1912 ඉතාලි ජාතික සංඛ්‍යානය සහ සමාජ විද්‍යාව පිළිබඳ විශාරදයෙකු වූ කොරාඩෝ ගිනි, ජාතියක සාමාජිකයන් අතරේ සම්පත් බෙදී යාමේදී, එහි ඇති අසමාන තාවයන් සහ අසමතුලුත තාවයන් පිළිබඳව නිබන්ධනයක් ඉදිරිපත් කලේය.
එම ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ නම ඉතිහාසයට එක්විය. දැන් ලෝකයේ රටවල් වල ආර්ථිකයන්ගේ ලක්ෂණ සන්සන්දනය කරද්දී මෙම ඔහුගේ නමින් ඇති වූ ගිනි සංගුණකය ප්‍රධාන මැනුම් කෝදුවක් වෙයි.
ඔහු එයින් පෙන්වා දුන්නේ සම්පත් බෙදී යාමේ සංඛ්‍යාත ව්‍යාප්තිය මැන ගතහැකි ආකාරයයි. සම්පත් බෙදී යාම සම්පූර්ණ සමානාත්වයෙන් තිබේ නම් ඔහුගේ එම ගිනි සංගුණකය 0 ක් විය යුතුය. ඒ කියන්නේ සංඛ්‍යාන ව්‍යාප්තියක් ඇත්තේම නැති බවයි. සියලු දෙන එක හා සමානව ජාතියේ ආදායම පරිභෝජනය කරති.
අනෙක් අතට ගිනි සංගුණකය එකක් වුවහොත්, එසේත් නැත්නම් සියයට සියයක් වුවහොත් සම්පත් බෙදී යාම සම්පූර්ණයෙන් අසමාන වෙයි. එසේ ගිනි සංගුණකය එකක් වුවහොත් මුලු ජාතියේම සම්පත් පරිභෝජනය කරන්නේ එක් පුද්ගලයෙකු විය යුතුය. සම්පූර්ණයෙන් සමාන ලෙස බෙදී යාමත්, එක් පුද්ගලයෙකු සියල්ල පරිභෝජනය කිරීමත්, ප්‍රායෝගික නොවන අන්ත දෙකක් නිසා ගිනි සංගුණකය නොයෙකුත් රටවල වෙනස් අගයන් ගනී.
ගිනි සංගුණකය රටක ගණනය කරද්දී එය ආකාර දෙකකින් කල හැක. ඒ පුද්ගලයන්ගේ වෙළඳපොල ආදායම සහ වියදම් කල හැකි ආදායම ලෙසටයි. වෙළඳපොල ආදායම ඇත්තෙන්ම බඳු අය කිරීමට පෙර ආදායමයි. පුද්ගලයෙකුගේ වියදම් කල හැකි ආදායම යනු බඳු අය කිරීමෙන් හා නොයෙකුත් රාජ්‍ය සහනාධාර වියදම් වලට මුදල් අයකර ගැනීමෙන් පසු කෙනෙකු අත ඉතිරිවන මුදලයි.
ඓතිහාසිකව ලෝකයේ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී තිබේ. එය සමහර විට කර්මාන්ත යුගය ඇති වීමෙන් පසුව විය යුතුය. 1820 දී 0.43 ක්ව තිබූ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී 1988 වන විට 0.80 ක් විය. එයින් කියවෙන්නේ ඇති නැති පරතරය ඒ කාලය තුල ඉතා විශාල ලෙස වැඩි වී ඇති බවයි. එහෙත් ඉන්පසු මේ දක්වා ගිනි සංගුණකය ක්‍රමයෙන් අඩු වී තිබේ. එම අගය දැන් 0.65 ක් වී තිබේ. ලෝකය මේ සහශ්‍රයේ ආර්ථික අතින් සාධාරණ වෙන්නට පටන් ගෙන තිබේ. ආදායම බෙදීයාම ක්‍රමයෙන් සමබර වන පැත්තට ගමන් කරමින් තිබේ. 1988 දී 0.80 ක් වූ එම අගය 2013 දී 0.65 ක් විය. ඒ කියන්නේ විශාල අඩු වීමකි.
මෙම වර්ෂය ඉතාමත් කිට්ටු වන තවත් ඓතිහාසික වර්ෂයක් වන්නේ 1989 වර්ෂයයි. එම වර්ෂය ලෝකයට වැදගත් වන්නේ කොමියුනිස්ට් වාදය රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයක් ලෙස යොදා ගත් පාලන ක්‍රමයේ අවසාන ඇණය වූ බර්ලින් තාප්පය ජනතාව විසින් පෙරලා දැමූ අවුරුද්ද වීමයි.
මෙම සිද්ධි දෙක මෙතරම් කිට්ටුවෙන් සිදුවීම පුදුම සහගතය. මක්නිසාද කෙනෙකු කොමියුනිස්ට් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ ආදායම් සමාන ලෙස බෙදී යාමයි එහෙත් මෙම සංඛ්‍යාන වලින් කියවෙන්නේ ප්‍රායෝගිකව එහි විරුද්ධ පැත්තයි. එනමුත් ගෝලීය කරණය ඇත්තෙන්ම කොමියුනිස්ට් වාදයට වඩා හොද ආදායම් සැමට සමාන ලෙස බෙදන ක්‍රමවේදයක් බව කාලය පෙන්වා දී තිබේ.
මෙම ගිනි සංගුණකය දැන් නොයෙකුත් අනික් සමාජ ක්‍රියාවලියන්ටද යොදා ගනු ලැබේ. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනයටත් ගිනි සංගුණකය යොදා ගනී. මෙම ගණනයන්ට අනුව ලෝකයේ අධ්‍යාපන ගිනි සංගුණකය අඩුම රට ඇමරිකාවය (0.14). වැඩිම රට අප්‍රිකාවේ මාලිය. එහි එය 0.92 කි. අපේ රටේ මෙය ගණනය කලහොත් එය කුමන අගයක් ගනීදැයි හිතන්නටත් අමාරුය. නගරයේ ජනප්‍රිය පාසැල් හා ඈත දුෂ්කර ගම්වල සහ වතු ජනයාගේ පාසැල් වල පහසුකම් වෙනස ගැන කල්පනා කරන විට එය මාලි රාජ්‍යයේ අගයට කිට්ටුවන බවට නම් කිසිම සැකයන් නැත්තේය.
දැන් අපි නොයෙකුත් රටවල් ගිනි සංගුණකයෙන් ගණනය වී ඇත්තේ කෙසේදැයි බලමු. ගිනි සංගුණකය වැඩියෙන්ම ඇත්තේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් වලය. එයිනුත් මුලු තැන ගන්නේ දකුණු අප්‍රිකාවයි. එහි ගිනි සංගුණකය 63.38 කි. ශ්‍රී ලංකාව 38.58 ක අගයක් ගෙන 76 වන ස්ථානයේ පසුවෙයි. ඒ කියන්නේ අපේ ආදායම් බෙදීම රටවල් අතර හරි මැදට ඉතා ආසන්නවය. ගිනි සංගුණකය අගය අඩුවෙන්ම තියෙන්නේ අසර්බයිජානයේය. එහි එය 16. 64 ක් වෙයි.
අඩු අගයන් තිබෙන රටවල් බොහොමයක් යුරෝපීය රාජ්‍යයන් වෙයි. අප කලාපයේ අපේ ගිනි සංගුණකය අපට ඉතාමත් වැඩි අගයක් ඇත්තේය. ඒ කෙසේද යත් ඉන්දියාව 33.9 ක් ගෙන 104 වන ස්ථානයද, නේපාලය 32.75 ක් ගෙන 116 වන ස්ථානයද, බංගලාදේශය 31.98 ක් ගෙන 121 වන ස්ථානයේද, පකිස්ථානය 29.59 ක් ගෙන 135 වන ස්ථානයද, පසුවෙයි. මේ අනුව කලාපයේ ඉතාමත් නරක ලෙසට අසමානාත්මක ලෙසට ජනතාව අතර ආදායම බෙදී යන රට ලංකාව සහ භූතානයයි. එම වෙනසද ඉතා විශාල වෙයි.
මෙලෙස අඩු වැඩි ලෙස සමාන ආකාරයේ සම්පත් තිබෙන බොහෝ දුරට සමාන ඉතිහාසයන් ඇති රටවල් සමූහයකින් අප මෙලෙස නරක පැත්තට වෙනස් වූයේ කෙසේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.
ඒ කියන්නේ කලාපයේ භූතානය හැරෙන්නට සමාජවාදය අඩුම රට ලංකාව බව නේද? වැඩියෙන්ම සාක්ෂරතාවය තිබෙන රටට මේ සිදුවී ඇත්තේ කුමක්ද?
No comments:
Post a Comment