Sunday, July 10, 2016

කොලෙන් වසා අලි පිටරට පැටවීම.








කොලෙන් වසා අලි පිටරට පැටවීම.




අපේ ඉතිහාසයේ, මුලින්ම අලි වෙළෙදාමක් ගැන කියවෙන්නේ, 10 වන ශත වර්ෂයේ, මැද හරියේය. එකල ලාංකික වෙළෙන්දෝ, නැව් රැගෙන බුරුමයට ගොස්, බුරුමයෙන් අලි රිදී 1000 කට පමණ මිලදී ගෙන, ලංකාවට රැගෙන ආහ.ශ්‍රී ලාංකේය රජුගේ අධිකාරිය සහිතව පැමිණෙන සෑම වෙළෙද නෞකාවකටම, එක් අලියෙකු ත්‍යාග වශයෙන් පිරිනැමීමද, පුරුද්දක් වශයෙන් සිදුවිය. ( http://www.ft.lk/2012/12/15/the-first-navy-the-nation-raised/  ) එකල බුරුමයේ රජු විසින්, මෙම අලි වෙළදාමට සම්බාධක පැනවීම, ශ්‍රී ලංකාව විසින් බුරුමය ආක්‍රමනය කිරීමට ප්‍රධාන හේතුවක් විය. මෙම අවධියෙන් පසු, නැවත අලි වෙළදාම පටන් ගැනෙන්නේ, අපනයනයක් ලෙසය. ඒ පෟතුග්‍රීසීන් විසින් වෙරළබඩ පාලනය කරන කාලයේදීය.
ඔවුහු ලංකාවේ නොයෙකුත් රජවරුන් ගෙන් තෑගි ලැබෙන අලිද, වසරකට දෙවරක් මහා පරිමානයෙන් පවත්වන, අලි ඇල්ලීමේ ව්‍යාපාර වලින් (elephant corral), ලැබෙන අලි ඔවුන්ගේ වැඩ කටයුතු වලට අවශ්‍ය පරිදි තබාගෙන, ඉතිරිය අපනයනය කෙරිණ. පෟතුග්‍රීසි සහ ඕලන්ද කාලවලදී, වසරකට මෙම ප්‍රමාණය අලි 100/150 පමණ විය. බොහෝ විට මෙම අලි ඇතුන්, මාතර ප්‍රදේශයෙන් අල්ලා ගෙන, මන්නාරමේ බලකොටුව අසලින්, ඉන්දියාවට ගෙනයාම සදහා නැව් වලට පැටවිණ.
මොවුන් රැගෙන ගිය යාත්‍රා ‘ද්‍රෝනි‘ ලෙස හැදින්වූනු, සාමාන්‍යයෙන් ටොන් 40 ක පමණ, දල බරකින් යුක්ත කුඩා නැව් වර්ගයක් විය. මෑතකදී අල්ලා ගෙන, මෙල්ල කරගත් මෙම අලි ඇතුන් කැලේ මැදින් සති ගණනක්, මෙතරම් දුරක් රැගෙන යන ලද්දේ, හීලෑ අලින්ගේ උපකාරයෙන් වන අතර, මන්නාරමට ( https://goo.gl/maps/1MvK2TGUQpK2) පැමිණෙන විට, බොහෝ අලින්ගේ කකුල් වල තුවාල සිදු වී තිබුනු හෙයින්, ඒවා සනීප වන තුරු පැටවීම පරක්කු කලයුතු විය.
 කොතරම් දුර කැලේ රැගෙන ආවද, මේ ක්‍රියාවලියේ දුෂ්කරම අවස්ථාවට අලි වෙළෙන්දන් මුහුණ දෙන්නේ මෙතනදීය.
 ඒ, අලියා නැවට පටවා ගැනීමය!
මේ සදහා මුලින් යොදා ගත් ක්‍රමය වූයේ, හීලෑ අලියන් දෙදෙනෙකුට මැදි කරගෙන, බලයෙන් ද්‍රෝනියට නැංවීමය. එහෙත් මෙම ක්‍රමයෙන් අලියන් නැවට ඇතුල් කිරීමට, බොහෝ අපහසු වූ හෙයින් සහ අලියන්ට තුවාල වූ හෙයින්, මේ සදහා අලියන්ට කොලේ වසා නැවට පැටවීමට ක්‍රමයක් සොයා ගන්නා ලදි. ඒ, ද්‍රෝනිය සම්පූර්ණයෙන්ම වාගේ පිටතින්, අමු තල් අතු වලින් වැසීමයි. ජෙටියේ ද්‍රෝනියට එන මාර්ගයේ දෙපසද, මෙලෙස තල් අතු වලින් වසා තිබිණ මෙලෙස ආවරනය කල විට, අලියා මුහුද නොදකී. ඉන්පසු පැටවිය යුතු අලියා, ද්‍රෝනියට පසුපස හරවා සිටින්නට හැර, හීලෑ අලින් විසින් බෝට්ටුව දෙසට බලහත්කාරයෙන් තල්ලු කෙරිණ. පැටවිය යුතු අලියා, ටිකෙන් ටික පස්සට ගොස්, ජෙටියේ හා එක මට්ටමේ ඇති නැවේ තට්ටුවට, පසුපස කකුල් දෙක තබයි.
එහෙත්, මෙලෙස පැටවීමේදී දුෂ්කරම අවස්ථාව පැමිණෙන්නේ දැන්ය. අලියාට දැන් තමන්ගේ පිටුපස කකුල් දෙක තිබෙන්නේ, පොලොවේ නොවේ යැයි තේරුම් යයි. ඒ නිසා, ඉදිරිපස කකුල් දෙක, නැවේ තට්ටුවට නොගැනීමට, ඌ උගේ මුලු ශක්තියම යොදවයි. හීලෑ අලියන්ගේ තල්ලු කිරීම්, මිනිසුන්ගේ කෑ ගැසීම් හා වෙනත් ශබ්ද කිරීම් යෙදුවද, මෙලෙස, එක් අලියෙකු බෝට්ටුව ඇතුලට තල්ලු කිරීමට, දවසක් පමණ ගත වූ බව සදහන් වෙයි. අලි පස් දෙනෙකු පමණ පටවා ගත් පසු, ඉන්දියාවේ නැගෙනහිර වෙරළට රැගෙන යන අලි, එහිදී ඉන්දියාවේ, නොයෙකුත් සුලු රජවරුන්ට විකිණීම හෝ අරාබි වෙළෙන්දන් විසින් ගෙනා, අශ්වයන්ට මාරු කිරීමද සිදුවිය.

අලි වෙළදාමෙන් ලැබූ ලාභය, පෟතුග්‍රීසි හා ලන්දේසි සමයන්හි, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය.              

11 comments:

  1. හැනිබල් යුද්දෙට අරන් ගියෙත් මේ අලි ද දන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. හැනිබල් අප්‍රිකානු ඇත්තුත් යොදා ගත්තයි කියලයි හුඟදෙනා කියන්නෙ. North African forest elephant.
      කාසිවල ඉන්නෙ අප්‍රිකානු අලි

      https://en.wikipedia.org/wiki/War_elephant

      ඒත් ඔහුගේ අවසාන ඇතා ආසියානු කියලයි හිතන්නෙ

      Delete
  2. අලි මූදේ පීනන්නේ නැත්ද? අලිය මූද මැද්දට පන්නලා ගොඩ එන්න නොදී හිටියනම් ඌම බෝට්ටුවට නඟිවී නේ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට අයිති අන්දමන් දූපත් ගැන ලස්සන ඩොකියුමෙන්ට්‍රියක් බැලුවා.ඒ දූපත් වල ඉන්න අලි තව දූපතකට ගෙනියන්නේ පීනගෙන.

      Delete
  3. අලින්ට හොදට පීනන්ට පුලුවන්, ඒත් උන් කැමති දිශාවකට

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකම තමයි කරුමේ..අලිත් එක්ක බෑ බෑ මයි...!

      Delete
  4. අලින්ට ඉතිං ඒ කාලෙ ඉඳන්ම කෙනෙහිලිකම් ඉවරයක් තිබුණයැ.. හැබැයි ඉතිං මෙහෙමත් එකක් තියනව. දැන් ඔය කොච්චර කිව්වත් අලි මැරෙනවෝ කියල අලි ගහණය වැඩි බවක් කවුරු හරි කිව්ව මම අහගෙන.

    ReplyDelete
  5. අලි පෙරහරේ ගෙනයාම ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙකක පමණක් සීමා වූවක්ද?

    ReplyDelete
  6. අලි එහෙම සංවිධානාත්මකව පෙරහැරේ ගෙනියන එක ලංකාවේ තරම් ඉන්දියාවේ නැහැ.කේරලේ කෝවිල්වල අලි කිහිප දෙනෙක් අන්දලා, උත්සව වලට යොදා ගන්නවා.අලි ඇදුම්වල පාටයි ඩිසයිනුයි දැක්කහම හිතන්නට පුලුවන් ඒවා ගොඩක් කේරලයෙන් ආපු ඒවා කියලා. හෝලි උත්සව කාලෙට ඉන්දියාවේ ජායිපූර්වල අලි උත්සවයක් තියෙනවා, ඒක පෙරහැරක්ම නෙවෙයි. කොහොමටත් ඉතිහාසය පුරාම අපි තරම් අලියොත් එක්ක බැදිච්ච ජාතියක් නම්, ලෝකේ කොහෙවත් නැහැ.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...