ඊයේ මම කොළඹ සිට එන ගමන් ගුවන් විදුලියට සවන් දීගෙන පැමිණියෙමි. දැන් ගුවන් විදුලියේ ප්‍රචාරනය වන වෙළෙඳ දැන්වීම් සියල්ලම පාහේ අළුත් අවුරුද්ද සම්බන්ධ ඒවාය. ඒවායිනුත් 95% ටත් වඩා අවුරුද්දට කන්ට යෝජනා කරන කෑම වර්ගය. ඉතිරි 5% ඇඳුම් පැලඳුම් ලාභයට දෙන කඩවල් පිළිබඳවය. මෙයට අමතරව මෙවර කුඩ නිපදවන ආයතනයකින් නිර්මාණශීලී දැන්වීම් වැලක් අසන්නට ලැබුණි.
හදිසියේ වත් ඇල්කහෝල් බීම දැන්වීම් ප්‍රචාරණය තහනම නොතිබුනේ නම් මෙිවායින් කුමන ප්‍රතිශතයක් මෙන්ඩිස්, රොක්ලන්ඩ්, ස්කාගාර, වැනි ආයතන වලින් සිදුකරනු ඇද්ද? මට සිතුණි.
මම පෙරේදා හවස අතුරුගිරියේ ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැලට ගියෙමි. එහි ගණුදෙනු කාරයන් පිරී සිටියේ ඇතුල් වන තැනම ඇති බීම කවුන්ටරය අසලය. බෝතල් 5/6 මලු වලට දමා ගන්නා ගණුදෙනු කරුවන් ගෙන් කවුන්ටරය පිරි ඉතිරී යනු දැකීමට පුලුවන් විය. අනෙක් කොටසේ සිටියේ ඉතා සුලු පිරිසකි.
අපේ මේ බොන සංස්කෘතිය සහ කලාව අපට කාගෙන් පුරුදු වූයේ දැයි හරියටම කියන්නට බැරි වුනත් අපි බොන විදිහේ දකුණු ඉන්දියවේ බොන විදිහේත් බොහෝ සමානකම් තිබේ. නමුත් අරක්කු බීම නම් අපට පුරුදු කර ඇත්තේ 16 වන ශතවර්ෂයේ සිට ලංකාවට පැමිණි යුරෝපීයයන් විසින් බව නම් පැහැදිලිය.
එයට හොඳම සාක්ෂිය ලිඛිතව තිබේ. ඒ 17 වන ශතවර්ෂයේ කන්ද උඩරට සිරකරුවෙකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස්ගේ පොතයි.
එකල රජකල දෙවනි රාජසිංහ රජු (1608-1687) දක්ෂ රණශූරයෙකු වූවා පමණක් නොව රණශූරයන් සාමාන්‍යයෙන් දක්වන අමුතු හා අසාමාන්‍ය ගතිගුන පෙන්වූයේය. ඔහුගේ මෙම අමුතු ගතිගුන වලින් එක් වර්ණවත් ගතිගුනයක් වූයේ අමුතු සතුන් ඇති කිරීමයි. ඔහුට සුද්දන්ද අමුතු සතුන් වූ අතර, කන්ද උඩරට රාජධානියේ එකල නිදහසේ ජීවත්වන එහෙත් සිරකරුවන් වූ යුරෝපීයයන් සිය ගණනක් ජීවත්වූහ. නොයෙකුත් ගම් දනව් අතර බලා ගැනීම සදහා බෙදා දී තිබුණු මොවුන් බොහෝ දෙනෙකුට ආහාර ලබාදීම ඔහු සිටින ගමේ ගැමියන්ගේ වගකීමක් වුවද, අමතර ගතමනාවක් සොයා ගැනීම සදහා මොවුන් කලේ අරක්කු පෙරීමයි.
ඇත්තෙන්ම මෙම තත්වය මතුවීමට පෙර මත්පැන් බීම කඳුරට ප්‍රදේශවල නොතිබුනු තරම් බව රොබට් නොක්ස්ගේ පහත පාඨයෙන් පෙනේ.
“ඔවුන්ගේ පොදු බීම ජලය පමණකි; නමුත් ඔවුන් අරක්කු බොන්නේ නම්, බොන්නේ කෑමට පෙරය. ඒ මත්පැන්වලින් හොඳටම වෙරි දැනෙන්නටය.“
අපේ පැරණි ඉතිහාසයේ මහා වංශයේ සඳහන් පරිදි අප ඒ තරම් බීමට ඇබ්බැහි වී සිටියේ නැති බව පෙනේ. දුටුගැමුණු රජ කාලයේ කණ්ඩුලට රා පෙවූ පුවත හා මේඝවර්ණාභය සෙනෙවියා මහසෙන් රජු වෙත කෑම සහ බීම රැගෙන ගිය බව හැරෙන්නට මහා වංශයේ මත්පැන් බීම ගැන එතරම් සදහන් වන්නේ නැත.
නමුත් වර්තමානයේ මත්පැන් බීම අප සංස්කෘතියේ ප්‍රධාන කොටසක් බවට පත්ව තිබේ. අද උදේ අප නිවසට පොල් කඩන්නට පැමිණි දෙදෙනෙකු ඔවුන් සමග පැමිණි අනෙකා ගැන විපරම් කරන දැක මා ඇසූ පසු ඔවුන් කීවේ අනෙකා බීමත්ව සිටින බවය. මත්පැන් බී ගස් නැඟීම අනතුරුදායක නොවේදැයි මා ඇසූ විට ඔවුන් කීවේ ඔහුට ගස් නැඟීමට නම් මත්පැන් පානය කලයුතු බවත්, එසේ නොමැති නම් ඔවුන්ගේ අත්පා වෙව්ලන බවත්ය.
නොයෙකුත් විවාහ මංගල්‍ය වැනි උත්සව වල මධ්‍යසාර නොමැතිව පැවැත්වීම දැන් හිතන්නටත් නොහැකිය. නෑයෙකු හෝ මිතුරෙකු නිවසට පැමිණිය හොත් ඩ්‍රින්ක් එකක් නොදී ආපසු යැවීම මධ්‍යම පන්තියේ නිවසක කලාතුරකින් සිදුවන්නකි. කාර්යාල වල, ආදි ශිෂ්‍ය යනාදී එකතුවීම් වල මූලික පරමාර්ථයක් වන්නේ මත්පැන්ය. විනෝද ගමන් වල මෙය නැතිවම බැරිය.
මෙලෙස සමාජ ගතව ඇති පුරුද්දක් නවතන්නට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් තිබේ.
- මධ්‍යසාර සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.
- මධ්‍යසාරවල මිළ මිලදී ගැනීම අපහසු වන පරිදි වැඩි කිරීම.
- තරුණයන්ට මධ්‍යසාර හැර වෙනත් සතුටු ගෙන දෙන දෑ සදහා කාලය ගත කිරිමට අවස්ථා ඇති කිරීම.
මෙහි පළමු වැන්න 1920 ගනන්වල ඇමරිකාවේ උත්සාහ කෙරිණ. එයින් වූයේ මධ්‍යසාර වෙළඳාම සංවිධානාත්මක පාතාල කල්ලි අතට පත්වීමයි. මෙයින් මධ්‍යසාර ප්‍රශ්නය පමණක් නොව වෙනත් බොහෝ නීතිය කඩා වැටීමේ ප්‍රශ්න රට පුරා ව්‍යාප්ත විය. ඇල් කැපීනෝ (scarface) වැනි පාතාල නායකයින් බිහි වන්නේ මේ කාලයේය.
ගණන් වැඩි කිරිමෙන් සිදු වන දෑ පිළිබඳව හොඳ උදාහරණයක් මෙලෙසය. මා හොඳින් දන්නා හදුනන බීමහල් අයිතිකරුවෙකු සමග මම කතා කරමින් සිටියෙමි. ඔහුගෙන් ව්‍යාපාර ගැන ඇසූ විට ඔහු කියා සිටියේ ව්‍යාපාර බොහෝ අඩු වී ඇති බවත් ගණන් වැඩි වීමට පෙර බියර් තුනක් පානය කල පාරිභෝගිකයෙකු දැන් බොන්නේ එක බියර් බෝතලයක් පමණක් බවය.
“එවිට ඔවුන් දැන් ඒ ප්‍රමාණයෙන් තෘප්තියට පත්වෙනවාද?“ මම ඇසුවෙමි.
“නැහැ, දැන් ඔවුන් ඒ ඉතිරි ටිකට කේරල ගංජා බොනවා“ අයිතිකරු පිලිතුරු දුන්නේය.
මෙතරම් කේරළ ගංජා ගැන අපට ප්‍රවෘත්ති වල දකින්නට ලැබෙන්නේ මේ වෙළෙඳපොල ඉල්ලීම නිසාම විය යුතුය.
මෙලෙස මධ්‍යසාර වලින් ජනතාව ඈත් කරන්නට අවශ්‍ය නම් ඒ සදහා කල යුත්තේ ක්‍රීඩාවන්ට කියවීමට වැනි මිතුරන් සමග කාලය ගතකල හැකි, එසේම බීමත් කමත් සමග එකට යා නොහැකි අවස්ථාවන් විශේෂයෙන්ම තරුණයන් සහ ළමුන් සදහා ගම්වල ඇති කිරීමයි. සෑම ගමකම ලොකු මුදලක් වියදම් නොවන මේස පන්දු. බැඩ්මිංටන්, දාන්, වැනි ක්‍රීඩාවන්ද, කුඩා පුස්තකාලයක් ඇති කරන්නේ නම් බොහෝ තරුණයන් මිතුරු ආශ්‍රය සදහා මධයසාර වෙත යාම වලක්වා ගත හැක්කේය.
එසේ නොමැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මධ්‍යසාර මිළ ඉහල දැමීම, මධ්‍යසාර වලට වඩා ජාතියට වින කරන මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පරම්පරාවක් ඇති කරන්නට තුඩු දීමට පුලුවන.
මහත්මයා @ ඇල්කොහොල් ප්‍රතිශතය 5% අඩු මත්පැන් මිල විශාල වශයෙන් අඩුකිරීම සාර්ථක පිලියමක් වෙන්නේ නැතිවේද?..එවිට කෙනෙකුට එවැනි සැර ඇති මත්පැන් බෝතල් 2 කට වඩා එකවර පානය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ
ReplyDeleteඇත්ත මමත් හිතනවා බියර් බෝතලයක් රැපියල් 150ක් විතර උනොත් සාධාරනයි කියල
Deleteකෙල්ලෝ, කොල්ලෝ සමිප ආශ්‍රය වැරද්දක් ලෙස දකින සමාජවල උන් බීවාම වෙරි වෙනව වැඩී, නිදසුන් ලංකාව (සිංහල/ දෙමළ), කේරලය.
ReplyDeleteහැබැයි ඉතින් සමාජ සංවර්ධනයත් එක්ක කුණු වෙන්න බොන එක අඩුවෙලා,පාලනයක් ඇති සෝෂල් ඩ්‍රින්කිං වලට ඉබේම හැරෙනවා, ඒකට නීති/ තහනම් දාගෙන කරදර වෙන්ට ඕන නෑ.
ආණ්ඩුවට මත්පැන් සම්බන්ධයෙන් මූණු දෙකක් තියෙන නිසා තමයි නිවැරදි කළමනාකරණයක් කරන්න බැරි!
ReplyDeleteඝර්ම කලාපීය මිනිස් ජානවලට සැර මත්පැන් විෂ වැඩියි කියාත් මට හිතෙනවා.
ඒකද එහෙම නැත්නම් මේ අපේ හිස් බඩ බීමේ පුරුද්දද ?
ReplyDelete