Sunday, November 19, 2017

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?



මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය.

චන්ද කොහොමත් අපට විනෝදාස්වාදය ගෙන දෙන අංගයක් නිසා මට මෙවර  චන්දයෙන් කුමක් වෙන්නට ඉඩ තිබෙන්නේද යන බව ගැන පොඩි විශ්ලේෂණයක් ලියන්නට සිතුනි. විශේෂයෙන්ම මෙවර චන්දය පැවැත්වෙන ආකාරය වෙනස් කර ඇති නිසා මෙහි  සාමාන්‍ය චන්දයකට වඩා යම් විශේෂ සිත්ගන්නා සුළු බාවයක්ද ඇති බව මෙතනදී කිව යුතුය.

මේ චන්දයට දැන් පෙනෙන විදිහට මුහුණ දෙන ප්‍රධාන පක්ෂ තුනක් වෙයි. ඒ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව කණ්ඩායමයි. සාමාන්‍යයෙන් ලංකාවේ සිංහල බහුතරයක් සිටින පලාත්වල අනෙකුත් කුඩා පක්ෂද මෙම කණ්ඩායම් තුනට සම්බන්ධ වී චන්දය ඉල්ලන්නට ඉඩ තිබෙන අතර වතු දෙමල ජනතාව බහුතරයක් වන ප්‍රාදේශීය පලාත්වල පමණක් වතු පක්ෂ තනියම  බලය ලබා ගැනීම සදහා තරග කරනු ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සෑම ප්‍රාදේශීය පළාතකම වාගේ කුඩා චන්ද ප්‍රමාණයක් ලබාගෙන සමහර ඒවාගේ කොට්ටාශයක් දෙකක් ලබා ගනු ඇත.

කලකට පසු නැවත කරලියට පැමිණෙන කොට්ටාශ ක්‍රමය නොපැමිණියේ නම් රටේ පවතින ජනමතය සැලකු විට  සාමාන්‍ය චන්ද කොට්ටාශයක චන්ද බෙදීයාම පහත ආකාරයට සිදුවිය හැකිව තිබුනේ යැයි මට සිතේ.
එක්සත් ජාතික පක්ෂය - 35 %
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 20%
පොහොට්ටුව - 35%
කුඩා පක්ෂ හා ස්වාධින කණ්ඩායම් -10%

මෙලෙස පොහොට්ටුවට මෛත්‍රී කණ්ඩායමට වඩා ලොකු ප්‍රතිශතයක් තිබුනේ එය UNP එකට විරුද්ධ ප්‍රධාන කණ්ඩායම නිසාය. මක්නිසාද ගම්වල SLFP සහ UNP එකතුවීම බොහෝදුරට UNP පාක්ෂිකයන් පිළිගෙන ඇතත් SLFP පාක්ෂිකයන් පිළිගෙන නැතිනිසා යයි මට සිතේ.

එහෙත් දැන් මෙම තත්වය කොට්ටාශ ක්‍රමය හදුන්වාදීම නිසා සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබේ. ඇත්තෙන්ම කොට්ටාශ ක්‍රමය ජනාධිපති සිරිසේනගේ සහ තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කාරයා බවට මෙවර බොහෝ විට පත්වන්නට ඉඩ ඇත්තේය.
 මනාප ක්‍රමයට වඩා කොට්ටාශ ක්‍රමයේ ලොකු වෙනසක් ඇත්තේය. ඒ කොට්ටාශය තුල චන්දය ඉල්ලන පුද්ගලයාද චන්දය ලබා ගැනීමේ ප්‍රධාන සාධකයක් වීමේ ඇති හැකියාවයි. 

පක්ෂයක් එතරම් චන්ද ආකර්ෂණය කර නොගත්තේ වුවද එහි අපේක්ෂකයා කොට්ටාශය තුල ජනප්‍රිය චන්දදායකයා ගරු කරන පුද්ගලයෙකු නම් එම පක්ෂයට වාසි ලැබිය හැක. අනෙක මැතිවරණ ආසන මට්ටමේදී පවා කුලබේදය අනුව චන්ද වැටෙන අපගේ වැනි රටක ගම මට්ටමට එන විට කුල, ආගම්, වැනි සාධකද චන්ද ප්‍රමාණයට ලොකු බලපෑමක් කරන්නට පුළුවන. ඒවාගේම අපේක්ෂකයාගේ සනුහරයද චන්ද ප්‍රතිශත වලට ලොකු බලපෑමක් කරන්නට හැකියාව ඇත. කිට්ටුවෙන් බැඳී ඇති නෑයන් පවුල් 20ක් පමණ ලොකු වෙනසක් කරන්නට පුළුවන.

එහෙයින් මෙවර චන්දයේදී අඩුවෙන් බලාපොරොත්තුව සිටි ශ්‍රී ලංකා නීදහස් පක්ෂ (මෛත්‍රී ) බොහෝ විට අනෙක් ප්‍රධාන කණ්ඩායම් දෙක හා සමානව කොට්ටාශ  ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාවක් දැන් ඇති වී තිබේ. එය යතාර්ථයක් වුවහොත්  වර්තමානයේ පාර්ලිමේන්තුව සැකසී ඇති ආකාරයෙන්ම අනාගතයේ ප්‍රාදේශීය සභාද සංයුක්ත වීමට බොහෝ ඉඩකඩ ඇත්තේය.


ඒ අනුව බලනවිට කොට්ටාශ ක්‍රමයෙන් වැඩියෙන්ම අවාසි වන්නේ පොහොට්ටු කණ්ඩායමට බව  පෙනේ. මක්නිසාද මනාප ක්‍රමය තිබ්බේ නම් අපේක්ෂක සාධකයේ බලපෑම බොහෝ අඩුවී රටේ තිබෙන සාමාන්‍ය ජන මතය පිළිඹිබු වන ප්‍රතිපලයක් එන්නට ඉඩ තිබුණු බැවිනි.  

Sunday, November 5, 2017

පොලිසියට තාක්ෂනය පෙනෙන්නේම නැද්ද ?






මෑත කාලයකදී  TV නිව්ස් වල  ආභරණ කඩයක් හෝ පෙට්‍රල් ෂෙඩ් එකක් ආයුධ සන්නද්ධ හොර කණ්ඩායම් විසින් මංකොල්ල කන අවස්තාවක් නොපෙන්නු දවසක් ඇත්තෙම නැති තරම්ය. ඊයේ පෙන්වන ලද ආභරණ කඩයේ මැදිවියේ  අයිතිකරු සහ  ඔහුගේ පහළොස් හැවිරිදි පුතා විසින් සොරුන් පලවා හැරීමට කරන ලද සටන ඇත්තෙන්ම චිත්‍ර පටයක වත් නොදකින අන්දමේ  වීර කමකි. එහෙත් අනික් පැත්තෙන් ජිවිත පරදුවට තබමින්  එවැනි වීරකම් කරන්නට අහින්සක  වයස්ගත ව්‍යාපාරිකයන් තල්ලු කරන්නේ කවුදැයි සොයා බැලීම  අපගේ යුතු කමකි.

එසේම එවැනි කනගාටුදායක සිදු වීම් වලක්වාගත හැකි ආකාර සාකච්චා කිරීමද අප යුතුකමකි.

සාමාන්‍යයෙන් පොලිස් ස්ථානයක බල ප්‍රදේශය තුල නගර  දෙකක් පමණ ඇත්තේය. උදාහරණයක් වශයෙන් මා දන්නා වත්තේගම පොලිස් ප්‍රදේශය තුල නගර වශයෙන් තිබෙන්නේ මැණික්හින්න, මඩවල  සහ වත්තේගමයි. සාමාන්‍යයෙන් අවිගත් සොරකම් වලට ලක්වන පෙට්‍රල් ෂෙඩ් සහ ආභරණ සාප්පු මෙම පොලිස් ප්‍රදේශයේ මෙම කුඩා නගර වලින් පිට ඇත්තේම නැති තරම්ය.

එසේ නම් පොලිස් ස්ථානය කල යුත්තේ කුමක්ද ? වෙන කිසිවක් නොව  එවැනි අපරාධයක් සිදුවන විට ප්‍රතික්‍රියා කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ස්ථානගත කිරීමයි.
මේ සඳහා මුලික අවශ්‍යතාවයන් පහත පරිධිය;


  1. අපරාධය පටන් ගත්  විගස පොලිසිය දැනගැනීම
  2. එය වැලැක්වීම සඳහා එම අපරාධ කරුවන් දමනය කල හැකි තරමට සන්නද්ධ වූ පොලිස් කණ්ඩායමක් අපරාධය අවසන්වී සොරුන් පලා යාමට පෙර  එතනට යැවීමට ඇති හැකියාව.
1- වයි ෆයි නිසා දැන් ඕනෑම ස්ථාන දෙකක් හෝ සමුහයක් සන්නිවේදනය කිරීම සඳහා මුලිකව රුපියල් 3000ක් හා  මසකට රුපියල් 1000ක  පමණ වියදමකට  සම්බන්ධ කර ගත හැක. සොරෙකු පැමිණි බව දන ගත වහාම කකුලෙන් යමක් තදකිරීමෙන් එසේත් නැත්නම් වැරදි ලාච්චුවක් අරින්නට සැලැස්වීමෙන් මෙවැනි සම්බන්ධයක් හරහා පසුවෙන්ම පොලිසියට ක්ෂණිකව මේ පිළිබඳව දැන්විය හැක.
2- සන්නද්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙකු හෝ වැඩිදෙනෙකු මෝටර් බයිසිකලයක හෝ වාහනයක තබා තියන්නට පුළුවන.( මේ නිලධාරින් මේ වැඩයට  පමණක් නොව වෙනත් එම නගරය අවට අවශ්යතාවන්ටද යෙදවිය හැකි නිසා මෙහි තවත් ප්‍රයෝජන බොහෝය)

මේ සඳහා පොලිසියට අවශ්‍ය තරම් මෝටර් බයිසිකල් නැත්තේ නම් රජයට මුදලුත් නැත්නම් ඒවා මාසික කල් බදු ක්‍රමයට මිලදී ගෙන ආරක්ෂාව සැපයෙන , නගර වල සාප්පු වලින් කුඩා මාසික ගාස්තුවක් අයකර මිලදී ගෙන මාසික ගාස්තු ගෙවීම අවසන් වූ පසු අයකිරීම්  නවතා දැමිය හැක. බයිසිකල් දෙකකට ලක්ෂ 5ක් වියදම් වන්නේ නම් ව්‍යාපාර 50 ක් තිබෙන්නේ නම් එක ව්යාපාරිකයෙකුට වියදම් වන්නේ රුපිය 10000 කි. මෙයත් අවුරුද්දකින් ගෙවීමට පිළියෙළ කළහොත් එය මසකට රුපිය 1000 පමණ වනු ඇත.

පොලිසියේ නිලධාරින් ප්‍රමාණය 77000 කි , මෙයට අමතරව මේ දිනවල tv නිව්ස් බලන විට  STF එකත් දැන් වැඩ සොයමින් සිටින බවක් පෙනේ. ඒ නිසා මිනිස් බලයේ කිසිම අඩුපාඩුවක් තිබිය නොහැක, 

නොකරන්නේ ඇයි ?





Friday, November 3, 2017

සුභ සහ යස ගෙන් පසුව තවත් බොහෝ අරුමැති දෑ සිදුවිය.




මම දැනට බලා ඇති වඩාත්ම සිත් ගත්  නාට්‍ය සුභ සහ යසයි. මෙම නාට්‍යට පසුබිම් වූ සත්‍ය     සිද්ධිය සිදු වුයේ ක්‍රිස්තු වර්ෂ 120 දී පමණය. සුභ රජුටත් ඉන්පසු වැඩිකලක් රාජ්‍ය කරන්නට ලැබුනේ නැත. මේ ඒ විස්තරයයි.


චන්ද්‍ර මුඛ සිව  රජුගේ බාල සහෝදරයා වූ  යසලාලක තිස්ස, තිසා වැවේ ජල ක්‍රීඩා උත්සවයකදී රජු මරා, රජය ලබා ගත්තේය.

දත්ත නැමැති දොරටුපාලකයෙකුගේ පුතෙකු වූ සුභ නැමැති දොරටු පාලකයෙකු රජු හා පෙනුමෙන් බොහෝ සමාන විය. විහිලුවට කැමති වූ යසලාලක තිස්ස රජු ඉඳහිට එම දොරටු පාලකයාගේ නිල ඇඳුම් තමා ඇඳගෙන, දොරටුපාලකයාට තම ඇඳුම් අන්දවා සිංහාසනයේ හිදුවා රාජ්‍ය නිලධාරීන් රජුට ගෞරව කරන විට, ඔවුනට අවඥ්ඥා සහගත ලෙස සිනහවීමට පුරුදුව සිටියේය. එක් දිනෙක සුභ සිංහාසනයේ වාඩි වී සිටියදී යසලාලක තිස්ස දොරටුපාල ලෙස රඟපාමින් රාජ්‍ය නිලධාරීන් ඉඳිරියේ සිනහසුන විට, අවස්ථාව පාවිච්චි කර රජ වීමට කල්පනා කල  සුභ රාජපුරුෂයන්ට දොරටුපාල ලෙස ඇඳ පැළඳ  සිටි රජු මරා දැමීමට අණ කලේය. රජු මරා දැමුනු අතර සුභ රජවිය.[1]

අවුරුදු 6 ක් රාජ්‍ය කල සුභ සහෝදරයා මරා රජ වුවත් පින්කර ගත යුත්තේ යයි සිතා  පහත කර්මාන්ත කලේය.
 o   අභයගිරිය සහ මහා විහාරයේ සුභරාජ නැමැති කුටි පේලි.
 o   උරුවෙල වල්ලි විහාරය.
 o   අනුරාධපුරයට නැගෙනහිරින් ඊකඩවර විහාරය.
 o   මහවැලි ගඟේ මෝය කට අසල නන්දිගාමක විහාරය. 

මේ කාලයේ නැකැත් කියන්නෙකු,

“වසභ නැමැත්තෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රජු වන්නේය.“ යැයි අනාවැකියක් කී හෙයින් රජු වසභ නම් , නම් ඇති සියලු දෙනා මරා දමන්නට නියෝග කලේය. ලම්බකර්ණ කුලයට අයත් රජුගේ හමුදාපතිගේ නිවසේ වසභ නැමැති ඔහුගේ බෑණා සේවය කලේය. එක් දිනක උදයේ සෙන්පතියා

මේ වසභත් අප රජුට බාරදිය යුතුය

යැයි බිරිඳ සමග සාකච්ඡා කර වසභ සමග රාජය සේවයට ගියේය. ඔහුගේ බිරිඳ වසභ බේරා ගැනීමට සිතා  සෙනෙවියාගේ  බුලත් මල්ලට  හුනු  නොදමා දුන්නාය. රජ මාලිගයේ  දොරටුව අසලදී හුණු නැති බව දුටු සෙන්පතියා, හුණු ගෙන ඒමට වසභ ආපසු  නිවසට යැව්වේය. ඔහු නිවසට පැමිණි විට සෙන්පතියගේ බිරිඳ ඔහුට සියලු දේ පවසා කහවනු 1000 ක්ද දී පලායන ලෙසට උපදෙස් දුන්නාය.

 ඔහු වහා පලා  ගොස් මහා විහාරයට පැමිණ  එයින්ද උදව් ලැබ කැරැල්ලක් පටන් ගත්තේය. ඔහු ගමින් ගමට ගොස් අවසානයේ රුහුනේදී හමුදාවක් ගොඩනගා ගෙන අවුරුදු 2 කින් පසු ආපසු අනුරාධපුරයට පැමිණ  සුභරාජ යුද්ධයෙන් පරාජය කර රජවිය. ඔහුගේ මාමා වූ සෙන්පති, සටනේදී මියගිය අතර ඔටුනු පැලදීමෙන් පසුව වසභ රජ පෙරදී තමන්ගේ ජීවිතය බේරු  පොත්ත නම් වූ ඒ මාමාගේ බිරිඳ, මහරැජිනිය ලෙස පත්කර ගත්තේය.

වරෙක වසභ රජ අනාවැකි කියන්නෙකු ගෙන් ඔහු තව කොපමණ කාලයක් ජීවත් වන්නේදැයි ඇසූ විට, අනාවැකි කරුවා අවුරුදු 12 ක් බව පැවසුවේය. රජු මෙය රහසක්ව තබා ගන්නා ලෙස පවසා අනාවැකි කරුට කහවනු 1000 ක් දී, බොහෝ සංඝයා කැඳවා, ආයුෂ වැඩිකර ගැනීමට කලයුත්තේ කුමක්දැයි අසා සිටියේය.
ඉන්පසු සංඝයා ඔහුට මෙලෙස කිවූහ,

“ජල පෙරනයන්, නිවාස, ආරෝග්‍යශාලා දානය දීම, කඩාවැටුනු ගොඩනැගිලි අලුත්වැඩියා 
කිරීම; පංචශිලය ආරක්ෂා කිරිම සහ පොහොය දිනවල ආහාර නොගෙන සිටීම කල යුතුය.“
රජු එයට එකඟ වී ඒ අනුව ජීවත්විය. ඔහු පහත පින්කම්ද සිදු කලේය.
o   සෑම අවුරුදු 3 කටම වරක් ඔහු රටේ සිටින සෑම සියලුම සංඝයාට සිවුරු 3 ක් පරිත්‍යාග කලේය. ස්ථාන 32 ක කිරිබත් සහ පැණි බෙදා දුන් අතර, ස්ථාන 64 ක සංඝයාට නොයෙකුත් ත්‍යාග පිරිනැමීය.
o   ඔහු මිහින්තලයේ වෙහෙර, ථූපාරාමය, රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අවට පහන් 1000 කින් ආලෝකමත් කලේය.
o   දිවයින පුරාම ගරා වැටී තිබූ පන්සල් අලුත්වැඩියා කිරීම.
o   මහවැලිගොට්ට යැයි විහාරයක් කරවීය.
o   මහගම අනුරාරාම නැමැති විහාරයක් කර, එයට කරීස 1008 ක ඉඩම් සහ හැලිගම නැමැති ගමද පූජා කලේය.
o   මුක්කලේ විහාරය සාදා අලිසාර නැමැති ඇලෙන් ජලය කොටසක් ලබා දීමට කටයුතු කලේය.
o   ගලන්බාතිත විහාරයට උපෝසත ශාලාවක් සහ ගඩොල් වලින් ආවරනයක් සාදා පහන් සදහා තෙල් ලබාදුනි. එම විහාරයටම කරීස 1000 ක ඉඩම් වගා කිරීමට ප්‍රමාණවත් වැවක් සාදා දුන්නේය.
o   තවත් විහාර කිහිපයකටම උපෝසත ශාලා සෑදවිය.
o   මහා විහාරයට කාමර පේලියක්ද සාදා දුන්නේය.
o   බුදු පිලිම හතරක්  ශ්‍රී මහා බෝධී උද්‍යානයේ සෑදුවේය.
o   කයන්ති, රාජුපල්ල, වහා, කොළඹගාමක, මහානික්කාවතී,  මහරමෙත්තී, කොහාල, කාලි, කම්බුති, කතමන්ගන සහ අග්ගිවද්දමානක යන වැව සහ ඇල සාදවා වගාව දියුනු කලේය
o    නගරය වටා තිබුනු ආරක්ෂක බැම්ම තවත් ඉහලට බඳවා නගරයේ ද්වාරය 4 අසල බලකොටු ප්‍රාකාර සහ මාලිගාව අසල උද්‍යානයක් සාදා එහි පොකුනක හංසයන් ඇති කලේය.
o   නගරය පුරා නාන තටාක ඇතිකර පොලව යටින් උමං සාදා ඒවාට ජලය ගෙනාවේය
o   ඔහුගේ රැජිනිය පොත්තාද විහාරයක් සහ ස්ථූපයක්  සෑදුවාය.
ඔහු ථූපාරාමයේ සෑදූ විහාරය පූජා කරන දින මහා උත්සවයක් පැවැත්වූයේය. එදින ඔහු භික්ෂූන් අතර නොයෙකුත් ආහාර වර්ග බෙදා දුන්නේය. ඔහු මෙසේ අවුරුදු 44 ක් රාජ්‍ය කලේය.




[1] ප්‍රවීන සහ සුප්‍රසිද්ධ නාට්‍ය කරු සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍ය ගොඩනංවන ලද්දේ මේ සිද්ධිය පසුබිම් කරගෙනය.

3 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 3

අල්ලපු වත්තේ වැඩ කරමින් සිටි ආච්චි පසුව මගේ බිරිඳ සමග කතාවට වැටුනාය. ඇය කියා සිටියේ එතන සිටින දරුවන් දෙගොල්ලකගේ මවුවරුන් මැද පෙරදිග වැ...