Thursday, June 16, 2016




දෙවියන්ගේ භාෂාව කුමක්ද? 

මම, මා ජීවත්වන නිවසේ ඉහල මාලයේ, අන්තර්ජාලයේ සංචාරකයන් සහ නිවෙස් හිමියන් සම්බන්ධ කරන ආයතනයක ලියාපසිංචි වී, සංචාරක නිකේතනයක් (home stay) පවත්වා ගෙන යමි. ලඟකදී ඩෙන්මාර්කයේ සිට එම ආයතනය හරහා වෙන් කර පවුලක්, දෙමව්පියන් හා කුඩා ළමයින් දෙදෙනෙකු, මෙහි නැවතීම සඳහා පැමිණියහ.
හවස නිවසට පැමිණි ඔවූහු, ප්‍රදේශයෙහි නොයෙකුත් අතුරු මාර්ගයන්හි, කැලෑ ප්‍රදේශවල ඇවිදීමට කැමති බව සන්වා සිටි හෙයින්, මමත් බොහෝ විට එලෙස ඇවිදින නිසා, පසු දින හිමිදිරියෙම එලෙස ඇවිදීමට යාමට අපි යොදා ගත්තෙමු. එහෙත් හිරු නැගෙන තෙක්ම ඔවුන් පහලට නොපැමිණි නිසා, මම විපරම් කර බැලුවෙමි.
එවිට මා පුදුමයට පත් කල කෙටි පණිවිඩයක්, මගේ දුරකථනයට පැමිණියේය. එයින් කියවුනේ වාහන වලින් එන අධික ශබ්දය නිසා, ඔවුන් මහත් අපහසුතාවයට පත්වන නිසා, නිස්කලංක පෙදෙසක සුදුසු ස්ථානයක් සොයා ගත් බවත්, මෙම අපහසුතාවය මාගේ වරදකින් සිදු වී නොමැති නිසා, ඔවුන් මුදල් ආපසු ලබාගැනිමක් බලාපොරොත්තු නොවන බවත්ය.
මහනුවර, කිලෝමීටර් තුනක් දුරින් පිහිටි ගම්මානයක, කුඹුරු යාය දෙකකට මැද, අර්ධද්වීපයක් ලෙස පිහිටා ඇති, තරමක කන්දක් මත ඇති මගේ නිවසට, උතුරු පැත්තෙන් ඇති මහා මාර්ගය, කිලෝමීටර් භාගයක් පමණ දුරය. දකුණු පැත්තෙන් ඇති මාර්ගය පිහිටා ඇත්තේ, නිවසේ සිට අඩි දෙසීයක් පමණ දුරිණි. නිවස අවට වෙනත් මාර්ග හෝ ශබ්ද මූලාශ්‍ර, කිසිවක් නැත්තේය. මෙම කෙටි පණිවිඩයෙන් මම පුදුමයට පත්වූයේ ඒ නිසාය.
පසුව මා පාර දෙස බලන විට, ඔවුන් හන්දියේ ත්‍රී රෝද රත වලින් විමසා, නගරය දෙසට යාමට තැත් කරනවා දැක, කෙටි පණිවිඩයක් යවා ඔවුන් නවතා ගෙන, ඔවුන් අලුතින් වෙන් කරවා ගෙන ඇති, ස්ථානය වෙත මගේ වාහනයෙන් රැගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කල විට, ඔවුනුද එයට එකග වූහ. මම ඔවුන් රැගෙන යන අතර, මෙලෙස ඔවුනට ගෝෂාව බලපෑවේ කෙලෙස දැයි විමසුවෙමි. පියා පැවසුවේ, ඔවුන් බොහෝ නිශ්ශබ්ද පරිසරයක් ඇති රටක, ජීවත් වන බවත්, උදේ පාන්දර ඇසුනු වාහන නලා හඩ සහ ත්‍රී රෝද රථවල ශබ්දය දරා ගැනිමට නොහැකි බවය. එලෙසම ඔවුන්ගේ රට කොතරම් නිශ්ශබ්ද දැයි පෙන්වීමට, ඔහු තව දුරටත් කියා සිටියේ, ඔහු දැනට වසර විස්සක කාලයක් සිට, වාහන එලවන බවත්, තවමත් කිසි දිනක වාහනයේ නලාව හඩවා නොමැති බවය.
 මෙය ඇසීමෙන් පසු, අපි ශ්‍රී ලංකාවේ වාහන නලා හඩවන ආකාරය පිලිබද, මම කල්පනා කලෙමි.අපි පාරේ මිනිසුන්ට අයින් වන්නට කියා, නලාව හඩවමු. ඊට අමතරව පාරේ ඉඩ ගන්නට, අප පැත්තට බරවෙන වාහනයකට අනතුරු අගවන්නට, ඉදිරියෙන් එන වාහනයට, තව ටිකක් වේගයෙන් යන්නට කියන්නට සහ වංගුවේ එහා පැත්තෙන් එන වාහන වලට, අප එන බව අගවන්නට නලාව හඩවමු. එපමණක් නොව, අදුරන වාහනයක් දුටු විට, තමන්ගේ ඉඩ දුන් වාහනයට ස්තුතියි කියන්නට, ඉඩ නොදුන් වාහනයට තම කෝපය පෙන්වන්නට, අපි නලාව නාද කරමු.
මේ කිසිම හේතුවක් නොමැත්තේ නම්, නිකම්ම නලාව නාද කරන අවස්ථා, මම දැක තිබේ. අපගේ ජීවන තත්වය අඩු කරන හෝ නින්ද, කථා බහ කිරීම් වැනි සාමාන්‍ය ජීවිතයේ නොයෙකුත් ක්‍රියාකාරකම් වලට බාධා පමුණුවන ශබ්ද, ශබ්ද දූෂණය ලෙස හැදින්වේ. පරිසරයේ ඇතිවන ශබ්ද දූෂණයෙන්, අධික රුධිර පීඩනය, මානසික ආතතිය, කන් ඇසීමේ දුර්වලතාවයන්, නින්දට බාධාවීම් සහ වෙනත් අයහපත් ප්‍රතිපල, එම දූෂණයට භාජනය වන්නන්ට විදින්නට සිදුවේ.
ශ්‍රී ලංකාවේ වාහන ශබ්ද දූෂණය වැඩියෙන්ම සිදුවන්නේ, ත්‍රී රෝද රථ වලින් සහ බස් රථ වලිනි. බස් රථවල නලා වලින්ද, ත්‍රී රෝද රථවල එනජින් වලින්ද, සිදුවන මෙම දූෂණය කොතරම් දැයි අදහසක් ලබා ගැනීමට, ලංකාවේ තිබෙන ත්‍රී රෝද රථ දෙස බැලීමෙන් සිතා ගත හැක. මෙම ප්‍රමාණය ලක්ෂ දහ තුනක් වන අතර, එය දිනෙන් දින තවත් වැඩි වෙයි. මෙම ලක්ෂ දහ තුනම එක්වර පන ගන්වා, ධාවනය කලහොත්, අප සියලු දෙන කන් අගුලු වැටී, සිහි මූර්ජා වනු ඇත.
මෙම උගුලෙන් ගැලවිමට අපට කල හැක්කේ කුමක්ද? දියුණු රට වල නම්, ශබ්ද දූෂණය පාලනය කිරීමට නොයෙකුත් ක්‍රම යොදා ගෙන ඇත. මේ අතර වාහන වලින් ඇතිවන ශබ්ද අඩු කිරීම,ශබ්ද අඩු වන ආකාරයේ පාරවල් නිර්මාණය කිරීම, ශබ්ද පිටතට නොයන ලෙසට වැඩිපුර ශබ්ද දූෂණය ඇතිවන මාර්ගයන්හි, ශබ්ද පිටතට නොයන ප්ලාස්ටික් උමග ඇති කිරීම සහ නිශ්ශබ්ද කලාප ඇති කර, නීති කඩන්නන්ට දැඩි දඩුවම් පැනවීම, මේ සම්බන්ධ ප්‍රධාන ක්‍රමවේද වෙයි.
ඉහත සමහර ක්‍රියාදාමයන් අපට කිරීමට අපහසුය. එහෙත් සමහර දෑ කරන්නට බැරිකමකුත් නැත. උදාහරණයක් වශයෙන් මේසා මහත් ත්‍රී රෝද ජනගහනයේ එන්ජින් ශබ්ද අඩුකර ගැනීමට, යම් ක්‍රමයක් සොයා ගැනිම, අපට නොකල හැක්කක් නොවේ. එසේම නගරයන්හි නිශ්ශබ්ද කලාප ඇති කිරීම වැනි, කලහැකි ක්‍රියාවකි.
පර්සියානු කවියෙකු වූ “දෙවියන්ගේ භාෂාව නිශ්ශබ්දතාවයයි, අනෙක් සියලුම භාෂා එහි දුර්වල පරිවර්තනයන්ය.” යනුවෙන් වරෙක මවුලානා ජලාල් ඇඩ්ඩින් මොහොමඩ් රුමී එකලොස්වන ශතවර්ෂයේදී පැවසුවේය. අපද ඉදහිට හෝ දෙවියන්ට සවන් දෙන්නට ඉඩක් ලබාගත යුතුය. 

6 comments:

  1. අපේ මිනිස්සු හදන්න තව අවුරුදු 100 වත් යයි.

    ReplyDelete
  2. වාහන නලා හඩ මෙහි එක පැත්තක් පමණයි.
    ඔබේ නිවස නුවරඑළියේ පිහිටා තිබුණා නම් "සමහරව විට" මේ ප්‍රශ්නය නොඑන්න ඉඩ තිබුණා. ඒ නුවර එළියේ මා දන්නා නිවාසවල නම් ජනේලයට උඩින් වායු කවුළු නැති නිසයි.
    මා වෙසෙන රටේත් සීතල දේශගුණය නිසා ලංකාවේ ආකාරයේ වායු කවුලු තියන්නේ නෑ. දොර ජනෙල් සහ උළුවස්ස අතරත් සවුන්ඩ් පෲප් කළ හැඛි නිසාත්, බිත්ති මැද කුහරයක් ඇති නිසා පිටත ශබ්ධ ඇතුලට එන්නේම නැති තරම්.
    ඩෙන්මාකයේත් එසේ විය යුතුයි. බොහෝ යුරෝපීය නිවාස වල ජනෙල් වීදුරු පවා ඩබල් ග්ළෙසින් කර සාදන නිසා තත්වය තවත් හොඳ ඇති.

    අය කට්ටියට ගාස්තුවෙන් අඩක් දෙන්න තිබුණා!

    ReplyDelete
  3. ලක්‍ෂ්මන්,
    ඔබ දැන් කළ යුත්තේ නලාව නොහඬවා රිය පැදවීමට පුරුදු වීමයි. එය කළ හැකි බව මා හොඳින් ම දන්නවා පසුගිය වර ලංකාවේ දී කාර් එකක් පදවමින් කොළඹ, නුවර, නුවරඑළිය, මාතර ප්‍රදේශවල සෑහෙන දුර ගමන් කළ නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දවස ගානේ ට්‍රැෆික් එකේ වාහන එළවන කොට අහක බලාගෙන ලේන් එක ආක්‍රමණය කරන්න ඇඟට එන අපතයින්ගෙන් බේරෙන්න හෝන් ගහනවා නෙමෙයි හෝන් ඉබේ වදිනවා...

      Delete
  4. මේ කතාව සම්පුර්ණ ඇත්තය. එංගලන්තය ජරමින්ය වැනි රටවල නලා ශබ්ද කරන්න ලාංකිකයන්, ඉන්දියානුන් හා අප්‍රිකානු රටවළං ආ අය පමණය. .

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...