Tuesday, April 4, 2017

ශ්‍රී ලංකාවේ අවසාන රජුගේ ප්‍රථම සහ අවසාන මුහුදු ගමන. සම්පූර්ණ කථාව.




                                                     තුවක්කු 74 ක එකල නෞකාවක්.



ශත වර්ෂ ගණනක් බලවත් අධිරාජ්‍ය කිහිපයක් සමග යුද්ධ කිරීමෙන් පසු, 1815 දී අවසාන ස්වාධීන ශ්‍රී ලාංකික රාජධානිය වූ කන්ද උඩරට කොන්දේසි සහිතව ඉංග්‍රීසීන්ට යටත් වූ අතර, එවකට මහනුවර පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. තමන්ගේ රාජ්‍යයේ අවසාන කාලය තුල ඉතා කෘර පාලනයක් ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, විශේෂයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා මද්දුම බංඩාර ඇතුලු එම පවුලේ සාමාජිකයන් මරා දැමූ ආකාරය ගැන මුළු කන්ද උඩරටම කම්පාවට පත්ව සිටියහ. 




ඉංග්‍රීසීන් කන්ද උඩරටට ඇතුල් වන විට බොහෝ වැසියන් ඔවුන්ගේ පැමිණීම ගැන සතුටු වූහ. මෙයට අවුරුදු දෙකකට පෙර, (1813 දී) ඉංග්‍රීසීන්ට අයත් මුහුදු ප්‍රදේශයට ගොස් ඔවුනට විරුද්ධව දරුණු සටන් කල උඩරැටියන් පවා ඉංග්‍රීසි හමුදාව 1815 දී මහනුවරට ඇතුලු වන විට කිසිදු විරෝධයක් නොදැක්වූයේ, බොහෝ විට කෘරකම් නිසා රජු බලවත් මහජන අප්‍රසාදයට පත්ව සිටි නිසා විය හැක. 


ඉංග්‍රීසීන් මහනුවරට ලගා වන විට ආරක්ෂක ස්ථානයකට පලා ගිය රජු හා රාජකීය පවුල, මැද මහනුවර කුඩා නිවසක ලැගුම් ගත්හ. මේ බව ආරංචි වූ රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ එක්නැලියගොඩ නිළමේ තම පිරිවර සමග පැමිණ රජු හා රාජකීය පවුල අත්අඩංගුවට ගත්තේය. එකල බලවත් අප්‍රසාදයට පත්ව සිටි නිසා රාජකීය පවුලට සාමාන්‍ය ජනතාව ඉතාම පහත් ලෙස සැලකූහ. 


මේ බව ආරංචි වූ ඉංග්‍රීසි නිලධාරීහු රජු හා රාජකීය පවුලට අවශ්‍ය  ආරක්ෂාව සලසා, රාජකීය පවුලකට ගැලපෙන පරිදි ගෞරව සහිතව එකල ඉංග්‍රීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹට රැගෙන ගියහ. ඉන්පසු රජු ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශය වෙත පිටුවහල් කිරීමට තීරණය කෙරුණි. මේ සදහා කොන්වේලිස් යන තුවක්කු 74 කින් සමන්විත වූ ඉංග්‍රීසි නෞකාව යොදවා ගත් අතර, ඉංග්‍රීසීන්ගේ සිවිල් සේවා නිලධාරියෙකු වූ විලියම් ග්රැකන්ඩ්විල් මහතා එම ගමනේදී රජුගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කලේය. 


එකල වූ ඉංග්‍රීසි ලිපි ලේඛන අනුව පහත සදහන් පුද්ගලයන් රාජසිංහ රජුගේ ලගම ඥාතීන් බව සලකා රටින් පිටුවහල් කිරීම සදහා ඉංග්‍රීසි පාලකයන් විසින් තීරණය කරන ලදි. 

1.රජුගේ බිසවකගේ පියා වූ ගම්පොල නායක්
2.රජුගේ බිසවකගේ පියා වූ සින්නදීගල නායක්
3.රජුගේ සහෝදරයෙකු වූවෙන්කතසාමි නායක්
4.රජුගේ සහෝදරියකගේ දියණියකගේ ස්වාමියා වූ ජගදේවි ඇලිගරී සාමි
5.රජුගේ ඥාතියෙකු වූ අයිලේ නායක්
6.රජුගේ සහායකයෙකු වූපෙරුමාල් නායක්
7.පෙරුමාල් නායක්ගේ පුත්‍රයා වූ කවුනීර් 
8.රජුගේ නැන්දනිය වූ නවුනම්මා 
9.රජුගේ ඥාති සහෝදරියක වු වෙන්කෙම්මා 
10.අමාතැනී 

මහනුවර සිට කොළඹට එන ගමනේදී, රජු කිහිප වතාවක්ම එකල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රව්‍රන්රිග් මුණ ගැසී තමන් විසින් සඟවා ඇති විශාල ධනය ඔහුට භාරදීමට අවශ්‍ය බව තමන් රැගෙන යමින් සිටි ඉංග්‍රීසි නිලධාරීන්ට දන්වා සිටියේය. නමුත් ආණ්ඩුකාරවරයා රජු මුණ ගැසීමට පැමිණියේ නැත. තම ධනය නොලැබුණද රජුට ඉංග්‍රීසීන් විසින් දක්වන ලද ගෞරව හා උපකාර වල කිසිදු වෙනසක් සිදු නොවන බව රජු වෙත ආණ්ඩුකාරවරයා විසින් දන්වා සිටින ලදි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා රජු රටෙන් පිටවන තෙක්ම ඔහු මුණ ගැසීමට පැමිණියේ නැත. 


1815 මාර්තු මස 06 වන දින, කොළඹට පැමිණි රාජකීය පිරිස ඔවුන් ඉන්දියාවට පිටුවහල් කරන තෙක් කොළඹ කොටුවේ ගේට්ටුව අසල නිවසක ලැගුම් ගෙන සිටියහ. එහිදී රජුගේ ආහාරය සදහා දිනපතා ලබා දුන් ආහාර වර්ග මෙසේය.


         1. මුතු සම්බා හුන්ඩු     - 8               2.       බටර් කොටස්           -  ½
3.කරවල                    -  1               4.       කුම්බලාව                -  6
5.පොල් ගෙඩි             -  60             6.       එලවළු වර්ග            -  8 
7.බුලත් පුවක්                                  8.      සාදික්කා
9.කරාබු නැටි                                  10.     කිරි බෝතල්           -  3
11.තැඹිලි                   -  5                12.     දොඩම්                   -  8
13.දෙළුම්                   -  5                14.      සීනි                       -  ½
15.සූකිරි                    -1/2               16.       තෝර මාළු           -  1
                           

         මෙය රජුගේ පුද්ගලික අවශ්‍යතා සදහා වන අතර, රාජකීය පිරිවරට වෙනම ආහාර වර්ග සැපයිණ. රජුගේ මෙම ආහාර සදහා දිනකට එකල රුපියල් 900 ක මුදලක් ඉංග්‍රීසි ආණ්ඩුවට වියදම් වූ බව සඳහන් වේ. 


1816 ජනවාරි 24 වන දින ඉන්දියාව බලා යාමට ගමන් ඇරඹිණ.රජුගේ කණ්ඩායම 60 ක් පමණ විය. වැඩිමහල් බිසෝවරු දෙදෙනෙක්, එකල ගම්පොල නායක් යනුවෙන් හැඳින්වූ ගම්පොල ප්‍රාදේශිය නායකයෙකුගේ දියණියන් වූහ. අනෙකුත් බිසෝවරු දෙදෙනා, දීඝල් සාමී නම් වූ රජුගේ නෑයෙකුගේ ඉතා අඩු වයස් කුමාරිකාවන් දෙදෙනෙකු වූ අතර, රජුගේ බිසෝවරුන්ගේ සහෝදරයන් හතර දෙනෙකුද මේ සමග විය. 


මෙදින රජු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ සුදු පැහැති අරාබි අශ්වයන් දෙදෙනෙකු යෙදූ විවෟත අශ්ව කරත්තයේ ගමන් කල අතර, ඔහු රන්වන් පාට නූල් වලින් මසා තිබූ රතු සිල්ක් රෙද්දක් හා දිග සිල්ක් කෙලවර රන් නූලෙන් මසන ලද සිල්ක් උඩ ඇඳුමක් සහ ඉතාමත් අලංකාර වූ හිස් වැසුමක්ද පැළද සිටියේය.  


අනෙකුත් රාජකීයන් දෝලාවන්හි ගමන් කල අතර, විශාල පිරිසක් මෙම රාජකීය කණ්ඩායම පිටුවහල් කිරීම නැරඹීම සදහා පැමිණ සිටියහ.  

රජුගේ මෙම ගමන් කිරීම නැරඹීම සදහා පැමිණි පිරිසෙන් සමහරෙකු ඔහුගේ අශ්ව රථය ගමන් කරන ආකාරය නැරඹීම සදහා මාර්ගය උඩින් වැටී තිබූ ආරුක්කුවක් මත නැගී රජුගේ ගමන් කිරීම නැරඹීම බලාපොරොත්තුවෙන් සිටි අතර, මෙය දුටු රජතුමා තමා ගමන් කල වාහනය නවතා රජෙකු වශයෙන් ජනයාට පහතින් තමන්ට ගමන් කල නොහැකි නිසා එම ආරුක්කුව උඩ සිටින පිරිස ඉවත් කරන ලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.  

ඔවුන් එලෙස ඉවත් කල පසු ආරුක්කුව තුලින් නැවත ගමන් කල රජු හා පිරිස, කුඩා බෝට්ටු වලින් කොන්වේලිස් නෞකාව වෙත ගෙන යන ලදහ. බෝට්ටු ජැටියේ සිට තම බිසෝවරුන් යාත්‍රාවට ගොඩ වූ පසු තමන්ගේ පාවහන් ගලවා රාජසිංහ රජු යාත්‍රාවට ගොඩ වූයේය. ඉන්පසු ටික වේලාවකින් යාත්‍රාවේ බඳ මත සිට ගෙන අහස දෙස බලා කල්පනා කරමින් සිටි රජු මද සිනහවක් පා අවරෙහි පනවා තිබූ අසුනෙහි අසුන් ගෙන තමන් ගමනට සූදානම් බව යාත්‍රා කරුවන්ට දැන්වීය. එකල කොළඹ වරායක් නොතිබුන නිසා රජු හා රාජකීය පවුල රැගෙන ගිය යාත්‍රාව තරමක් ඈතින් නැංගුරම් ලා තිබුන නෞකාව වෙත රළු මුහුදේ ගමන් කිරීමට සිදු වූ නිසා රජු හා පිරිස මහත් විඩාවට පත්වූහ. 


රජු සහ රැජිණියන් ගමන් කල යාත්‍රාවේ රන් පැහැයෙන් එම්බ්‍රොයිඩර් කරන ලද කොළ පැහැති සැටින් වියනක් සවිකර තිබුණි. රාජකීය පිරිස ගමන් කල බෝට්ටුවෙහි අවරය සුදු පැහැති වටිනා බුමුතුරුණු යොදා ආවරණය කර තිබුණි. එම යාත්‍රාව පැදවීමට අලංකාර නිළ ඇඳුමකින් සැරසුණු නාවිකයන් පිරිසක් යොදවා තිබිණි. 


  කිසි දිනෙක මුහුදේ ගමන් කර නොතිබූ රජු හා පිරිස සැර මුහුදේ ප්‍රථම වරට ගමන් කිරිම ඔවුනට ඉතා අපහසුදායක සහ දුෂ්කර වූවාට කිසිදු සැකයක් නැත. තමන්ගේ මාළිගයේ ඉදිරි පිටින් කිසිම හේතුවක් සිතා ගත නොහැකි තම යටත් වැසියන්ගේ බලවත් අප්‍රසාදය මත විශාල කෘතීම ජලාශයක් සාදවා එය කිරි මුහුද යැයි නම්කර තමන්ටම පුද්ගලික මුහුදක් සාදවා ගත් රාජසිංහ රජු ඇත්තෙන්ම මුහුදු ගමනක යෙදුනේ මෙදිනය. 


බෝට්ටු නැව අසලට පැමිණි විට රාජකීය කණ්ඩායම වරකට කෙනෙකු බැගින් නැවට ඔසවනු ලැබීය. ඔහුගේ පවුලේ සියළු දෙනා ඉහලට ඔසවන තෙක් බෝට්ටුවේ රැදී සිටි රජතුමා අවසානයේ තමන්ද නැව මතට එසවීමට අවසර දුන්නේය. රජතුමා නැව මතට පැමිණි අවස්ථාවේ ඔහුට ගෞරව කිරීමට නෞකා තට්ටුව මත තූර්ය වාදක කණ්ඩායමක් සංගීතය වාදනය කල අතර, නැවේ කපිතාන්වරයා වූ ආර්ඕ බ්‍රීක් මහතා ඉමහත් ගෞරවයෙන් රජු පිළිගත්තේය. රජු නැවේ තට්ටුව මතට පැමිණි පසු අවිගත් නැවියන්ගේ ගෞරවාචාර පෙල ගැසීමක් තුලින් රජු හා රාජකීය පිරිස ඔවුන් සදහා වෙන් කර තිබූ විශේෂ කාමර පෙලට කපිතාන්වරයා විසින් රැගෙන ගිය අතර, ඇඳක් මත වූ කොට්ටයක් දුටු රජතුමා වහා ගොස් ඒ මත අසුන් ගත්තේය. රජුගේ මව සහ නැන්දම්මාවරු හා බිසෝවරු එම කාමරයේම එක් කොනකට වී අසුන් ගත්හ. 
රජු හා පිරිවර සදහා විශේෂයෙන් සකස් කර තිබූ කාමර වලට ඔවුන් ගෙන ගිය පසු, රජතුමා ඒ අතරින් දකුණු පස වූ විශාල කාමරය තමන් සදහා තෝරා ගත්තේය. තවත් කාමරයක් තම බිසෝවරු සදහාද, ඊලග කාමරය මව් බිසව හා නැන්දනිය සදහාද තෝරා ගෙන කෙලවර තිබූ කාමරය තම ප්‍රධාන උපදේශකට ලබා දුන්නේය. 

අනෙකුත් කාමර රජුගේ පිරිවර විසින් ඔවුනට අවශ්‍ය පරිදි තෝරා ගත්හ. මුල් දිනයේම මෙම ගමන බාරව කටයුතු කල සිවිල් නිලධාරි ග්‍රැන්විල් මහතා රජු හමු වී රජුගේ භාෂා පරිවර්තක වූ මුදලියාර් ජෝෂප් ද සිල්වා මගින් රජුගේ සුව දුක් විමසුවද, රජු ඔහු එතරම් ගණනකට නොගෙන කාමරය තුලට වී සිටියේය. 

පසුදින උදෑසන රාජකීය ලැගුම්හල තුලින් ආහාර පිසින සුවඳ වහනය වූ අතර, ග්‍රැන්විල් මහතා රජුට යම් අවශ්‍යතාවයක් ඇත්නම් තමාට පැමිණ. රජතුමා හමු විය හැකි බව දැන්වීය. එහිදී රජතුමා ඔහුව හමුවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් එහෙත් බිසෝවරුන් මුහුදු අසනීපයෙන් (Sea Sickness) වලින් පෙලෙන බවත්  ග්‍රැන්විල් මහතාට දන්වා යැවීය
සෑම දිනකම උදයේ මෙලෙස ග්‍රැන්විල් මහතා රජු මුණ ගැසීමට අවසර ඉල්ලා පණිවිඩ යැව්වද රජතුමා දින කිහිපයක් ගත වන තෙක් ඔහු මුණගැසීම ප්‍රතික්ෂේප කලේය. 

දින කිහිපයකට පසු රජතුමා මොහොතකට ඔහු මුණ ගැසීමට අවශ්‍ය යැයි පවසා කාමරයෙන් එළියට පැමිණියේය. එවිට රජතුමා රත්තරන් නූලෙන් වාටි දැමූ මුසලින් රෙද්දක් ඉණ වටා ඔතා කෙලවරක් තම වම් උරහිස උඩින් දමා උස ලී සෙරෙප්පු දෙකක් පැලද සිටියේය. ග්‍රැන්විල් මහතා රජුගේ සුව දුක් හා වෙනත් කරුණු ගැන ඇසූ ප්‍රශ්න වලට කිසි සැකයකින් තොරව උස් හඩින් කෙටි පිලිතුරු දුන් රජතුමා, කිසි විටෙකත් ග්‍රැන්විල් මහතාගේ මුහුණ දෙස කෙලින් නොබැලුවේය. 

ග්‍රැන්විල් මහතාගේ හිසට උඩින් ඈත පිහිටි යමක් දෙස බලන ලෙසින් කෙලින් බලා සිටි රජතුමා බොහෝ විට එසේ කරන්නට ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු දෙස කෙලින් බැලීම රජෙකුට නොගැලපෙන්නේ යැයි සිතූ නිසා විය හැක. 

ජනවාරි මස 29 වන දින රජුගේ කාමරය දෙසින් කෙනෙකුට පහර දෙනවා වැනි ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරීමට ග්‍රැන්විල් මහතා ගොස් ඒ ගැන රජතුමා ගෙන් විමසූ විට, තමන්ගේ බිසවකට පහර දුන් බව රජතුමා පැවසීය. ‘කොන්වොලිස්‘ නෞකාවේදී කාන්තාවන්ට පහර දීම සම්බන්ධයෙන් රජුට අවවාද කල අතර, මින් පසු එලෙස පහර නොදෙන ලෙසද රජු ගෙන් ඉල්ලීය. 

එයට රජු එකඟ වූ අතර, ඉන් පසු දින 17 ක් ගත වූ මුහුදු ගමනේදී මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවීය. ජකවාරි 30 වන දින, රජතුමා අසනීප ගතියෙන් පසු වුවත් නෞකාවේ වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඔහු බලවත් හිසේ අමාරුවකින් පෙලුනු හෙයින් ඇස් ඇරීමටද පවා අපහසු බව දන්වා සිටියේය. මේ සදහා ග්‍රැන්විල් මහතා, සුවඳ ලුනු (Smelling Salt) ලබා ගැනීමට යෝජනා කල අතරරජතුමා එයට කැමැත්ත පල කලේය

රජතුමාට ඒවා ලබා දුන් විට කොපමණ ප්‍රමාණයක් පානය කල යුතු දැයි රජතුමා විමසා සිටියේය. ලුනු පානය කිරීමට නොව ආඝ්‍රහණය කිරීමට බව දන්වා සිටින ලදි. පසුව ලුනු ආඝ්‍රහණය කල නමුත් එයින් තමනට කිසිදු සුවයක් නොමැති බවද, තමන්ගේ හිසේ අමාරුවට ඉන් කිසිම පිහිටක් නොවූ බවද දන්වා සිටියේය.   

මේ වන විට දවස් 7 ක් පමණ මුහුදේ ගමන් කර, තවමත් ගොඩබිමක් දක්නට නොලැබුන හෙයින් ඉංග්‍රීසීන් තමන් රවටා එංගලන්තයට ගෙන යන්නේ යැයි සැකයක් රජුට පහල වී, ඒ පිළිබඳව ග්‍රැන්විල් මහතා ගෙන් විමසා සිටියේය. එය එසේ නොවන බවද, රජු ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, ග්‍රැන්විල් මහතා විසින් රජතුමාට සහතික කර සිටියේය.

පෙබරවාරි මස 01 වන දින රජු හොඳ සනීපයෙන් පසු වූයෙන් කපිතාන් ඕබ්‍රික් විසින් තමන්ගේ කාමරයට පැමිණ පිරිසිදු වාතයෙහි තරමක කාලයක් විවේකයක් ගත කරන මෙන් රජතුමා ගෙන් ඉල්ලා සිටියේය. රජු එය පිළිගෙන කපිතාන්ගේ කාමරයට තම බිසෝවරුන් සමග පැමිණ ඔටෝමාන් (තුර්කි) කොට්ටයේ අසුන් ගත් අතර, බිසෝවරු ඔහු අසල සිටගෙන සිටියහ.

ටික වේලාවකට පසු රජතුමාට නෞකාවක් මුහුදේ ගමන් කරන ආකාරය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය විය. කපිතාන් ඕබ්‍රික් පරිවර්තකයෙකු මාර්ගයෙන් නෞකාවේ උපකරණ සියල්ලද විශේෂයෙන් නෞකාව හැසිරවීමට හා එක් මාර්ගයක තබා ගැනිමට උපයෝගී කර ගන්නා රඩර් උපකරණ පිළිබඳව පැහැදිලි කල අතර, රජු ඉතා වුවමනා වෙන් හා විමසිලිමත්ව අසා සිටියේය.
රජතුමා විසින් සියලු කරුණු හොඳින් තේරුම් ගත් බව පෙනෙන්නට තිබුණි. රජතුමා කිසි විටෙක යම් කරුණක් සම්බන්ධව දෙවරක් විස්තර කරන්නට ඉඩ නොදුන් අතර, අවසානයේ මුහුදු ගමන් හා නෞකාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සියලුම කරුණු තමන් හොදින් තේරුම් ගත් බව ප්‍රකාශ කලේය.
ඉන් පසු රජතුමා  ගෙන් ඇහැලේපොල නිළමේ තුමා ගැන විමසින. ඔහු දැනට ලැගුම් ගෙන සිටින ස්ථානය පිළිබඳව විමසා, “ඇහැලේපොලට මම සැලකුවේ, මගේ පුතෙකුට වගේ. නමුත් ඔහු මට කරපු දේ ඔබට පෙනෙනවා නේද? යම් දිනෙක ඉංග්‍රීසීන්ටත් ඔහු මේ ටික කරයි.“ යනුවෙන් පැවසීය.

    මුරුසියස් දිවයිනේ ඇති ඇහැලේපොල අධිකාරමගේ සොහොන.

ඉන්පසු රජතුමා ගෙන් ඇහැලේපොල ඔහුට විරුද්ධ වීමට හේතු විමසන ලදි.
“මම ඔහුට කල උදව් වලට කවදාවත්ම මට ප්‍රති උපකාර කරන්නට බැරි නිසා ඔහු මට විරුද්ධව ආයුධ ගත්තා. මම මුලින්ම තේරුම් ගත යුතුව තිබුනා රජ කෙනෙකු සාමාන්‍ය මිනිසෙකුට රජ කෙනෙකුට හා සමාන බලයක් කිසිම දිනෙක නොදිය යුතු බවට. මම දෙවරක් ඔහුට මරණ දඬුවම දිය යුතුව තිබියදීත් සමාව දුන්නා.“ යැයි පැවසීය.   
ඉන් පසුව මොල්ලිගොඩ නිළමේ තුමා ගැන ඔහු ගෙන් විමසන ලදි.
“ඔහු හොද මිනිහෙක් , නමුත් ඔහු බුද්ධිමත් කෙනෙකු නොවේ. ඔහු ඉංග්‍රිසින්ට උදව් කිරිමට පොරොන්දු වුවා නම් ඔහු එම පොරොන්දුව අනුව කටයුතු කරයි. නමුත් ඔහු එතරම් ප්‍රයෝජනවත් කෙනෙකු නොවෙයි’’ යනුවෙන් පැවසිය.
ඉන්පසු රජතුමා තමන්ගේ කාමරයට යැමට සුදානම් වී ග්‍රැන්විල් මහතා රජු සමග කථාබහ කරන ආකාරයෙන් ඔහු කිසි දිනෙක එංගලන්ත රජ වාසලෙහි රජුත් සමග සේවය කර නැති කෙනෙකු බව පෙනෙන බව පැවසීය.
පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.


ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔහුට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය වෙත  ගියේය.




පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.
ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. 

ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔවුන්ට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය  බලා ගියේය.

ඉන්පසු එක් දිනෙක තමනට ආහාරයට ලැබුනේ එලවළු 05 ක් පමණක්ය කියා රජු කෝපයට පත්ව සිටියේය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී එලවළු වර්ග බොහොමයක් කල් ගතව නරක් වී ඇති බවත් පරිභෝජනයට ගත හැකිව තිබුනේ එලවළු වර්ග 05ක් පමණක් බවත් පෙනී ගියේය. කපිතාන්වරයා හා ග්‍රැන්විල් මහතා හොඳින් කරුණු පෙන්වා දුන්නද රජුගේ කෝපයේ අඩුවක් දක්නට නොලැබිණ. 

ඔහු ඉංග්‍රීසීන්ට තදින් බැණ වැදුණි. එහෙත් භාෂා පරිවර්තකයන් ඉංග්‍රීසී නිලධාරීන්ගේ හිත් නරක්වේ යැයි බියෙන් බොහොමයක් දරුණු අපහාසාත්මක වචන පරිවර්තනය නොකරන බැව් පෙණුනි.
පසුව තම කාමරයටද ගොස් බොහෝ වේලාවක් යන තෙක් ඔහු කෝපයෙන් කෑ ගසනු ඇසුණි.

පසු දින එනම් පෙබරවාරි මස 08 වන දින රජතුමාගේ කෝපය අඩු වී තිබූ අතර, ඔහුට නැවේ පසු පසට වී පිරිසිදු වාතයේ රැදී සිටීමට අවශ්‍ය යැයි දන්වන ලදි. නැවේ අවරය ඒ සදහා පිළියෙල කරන ලද අතර, රජතුමා තම පිරිවර සමග බොහෝ වේලාවක් නිශ්ශබ්දව මුහුද දෙස බලා සිටියේය. රජතුමා මෙලෙස නිතරම මුහුද දෙස බලා නිශ්ශබ්දව කල්පනා කිරිමට කැමැත්තක් දැක්වීය.

මෙලෙස මුහුදු ගමන ගෙවා වෙරළට පැමිණි රජතුමා මදුරාසි ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එහි ටවුන් මේජර් වරයා වූ කැප්ටන් මැක්ඩොනල්ඩ් විසින් පිළිගන්නා ලදි.

රජතුමා හා පිරිස ඉංග්‍රීසී ආණ්ඩුවේ නිලධාරීන් විසින් වෙල්ලෝර් ප්‍රදේශයට රැගෙන යන ලදි. එහිදී ඔහුව ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද රාජධානියන්හි රාජ්‍ය උරුමක්කරුවන් සදහා වෙන් කර තිබූ මාළිගා 05 කින් එකක නවත්වන ලදි. රාජසිංහ රජතුමාගේ මාළිගාව (මහනුවර මාළිගාව) යන නමින් හදුන්වනු ලැබීය. අනෙකුත් මාළිගයන් අතර, එම මාළිගාවල වාසය කල සිරකරුවන් ගේ නම් අනුව ‘ගුම්සූර් මාළිගය‘, ‘තිප්පු මාළිගය‘, සහ ‘පිල්කොන්ඩේ මාළිගය‘, යනුවෙන් හදුන්වනු ලැබීය. 

                                      වෙල්ලෝර් බලකොටුව
රජතුමා හා රාජකීයයන් ලැගුම් ගත් එම මාළිගාව වෙල්ලෝර්හි බලකොටුවක් ඇතුලත පිහිටා තිබුණි. බලකොටුව ඇතුලත රාජකීය පවුලට නිදහසේ ගත කිරීමට ඉංග්‍රීසීන් විසින් ඉඩ දී තිබූ හෙයින්  රජු වෙනුවෙන් බලකොටුව තුල ඔහුගේ ගමන් බිමන් සදහා දෝලා ඔසවන්නන් දොලොස් දෙනෙකුද සමග දෝලාවක්ද ලබා දෙන ලදි. රාජකීය පවුලේ පිරිස් නිදහසේ පිටතට යාම වැලැක්වීමට ප්‍රධාන බලකොටුවේ තරමක ආරක්ෂාවක් යොදා තිබුණි. 

රජුගේ හා රජ පවුලේ සේවය සදහා 40 ක පමණ සේවක පිරිසක් යොදවන ලදි. ඒ අතර පුද්ගලික වෛද්‍යවරයෙකු හා කරණවෑමියෙකුද විය. එම පුද්ගලික වෛද්‍යවරයාට සහ කරණවෑමියාට මසකට රුපියල් 5.00 ගණනේ වැටුප් ගෙවූ බව සදහන් වේ.

රජුගේ හා රජ පවුලේ වියදම් සදහා ඉන්දියානු ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරන ලද අතර, 1816 අගෝස්තු මස රජුට ඔටුන්නක් සාදවා ගැනීමට හා තම බිසවනට ත්‍යාග දීම සදහා රන් ආභරණ මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටි විට, ඔටුන්න සෑදීමට අවසර නොදුන්නද ආභරණ සෑදීමට පගෝදි 500 ක් ඉංග්‍රීසී රජයෙන් ලබා දෙන ලදි. 

1817 රජු සහ රාජකීය පිරිස වෙල්ලෝර් බලකොටුවෙන් නිදහස් කොට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරිය යුතු යැයි මදුරාසියේ ඉංග්‍රීසී පාලකයන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලකයන් වෙත නිර්දේශ කලත්, එය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලනයට ප්‍රශ්නයක් විය හැකි යැයි කල්පනා කල එකල ලංකාවේ ඉංග්‍රීසී පාලකයා වූ ජේම්ස් සදර්ලන්ඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.    

1818 දී රජුගේ බිසොවන් ගෙන් එක් බිසෝවක් වූ උපේන්ද්‍ර අම්මා රැජිණ මිය ගියාය. 1822 දී රජුගේ තවත් රැජිණකට දූ කුමරියක් ලැබුණි. 1829 දී තවත් රැජිණක් දූ කුමරියක් බිහි කල අතර, එම දූවරුන් හා රැජිණන් සදහා ආභරණ මිලදී ගැනීමට රජු නැවතත් මුදල් ඉල්ලා සිටියෙන් ඉංග්‍රීසී ආණ්ඩුව විසින් එම මුදල් ලබා දුනි.

වෙල්ලෝර්හි වාසය කරන කාලයේදී රජු ඉංග්‍රීසී රජයත් සමග අමනාප වූ විට, නියමිත ආහාර සහ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සිරිතක් විය. මෙලෙස සමහර විට මාස කිහිපයක් දීමනා නොගෙන සිටින විට, වෙනත් පුද්ගලයන් ගෙන් මුදල් ණයට ගැනීමට රජුට සිදුවිය. ඉංග්‍රීසී නිලධාරිවරුන්ට මෙවැනි සිද්ධීන් කිහිප වතාවකදීම නිරවුල් කිරීමට සිදු විය.   

1831 දී රජුගේ මව් රැජිණ මිය ගියෙන් සොල්දාදුවන් 100 ක ආචාර පෙලපාලියක් පවත්වා පලාර් ගං ඉවුරෙහි අවසාන කටයුතු සිදු කරන ලදි.   

1831 වසරේදී පළමු හා එකම පිරිමි දරුවා මොලොව බිහි වන විට, රජුගේ සෞඛ්‍යය තත්වයද අයහපත් තත්වයකට පත් වෙමින් තිබිණ. නිතරම උණ ගැනීම, නින්ද නොයාම, ආහාර අරූචිය, අත් පා ඉඳිමීම, වැනි රෝග ලක්ෂණ වලින් රජු පෙලෙන්නට විය.   

රජුගේ මෙම අසනීප තත්වය නිසා ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉංග්‍රීසී නිලධාරීන් විසින් සැලසුම් කිරීමට පටන් ගත්හ. මහනුවර රජ පවුලේ සොහොන් වල විස්තර මහනුවර අවටින් ලබා ගත හැකි දැයි සොයා බලන ලදි. 

එහෙත් ඒ වනවිට ආදාහන මළුව අසල තිබූ මහනුවර රජුන්ගේ සොහොන් කොත් මහනුවර, මාතලේ, දුම්රිය මාර්ගය තැනීමේදී විනාශ වී තිබූ හෙයින් සොයා ගැනීමට නොහැකි වූ පසුව, පැරණි ලියවිලි වලින් එම සැලසුම් ලබා ගෙන මේ සදහාම ඉන්දියාවේ වෙල්ලෝර්හි මිළදී ගන්නා ලද ඉඩමක සොහොන සෑදීමට කටයුතු සූදානම් කෙරිණ.    



                                       රජුගේ සොහොන් ගල.

1832 ජනවාරි මස 31 වන දින රජු මිය ගිය අතර, එදිනම ඉර බැස යාමට පෙර රජුගේ ආදාහන කටයුතු හමුදා ආචාර මධ්‍යයේ සිදු කරන ලදි.   
පසුව මේ සදහා මිළදී ගත් ඉඩමේ රජුගේ සොහොන හා මව් බිසවගේ සොහොන පිළිවෙලින් රුපියල් 500.00 හා 150.00 මුදලක් වැය කර සාදන ලදි.  

සිංහලේ අවසාන රජුගේ පිටුවහල් කිරීම සහ පිටුවහලෙකු ලෙස ජීවිතය මෙලෙස අවසන් විය.

 මෑතකදී පලාර් ගඟ අසල ඇති රජතුමාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු මිහිදන් කර ඇති සොහොන 1990 දී එකල තමිල්නාඩුවේ මහ ඇමතිවරයාව සිටි කරුණානිධි ඔහුගේම සැලැස්මකට අනුව මුතු ඇටයක් හැඩයට ඉන්දියානු රුපියල් ලක්ෂ 7 ක් වියදම් කර නැවත අලංකාරවත් කරන ලදුව, එය දැන් මුතු මණ්ඩපම් (මුතු මණ්ඩපය) ලෙස හැදින්වේ.

                            මුතු මණ්ඩපම්. පිටත සහ ඇතුලත

                                     කරුණා නිධි මහතා.


රජු විසින් පාවිච්චි කරන ලද ඇත් දළ වලින් සාදන ලද ඉත්තන් සහිත චෙස් ලෑල්ල සහ ඔහුගේ බූමරැංගය වෙල්ලෝර්හි කෞතුකාගාරයේ තබා ඇත.   

බොහෝ විට එක් රටක රජ කෙනෙකු වෙනුවෙන් වෙනත් රටක අලංකාරවත් සොහොනක් සෑදුනු, මිනිස් ඉතිහාසයේ එකම අවස්ථාව මෙය විය හැක. 

9 comments:

  1. ඉතිහාසයේ ඉතා වැදගත් සංසිද්ධියක් රසවත් ආකාරයකට ලියා තිබෙනවා. ඔබේ රචනා ශෛලිය ප්‍රබලයි.

    ReplyDelete
  2. වැදගත් ලිපියක්.මෙවැනි ලිපයක් කියවන්නට ලැබීමත් සතුටට කරුණක්

    ReplyDelete
  3. well presented interesting story thanks for that !

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...