Sunday, April 2, 2017

කුරුල්ලන් බැදි මාලය හෙවත් විජයපාල කුමරුගේ සම්පූර්ණ කථාව.



                            කුමරු ජීවත්වූ ගෝවේ එකල දර්ශනයක්.

කන්ද උඩරට කලකට පෙර පාලනය කරන ලද කරල්ලියද්දේ බංඩාර (1551-1581) නම් වූ රජ කෙනෙකුගේ දියණිය වූ කුසුමාසන කුමරිය,තම පිය රජුගේ රාජධානිය සීතාවක රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් අනතුරුව පිය රජු මියගිය හෙයින්, මන්නාරමේ පෟතුගීසීන් යටතේ ඇති දැඩි වූවාය. 

කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සදහා එම ප්‍රදේශ වාසීන්ගේ උදව් ලබා ගැනිමට එම රජ පවුලේ කෙනෙකු අවශ්‍ය වූ නිසා, මන්නාරමේ පෟතුගීසි බලකොටුවේ ඇති දැඩි වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් විසින් මහනුවරට රැගෙන එන ලදි. මෙම කුමරිය සමග කන්ද උඩරට බලය අල්ලා ගැනීමට පැමිණි පෟතුගීසි හමුදා හා මහනුවර විමලධර්මසූරිය රජු අතර බලවත් සටන් පැවතිණ.


 එම සටනින් පෟතුගීසීන් පරාජය කර මහනුවර බලය තහවුරු කර ගත් විමලධර්මසූරිය රජු, පෟතුගීසීන් රැගෙන එන ලද කුසුමාසන දේවිය විවාහ කරගෙන මහනුවර රාජධානිය සදහා තමන්ට ඇති අයිතිය තහවුරු කර ගත්තේය. මුලින් කුසුමාසන දේවිය නම් වූ ඇය පෟතුගීසීන්ගේ ආරක්ෂාවට පත් වූ පසු දෝන කතිරිනා  (පෘතුගීසි හා ස්පාඤ්ඤ ගරු නම්බු ආමන්ත්‍රණයක්) නමින් හැඳින්විණ.


1608 වර්ෂයේ වසර 12 ක රාජ්‍ය කාලයකින් පසු විමලධර්මසූරිය රජු මිය ගියෙන් ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් කුමරු හා ඌවේ කුමරු අතර කන්ද උඩරට රජකම සදහා තරඟයක් ඇති විය. අවසානයේදී සෙනරත් කුමරු විසින් මහනුවර මහා වාසලදීම ඌවේ කුමරු ඝාතනය කර කන්ද උඩරට රජකම ලබා ගත්තේය.


සෙනරත් රජු රජකමට පත් වීමෙන් පසු, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝනකතිරිනා දේවිය තම බිසව කර ගත්තේය. මෙලෙස ඇය සෙනරත් රජු හා විවාහ වන විමලධර්මසූරිය රජුගෙන් දෝනකතිරිනා දේවියට දූ කුමරියන් දෙදෙනෙකු සහ පුත් කුමරෙකු සිටියේය. ටික කලකින් මේ කුමරා මිය ගියේය. තම දරුවනට රාජ්‍ය ලබාදීම සදහා විමලධර්මසූරිය රජුගේ පුත් කුමරු වස දී මරා දැම්මේ යැයි ජනතාව අතර සෙනරත් රජු කෙරෙහි අප්‍රසාදයක් ඇති වූ නමුත්, කලකින් එය පහව ගියේය.


දෝනකතිරිනා රැජිනට හා සෙනරත් රජුට කුමාරසිංහ, විජේපාල සහ මහා අස්ථාන යන නමින් පුත් කුමරුන් තිදෙනෙකු වූහ.


බොහෝ කලක් පෟතුගීසීන් යටතේ හැදී වැඩුණු හෙයින්, දෝනකතිරිනා දේවිය ක්‍රිස්තියානි ආගමට හා යුරෝපීය ගති සිරිත් වලට ලැදිකමක් දැක්වූවාය. එහෙයින් තමන්ගේ දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදීම සදහා, ඇය කතෝලික පූජකවරයන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කලේය. විජේපාල කුමරුන් හට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ෆ්රැන්සිස්කෝ නෙග්‍රෝවා (The Padre Frey/Francisco Negrao) නමැති පූජකවරයා විසිනි.


මෙම පූජකවරයාගේ ආභාෂයෙන් විජේපාල කුමරු, සිංහල රජකුමරෙකු ලෙස ජීවත් වනවාට වඩා පෟතුගීසි ගතිගුණ සහ හැසිරීම් අගය කරන පෟතුගීසි කුමරෙකු ලෙස ජීවත්වීමට කැමති පුද්ගලයෙකු බවට පත්විය.

මහා අස්ථාන කුමරුන්ගේ යුධ නිපුණතාවය සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා තේරුම් ගත් සෙනරත් රජු ඔහුගේ රාජධානිය බාලම පුත් කුමරා වන මහා අස්ථාන කුමරු වෙත පවරා දීමට තීරණය කරන ලදි. නමුත් පිය රජුගෙන් පසු රජකම හිමි විය යුත්තේ වැඩිමහල් පුත් කුමරු හටය. තම රාජධානිය වැඩිමහල් පුත් කුමරුට නොපවරා මහා අස්ථාන කුමරුට ලබා දීම සදහා, සෙනරත් රජු උපක්‍රමයක් යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


මේ අනුව තම රාජධානිය ඌව, මාතලේ  සහ මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදා, කුමරුන් තිදෙනා හට පවරා දෙන බව  සැල කරන ලදි. රජුගේ අවශ්‍යතාවය වූයේ තම රාජධානියේ අගනුවර වන මහනුවර, මහා අස්ථාන කුමරු හට ලබා දීමටය. ඒ අනුව ඔහු උපක්‍රමයක් යෙදුවේය. එනම් මෙම රාජධානි තුන, කුසපත් ක්‍රමයකට බෙදා දීමට තීරණය කිරීමය. එහිදී පිය රජු විසින් තම බාල පුත් කුමරා හට මහනුවර රාජධානිය යනුවෙන් සඳහන් ඇති කුසපත් ලබා ගන්නා ආකාරය පිළිබද කුසපත් ඇදීමට පෙර රහසේ උපදෙස් දුනි.

ඒ ආකාරයටම වැඩිමහල් කුමරු වූ කුමාරසිංහ කුමරුට ඌවද, විජේපාල කුමරුට මාතලේද, මහා අස්ථාන කුමරුට, රාජධානියේ අගනුවර වූ මහනුවරද ලැබුණි.


කන්ද උඩරට රාජ්‍යයේ යුධ කටයුතු මෙහෙයවීම මෙම කුමරුන් තිදෙනාට බාර වූ අතර, 1630 වර්ෂයේ ඌවේහිදී ඇති වූ මහ සටනකින් එකල ලංකාවේ පෟතුගීසි ජෙනරාල් වරයා වූ කොන්ස්ටන්ටිනෝ නොරන්හා (Constantino de Say Noronha) ඇතුලුව මුලු පෟතුගීසි හමුදාවම සමූල ඝාතනය කිරීමට මේ කුමරුන් තිදෙනාට හැකියාව ලැබුණි.


1634 දී සෙනරත් මිය ගියෙන් රාජ්‍ය  පාලනය කුමරුන් තිදෙනාට භාර විය. කුමාරවරු තිදෙනා මහනුවර රාජ සභාවේ සිට සිය ප්‍රදේශ පාලනය කරමින් සිටියහ. මොවුන් අතරින් වැඩිමහල් කුමරා වූ කුමාරසිංහ කුමරු රාජාභිෂේක කරන ලද අතර, අනික් කුමාරවරු දෙදෙනා ඔහුගේ ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකිණ. 1634 වර්ෂයේදී ඌව ප්‍රදේශය පාලනය කල කුමාරසිංහ කුමරු මිය ගියේය.


මේ අවස්ථාවේදී මීලඟට ජේෂ්ඨ කුමරු වූ විජේපාල කුමරු අභිෂේක කරනු ලැබිය යුතු වුවද, රාජධානියේ ප්‍රධාන නුවර වූ සෙන්කඩගල පාලනය කල මහා අස්ථාන කුමරු වැඩි බලයකින් යුතු වූ හෙයින්, රාජසිංහ නමින් රාජාභිෂේක ලැබීය. මිය ගිය කුමාරසිංහ කුමරුට අයිති වූ ඌව රාජ්‍යයද මහනුවරට ඈඳා යා කර ගත් රාජසිංහ රජු, කුමාරසිංහ කුමරුට අයිති වූ සියලු වස්තුවද තම සන්තකයට ගෙන, මුදල් පෙට්ටි දෙකක් පමණක් විජේපාල කුමරුට ලබා දුන්නේය.



මෙම ආරවුල නිසා රාජසිංහ රජු හා විජේපාල කුමරු අතර මත භේදයක් ඇති වී විජේපාල කුමරුන් මහනුවරින් ඉවත්ව මාතලේ වාසය කිරීමට පටන් ගත්තේය.


මෙකල ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය තුල පෟතුගීසිහු මෙම ආරවුල ප්‍රයෝජනයට ගෙන, සිංහල රජ පවුල දෙකඩ කර කන්ද උඩරට රාජ්‍ය යටත් කර ගැනීමට කුමන්ත්‍රණය කලහ. මෙම අදහස එවකට ලංකාවේ සිටි පෟතුගීසි පාලකයා වූ මෙලෝඩි කැස්ට්රෝ කපිතාන් ජනරාල්වරයා විසින් ගෝවේ පෟතුගීසීන් වයිස්රෝයිවරයා වෙත ලියා දන්වන ලදුව, ඔහු විසින් පෟතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයෙහි රාජ සභාව වෙතින්ද, මේ සදහා අවසර ලබා ගත්තේය.

මෙම සැලසුම අනුව විජේපාල කුමරුට ඔහුගේ පිරිවරත් සමග කොළඹට පැමිණ, පෟතුගීසිනට එකතු වන ලෙසටද, එලෙස එකතු වූ පසු ඔහුට සත්කෝරළයේ පාලක තනතුර ලබා දෙන බවද, ඉන් පසු පෟතුගීසි හමුදාව සහ ඔහුගේ හමුදාව එකතුව මහනුවර යටත් කර ඔහු කන්ද උඩරට රජු බවට පත් කරන බවටද, පෟතුගීසි නිලධාරීහු රහසේ පැමිණ ඔහුට දන්වා සිටියහ.

විජේපාල කුමරු මේ අදහසට තරමක කැමැත්තක් දැක්වුවද, ඒ කාලයේදීම සහෝදරයන් දෙදෙනා අතර මතභේදය සමතයකට පත් වූයෙන්, නැවතත් ඔහු මහනුවර රාජ සභාවේ කාලය ගත කිරීමට පටන් ගත්තේය. බාල සොහොයුරු මහා රජු වශයෙන් සිටියදී වැඩිමහල් එමෙන්ම දක්ෂ හැකියාවලින් හෙබි කුමාරයෙකු තම බාල සොහොයුරාගේ රාජ සභාවේ සිටීම ඉතාමත් අවුල් සහගත එමෙන්ම ඇවිලෙන සුලු තත්වයක් බව නොකිවමනාය.
වසර කිහිපයකට පසු, 1638 දී පෟතුගීසි හමුදාව කන්ද උඩරටආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය පෟතුගීසි ජෙනරාල්වරයා විසින්ම මෙහෙයවන ලද්දේය. මහනුවරට ඇතුලුවන දන්තුරේ ප්‍රදේශයේදී ඇති වූ පෟතුගීසි හමුදාව හා කන්ද උඩරට හමුදා අතර ඇති වූ මහ සටනින් පෟතුගීසි හමුදාව පරාජය විය. මෙහිදී ජෙනරාල්වරයා ඇතුලුව පෟතුගීසි හමුදාව 2500 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි.

මෙම සටනට විජේපාල කුමරුද තම හමුදා සමග සහභාගි වුවද, සටන අවසානයේ පෟතුගීසිනට ඇති අනුකම්පාව නිසා, සමහර පෟතුගීසි සිරකරුවන් නිදහස් කිරිමට උත්සාහ කලේය. මෙය ආරංචි වී කෝපයට පත් රාජසිංහ රජු, විජේපාල කුමරු ටික දිනකට සිර භාරයට පත් කලද, පසුව ඔහු සිර භාරයෙන් නිදහස් කර නැවත මාතලේ ප්‍රදේශයට පිටත්කර යැවීය.

1641 ජුලි මාසයේදී යම්කිසි සිදුවීමක් නිසා, රාජසිංහ රජුගේ හමුදා සහ විජේපාල කුමරුගේ හමුදා අතර ඌවේහිදී සටනක් ඇති වූ අතර, මෙම අවස්ථාවේ ලන්දේසි ආක්‍රමණය නිසා, බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටි පෟතුගීසි ආණ්ඩුකාරවරයා විජේපාල කුමරුට තම හමුදාවත් සමග කොළඹට පැමිණ තමනට උදව්කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් මෙය කරන්නට ඇත්තේ සහෝදරයන් අතර විරසකය තවත් වැඩි කරන්නට විය හැක.

2000 ක් පමණ වූ තමන්ගේ හමුදාවද, රාජ සභාවද සමග විජේපාල කුමරු කොළඹ නගරයට පැමිණියේය. ඔහු අධිරාජ්‍යයෙකුට ගැලපෙන පරිදි අලංකාර රාජකීය උත්සවයක් පවත්වා කොළඹ නගරයට පිළිගන්නා ලදි.

මෙම වකවානුවේදී ඕලන්ද යුධ නෞකා හතක් කොළඹ කොටුව ආක්‍රමණය කිරීමට කොළඹ අවට මුහුදේ නැංගුරම්ලා සිටියහ. පෟතුගීසිහු කොටුව ආරක්ෂා කර ගැනීම සදහා කටයුතු සම්පාදනය කරමින් සිටින විට, මෙලෙස විශාල හමුදාවක් උදව්වට පැමිණීම පෟතුගීසීන්ගේ ඉමහත් සතුටට කරුණක් විය. ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා විජේපාල කුමරු තමන්ගේ වියදමින්ම කොළඹ කොටුවේ මාපනේ දිය අගලද, ප්‍රතිසංස්කරණය කරවීය.

සති කිහිපයකින් විජේපාල කුමරුගේ හමුදාව සහ පෟතුගීසි හමුදාව අතර මතභේදයක් ඇති වී, පසුව එය සටනක් බවට පරිවර්තනය විය. මෙම සටනින් දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මිය ගියහ.

මෙයින් විජේපාල කුමරු සහ පෟතුගීසි ආණ්ඩුකාරවරයා අතර හොඳ හිත පලුදු විය. විජේපාල කුමරුගේ ගමන් බිමන් ආදිය පාලනය කර ඔහු නිවාස අඩස්සියේ සිටින සිරකරුවෙකු බවට පත් විය. මෙයින් බලවත් කම්පාවට පත් කුමරු, පෟතුගීසීන් විසින් තමන් රවටන ලද බවද, තමාට වූ පොරොන්දු සියල්ල අමතක කර තමා දැන් සිරකරුවෙකු බවට පත් කර ඇති බැවින්ද, තමනට කොළඹ කොටුවෙන් නිදහස්ව යාමට උදව් කරන ලෙස ඉල්ලා එවකට මඩකලපුවේ සිටි ලන්දේසීන් වෙත රහස් ලිපියක් යවන ලදී.

විජේපාල ගෙන් ඕලන්දවරු වෙත,

ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටුවල හෝ ඕලන්ද නැව් වල සිටින ඔවුන්ගේ ඉහල සහ පහල තරාතිරම් වල නිලධාරීන් වෙත,

දෙවියන්ගේ නාමයෙන් ලියමි.

සියලුම නායකයන්ගේ නායකයා වෙමි. දෙවි කෙනෙකු හා සමානය. සාගරය හා ශේෂ්ඨය. සූර්යා මෙන් බැබලෙන්නෙමි. තුන් ලෝකයටම අධිපති වෙමි. සෑම විටම සත්‍ය කතා කරන සියලුම දේ පැහැදිලිව තේරුම් ගන්නා උපකාර අවශ්‍ය වූ  සියලු දෙනාට උපකාර කරන, විජේපාල කුමරු වන මම මේ ලිපිය ලියමි.
මාගේ සහෝදර රාජසිංහ රජු, මට කරන ලද අසාධාරණ ඔබ දන්නෙහිය. ඔහු විසින් මට කරන ලද අසාධාරණයන් විස්තර කරන්නට මට වචන නැතිය. මට විරුද්ධව ගාල්ලේ සිට මඩකලපුව දක්වා පාර වසා ඔහු කල වැරැද්දෙන් අද මා සිරකරුවෙකුව සිටිමි. පෟතුගීසීන් හා ඔහු කල සටන් වලදී, මම හැම විටම මගේ හමුදා සමග මම ඔහුට උදව් කලෙමි. එහෙත් මෙම උදව් වලට ඔහු විසින් කෟතගුණ සලකන ලද්දේ මට තවත් අසාධාරණකම් කිරීමෙනි.

මම මෙහි පැමිණීමට පෙර, මඩකලපුවේ ලන්දේසි කපිතාන් වරයාට මට උදව් කරන ලෙස ඉල්ලා ලිපියක් යැව්වෙමි. එහෙත් ඒ සදහා මට පිළිතුරක් වත් නොලැබිණ. ඉන්පසු මම මගේ හමුදාවත් සමග කොළඹ පෟතුගීසීන් වෙත පැමිණියෙමි. මම කොළඹට පැමිණ දින නවයකට පසු, ලන්දේසි යුධ නැව් කිහිපයක් කොළඹ අසලට පැමිණියහ. කොළඹ පෟතුගීිසි ජෙනරාල්වරයා මහත් බියට පැමිණ, මගේ හමුදාවෙන් කොළඹ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ මුලු කොළඹම මගේ භාරයේ පැවතිණ.  නමුත් මට ලන්දේසි නැව් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකි විය. ටික දිනකට පසු, ගාල්ල කොටුවේ සිටින ලන්දේසි හමුදා පානය කරන ජලයට වස මිශ්‍ර කර ඔවුන් සමූල ඝාතනය කිරීමට උදව් කරන ලෙසට පෟතුගීසි ජෙනරාල්වරයා මගෙන් ඉල්ලා සිටියේය.

“මගේ සහෝදර රාජසිංහ රජු, ඕලන්ද අද්මිරාල් වරයාට ද්‍රෝහි ලෙස කටයුතු කල අවස්ථාවේ මම එයට විරුද්ධ වුනෙමි. දැන් පෟතුගීසීන් ඊටත් වඩා අවමන් සහිත ක්‍රියාවකට මගෙන් උදව් ඉල්ලයි.“ යනුවෙන් මම ඔහුට පවසා සිටියෙමි.

මෙය ඔබ වෙත ලියන නව වැනි ලිපියයි. ඔබට ලිපි කීයක් ලැබුණාදැයි මා නොදනිමි. මම මේ නගරයේ ඉතා අපහසුවෙන් කාලය ගත කරමි.

                                                                               මෙයට විජේපාල අධිරාජ්‍යයා.



මෙම ලිපිය ලියා මාස තුනකට පසු එය ලන්දේසීන් හට ලැබිණ.


මෙම ලිපිය පිළිබඳව දැනගත් පෟතුගීසීහු, කුමරු ඔහුගේ පිරිසෙන් වෙන් කර කොළඹ කොටුව තුල පිහිටි ශාන්ත ෆ්රැගන්සිස්කෝ කන්‍යාරාමය තුල සිරකරුවෙක් කරන ලදි. මේ සිදු කරන අවස්ථාවේදී විජේපාල කුමරුගේ හමුදා එයට විරුද්ධ වූ හෙයින්, එම අවස්ථාවේ ඇති වූ අරගලය මුවාවෙන් කුමරුට අයිතිව තිබූ බොහොමයක් වස්තුවද පෟතුගීසීන් විසින් කොල්ල කන ලද්දේය.

1643 මාර්තු මස  විජේපාල කුමරු, එකල පෟතුගීසීන්ගේ ආසියාවේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයක් වූ ගෝවා නගරය වෙත නෞකාවක් මගින් රාජකීය ගෞරව සහිතව පිටුවහල් කරන ලද්දේය.
මාර්තු මස 26 වන දින කුමරු ගෝවට පැමිණි පසු, රජ කුමරෙකුට ගැලපෙන අන්දමෙන් වාසය කිරීමට සෙරෆිම් (Xerafim) 250 ක දීමනාවක් සහිතව, තමන්ගේ පරිවාර ජනයා සමග වාසය කිරීමට සුදුසු නිවෙස් ආදිය ලබාදෙන ලදි. 

ගෝවට පැමිණ සති හයකට පසු, ගෝවේ සිටි පෘතුගීසි වෙයිස්රෝයිවරයා වෙත ලිපියක් යවමින්, තමනට කොළඹදී එහි සිටි පෘතුගීසි ජෙනරාල්වරයා ගෙන් සිදුවූ අකටයුතු පැහැදිලි කර, තමන්ගේ රාජකීය තත්වයට ගැලපෙන ලෙස තමාට ගෝවේහිදී සැලකීමට කටයුතු කරන ලෙසද, කොළඹ තමන්ගෙන් සොරාගත් වටිනා රන් ආභරණ, මුතු, මැණික් යනාදියද, ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙම වස්තුව අතර, කුරුල්ලන් බැඳි මාලය නම් විශේෂ ආභරණයක් ගැන සඳහන් විය. ඇතුලත බැලූ විට ආලෝක කිරණ නමයක් වැටෙන ආරනූල් මැණික් ගලින් සෑදූ මෙම මාලය, විජේපාල කුමරු වෙතින් සොරකම් කරන ලදුව, එය ආපසු ලබා ගැනිමට කුමරු මහත් වෙහෙසක් දැරූ බව ලියකියවිලි වලින් දක්නට ලැබේ. 

වෙයිස්රෝයිවරයා වෙත පැමිණිලි කරනු ලැබීමෙන් පලක් නොවූ හෙයින්, පෟතුගාලයේ ලිස්බන් නගරයේ හතරවෙනි දොම් ජාඕ (Dom Joao 1V) රජු වෙත, තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි. කුමරුගේ මෙම දුක් ගැනවිලි විසදා ගැනීමට, එකල ගෝවේ ක්‍රිස්තියානි ආගමික ප්‍රධානියා වූ මීරාහි ආවි බිෂොප් වරයා මහත් ලෙස උදව් කල අතර, කුමරුට එකල රෝමයේ විසූ ක්‍රිස්තියානි පාප් වහන්සේ වූ අටවැනි උර්බාන්ස් (Urbans V111 1623 – 1644) වෙත තමාට වූ අපහසුතාවයන් ලියා දැන්වීමට උපදෙස් දුන්නේය. 

එම උපදෙස් අනුව ලිපියක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව විජේපාල කුමරුට සිදු වූ අසාධාරණයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ලිස්බන්හි පෟතුගීසි රජු විසින් ගෝවේ වෙයිස්රෝයිවරයා වෙත, දැනුම් දෙන ලදි.

මේ සම්බන්ධව ගෝවේහිදී පරීක්ෂණයක් පැවැත්වුනද, විජේපාල කුමරුට සිදුව ඇති අකටයුතු සදහා පැහැදිලි විසදුමක් ලැබුනේ නැත. ටික කලකට පසු විජේපාල කුමරු කතෝලිකයෙකු ලෙස බෞතිස්ම විමට කැමැත්ත පල කල හෙයින්, ලිස්බන්හි පෘතුගීසි අගරජ ඥාන පියා (God Father) ලෙස පෙනී සිට බෞතිස්ම කිරිමට ආගමික ප්‍රධානියාවු ආචි බිෂොප් වරයා කටයුතු යෙදිය.

1646  දෙසැම්බර් මස 08 වැනි දින විජේපාල බෞතිස්ම කිරිම හා ඔහුගේ ඔටුනු පැළදවිමේ උත්සවය, ගෝවේහි වෙයිස්රෝයිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.


එදින විජේපාල කුමරු තම ඔටුනු පැළදවිමේ උත්සවය සදහා එකල පෘතුගීසි වංශාධිපතින් අතර, ජනප්‍රියව පැවති වෙල්වට් හිස් වැසුමක්, සැටින් පාවහන් යුගල සමග වර්ණවත් ඇඳුමකින් සැරසී තම මාලිගයෙන් පිටතට බැස්සේ ඔහුගේ කොළ පැහැති රාජකීය ධජය පෙරටු කොට ගෙනය. ඔහුගේ මාලිගයේ ගේට්ටුවෙන් පිටත හිස මුඩු කරන ලද පෟතුගීසි සොල්දාදුවන් කුමරු පෙරහැරෙන් දේවස්ථානය වෙත ගෙන යාමට පෙල ගැසී සිටියහ.

කුමරු මෙලෙස පිරිසත් සමග උත්සවාකාරයෙන් දේවස්ථානයට ගමන් කරන විට දෙපස රැස්ව සිටි ජනයා, ඔහු වෙතට මල් දමමින් ප්‍රීති ඝෝෂා කලහ. පෙරහැරේ ඉදිරියෙන් ගිය හැඩි දැඩි සොල්දාදුවන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු තරමට, විශාල ජනතාවක් දේවස්ථානය අසල රැස්ව සිටියහ. දේවස්ථානය දොරටුව අසල කුමරුන් පිලි ගත් වෙයිස්රෝයිවරයා, ඔවුහු අල්තාරය අසලට රැගෙන ගියේය.

විජේපාල කුමරු දොන් තියෝඩෝසියෝ (Don Theodosio)  නමින් බෞතීස්ම කරන ලද අතර, ඔහුගේ පිරිසද ක්‍රිස්තියානි ආගම වැලද ගත්හ. ඔහුගේ ලඟම මිත්‍රයෙකු හා සිංහල රජ කුමාරයෙකු වූ (Don Duarte De Draganza) දොන් ඩුවාටේ ද ඩ්රගන්සා නමින් බෞතීස්ම කර, රජුගේ ප්‍රධාන නිලධාරියෙකු ලෙස පත් කරන ලදි.

උත්සවය අග භාගයේදී විජේපාල කුමරු, සිංහල රාජ වංශයේ රාජකීයන් පලඳින රනින් කර වූ, රාජාලි ලකුණ සහිත පෙන්ඩනය ගලවා ඒ දේවස්ථානය වෙත පූජා කරන ලදි. ඉන්පසු රනින් කර වූ ඔටුන්නක් වෙයිස්රෝයිවරයා විසින් විජේපාල කුමරුගේ හිසේ පලදා, ඔහු රජකු ලෙස රාජාභිෂේක කෙරිණි. විජේපාල කුමරු රටක් නොමැති රජෙකු බවට පත්විය.

විජේපාල කුමරු පිළිබඳ විස්තරයක් කරන, එකල ඔහු පිළිබඳව හොදින් දන්නා පෟතුගීසි කපිතාන් වරයෙකු වූ කපිතාන් ජාඕ රිබෙයිරෝ, ඔහු වැදගත් වංශාධිපති පෙනුමක් ඇති, සෟජුව තම ශරීරය තබා ගෙන ගමනේ යෙදෙන, ශක්තිමත් ශරීරයකින් හෙබි පුද්ගලයෙකු බවද, හොදින් වැඩුණු උඩු රැවුලක් සහ උරහිස් වලට වැටෙන සේ අගින් රැළි වැටුණු කොණ්ඩයක් තිබුනු බව, සදහන් කරයි. නිරාහි ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු උපතින් හා අධ්‍යාපනයෙන් විශිෂ්ඨ වූ රාජ කුමරෙකු බවටද, ඔහුගේ පෙනුමෙන් සහ හැසිරීමෙන් ඔහු අධිරාජ්‍යයෙකු වීමට වූවද සුදුසු බව සදහන් කලේය. තව දුරටත් ඔහු ගැන විස්තර කරන ආචි බිෂොප්වරයා, විජේපාල කුමරු ඉතාමත් දක්ෂ අශ්වාරෝහකයෙකු බවද, එමෙන්ම එඩිතර රාජ කුමරයෙකු සතු විය යුතු සියලු ධර්මයන් ගෙන් සහ ගුනාංගයන් ගෙන් යුතු කුමරෙකු බවද සදහන් කලේය.

ඔහුට ඔටුනු පැලද වූ පසු, රාජ්‍යයක භාණ්ඩාගාරයක් නොමැතිව රජ නෙකෙකුගේ තත්වයෙන් රාජ සභාවක් පවත්වා ගනිමින්, ජීවත්වීමට විජේපාලට අපහසු විය. එහෙයින් ඔහුගේ දුක් ගන්නාරාල වූ දොන් ඩුවිටේ ද ඩ්රවගන්සා නමින් බෞතීස්ම ලැබූ සිංහල රාජ කුමාරයා මගින්, ලිස්බන්හි පෟතුගීසි මහ රජු වෙත ලිපියක් ඉදිරිපත් කර, තමාගේ මාසික දීමනා වැඩි කරන ලෙසද, කොළඹදී තමන්ගෙන් කොල්ල කන ලද රාජකීය වස්තුව තමාට ආපසු ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පෟතුගීසි රජු, ගෝවේහි වෙයිස්රෝයි වරයාගෙන් අසා සිටින ලදුව, විජේපාල කුමරුට දැනට (1650) සෙරෆින් (Xerafin) 250 ක මාසික දීමනාවක් ලබා දෙන බවද, ඒ ඔහුගේ වියදමට ප්‍රමාණවත් බවද, සදහන් කරමින් වෙයිස්රෝයිවරයා පිළිතුරු බැන්දේය. කෙසේ වුවද කුමරුගේ මාසික දීමනාව වැඩි කිරිමට කටයුතු කෙරිණ. කෙතරම් මුදල් කරදර තිබුනද අසරණයන්ට උදව් කිරීමට ඔහු කිසි විටෙක මැලි නොවීය. ආබාධිත පෟතුගීසි සෙබලුන්, වැන්දඹුවන්, අනාථයින් සහ අසරණයින් ආධාර ලබා ගැනීම සදහා කුමරුගේ මාලිගය වෙත පැමිණිම ගෝවේහි සුලභ දසුනක් වූ අතර, තමන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා තමන්ගේ ආභරණ පවා උකස් කිරීමට සිදු වුවද, තමන් වෙත පැමිණෙන අසරණයින් හිස් අතින්  ආපසු යැවීම කුමරුන් අතින් කිසි දිනක සිදු නොවීය.

තමන්ගේ සොහොයුරා වූ කන්ද උඩරට රජකල රාජසිංහ රජු, තමනට අයිති වන්නට තිබූ රාජධානිය ඔහු ගෙන් උදුරා ගත්තද, ඔහු තුල රාජසිංහ රජු කෙරෙහි සුවශේෂී ලැදියාවක් පැවතිණි. වරෙක පෘතුගීසි නිළධාරියෙකු විසින් සිංහල රාජධානිය දැන් ඉතාමත් දුර්වල තත්වයක පත්ව ඇති හෙයින්, තව ටික දිනකින් රාජසිංහ රජු පෘතුගීසි සිරකරුවෙකු විමට ඉඩ ඇති බව පැවසු විට කෝපයට පත් විජේපාල කුමරු, එම නිළධාරියාට පහරදුන් බව සදහන් වේ.

ශ්‍රී ලංකාවට ආපසු ගොස් කොළඹ පෘතුගීසි ආණ්ඩුකාරවරයා විසින්, තමාට කරන ලද අවමානයන්ගෙන් සිදුවු ලැජ්ජාව මකාලීමට කුමරු කිහිප වරක්ම උත්සහා කලද, ඒ සදහා ඔහුට අවකාශය නොලැබිනි. තමනට ලැබිය යුතු තම රාජ්‍ය උදුරා ගත්තේ වුවද, කන්ද උඩරට රාජසිංහ රජු සමග ඔහු ලිපි මගින් සම්බන්ධතා පවත්වා ගත්තේය. 1652 මාර්තු මස තම සහෝදර රාජසිංහ රජු වෙත දෙමළ භාෂාවෙන් ලිපියක් ලියමින්, ඉක්මනින් කන්ද උඩරට හමුදා ශ්‍රී ලංකාවේ පෘතුගීසි ප්‍රදේශයන්ට පහර දිමට සැලසුම් කරන බව පෙනෙන්නට නැත්නම්, තමා ලිස්බන් නගරයට යැවිමට පෘතුගීසි නිලධාරින් සැලසුම් කරන නිසා, පෘතුගීසීන් සමග යුධ වදින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් 1654 විජේපාල කුමරු මියගිය හෙයින්, මෙම ඉල්ලිම ඉටු කිරිමේ අවශ්‍යතාවයක් ඇති නොවිය.

පෞඩ රාජ පරම්පරාවක විජේපාල නම් වු කුමරෙකුව ඉපිද, පිටුවහලෙකු ලෙස තම රාජ පරම්පරාවේ ලකුණ වු රන් රාජාලියා දේවස්ථානයකට පුජා කර, දොන් තියෝඩෝසියන් නමින් රටක් නොමැති අධිරාජ්‍යයක ලෙස ඔටුනු පැළද, 1654 වර්ෂයේදි අවු 45 ක් වයසැතිව  මියගියේය. 


මුණගැසුනු සැමට යහපත් දෙයම කරන්නට උත්සාහ කල සිංහල සිංහාසනයේ ඔටුන්න හිමි කුමරු, සැම දෙනගෙන් රැවටී තම රාජධානිය වෙත ආපසු යන්නටත් අවසර නොලැබ, මෙලෙස අවසන් හුස්ම හෙලීම කොතරම් ශෝක ජනකද?  



1 comment:

  1. පෙනී යන පරිදි ගෝව එකල මල්ටි කල්චරල් නගරයක්

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 3

" මම කීප දෙනෙක් ගෙන්ම ඇහුව සමනල කන්ද මුදුනට මගෙත් එක්ක තරඟෙට නගින්න පුළුවන් කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියල, කාටවත් එහෙම කෙනෙක් ගැන...