Monday, January 29, 2018

අපුරු ලන්දේසි



ඔහු මෙලෙස ඇස වසා සිටින්නට ඇත 


                                                                    එකල බතාවිය

අප රටේ මුහුදුබඩ ප්‍රදේශ දෙවෙනිවර අල්ලා ගෙන සිටි යුරෝපීය ජාතිකයන් වන්නේ ලන්දේසි යැයි අප හඳුන්වන එහෙත් ඇත්තෙන්ම වර්තමාන නෙදර්ලන්ත ජාතිකයන්ය විසිනි. නෙදර්ලන්තය කුඩා රාජ්‍යයක්ය වුවද  දහ අටවන සියවසේ ආසියාව   පුරා විහිදුනු වෙළඳ අධි රාජ්‍යයක් බවට පත්විය. ඔවුහු  1640 සිට 1796 දක්වා දල වශයෙන් වසර 150 ක් ලංකාවේ මුහුදුබඩ පාලනය කලහ. ඔවුන්ට පෙර සිටි පෘතුගීසි හුද මෙතරම්ම කාලයක් මුහුදු බඩ පාලනය කල අතර ලන්දේසීන්ට පසුව පැමිණි ඉංග්‍රීසින් ද  ඒ හා සමාන කාලයක් ලංකාව කොටස් හෝ සම්පුර්න වශයෙන් පාලනය කිරීම  එක අතකින් අපුරු සම්පාතයකි.

ලන්දේසීන්ගේ මෙම ශත වර්ෂ එක හමාරක කාලය තුල ඔවුන්ගේ පළාත් පාලනය කිරීමට ආණ්ඩුකාරයන් 40 ක් පමණ වූ අතර එයින් එක් අයෙකු අනෙක් සියලු දෙනාටම වඩා කැපී පෙනුනි. ඒ පෙට්‍රුස් විස්ට් නම් වූ මිශ්‍ර ඕලන්ද ජාතිකයෙකි. ඔහුගේ පියා  ඕලන්ද ජාතිකයෙකු වූ අතර මව බතාවියා හි කාන්තාවක වුවාය. බතාවියා හිදී උපත ලද ඔහු හොඳ අධ්‍යාපනයක් ලබා පියාගේ මවු රට වූ වර්තමාන නෙදර්ලන්තයට ගොස් එහිදීද නිතිය සහ මුල්‍ය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබිය.

දක්ෂ ලෙස එහිදීද ඉගෙනගත් ඔහු ඉහල රැකියාවක් ද ලැබ එහි වැදගත් පවුලක තරුණියක වූ විල්හෙමිනා ගාලින්ග්ස් සමග විවාහ විය.
1717 වසරේදී ඔහු එකල ආසියාවේ  ලන්දේසි අගනුවර වූ  බතාවියා; වර්තමානයේ ජකර්තා, හි අති විශේෂ උපදේශකයකු බවට පත්කෙරින. ඔහු පිළිබඳව කොතරම් ගෞරවයක් තිබුනේද යත් ඔහු ලංකාවේ ආණ්ඩුකාරයා බවට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් පමණි.
ඔහු දීප්තිමත් දක්ෂ පුද්ගලයෙකු වුවද ඔහුට ඉතාමත් දුර්වල චරිත ලක්ෂණයක් තිබිණ. ඒ බොහෝ ආඩම්බරකාරී අධිකතර ස්වතක්සේරුවකි.

මේ පිලිබඳ හොඳම උදාහරණය නම් ඔහු ලංකාවේ මුහුදුබඩ පාලනය බාර ගත් විට තමන්ගේ හැකියාවනට අනුව මෙය ඉතාමත් සුළු රාජකාරියක් නිසා මෙය තමනට එක ඇහැකින් කල හැකි බව පෙන්වීමට තමන්ගේ එක ඇසක් වසා ආවරණයක් පැළදීමයි.

මොහු 1726 දී ලංකාවට පැමිණි විගසම රැකියාවකට අලුතෙන් පැමිණෙන සියල්ලන්ම කරන්නාක් මෙන්  මෙම රට VOC සමාගමට රන් ආකාරයක් කිරීමට සැලසුම් සකස් කළේය. ඔවුන්ගේ වරාය ගුදම් ගම්මිරිස්, සාදික්කා, කුරුඳු සහ කරාබු නැටි වලින් පුරවන්නට අදහස් කළේය. VOC මුලස්ථානයේ නිලධාරින් බොහෝ සතුටට පත්වුහ.
ටික දිනකින් කොළඹ නගරයේ සොරකම් කිහිපයක් සිදුවුණු අතර මෙයට ලන්දේසි හමුදාව සම්බන්ධ බවට කතාවක් පැතිරිණ. මේ නිසා ආණ්ඩුකාරයා නගරයේ හමුදා සෙබළුන් පැය දෙකෙන් දෙකට පෙළ ගැස්සවීමට නියම කළේය.

මෙම නියෝගය නිසා සෙබළුන්ට නිදා ගැනීමට අවස්ථාවක් නොලැබුණු විට ඔවුන් කිහිප දෙනෙකු අණට අකීකරු වූ අතර, මොහු සියලුම සෙබළුන්ගෙන් දහයකට කෙනෙකුට කස පහර දෙන්නත් නැවියන් බවට පත්කර නැව් වල මුහුදට යවන්නත් නියම කළේය. (එකල නැවියෙකු වීම බරපතල දඬුවමක් බව පෙනේ). තමන් ට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවෙන්නට යන්නේ යැයි සැක කල ඔහු මාෂල් නීතිය ප්‍රකාශ කර තමන්ගේ සභාපතිත්වයෙන් මණ්ඩලයක් පත්කර උසාවි තහනම් කර පාලනය කරන්නට පටන් ගත්තේය.

තමන්ගේ මණ්ඩලයට කම්හල් කරුවන් වඩුවන් වැනි පුද්ගලයන් පරීක්ෂණ මණ්ඩලයට පත්කරගෙන සැකකරුවන්ට වේවැලෙන් පහර දීම, නියපොතු ගැලවීම සහ ඇඟිලි අතරට ගිනිකුරු දමා ඒවා පත්තුකිරීම වැනි දැඩි දඬුවම් ලබා දුන්නේය. ඕලන්ද ජාතිකයන්ම 19 දෙනෙකුට ඉතා කෘර අන්දමින් මරණ දඬුවම ලබා දුන්නේය.

මෙලෙස සැක කරන ලද එක පුද්ගලයෙකුගේ පන පිටින් හදවත එලියට ගෙන ඔහුගේ මුහුණට එයින් පහර දෙන ලදී. ඉන්පසු ඔහුගේ බෙල්ල පොරොවකින් කපා කඳ හතරට කපා කණුවල ගසා තබන ලද්දේය.(මෙවැනි දඬුවම් පොදු දේපල හොරා කන්නන්ට වර්තමානයේත් සුදුසු යයි මට හැගේ). අවසානයේ මෙලෙස මරණ දඬුවම ලබා දුන් 19 දෙනෙකුගේ නිවාස බිමට සමතලා කරන ලද්දේය. (මෙකල ලන්දේසින් බොහෝදෙනෙකු විවාහ වී සිටියේ ලංකාවේ කාන්තාවන් සමගය. මේ පවුල් වලට  මොන තත්වයක් ඇතිවන්නට ඇද්ද?)

මේ විස්තර දැනගත් බතාවියේ VOC කළමනාකරුවන් වෙනත් ආණ්ඩුකාරයෙකු එවා විස්ට් දම්වැල් දමා අපරාධකරුවෙකු ලෙස බතාවියට රැගෙන යන ලද්දේය. අවුරුදු දෙකක දීර්ඝ නඩු විබාගයකින් පසුව විස්ට් ට මරණ දඬුවම නියම කරන ලද අතර 1732 ජුනි මස 3 දින බතාවියා බලකොටුවේදී දඬුවම ක්‍රියාත්මක කරන ලදී.

ඔහුට දුන් දඬුවම අසන විටත් ඇඟේ මයිල් කෙලින් වන එකකි.
'අත් පිටිපසට බැඳ ඇස් ආවරණය කර වේදිකාවට රැගෙන ආ ඔහුගේ ඇඳුම් සියල්ල වධකයා විසින් ගලවා දමා ඔහු පුටුවකට තබා ගැට ගසන ලදී. ඉන්පසු ඔහුගේ බෙල්ල කපා සිරුර බංකුවක දිගා කර කුඩා කෑලිවලට කපන ලදී. ඔහුට දඬුවම් ලබා දෙද්දී ඔහු කිසිම හැඟීමක් නොපෙන්වා සිටියේය. පසුව සිරුරු කොටස්, ඇඳුම් සහ පිහිය යකඩ පෙට්ටියක දමා පුළුස්සා එදින හවසම අළු මුහුදට විසිකරන ලදී' 

5 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...