Wednesday, July 13, 2016

මිනිසා, මිනිසාගේ හොඳම මිතුරාගේ, හොඳ මිතුරෙක්ද?









මිනිසා, මිනිසාගේ හොඳම මිතුරාගේ, හොඳ මිතුරෙක්ද?
මේ ලගකදී මගේ මිතුරෙකුගේ බල්ලා නැති වී, ඌ සොයා ගැනීමට, ඔහු දැරූ වෙහෙස සහ වියදම දැක, අපි සුරතල් බල්ලන්ට, මෙතරම් ආදරේ කරන්නේ ඇයි දැයි, කල්පනා කලෙමි.
ඉතිහාසය දෙස බැලුවොත්, සමහර විට, මෙය ජාන වල තිබෙන්නක් වන්නට පුලුවන. මක්නිසාද, ලගකදී මහාචාර්ය Peter Savolainen ස්විඩනයේ, රාජකීය තාක්ෂණ ආයතනය කරන ලද, සමීක්ෂණයකින් සොයා ගෙන ඇත්තේ, මෙයට අවුරුදු 33000 කට පෙර, ගිණිකොන ආසියාවේදී, වෟකයන් මිනිසා සමග මිතුරු වූ බවයි. 33000 ක් යනු පරම්පරා 1100 කි. හදවතේ පතුලෙන්ම බැදීමක් ඇතිවන්නට, පරම්පරා 1100 ක බැදීමක් හොදටම ප්‍රමාණවත්ය.
බල්ලා මිනිසාගේ හොදම මිතුරා බව, වචනයෙන් ප්‍රකාශ කලේ, ප්‍රශියාහි අධිරාජ්‍යයෙකු වූ,  දෙවැනි ෆෙඩ්රික් රජතුමාය (1740 – 1786). ඒ ඔහුගේ ඉතාලියානු ග්‍රේ හුන්ඩ් බල්ලා, තමාගේ හොදම මිතුරා බව ප්‍රකාශ කරමිනි.
 කෙසේ වුවත්, බල්ලා මිනිසාගේ හොදම මිතුරා බව ප්‍රකාශ කර, නඩු දිනූ  නීතිඥයෝද සිටියහ. ඒ, පසුව ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ, ජෝර්ජ් ග්‍රහැම් වෙස්ට්ය (1830 – 1904). ඒ ඔහුගේ සේවාදායකයෙකුගේ බල්ලෙකුට අසල්වැසියෙකු විසින්, වෙඩි තබා මැරූ විට, අලාභ ඉල්ලා දමා තිබූ නඩුවකයි. පහත දැක් වෙන්නේ, ඔහු ජූරි සභාව අමතා කල ප්‍රකාශයයි.

“ජූරි සභාවේ මහතුනි, මිනිසෙකුගේ හොදම මිතුරා, ඔහුට විරුද්ධ වී, ඔහුගේ නරකම සතුරා වීමට ඉඩ තිබේ. ඔහු ඉතා ආදරයෙන් ඇති දැඩි කරගත්, ඔහුගේ දූ දරුවන් යම් දිනක ඔහුට අකෟතඥ විය හැක. අපේ සතුට සහ හොද නම පරදුවට තබා, අප විශ්වාස කරන පුද්ගලයන් දෝහීන් වන්නට පුලුවන. මිනිසෙකු අත ඇති මුදල්, යම් දිනක නැති වන්නට පුලුවන, ඔහුට අවශ්‍යම වෙලාවේ, එම මුදල් ඔහු ගෙන් පිටතට පියඹා යන්නට පුලුවන. එතරම් නොසිතා කර කියන දෙයකින්, මිනිසෙකුගේ කීර්තිය මොහොතකින් විනාශ වන්නට පුලුවන. අප ජය ගන්නා විට, අප ලග දනින් වැටී ගෞරව කරන්නෝම, අප මත පරාජයේ සෙවනැලි වැටෙන්නට පටන් ගන්නා විටම, මුල්ම ක්‍රෝධයේ ගල, අපට ගසන්නට පසු බට නොවෙති.

අපේ ආත්මාර්ථකාමී ලෝකයේ, කිසි දින ඔහු අත්හැර නොයන, එසේම කවදා හෝ අකෟතඥ හෝ දෝහී නොවන, එකම මිතුරා බල්ලාය. දුකේ හෝ සැපේදී, රෝගී හෝ හොද සෞඛ්‍යයේදී, ඌ ඔහු අතහැර නොයයි. තමාගේ ස්වාමියා ලග ඉන්නට පුලුවන් නම්, ඌ ශීත සෟතුවේ තද සුළං සහ හිම හමද්දී, හිම ගොඩේ නිදා ගනී. තමාට දීමට කිසිම කෑමක් නැති අත, ඌ සිප ගනී.ඌ ස්වාමියා දරුණු ලෝකයත් සමග ගැටී, ඇතිවුනු කරගැට සහ තුවාල, ලෙව කයි. තමාගේ ස්වාමියා හිගන්නෙක් වුවද, ඔහු රාජ කුමාරයෙකු ලෙස සලකා, ඔහුගේ නින්ද ආරක්ෂා කරයි. 
අනෙක් සියලුම මිතුරන් ඔහු අතහැර ගියත්, බල්ලා සිටී. පෝසත්කම නැතිවන විට, කීර්තිය කඩා හැලෙද්දී, ඌගේ ආදරය අහසේ සදෙහි ගමන් මාර්ගය මෙන් ස්ථීරය. ඔහුගේ දෛවය, ස්වාමියා අනාථයෙකු, නිවාසයක් නැත්තෙකු සහ මිතුරන් නැත්තෙකු කරද්දී, විශ්වාසවන්ත බල්ලා ඉල්ලන්නේ එක් දෙයකි, ඒ තම ස්වාමියා අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමට, සතුරන් ගෙන් බේරා ගැනීමට, ඔහු සමග සිටීමට ඉඩ, පමණි.
 අවසාන ජවනිකාවේ, මරණය, ඔහුගේ ස්වාමියා තුරුලට ගෙන, ශීතල පොලොවේ වැලලූ විට, ඔහුගේ අනෙක් සියලු මිතුරන් ආපසු ගිය විට, තම අත් දෙක අතරේ දුක්මුසු ඇස් දෙකකින්, එහෙත්, මහත් විපරමෙන් සහ විමසිල්ලෙන් බලා සිටින්නේ, ඔහුගේ බල්ලාය; මරණයේදීත් උෘ, භක්තිමත්ය.“  

‘ඔග්ඩෙන් නෑෂ්‘ ගේ බල්ලන් ගැන කවියද, චමත්කාර ජනකය.

“බල්ලන් කදු ශිකර මෙන්, කෙලින්ය
විශ්වාසවන්ත වෙයි උන්, වඩා මිනිසුනට
මිනිසුන් ඇත්තෙන්ම දුෂ්ඨය, බොහෝ
 විය හැකියි හේතුව , වඩා, ප්‍රඥාගෝචර වීම
මේ එහි අවසාන පද පේලියයි


.
එහෙත් බල්ලන් පිළිබද කවි වලින්, ‘ඔටුනු මාණික්‍ය‘( jewel of the crown)  ලිව්වේ, නොබෙල් ත්‍යාගලාභී පැබ්ලෝ නෙරූඩාය. ඔහුගේ A dog has died, ඒ කවියයි.

මගේ බල්ලා මිය ගොසිනි
මම ඔහු වැලුලු වෙමි, මගේ වත්තේ
දිරා ගිය මැෂිම අසලින්ම

 යනු ඇත එලෙසටම මමත් යම් දිනෙක
නමුත්, ගොසිනි ඔහු හමත් සමගම, ඝණවු
 නරක පුරුදු සහ හොටු ගලන නාසයත් සමගින්
නොකලෙමි විශ්වාස , දිව්‍ය ලෝකයන් පිළිබඳව
භෞතික වාදියෙකු වූ මා, මිනිසුනට
පිලිගනිමි දැන්, දිව්‍ය ලෝකයක් තිබේයැයි
කෙදිනකවත් මට ඇතුල් විය නොහැකි
ඔව් මම පිලිගනිමි, බල්ලන්ගේ දිව්‍ය ලෝකය
මගේ බල්ලා, මා එන තුරු සිටින,
ගසමින් ඔහුගේ වලිගය පංකාවක් ලෙසට

කථා නොකරමි මම මෙහි ඇති දුක,  
වෙන්වූ බැවින් ප්‍රියයෙකුගෙන් ,
රදවා ගනිමින් ඔහුගේ අධිකාරිය
ලෙසට ඉත්තෑවෙකු, වහලෙකු නොව මිතුරෙකු ලෙසින්
දුන්නේ මිතුරුකම, දුරින් තරුවක් ලෙසට
හරියට අවැසි පමණට
බිදක් හෝ වැඩි නොකොට,
නැංගේ නැත මතට ඇඳුම්  මගේ
මයිල් සහ හොරි මා ඇග , දමන්නට
ඇතුල්ලුනේ නැත දනිහ මත මගේ
කාමයෙන් මත්වුනු අනෙක් බල්ලන් ලෙසින්

පුරුදුව සිටියේය, බලන්නට මා දෙස
සැලකිල්ල දක්වමින් මා වෙත,
හරියටම අවැසි තරම් සැලකිල්ල
මා වැනි මෝඩයෙකුට තේරුම් ගන්වන්නට
නාස්ති කරනා බව උගේ කාලය මා සමග
නමුත් ඒ බැල්මෙන්, මගේ බැල්මට වඩා පිරිසිදු
බලා සිටියේය ඔහු මා දෙස, මටම වෙන්කල බැල්මෙන් ඒ
ජීවිත කාලයම, උගේ රසවත් සහ දළ ලොමින් යුත්
සැමවිටම මා ලග, නොකර කිසිදා කරදර, නොඉල්ලා කිසිවක්

ඊර්ෂියා වූවේද මා කෙතරම්
ඇවිදිද්දී වැල්ලේ, උගේ වලිගයට
හුදෙකලා ශීත සෟතුවේ, නෙග්‍රා දූපතේ, කුරුල්ලන් පිරුණු අහස යට
පනියි, දඟලයි, මහත් සතුටින්
ශක්තියෙන්, ලැබුණු  සාගරයෙන්
අරමුනක් නොමැති මගේ බල්ලා, ඉව කරමින් දසත
ඔසවා ගෙන රන්වන් වලිගය ඔහුගේ, දෙමින් මුහුණ, මුහුණට මුහුණ, මුහුදු හිරිකඩට

 සතුටෙන් පිරි සැම  මොහොතෙකම
බල්ලනට පමණක් හැකි අයුරු සතුටු වන්නට,
තිබෙන නිදහසින් පමණක්

පෙනෙන විදිහට, බල්ලන් පිළිබද උනන්දුවක් තිබී ඇත්තේ, ප්‍රශියානු අධිරාජ්‍යයාට පමණක් නොවේ. මේ සිංහලේ අවසාන රජු වූ නරේන්ද්‍රසිංහ රජුන් (1707 - 1739), එකල මුහුදුබඩ පාලනය කල ලන්දේසීන් වෙත, යැවූ ලිපියකි. 

ස්වස්ති ශ්‍රී සමුර්ධි සම්හාර සමලංකෟත විශාල විමලතර කුශලබල සමන්විත ශ්‍රී වික්‍රමූර්ති ක්‍රමවික්‍රාම ප්‍රෑසප්ත රාජාධි රාජේන්ද්‍ර වූ උතුම් අපගේ දේවසුවාමි දරුවානන් වහන්සේගේ මහා වාසලට ඒකාන්ත පක්ෂ පිරමාන භක්තිප්‍රේමාති හාරාවනා තෟත්තුමභවයෙන් යුක්තව හොසින් සැදී යෙදී සිටිනා තුන්පේරුවේ නිලමක්කාර උන්නාන්සේලාට බොහෝ සේ දෙවියෝ වැඩ සලස්වා දෙනු පිනිස එවූ විපරම් පත්‍රයේ සරුපනම් ප්‍රතුවීශ්වර වූ උතුම් අපගේ දේවස්වාමී දරුවානන් වහන්සේගේ ක්‍රීඩා පරක්කු කාරනාවල් පිණිස දක්කවන හැටියට උස මහත ඇති කුක්කන් ගෙන් කික්කියන් ගෙන් කිහිප දෙනෙක්ද එසේම උස මහත ඇති කුකුලන් ගෙන් කිකිලියන් ගෙන් කිහිප  දෙනෙක්ද යන මෙකී දේ තමුන්නාන්සේලා විසින් තම නමින් පිටත්කර එවන්ට යෙදුනේ නම් බොහොම හොදේ. 

                                                                                 ඒවගත්  මෙසේම 
                                                      ජයශ්‍රීභජනවූ උතුම් අපගේ දේවස්වාමී                                                                                     දරුවාන‘ වහන්සේගේ මහා වාසල ප්‍රධාන රදළවරු වම්හ.

8 comments:

  1. රයිලි...කව්රු මාව දාල ගියත් උඹ යන්නෙ නෑ !

    ReplyDelete
    Replies
    1. උෟව උස්සන් යනකන් ඌ මොකදකෙරේ.අර හැට්ටේ අස්සේ තිබ්බ පර්ස්එක පික් පොකට් ගහද්දි හිටපු ගෑනි වගේද දන්නේ නැහැ හිටියේ

      Delete
  2. මිනිසුන් ළඟ නැති බොහෝ යහපත් ගුණාංග බල්ලන් සතුව ඇත.....ඔවුන් සැබෑ මිතුරන් තමයි....කිසිදා හැර නොයන...

    ReplyDelete
  3. බල්ලන් අපේ ජීවිතයේ ලොකු හිඩැසක් පුරවනවා. බල්ලන් කරන්නේ එකම වැරැද්දයි. ඒ ඉක්මනට මැරෙන එක විතරයි

    ReplyDelete
    Replies
    1. මම හිතුව ප්‍රා එයි කියල.. හැමදාම කියනව වගේ තමන්ගේ ලඟම හිතවතාගේ මරණය පස් හය වතාවක් වත් දකින්න වෙන එක කරුමයක්..

      Delete
  4. ඔව් , එක බල්ලකැ මැරැනු පසු බල්ලන් ඇතිකිරීම අතහැරදාපු මගේ යහලුවකු ඉන්නවා, ඒ දුක නැවත විදින්න බැහැ කියලා

    ReplyDelete
  5. බල්ලා කියන සතාට අපි අපේ ආදරේ සීමාවක් නැතුව දෙනවා.තව විදිහකට කිව්වොත් අපි අවංකව ආදරේ කරන්නෙ බල්ලට වෙන්න පුළුවන්.ඌ ආපහු ප්‍රශ්ණ අහන්නෑ,කීකරුයි වගේ ගති නිසා අපි උට කැමතියි.බල්ලා කියන්නෙ මිනිසාගේ පීඩනය මුදාහරින්න භාවිතාකරන සතෙක්.
    ජයවේවා..!!

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...