Thursday, October 17, 2019

අලියා ආලින්ගනයේ යෙදෙන්නට බොහෝ කල් ගනී




D H ලෝරන්ස් 1922 වසරේ ලංකාවට සංචාරයක් සඳහා ඔහුගේ බිරිඳ සමග පැමිණියේය. ලංකාවට පැමිණි බොහෝ බටහිර සංචාරකයන් මෙන් ඔහුට ලංකාව ගැන එතරම් හොඳක් කියන්නට  තිබුනේ නැත. 

ඔහු ලංකාවට පැමිණි පසු වැඩි කලක් නැවතී සිටියේ මහනුවර වන අතර දැන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවාස ඔහුගේ තාවකාලික නවාතැන විය. 

මේ ඔහු මෙහි සිටියදී අලියන් ගැන ලියන ලද කවි පෙළකි. මම මේ කවිපෙළ ගැන දැනගත්තේ කපිල කුමාර කාලිංග විසින් අපේ ධර්මරාජ කෙටිකතා එකතුව ජනගත කරන ලද උත්සවයේදීය. 
පරිවර්තනය කර බලනවිට ඔහු එදින කියා ඇත්තේ මෙම කවියාගේ වෙනත් අලි ගැන කවිපෙලක් බව ඔහුගේ අද උදේ දැනගන්නට ලැබුණි. 

හස්තියා, අති විශාල සතෙකු වුවද  
 යෙදෙන්නේ බොහෝ හෙමිනි ආලින්ගනයේ  
හමුවෙයි ඔහුට  ගැහැණු සතකු , හදිසියක් නැත කිසිසේ
ගතකරති කාලය නිදහසින් දෙදෙන

ඔවුන්ගේ හදවත්හි ආදරය
 ඉතාමත් සෙමිනි දළුදමන්නේ
ඔවුහු වියලුනු ගංගාවන්  දිග
ගත කරති කල් ,අහර බුදිමින්,  පානය කරමින් ජලය  

කලබල වී දුවති රංචුව සමග
මහා වනය සොලවමින්
නිද්‍රාවට වැටෙති නිශ්ශබ්දව
අවදිවෙති හිරු එලියට  නොකර  කිසි ශබ්දයක්

මොහොතින්  මොහොත මේ යුවලගේ හදවත්
පිරෙති  භරිත වී  ආශාවන්ගෙන්
යෙදෙති සංසර්ගයේ ඔවුන්  
නොපෙන්වා කිසිම කලබලයක්   


පෞරාණික  සතුන් වෙති ඔවුහු, නුවනින් පිරුණු
දනිති ඔවුන් අවැසි ලෙස කල්ගන්නට  
 ආශාවන් සංසිඳවා ලන්නට  ,අතිශය හුදකලාවක
රසවත්ම භෝජනයක් විඳිනා ලෙසට

 නොකරති ඔවුන් කලබල ; අන් බොහෝ සතුන් කරනා ලෙසට  
ඔවුන්ගේ රුධිර සාගරය
ඉහලට එසවෙයි ලෙසට චන්ද්‍රයා ඇතිකරන  වඩදිය
පත්වනතුරු එම වඩදිය,  මහා ගංවතුරක්  බවට   

Wednesday, October 16, 2019

9 මගේ දඹදිව වන්දනාව 9 කපිලවස්තු ප්‍රශ්නය





ජේතවනාරාමය බුදුන්ගේ බුදුන්ගේ ජීවිතයේ බොහෝ දේවල් සිදු වූ තැනකි. එහි තිබෙන බොහෝ ගොඩනැගිලි බුදුන් ජීවත් වී අවුරුදු 300කට පමණ පසුව අශෝක අධිරාජයා විසින් සාදන ලද ඒවා  නිසා බුදුන් ජීවත් වූ කාලයේ පැවති ගොඩනැගිලි එකක්වත් එතැන තිබෙනවාදැයි කිසිවෙකුටත් හරියට කියන්නට බැරි බව පෙනේ.

එම අශෝක රාජයා විසින් සාදන ලද බොහෝ ගොඩනැගිලි ද පසුව ඇතිවූ ඇති වූ මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශ වී ගිය බැවින් මෙම ස්ථානවල තිබෙන බොහෝ පැරණි ආකාරයට සාදා ඇති ගොඩනැගිලි නටඹුන් ඇත්තෙන්ම පසුගිය වසර සියයක් පමණ ඇතුලත සාදන ලද ඒවාය.
ඒ අතරම මෙහි තිබෙන ගොඩනැගිලි බොහොමයක් සෑදීමට මුල් කර ගෙන ඇත්තේ ඒවා තිබූ ආකාරය යම් තරමකට  තමන්ගේ ගමන් සටහන්වල සටහන් වල විස්තර කළ චීන ජාතික ෆාහියන් නිසාය. ඉන්දියාවේ තිබෙන බොහෝ බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් පිළිබඳව දක්වා තිබෙන පැහැදිලි කිරීමේ පුවරු වල මේ පාහියන්ගේ සම්බන්ධය දක්වා ඇත්තේය. එහෙත් ඔහු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කලේ බුදුන් ගේ කාලයෙන් අවරුදු 800 කට පමණ පසුව බව පෙනේ.
මම මම පෙර කීවාක් මෙන් මෙම සිද්ධස්ථාන ඇත්තෙන්ම එම සිද්ධස්ථාන යැයි ඇලෙක්සැන්ඩර් කනිංහැම් සොයා ගන්නා තෙක් ඉන්දියාවේ කවුරුත් දැන සිට නැත. ඔහු එය සොයාගන්න  කාලයේ ජේතවනාරාමය අවට හඳුන්වා ඇත්තේ ද  ‘සහෙත් මහෙත්’ යන නමිනි .
මේ කිට්ටුව  අචිරවතී නදිය, ජේතවනාරාමය කරේරු කුටිය  ගන්ධ කුටිය,දම් සභා මණ්ඩපය දෙව්රම් වෙහෙර පැන් ලිද පොකුණ හා කාමර සංකීර්ණය ආනන්ද කුටි ය සක්මන් මළුව ආනන්ද බෝධීන් වහන්සේ පොහොය ගෙය සීවලී කුටිය  යනාදී නොයෙකුත් අප කුඩා කාලයේ ඉගෙනගත් බුද්ධාගම ඒ තිබූ ස්ථාන  වල නටඹුන් හෝ එසේත් නැත්නම් බොහෝ විට ඒවා පිළිබඳව ලියා ඇති කරුණු හොයාගෙන ඒ අනුව මෑතකදී සෑදූ  ගොඩනැගිලි දකින්නට පුළුවන .
ජේතවනාරාමය සෑදීම ගැන පැහැදිලි කරද්දී එය අනාථ පිණ්ඩික සිටුවරයා විසින්  රන් මසුරන් කෝටි 18 කට මිලදී ගත් බවත් තවත් මසුරන් කෝටි 18 ක් වැය කර එය ගොඩනැගූ බවත් ඉන් පසු එය බුදුරදුන්ට ප්‍රදානය කරන උත්සවයට තවත්  මසුරන් කෝටි 18 වියදම් කළ බවත්  අපට ඒ පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලාංකික මෙහෙණින් මෙහෙනින් වහන්සෙ කෙනෙක් කීවාය. මෙතන තුන්වෙනි මසුරන් කෝටි 18 වියදම් කිරීම ගැන අසා ගෙන ඉන්නා විට මට මතක් වුයේ මමත් සහභාගී වූ හම්බන්තොට වරාය විවෘත් කිරීමේ උත්සවයයි. එ වගේම මෙම කතාව  ලංකාවේ පොඩි වැඩක් කළත් රජයෙන් පවත්වන උත්සව ගැන ඕනෑම කෙනෙකුගේ සිහියට නංවයි.
මේ සියල්ල වන්දනා කර ගැනීමෙන් පසු රාත්‍රියේ හෝටලයේ සිටි අපි පහුවෙනිදා උදේම නේපාලය බලා පිටත් වුනෙමු. මෙම ගමනට කිලෝමීටර් 210 ක් දුර තිබුණු අතර පැය පහමාරක් පමණ ගතවන බව ගණන් බලා තිබුණි

නේපාල දේශසීමාවට කිට්ටු වන විට ප්‍රධාන මාර්ගය අසලින් පිහිටා තිබූ කපිලවස්තු නම් සුද්ධෝදන රජු ඔහුගේ රාජ්‍ය පාලනය කලා යැයි සැලකෙන නගරයේ නටබුන් බැලීමට අප අප ගියෙමු . ඉන්දියාවේ අපි පසු කර ගිය අනෙක් ප්‍රදේශවල අප බොහෝ විට දැක්කෙ තිරිඟු, නොයෙකුත් අප හඳුනාගන්නට බැරි හඳුනා ගන්නට බැරි වූ ධාන්‍ය වර්ග, කෙසෙල් සහ නොයෙකුත් මල් වර්ග වූ අතර  කපිලවස්තු ප්‍රදේශයට කිට්ටු වන විට  වැඩිපුරම අප දුටුවේ වී ගොවිතැනයි.
මම එහි දී කියවන ලද පොතක ඇත්තෙන්ම ශුද්ධෝදන රජු  වචනයේ පරිසමාප්තයෙන්ම රජවරයකු නොවන බව ද  ඔහු එම ප්‍රදේශයේ වී ගොවිතැනේ ගොවියන්ගේ ප්‍රධානියකු වූ බව ද කියවෙන යම් ලියවිල්ලක් දුටුවෙමි,එකල එහි  භාවිත වූ භාෂාවෙන් ශුද්ධෝදන යන්නෙහි තේරුම පිරිසිදු සහල්  යන්න බවද මට දැනගන්නට ලැබුණි . කපිල වස්තු හි අප බලන්නට රැගෙන යන නටබුන් අතර තරමක් ස්තූපයක් ද තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන්ද දකින්නට පුළුවන. නමුත් දැන් මේ කපිල වස්තු නගරයේ නටඹුන් ගැන විශාල ප්‍රශ්නයක් මතුව තිබේ
.

ඒ ඇත්තෙන්ම කපිලවස්තු තිබෙන්නේ කවර ස්ථානයක ද යන්නයි 

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිපල කුමක් විය හැකිද ? ;රජුන් තනන්නෝ


මෙවර ජනාධිපතිවරණය මෙතෙක් කල් පැවතුනු ජනාධිපතිවරණයට වඩා බොහෝ වෙනස් වනු ඇතැයි මට සිතේ. මෙවර තරඟය ඒ තරම්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කරට කර තරගයක් බව පෙනේ.

රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන නිසා, විශ්වවිද්‍යාලෙ, පාසලේ සහ කොතලාවල විශ්ව විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය ඉගෙන ගෙන ඇති නිසාත්, මෙවැනි තත්වයක්  දුටුවිට මට එය විශ්ලේෂණය නොකර ඉන්නට හැකියාවක් නැත්තේය.

ඉගෙන ගත් statistics වල සමීකරණ සියල්ල අමතක වී ඇත්තා සේ පෙනුන නිසා, මං බොහෝ සරල ක්‍රමයකට තව මාසෙකටත් වඩා අඩු කාලයකින් පැවතෙන මෙම ජනාධිපතිවරණය කුමන ප්‍රතිඵලයක් ඇති වේ දැයි විශ්ලේෂණය කර බලන්නට සිතුනි.

මේ සඳහා මම ලංකාවේ ඡන්දය දීමට සුදුසුකම් ලබන ජනගහනය සීයක් යයි උපකල්පනය කරමි .
සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දයකදී ඡන්දය ලබා දෙන සංඛ්‍යාව සියයට අසූවක් පමණ වෙයි. මේ ඡන්දයටත් එසේම සිදුවේ යයි මම උපකල්පනය කරමි .
ගියවර ඡන්දයේදී එක් ලක්ෂ පනස් දහසක් පමණ ඡන්ද නරක් වී ඇති ඒවා යැයි සැලකේ. එය සියලු අපේක්ෂකයන් අතර සාධාරණ ලෙස බෙදී යනවා ඇතැයි සිතා, නරක් වන ඡන්ද නොමැති බවට උපකල්පනය කරන එක අපගේ විශ්ලේෂණය සරලව තබා ගැනීමට පහසුවක් වනු ඇත.

දැන් මේ අසූවෙන් ඡන්ද හතක් පමණ ජේවීපී, අනෙක් සුළු පක්ෂ සහ ස්වාධීන පුද්ගලයන් ලබා ගන්නවා යැයි සිතමු.
දැන් ඉතුරු වන්නේ ඡන්ද හැත්තෑ තුනක් පමණි.
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් 25% කි. සාමාන්‍යයෙන් සුළු ජාතික ඡන්ද ඇති බහුතරයක් වැටෙනුයේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාටය. මගේ මිතුරකු වන නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පොහොට්ටුවේ සංවිධායකවරයෙකු, මට මේ ලඟදි සතුටු සාමීචියේ යෙදී සිටියදී කියා සිටියේ, ඔවුන් මෙම ජනාධිපතිවරණයෙන් ඔවුන්ගේ පක්ෂයට මුස්ලිම් ඡන්ද සියයට පහක් ගත්තත් ලොකු දෙයක් බවයි.

දෙමළ ඡන්දත් එසේමය. එහෙත් අපි මෙය සමබරතාවයෙන් තබාගන්නට පොහොට්ටුවේ අපේක්ෂකයාට, සුළු ජාතික ඡන්ද වලින් සියයට විස්සක් ලබාගත හැකි වේයැයි උකල්පනය කරමු. ඡන්දය ප්‍රකාශ නොකරන්නන් ඉවත් කළ විට, සුළු ජාතික ඡන්ද ඉතිරි වන්නේ ඡන්ද විස්සක් පමණි. මෙයින් 20% ක් යනු ඡන්ද හතරකි. එ අනුව සුළු ජාතිකයන්ගෙන්  පොහොට්ටුවට ඡන්ද හතරකුත්, හංසයාට ඡන්ද 16 කුත් ඇත.

ඡන්දය දෙන අය අසුවක් සිටි නිසා, කවුරු හෝ අපේක්ෂකයෙකුට වැටුණු ඡන්ද ප්‍රමාණයෙන් 50% ක් ලබා ගැනීමට නම් ඡන්ද හතළිහක් ගත යුතුව තිබේ. ඒ කියන්නේ පොහොට්ටුවට නම් ඡන්ද හතලිය ලබාගැනීමට තව ඡන්ද 36ක් අවශ්‍යවන අතර, හංසයාට ඡන්ද හතළිහක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඡන්ද 24කි.
ඒ කියන්නේ ඉතිරි, මහ ජාතියේ ඡන්ද 53 න් පොහොට්ටුවේ අපේක්ෂකයා ඔහුගේ ඡන්ද හතලිහ එනම් සියයට පනහ හදා ගන්ට නම්, බහුතර ජාතියේ  ඡන්ද වලින් 36/53  එනම් 67% ක් ලබා ගත යුතුය.

මේ අතර හංසයා අපේක්ෂකයාට බහුතර ජාතියේ ඡන්ද වලින් තමන්ට අවශ්‍ය ඡන්ද 40 හදා ගැනීමට ලබාගත යුත්තේ තවත් ඡන්ද 24 කි.

ඒ කියන්නේ 53 න් විසි හතරකි. ඒ කියන්නේ සිංහල ඡන්ද වලින් 48% කි. මට හිතෙන විදිහට මේ අපේක්ෂකයන් දෙදෙනාටම මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ඉතාමත්ම අපහසු වෙයි.

මෙවර ඡන්දයේදී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට දෙවෙනි ගණන් කිරීමට යාමට බොහෝදුරට ඉඩ තිබෙන බවත, මේ නිසා පෙනී යයි. එසේ වුවහොත් මේ ඡන්දය ජයග්‍රහණය කරනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාගේ දෙවන මනාප ඡන්ද වලින් වීම, බොහෝ දුරට සිදු වන්නට ඉඩ තිබේ.
ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ උදව් කරුවන්ට අපහාස උපහාස කිරීමෙන් වැළකී සිටීම ඔවුනට ඉදිරියේදී ඉමහත් වැදගත්කමක් ඇතිවන්නට බොහෝ ඉඩ තිබේ.

ඡන්ද අනාවැකි සැමවිටම නිවැරිදි වන්නේ නැත
යම් ගණනය කිරීමේ වැරදීමක් නිරීක්ෂණය වුවහොත් කරුණාකර කොමෙන්ට් කරන්න

Friday, October 11, 2019

8 මගේ දඹදිව වන්දනාව 8




සංකස්ස නටඹුන් වලින් පිටත්වී කිලෝමීටර් කිහිපයක් දුරින්  පිහිටි ආපන ශාලාවක් වෙත අපේ දවල් ආහාරය සඳහා ගියෙමු. මෙම ආපනශාලා සාමාන්‍යයෙන් මිනිසුන් ගොස් ආහාර ගන්නා තැන් නොවේ.
ඒවා මෙලෙස පැමිණෙන සංචාරකයන් සඳහා ම පවත්වාගෙන යන ඒවාය. හොඳ පහසුකම් වලින් යුත් මෙම ආපනශාලා වලට සංචාරක සමාගම් වලින් කලින් දන්වා සංචාරකයන් රැගෙන යන බව පෙනෙන්නට තිබුණි. සාමාන්‍යයෙන්  සීයකට එකසිය පනහකට පමණ  ඉඩ පහසුකම් ඇති මේවායේ බුෆේ ක්‍රමයට ආහාර අනුභව කිරීමට පහසුකම් සලසා ඇත.මෙවැනි ආපනශාලා බොහෝ පෞරාණික බෞද්ධ ස්ථාන අසල පවත්වාගෙන යන්නේ එවැනි කණ්ඩායම් වලට ආහාර සැපයීම සඳහාය.

සංකස්ස හි එතරම් බලන්නට දෙයක් නොතිබුණු නිසා අපේ දවල් ආහාර වෙලාවට තරමක් කලින් එම ආපන ශාලාව වෙත ගියෙමු. ඒ යන විටත් චීන සංචාරකයන් කණ්ඩායමක් ආහාර ගනිමින් සිටියහ. එම චීන සංචාරක කණ්ඩායමට චීන රසයන්ටළපෙන පරිදි ආහාර සකසා තිබුණු නිසා අපට එම ආහාර ගැලපෙන්නෙ නැති හෙයින් අපට ඉන්දියානු ක්‍රමයේ ආහාර සාදා දෙන තෙක්  තරමක් වේලා ගත කරන්නට සිදු විය
පසුව තරමක් වැඩිපුර වේලා ගත වන්නේ යැයි ඔවුනට දැනුනු පසු අපට යම් ආහාර වර්ග කිහිපයක් එකතු කර චීනන්ට සාදා තිබූ ආහාර ම  ක්‍රමයට වළදන්නට පිළියෙල කෙරින.

එවැනි ස්ථානයකට ආහාර ගන්නට යන විට ඉන්දියාවේදී නම් ආහාර  වලටත් වඩා උනන්දුවක් දක්වන්නෙ washroom භාවිතා කිරීමට ය. ඉන්දියාවේ සාමාන්‍යයෙන් මහා මාර්ගයේ ඇති washroom ඉතාමත් අපිරිසිදු නිසා මෙවැනි ස්ථානයක washroom පාවිච්චි කිරීමට බොහෝ දෙනා බොහෝ දෙනා අතිශය උනන්දු වක් දැක්වූහ.

දහවල් ආහාරයෙන් පසු අපි නැවතත් අග්‍රා ලක්නව් සීඝ්‍රගාමී මාර්ගයට ඇතුළු වී ලක්නව් වෙත ගියෙමු. ලක්නව් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අගනුවරයි. ඉතා විශාල නගරයක් වුවද ඇතුල් වත් දීම ඉතාම අපිරිසිදු නගරයක් බව පෙනුණි.එම නගරයේ බෞද්ධ වන්දනා කරුවන්ට බලන්නට කිසිම දෙයක් නොමැති අතර එහි රාත්‍රිය ට නැවතුනේ මුළු ගමනමඅග්‍රා සිටශ්‍රාවස්ති ය  දක්වා කිලෝමීටර 500 ක් දුර එක දිගට ම ගමන් කරන්නට ඇති අපහසුතාව නිසාය .

ශ්‍රාවස්ති ය බෞද්ධයන්ට විශේෂ වූ පෞරාණික බුදුන් හා සම්බන්ධ ස්ථාන බොහෝ ගණනක් වෙයි.බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ තිබූ විශාලතම නගර හයෙන් එකක් වන මෙම නගරයට අපි දහවල් 12 පමණ වන විට පැමිණියෙමු.

එදින අප දහවල් ආහාර ගත්තේ ද අප නැවතී සිටීමට පිළියෙල කරගත් ශ්‍රාවස්ති residency නැමති හෝටලයේය. ආහාර ගැනීමෙන් පසු අපි මුලින්ම බලන් ම බලන්නට ගියේ ජේතවන ආරාමයයි . මෙම ජේතවනාරාමය බුදුන් ට ගිහි ශ්‍රාවකයන් ගෙන්  ලැබුණු දෙවැනි ආරාමයයි. බුදුන්ට මුලින්ම මුලින් ම ලැබී ඇත්තේ  අප වේළුවන යනුවෙන් හඳුන්වන ඉන්දියාවේ වෙනුවන් නම් ආරාමයයි. එයට එම නම ලැබී ඇත්තේ එය උන ගස් උණ ගස් පිරුණු කැලෑවක් නිසාය.  සංස්කෘත භාෂාවෙන් උණ ගසට කියන්නේ වෙනු ලෙසයි.

මේ බොහෝ ඓතිහාසික ඓතිහාසික වැදගත්කමකින් යුක්ත ස්ථාන අපට මෙසේ දැක බලා බලා ගැනීමට සහ ඉන්දියානු රජයට ඩොලර් කෝටි ගණන් හම්බ කරන්නට ඇත්තෙන්ම ඉඩ ලබාදී ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකී. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර් කනිංහැම් වෙයි.
බ්‍රිතාන්‍යයේ හමුදාවේ බෙංගාලිරෙජිමේන්තුවේ ඉංජිනේරුවරයෙකු වූ මොහු ඒ කාලයේ ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ බොහෝ උනන්දුවක් ගත්තේ ය
සංකස්ස නාලන්ද ශ්‍රාවස්ති වයිශාල් සහ දැන් පකිස්ථානයේ  තිබෙන තක්ෂිලා වැනි ස්ථාන හරියටම කොතන තිබේදැයි සොයා ගෙන ඒ වගේ කැණීම් කටයුතු කර ඒවා අඳුනා ගැනීමට මූලික වූයේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාය. ඔහු හමුදාවෙන් විශ්‍රාම ගත් පසු ඉංග්‍රීසි ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉන්දියාවේ පුරාවිද්‍යා පිළිබඳ කටයුතු කරන indian Archaeological survey නැමති ආයතනයේ ප්‍රධානියා බවට පත් කළ අතර එම රැකියාව අවුරුදු පහක් කළ පසු ඒවාට මුදල් වියදම් කිරීමට ඉන්දියානු රජයට අපහසු නිසා නවතා දමා ඇත.

Tuesday, October 8, 2019

7 මගේ දඹදිව වන්දනාව 7 ; තව්තිසා දෙව්ලොව ගොස් ආපසු පැමිණීම







අග්‍රා බලකොටුව සංචාරය මට වඩාත් සතුටක් ගෙන දීමට තවත් හේතුවක් තිබුනී. ඒ මම දැනට මාසයකට පමණ පෙර මිලදීගත් මෝගල් අධිරාජ්‍ය පිළිබඳව පොත කියවීමෙන් මට මෙම බලකොටුව, සාජහන්  රාජ්‍ය පාලනය සහ ටජ්මහල  සෑදීම පිළිබඳව පිළිබඳව බොහෝ කරුණු පිළිබඳව එහි යාමටත් පෙර යම් දැනුමක් තිබීමයි. මා කිසිසේත් සැලසුම් නො කළ අන්දමට ඒ පොත කියවීමෙන් වැඩි කාලයක් ගත වන්නට පෙර එම ස්ථානය බැලීමට යාමට අවස්ථාව ලැබීම හරියට මා දන්නා තැනකට නැවත යාම බඳු විය.


අප මෙය නැරඹීමෙන් පසු පසු ආපසු ආග්‍රා plaza නැමැති අප නැවතීමට නියමිත හෝටලයට ගියෙමු . මෙවැනි කාමර පනහේ පමණ සියලු  පහසුකම් වලින් යුත් හෝටල කිහිපයක්ම එම ප්‍රදේශයේ අලුතින් සාදා ගෙන එන අයුරු අප එන අතරමඟ දී දකින්නට ලැබුණි .

වසරකට සංචාරකයන් මිලියන අටත් අටක් නවයක් පමණ අග්‍රා වලට  පැමිණෙන සංචාරකයන්  ගෙන් ලක්ෂ අටක් පමණ විදේශීය සංචාරකයන් නිසා  tajmahal සහ අග්‍රා බලකොටුව බැලීමට දවසක් ගත කර ඉන්පසු රාත්‍රිය අග්‍රාහි හෝටලයක නැවතී ආපසු යන ලෙස ට සංචාරකයන් දැන් සැලසුම් කරන බව පෙනේ .

අප නැවතී සිටි හෝටලය සියලු පහසුකම් වලින් යුක්ත ස්ථානයක් වූ අතර මම රාත්‍රී 7.00 ට පමණ පිහිනුම් තටාකය වෙත ගොස්  මගේ ඉන්දියාවේ දී ප්‍රථම පිහිනුම්  සිදු කළෙමි. තුන් වෙනි තට්ටුවෙ තිබූ පිහිනුම් තටාකය අසලම විවෘත බීම හලක් තිබුණි. මම පිහිනන අතර තුර එම බීම හලේ ඉන්දියානු තරුණ තරුණියන් දහ දෙනකු පමණ බියර් බොනවා නිරීක්ෂණය කළෙමි. ඉන්දියාව කොතරම් දුරට ඇමෙරිකානු කරණය වන්නේ දැයි මට ඒ දෙස වරින් වර දුටු විට සිහියට නැගුනේ ඔවුන්ගේ හැසිරීම් රටාව ඇඳුම් යනාදිය දැකීමෙනී.

පිහිනුම් තටාක එහා පැත්තේ ස්පා එකක් දැක මම පිහිණුම  අවසානයේ එයින් සම්භාහනයක් ද කර ගත්තෙමි. ඉන්දියානු රුපියල් රු.1700 ගෙවන්නට සිදු වූ මෙම සම්බාහනය ඉතාමත් ඉහල  වෘත්තීය මට්ටමක තිබුණි .
අපගේ මාර්ගෝපදේශකයා ට කියා ගෙන්වාගත් royal challenge ඉන්දියානු විස්කි  බෝතලයකින් කුඩා කොටසක් පානය කර පානය කර රාත්‍රී ආහාර ගත්තෙමි. එම බෝතලයක් ඉන්දියානු රුපියල් අටසීයක් පමණක් විය. රටකට ගියවිට ඒ රටේ දේවලින්ම ආස්වාදයක් ලැබිය යුතුය.

පසුදින උදය නැගිට මේ ලඟදි වැඩ නිමවන ලද අග්‍රා -ලක්නව් සීඝ්‍රගාමී මාර්ගයේ අප සංකස්ස  බලා පිටත් වූයෙමු. ගොවිපළවල් මැදින් වැටී තිබෙන මෙම මාර්ගය මේ ලඟකදී විවෘත කරන ලද අතර ඒ නිසා අග්‍රා සිට සංකස්ස ට මං ඇති කිලෝමීටර් 160ක් පමණ දුර පැය තුනකින් පමණ අවසන් කිරීමට හැකි විය , ඇත්තෙන් ම වැඩියෙන් වෙලා ගියේ සීඝ්‍රගාමී මාර්ගයෙන් ඉවත් වී පුද භූමිය වෙත යන පාරවල් වල තිබූ traffic jam නිසාය.
උදේ දහය   පමණ වන විට   අප සංකස්ස වෙත ළඟා වූ අතර එම ප්‍රදේශය ඉතාමත්ම  දුප්පත් ජනතාවක් ජීවත්වන බව පෙනුණි. අප මුලින් ම ගියේ එහි තිබෙන ලංකාවේ හාමුදුරු කෙනෙක් සාදාගෙන ජීවත්වෙන  ලංකාවේ පන්සල වෙත ය. වෙහෙර විහාර ඇතුළුව බොහෝ ගොඩනැගිලි වලින් යුක්ත එම විහාරය ලංකාවෙන් පැමිණෙන වන්දනාකරුවන්ගේ නවාතැන් සඳහා ද පාවිච්චි කරන බව දැනගන්නට ලැබුණි . එය වන්දනා කර සංකස්ස නටබුන් බැලීමට අපි ගියෙමු .

 මම බුදුන්ගේ බුදුන් ගේ ජීවිත විස්තරයේ බොහෝ තැන් පිළිබඳ මතකයක් තිබුණු නමුදු සංකස්ස ගැන එතරම් අසා තිබුණු බවක් මතක නැත. කෙසේ වුව ද මෙම ස්ථානය  බුදු රදුන් තව්තිසා ලොව  ජීවත් වූ තම මව වූ මහා මායා දේවියට ධර්මය දේශනා කර ආපසු පැමිණි ස්ථානය යැයි කියනු ලැබේ . අප එම ස්ථානයට ගිය විට එය කුඩා කඳු ගැටයක් ලෙස පෙනුණි . එහි මුදුනට නැඟුණු පසු ඒ මත කුඩා බුදු ගෙයක් ද පැත්තකින් හින්දු ආගමේ යම් පූජනීය ස්ථානයක් ද තිබුණි . ඒ අවට සීයක් පමණ කහ පාට සිවුරු දමා ගත් භික්ෂූන් වැනි පිරිසක් එක් රැස් වී සිටියහ . ඔවුන් අප දුටු විට වහා අප යන මාර්ගයට පැමිණ ඒ දිගට ඉඳගෙන බුද්ධ ධර්මයේ වචන කීපයක් ශබ්ද නගා කියමින් අපෙන් ආධාර ඉල්ලූහ. අප පැමිණි බස්රිය දැක තවත් එවැනි පිරිස් ලහි ලහියේ එතනට ළඟා වනුද පෙනුනි.



එහි වෙනත් බලන්නට යමක් තිබුණේ නැත . ඒ අපි මුදුනට නැගී කුඩා කන්ද බුදුන් ගේ මෙම විශේෂ අවස්ථාව සිහි කර ලන්නට බුදුන් පිරිනිවන් පෑමෙන් අවුරුදු 300 කට පමණ පසු අශෝක අධිරාජ්‍යා ගොඩනගන ලද ගරාවැටුණු චෛත්‍යක් බව දැන ගන්නට ලැබුණි .ප්‍රදේශයේ හින්දු භක්තිකයන් ද මෙම ස්ථානය ඔවුන් ගේ හින්දු ආගමේ පූජනීය ස්ථානයක් ලෙස සලකා පුද පූජා පවත්වන බව පෙනුනි .


Monday, October 7, 2019

6 මගේ දඹදිව වන්දනාව 6 : ටජ් මහලට වසා ලස්සන බලකොටුව





මෙයට හොඳම උදාහරණයක් නම් අපේ කණ්ඩායමේ සිටි කෙනෙකු අපේ tajmahal මාර්ගෝපදේශකයා ගෙන් Taj Mahal  අසල පෙනෙන යමුනා නදිය මෙතරම් ජලය වියළී ඇත්තේ කුමන හේතුවකට දැයි ඇසූ විට ඔහු කියා සිටියේ, එම ප්‍රදේශයට වැස්ස ඇත්තේම නැති බවයි. නමුත් එය එතරම් පිළිගත නොහැකි පැහැදිලි කිරීමක් නිසා, මම ඔහුගෙන් වැස්ස එතරම්ම අඩු වුවත් ගඟේ ජල ප්‍රමාණය අඩුවන්නේ  ගඟේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාව අඩු වීමෙන් විය නොහැකි දැයි ඇසූ විට ඔහුට තරහ ගියේය.

ඔහු එම ප්‍රදේශයේම ඉපිද එම ප්‍රදේශයේම ජීවත්වන නිසා, ඔහු මට වඩා හොඳින් දන්නා බවත් මට යමක් තේරුම් ගැනීමට බැරි වීම ගැන ඔහුට කරන්නට දෙයක් නැති බවත්, වැනි දෙයක් කියා සිටියේය.
මගේ මෝඩ කම ගැන මම ඔහුගෙන් සමාව ඉල්ලුවෙමි. ඔහුට ඒ පිළිබඳව වත් ලැජ්ජාවක් සිතුනේ නැත.

අපේ මුළු ගමනටම මාර්ගෝපදේශකයා වූ විජය පාන්ඩේ අපට වේලාව තිබෙන නිසා, ටජ් මහල් වලට කිලෝමීටර් තුනක් පමණ දුරින් තිබෙන අග්‍රා බලකොටුව බැලීමට අපි කැමති නම් එයට ඉඩ තිබෙන බව පවසා සිටියේය. ටජ්මහල් බැලීමෙන් විඩාවට පත්ව සිටි අප කණ්ඩායමේ කිහිප දෙනකු එයට එතරම් කැමැත්තක් පෙන්නුවේ නැති නමුදු, මම සහ කීපදෙනෙක් කැමැත්ත දැක්වීම නිසා, අප එයට යාමට අවස්ථාවක් ලැබුවෙමු.
ඇත්තෙන්ම tajmahal සහ අග්‍රා බලකොටුව සංසන්දනය කරන විට, මට නම් හිතෙන්නේ ඒ දෙකෙන් වඩා සිත් ගන්නා එසේම බලන්නට දේවල් වැඩියෙන් තිබෙන ස්ථානය අග්‍රා බලකොටුව බවයි. මෙයට බලකොටුවක් ලෙස කීවත්, ඇත්තෙන්ම එය බලකොටුවක් ලෙස සෑදු ආරක්ෂිත නගරයකි.


අක්කර සියයක පමණ ඉඩ ප්‍රමාණයක, තරමක ගල් කන්දක් මුදුනේ වගේ සාදා තිබෙන මෙම බලකොටුව, එකල කිඹුලන් ගෙන් සහ දරුණු වන සතුන්ගෙන් සෑදුනු අගල දෙකකින් ආරක්ෂා වී තිබී ඇති අතර, ඇතුලත මා කලකින්  දුටු ඉතාමත්ම අලංකාර, එමෙන්ම නොයෙකුත් ඓතිහාසික වටිනාකමකින් යුත් දේවලින් පිරී තිබිණ.
එහි දී අපට ලැබුණු මාර්ගෝපදේශකයාද අග්‍රා බලකොටුව තරම්ම සිත් ගන්නා පුද්ගලයෙකු විය. පැරණි රජ කෙනකුගේ මෙන් පෙනුමක් තිබුණ ඔහු, අපට ඒ අග්‍රා බලකොටුව ජීවත්වන කාලේ තිබූ තත්ත්වය තත්ත්වය සිතෙහි මවා ගන්නට පුළුවන් තරමට, අලංකාර ලෙස ඉතාමත් උනන්දුවකින්, හොඳ ඉංග්‍රීසියෙන්  එය සිදු කළේය.
1631
වසරේ ; taj mahal  වයසත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වයසත් කිට්ටුවෙන් සමානවීම සිහියට ගැනීමෙන් අපට ටජ්මහල් ප්‍රාසාදය වයස පිළිබඳව යම් හැඟීමක් ලබාගත හැක්කේය, ටජ් මහල් සිහිවටනය සෑදූ akbhar රජතුමා, ඔහුගේ පුතා විසින් සිර කර තබා ඇත්තේ මේ බලකොටුවේය. එම කාමරයේ සිට ඔහු ගේ නිර්මාණය වූ ටජ්මහල් දෙස බලන විට, ඇත්තෙන්ම ටජ් මහල් වෙතට ගොස් බලනවාට වඩා ඉතාමත් අලංකාර ලෙස පෙනෙයි, වයස් ගතව සිටි ඔහු, ඒ දෙසම බලා කල් ගත කරන පැත්ත සිතන විට බොහෝ කණගාටුවක් කෙනෙකුට ඇතිවීම ස්වභාවිකය.
ටජ්මහල් බැලීමෙන් පසු අප පිටතට පැමිණ ටික වේලාවක් වීදියේ ගමන්කර සියලු දෙනා පැමිණෙන තුරු නැවතී සිටින විට, මම නොයෙකුත් බඩු විකුණන්නට අරන් එන ළමයින් ගෙන් බේරීමට, ඒ අසල තිබූ කුඩා බංකුවක ඉඳගන්නට ගියෙමි. මම එතැනට යන විට තරුණ තරමක් ගණන් කාරයන් ලේඅස පෙනුණු ඉන්දියානුවන් හතර පස් දෙනෙක් එහි නොයෙක් ආකාරයට වාඩිවී සිටියහ.
 මම බංකුව වෙතට ගියේද මට ඔවුන් හිඳ ගන්නට ඉඩක් ලබා දේද යන සැකයෙනි. නමුත් මා එතනට ගිය විගසම ඔවුන් එකිනෙකා ඉතාමත් ඉක්මනින් එතනින් හෙමිහිට මාරු වී ගියහ. මට ටික වෙලාවක් යනතුරු හේතුව සොයාගැනීමට නොහැකි වූ නමුත්, පසුව සිතුනේ එතන සියලු දෙනා ජීවත්වන්නේ සංචාරකයන්ගෙන් නිසා, ඔවුන් තුළ   සංචාරකයන්ට ඇති ගෞරවය නිසා එසේ කරන්නට ඉඩ තිබූ බවය.

ඉන්දියානුවන් අපේ පාරාදීසයට ඔබ සාදරයෙන් පිලිගනිමු කියා බෝඩ් නොගැහැව්වට, සංචාරකයන් පිළිබඳ යම් ගෞරවයකින් හැසිරෙන බව මට සිතුනී.

Friday, October 4, 2019

5 මගේ දඹදිව සංචාරය 5



අප දිල්ලි ගුවන්තොටුපලින් එළියට එන විටම ඉන්දියානු මඟ පෙන්වන්නා අප පිළිගැනීමට පැමිණ සිටියේය. 2013 යම් රාජකාරියකට ගොස් ආපසු එන දවසේ, එම ගුවන්තොටුපල අලුතින් නවීකරණය කර විවෘත කරන දවස මගේ සිහියට නැඟුණි.
දිල්ලි ගුවන්තොටුපල ඇතුලත ඉන්දියාවේ තොටුපලක් කීමටත් නොහැකි ලෙස ඉතාමත් අලංකාරව තිබේ.

මට එහිදී තීරු බදු රහිත සාප්පුවකින් විස්කි බෝතලයක් දෙකක් ගන්නට සිතුනද, ඉන්දියානු බීම වලට ඇති කැමැත්ත නිසා නො ගෙන සිටියෙමි. අප බොහෝ අතීතයේ ඉන්දියාවේ පුහුණුව ලබද්දී නිළධාරිනි මාසේ බොහෝවිට අපගේ බිම වූයේ old monk rum සහ champa cola විය. එකල චම්ප කොලා රම් සමඟ බීමට සිදුවූයේ ඉන්දියාවේ කොකා කෝලාය. කොකා කෝලා කොම්පැණිය, ඔවුනට එකල රජයෙන් පැනවූ නීතියක් නිසා රටෙන් ඉවත්වී යාම නිසාය. මේ රජයේ යම් ආයතනයකට ඉදිරිපත් කළ යුතුය කියන නීතිය බව මට මතකය.
ගුවන් තොටුපලේදි ඉන්දියානු එයාටෙල් කාර්යාලයක් සොයාගෙන මම airtel sim පතක් මිලදී ගන්නට විමසා බැලුවෙමි. සිම් එකක් ඉන්දියානු රුපියල් 900 ක් වන අතර, රුපියල් 2500 දෙදහස් පන්සීයේ පැකේජ් එකක් තිබෙන බවත් ඔවුන් මට කීහ.
ඒ වන විට මගේ දුරකථනයේ තිබූ මොබිටෙල් සිම් එකට, එහි කලින් දමා තිබූ roaming එකක් වැඩ කරන්නට පටන් ගෙන මට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දුරකථන ගාස්තු සඳහන් කර කෙටි පණිවිඩ ලැබූ තිබුණි. ඒ අනුව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුමකට විනාඩියකට රුපියල් පහක් පමණක් වන බව දුටු මම, ඉන්දියානු සිම් එකක් ගැනීම අතහැර දැමුවෙමි.

අප එළියට ගිය පසු ඉන්දියානු ගයිඩ්වරයා විසින් ගුවන් තොටුපොළට ආසන්නව තිබූ වාහන නවත්වන ස්ථානයක නවතා තිබූ ඔහුගේ බසය වෙත අප රැගෙන යන ලද්දේය.
සාමාන්‍යයෙන් බස් එක, එකහමාරක් පමණ විශාල වූ මේ බසය, අපගේ 17 දෙනකු කුඩා කණ්ඩායම මෙන් දෙගුණයකට පමණ ඉඩ තිබූ නිසා, අපට අවශ්‍ය ලෙස අත් කකුල් දිග හැර ඉඳගන්නට හැකි විය. මෙම බස් රථය ටාටා එන්ජිමක් ඇතුළුකර පන්ජාබයේ විශේෂයෙන් සාදන සැසියක් බව දැනගන්නට ලැබුණි.
එහි සවිකර තිබූ high speed engine එක නිසා, වාහනය ගමනේ යෙදෙද්දී ඉදිරිපස එන්ජිමට ඉදිරියෙන් තිබෙන ග්‍රිල් එක වාහනයේ මුහුණතින් අඟල් හයක් පමණ ඉදිරියට විවෘත වෙයි. එන්ජිමට වාතය ලබා ගැනීමට පහසු කරන ක්‍රමවේදයක්ද තිබෙන බව මම දුටිමි.
පැයකට පමණ පසු අපට උදය ආහාර ගැනීමට විශාල වාහන නැවතුමක් සහිත සංචාරක ආපන ශාලාවක් තුළ නැවතුනු අතර, අප ආපසු එන තෙක්ම අප විසින් මුදල් ගෙවා ලබා ගත් එකම ආහාර වේල විය. මම ඉකිලි දෙකත් එයත් සමඟ ලබාදෙන කරි සමග ආහාරයට ගත් අතර, ඒ සඳහා රුපියල් 100 ක පමණ මුදලක් වැය විය.
කිලෝ මීටර් 300 පමණ වූ දිල්ලි සිට ආග්‍රා වෙත අප පැය තුන හමාරකින් ගමන් කළෙමු. මෙම මුළු ප්‍රදේශයම ඉතා වියළි ප්‍රදේශයක් වන අතර බොහෝ විට දක්නට ලැබෙන්නේ ධාන්‍ය වගා කරන කෙත්වතු සහ හතු පිපෙන්නාක් සේ ගොඩ නැගී එන තට්ටු නිවාසයන්ය.
අග්‍රාහි ටාජ්මහල් නොදුරින් පිහිටි ආග්‍රා plaza නැමති හෝටලයට ගිය අපි,  එතන අපේ බඩු බාහිර ආදිය තබා දහවල් ආහාර ගෙන, ටජ්මහල් නැරඹීමට ගියෙමු.
මම මීට පෙර වතාවක්ද ටල් මහල් බලා තිබූ නිසා, මට එතරම් උනන්දුවක් තිබුණේ නැත. ටජ් මහල් ස්මාරකය අප හොඳින් දන්නා දැක පුරුදු වූ එකක් නමුත්, එය වටා ඇති ගොඩනැගිලි සංකීර්ණ පිළිබඳව අප එතරම් දන්නේ නැත. එතැනදී අපට ලැබෙන මාර්ගෝපදේශකයන්ද අපට පෙන්වන්නේ ගොඩනැගිල්ලේ එකම දේවල් පමණි. ඒ අතරම මම මගේ සංචාර දෙකේදීම නිරීක්ෂණය කළ දෙයක් නම්, එහි මාර්ගෝපදේශකයන් බක පණ්ඩිතයන් බව ය.



Thursday, October 3, 2019

4 මගේ දඹදිව වන්දනාව 4 ආගමනයේ කුණු ආස්වාදය

https://lakshmanillangakoon.blogspot.com/2019/10/3-3.html
සිට
එදින පිටත්වීමට පෙර නගරයට යන මිතුරෙකු ලවා ඒ සඳහා ප්‍රසිද්ධ ස්වර්ණාභරණ සාප්පුවකින් ඉන්දියානු රුපියල් මිලදී ගත් අතර, ඒවා හරියටම අන්තර්ජාලය තිබූ හෝ මාරු හුවමාරු වටිනාකම වන ශ්‍රී ලංකා රුපියල් 2.50 ට ම ගන්නට ලැබීම අපට මහත් සතුටක් ගෙන දුන්නේය.
මධ්‍යම රාත්‍රියේ පමණ ගුවන් තොටුපලට පැමිණ බැංකුවෙන් ඩොලර් යම් ප්‍රමාණයකුත් මාරු කරගෙන, මම එයාටෙල් කාර්යාලය සොයන්නට පටන් ගත්තෙමි. කිහිප දෙනෙකුගෙන් ඇසූ පසු මට පැහැදිලි වූයේ එයාටෙල් කාර්යාලය ගුවන්තොටුපළේ departure පැත්තේ නම් ඇති බවයි.
airtel
සමාගමේ නියෝජිතයා මට දුරකථනයෙන් කියා ඇත්තේ බොරුවකි. අඩු තරමෙන් මගේ දුරකථනයේ මීට පෙර පිටරට යාමකදී දමාගත් roaming තිබෙන නිසා, මම හිත හදා ගත්තෙමි.
අප රෑ එකට පමණ ඉන්දියානු ගුවන් සේවයේ යානාවකින් delhi බලා පිටත් වුනෙමු. සාමාන්‍යයෙන් ඉස්සර අපි ඉන්දියාවට යන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යාමට බොහෝ ප්‍රිය කළේ එහි සේවාවන් ඉන්දියානු ගුවන් සේවයට වඩා බොහෝ ඉහළින් තිබුණු නිසාය. එකල මා දන්නා බොහෝ ඉන්දියානුවන්ද ලංකාවට එනවිට පැමිණීමට ප්‍රිය කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යානාවකින්ය.
ඔවුන් ඉන්දියානු ගුවන් සමාගම් වල ටිකට් මිලට ගත්තේ srilankan ticket අවසන් වූ පසු බව මට මතකය.
එහෙත් දැන්නම් තත්වය බොහෝ දුරට වෙනස් වී ඇත. ඉන්දියානු ගුවන් යානා වල එහි සේවකයන්ගේ හැසිරීම බොහෝ දුරට ඉහළ ගොස් ඇති අතර, සැර බීම දෙවන වරටත් අවශ්‍ය දැයි අසන තරමට පාරිභෝගික සේවාවන් දියුණු වී ඇත.
ගුවන් යානා නම් තරමක් පරණ ඒවා වූ අතර, අඩු තරමෙන් රූපවාහිනියක් වත් තිබුනේ නැත. එහෙත් පැය ගනන අඩුනිසා; පැය තුනහමාරක් පමණ, එය එතරම් දැනුණේ නැත.
මෙම ගුවන් යානයේ සිටි මගීන් ගෙන් සියයට අනූවක් පමණ දඹදිව වන්දනාවේ යන අය බව මම නිරීක්ෂණය කළෙමි. මෙම වන්දනාකරුවන් ගෙන් 90% ක් පමණ වයස්ගත කාන්තාවන් වූ අතර ඉතිරි කොටස පිරිමින් විය.

අප delhi වලට පැමිණි පසු මෙලෙස පැමිණෙන බොහෝ වන්දනාකරුවන් පළමුවරට පිටරටකට යන්නන් නිසා, එහි ආගමනය කොටසේ මහත් අවුල් සහගත ස්වභාවයක් ඉසිලීය. අප අසලම සිටී සිටි එක් කණ්ඩායමක වන්දනාකරුවන් අසූවක් පමණ සිටි නිසා, එහි සංවිධායකවරුන්ටද මේ පිළිබඳව කිසිවක් කරකියා ගත නොහැකි තත්වයක් ඇති වන බව පෙනුණි.
ඒ අතරම ඉන්දියාවේ ආගමන හා විගමන නිලධාරීන් මෙම වයස්ගත වන්දනාකරුවන්ට ඉංග්‍රීසි බැරි වීම සහ ගුවන් තොටුපළකදී අත්දැකීම් නොමැති වීම විහිලුවකට ගෙන, ඔවුන් පත්වී ඇති මෙම අපහසුතාවය එන්ජෝයි කරන බවක් පෙනෙන්නට තිබුණි.

එසේ බලවත් අපහසුතාවයකට පත්ව ඇති එක් කාන්තාවකට, අසල සිටි වෙනත් කාන්තාවන් ඉංග්‍රීසි පරිවර්තනයකින් උදව් කරන්නට සැරසෙන විට, එක් ආගමනය නිලධාරියෙක් ඇය සැරපරුෂ ලෙස එලවා ගත්තේ ඔහුට මෙලෙස වන්දනාකාරියගේ අපහසුතාවයෙන් කුණු වින්දනයක් ලබන්නට අවහිර කරන නිසා විය යුතුය.

ඉන්දියාවට මෙතරම් විදේශ විනිමයක් ලබා දෙන මෙවැනි කණ්ඩායම් වලට අමානුෂික ලෙස ලැජ්ජාවට පත් කිරීම නැවැත්වීමට අඩු තරමේ, කොළඹ සිට පැමිණෙන ගුවන්යානා සඳහා දිල්ලි සහ වරනාසි වල සිංහල භාෂාව දන්නා නිලධාරීන් කිහිපදෙනකු යෙදවීමට, ඉල්ලා සිටීම ශ්‍රී ලංකා රජයේ යුතුකමකි වගකීමකි.

https://lakshmanillangakoon.blogspot.com/2019/10/5-5.html



අලියා ආලින්ගනයේ යෙදෙන්නට බොහෝ කල් ගනී

D H ලෝරන්ස් 1922 වසරේ ලංකාවට සංචාරයක් සඳහා ඔහුගේ බිරිඳ සමග පැමිණියේය. ලංකාවට පැමිණි බොහෝ බටහිර සංචාරකයන් මෙන් ඔහුට ලංකාව ගැන එතරම් ...