පලපුරුදු නාවික කපිතාන් වරයෙකු බෝට්ටුවකින් නැවෙහි කපිතාන්වරයාට නැව රැගෙන ඒමට උදව් කිරීමට යවනු ලැබේ. මෙම හාබර් පයිලට් වරුන් වරායට එන නැව් ගණන් අනුව, වරාය රාජකාරී කලට යොදවන අතර, බොහෝ විට ඔවුන් වෙළඳ නාවික රැකියා වලින් විශ්‍රාම ගත් කපිතාන්වරුන්ය. මෙම රැකියාව ඕනෑම වරායක හොඳ වැටුපක් සහිත රැකියාවක් වන අතර, එයට අමතරව සේවය ලබා ගන්නා නැව් පුරුද්දක් වශයෙන් ත්‍යාග ලෙස විස්කි සහ සිගරට් ලබාදීම නිසා මෙම රැකියාව  තවත් වර්ණවත් වී ඇත.
අපිද ජෙඩා වරායට තරමක් කිට්ටු කර,  VHF යන්ත්‍රයෙන් වරායේ නියමු කාර්යාලයට කථාකර, පයිලට් වරයෙකුගේ සේවය ඉල්ලා සිටියෙමු. වරායේ නියමු කාර්යාලයෙන් අප වරාය කිට්ටුවටම ගෙන්වා ගතහොත් ඔවුනට පහසු නිසා,
“ශ්‍රී ලංකාවේ වෙළඳ නැව්වල කපිතාන්වරු ලෝකයේ දක්ෂම කපිතාන්වරු, ඔබට කිසිම ප්‍රශ්නයක් නැතිව වරාය අසලටම එන්නට පුළුවන් බව අපි දන්නවා,“ යනාදිය පවසමින්
 අපට ටිකෙන් ටික වරාය කිට්ටුවට ගෙන්වා ගත්හ. මෙලෙස අප නෞකාව සෙමින් වරාය දෙසට ඇදෙද්දී එක්වරම හිමිදිරි උදයේ නැවේ කීල් එක හෙවත් පතුල කොරල් පරයක ඇනුනි. එසේ ඇනී නැව යන්තම් පැත්තකට ඇලවී කොරල් පරයේ හිරවුනි. එලෙස හිරවූ ආකාරයෙන් තවත් අලාභහානී වෙන්නට ඉඩ ඇති හෙයින්, එන්ජින් පාවිච්චි කර පිටතට ගැනීමට උත්සාහ නොකර, සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ජෙඩා වරායට, නැව් සංස්ථාවට හා නාවික හමුදාවට දැනුම් දුන්නෙමු.
මෙලෙස නැව ගොඩයෑම දැන්වූ විගසම වාගේ, මෙවැනි සිදුවීම් වූ විට, එලෙස අනතුරට පත් වූ නැව බේරාදී රක්ෂණයෙන් ලොකු මුදලක් ලබා ගැනීමට, එවැනි නාවික ගමනා ගමනයට අනතුරුදායක ස්ථාන කිට්ටුව රැදී සිටින, බේරා ගන්නා ටග් යාත්‍රා දෙකක් අප ස්ථානයට පැමිණියහ. මුලින්ම පැමිණි යාත්‍රාව අප සමග කථාකර ඒ අසල රැදී, රක්ෂණ ඒජන්තවරුන් තීරණයක් දෙනතුරු රැදී සිටියහ. මෙලෙස මුලින්ම පැමිණෙන බේරා ගැනීමේ යාත්‍රාවට එම අවස්ථාව ලබා ගැනීමට වඩාත් ඉඩකඩ ඇති නිසා, සිද්ධිය සිදු වූ ස්ථානයට හැකි ඉක්මනින් ලඟා වීමට දැඩි තරඟයක් තිබුණි.
ලංකා කාන්ති වැනි පරණ නැව්, මෙලෙස අනතුරුදායක ස්ථානයක ගොඩ යාමට සලස්වා, රක්ෂණ ආයතන වලින් වංචා සහගත ලෙස, මුදල් ලබා ගැනීමට කුඩා නැව් හිමියන් එකල පෙලඹී සිටි හෙයින්, අප සිද්ධියද එංගලන්තයේ ලොයිඩ් රක්ෂණ සමාගමේ සැකයට භාජනය විය. මේ නිසා එංගලන්තයේ ලොයිඩ් ආයතනයේ පැමිණි නීතිඥයන් කණ්ඩායමක්, මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් කරන ලද අතර, අවසානයේ  මෙම  සිද්ධිය සිතා මතා කරන ලද සිද්ධියක් නොවන බවට තීරණය කරන ලදි. ඉන්පසු බේරා ගන්නා ආයතනයට මුලින් කිමිඳුම් කරුවන් යොදවා, නෞකාවල පතුල තිබෙන ආකාරය චිත්‍රයට නංවා, ඉන්පසු ටග් යාත්‍රා තුනක් නොයෙකුත් කෝන වලින් නැවට ගැට ගසා, මනාව කලමනාකරණය කරන ලද, ක්‍රියාන්විතයකින් නෞතාව කොරල් පරයෙන් එළියට ගැනීමට හැකිවිය.
නැව බඳට අලාභයක් සිදු වී නොමැති හෙයින්, ඒ පිළිබඳව කිමිඳුම් කරුවන් යොදා පරීක්ෂා කර ලොයිඩ්ස් ආයතනයේ සෞදි අරාබියේ ඒජන්තවරයා විසින් සහතිකයක් ලබාදෙනු ලදුව, අපි ජෙඩා වරායට ඇතුලු වී ඒ වරායේ බෑමට නියමිත තේ පෙට්ටි ගොඩ බා දවස් කිහිපයකට පසුව ජෙඩා වරායෙන් පිටව, රතු මුහුදට වැටී ඊජිප්තුවේ පෝට් සයිඩ් වරායට යාම සදහා පිටත් වූයෙමු.
මේ සදහා රතු මුහුදේ උතුරු කෙලවරට ගොස්, සූවස් ඇළ පසු කිරීමට සිදුවිය.  සැතපුම්  493 km ක් දිග සූවස් ඇල, 1859 ප්‍රංශ ජාතිකයන් විසින් සැදන ලද්දකි. මෙහි නැව් මාරුවීමට පළල මදි නිසා, නැව් ගමන් කරන්නේ සංවිධානය කරන ලද කණ්ඩායම් ලෙසටය. වේලාව ඉතිරිකර ගැනීමට සැම විටම කණ්ඩායම් දෙකක්, දෙපැත්තට ගමන් කරමින් සිටින අතර, විශාල ජලාශ දෙකකදී, එක් නැව් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම පසුකර යනතෙක් රැදී සිටී. මෙලෙස සූවස් ඇල හරහා ගමන් කරද්දී, ඇලේ පළල අඩු නිසා හා ඇලේ ඉවුර සේදෙන නිසා, නැව් ගමන් කල යුත්තේ ඉතා සෙමින් පැයකට සැතපුම් අටක් පමණ වේගයකිනි.
මෙලෙස නැව් ගමන් කරද්දී, බෝට්ටු වලින් පැමිණෙන කුඩා වෙළෙන්දන් නැවට ලණුවක් දමා, ඒ මගින් නැවට නැඟ, බෝට්ටුවෙන් ලණුවක් මගින්, ඔවුන්ගේ වෙළෙඳ බඩුද නැව මතට ගනිති. නැවෙන් නිලධාරීන් කොතරම් විරුද්ධ වුවද, ඔවුන් එය ගණන් නොගෙන එඩිතර කමෙන් නැවට නැගීම අපූරු දර්ශනයකි. නැවේ පසුපස තට්ටුවේ කුඩා වෙළෙඳ කුටි විවෘත කර නැව පෝට් සයිඩ් වරායට යනතෙක් නැව් කණ්ඩායමට වෙළෙඳාම් කරති. මෙම කුඩා වෙළෙඳ කුටිවල ඇඳුම් සහ නොයෙකුත් අරුමෝසම් බඩු විකිණිමට තිබුනු අතර, ඔවුන් සමග එම බඩු මිලදී ගැනීම සදහා, හෙට්ටු කිරීම, එකල අපට මහත් සතුටක් ගෙනදුන් කාරණයක් විය. විශේෂයෙන්ම ලංකාවේ රුපියල්ද එම වෙළෙඳුන් විසින් පිළිගත්හ. එහෙත් ඒ සාමාන්‍යයෙන් පවතින අගයට තරමක් බාල්දු වටිනාකමකිනි. 

ඊජිප්තුවේ සූවස් ඇලේ උතුරු කෙලවරේ පිහිටි පෝට් සයිඩ් වරායට ගොස් තවත් තේ තොගයක් ගොඩබාන තෙක්, අපි එහි සතියක් පමණ කාලයක් ගත කලෙමු. මෙම වරාය නගරය ඉතා විශාල අන්තර්ජාතික වෙළෙද පොලක් විය. අප නෞකාවේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකුම එම වෙළෙද පොලෙන් එකම වර්ගයේ ඩෝරා දෙකේ ‘කෙන්වුඩ්‘  ශීතකරණ මිලදී ගත් බව මට මතකය. ඉන්පසු සිරියාවේ ලටාකියා වරායට හා ලෙබනනයේ  බීරූට් වරායට ගොස්, ඉතිරි තේ පෙට්ටිද ගොඩ බා අවසන් කර අපි ආපසු එම මාර්ගයේම කොළඹ වරාය බලා පැමිණියෙමු. ආපසු ගෙන ඒමට වෙළෙඳ ද්‍රව්‍යමය තොග නොතිබුන හෙයින්, අප නෞකාව කොළඹට පැමිණියේ හිස් ගබඩා සහිතවය. ටික දිනකට පසු මම කරෙයිනගර් ආයතනයේ රාජකාරි  කිරීමට යාපනය බලා පිටත් වූයෙමි. 

Wednesday, December 7, 2016

ශ්‍රී ලාංකික දේශපාලනයේ වම සහ දකුණ සොයා ගැනීම










සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රජාතාන්ත්‍රිකව පාලනය කෙරෙන රටවල දේශපාලන පක්ෂ ඒවායේ දෘෂ්ඨිය හෝ මතවාද අනුව වාමාංශික පක්ෂ හෝ දක්ෂිණාංශ පක්ෂ ලෙස බෙදීමකට ලක්වෙයි. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දකුණට බර පක්ෂයක් වන අතර, ඩිමෝක්‍රටික් පක්ෂය මධ්‍යයට කිට්ටු එහෙත් වමට බර පක්ෂයක් ලෙස පිළි ගැනේ. 

එංගලන්තයේද මෙලෙසම කොන්සවෙටිව් (වර්තමාන පාලනය, මාග්‍රට් තැචර්) පක්ෂය දකුණට බර වන අතර, ලේබර් පක්ෂය (ටෝනි බ්ලෙයාර්, වෘතීය සමිති) වමට බර පක්ෂයක් ලෙස සැලකේ. මෙලෙස බටහිර රාජ්‍යය සෑම එකකම වාගේ මෙම බෙදීම දක්නට පුලුවන. ඉන්පසු පක්ෂය තුල; දක්ෂිණාංශ පක්ෂයක් නම්, යමෙකු කොතරම් දකුණට බරදැයි ඔහු මධ්‍ය දක්ෂිණ, අති දක්ෂිණ එසේත් නැත්නම් ඒ දෙකට අතර මැද ස්ථාවරයක් ගත හැක. උදාහරණයක් වශයෙන් රිපබ්ලිකන් පක්ෂයේ රෝනල්ඩ් රේගන් සහ 'බොස්ටන් ටී පාටිය' අති දක්ෂිණාංශකයන්ය. 

 ඉතිහාසිකව වම සහ දකුණ මෙලෙස දේශපාලනයට සම්බන්ධ වූයේ වර්ෂ 1789 ප්‍රංශ විප්ලවයෙන් පසුවය. එම විප්ලවයෙන් පසුව ප්‍රංශයේ පාර්ලිමේන්තුවේ රජුගේ දකුණු පැත්තෙන් රජුගේ ආධාර කරුවන් ආසන ගත් අතර ඹහුට
වමෙන් විප්ලවයේ ආධාර කරුවන් අසුන් ගත්හ. වම සහ දකුණ යන පද දේශපාලනයට ඇතුලු වූයේ මෙලෙසිනි. මෙලෙස අවුරුදු 200 ගණනක් නොයෙක් ලෙස අඩු වැඩි වෙමින් භාවිතයේ යෙදුනු දේශපාලනයේ වම සහ දකුණ වර්ථමානයේදීද

වම, මතවාදයන්ගේ බලය (සමාජවාදය(socialism), කොමියුනිස්ට් වාදය(communism), ප්‍රගතශීලීභාවය(prograsivism)) සහ සමානාත්වතාවය (liberalism)  පෙන්වීමට යොදා ගන්නා අතර සමාජ පද්ධති සහ නිදහස (ආයෝජන වාදය(capitalism), ව්‍යවස්ථාදායක සමූහ ආණ්ඩු වාදය (constitutional republicanism), නිදහස්වාදය( libertarianism), ස්වතන්ත්‍රවාදය (individualism)) දක්ශිණාංශ යන්නෙන් නිරූපනය කරයි. 
  

පක්ෂයක වම සහ දකුණ නැම්මේ එම පක්ෂයන්ගේ රජයන්ගේ ප්‍රමාණයන්ගෙන්ද පරීක්ෂා කල හැක. අන්ත දක්ෂිණාංශක පාලනයක රජයේ සේවකයන් නොමැති තත්වයකට පැමිණිය යුතු අතර, අන්ත වාමාංශික පාලනයක රටේ සියලු දෙනාම රජයේ සේවකයන් විය යුතුය.   

දැන් අපි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ මෙයින් අයත් වන්නේ කුමන වර්ගීකරණයටද, එම වර්ගීකරණය ඇතුලේ කුමන දිශාවටද යන්න පරීක්ෂා කර බලමු. ඒ අනුව යම් පක්ෂයක හැසිරීම සහ ක්‍රියාත්මක කිරීම ඉහත සදහන් කල දකුණ සහ වමේ ලක්ෂණ වලින් කුමන ලක්ෂණයන් හා ගැලපේද එම ගැලපීම හා අනුසාරයෙන් ඔවුන් කුමන වර්ගීකරණයට අයත් වේද යන්න අපට නිගමනය කරන්නට පුලුවන. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 

වාමාංශික පරීක්ෂණය 

  • සමාජවාදී මතවාදය - ව්‍යාපාර රජයෙන් කල යුතුයැයි හැඟීමක් තිබේ. මෙය ප්‍රාෙයා්ගික ලෙස අසාර්ථක වූ   සමාජවාදී අදහසකි.
  • කොමියුනිස්ට් වාදය - නොමැත.
  • ප්‍රගතශීලීත්වය - වෙනස් වීමට ඇති කැමැත්තක් පෙනෙන්නට නම් නැත. 
  • රජයේ ප්‍රමාණය - රාජ්‍ය සේවකයන් වැඩිකර ලොකු රජයක් හදන්නට උත්සාහ කරයි. 


දක්ශිණාංශ පරීක්ෂණය

  • ආයෝජන වාදය - පුද්ගලික ව්‍යාපාර වලට,  අකමැත්තක් නැත. 
  • ව්‍යවස්ථාදායක සමූහ ආණ්ඩුව - පිළිගනී, සතුටින් එහි ක්‍රියාත්මක වෙයි. 
  • නිදහස්වාදය - එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. අනෙක් පක්ෂ වලට එම නැඹුරුවක් ඇත්තේ යැයි සමහර විට චෝදනා කරයි. 
  • ස්වතන්ත්‍රවාදය - පුද්ගල නීති සහ දේපොල නීති වලට එතරම් සැලකිල්ලක් නොදක්වයි.  



එක්සත් ජාතික පක්ෂය 

වාමාංශික පරීක්ෂණය 


  • සමාජවාදී මතවාදය - යම් තරමකට තිබේ.
  • කොමියුනිස්ට් වාදය - සම්පූර්ණයෙන් බැහැර කරයි. 
  • ප්‍රගතශීලීත්වය - තිබෙන දේ වෙනස් කර අනාගතයට යාමට උත්සාහ කරයි


දක්ශණ පරීක්ෂණය


  • ආයෝජන වාදය - පිළිගනී. 
  • ව්‍යවස්ථාදායක සමූහ ආණ්ඩුව - සතුටින් පිළිගනී. 
  • නිදහස්වාදය - සතුටින් පිළිගනී. 
  • ස්වත්ත්‍රවාදය - පුද්ගල හා දේපොල නීති ගරු කරයි. 
  • රජයේ ප්‍රමාණය -සෑම විටම අඩු රාජ්‍ය සේවකයන් පිරිසක් තබා ගැනීමට කැමැත්ත දක්වයි. නමුත් මෙවර අයවැයෙන් රටතුල ගුවන් ගමන් සේවයක් පිහිටුවීමට මිලියන 50 ක් අයවැයෙන් වෙන් කිරීම වැනි දේවලින් මොවුන්ද රජයේ මුදල් නාස්ති කරන රජය ව්‍යාපාර කිරීමට පැටලීමෙන් ප්‍රතිපත්තියකට අවතීර්ණ වීමේ උත්සාහයක යෙදෙනවාදැයි සැකයක් ඇතිවෙයි. 


ජනතා විමුක්ති පෙරමුණ 

වාමාංශික පරීක්ෂණය

  • සමාජවාදී මතය - ඉහලින්ම පිළිගනී
  • . කොමියුනිස්ට් වාදය - පිළිගනී, එහෙත් එය කෙසේ ක්‍රියාත්මක කල යුතු දැයි එක්කෝ පැහැදිලි අවබෝධයක් නැත. එසේ නැත්නම් බලය ලබාගන්නා තුරු එළි නොකරති.   
  • ප්‍රගතශීලීත්වය - තිබෙන දේ වෙනස් කර අනාගතයට යාමට උත්සාහ කරන බවක් නොපෙනේ.
  • රජයේ ප්‍රමාණය - රජයේ රැකියාවන් අඩු කිරීමේ යනාදී ඔවුන්ගේ ප්‍රකාශයන්ට අනුව විශාල රජයකට ඉතා කැමැත්තක් දක්වන බව පෙනේ.  


දක්ශණ පරීක්ෂණය

  • ආයෝජන වාදය - පැහැදිලි නැත.එහෙත් එහි ව්‍යුහ තුල කටයුතු කරමින් සිටී.  
  • ව්‍යවස්ථාදායක සමූහ ආණ්ඩුව -  දැනට එම ව්‍යුහ ඇතුලේ ක්‍රියාත්මක වෙයි. බලය ලැබුනොත් කෙසේ ක්‍රියාත්මක වේදැයි සිතා ගන්නට අපහසුය. මෑතකදී කස්ත්‍රෝ පිළිබඳව දැක්වූ උනන්දුවෙන් ඔහුගේ චන්ද නොමැති පාලන ක්‍රමයට බලවත් කැමැත්තක් දක්වන බව  පෙනෙන්නට තිබේ.   
  • නිදහස්වාදය - එයට විරුද්ධ වෙයි. එහෙත් එය සතුටින් පාවිච්චි කරයි. 
  • ස්වත්ත්‍රවාදය - කොමියුනිස්ට් වාදය යම් තරමකින් වත් ක්‍රියාත්මක කරන්නේ නම් පුද්ගල හා දේපොල නීති පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්විය නොහැක. 


   මේ අනුව වම සහ දකුණ පරීක්ෂණයෙන් පැහැදිලිව ගම්‍ය වන්නේ කරණු කිහිපයක් පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රගතශීලී නොවන (වෙනස් වන්නට අකමැති) එක්සත් ජාතික පක්ෂයට වඩා, ව්‍යාපාර රජයෙන් පාලනය කිරීම මත පමණක් වමට බර වූ දක්ෂිණාංශ දේශපාලන පක්ෂයක් බවයි. 

එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශික එමෙන්ම ප්‍රගතශීලී පක්ෂයකි. 

ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් අදහස් වලට පිය කරන බව පෙනෙන්නට තිබේ. එසේ නම් එය වාමාංශික පක්ෂයක් විය යුතුය. නමුත් ඔවැනි පක්ෂ බලය ලබාගත් විට දැන් තිබෙන අන්තර් ජාතික තත්වයන් යටතේ එක්කෝ ප්‍රංශයේ සෝසලිස්ට් රජය මෙන් ඉතාමත් අසාර්ථක රජයක් වීමට හෝ එසේත් නැත්නම් කියුබාව හෝ උතුරු කොරියාව මෙන් තත්වයකට පැමිණිය යුතුය. මෙවැනි අවිනිශ්චිත තත්වයන් නිසා ඡන්ද දායකයන් මේ පක්ෂය දෙස සැකයෙන් බැලීම සාධාරනය. ජනතා විමුක්ති පෙරමුණේ මෙතෙක් බලයට පැමිණි නොමැති බැවින් ඔවුන් බලයට පැමිණිය හොත් කෙසේ හැසිරේදැයි ඔවුන් දැන් කරන කියන දෑ මගින් අපට කියවිය යුතු හෙයින් නිශ්චිතතාවය අඩුවෙන්ම පරීක්ෂා කල හැක්කේ මෙම පක්ෂය වේ. 

Monday, December 5, 2016

ඕනෑතරම් කරන්නට දේවල් තිබියදී ආයාචනය කරමින් සිටීම.







ඊයේ රාත්‍රියේ අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී දීර්ඝ විවෘත ආයාචනයක් කරනු ප්‍රවෘත්තිවල දක්නට ලැබුණි. එහිදී ඔහු ආයාචනය කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට, සාමාන්‍ය වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියනටය. ඔහු ඉහත රැකියාවල් කරන ශ්‍රී ලාංකිකයිනට පුහුණුවෙන් පසු වෙනත් රටවලට සේවයට නොයන මෙන් ආයාචනය කළේය. 

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එසේ ආයාචනය කල යුතුද? නැත. මක් නිසාද ඉහත සදහන් කල සියලුම වෘතිකයින් පුහුණුව ලබන්නේ අහිංසක දුප්පත් ශ්‍රී ලාංකිකයින් කෙලින්ම හා වක්‍රාකාරයෙන් ගෙවන බඳු මුදලින් නිසාවෙනි.  

එලෙස පොදු ජනතාවට අයත් යමක් අපි ගන්නා විට එය ආපසු පොදු ජනතාවට ලබා දීමට, එසේත් නැත්නම් නැවත ආපසු බාර දීමට අපට වගකීමක් ලැබේ. එසේ අප යම් කෙනෙක් එම වගකීම ඉටු කරන්නේ නැත්නම් ඔවුන් වංචාකාරයන් සහ හොරු වන්නෝය. එවැනි වංචනික මනස් තිබෙන පුද්ගලයන්ට ආයාචනය කිරීමෙන් වැඩක් වන්නේ නැත. එැනි වංචනිකයින් ගෙන් ඔවුන් සමාජයෙන් ලබාගත් දෑ ආපසු සමාජයට ලබාදීමට නීති ඇතිකල යුතුය. එම නීති තදින් ක්‍රියාත්මක කල යුතුය. 

මෙලෙස අහිංසක පොදු ජනතාවගේ බඳු මුදල් තම ප්‍රයෝජනය සදහා පාවිච්චි කර එය ආපසු ගෙවන්නේ නැතිව හොරෙන්ම වෙන රටකට ගොස් තම රටේ පොදු ජනයා ඔවුන්ගේ වියදමින් ලබාදුන් රැකියා පුහුණුව විකුණා තමන්ට සුඛ විහරණය ලබා ගැනීම හා ජනතාවට අයිති පොදු දේපොල සොරකම් කිරීමෙහි හා කිසිම වෙනසක් නැත්තේය. 

ඇත්තේ එක වෙනසක් පමණි. ඒ පොදු දේපොල සොරකම් කිරීමකදඒ  අලාභය කරන ලද තැනැත්තා ගෙන් අයකර ඒ පාඩුව එසැනකින්ම ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ඇති හැකියාවයි. නමුත් වෛද්‍යවරයෙකු හෝ හෙදියක එසේ රට හැර ගියහොත් ඔවුන් ගෙන් මුදල් අයකර ගෙන හෝ එම අලාභය මකා ගැනීම සදහා අලුතෙන් වෛද්‍යවරයෙකු හෝ හෙදියක සාදා ගැනීමට තවත් අවුරුදු 5/3 ක් ගත වීමයි. 

මේ සියලු කාරණා දෙස බැලූ විට දැනටමත් එවැනි නීති නැත්නම් රජය විසින් පහත මූල ධර්මය මුල් කරගත්  නීති පද්ධතියක් ඇති කිරීමට පොදු ජනයාට වගකීමක් තිබේ. 

රටේ අත්‍යවශ්‍ය හැඟෙන සේවාවන්හි සේවය කරන ජනතාවගේ මුදලින් අධ්‍යාපනය සහ පුහුණුව ලත් සෑම වෘතිකයෙකුම අ.පො.ස.උසස් පෙලෙන් පසුව ඔහු හෝ ඇය සදහා රජය වියදම් කරන ජනතාවගේ මුදල් නියමිත කලට පෙර සේවයෙන් ඉවත් වන්නේ නම් ආපසු ගෙවිය යුතුය.  
එසේම ඔහුගේ වෘතියේ යමෙකු පුහුණු කිරීම සදහා අවශ්‍ය වන කාලය උදා:- වෛද්‍යවරයෙකු නම් අවුරුදු 5 කට පෙර, තමන් අවුරුදු 5 ක කාලයකින් සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව දැන්විය යුතුය.  

මෙම ජනාධිපතිතුමාගේ ආයාචනයේදී, වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කර ගැනීමට කල් ගතවන නිසා මෙලෙස වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැරයාම රට මහත් දුෂ්කරතාවයට පත් කරන ඔහු කියා සිටියේය. 

මේ දුෂ්කරතායන් ජාතියෙන් මඟහැරීමටද ක්‍රියාත්මක කල හැකි පිළියම් කිහිපයක්ම ඇත්තේය. එයින් සමහරක් ඉතාමත් පැහැදිලිය. 


  • පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ලාභ නොලබන රජයේ නොවන විශ්ව විද්‍යාල ඇති කරන්නට ඉඩ දී හැකි තරම් වෛද්‍යවරුන් ඇතිකර අහිංසක දුප්පත් මිනිසුන්ගේ බඳු මුදල් වියදම් නොකර පුහුණු කරවා ගැනීම.  
  • එලෙසම හෙද හෙදියන්ද පුහුණු කර උපාධියක් ලබාදීම සදහා රජයේ නොවන ආකාරයෙන්ම හෙද පාසැල් ඇති කිරීම ධෛර්යමත් කිරීම. 
  • පිටරටවල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලංකාවේ වෛද්‍ය සභාවෙන් පිළිගෙන ඇති වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබා අවසන් කරන සිසුන්ට ලංකාවට පැමිණ බොරුවට රවුමේ ගෙනයන විභාග නවත්වා කෙලින්ම සේවයට බඳවා ගැනීම. 


පොදු ජනතාව රජයක් පත් කරන්නේ ඔවුන් වෙනුවෙන් මෙවැනි නිවැරදි එමෙන්ම දුරදක්නා දෙය කරන්නටය. එසේ නැතිව ගඟට ඉනි කපමින් ඒවාට ආයාචනය කරමින් ඉන්නට නොවේ.  


  

Friday, December 2, 2016

සාර්ථකව වර්ජනයක් කිරීමට අවැසි මොනවාද?










වැඩ වර්ජනය කිරීමට ස්ට්‍රයික් යන වචනය මුලින්ම භාෂාවට ඇතුලත් වූයේ 1768 එංගලන්තයෙනි. ඒ ලන්ඩනයේ  සිදු වූ පොදු ජන විරෝධතාවයකට සහය පල කොට නැවියන් පිරිසක් ලන්ඩන් වරායේ තිබූ රුවල් නැව් වල ටොප් ගැලන්ට් රුවල් ගැලවීමෙනි. 

එහෙත් මීට බොහෝ කලකට පෙර ක්‍රිස්තු පූර්ව 1152 නොවැම්බර් 14 වන දින මිසරයේ රැම්සෙස් lll පාරාවෝ වරයාගේ කාර්මිකයින් ඔවුනට පඩි නොගෙවූ බව පවසා රැකියා වලින් ඉවත් වූ පසු අධිරාජ්‍යයා ඔවුන්ගේ පඩි වැඩි කර ආපසු සේවය ගැනීම ලෝකයේ පළමුවන සාර්ථක වැඩ වර්ජනය විය හැක. 

මෙලෙස ආරම්භ වූ වැඩ වර්ජනය කිරීම් කාර්මික යුගයේදී නීතිගතව නොයෙකුත් රටවල නිතරම සිදුවන දෙයක් බවට පත්විය. උදාහරණයක් වශයෙන් ලෝකයේ බලගතුම රටවන ඇමරිකාවේ 1937 වර්ජන සිදුවීම් 4740 ක් තිබුණු අතර, එහෙත් 2010 වර්ෂයටම එතරම් විශාල ආර්ථිකයක් තුල සිදුවී ඇත්තේ වර්ජන ගණන  11 ක් පමණි. 

අන්තර් ජාතිකව 1967 වැඩ කරන්නන්ට වැඩ වර්ජනය කිරීමේ අයිතිය ලබාදී ඇති අතර, යුරෝපියානු සමාජ ප්‍රඥාප්තිය මගින් 1961 දී ද වැඩ වර්ජනය කිරීමේ අයිතිය පිළිගෙන ඇත. 

වර්ජනයක් කරන්නට පුලුවන් රැකියා සහ බැරි ක්ෂේත්‍ර තිබේ. පුලුවන් ක්ෂේත්‍රයන් වන්නට අවම අවශ්‍යතාවයන් මොනවාදැයි බලමු. 


  1. වර්ජනය කරපු ගමන්ම එය මහජනතාවගේ අතිශය බහුතරයකට තදින් දැනිය යුතුයි. 
  2. පීඩිත ජනතාව වර්ජනයේ වගකීම රජය මත පැටවීමේ ප්‍රවනතාවයක් තිබිය යුතුයි. 
  3. එම ක්ෂේත්‍රයේ වර්ජනය කරන්නන්ට යම් මොනෝපොලී තත්වයක් තිබිය යුතුයි. 
  4. හදිසියේ වෙනත් කණ්ඩායමක් යොදවා ඔවුන් විසින් ජනතාවට අත්හිටුවන ලද සේවය ලබාදිය නොහැකි විය යුතුයි. 
  5. වර්ජනය අවසන් වුනු වහාම නැවතත් ඔවුන්ගේ සේවය එතැන් සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පටන් ගැනීමට හැකි විය යුතුයි. 


දැන් අපි අපේ ලංකාවේ වර්ජන කථාව දෙස පොඩ්ඩක් බලමු. අපි පොඩි කාලයේ වර්ජන තිබ්බේ වරාය, ලංගම, මිනිරන් පතල්, වැනි ක්ෂේත්‍ර කිහිපයක පමණි. දැන් ලංගම වර්ජන කරන්නට බැරි හේතුව පුද්ගලික බස් නිසාය. 

රටේ මගියන් ගෙන් 75% ටත් වඩා අදින්නේ පුද්ගලික බස්ය. ලංගම වර්ජනයක් කලහොත් සමහර විට දවස් කිහිපයක් යනතුරු ජනතාවට එය නිරීක්ෂණය වන්නේවත් නැතිවනු ඇත. වරාය අනික් අතින් වර්ජනය කිරීමට අපහසු ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත්තේ මුහුදු ගමනා ගමනයේ සිදුවී ඇති තාක්ෂණික දියුණුව නිසාය. කන්ටේනර් ආවාට පසු මුට්ට කරගහන දහස් ගණනක් කම්කරුවන්ගේ සේවය අනවශ්‍ය විය. දැන් කාර්මික සහ තාක්ෂණික පුහුණුව ලත් කිහිප දෙනෙකුට ඒ වැඩය කරන්නට පුලුවන. ඕනෑ නම් නාවික හමුදාව යොදවන්නටත් පුලුවන.

 80 ගණන්වල මම එකල කිරි මංඩලයේ තිබූ වර්ජනයක් නිසා නාවික හමුදාවේ පිරිසක් සමග ගොස් දින කිහිපයක් මට මතක හැටියට නාරාහේන්පිට තිබූ ඔවුන්ගේ කර්මාන්තශාලාවන් ආරක්ෂා කරගෙන එහි නිෂ්පාදන කාර්යයන්ද පවත්වාගෙන ගියා මට මතකය. එකල කොතරම් වර්ජන තිබුනේද යත්;  විශේෂයෙන්ම රජයේ ආයතනවල, හමුදාවල නොයෙකුත් අංශ වලට වර්ජන අවස්ථාවන්හිදී ගොස් තාවකාලිකව එම ආයතන පවත්වා ගෙන යාමට නොයෙකුත් රජයේ ආයතන වෙන්කර තිබූ අතර, ඒ සදහා යම් පුහුණුවක්ද ලබා දී තිබුණි. එවැන්නක් දැන් සිදුවෙනවාදැයි මම නොදනිමි. 

මෙකල ශ්‍රී ලංකාවේ වන වර්ජන නම් සේවක අයිතීන් සම්බන්ධ අන්තර් ජාතික ප්‍රඥාප්තීන් වලට කිසිම ලෙසකින් ගැලපෙන්නේ නැත. සමහර වර්ජකයන් වර්ජනය කරන්නේ කුමන ඉල්ලීමක් මතදැයි හරියට කියන්නේ නැත. මේ ලඟදී තිබූ වර්ජනයක ඔවුන්ගේ වෘතිය සමිතිය කීවේ ඔවුන් අයවැයට විරුද්ධව වර්ජනය කරන බවය. 

දැන් බස් රියදුරන් වර්ජනය කරන්නේ රටෙහි නීතියක් පවත්වාගෙන යාම විරුද්ධවය. හරියට ගෙවල් බිඳින්නන්ගේ සංගමය සොරුන්ට දඬුවම් වැඩිකල විට විරුද්ධ වන්නාක් මෙනි. 

අනික් අතින් දැන් වර්ජනයකින් කවුරුන් සාර්ථක වන්නේදැයි තීරණය වන්නේ කොයි පක්ෂයට දීර්ඝතම කාලයක් අඩුම පාඩුවකින් වර්ජිත තත්වයේ සිටන්නට පුලුවන් දැයි යන කාරණය මතය. ඇත්තෙන්ම මෙම පුද්ගලික බස් වර්ජනයේදී රජයට ලෙහෙසියෙන්ම කල හැකිව තිබුනේ එන සතියේ මුල් දින දෙක හෝ තුන රජයේ නිවාඩු දින බව ප්‍රකාශ කිරිමය. එවිට දෛනික මගීන් ප්‍රමාණය 50% - 60% කින් පමණ අඩුවනු ඇත. පුද්ගලික ප්‍රවාහන වර්ජනය එතරම් නොදැනෙනු ඇත. පුද්ගලික බස් වලට සතියක් නිකන් ඉන්නට වුවහොත් ඔවුන්ගේ ආදායම් වල වැටීමෙන් ගෙවල් නඩත්තු කිරිමට සහ ලීසිං ගෙවිමට නොහැකිව ඔවුන්ම ආපසු තම ව්‍යාපාරයට පැමිණෙනු ඇත.   



   

Thursday, December 1, 2016

නොතේරෙන්නට ආශිර්වාද ලබා ගැනීම.











දැන් අවුරුදු කිහිපයක වේලේ පටන් ලංකාවේ ඕනෑම තැනක පාරකට බැස්සොත් ඒ පාරේ අලුත් නිවසක් හදනවා නම්; අඩු තරමින් ගෙදර ලොකු බැම්මක් වත් හදනවා නම් අනිවාර්යය මෙන් අපට කියවන්නට යමක් දැකිය හැක. මගේ නිවස ආසන්නයේම අලුතෙන් හදන නිවසක එලෙස කියවන්නට එකක් නොව දිශා දෙකට දෙකක්ම සවිකර තිබේ. ඒ ‘මේ නිවසට බුදු සරණයි, දෙවි පිහිටයි‘ යන පාඨයයි. 

අවුරුදු කිහිපයකට පෙර පටන් ගන්නා කාලයේ කුඩා ලෑලි කැබැල්ලක හෝ කාඩ්බෝඩ් කැබැල්ලක අතින් ලියා, බොහෝ විට චෝක් කෑල්ලකින් හෝ කලුපාට තීන්ත ටිකකින් ලියා එල්ලූ මේ බෝඩ් එක දැන් බොහෝ දුරට නවීකරණය වී ඇත්තේය. 

දැන් ඩිජිටල් ක්‍රමයට චීනයෙන් ආනයනය කරන ලද ප්ලාස්ටික් රෙද්දක චීනයෙන් ගෙන්වන ලද වර්ණ තීන්ත යොදා ජර්මනියෙන් ආනයනය කරන ලද මැෂිමකින් මුද්‍රණය කරන ලද විශාල ප්‍රමාණයේ දැන්වීම් මේ සදහා භාවිතා කරනු ලබයි. දවසකට එල්ලන ආයාචනා දැන්වීම් ගණන සලකා බැලූ විට මුලු වියදම සුලු පටු විදේශ විනිමය ප්‍රමාණයක් නොවේ. 

මේ එල්ලන' බුදු සරණයි දෙවි පිහිටයි' දැන්වීම් එල්ලන්නේ කුමක් සඳහාද? මෙසේ එල්ලන්නට හේතු මොනවාදැයි සාකච්ඡා කර බලමු. 


  1. ගෙදර නිවැසියන් ඔවුන්ගේ නිවසට පිහිට පතා කරන කන්නලව්ව පිහිට ලබා දෙන අයට පෙනෙන්නට සැලැස්වීම - සිතෙහි ඇති වූ සැනින්ම ඒවා දෙවියන්ට දැන ගැනීමට පුලුවන් නිසා වියදම් කර කරදර වී එල්ලීමට අවශ්‍යතාවයක් නැති නිසා මේ හේතුව විය නොහැක. 
  2. සෑදෙමින් පවතින ගෙදර දෙස අසල්වාසීන් බලා එයට ඇස්වහ කිරීමට වැලැක්වීමට ඔවුන්ගේ බැල්ම සෑදෙන නිවසට වැටීම මග හරවා පුවරුව දෙසට හැරවීම- මෙම පුවරු එල්ලීමේ පුරුද්දේ මුල් කාලයේ විහිලු රූප යනාදිය ඇඳ බෝඩ් එල්ලීම සිදු කරනු මා දැක ඇත. සමහර විට විසුලු මුහුණක් වැන්නක් එකල මේවායේ ප්‍රදර්ශනය කෙරුණි.
  3. මෙය නිවෙස් හදන විට කල යුතු ජාතික සංස්කෘතික අංගයක් යැයි හිතාගෙන කිරීම - සමහර විට 5% ක පමන ප්‍රමාණයක් මෙලෙස සිතන අයද ඉන්නට පුලුවන. 
  4. කරන්නන් වාලේ කිරීම - අසල්වැසියන් මෙසේ කරන නිසා තමනුත් කරන පිරිසකුත් සිටින්නට පුලුවන්.  
  5. දකින සියලු දෙනා ලවා ඔවුන් රවටා තම ගෙදරට ආශිර්වාද කර ගැනීම- මෙවැනි පුවරුවක් පාර අයිනේ තැනක එල්ලා තිබෙන විට ඕනෑම කෙනෙකුට එය ඉබේම වාගේ කියවේ. එවිට ඒ කියවන වාර ගානක් පාසා ආශිර්වාදයන් ලබා ගැනීමේ අරමුනෙන් මේවා එල්ලීම. 


මේ විය හැකි හේතු තුනෙන් මට හිතෙන්නේ අවසාන හේතුව වඩාත්ම සම්භාව්‍යතාවයකින් යුක්ත හේතුව බවයි. පුවරුවට රුපියල් 500 ක් වියදම් කලේ නම් පසු කර යන්නන් 1000 ක් එය කියවන විට ආශිර්වාදයන් එකක් ශත 50 ගණනේ වියදමකට නිවෙස් හිමියනට ලැබේ. 

කොතරම් පිරිමැසුම් සහිතව පිහිට ලබා ගැනීමේ ක්‍රමවේදයක්ද? 

තවද මෙය කියවීමෙන් නිවසට පිහිට ලබාදෙන ලෙස ඉල්ලූ පුද්ගලයන් ඒ බව දන්නේත් නැතිව පිහිට ඉල්ලූ නිසා නිවෙස් හිමියන් ඒ පුද්ගලයන්ට ස්තූති කරන්නට වත් අවශ්‍යතාවයක්ද පැන නොගනී.   

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...