Friday, July 1, 2016

ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයේ වැටීම හා ස්පීල්බර්ග් ජවනිකාව.




ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයේ වැටීම හා ස්පීල්බර්ග් ජවනිකාව.

අපි හැදුනේ වැඩුනේ චිත්‍රපටි සමගය. මසකට දෙකක් , තුනක් සිංහල චිත්‍රපට වේල්ස් හා වෙම්බ්ලි ශාලා වලද; වේල්ස් සිනමා ශාලාව ලංකාවේ වැඩිපුරම ආසන තිබෙන, හෝල් එක යැයි, අපි උදම් ඇනුවා මට මතකය. ඕඩ්යන් හා රීගල් ශාලාවල, දින දෙක තුනෙන් මාරුවන ඉංග්‍රීසි චිත්‍රපටිද; බොහෝ විට බටහිර චිත්‍රපට, කටුගස්තොට සීගිරි ශාලාවේ, දෙමළ සහ හින්දි චිත්‍රපටද, අපි වරද්දන්නේ නැතිව බැලුවෙමු.

අප වැඩියෙන්ම බැලුවේ, ඉංග්‍රීසි චිත්‍රපටය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ, ඒවා නරඹන්නන් ප්‍රමාණය අඩුවීම නිසා, දවස් දෙකෙන් තුනෙන් මාරු කිරීමය. කෝච්චියෙන් පැමිණෙන රීල් ගොන් කරත්තයේ ඕඩියන් වෙත ගෙන යනවා දැක්කොත් ඒ චිත්‍රපටය කුමක් දැයි කරත්ත කරු අසලට ගොස් ඇසුවෙමු.

 ක්ලින්ට් ඊස්ට්වුඩ්, චාර්ල්ස් බ්රෝන්සන්, ජේම්ස් කෝබොන්, ආදී නළුවන් අපේ වීරයෝ වූහ. මගේ මිතුරෙකු ක්ලින්ට් මෙන් ඇවිදින්නට, පටන්ගත්තේය. තවත් මිතුරෙකු බ්රොන්සන් මෙන් කොණ්ඩය කපා ගත්තේය. ගොපලු කොලුවන් මෙන් කථාව අඩුකර, මිතුරන් දෙස එක එල්ලේ, බලා සිටීම, ස්ටයිල් එකක් විය. ටියුෂන් යන බව ගෙදරට කියා, පාසැල ඇරුනු පසු, සත තිහකට තෝසේ දෙකක් කා, ඉන්පසු සත හැටක් ගෙවා, චිත්‍රපටිය බලා, සවස හය වනවිට ගෙදර යාම, අපේ පුරුද්ද විය.

සිංහල සහ හින්දි චිත්‍රපටත් පැමිණි විගසම, අපි බලන්නට පුරුදුව සිටියෙමු. එහෙත් ඒවා නිතරම බලන්නට නොලැබුනේ, චිත්‍රපට දින  75/100 චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම, සාමාන්‍ය සිද්ධියක් නිසාය.
ගාමිණී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, ටෝනි රණසිංහ, වැන්නන් අපේ හද දිනූ නළුවන් වූහ. එහෙත්, බටහිර චිත්‍රපටවල නළුවන් අපේ සිහින ලෝකයේ වීරයන් වූයේ, එම ලෝකය ඇත්තටම අපට සිහිනයෙන් පමණක් යා හැකි ලොවක් වූ නිසාය. 

දෙමළ චිත්‍රපටද අප ඉද හිට බලන්නට ගියෙමු. ඒවායේ බොළඳ  ජවනිකා සහ තාක්ෂණය සංසන්දනාත්මකව ඉතා පහල තත්වයක තිබුණු අතර, අපි ඒ ජවනිකා දැක සිනාසුනෙමු. කුමරික් කෝක්ටම් චිත්‍රපටියේ බියුටිෆුල් කාශ්මීර් සිංදුවේ, ඇදුම් සහ පසුබිමේ වර්ණය මතකයට නගාගෙන,  මට තාමත් සිනහ වෙන්නට පුලුවන.


එකල සාමාන්‍යයෙන් හොලිවුඩ් චිත්‍රපට සහ ලාංකික චිත්‍රපට අතර, තාක්ෂණික වශයෙන් ලොකු වෙනසක් තිබුනේ නැත. බොහොමයක් තාක්ෂණික අංගයන්, එක හා සමාන මට්ටමේ පැවතින. උදාහරණයක් වශයෙන්, ‘සන්දේශය‘ චිත්‍රපටය හා ‘මැගිනිෆිකන් සවන්‘ චිත්‍රපට දෙක බැලුවහොත් තාක්ෂණික අතින්, අඩු වැඩියෙන් සමානය. ‘වැලිකතර‘ සහ ‘රෙඩ් සන්‘ හා සසදා බැලුවහොත් තාක්ෂණික අතින්, වැලිකතර ඉදිරියෙන් සිටි බව මට හිතේ.


ඉන්පසු සිදුවූයේ කුමක්ද? හොලිවුඩ් නිෂ්පාදකයන් චිත්‍රපට හදන්නට දක්ෂ තාක්ෂණික අදහස් ඇත්තන්, යොදා ගන්නට පටන් ගත්හ. අපි එසේ නොකලෙමු. ටික කලකට පසුව, චීන, හින්දි, දෙමළ, සහ කොරියානු, වැනි රටවල චිත්‍රපට නිෂ්පාදකයන්ද, හොලිවුඩය අනුගමනය කලහ. අපි එක්තැනම සිටියෙමු. දැන් අපේ චිත්‍රපට නිෂ්පාදකයන්, අපේ චිත්‍රපට බැලීමට, නරඹන්නන් නැති වූ පසු, රජයට බනිති. ඔවුනට තාක්ෂණය නැතැයි අපට කියති. 

ඇත්තෙන්ම තාක්ෂණය; නූතන ලෝකයේ; විශේෂයෙන්ම, අලුත් තාක්ෂණය, කෝටි ගණන් වියදම් කර ලබා ගත යුත්තක් නොවෙයි. හිත ඇත්නම් පත කුඩාද කීවාක් මෙන්, අලුත් අදහස් ඇත්තෙකුට, හිතන්නට පුලුවන් දේවල්ය. වැදගත් වන්නේ අදහසය. අප ඉගෙන ගන්නා කාලයේ කීවේ, තොරතුරු රත්තරන් වැනිය කියාය. නමුත් දැන් ප්ලැටිනම් කාඩ් ලැබෙන්නේ අලුත්  අදහස් ඇත්තන්ටය.


මෙයට හොද උදාහරණයක් මම දැක්කෙමි. 80 දශකයේ මුල් කාලයේ අතිශය ජනප්‍රිය වූ,ස්ටීවන් ස්පීල්බර්ග් ගේ E T චිත්‍රපටය අප බොහෝ දෙනෙක් නරඹා ඇත්තෙමු. මෙහි ‘ස්පීල්බර්ග් මූමන්ට්‘ යැයි දැන් කියවෙන විශේෂ ජවනිකාවක් ඇත්තේය. E T බැලූ ඕනෑම කෙනෙකුට, මෙම චිත්‍රපටයේ උච්චතම ජවනිකාව කුමක්දැයි ඇසුවහොත්, නොවනුමානයෙන්ම එය එලියට් E T සමග සඳ පසුබිමේ  බයිසිකලය පැදීම, යැයි නොවනුමානයෙන් කියනු ඇත.

මම මේ චිත්‍රපටිය බලද්දී, මේ දර්ශනය දැක, මෙය චිත්‍රපටකරනය කිරීමට කොතරම් උසස් තාක්ෂණයක් භාවිතා කරන්නට ඇත්දැයි මවිතයෙන් කල්පනා කලෙමි.

ඉන් අවුරුදු 10 කට පමණ පසුව, මට එක්සත් ජනපදයේ පාඨමාලාවක් සදහා යාමට ඉඩ ලැබිණ. එහිදී එම පාසැලෙන් අප යුනිවසල් ස්ටුඩියෝ වෙත රැගෙන ගියහ. එහිදී මෙම ජවනිකාව දර්ශන ගත කල තාක්ෂණය හා ආකාරය බලන්නට ඉඩ ලැබිණ.

අහෝ! මා චිත්‍රපටිය බලද්දී, ඇතිකර ගත් සියලු බලාපොරොත්තු සුන් වී ගියේය. ඒ දර්ශනය රූගත කර ඇත්තේ, බයිසිකලයක් කම්බ්යකින් එල්ලා, කම්බිය දිගේ රැගෙන යාමෙනි. අප  උසස් තාක්ෂනය යයි සිතා අපට එය නැතැයි කියා කනගාටු වන්නේ මේ තාක්ෂණයය.      

4 comments:

  1. නුවර නං කලංසූරිය ටත් ආදරේ වෙන්ට ඇති

    ReplyDelete
  2. පේරාදෙණිය තුසිත හෝල් එකේ E T බලද්දී , හිතට වැදුන තැන ඒකම තමයි .....එලියට් ගේ විතරක් නෙමෙය් ,මගෙත් ඇස් වැහුනා...

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...