Monday, April 17, 2017

final episode -අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණීම- final episode

                                 
                               මහනුවරට තානාපති පැමිණීම.  
මෙම කතාවේ මීට පෙර කොටසට link එක http://lakshmanillangakoon.blogspot.com/2017/04/2-part-2.html

මැද මහනුවර රාත්‍රිය ගතකර නැවත ගමන් ආරම්භ කර පසු දින කුණ්ඩසාලේ ගඟ අසලට පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් සහ කණ්ඩායම රජුගේ මහාධිකාරම වූ මැනුවෙල් ඩයස් විසින් එහිදී පිළිගන්නා ලදි.

මෙම ඩයස් මහා අධිකාරම පෘත්‍රගීසී සම්භවයක් ඇති රජුට ඉතාමත් විශ්වාසවන්ත නිලධාරියෙකු විය. 

මෙහිදී මහාධිකාරම සමග දහසක පමණ හමුදා භට පැමිණ සිටියහ. ඔවුන් අතර තුර්කි, මැලේ, සිංහල, අප්‍රිකානු සහ පෘතුගීසී භටයන්ද වූහ. මෙම පෙරහැර සංගීත කරුවන් හා නොයෙකුත් නැටුම් වලින් සමන්විත විය. මෙහි ස්කොට්ලන්තයට ආවේනික වූ බැග් පයිප් භාණ්ඩය වාදනය කරන්නන්ද සිටි බව සදහන් වේ.

අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණෙන විට කන්ද උඩරට ශ්‍රී ලංකාවේ එකම සිංහල රාජධානිය බවට පත්ව වසර 10 ක් වත් ගත වී නැත. එකල මහනුවර රජ කල විමලධර්මසූරිය රජතුමා හා එතුමාගේ බිසව වූ දෝන කතරිනා දේවිය පෘතුගීසීන් යටතේ එම සංස්කෘතියට අනුව හැදුණු වැඩුණු තැනැත්තන්ය. එහෙයින් ඔවුන්ට හොදින් පෘතුගීසී භාෂාව කථා කිරීමට හැකි වූ අතරම, යුරෝපීය ගති පැවතුම් පිළිබඳව මනා අවබෝධයක්ද තිබුණි. එකල මහනුවර ඉතා දුප්පත් නගරයක් ලෙස පවතින්නටද ඇත. මාලිගාවද ඉතා කුඩා වූ අතර මහනුවර වැවද තොතිබිණි. මහනුවර වැව කරන ලද්දේ ශ්‍රී වික්‍රම රජු විසින් 1805 දී පමණය. ඔහු විසින්ම සිය මාලිගාවටද අලංකාර කොටස් එකතු කිරීම කරන ලද්දේ ඉංග්‍රීසීන්ට යටත් වීමට වසර කිහිපයකට පෙරය.

ඉතා උත්සවාකාරයෙන් මහනුවරට පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායමට නවාතැන් ගැනීමට සියලුම පහසුකම් වලින් සමන්විත විශේෂ ලැගුම් හලක් සූදානම් කර තිබිණි. එදිනම සවස් වරුවේ ඉතා අලංකාර ලෙස සරසන ලද අශ්වයන් තිදෙනෙකු අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ නවාතැනට රජු විසින් එවන ලදි. මහනුවර රජු බැහැ දැකීමට අද්මිරාල් ස්පිල්බර්ගන් එම අශ්වයන් මත නැගී මාලිගාවට ගියේය.



                                ස්පිල්බර්ගන් විමලධර්මසූරිය රජු බැහැ දැකීම. 

රජු බැහැ දැකීමෙන් පසු රජු වෙත ඔහු විසින් ගෙනෙන ලද ත්‍යාග පලසක් මත තබා රජුට හා රාජකීය පවුලට දැක ගැනීමට සැලැස්විය. රජු අද්මිරාල් ස්පිල්බර්ගන් සමග ස්වල්ප වේලාවක් කථා කිරීමෙන් පසු ඔහු මහන්සි වී ඇති හෙයින්, ආපසු තම නවාතැනට යාමට අවසර දී විවෙික ගෙන නැවත පසුදින උදයේ බැහැ දකින ලෙසට උපදෙස් දුනි.

පිටත්වීමට පෙර අද්මිරාල්වරයා ඔහු සමග සිටි ඕලන්ද සංගීතකරුවන් ලවා සංගීත භාණ්ඩයන් වාදනය කර රජතුමාට අසන්නට සැලැස්වීය. රජතුමා එම සංගීතය අසා මහත් ප්‍රීතියට පත්විය.

පසුදින උදයේ අද්මිරාල් ස්පිල්බර්ගන් නැවත රජතුමා බැහැදුටු අවස්ථාවේදී ඔවුන් දෙදෙනා වෙළඳාම, ජාත්‍යන්තර දේශපාලනය, යුධ උපක්‍රම, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම් හා යුරෝපයේ රාජ්‍යය සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූහ. අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවර සිටි දින පහෙන් වැඩිම කාලයක් ගතකර ඇත්තේ රජතුමා සමග මෙවැනි සාකච්ඡාවන් පැවැත්වීම සඳහාය.

එකල ලංකාවෙන් යුරෝපයට අපනයනය කල වෙළඳ ද්‍රව්‍ය අතර කුරුඳු සහ ගම්මිරිස් ප්‍රධාන තැනක් ගත්තේය. අද්මිරාල්වරයා එම වෙළඳාම පිළිබඳවද සාකච්ඡා කල අතර රජතුමා ඒවාට ඉතා ඉහල මිලක් ඉල්ලූ බැවින් ඒ පිළිබඳව සාකච්ඡා මදකට නැවතුනි. මෙම සාකච්ඡා වලින් පසුව රජතුමා අද්මිරාල් ස්පිල්බර්ගන් පිළිබඳව කොතරම් පැහැදුනිද යත් ශ්‍රී ලංකාවේ රජවරුන් සාමාන්‍යයෙන් විදේශිකයනට නොකරන ගෞරවයක් අද්මිරාල් ස්පිල්බර්ගන් වෙත පුද කලේය. එනම් අද්මිරාල් ස්පිල්බර්ගන්ව තම බිසවගේ හා දරුවන්ගේ පුද්ගලික මාලිගාවනට ගෙන ගොස් ඔවුන්ව හදුන්වා දීමය. එහිදී රජුගේ දරුවන් හා බිසව යුරෝපීය ආකාරයට ඇඳුම් ඇඳ සිටි බවද සදහන් වේ.

තවද රජු විසින් මහනුවර අවට තනවා තිබූ විහාරස්ථාන හා දේවාල වලට අද්මිරාල් ස්පිල්බර්ගන්ව රැගෙන ගිය අතර, එම වෙහෙර විහාර හා දේවාල යුරෝපයේ විශාල දේවස්ථාන වලටද වඩා ඉතා ඉහල තත්වයකින් තිබූ බව අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ වාර්තාවල දක්වා ඇත.

විමලධර්මසූරිය රජතුමා මෙම සාකච්ඡා වලින් පසු නෙදර්ලන්තය පිළිබඳ කොතරම් උනන්දුවක් ඇති වූයේද යත් නෙදර්ලන්ත භාෂාව ඉගෙන ගැනීමටද පටන් ගත්තේය. ඒ අතරම නෙදර්ලන්ත ජාතීන්ගේ වෙළඳාම හා ආරක්ෂාව සදහා ත්‍රීකුණාමලයේ කොටුවක් සෑදීමට අවසර දුන්නේය. එම කොටුව සෑදීමට ඔහු කොතරම් උත්සුක ද යත් ඒ සදහා රාජකීය පවුලේ සාමාජිකයන්ද හිසෙන් ගල් ගෙනවිත් දී උදව් වීමට පවා සූදානම් වූ බව අද්මිරාල්වරයාට පවසා සිටියේය.

අද්මිරාල් ස්පිල්බර්ගන් ආපසු යාමට සූදානම් වන විට රජතුමා ඔහු ගෙන් ගම්මිරිස් සහ කුරුඳු වෙළඳාම පිළිබඳව විමසා සිටින ලදි. එම අවස්ථාවේදී අද්මිරාල් ස්පිල්බර්ගන් පවසා සිටියේ ඔහු මහනුවරට පැමිණියේ වෙළඳාමට නොව නෙදර්ලන්ත පාලක ඔරේන්ජ් රජු වෙතින් කන්ද උඩරට රජුට මිත්‍රත්වය ප්‍රකාශ කිරිම සදහාත්, කන්ද උඩරට රජු හා පෘතුගීසීන් අතර යුද්ධයකදී කන්ද උඩරට රජුට උදව් කල යුත්තේ කෙසේද කියා සොයා බැලීමටත් යන්නය.

අද්මිරාල් ස්පිල්බර්ගන් මෙය පැවසීමෙන් පසු රජතුමා ඉතා සතුටට පත්විය. ඔහු මීට පෙර දැන සිටි යුරෝපීයයන් වූ පෘතුගීසීන් බොහෝ විට මිත්‍රත්වය කෙරෙහි කිසිම ගෞරවයක් නොකල අතර, ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ වෙළඳාම හා ආගම පැතිරවීම විය.  එවන් පසුබිමක් යටතේ තවත් යුරෝපීය ජාතිකයෙකු මෙසේ පැවසීම රජුට මහත් සතුටට කරුණක් විය.

මෙය ඇසූ පසු රජතුමා අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ උරයෙන් අල්වා ඔසවා ඔහු කිවූ දෙය රාජ සභාවට තේරුම් කර දුන්නේය. යුරෝපීයන් අතර හැඳී වැඩුණු විමලධර්මසූරිය රජු මෙන් නොව ඔහුගේ රජ සභාවේ බොහෝ දෙනෙකු යුරෝපීය භාෂාව නොදැන සිටින්නට ඇත.

නෙදර්ලන්තයේදී කන්ද උඩරට රජු වෙනුවෙන් පෙනී සිටීමට බලය දීම සදහා අද්මිරාල් ස්පිල්බර්ගන් කන්ද උඩරට රජුගේ තානාපතිවරයෙකු ලෙස නිළ වශයෙන් පත් කරන ලදි. නෙදර්ලන්ත පාලකයා සමග කන්ද උඩරට රජු වෙනුවෙන් ද්විපාර්ශවික ආරක්ෂාව හා වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එලඹීම සදහාද අද්මිරාල් ස්පිල්බර්ගන්ට බලය පවරන ලදි. ඒ සමගම අද්මිරාල් ස්පිල්බර්ගන් වෙත උඩරට රාජධානියේ ගෞරව නාමයන්ද ප්‍රදානය කර ඉතාමත් වටිනාකමකින් යුත් රන්, මුතු හා මැණික් ආභරණද, වෙනත් ත්‍යාගද පිරිනමන ලදි. 

රජුගේ විශේෂ ඉල්ලීම මත අද්මිරාල් ස්පිල්බර්ගන් තම කණ්ඩායමේ සිටි සංගීත දක්ෂතාවයක් ඇති පුද්ගලයන් දෙදෙනා මහනුවර රාජ්‍ය සේවය සදහා නවතා ගියේය. එම දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු වූ එරස්මස් මාර්යස් බර්ලර් නැමැත්තා පසුව රජුගේ දූ දරුවන්ගේ පුද්ගලික ලේකම් බවටද පසුව පත්කරන ලදි. වර්ෂ 1602 දී ඊලග නෙදර්ලන්ත තානාපතිවරයා පැමිණෙන විට මාරියස් බර්ලර් විමලධර්මසූරිය රජුගේ පෞද්ගලික ලේකම් ලෙස රාජ සභාවේ බලවත් පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. 

1602 සැප්තැම්බර් මස 02 වන දින අද්මිරාල් ස්පිල්බර්ගන් මඩකලපුවෙන් ආපසු නෙදර්ලන්තය බලා පිටත් විය. ඔහුගේ නෞකා පිටත්ව යාමට පෙර අද්මිරාල් ස්පිල්බර්ගන් එහි රැස්ව සිටි මිනිසුන් ගෙන් ඔහුට හෝ ඔහුගේ නිලධාරීන්ට විරුද්ධව යම් පැමිණිල්ලක් කිරීමට තිබේදැයි විමසූ අතර, එවැනි කිසිවක් නොමැති බව ප්‍රදේශවාසීන් විසින් දන්වන ලදි. 

ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයේ සිටි පැමිණි ප්‍රථම තානාපතිගේ සංචාරය මෙසේ නිමාවට පත්විය. 




No comments:

Post a Comment

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...