Sunday, October 15, 2017

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම






ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්‍ය තාන්ත්‍රික ,ආර්ථික, හමුදා ශක්තිය සහ අනෙකුත් බලයන් යොදාගෙන රාජ්‍ය සහ එහි පුරවැසියන් ආරක්ෂා කර ගැනීමයි. 

දේශපාලන ,රාජ්‍ය තාන්ත්‍රික සහ  ආර්ථික හැකියාවන් වර්ධනය වනවිට රටක බලය වැඩි වෙයි, ඒ සමගම ජාතිය සහ දේශය ආරක්ෂා කරගැනීම පහසු වෙයි. ඒත් සමගම රටේ ජනතාවගේ ජිවන මට්ටමද ඉහල යයි. නමුත් හමුදා ශක්තිය වර්ධනය කර ගන්නා විට සැලසුම් කරන්නන් ප්‍රවේශම් විය යුතුය. ඒ හමුදා බලය වැඩි කරගන්නට යොදන මුදල් වලින් ජාතියේ හමුදාමය ආරක්ෂාව වැඩි දියුණු වුවද අනික් පැත්තෙන් ජාතිය දුප්පත් වන නිසාය.

guns or butter කතාවෙන් කියන්නේ මේ පරස්පරයය, එසේත් නැත්නම් සීමාවන්ය.  හමුදා වලට වියදම් කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය. ප්‍රවේශමෙන් සැලසුම් කලයුත්තේ මේ නිසාය, මක්නිසාද මේ වියදම් කරන මුදල් ජාතියේ සංවර්ධනය සඳහා ආයෝජනය  කල හැකි සම්පත්ය, පුරවැසියන්ගේ බදු මුදලෙන් එකතු කරගත් මුදල්ය.

සෝවියට් රුසියාව කඩා වැටෙන්නට ප්‍රධාන හේතුවක් වුයේද මේ පරස්පරයය. තමන්ගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයට ආරක්ෂාවට වියදම් කිරීමය..මේ නිසා ආරක්ෂාවට වියදම් කිරීමේදී එය බොහෝ සැලසුම් සහගතව කලයුතුය. මේ සැලසුම් කරද්දී ප්‍රධාන වශයෙන්  පහත සඳහන් කරුණු ගැන සැලසුම් කරුවන් විශේෂ අවධානයක් යොමු කලයුතුය.

  • අපට ඇති තර්ජනයන් මොනවාද ?
  • ඒ තර්ජන වලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද ?
  • එසේ මුහුණ දීමට අපට අවශ්‍ය හමුදා උපකරණ මොනවාද?
  • එම උපකරණ ජාතියට අඩුම පිරිවැයකින් ලබා ගන්නේ කෙසේද? 
අපට ඇති තර්ජනයන් සම්බන්ධව මා මිට කලින් ලියු බ්ලොග් එකක කොටසක් පහතින් උපුටා දක්වමි.

 http://lakshmanillangakoon.blogspot.com/2017/10/blog-post_8.html

"තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. - ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව, ම්යන්මාරය, තායිලන්තය  සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.   

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක්  නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන. 

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය. 

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත  නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.


වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.


ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය, එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බැගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එඩිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ."

ඉතිහාසය ගත්තත් අවුරුදු 195 කට පෙර  1812 වසරේදී ශ්‍රී වික්‍රම රජුගේ හමුදා හන්වැල්ලේ දී  අවසාන වරට කල සටනෙන් පසු අප කිසිම විදේශීය රටක හමුදාවක් සමග යුද්ධ කර නැත්තේය. කල හෝ මුහුණදුන් යුද්ධ හෝ කැරලි තුනම අභ්‍යන්තර වියවුල්ය.

එසේ යුද්යධක් වීමට ඉඩක් නැත්තේනම් අප හමුදාවන්ට මුහුණ දීමට ඇති බාහිර තර්ජන සහ ආරක්ෂා කිරීමට ඇති දෑ මොනවාද?
  • පිටතින් පැමිණෙන මත් ද්‍රව්‍ය සහ ආයුධ රටට පැමිණීම  වැලැක්වීම
  • නීතියට පිටින් රට තුලට පැමිණෙන්නන් වැලැක්වීම
  • රටේ දේශ සීමාවෙන් සැතපුම් 200 සිට 350 දක්වා දිවෙන EEZ ස්වෛරී ආර්ථික කලාපය සහ අනෙක් සාගර කලාපයන්හි  ආර්ථික සම්පත් ආරක්ෂා කරගැනීම 
ඉහත සිතියමෙන් පෙන්නුම් කරන්නේ එලෙස අප  විසින් පරීක්ෂාවෙන් සිටිය යුතු ප්‍රදේශයයි.මෙහි වට දුර ප්‍රමාණය කිලෝ මීටර 3000 ක් පමණ වෙයි. දැන් මේ කිලෝ මීටර 3000 ලොකු යුධ නැවකින් මුර සංචාර කරන්නේ යයි සිතමු. නැවේ වේගය පැයකට කිලෝ මීටර 20 ක් පමණ වෙන්නේ නම් මෙම මුලු දුර ප්‍රමාණය සම්පුර්ණ මුර සංචාරයක් කිරීමට පැය 170ක් පමණ ගතවෙයි. දවස් 7කි. ඒ කියන්නේ නැව ඒක දිගටම මුර සංචාරය කලත් නියමිත් ස්ථානයක් නැවත පසුකරන්නේ සතියකට පසුවය. හොරෙන්  මාළු ඇල්ලීමට ,මත්ද්‍රව්‍ය,ආයුධ සමග නීති විරෝධිව ඇතුළු වන්නකුට පරික්ෂාවකට බඳුන් නොවී ඇතුළු වන්නට දවස් 61/2 පමණ අවකාශයක් තිබේ.

 මේ නැව මේ මුර සංචාරයට යෙදවීම වෙනුවට තිබෙන විකල්ප පිළිබඳව දැන් පරික්ෂා කරමු. සාගර මුර සංචාරයක් සඳහා නැව් වෙනුවට ඇති විකල්ප දෙකකි. ඒ ගුවනින් මුර සංචාර සහ චන්ද්‍රිකා පරීක්ෂාවන්ය. චන්ද්‍රිකා පරීක්ෂාවන් මේ සඳහා යෙදවිය හැකි රටවල් ලෝකයේ තිබෙන්නේ කිහිපයකි. අපට සිතීමටවත් නොහැකිය. එහෙයින් ඉතුරුව ඇති කුඩා ගුවන් යානා විකල්පය දෙස පරීක්ෂාවෙන් බලමු.

අප මේ සඳහා මුහුදු සංචාරක ගුවන් යානයක් මිලදී ගන්නේ යයි සිතමු. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් යානයක වේගය පැයකට කිලෝ මීටර 500ක් පමණ වෙයි. කිලෝ මීටර 3000 මුර සංචාරයක් කිරීමට ගත වන්නේ පැය 6කි. අලුත් තාක්ෂණ නිසා මුහුද මතුපිට වීඩියෝ දර්ශන , රේඩාර් දර්ශන විශ්ලේෂණය කිරීම සඳහා  කෙලින්ම රට තුල පිහිටි මෙහෙයුම් මැදිරියකට එවන්නට පුළුවන. මුර සංචාරක කාර්යක්ෂමතාවය 170/6 එනම් 28 ගුණයකින් නැවට වඩා වැඩිය.

දැන් ඉන්ධන කාර්යක්ෂමතාවය බලමු, දැන් මේ ගන්නට උත්සාහ කරනවා යයි කියන  නවීන ෆ්රිගේට් පංතියේ නැවක ඉන්ධන දහනය එක නාවික සැතපුමකට ලීටර 75ක් පමණ වෙයි. තරමක මුහුදු සංචාර ගුවන් යානයක් එය නාවික සැතපුමකට ලීටර් 3 ක් පමණ වෙයි. කාර්යක්ෂම තාවය 15 ගුණයකටත් වඩා වැඩිය,
යොදවාගන්නා කාර්ය මණ්ඩලයන් සංසන්දනය කළහොත් ; 250:3,  කාර්යක්‍ෂමතාවය  83 ගුණයකින් පමණ වැඩිය.

නඩත්තු කිරීම් සහ අනෙකුත් පසු වියදම් සංසන්දනය කළහොත් ඇත්තෙන්ම ඒවා අහසට පොලොව මෙන් වනු ඇත. නැවක්, අලියෙකු හා  සමානය,   මිලදී ගන්නට පහසුය , වත්තේ ගැට ගසාගෙන සිටීමත් ගෞරවයකි, එහෙත්  කන්ට බොන්ට දී බලාගන්නට ඉඩම් විකුනන්ට සිදුවෙන්නට පුළුවන.

දැන් අපි වියදම් සංසන්දනය කරමු. ප්‍රවෘත්ති වල හැටියට නැව රුපියල් බිලියන 22.5 ක් වෙයි. මෙය යුද්ධ නැව් සඳහා විශාල මුදලක් නොවුවද අප වැනි දුප්පත් රටකට ලොකු මුදලකි. මම කලින් සඳහන් කල ආකාරයේ ගුවන් යානයක මිල පරික්ෂා කර බැලුවෙමි. හොද තත්වයේ ඇති පාවිච්චි කරන ලද  එවැනි යානයක් රුපියල් මිලියන 500 කට පමණ මිලදී ගන්නට පුළුවන . සියලුම අවශ්‍ය තොරතුරු එකතු කිරීමේ සහ සන්නිවේදන උපකරණ තවත් මිලියන 150 කින් සවිකර ගන්නට පුළුවන . මුලු වියදම බිලියන දශම .65 ක් පමණ වෙයි. අලුත්ම මේ සඳහාම නිපදවූ යානයක් බිලියන 3.75 කට පමණ මිලදී ගන්නට පුළුවන උපකරණ සවිකිරීමෙන් පසුව බිලියන 4ක් පමණ වෙයි. නැව මෙන් 5 ගුණයකටත් වඩා කාර්යක්ෂමය.

නැව මිලදී ගැනීම නොකළ යුත්තේ මන්දැයි  තව බොහෝ කරුණු මට ලියන්නට පුළුවන, නමුත් මේ ලියා ඇති කරුණු හොදින්ම ප්‍රමාණවත් යයි සිතමි. 

මෙම නැව මිලදිගන්නට යන්නේ අපගේ මුහුදු සීමාවන් විශාල වූ  නිසා  බවද මම ඒ ප්‍රවෘත්තියේම දැක්කෙමි. එසේ නම් ඇත්තෙන්ම වහාම නැව ගැනීම අතහැර දමා මිලදී ගත යුත්තේ නැවෙහි මිලට වඩා ඉතාමත් අඩු ආයෝජනයකින් නැවෙහි කාර්යක්ෂමතාවයට වඩා දස දහස් ගුණයකින් කාර්යක්ෂමතාවය වැඩි සාගරික මුර ගුවන් යානා කිහිපයක් නොවේද?  

නැව් වල මදි කමක් අපේ නාවික හමුදාවට තිබෙන්නට බැරිය, පසුගිය කාලයේ නැව් සහ වේග ප්‍රහාරක යාත්‍රා මිලදී ගත විදිහට  හරියට ගණන් හදා බැලුවොත් ඒක පුද්ගල යුධ නැව් ප්‍රමාණයෙන් අප ලෝකයේ මුල්ම හරියේ තිබිය යුතු රටකි.







Thursday, October 12, 2017

ඍජු ප්‍රජාතන්ත්‍ර වාදය මෙරට ස්ථාපිත කිරීම ප්‍රායෝගිකද?






ඉන්දියාවේ බුදුන් උපදින කාලයේ යුරෝපයේ ඇතන්ස් හි අපුරු සොයා ගැනීමක් සිදුවෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එය මුලින්ම පටන්ගන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසටය. කාන්තාවන් ,වහලුන් සහ විදේශිකයන් හැර අනෙක් සියලුදෙන නගර රාජ්‍යයේ තීරණ ගැනීම සඳහා සහභාගී වෙති.


අනෙක් සැම දෙයක්ම මෙන්ම ප්‍රජාතන්ත්‍ර වාදයද වෙනස් වෙයි. පුරවැසියන් සියලු දෙන සහභාගී වී තීරණ ගැනීමට යාමේදී බොහෝ කල් ගතවිමද තීරණ ගැනීමේදී ඇතිවන අවුල් සහගත තත්වයද නිසා ඍජු ප්‍රජාත්‍රන්තවාදය අප්‍රායෝගික බව ප්‍රත්‍යක්ෂ වෙයි. මේ සඳහා හොඳම පිළියම නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය බව පැහැදිලි වෙයි. එතැන් සිට ස්ථාපිත වන නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය මේ දක්වා කුඩා වෙනස්කම් ඇතිකරගනිමින් එහෙත් ප්‍රජාත්‍රන්තවාදයේ මුලික අංග  ලක්ෂණ එසේම තබාගනිමින් ඉදිරියට යන්නේ මනුෂ්‍යයන්ගේ දැනට සොයාගෙන ඇති එකම සාධාරණ හා ප්‍රායෝගික ස්වයං පාලන ක්‍රමය ලෙසය.

පසුගිය සියවසේ මුල් භාගයේ ප්‍රජාත්‍රන්තවාදයට විකල්පයක් ලෙස කොමියුනිස්ට් වාදය ලෝකයේ යම් කොටසක තෝරා ගැනුනද අවුරුදු 50ක් යාමටත් පෙර එම පාලන ක්‍රමය අසාර්ථක එමෙන්ම පසුව ඒකාධිපතිත්වයට මඟ පෙන්වන ක්‍රමයක් බව පෙනී ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කෙරින. නියෝජිත  ප්‍රජාත්‍රන්තවාදය සම්පුර්ණයෙන්ම නිවැරිදි එසේම සර්ව සාධාරණ ක්‍රමයක් නොවේ. එහෙත් තිබෙන  විකල්ප දෙස බලනවිට එම ක්‍රමවේදයට  පිළිමලුන් නොමැති බව පමණක් කිව හැක. 

තාක්ෂණයේ දැන් ඇතිවේගෙන යන වෙනස්කම් බලනවිට තව අවුරුදු 20කින් පමණ දියුණු රටවල නැවත වරක් ඍජු ප්‍රජාත්‍රන්තවාදය අත්හදාබලන බව මට නම් ලොකු විශ්වාශයක් තිබේ. සැම  පුරවැසියෙක්ම; අඩු ගන්නේ 95%ක් වත් ජාලගත නම් නැවත ඍජු ප්‍රජාත්‍රන්තවාදය යාම එක්වරම හිතට එන තරම් අපහසු නොවේ.

නමුත් මා මෙය ලියන්නට පටන්ගත්තේ ප්‍රජාත්‍රන්තවාදයේ අනාගතය ගැන සාකච්චා කරන්නට නොවේ. වර්තමානයේ අපේ නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයට සිදු වී ඇති සන්ත්‍රසිය ගැන කතා කිරීමටය. අපි නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය තුලින් අවුරුදු 5 කට සැරයක් පමණ කරන්නේ  කලින් තීරණය කරගත් නියෝජිතයන් ප්‍රමාණයක් අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට පත්කර යැවීමටය. ඔවුන් පත්කර ගන්නා අවස්ථාවේ අප බොහෝ ප්‍රවේශමෙන් ඔවුන්ගේ සුදුසුකම්, අතීත හැසිරීම් යනාදී පරීක්ෂා කර බලා ඔවුන් තෝරා ගත යුත්තේ ඉදිරි අවුරුදු 5 කට පමණ අප වෙනුවෙන් තීරණ ගැනීම ඔවුන්ට පවරන නිසාය. 

අප විසින් නියෝජිත කණ්ඩායමක් තෝරා ගත් පසු ඔවුන් කරන කියන වැඩ නිසා  ජනතාවගේ යම් කොටසකට අසාධාරණයක් සිදු වන්නේ නම් අප කල යුත්තේ කුමක්ද? ඒ සදහාද නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයේ ක්‍රම වේද සකස් කර තිබේ. ඒ ක්‍රමවේදය තුල  නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයේ ප්‍රධාන ටැඹ තුන වන්නේ නියෝජිතයා, විධායකය සහ අධිකරණයි. පාර්ලිමේන්තුව හෝ විධායකය තමන් අපේක්ෂා කල ආකාරයට නොව  ජාතියට අලාභ හානියක් වන ලෙසට කටයුතු කරන බව  කෙනෙකුට සිතෙන්නේ නම් තමන් ජිවත් වන්නේ ඍජු ප්‍රජාත්‍රන්තවාදයක යැයි සිතමින් විදි වලට පැන පිස්සු කෙළින්නට පටන් ගත හොත් ඇත්තෙන්ම සිදු වන්නේ රටට තවත් අලාභ සිදුවීම මිස හොදක් සිදු වීම නොවේ. 

ඒ නිසා අප පත්කළ නියෝජිතයින් ගන්නා යම් තීරණ නිසා රටට හෝ ජාතියට යම් අවැඩක් සිදු වන්නේ යැයි පුරවැසි හෝ පුරවැසි කණ්ඩායමකට හැගෙන්නේ නම් අප ගත යුතු හොදම මාර්ගය අධිකරණය වෙත යාම නොවේද?   

උදාහරණයකට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ඇති කිරීමට අන්තරය විරුද්ධ නම් ඒවා ඇති කිරීමෙන් රටට හෝ ජාතියට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් ඒවා ඇති කිරීමට ඉඩ නොදෙන ලෙසට අධිකරණය වෙත යාම නොවේද?    

   

Wednesday, October 11, 2017

වැරදුනු ලියුම


                                      උඩමළුවේ පන්සල
ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය (1707 - 1739). වයස 17 දී රජකමට පත් වූ ඔහු යකඩ දෝලියකගේ පුත් කුමරෙකු නිසා නොයෙකුත් වාසල කුමන්ත්‍රණ ඔහුට විරුද්ධව ගොඩනැගෙමින් තිබුණි. විශේෂයෙන්ම ඔහු රජ වුවහොත්  ඔහුගේ මවගේ පවුලට විශාල බලයක් හිමි වීමටත් ඒ මගින් බොහෝ විට රාජකීය උරුමයන්ද අනාගතයේදී එම පවුලට අයත් වීමට ඉඩ තිබෙන නිසා වෙනත් ප්‍රධාන පවුල් වලින්  මෙම විරුද්ධ වාදීකම් මතු වන්නට ඇත. 

මෙයින් ගැලවීමට උපක්‍රමයක් කල්පනා කල නරේන්ද්‍රසිංහ රජු තම මවගේ නෑදෑයන් ජීවත් වන පාත දුම්බර ප්‍රදේශයට ගොස් එහි ජීවත් විය. ඔහු ජීවත්වන මාලිගය කුණ්ඩසාල ප්‍රදේශයේ මහවැලි ගග අයිනේ ඉදිකර ගත්තේය. පිහිනුමට ඉතාමත් ප්‍රිය කළ ඔහු මෙලෙස ගග අයිනේ මාලිගය තනා ගැනීම පුදුමයට කරුණක් නොවේ. තම මාලිගය අසල තමන්ට නිතර යාමට ඒමට ඔහු මාලිගය අසල උඩමළුවේ පන්සල නමින් දැන් හැදින්වෙන විහාරයක්ද ගොඩ නගා ගත්තේය. මේ හේතුව නිසා නරේන්ද්‍රසිංහ රජු 'කුණ්ඩසාලේ ' එසේත් නැත්නම් 'සෙල්ලං රජ්ජුරුවෝ' යන අනවර්ථ නාම වලින්ද එකල හැදින්වින.  

මෙලෙස දුම්බර ජිවත් වුවද ඔහු රාජකාරි සහ උත්සව කටයුතු සදහා අගනුවර පිහිටි තම මාලිගය නිතරම පාවිච්චි කළේය. දැන් මහනුවර ලේවැල්ලේ මාලිගා තැන්නේ නටඹුන් වී ඇති රාජකීය පිහිනුම් තටාකයද ඔහුගේ කාලයේ සාදන ලද්දකි. කුණ්ඩසාලයේ සිට බෝධිගල කරත්තමඩ හරහා මාලිගා තැන්නට පැමිණ එතනින් ගගෙන් එගොඩ වී මහනුවර නගරයට ගොස් රාජකාරි කර ආපසු කුණ්ඩසාලය වෙත යාම ඔහුගේ චර්යාව විය. 

 ඔහු මියගිය පසු පළමුවන නායක්කර් රජු ඔටුනු පැළඳි නිසා නැවතත් තත්වය සමනයකට පත්ව රජුගේ වාසස්ථානය මහනුවර මාලිගාව බවට පත් විය. නරෙන්ද්‍රසිංහගේ  මාලිගාව කුන්ඩසාලයේ ගග අයිනේ ඉතාමත් දැකුම්කළු දර්ශනයක් වන්නට ඇත. විශේෂයෙන්ම ගගේ ගුරුදෙනිය පැත්තේ සිට බලන විට මෙම මාලිගාව කලාතුරකින් දකින දර්ශනයක් වුවාට කිසිම සැකයක් නැත්තේය. මෙය පිළිබඳව මා දැක ඇති එකම විස්තරය ලියා ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ මේජර් ජොන්ස්ටන් විසින් 1804 දිය.

" ඔවුන්ගේ  කාල තුවක්කුවට යාර  200 පමණ පිටුපසින් මහනුවර රජුගේ ප්‍රියතම මාලිගාව තිබුණි. පෘතුගීසි,ඕලන්ද සහ ඉංග්‍රීසින්ගෙන් ලැබුණු නොයෙකුත් ත්‍යාග වලින් මොනවට අලංකාර තිබූ කදිම ගොඩනැගිල සංකීර්ණයකින් මෙය සමන්විත විය.( මේ ඔහු විස්තර කරන්නේ නරේන්ද්‍රසිංහ මිය ගොස් අවුරුදු 170 කට පසුවය )"

ඉංග්‍රීසි හමුදාවේ එක වැරදි ලිපියක් එසේත් නැත්නම් වැරදියට තේරුම් ගත් ලිපියක් නිසා අද අපට මේ මාලිගය බලන්නට ඉඩක් නැත්තේය. ඒ 1804 සැප්තැම්බර් 3 වන දින රාජකීය හමුදාවේ ජෙනරාල් වෙමිස්ගේ අධි සහායක මොව්බ්‍රේ නමැති නිලධාරියා විසින් 3 න් වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජොන්ස්ටන් වෙත යවන ලද ලිපියක් නිසාය. ඔහුට එම ලිපියෙන් දන්වා තිබුනේ කොළඹින්, හම්බන්තොටින්, ත්‍රිකුණාමලයෙන්, මීගමුවෙන්, හලාවතින් සහ පුත්තලමින් මහනුවර ආක්‍රමණය කිරීමට ඉංග්‍රීසි හමුදාංක පිටත්වන බවත් තුන්වන රෙජිමේන්තුව 300 ක් භටයන් සමග මඩකලපුවෙන් පිටත් වී අනෙක් හමුදාංක සමග  මහනුවරදී එකතු වීමට පිටත්විය යුතු බවය. 

ඔවුහු සැප්තැම්බර් 20 වන දින මඩකලපුවෙන් පිටත් වී මහියංගනය පැත්තෙන් මහනුවර දෙසට ගමන් කළහ. 3 වන රෙජිමේන්තුව මෙලෙස මහනුවරට පැමිණෙන අතර අනෙක් පැමිණේ යයි ඔවුන් බලාපොරොත්තු වූ හමුදාවන් මහනුවරට පැමිණෙන්නේ නැත. සමහරක් හමුදා කොටස් මහනුවරට ඇතුළු වන්නට උත්සාහ කලද ඔවුන් පලවා හරිනු ලැබෙයි.එහෙත් 3වන රෙජිමේන්තුව බොහෝවිට ඔවුන් ඒ දිශාවෙන් පැමිණීමක් කෙසේ වත් බලාපොරොත්තු නොවුණු නිසා , බහුතරයක් තුවාල වී හෝ මිය ගියද මහනුවරටත් පැමිණ ඒ හරහා ත්‍රිකුනාමලයටත් යාමට පොහොසත් වෙයි.

මඩකලපු -මහනුවර  අතරමඟ  ගමනේදී  මොවුන් මාලිගා දෙකකටත් දිසාවකගේ නිවෙසකටත් ගිනි තබති  : ඒ රජුගේ මහියංගන මාලිගාව සහ කුණ්ඩසාලේ මාලිගාවයි.දැන් ඒවායේ නටඹුන් වත් සොයා ගන්නට නැත්තේය. මෙලෙස මෙම වැරදියට කියවූ ලිපිය නොවන්නට මේ මාලිගා දෙකම මහනුවර මාලිගාව මෙන් අනාගත පරම්පරාවලට ඉතිරි වන්නට බොහෝ ඉඩ තිබිණ. කුණ්ඩසාලේ මාලිගයෙන්  මේ ගින්නෙන් ඉතිරි වූ එකම කොටස පසුව මහනුවර මාලිගයට පිවිසෙන ස්ථානයේ දමා තිබූ සඳකඩ පහන බව මා අසා ඇත.         

දෙමව්පියන් වර්ග ; ජයග්‍රාහකයන් සහ පරාජිතයන්





දැන් පාසල් වලට ළමුන් ඇතුලත් කරගන්නා කාලයයි. දෙමව්පියෝ දස අ ත කල්පනාකරති,සුළුවෙන් හෝ උදව්වක් කළහැකි කෙනෙකු සිටිනවානම් යාලුවෙකුගේ යාලුවෙකුගේ යාලුවෙකුවත් මුණගැහෙන්නට  යති. දේශපාලන සම්බන්දතා මත, ඕල්ඩ් බෝයි කනෙක්ෂන් මත එහෙමත් නැත්නම් වෙන කුමන හෝ ක්‍රමයක සඹදතා මත ළමයා ඉස්කෝලයට දාගන්නට බලති. මුදල් සහ වෙනත් අල්ලස් හුවමාරු වෙයි. සමහර ඒවා ගන්නා අය ඇත්තටම උදව්වක් කරන්නට උත්සාහ කරති, සමහරු සාර්ථක වෙති, සමහරුනට කරගන්නට බැරිවෙයි. බොහෝ විට දුන් මුදල් ආපසු ලැබෙන්නෙත් නැත, සමහරවිට ගත් කෙනා එයින් කොටසක් වෙනත් කෙනෙකුට දී ඇත්තේය , ඔහුටත් එය ආපසු ලබාගැනීමට බැරිය.

මෙම සංග්‍රාමයේ ජය පරාජය සිදුවන්නේ පහත ආකාරයටය.


ජය 


  •  දෙමව්පියන්ගෙන් ලැබුණු මහා ගෙදර පාසල අසලම තිබෙන නිසා  විදුහලට ඉතාම කිට්ටුවෙන් පදිංචි වී සිටින දෙමව්පියන්
  • දිනෙන් දින මිල ඉහල යන ජනප්‍රිය පාසල් කිට්ටුවෙන් ඉඩමක් මිලදී ගෙන නිවසක් තනාගැනීමට මුදල් සහ උවමනාව තිබුණු දෙමව්පියන් ( උදාහරණයකට මහනුවර ධර්මරාජ විද්‍යාලය ට ළමයින් දා ගත හැකි දුර යනුවෙන් වෙනම ඉඩම් හා  ගෙවල් මාකට් එකක් ඇතිවී තිබේ. ඒවායෙහි මිල පාසල එතන තිබුනේ නැතිනම්ට වඩා දෙගුණයක් පමණ වෙයි)
  • ඉපදෙන්නට සිටින ළමයාගේ ලිංගය   ස්කෑන් කර හෝ එසේත් නැත්නම් අනාවැකි කියන්නේකුගෙන් දැනගත් වහාම ගැලපෙන පාසැල කිට්ටුව ගෙයක් අයිතිකරුවෙකු සොයාගෙන ඔප්පු ලියාගෙන , ග්‍රාම නිලධාරි අල්ලාගෙන ලෑන්ඩ් රෙජිස්ටරියේ කෙනෙක් අල්ලා ගෙන තමන් ඒ දේපලෙහි ජිවත්වන බව පෙන්නා ළමයි පාසලට දා ගන්නා දෙමව්පියන් ( මෙවැනි ග්‍රාම සේවා වසම් රටේ 14000ක් වූ ග්‍රාම සේවා වසම් අතර වැඩිම ඉල්ලුමක් ඇති වසම් වනවාට කිසිම සැකයක් නැත්තේය 
  • පියා හෝ මව ආදී ශිෂ්‍යන් වූ දෙමව්පියන්  ගෙන් ආදී ශිෂ්‍ය සංගමයට මුදලින් හා  වෙනත් ක්‍රම වලින් නොයෙකුත් උපකාර කර කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු විය යුතුය.
  • පළාතේ ප්‍රධාන දේශපාලකයකුගේ ළඟ සම්බන්දතාවයක් ඇති කිහිපදෙනෙකු- මෙම කැටගරිය ලගදි විදුහල්පතිවරු කිහිපදෙනෙකුට  දුන් බරපතල  දඩුවම් නිසා  දැන් ක්‍රමයෙන් අඩුවී යනු පෙනේ.
පරාජය 
  • පාසලට කිලෝ මීටරයක් හෝ ඒක හමාරකට ඇතුලතින් තම දෙමව්පියන්ට නොසිතුනු හෝ  නොහැකි වුනු දෙමව්පියන්
  • එම කවය තුල නිවසක් මිලදී ගන්නට මුදල් නොමැති දෙමව්පියන් 
  • බ්‍රෝකර් , දේපල හිමි, රාජ්‍ය නිලධාරි යනාදී දුසිමක් දනට පගාව දී බොරුවට පදිංචියක් පෙන්වා ගැනීමට නොහැකි දෙමව්පියන්
  • ඔවුන්ගේ දෙමව්පියන්ද මෙම සටනෙන් පරාජය වූ නිසා ජනප්‍රිය පාසලකට යාමට නොහැකි වූ දෙමව්පියන් - ආදී ශිෂ්‍ය වර්ගීකරණයට ඇතුළු වීමට නොහැකි වීමෙන් 
  • මේ තරඟය දිනන්නට නොහැකි යයි සිතා මුලින්ම තරඟයෙන් ඉවත්වන දෙමව්පියන් 
  • පිටරට රැකියාවලට ගොස් සිටින දෙමව්පියන් හරියට මේවා පිලිබඳ නොදැන සිටීමෙන් සහ රටේ නොසිටීමෙන් 
අවසානයේ දිනන දෙමව්පියන් ට පැරදෙන දෙමව්පියන් ත්‍යාග වශයෙන් දෙන්නේ මොනවාද?

  • තමන්ගේ දරුවා පහසුකම් අඩු සමහරවිට වැසිකිලියක් වත් නැති පාසලක ඉගෙන ගනිද්දී  තමන්ගේ වක්‍ර සහ ඍජු බදු වලින් දිනු  කෙනෙකුගේ දරුවෙකුට අධික පහසුකම් ඇති පාසැලක අධ්‍යාපනය ලබාදීම 
  •  තමන් ගෙවන බදුවලින් එසේ වෙනත් සිසුන් අධ්‍යාපනය ලබද්දී තමන්ට මුදල් යහමින් තිබේනම් මසකට රුපියල් 20000ක් පමණ ගෙවා අන්තර්ජාතික පාසලක තම දරුවනට අධ්‍යාපන ය ලබා දීම.
වාසනාවට ළඟ පදිංචි වී සිටීම , ඇත මිට මුදල් තිබීම හෝ කපටි කෛරාටික කම free ride එකකට එසේත් නැත්නම් අනුන්ගේ මුදලින් තමන්ගේ වැඩ කරගැනීමට රුකුලක් වීම සමාජ සාධාරණයද ?















Monday, October 9, 2017

පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරමුද ?



අධ්‍යාපනයේ නිදහස සැම පුරවැසියකුගේම පරම අයිතියක් නිසා මමද සයිටම් ප්‍රශ්නයේදී සයිටම් වසා දැමීම නොව කලයුත්තේ අඩු පාඩුවක් තිබෙනවානම් එය සම්පුර්ණ කර ගැනීම යන අදහසෙහි මෙතෙක් කල් සිටියෙමි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයේදී අප බොහෝදෙනෙකු අධ්‍යාපනයේ නිදහස අගය කරන්නන් වශයෙන් කලයුත්තේ සයිටම් වසා දැමීම  නොව එහි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරිදි කරගෙන තවත් බොහෝ රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිව්මට ඉඩ ප්‍රස්තා ඇතිකිරීම බව නොපෙනෙන්නේ ජාතියේ කුමන අවාසනාවකටද?

මට මේ ලඟකදී නෑ ගෙදරකදී නැගෙනහිර යුරෝපයේ රටක මෙලෙස වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා දියණියක හමුවිය.මම මේ ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුවක් දක්වන්නකු වශයෙන් ඇගෙන් ඇය ඉගනගන්නා විශ්ව විද්‍යාලය පිලිබඳ විස්තර අසමින් සිටියෙමි.ඒ විස්තර වලට අනුව ඇය ඉගෙනගන්න විශ්ව විද්‍යාලයේ සිටිනා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු ආසියාව සහ අප්‍රිකා මහාද්විපයෙන් පැමිණි සිසුන්ය. මේ අතරිමුත් වැඩියෙන්ම ශිෂ්‍යන් සිටින්නේ ඉන්දියාවෙන් සහ ශ්‍රිලන්කාවෙනි.

ශ්‍රී ලංකාවෙන් පමණක් එම විශ්ව විද්‍යාලයේ පමණක් සිටින සිසුන් සංඛ්‍යාව 200 ඉක්මවයි. මේ එක කුඩා නැගෙනහිර යුරෝපිය රටක ක විශ්ව විද්යාලයකය. මේ ගනනට අනුව ලංකාවේ නොයෙකුත් රටවලට  ගොස් වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව පහසුවෙන්ම 10000 ඉක්මවිය යුතුය. එක සිසුවෙකුට දෙමව්පියන් වියදම් කරන මුදල මිලියන 10 ක් නම් මේ සිසුන් 10000 වියදම් වන විදේශ විනිමය ප්‍රමාණය රුපියල්  මිලියන 100000 වෙයි, ඒ කියන්නේ බිලියන 100 කි. කෝටි  1000කි. මෙවර අප ජාතියේ ආරක්ෂාව සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල කෝටි 650ක් පමණය. ඒ හා සංසන්දනය කර බැලුවිට මේ මුදලේ ප්‍රමාණය පිලිබඳ අවබෝධයක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. මේ  නිකන් අපට අච්චු ගසා ගත හැකි රුපියල් නොවේ. ඩොලර් වලට මාරුකරන ලද විදේශ විනිමයයි. අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග බල මෙහෙවර කර සිය රටට එවන විදේශ විනිමයයි. 

අපේ රටේ මේ දරුවන්ට ඉගෙන ගැනීමට රජයේ නොවන වෛද්‍ය විද්‍යාල තිබුනේ නම් මේ සියලු මුදල් මෙහි ඉතිරි වෙයි. ඒ වාගේම එම විශ්ව විද්‍යාල වලට පිට රටින් සිසුන් පැමිණෙනවිට ඇත්තෙන්ම විදේශ විනිමය මෙරටට ගලා එයි. අප හරියට විශ්ව විද්‍යාල කිහිපයක් ස්ථාපිත  කළහොත් ඇත්තෙන්ම  දස දහස් ගණනක් සිසුන් ඉන්දියානු අර්දද්විපයෙන්ම අපේ විශ්ව විද්‍යාල කරා එනු ඇත.

එවැනි වෙනසකින් අප රටට කොතරම් වාසි ලබා ගත හැකිද? කෙලින්ම සහ වක්‍රාකාරයෙන් කොතරම් රැකියා අවස්ථා බිහිවනු ඇද්ද? සංචාරක ව්‍යාපාරයට  මෙයින් කොතරම් තල්ලුවක් ලැබෙනු ඇද්ද? එහෙත් මේ සියල්ල ගැන හොදින් දැනගෙන අප රටෙහි රජයේ නොවන වෛද්‍ය විද්‍යාල දැමීමට කණ්ඩායම් කිහිපයක් විරුද්ද වෙයි.

මේ කිසිවක් නොපෙනෙන ආකාරයෙන් පටු අදහස් වලින්  කටයුතු කරන පහත අයවලුන් නම් අපට හිතාගන්නට පුළුවන.

GMOA - ඔවුන් සිතන්නේ වෛද්‍යවරු වැඩි වුවහොත් ඔවුනට තරඟය වැඩිවී ව්‍යාපාර අඩුවී යන බවය. එහි යම් සතයක් තිබිය හැකි වුවත්  එවැනි හේතුවක් නිසා මෙවැනි පෙරටුගාමී ප්‍රතිපත්තියකට විරුද්ද වීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේද?

වෛද්‍ය ශිෂ්‍යයන්- ඔවුන්ගේත් හේතුව ඉහත හේතුවම වෙයි. 

අන්තරය- වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යන් සමග එකට පෙළපාලි යාමේ ආසාව සහ තමන් විප්ලව වාදීන් යයි පෙන්වා දීමේ ඇති ආශාව.
ඒකාබද්ද විපක්ෂය - තමන්ම පටන්ගෙන අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය ක්‍රමයකට බලය නැති වූ විට විරුද්ද වීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. එහෙයින්ම මෙය අහේතුකව
කරණ විරුද්ද වීමක් බව පැහැදිලිය.

මට පුදුම මේ අහේතුකව එසේත් නැත්නම් පටු අදහසින් විරුද්ද වන්නන් නොවේ, ජනතා විමුක්ති පෙරමුණ වැනි මේ වකවානුවේ බොහෝ විට තමන්ට පාඩු වුවහත් හරි  පැත්තේ හිට ගන්නා පක්ෂයකුත් මෙලෙස රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වීමයි.

ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම ; සංස්කෘතිය සහ ඉතිහාසයේ බලපෑම



රටක පවත්නා සංස්කෘතිය ගැන කතා කිරීමට පෙර සංස්තෘතිය යනු කුමක්දැයි මුලින්ම අප පරීක්ෂා කර බැලිය යුතුය. සංස්කෘතිය යනු යම් සමාජයක කරන කියන දෑ සහ එම සමාජය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ වේ. එසේත් නැත්නම් යම් විෂයගත සමාජයක හෝ කණ්ඩායමක යම් කාල වකවානුවක් හා ස්ථානයක් තුල තිබූ හෝ තිබෙන විශ්වාස, පුරුදු, කලාවන්, චාරිත්‍ර සහ සම්ප්‍රදායන් වෙයි. 

පෙරද සදහන් කල පරිදි මෙවැනි සංස්කෘතියන් කාලයක් සමග වෙනස්  වෙයි. විශේෂයෙන්ම දැන් පවතින වේගවත් ගෝලීය කරණය නිසා මෙම සංස්කෘතියේ වෙනස්වීම්ද ඉතාමත් වේගයෙන් වෙනස් වෙයි. අන්තර් ජාලය සහ ඒ හා සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා මෙම ගෝලීයකරණය තව දුරටත් ඉක්මන් කරන නිසා නොයෙකුත් කුඩා කණ්ඩායම් තුල පවතින සංස්කෘතියන් ක්‍රමයෙන් තනුක වී වැඩි දෙනෙකුට ගැලපෙන වැඩි දෙනෙකු පිලි ගන්නා සංස්කෘතියන් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වීම තවත් සීඝ්‍ර කරයි.

මේ හේතුවෙන් ජාතියක සංස්කෘතිය ඉතා වේගයෙන් වෙනස් වන පසුබිමක නොයෙකුත් සංස්කෘතික ලක්ෂණයන්ට ගැලපෙන ලෙස ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම එතරම් නුවනක්කාර කටයුත්තක් නොවේ. සමහර විට මෙම අදහසට අනුකූල නොවන රාජ්‍යයන් කිහිපයක් තැනින් තැන තිබිය හැක. උදාහරණයක් වශයෙන් කාන්තාවන්ගේ කාර්ය භාරය පිළිබඳව බොහෝ ගතානු ගතිකව සිතන රටක සමහර විට එම කාරණය ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී සිත්හි තබාගත යුතුවේ.


එහෙත් සංස්කෘතියම නොවූවත් රටක ජන සහ ආගමික වශයෙන් සංයුතිය ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී ඉතාමත් වැදගත් කාරණයක් වෙයි. විශේසයෙන්ම ජන සංයුතියේ යම් එක් සුලු ජාතියක් හෝ ආගම් අදහන්නන් පිරිසක්  සිටින්නේ නම් එම සාධකය බොහෝ විට ආරක්ෂක ප්‍රශ්න වලට මුල් වන බව ලෝක ඉතිහාසයෙන් පෙනේ. මෙවැනි ජන සංයුතියන් ඇති එසේම දීර්ඝ ඉතිහාසයක්ද ඇති රටවල මෙම ප්‍රශ්නය සැමවිටම පාහේ මතුවන බව පෙනේ. 

අප රටෙහිද අවුරුදු 30 ක ඉතාම විනාශකාරී යුද්ධයකට මුල පිරුනේද මෙවැනි පසුබිමක් නිසාය. ඉන්දියාවේ, බංගලාදේශයේ, පකිස්තානයේ, තායිලන්තයේ මියන්මාරයේ වැනි බොහෝ රටවල මෙවැනි ජන සංයුතිය නිසා ඇති වන ආරක්ෂක ප්‍රශ්න වරින් වර හිස ඔසවයි.
මේ හේතූන් නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කරන්නන් මෙම සාධකය ඉතාමත් සංවේදීව පරීක්ෂා කර බලා එවැනි ප්‍රශ්න වලට මුහුණදීමට අවැසි ලෙස ජාතික ආරක්ෂාව සැලසුම්කල යුතුය.     
\

ඉතිහාසය

වර්තමානයේදී රටෙහි ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එතරම් වැදගත්කමක් උසුලන්නේ යැයි එක්වරම කිව නොහැක. ලෝකයේ වරෙක බොහෝ බලගතු අධිරාජ්‍යයන් ලෙස තිබූ රටවල් හෝ ජාතීන් වර්තමානය වන විට ඉතාමත් සාමාන්‍ය ජාතීන් බවට පත්ව ඇත්තේය. ලෝකයේ සෑම මාර්ගයක්ම එදෙසට යනවා යැයි කලෙක  විස්තර කල  රෝම අධිරාජ්‍යය දැන් සාමාන්‍ය දෙවෙනි පෙල රටක් බවට පත්ව ජීවත් වෙයි. 16 වන ශත වර්ෂයේ ලෝක අධිරාජ්‍යයක් ගොඩ නැගූ පෘතුගාලයද වැටි ඇත්තේ ඒ තත්වයටමය. චීනයද අල්වා ගෙන ජපානයද ආක්‍රමණය කල මොංගෝලියානුවන් දැන් කොහි සිටින්නේදැයි බොහෝ දෙනෙකු දන්නේත් නැත.

මෙවැනි ඓතිහාසික කරුණු සලකා බැලූ කල යම් ජාතියක ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී එතරම් වැදගත් කාරණයක් දැයි කෙනෙකුට සිතන්නට අපහසුය.   

බොහෝ යුධකාමී ජාතීන් ශත වර්ෂ කිහිපයකින් සම්පූර්ණයෙන්ම වෙනස් වී සාමකාමී පිරිස් බවට පත්ව සිටී. පෙර කල යුරෝපය බිය වැද්දූ වයිකිං වරුන්ගෙන් පැවත එන්නන් දැන් ඩෙන්මාර්ක ජාතිකයින් දැයි සිතන්නටත් අපහසුය.

ඒ අතරම නොයෙකුත් දුර බැහැර රටේ සිට අලුතින් සොයාගත් රටකට නැව් නැග ගොස් සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක ජීවත් වන්නට තරම් එඩිතර වූ පුද්ගලයන් ගෙන් සැදුම්ලත් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලවතා බවට පත්විය. ඒ මෙතෙක් ලොව ඉතිහාසයේ විශාලතම එමෙන් බලගතුම ආර්ථිකයත් යුධ බලයත් නතුකර ගනිමිනි.


ඒ නිසා රටක ඉතිහාසය වර්තමානයේ එම රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී විශාල වැදගත්කමක් උසුලන බවක් නොපෙනේ. මේ සදහා වඩා වැදගත් වන්නේ විෂයගත රාජ්‍යයේ වර්තමානයේ ඉරියව්ව එසේත් නැත්නම් අංග වින්‍යාසය බව පෙනේ. අන්තර් ජාතික සම්බන්ධතා සහ ලෝක ආර්ථිකය සීඝ්‍රයෙන් වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවක් විය යුතුය. ලෝක ආර්ථිකය පසුගිය දශක කිහිපයේ කොතරම් වෙනස් වී ඇත්ද යත් ලෝකයේ විශාලතම ආදායම් ලබන ආර්ථික ඒකක 100 අතරින් 69 ක්ම ව්‍යාපාරික ආයතන වෙයි. ඒ අනුව ඒ 100 යේ කණ්ඩායමේ ඒකක  ලෙස රටවල් තිබෙන්නේ 31 ක් පමණි.පහතින් දක්වා ඇත්තේ එම ලයිස්තුවේ මුල් දහයයි.



.   ඇමරිකා එක්සත් ජනපදය
1.     චීනය
2.     ජර්මනිය
3.     ජපානය
4.     ප්‍රංශය
5.     එක්සත් රාජධානිය
6.     ඉතාලිය
7.     බ්‍රසීලය
8.     කැනඩාව
9.     වෝල්මාට් සුපිරි වෙළඳසැල් ආයතනය


මෙලෙස ලෝකයේ ආර්ථික ඒකක අතර 10 වෙනි තැනට පැමිණීමෙන් වෝල්මාට් ආයතනය ආදායමෙන් ඔස්ට්‍රෙලියාව, දකුණු කොරියාව හෝ ඉන්දියාවේ රාජ්‍යයන්ට  වඩා විශාල බව පෙන්නුම් කරයි. මින් පසු 14, 15, 16, 18, 21, 22, 23, 25 සහ 27 යන ස්ථානවල සිටින්නේද පුද්ගලික වානිජ ආයතනයි. ටොයෝටා ආයතනය හෝ වොක්ස්වගන් ආයතනහි ආදායම ඉන්දියානු රජයේ ආදායමට වඩා වැඩිය. මෙවැනි ආර්ථික භුමි  දර්ශනයකින් පෙනෙන්නේ ලෝකය දැන් කොතරම් වෙනස් වී ඇත්ද යන බවයි. එහෙයින් මෙයට අවුරුදු 50 කට හෝ 100 කට පෙර යම් රටක හැසිරීම හෝ යම් සිදුවීම් වලට මුහුණු දුන් ආකාරය අනුව වර්තමානයේ ජාතික ආරක්ෂාව සැලසුම් කරන්නට යාම එතරම් නුවනට හුරු නොවන බව පෙනේ.  

Sunday, October 8, 2017

අසල්වැසි රාජයයන් ගෙන් ඇති තර්ජන ; අපේ ලොකුම බාහිර සතුරා ඉන්දියාවද?






ජාතියට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම.
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එම ජාතියට දැනට තිබෙන සහ මෑත අනාගතයේ සහ ඈත අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයන් කුමන ආකාරයේ ඒවාදැයි දැන ගැනීම ඉතා වැදගත්ය. හරියටම තර්ජනය කුමක්දැයි දන්නේ නම් එම තර්ජනය මැඩ පැවැත්වීමට සූදානම් විය හැක. 

එසේම තර්ජනය අනාගතයේ ඇතිවන්නට ඉඩ තිබෙන එකක් නම් එම තර්ජනය ඇතිවීම වැලැක්වීමට කටයුතු යොදන්නට සැලසුම් කරුවන්ට හැකියාව තිබේ. අනෙක හරියටම තර්ජන මොනවාදැයි දැනගත් විට එම තර්ජන වලට පමණක් මුහුණදීමට ලක ලෑස්ති වීමෙන් අඩු පිරිවැයකින් නාබිගත ආරක්ෂාවක් සම්පාදනය කර ගැනීමට පුලුවන් වීමය. එවිට ගුවන් යානයක් ඕනෑ තැනකට නැවක් මිලදී ගැනීම හෝ එහෙම නැත්නම් රේඩාර් පද්ධතියක් ඕනෑ තැනකට අනුකන්ඩ සමුහයක් ස්ථානගත කිරීම සිදුවන්නේ නැත.

ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මූලාශ්‍ර වශයෙන් රටට පිටතින් සහ ඇතුලතින් පැමිණිය හැකි ඒවා ලෙස වර්ගීකරණය කල හැක. පිටතින් පැමිණිය හැකි තර්ජන නැවත වරක් පහත ආකාරයට වර්ගීකරණය කරන්නට පුලුවන.

තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. - ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව,බංග්ලාදේශය , ම්යන්මාරය,සහ තායිලන්තය  සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.   

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක්  නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන. 

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය. 

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත  නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.


වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.


ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය,එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එදිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ.

ඉන්දියාවෙන් ආක්‍රමණයක් ඇතිවීමට ඇති ඉඩකඩ තවත් අඩුවීමට හේතුවක් වනුයේ චීනය සහ පකිස්තානයයි. චීනය සමග ඉන්දියාව මීට පෙර දේශ සීමා ගැටලු නිසා යුද්ධයක් කර ඇත. ඒ 1961 දීය. ඉන්පසු ඉන්දියාව හා චීනය අතර සබදතා ක්‍රමයෙන් හොඳ අතට හැරී ඇත. එලෙසම මේ රටවල් දෙකම ලෝකයේ වර්ථමාන ආර්ථික හා දේශපාලනික වශයෙන් බොහෝ කරුණු වලට එකඟ වන රටවල් දෙකකි[1]. රටවල් දෙකම විශාල ආර්ථිකයන් සහිතව සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේ විශාලතම ජනගහනයන් ගෙන් යුක්ත රටවල්ය.


ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි පකිස්තානය මේ සමීකරණයට ඇතුලු වන්නේ ඉන්දියාවට සිටින ප්‍රධානතම සතුරා ලෙසය. ඉන්දියාව සමග මෙතෙක් තුන් වරක් යුධ වැද ඇති පකිස්තානය න්‍යෂ්ඨික අවි වලින්ද සන්නද්ධ රාජ්‍යයකි. සන්සන්දනාත්මකව ඉන්දියාවට වඩා සන්නද්ධ බලයන් ගෙන් අඩු වුවද පකිස්තානය ඉන්දියාවට විරුද්ධව ඕනෑම වේලාවක සටන් වැදීමට සූදානමින් සිටින රාජ්‍යයකි. 

මෙයට හොඳ උදාහරණයක් මට පුද්ගලික අත්දැකීමකින් ඇතිවී තිබේ. මම වරෙක පකිස්තානයේ පුහුණුවක සිටියදී මගේ පවුලේ උදවියද මා සමඟ සිටියහ. මගේ දරුවන් එම නිලධාරීන්ගේ දරුවන් පිරිසක් සමඟ හින්දි ගීත ගයමින් සිටියදී ඒ ඇසි එතනට පැමිණි පකිස්තානු නිලධාරියෙකු තම දරුවන් එතනින් ඉවත්කරගෙන ගියේ මහත් කෝපයෙනි.  චීනය සමග ඇති දැඩි මිත්‍රත්වය හා න්‍යෂ්ඨික අවි සතුව තිබීම මේ එඩිතර භාවයට බොහෝ විට හේතු වේ.   


මේ පසුබිමේ ඉන්දියාව කෙසේවත් අසල්වැසි රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට සිතන්නටවත් ඉඩක් නැත. ඒ නිසා ඉන්දියාවෙන් ආක්‍රමණයක් පැමිනේයැයි සිතා ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම කිසිසේත්ම නුවණැති කටයුත්තක්  නොවේ.        



[1]  රටවල් දෙකම BRIC සහයෝගිතාවයේත් සාමාජිකයන්ය.

Thursday, October 5, 2017

5 ජාතික ආරක්ෂාවට ඇති තර්ජන 5



http://lakshmanillangakoon.blogspot.com/2017/09/4-4.html සිට 





මෙයට හොඳම උදාහරණය දකුණු චීන මුහුදේ පිහිටි දුපත් සමුහයයි. එහි ඇති ස්ප්‍රට්ලි දුපත් චීනය,වියට්නාමය ,මැලේසියාව ,පිලිපීනය, සහ බෘනායි අයිතිවාසිකම් කියති.
පාර්සල් දුපත් චීනය, තායිවානය සහ වියට්නාමය,අයිතිවාසිකම් කියති.එහෙත් චීනය අල්ලා ගෙන සිටියි. මක්ල්ස් ෆීල්ඩ් දුපත මුහුදෙන් උඩට එන්නේ නැති නමුදු චීනය , පිලිපීනය සහ  තායිවානය අයිතිවාසිකම් කියති. මුහුදෙන් උඩට ගල් කිහිපයක් පමණක් තිබෙන ස්කාර්බෝරෝ දුපත් වලටද අයිතිකරුවන් තිදෙනෙකි, ඒ චීනය ,තායිවානය සහ පිලිපිනයයි.

එනමුදු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙම මුහුදු සිමා සහ මුහුදු සිමා ප්‍රශ්නය ඉතාමත් සාමකාමී ලෙස විසදා ගෙන ඇති ආකාරය බොහෝ විශාරදයන්ගේ පැසසුමට ලක්වේ. විශේෂයෙන්ම බලගතු රටක් වන ඉන්දියාව සන්සන්දනාත්මකට බොහෝ කුඩා අප වැනි රාජ්‍යයක් සමානයන් සේ සලකා මෙම ප්‍රශ්නය විසදා ගැනීම ප්‍රශංසා කටයුතුය.
e. මෘදු බලය.
මෘදු බලය යන සංකල්පය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන ලද්දේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ජෝෂප් නයි විසින්[1] 1990 වර්ෂයේදීය. එයින් අදහස් කෙරෙනුයේ බලය හෝ ආර්ථික මෙවලම් පාවිච්චි කරන්නේ නැතිව, සිත් ඇද ගැනීමෙන් සහ හොඳින්, ඉලක්ක ගත රජයෙන් තමන්ට අවශ්‍ය ආකාරයට යමක් කර ගැනීමට ඇති හැකියාවයි. මෙම මෘදු බලයේ ප්‍රධානම ලක්ෂණය යුධ හෝ ආර්ථික බලයන් පාවිච්චි නොකිරීමයි. මෘදු බලය වැඩිකර  ගැනීමට සංස්කෘතික, දේශපාලන විශ්වාස සහ අගයන් සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රධාන ධාවකයන් වෙයි.
වොයිස් ඔෆ් ඇමරිකා වැනි ප්‍රචාරණ කටයුතු, අප කුඩා කල අපට හුරු පුරුදු නොමිලේ තැපෑලෙන් ගෙදරටම එවූ සෝවියට් දේශය වැනි සඟරා, හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වලින් ලොව පුරා සිටින නරඹන්නන්ට සංඛේතමය වශයෙන් අදහස් ඇතුලු කිරීම මෘදු බලය පිළිබඳ හොඳ උදාහරණ කිහිපයක් වෙයි. දැන් නිපදවෙන ඒක් ප්‍රේම් කතාවක්, ටොයිලට් චිත්‍රපටය පුද්ගලිකව නිෂ්පාදනයක් වූවක් වුවද, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඉන්දියාවේ සියලු පුරවැසියනට වැසිකිලි ගොඩනැගීමට පෙලඹවීමට කරන ව්‍යාපෘතියට මහත් පිටුවහලක් වනු ඇත. මෙවැනි ප්‍රචාරණ කටයුතුද රටක් තුල වුවද මෘදු බලය පෙන්නුම් කරන උදාහරණයකි.
චීනය සහ ඉන්දියාව අප්‍රිකාවේ දුප්පත් රාජ්‍ය වල සිදු කරන බොහෝ විට සංඛේතාත්මක සංවර්ධන කටයුතුද මෙවැනි මෘදු බලයක් තම ව්‍යාපාර කටයුතු වලට ලබා ගැනීමට කරන උත්සාහයක් සේ සැලකිය හැක. සමහර අවස්ථාවන්හිදී යම් රටක නිපදවන වෙළඳ භාණ්ඩයක් වුවද එම රටට යම් මෘදු බලයක් ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් පින්ලන්තයේ නිපදවූ නොකියා ජංගම දුරකථන හැදින්විය හැක. සමහරුන් පින්ලන්තය යැයි රටක් තිබෙන බව දැන ගත්තේ නොකියා දුරකථන වෙළඳ පොලට පැමිණි පසුය. 


f. එහි කුමන සම්පත් තිබේද.
රටක ස්වාභාවික සම්පත් එම රටෙහි ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී වැදගත්කමක් උසුලයි. විශේෂයෙන්ම ඛනිජ තෙල් සංචිත තිබෙන රටවලට මෙම වැදගත්කම තදින් බලපායි. ලෝකයේ සෑම කාර්මික රටකටම ඛනිජ තෙල් පහසු මිලකට එමෙන්ම බාධාවකින් තොර ලබා ගැනීම ඔවුන්ගේ රටවල ආර්ථිකයට ඉතාමත් ප්‍රබල අවශ්‍යතාවයක් වන හෙයින් මෙවැනි සෑම රටක්ම ඛනිජ තෙල් සංචිත පොහොසත් රට වලට බලපෑම් කිරීම ස්වාභාවිකය. මෙලෙස එම කාර්මික රටවල ඇති තරඟය නිසා ඛනිජ තෙල් ඇති රටවලට තම ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී විශේසයෙන් සැලකිලිමත් වීමට සිදු වෙයි.
එහෙත් මෙම ඛනිජ තෙල් වල ඇති වැදගත්කම ලෝක ශිෂ්ඨාචාරයේ දියුණුව, විකල්ප බල නිෂ්පාදනය, මාධ්‍ය; සමාජ සහ ප්‍රවේනික ප්‍රබල වීම, හා වඩාත් කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ නිපදවීම නිසා අඩුවන හෙයින් මෙම බලපෑම් ක්‍රමයෙන් අඩු වී යන බව පෙනේ. රටවල තිබෙන නොයෙකුත් සම්පත් නිසා ඒවායේ රාජ්‍ය බලය වැඩි වීම ස්වාභාවිකය. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තුන්වෙනියට විශාලම රට වන අතර ජනගහනයෙනුත් තුන්වෙනි රට වෙයි. එහෙත් එහි වගාකල හැකි මුලු ඉඩම් ප්‍රමාණය භූමි ප්‍රමාණයෙන් 17.3% ක් වෙයි. රටෙහි භූමි ප්‍රමාණය වැඩි වුවද රුසියාවේ වගාකල හැකි භූමිය 13.3% ක් වෙයි. චීනයේ මෙය 10.9% කි. මෙලෙස රටෙහි ප්‍රමාණය තරමක් කුඩා වුවද ඇමරිකා එක්සත් ජනපදයේ ගොවිතැන් කල හැකි ඉඩම් ප්‍රමාණය වැඩි නිසා කෘෂිකර්මාන්තය ඉතා දියුණු තත්වයකට ඒමට හැකියාව ලැබී ඇත.
සම්පත් විශාල වශයෙන් තිබෙන රටකට ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී මුදල් පිළිබඳව කරදර වන්නට සිදු නොවේ. ඔවුනට ලෝකයේ නවතම තාක්ෂණවෙන් යුත් යුධ උපකරණ මිලදී ගන්නට පුලුවන. මැද පෙරදිග ඛනිජ තෙල් නිපදවන රටවල් උදාහරණයක් වශයෙන් ලෝකයේ දියුණුම රටවල නිපදවන අවි ආයුධ සහ උපකරණ මිලදී ගන්නට යොමුවන්නේ  ඔවුනට රටෙහි සාමාන්‍ය යටිතල පහසුකම් සහ පුරවැසි ජීවන තත්වයන් හොදින් පවත්වා ගනිමින් ජාතික ආරක්ෂාවටද සිතැඟි ආකාරයට මුදල් යෙදවීමටද හැකියාව ලැබී තිබෙන නිසාය.  
එහෙත් එතරම් සම්පත් නොමැති අප වැනි රට වලට “තුවක්කුද? බටර්ද?“ යන කියමනේ පරිදි අපට ඇති ධනය ආයෝජනය කල හැක්කේ ඉතාමත් සීමිත ලෙසටය. ඒ නිසා බොහෝ විට දුප්පත් රට වලට ජාතික ආරක්ෂාව සැලසුම් කරද්දී ඉතාමත් සකසුරුවම් ලෙස එය කිරීමට සිදුවේ. නව තාක්ෂණ යොදා ගනිමින් නිර්මාණාත්මකව පෙට්ටගමෙන් පිටතට අදහස් දියුණු කර ගැනීමෙන් අපට විශේෂයෙන් කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම තුවක්කුද බටර්ද ප්‍රශ්නය නිසාය.


to be continued 


[1] Bound to lead: The Changing Nature of American Power, Joseph Nye, 1990. 

Tuesday, October 3, 2017

ආයුධ වෙළඳාම සහ අතරමැදියෝ




ලෝකයේ අන්තර් ජාතික ආයුධ වෙළදාමේ අල්ලස් සහ දුෂණ නිසා වන නාස්තිය වසරකට ඩොලර්  බිලියන 20 ක් යැයි ගණන් බලා තිබේ - මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමෙන් දල වශයෙන් 1/4 පමණ වෙයි එහෙමත් නැත්නම්  ලෝකයේ දියුණුම රටවල් කණ්ඩායම වන G 8 කණ්ඩායම අනෙක් දුප්පත් රටවලට දෙන ආධාර ප්‍රමාණයේ මුලු වටිනාකමට සමානය. මෙම ඇස්තමේන්තු කිරීම කර ඇත්තේ ලෝක බැංකුවේ සහ ස්ටොක් හෝම් අන්තර් ජාතික සාමය පිළිබද ආයතනය විසිනි. 

මෙම ආයුද මිලට ගැනීමේ අල්ලස් සහ දුෂණ වැඩිම රටවල් කණ්ඩායමට ඇතුල් කර ඇත්තේ ඇල්ජිරියාව, ඇන්ගෝලාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, සහ යේමනයය. මෙම කණ්ඩායම F කණ්ඩායම ලෙස හැදින්වෙයි. ඊ ලගට අවි ආයුද මිලට ගැනීමේදී ,අල්ලස් සහ දුෂණ වලින් ගහන රටවල් කණ්ඩායමට ඇතුළු වීමට අපේ කුඩා ශ්‍රී ලංකාවටද ගෞරවය ලැබී ඇත්තේය. 

අප  කණ්ඩායමේ සිටින රටවල් නම් සෞදි අරාබිය, ඉන්දුනීසියාව, ඕමානය, ශ්‍රී ලංකාව, වෙනින්සියුලාව, ඉරානය, ඉරාකය, නයිජීරියාව, මොරොක්කෝව, කටාර්, උස්බෙකිස්තානය, සහ සිම්බාබ්වේ යන රටවල්ය. එකට සිටින අයගෙන් කෙනෙකුගේ තත්වය දැන  ගත හැකි යයි කියනු ලැබේ.

වර්තමානයේ දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ඇති වී තිබෙන ප්‍රධාන බෙදීමට හේතුව වුයේද බිලියන ගණනක  ආයුධ මිලදී ගැනීමකදී ඇතිවූ අල්ලස් හා  දුෂණ ප්‍රශ්නයන්ය. 

සෞදි අරාබියට නමසිය අසුගණන් වල  බිලියන 43 ක ආයුධ විකිනිමකදී එක්සත් රාජධානියේ BAE සමාගමටද මෙවැනි අල්ලස් හා දුෂණ චෝදනාවකට චෝදනාවකට මුහුණ  දීමට සිදුවිය. අවුරුදු විසි ගණනක පරීක්ෂණ වලින් පසු BAE සමාගම ඇමෙරිකානු නීතිඥයන් ඉදිරියේ මෙම ආයුධ විකිණීම ස්ථිර කර ගැනීම සඳහා නම් සඳහන් නොකල උපදේශක වරුන් දෙදෙනෙකුට $ මිලියන 10කට  සහ 9කට වැඩි ගණන් වලින්  ස්විස් බැංකු ගිණුම් වලට ගෙවන ලද බව පිළිගන්නා   ලද්දේය. මෙම මුදල් එකල සෞදි ආරක්ෂක ඇමතිවරයා වූ සුල්තාන් කුමරුගේ පුතා වූ බන්දාර් කුමරුට ගෙවන ලද බව ට බොහෝ දෙන සැක පහල කළහ.

මෙවැනි අල්ලස් හා  දුෂණ වීමට ඉඩ ඇතැයි අපට සිතෙන රට වල තිබෙන තත්වය කෙසේ වුවද එවැනි ආයුද මිලදී ගැනීමේ අල්ලස් ඇතිවේ යයි අප කොහොමටවත්  සිතන්නේවත් නොමැති රටවලද එවැනි සිදුවීම් සිදුවී ඇත්තේය. එයට හොඳම උදාහරණයක් වනුයේ ග්‍රීසිය පසුගිය කාලයේ ජර්මනියෙන් මිලදී ගත් U 214  සබ්මැරින් 4යි. මෙම $ බිලියන 17 ක මිලදී ගැනීමට ග්‍රිසි රජයේ ආරක්ෂක ඇමති ඇතුළු දේශපාලකයන් සහ අමාත්‍යංශ නිලධාරීන්ට ජර්මානු සමාගම  ඉයුරෝ මිලියන 1000 කට වඩා අල්ලස් වශයෙන් ගෙවන ලද බවට  ඔප්පු වීමය.

මෙම පරීක්ෂණයෙන් පසු එම අල්ලස් වලට සම්බන්ධවූ එකල ග්‍රීක  ආරක්ෂක ඇමති වරයා  අවුරුදු විස්සක් සිරගෙට නියම වූ අතර 
ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය මිලදී ගැනීම් ප්‍රධානි  - අවුරුදු 25 සිරගෙදරටද තවත් සත් දෙනෙකුට නොයෙකුත් දඬුවම් ලැබිණ. 


මෙවැනි ආයුධ මිලදී ගැනීමේදී වන අල්ලස් සහ දුෂණ බොහෝ රටවල බොහෝ විට සිදුවෙයි.  මෙම ක්ෂේත්‍රයේ මෙලෙස අධික ලෙස අල්ලස් සහ දුෂණ ඇතිවීමට  විශේෂිත  හේතු මොනවාද?


  • ආයුද සහ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැනීම මඳ වීම.
  • ආරක්ෂක හමුදාවල කටයුතු වලට ඇඟිලි ගැසීමට බොහෝ අය මැලි  වීම.
  • ආරක්ෂක හමුදා සඳහා කරන මිලදී ගැනීම්වලට විරුද්ද වන්නන් දේශ ද්‍රෝහීන් ලෙසට හංවඩු ගසා ඔවුන් ගේ විරුද්ද වීම් පිළිකුලට ලක්  කිරීම.
  • වෙනත් රාජ්‍ය ආයතන වල මෙන් නොව හමුදා වල සාමාජිකයන් ට වුර්තිය සමිති ආදිය නොමැති නිසා එක්ව විරෝධය පෑමට ඇති නොහැකියාව.
  • හමුදා නිලධාරින් යම් විරුද්ද වීමක් නිසා දෝෂ දර්ශනයට ලක් වුව හොත් ඔවුන්ගේ සම්පුර්ණ අනාගතයම පාහේ විනාශ වීම.
  • බොහෝ ජනතාව අවසාන  යුද්දයේ ජීවත්වීම .
මෙවැනි අල්ලස් හා දුෂණ සිදුවීමෙන් ජාතියට වන පාඩු මොනවාද? පහත ඇත්තේ ඒවායින් කිහිපයකි.
  • ජාතික ආරක්ෂාවට ඒ අවස්ථාවේ අවශ්‍යම හමුදා උපකරණ නොලැබීම  ( උදා - ඉතාම අත්‍යවශ්‍ය  දේශ සිමා මුර කරන මුර ගුවන් යානා වෙනුවට යුධ ටැංකි මිලට ගැනීම)
  • රටේ සංවර්ධනයට සහ සමාජ ශුභ සාදනයට  අවශ්‍යම සම්පත් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට යෙදවීම 
  • මිලදී ගත අනවශ්‍ය උපකරණ බොහෝ ප්‍රයෝජනවත් යයි පෙන්වීමට ඒවා නිතරම සේවයේ යෙදවීමට හා නඩත්තු කිරීමට තවත් අමතර විශාල වියදම් කිරීමට සිදුවීම
  • වසර ගණනාවක් නය ගෙවීමට සිදුවීම නිසා අත්‍යවශ්‍ය ආරක්ෂක වියදම් කපාහැරීමට සිදුවීම.
  • අනවශ්‍ය ලෙස ආරක්ෂක වියදම අහස උසට යාම නිසා රටට සාමකාමී රටක් ලෙස තිබෙන පිළිගනිම අඩුවීම. 
  • ජාත්‍යන්තර මුල්‍ය ආයතන වුවද මෙතරම් ආරක්ෂාවට වියදම් කරන රටකට උපකාර කිරීමට මැලි වීම.
  • සටනේදී අවිවල පිටුපසින් සිටින්නන්ට පහසුකම් ඇති කිරීමට මුදල් හිඟ වීම.

Saturday, September 30, 2017

කාමරංගා පටලැවිල්ල









මම 2005 දී අන්තර්ජාතික ආයුධ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා සිංගප්පු රුවට ගියෙමි. සිංගප්පුරු රජය විසින්  අපට නවාතැන් දුන්නේ මැන්ඩරින් ඔරියන්ට් නමැති සුඛෝපබෝගී හෝටලයකය. මම මෙතෙක් දැක ඇති පොහොසත්ම උදය ආහාර  බුෆේ එක දැක්කේ එම හෝටලයේය. එම බුෆේ ඒක නොයෙකුත් වර්ග වලට අනුව ; ඉන්දියානු, ඇමෙරිකානු, යුරෝපිය, චීන, යනාදී වශයෙන් පිළියෙළ කර තිබූ එම උදය ආහාරය සඳහා යට කර තිබූ බිම් ප්‍රමාණය සාමාන්‍යයෙන් කුඩා හෝටලයක් තරම් විය.

පලතුරු අංශයේ නොයෙකුත් නැවුම් පලතුරු ගොඩගසා තිබුණු අතර අප පෙන්වන ඕනෑම පලතුරකින් බිමක් සාදා දීමට හෝ එසේත් නැත්නම් අලංකාර කැබලි වලට කපා දීමට සේවක සේවිකාවන් සැදී පැහැදී සිටියහ. මම ඒ අංශයේ පුරුදු පලතුරු වලට නොගොස් මම මිට පෙර රස විඳ නොමැති පලතුරු වර්ග තෝරා ඒවා ආහාරයට ගත්තේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමටය. මෙම නුපුරුදු පලතුරු වර්ග වලින් හැඩයෙන් සහ රසයෙන් මා වඩාත් සිත් ගත්තේ සෙන්ටි මීටර් 3ක් පමණ ගනකමට කපන ලද තරුවක හැඩය ඇති පලතුරු පෙති විශේෂයකටය.

මම ඒවා පිළිබඳව නොදැන සිටි අතර පසුව මා සමග ගිය නිලධාරියෙකු ඒවා කාමරංගා බවත් අප රටෙහි තිබෙන බවත් මා සමග කිවේය. මම පසුව අන්තර්ජාලයෙන් පරික්ෂා කලවිට මෙම පලතුරෙහි මුල් රටවලින් එකක් ශ්‍රී ලංකාව බවත් එම පලතුර ඉතාමත් ශරීර සෞඛ්යට හොඳ පළතුරක් බවත් දැන ගතිමි. පසුව මා සින්ගපුරුවේ ඇවිදින්නට ගිය විට එහි පලතුරු කඩවල එම පලතුර විකුණන්නට තබා ඇති ආකාරයෙන් මෙය එහි විශාල වශයෙන් ජනප්‍රිය පළතුරක් බව දැන ගත්තෙමි.

මම ලංකාවට පැමිණි පසු මේවා පිළිබද සොයා බැලූ විට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල පැල කඩයකින් මිලදී ගත හැකි බව දැනගෙන රුපියල් 20 ගනනේ බැගින් පැල 5 ක් ගෙන නිවසේ උද්‍යානයේ පැල කලෙමි. අප ජීවත්වන දුම්බර සානුවේ කලින් කලට ඇතිවන දැඩි නියගයන්ටද සාර්ථකව මුහුණ දුන් මෙම ගස් අවුරුදු 3 ක් පමණ යන විට අඩි 7/8 ක් උසට වැවී පල දරන්නට පටන් ගත්හ. කිසිම භාහිර පොහොරක්ද නොමැතිව නියං කාලයේ ජලය යොදන්නෙත් නොමැතිව වැවෙන කාමරංගා ගස අප වැනි අපිලිවෙලේ ගොවියනට පහසුවෙන් වගා කර ගත හැකි ගසකි. එලෙසින්ම ඒක ගහකින් කිලෝ ග්‍රෑම් 50/60 ක පලදාවක් ලැබෙන මෙම ගස් 6 න් වසර පුරාම අඩු තරමේ එක ගසකවත් ගෙඩි තිබේ.   

මම නිවසේ සිටින සෑම දිනකම හවස ඇවිදීමෙන් පසුව ගෙඩි 3/4 ක් ජුසර් එකට දමා ලොකු ජුස් වීදුරුවක් බොන්නට පුරුදුව සිටිමි. මේ අතර අපගේ නිවසේ මෙම ගස් තිබෙන බව දැනගත් අම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකු මේ ගෙඩි කඩා ගෙන අපට කිලෝ ග්‍රෑමයකට රුපියල් 35 ක් දී මිලට ගෙන යාමට පුරුදුව සිටියේය. මෙම පලතුර මැලේසියා වැනි රටවල වාණිජ වශයෙන් වගා කරන බවත් ඒ දිනවල වසරකට මැලේසියාවේ ගොවීන් මේ පලතුරෙන් ලබා ගන්නා විදේශ ආදායම ඩොලර් මිලියන 10 ක් වන බවත් මම අන්තර්ජාලයෙන් දන ගතිමි . ටික කාලයක් ඔහු නොපැමිණ සිට මාස කිහිපයකට පසු නොපැමිණීමට හේතුව වශයෙන් කීවේ කාමරංගා කෑම මොලයට අගුණ බවට ප්‍රචාරයක් ඇති වූ නිසා වෙළද පොළ කඩා වැටීම බවයි. 

ලගකදී සන්ඩේ ටයිම්ස් පත්තරයේ වෛද්‍යවරයෙකු කාමරංගා කෑම වකුගඩු වලට ඉතාමත් භයානක බවත් කාමරංගා ගෙඩියක් දෙකක් කෑමෙන් පවා මරණය ගෙන දිය හැකි බවත් කීමෙන් පසු මෙම ප්‍රවුර්තිය රට පුරා පැතිර ගියේය. මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන්ද එම පුවත්පත් ලියවිල්ල නොයෙක් මාර්ග වලින් මටද ලැබිණ. 

ඒ වෛද්‍ය වරයා කියා තිබුනේ මේ පලතුර වකුගඩු අඩපන කරන බව  නිසා ඇමරිකාවේ ජාතික වකුගඩු සංවිධානයේ වෙබ් සයිට් එක වෙත ගොස් මේ පිලිබදව සොයා බැලුවෙමි. ඔවුන්ට අනුව නම් මෙම පලතුරු කෑම අනතුරු දායක වන්නේ වකුගඩු අමාරුවෙන් පෙලෙන්නන්ටය. 

අනෙක් පැත්තට කාමරංගා ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් සහිත පලතුරකි. එය කොලොස්ටරෝල් අඩු කරයි. බලගතු ඇන්ටිඔක්සිඩන්ට් පිරි ඇත. නොයෙකුත් විටමින් වර්ග සහ ඛනිජ බහුලව ඇත්තේය. බ්‍රසීලයේ විවිධ දේශීය බෙහෙත් වර්ග වලටද මේ පලතුර යොදා ගනී. එම පලතුරු ග්‍රෑම් 100 ක් අඩංගු පෝෂණ ද්‍රව්‍යයන් පහත පරිදිය.


See the table below for in depth analysis of nutrients: Star fruit (Averrhoa carambola), raw, Fresh, Nutritive value per 100 g,
ORAC value-5900, (Source: USDA National Nutrient data base)
PrincipleNutrient ValuePercentage of RDA
Energy31 Kcal1.5%
Carbohydrates6.73 g5%
Protein1.04 g2%
Total Fat0.33 g1%
Cholesterol0 mg0%
Dietary Fiber2.80 g7%
Vitamins
Folates12 µg3%
Niacin0.367 mg2.25%
Pyridoxine0.017 mg1.5%
Riboflavin0.016 mg1.25%
Thiamin0.014 mg1%
Vitamin A61 IU2%
Vitamin C34.4 mg57%
Vitamin E0.15 mg1%
Vitamin K0 µg0%
Electrolytes
Sodium2 mg0%
Potassium133 mg3%
Minerals
Calcium3 mg0.3%
Iron0.08 mg1%
Magnesium10 mg2%
Phosphorus12 mg2%
Zinc0.12 mg1%

 මේ කිසිම වෙබ් සයිට් එකක වත් සාමාන්‍ය මිනිසෙකුට මෙම පලතුර අගුනයි කියා නැත්තේය. වකුගඩු අඩපන නම් ආහාරයට නුසුදුසු කෑම වර්ග බොහෝ ඇත්තේය. ඇත්තෙන්ම ඔවුනට කෑමට පුළුවන් ආහාර වර්ග ඇත්තේ ටිකකි.  කාමරංගා සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු නම් සෞඛ්‍ය අමාත්යංශය මැදිහත්වී මේ පිළිබඳව ජනතාව දැනුවත් කල යුතුය. එසේ නොමැතිව මේ බාගෙට පිසූ අදහස් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් ජනයා අවුලට පත්වෙති.

මෙම පලතුර දැන් ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද ජනප්‍රිය වෙමින් පවතී. ඔවුන් වවන්නටද පටන්ගෙන ඇත . ඒ තරම් භයානක මරු කැඳවන පළතුරක් නම් එවැනි දියුණු රටවල් එම පලතුර වවන්නට පටන් ගයිද යන්නත් අප ඇසිය යුත් තවත් ප්‍රශ්නයකි.
ප ලී 

රන්සිරිමල්  අතීතයේ අප අතර කාමරංගා එතරම් ජනප්‍රිය නොවීම යම් හෙයකින් මෙම කාමරංගා අප  වකුගඩුවලට අගුණ වීම හා සම්බන්ධ විය හැකිදැයි කොමෙන්ට් එකක සැකයක් මතුකර ඇත. 

නමුත් මට මතක හැටියට මැලේසියාවෙන් හෝ තායිලන්තයෙන් මෙම වැඩිදියුණු කල කාමරංගා වර්ගය එනතෙක් : වෙනත් බොහෝ පලතුරු පැල  මෙන් , අප ගම්වල කාමරංගා ගස් තිබුනේ ඉතාමත් දුලබ ලෙසය. ඒවාත් විශාල ගස් වූ අතර  පලතුරු පැල : කෙසෙල්මෙ හැරෙන්නට , අපේ මුතුන් මිත්තන් පලතුරු පැල අපේ ගෙවතුවල වගා කලේ නැත. ඒවා ස්වභාවික ක්‍රම වලින් ප්‍රචාරණය වෙන්නට හැරියහ. සමහරවිට මේ ගස් වල ඇට තිබෙන ආකාරයෙන් අඹ ඇට මෙන් කෑ විසි කිරීමට නොහැකි නිසා ඒවා අඹ තරම් ප්‍රචාරණය නොවුවා විය හැක්කේ යයි මට සිතේ.

  


යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...