පහත ලියවිල්ල ඇමෙරිකාවේ විසිවන සියවසේ ප්‍රබල නාට්‍ය කරුවෙකු සහ ලේඛකයෙකු වන ආතර් මිලර්
විසින් කියුබාව ගැන ලියන ලද ලියවිල්ලකි. මම මේ දිනවල කියුබාව පිලිබඳ විස්තර හොයද්දි දුටු මෙම ලියවිල්ල කියවා බොහෝ රසවින්දේ එහි ඇති විස්තර නිසා පමණක නොව ලියා ඇති ශෛලිය ද නිසාය. වාමාංශික අදහස් දැරූ ඇමෙරිකානු
සාහිත්‍ය කරුවෙකු වන මිලර් හතලිස් ගණන් වල
ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සාහිත්‍ය කරුවන්ගේ අංශයේ සාමාජිකයෙකුද විය. ඔහු
විසින් ලියනැ ලද death of a salesman විසිවන සියවසේ හොඳම ඇමෙරිකානු නාට්‍ය අතර
කෙටි ලයිස්තුවටද ඇතුළු විය.
"අනෙක් බොහෝ දෙනෙකු මෙන්ම පසුගිය දශක කිහිපයේ මගේ කියුබාව
ගැන තිබූ අදහස් මිශ්‍ර ඒවාය. ප්‍රවෘති වාර්තා හැරුණු කොට මට කියුබාව ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනේ එහි චිත්‍රපට
සදන්නට ගිය අයගෙනි. එය මාෆියා ක්‍රීඩා
පිටියක්, සහ ඇමෙරිකානු සහ වෙනත් විදේශිකයනට ගණිකා මඩමක් වී ඇති අතිශයින් දුෂිත
සමාජයක් බව මෙලෙස අසන්නට ලැබුණු තොරතුරුය.
මේ නිසා කස්ත්‍රෝ කුණාටුවක් මෙන් එහි බලය අල්ලා ගැනීම
හරියට පිරිසිදු සුළඟක් එරට සමාජයේ යැංකි ඩොලරයට ඇති වී තිබූ කාලකන්නි වහල් බාවය
ඉවත් කළේය. දුම අවසන් වූ පසු අපට දක්නට ලැබුනේ සම්පුර්ණයෙන් වෙනස් තත්වයකි. මම
ඔහුගේ විප්ලවයට හේතු වූ කරුණු සිතේ තබාගෙන එදෙස බැලුවද ඔහුගේ එක මිනිසෙකුගේ පාලනය
මගේ ඔහු වෙත ඇති ගෞරවය ක්‍රමයෙන් අඩුකරයි. අනික් පැත්තෙන් එක්සත් ජනපදය කියුබාවට
දමා ඇති සම්භාධක ද ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම වලට නොගැලපෙන බව මට සිතේ.
මෙම පරස්පරයන් සියල්ලට මුල කස්ත්‍රෝය. ඇත්තෙන්ම කියුබාව
යනු ඔහුය. එහෙත් 2000 වසරේදී මට සහ මගේ බිරිඳ වන ඡායාරුප ශිල්පී ඉන්ගේ මොරත්ට
කියුබාවට යන සංස්කෘතික කණ්ඩායමකට එකතු වන ලෙසට ආරාධනාවක් ලැබුණු විට අප කස්ත්‍රෝ මුණගැසීමට
බලාපොරොත්තු නොවුන අතර අප සිතුවේ අපට කියුබාව බලාගැනීමට පුළුවන් වන බවය.
නමුත් අප එහි ගිය ගමන්ම නම දෙනෙකුගෙන් යුත් අපේ කුඩා කණ්ඩායමට
පසු දින රාත්‍රී භෝජනයකට ආරාධනා කිරීමටත් එමෙන්ම තවත් දිනක අප රට ඇතුලේ දහවල් ආහාර ගනිමින්
සිටියදී එතනට නොකියා පැමිණ රාති භෝජනයේදී පටන්ගත් සාකච්චාව අවසන් කරන්නටත් ඔහු පසුබට වුයේ නැත.
ඒ කාලය වනවිට; 2000 මාර්තු මාසය වනවිට, කියුබාවේ අනාගතය
ඒ රට ගැන සිතන බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් විය. අප කණ්ඩායමත් ඒ බොහෝ දෙනාට අයත්
විය. මම සහ මඟේ බිරිඳ හැරුණු විට අප කණ්ඩායමේ සිටියේ, නිව්යෝක් කෞතුකාගාරයේ හිටපු
ප්‍රධානියා සහ මානුෂික අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරිනියක් වන ඔහුගේ බිරිඳ,
නවකතා කරු විලියම් ස්ටයිරෝන් සහ ඔහුගේ බිරිඳ, පොත් ඒජන්ත වරයෙකු සහ ඔහුගේ බිරිඳ සහ
ඇමසෝන් සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මුදල් සොයන්නෙකුය.
නගරයේ ඇවිදීමටත් සමහරවිට කතුවරුන් කිහිප දෙනෙකු මුණගැහිමටත් බලාපොරොත්තුවෙන් සිටි
අපට එදින රාත්‍රියේම රාත්‍රී භෝජනය සඳහා ඔහුත් සමග එකතුවීමට කස්ත්‍රෝ ගෙන් ලැබුණු
ආරාධනය පුදුමය ගෙන දුන්නේය. කස්ත්‍රෝ ගේ මිතුරෙකු සහ උදව් කරන්නෙකු සහ බිල් ස්ටයිරෝන්
ගේ මිතුරෙකු වූ ගේබ්‍රියල් ගාර්සියා මෙම ආරාධනයට හේතුව වී ඇති බව පසුව අපට
පැහැදිලි විය. අනෙක් අපේ කණ්ඩායමේ අය මෙන්ම මමත් කස්ත්‍රෝ පිළිබඳව කුතුහලයෙන් සිටි
මුත් ලොකු බලාපොරොත්තු තබාගෙන සිටියේ නැත.
අන්තර්ජාතික PEN සංගමයේ සභාපතිවරයා ලෙසට මම සෝවියට් සහ නැගෙනහිර
යුරෝපයේ රාජ්‍ය නායකයන්ගේ කලා කටයුතු වල සහභාගී වීම් ගැන ඇති අත්දැකීම් අනුව
මෙවැනි සාකච්චා වලදී ඔවුන් කියන හාස්‍යජනක සහ මෝඩ අදහස් වලට එකඟ
බව පෙන්වා නිශ්ශබ්දව ඔලුව වැනිම හැර වෙන කරන්නට දෙයක්
නොමැති බව මම දැනගෙන සිටියෙමි. ප්‍රජාතන්තවාදී නොවන ආකාරයෙන් පත්වන රාජ්‍ය නායකයන්
සහ සගයන් විරුද්ධ අදහස් වලට ඉතාමත් සංවේදී
බවත් ඔවුන් සමග ගතකරන කාලය ඉතාමත් පුහු බවත්
මම දැනගෙන සිටියෙමි. එහෙත් මෙකල වන විට කස්ත්‍රෝ ජන ප්‍රවාද ගත කෙනෙකු වීම
නිසාම ඔහු සමග පැයක් හෝ දෙකක් ගතකිරීමට අපි උනන්දුවක් දැක්වුයෙමු.
මම රාත්‍රී භෝජනයට පෙර හවානා හිදී දුටු සිද්ධි කිහිපයක් ගැන කියන්නට කැමැත්තෙමි.
නගරය නම් එය මුලින් ගොඩ නැගුණු වැලි, කළුගල් සහ ගස් වලට ආපසු ගමන ආරම්භ කර ඇති
සැටියකි. ජනයාගේ දුප්පත්කම පැහැදිලිය. එහෙත් ඒ සමගම ඔවුන් අතර යම් ජීවයක් ඉතිරි වී
ඇති සැටියකි. ඔවුන් කොතරම් දුප්පත් වුවත් පොහොසතුන් සහ දුප්පතුන් එකට ජිවත්වන
නගරයක දුප්පතුන්ගේ මුහුණුවල ඇති දරුණු බලාපොරොත්තු කඩවීමේ සේයා ඔවුන්ගේ මුහුණුවල
නැත. නමුත් මේ සියල්ල බාහිර පෙනුමෙනි. එම
කරුණෙහි යම් වටිනාකමක් තිබුනද එය සියල්ලම නොවේ. මට පුද්ගලිකව කතා කරන්නට ලැබුණු
මාර්ගෝපදේශකයෙක් කිවේ - පිළිතුරු ලබාදුන්නේ නම් ස්වේච්චාවෙන් නොවන බව කිව යුතුය -
කියුබාවේ එක රස්සාවකින් ජීවත්වීම නම් කල නොහැකි බවය.
ඉහලට ඉගෙනගත් හොඳ විනයක්ද ඇති ඔහු තරහින් පුපුරමින් කිවේ
ඔහු වැඩකරන රජයේ සංචාරක සමාගම විදේශීය සංචාරකයන්ගෙන් විශාල මුදලක් අය කරගෙන ඔහුට
ඉතා කුඩා මුදලක් ගෙවන බවයි, මේ සුරාකෑම් නොවන්නේ නම් සුරාකෑම යනු කුමක්දැයි ඔහුට
තේරෙන්නේ නැත.
නමුත් මේ අසන්තෝෂයට තවත් පැත්තක් තිබේ. මම අප නැවතී සිටි
පෞරාණික අලංකාර සැන්ටා ඉසබෙල් හෝටලය අසල ඇවිද වරායට දිවෙන පළල මලිකොන් පාරේ
සැහැල්ලු ඒ නිසාම ප්‍රසන්න වාහන ගමනාගමනය දෙස උද්‍යානයේ බංකුවක ඉඳගෙන බලාසිටියෙමි.
දෙදෙනෙකු මගේ බංකුවේ පැත්තක බර කතා බහක යෙදෙමින් ඉඳ ගත්හ. දෙදෙනාම ඉතාමත් කෙසඟ
සිරුරුවලින් යුක්ත, රැවුල නොකැපු, ඉරුණු කොලර සහිත කමිස ඇඳ, සිටි පුද්ගලයන් වූ අතර
මේස් නොමැතිව කැඩුණු පාවහන් පැළඳ සිටියහ. සිගරට් උරමින් බංකුව උඩ කකුල් තබා දනිස්
ඉහලට එන්නට ඉඳගෙන ඔවුන් කතා කරමින් සිටි ආකාරය මට නිව්යෝක්, පැරිස්, ලන්ඩන් වැනි
නගර වල වීදි ජනයා සිහි කළේය. එක්වරම ටැක්සියක් පදික වේදිකාව අසල නවතා ඉතා පියකරු
කාන්තාවක් එයින් බැස්සාය.
ඇගේ අත්වල කටටම පිරුණු
දුඹුරු කඩදහි බඩු මලු දෙකක් තිබුණි. අර මිනිසුන් දෙදෙනා කතාව නවත්වා ඇය දෙස
ආසාවෙන් බලාසිටියහ. ඇය ඉතාමත් පියකරු බවද ඒ වාගේම හොඳින් ඇඳ පැළඳ සිටිනා බවත් මෙම
නිර්ධන පංති වටපිටාවේ පැළඳ සිටි අඩි උස සපත්තු නිසා ඇය තවත් කැපී පෙනෙන බව මම
දුටිමි. ඇය අත තිබූ එක මල්ලකින් ටියුලිප් මලක් එහි දිග නැට්ටත් සමග බිමට වැටුණි. කාන්තාව මලු නොවට්ටා පර්ස් එක ඇර
ගැනීමට උත්සාහ කලාය. ටියුලිප් මල මේ අතර නැට්ටෙන් කැඩී වෙන්වීමට බොහෝ ආසන්න බව
පෙනුනි. බංකුවේ සිටි එක මිනිසෙකු එතනට ගොස් එක මල්ලක් ගත්තේය. අනිකා අනික් මල්ල
නොවැටී තබා ගැනීමට උදව් කළේය. ඔවුන් මලු උදුරාගෙන දුවන්නට ලැහැස්ති වන්නේ දැයි
සැකයක් මට ඇතිවිය.
කාන්තාව රියදුරුට මුදල් ගෙවා ආපසු බෑග් ගන්නා තුරු එක
පුද්ගලයෙකු ටියුලිප් මල ඉතාමත් ප්‍රවේශමෙන් අල්ලා ගෙන ඇයගේ වැඩ අවසන් වූ පසු එය
ඇයට ආපසු දුන්නේය. ඇය ඔවුනට ස්තුති කලාය - එහෙත් ඉතාමත් උණුසුමෙන් නොවේ, එතරම් මිත්‍රශීලි නොවන ආකාරයටය. මිනිසුන්
දෙදෙනා ආපසු බංකුවට පැමිණ තමන්ගේ කතාව පටන් ගත්හ. මට මේ ගනුදෙනුවෙහි යම්
විශිෂ්ටත්වය ක් පෙනුනි. ඒ, එම දුප්පත් මිනිසුන් දෙදෙනා පෙන්වූ පිරිමිකම නිසාය, ඒ අතරම කාන්තාව ඔවුන් කල දේ ලොකු දෙයක් නොවන බවත්
එය තමන්ගේ අයිතියක් බවත් එහි කිසිම විශේෂ දෙයක් නොමැති බව පෙන්වා සිටීමේ
අසාමානත්වය නිසාය. ඇය පොහොසත් කාන්තාවක් බව පෙනෙන්නට තිබුනද ඔවුනට කීයක් හෝ
දීමට උත්සාහ කළේ වත් ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වූ බවක් වත් පෙනෙන්නට තිබුනේ නැත.
අවුරුදු ගණනක් කියුබානු රජය ලේඛකයන් සහ විරුද්ධවාදීන්
නිශ්ශබ්ද කිරීම් සහ සිරකිරීම් වලට විරෝධය පැ මා , පද්ධති ගත ආර්ථික කඩාවැටීම සහ
වෙනත් බොහෝ කරුණු මධ්‍යයේ වුවද අපට සතුටු
විය හැකි මානුෂික සහෝදරත්වයක් ගොඩ නැගී ඇත්තේ දැයි මට සිතින. මේ සමහරවිට සමාජය පුරා සමබර ලෙස විහිදී යන දරිද්‍රතාවය සහ
එයින් කෙනෙකුට රටින් පැනයාමෙන් හැරෙන්නට ඔලුව ඉහලට එසවීමට ඇති නොහැකියාව නිසා විය
හැක්කේය.
දුප්පත්කම නම් ඛේදනියය. මෙම වරායට යන ප්‍රධාන පාරේ
විදුලි සංඥා රතු වර්ණයට හැරුණු විට තරුණ ගැහැණු සහ ගැටිස්සියන් දුසිමක් පමණ කොහේ
සිට පැමිණෙන්නේ දැයි හිතා ගන්නටත් බැරි ආකාරයෙන් වාහන වලට පැමිණෙති. ඔවුන්
වයිවාරන්න ලෙස ඇඳ පැළඳ හෝ ආලේපිත යොදා
නැත. මම අපේ රියදුරාගෙන් ඔවුන් කුමක් කරන්නේදැයි ඇසුවිට ඔහු කිවේ ඔවුන් නොමිලේ
වාහනවල යාමට එසේ පැමිණෙන බවය. නමුත් ඔහු එසේ
කියනවිට මගේ මුණ දෙස නොබලා කෙලින් ඉදිරිය බලා සිටියේ එම විෂය මීට වඩා
සාකච්චා කිරීමට ඔහු නොකැමැති බව පෙන්වීමටය. මෙවැනි හැසිරීම් සෝවියට් කාලයේ තහනම්
කර තිබුනේ එක්කෝ එකල ආර්ථිකය එතරම් වැටි නොතිබුණු නිසා හෝ එසේත් නැත්නම් සෝවියට් ශුද්ධවන්ත බාවය නිසා වෙන්නට පුළුවන.
එහෙත් දැන් දරුණු බඩගින්නෙන් එන බලපෑම නවත්තා ගත නොහැක."
තව කොටසක් හෙට
No comments:
Post a Comment