Tuesday, April 11, 2017

උතුරු කොරියාව; ප්‍රශ්නය විසදෙන්නේ කෙසේද?




උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික අවි බලය ලබා ගැනීමට කරන උත්සාහය (න්‍යෂ්ඨක මිසයිල උණ්ඩ)  නිසා දැන් එරට මුලු ලෝකයේම අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම මෙම අනතුරුදායක තත්වය කරුණු කිහිපයක් නිසා අපටද ඉතා වැදගත්ය. 


  1. කොරියාව ආසියාතික රටක් වීම. 
  2. න්‍යෂ්ඨික අවි උතුරු කොරියාව වැනි ඒකාධිපති රාජ්‍යයකින් නිපදවා ගතහොත් මුලු ලෝකයේම ආරක්ෂාව බිඳ වැටීමේ අවදානම. 
  3. කොරියාවේ රුසියාව සහ චීනය සමග ඇති දේශ සීමා. 
  4. උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ තරුණයන් දහස් ලණනක් රැකියාවේ යෙදීම. 



පැරණි එමෙන්ම බලගතු රාජ්‍යයක් වූ කොරියාව පසුගිය ශතවර්ෂ දෙකේදී නොයෙකුත් අසල්වැසි බලගතු රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්ට යටත් විය. විශේෂයෙන්ම චීනය, රුසියාව කොරියාවේ යම් යම් ප්‍රදේශ වරින් වර අල්ලා ගනිමින් කොරියාව පාලනය කලේය. 1910 දී ජපානය විසින් කොරියාව යටත් කර ගන්නා ලද අතර, මිලියන් ගණනක් කොරියානු ජාතිකයින් ජපානය අධිරාජ්‍ය විසින් හමුදාවට සහ කම්කරුවන් වශයෙන් යුධ සමයේදී යොදා ගන්නා ලදි. එම යුද්ධයේදී ජපානයෙන් පිටත යුධ පෙරමුනුවල බොහෝ කලක් යුධ කල සොල්දාදුවන්ගේ සතුට සදහා  කොරියානු තරුණියන් බලෙන් යැවීමද මෙහි කොටසක් විය. (comfort women)

1945 ජපානය යුද්ධයෙන් පැරදී යටත් වූ පසු උතුරු කොරියාව රුසියාව යටතටද, දකුණු කොරියාව ඇමරිකාව යටතටද පත්විය. මෙහි දේශ සීමාව වූයේ එකල තාවකාලිකව එකඟතාවයක් ඇතිකර ගත් 38 වෙනි දේශාංශය හෙවත් 38 වෙනි සමාන්තරයය. කොරියානු අර්ධද්වීපයේ උතුරු පැත්තේ සෝවියට් වර්ගයේ රජයත් බිහිවුනු අතර, දකුණු පැත්තේ බටහිර වර්ගයේ රජයක් බිහිවිය. මෙම රාජ්‍යයන් දෙක අතර 1950 යුද්ධයක් ඇතිවුනු අතර, දකුණු කොරියාවට ඇමරිකාවද උතුරු කොරියාවට චීනයේ සහ රුසියාවේද උදව් ලැබිණ. අවුරුදු තුනක් පැවති මෙම යුද්ධයෙන් මිලියනයක් පමණ මිය ගිය බව පැවසේ. 

මෙම යුද්ධයෙන් පසු දකුණු කොරියාව සීඝ්‍ර දියුණුවක් ලබා ගත්තේය. උදාහරණයක් වශයෙන් 1957 දී ඒක පුද්ගල ආදායම ඝානාවට වඩා අඩු වූ දකුණු කොරියාව 2008 වන විට ඝානාවේ ඒක පුද්ගල ආදායම මෙන් දාහත් ගුනයකින් වැඩිවිය. මේ අතර උතුරු කොරියාව කොමියුනිස්ට් රාජ්‍යයක් පවත්වා ගනිමින් එක තැන පල්වෙන ආර්ථිකයකට මුහුන දුන්නේය. එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 1800 කි. දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 38000 කි. උතුරු කොරියාව මෙන් 21 ගුනයකි. සන්සන්දනයක් සදහා දකුණු කොරියානු ඒක පුද්ගල ආදායම ලංකාවේ මෙන් 3.65 කි.

දකුණු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 10,0000 වන අතර එහි ජනගහනය මිලියන් 51.5 කි. මේ අතර උතුරු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 120,000 ක් වන අතර ජනගහනය මිලියන් 25 ක් පමණ වෙයි. එකතු වුවහොත් මිලියන 75 සහ 220000 වෙයි. 

මේ පසුබිම යටතේ දැන් අපි උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ඨික අවි ප්‍රශ්නය සලකා බලමු. ඒ සදහා අප වැනි ලෝකයේ සාමාන්‍ය රාජ්‍යයන් මෙන් නොව මෙම ප්‍රශ්නයෙන් කෙලින්ම බලපෑම් ඇතිවිය හැකි පරදු දරනා රටවල් මොනවාදැයි බලමු. 

චීනය - ලෝක බලවතකු යැයි සැලකෙන උතුරු කොරියාවේ දේශ සීමාවේ තිබෙන චීනයට උතුරු කොරියාව කුඩු පාවිච්චියට පුරුදුව සිටින ඉමහත් කරදර කාරි හිතුවක්කාර දරුවෙකු වැනිය. චීනයේ උදව්වෙන් සහ ඒ සමග වෙළඳාමෙන් ජීවත්වෙන උතුරු කොරියාව චීනයේ උදව් නොමැති වුවහොත් බංකලොත් වෙයි. එසේ බංකලොත් වී ජර්මනියේ සිදුවූවාක් මෙන් කොරියාවන් දෙක එකක් වුවහොත් ඉතා බලගතු එමෙන්ම බටහිරට හිතැති විශාල රාජ්‍යය චීනයේ දේශ සීමාවේම ඇතිවේ. චීනය මෙයට කැමති නැත. 

එසේම උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි ලබාගත හොත් ඉන්පසු චීනයටවත් උතුරු කොරියාව පාලනය කරගත නොහැකි බව චීනය දනී. ඔවුන්ට න්‍යෂ්ඨික අවි තාක්ෂණය තිබුනත් එය මිසයිල වලට යොදා ගැනීමට තාක්ෂණය මෙතෙක් නොමැති බව විශේෂඥයන්ගේ අදහසයි.  එහෙත් ඔවුනට ආර්ථික උදව් නවත්වා දුර්වල කරන්නට ගිය හොත් ඔවුන් බංකලොත් වී දකුණු කොරියාව හා එක්වුවහොත් මුල් ප්‍රශ්නය ඇතිවෙයි. චීනය මේ නිසා මුහුණ දෙන්නේ මග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයකටය. 

එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යයන් - උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි සහ අන්තර් මහත් ද්වීපික බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීම ඇමරිකාවේ අංක එකේ තර්ජනය බවට පත්වේ. ඔවුනට මේ යන ලෙසට න්‍යෂ්ඨික අවි දියුණු කර ගැනීමට තව අවුරුදු තුනක් පමණ ගතවේයැයි විශේෂඥයින් කීවද ඒ මත රැදෙන්නටද අපහසුය. කිම් ජොන් උන් වැනි කිසිසේ්ත්ම විශ්වාස කල නොහැකි පුද්ගලයෙකුට ඇමරිකාවේ නගරවලට කෙලින්ම න්‍යෂ්ඨික මිසයිල යැවිය හැකි බලයක් ලැබීම ඇමරිකාවට මෙතෙක් කලක් ඇති වූ නපුරුම හීනය වන බවට කිසිම නොඅනුමානයක් නැත්තේය. 

ඉන් පෙර යමක් කල යුතුය. ඒ සදහා ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව චීනයයි. ඒ චීනය සතු උතුරු කොරියාවට බලකල හැකි ලීවරය ඒ සදහා පාවිච්චි කිරිමයි. චීනය මේ සදහා ඇමරිකාවත් සමග එකතුව කටයුතු කිරිමට බොහෝ ඉඩ තිබෙන බව පොනේ. එහෙත් කොරියානු අර්ධද්වීපය එක කොරියාවක් වනවාට චීනය එකග නොවන නිසා න්‍යෂ්ඨික අවි ප්‍රයත්නය නැවැත්වීමට චීනය වෙනත් ක්‍රමයක් සොයනු ඇත.
 කොරියාව පැත්තට යන යුධ නැව් බොහෝ විට යවන්නට ඇත්තේ, වරෙක කීසිංජර් ඉන්දියානු සාගරය ගැන කිව්වාක් මෙන් අවිනිශ්චිතතාවයක් ඇති කිරිම සදහා විය යුතුය.

දකුණු කොරියාව  - දකුණු කොරියාව කලක සිටම උත්සාහ කරන්නේ කැඩුනු කොරියාවන් දෙක එකතු කර එක් බලගතු කොරියාවක් සාදා ගැනීමටය. එසේ එකතු වුවහොත් කොරියාව ජපානය හා සමාන බලගතු ආර්ථිකයක් බවට දියුණු වීමට හැකි වනු ඇත. විශේෂයෙන්ම උතුරු කොරියාව නිසා ආරක්ෂාවට කරන වියදම්ද ඔවුනට බොහෝ දුරට කපා හැරීමට ඉඩ ලැබෙනු ඇත.  

ජපානය - ජපානය සහ කොරියාව බොහෝ කලක සිට සතුරන් වුවද දැන් දකුණු කොරියාව සහ ජපානය ඇමරිකාවේ සඟයන් වෙති. එම රටවල් දෙකේම ඇමරිකානු හමුදා සේනාංක ස්ථාන ගතකර ඇත. කොරියාවන් එකතු වී බලගතු කොරියාවක් බිහිවීමට ජපානය එතරම් කැමැත්තක් නොවූවද උතුරු කොරියාවට න්‍යෂ්ඨික අවි ලැබෙනවාට වඩා ඔවුනට එය බොහෝ ප්‍රිය ජනක විය යුතුය. 

රුසියාව - උතුරු කොරියාව ඇමරිකාවට කරදරයක් ලෙසට මේ තත්වයෙන් තිබීම පිළිබඳව රුසියාව සතුටු විය යුතුය. එහෙත් ඔවුන්ද න්‍යාෂ්ඨික අවි දරන උතුරු කොරියාවකට කැමැත්තක් තිබිය නොහැක. උතුරු කොරියාව න්‍යාෂ්ඨික අවි අසලට පැමිනෙන්නේ නම් ඔවුන්ද එය නැවැත්වීමට ඇමරිකාවට උදව් කරනු ඇත. 

මුලු ලෝකයම - කොරියාවන් දෙකම එකට එකතු වී එක් බලගතු ආර්ථිකයක් සෑදී දැන් උතුරු කොරියාවේ ජල ජාතික නිෂ්පාදනය වන ඩොලර් බිලියන 1520 දෙගුනයක් වුවහොත් එය බිලියන 3000 ත් එහා යනු ඇත. මෙය ලෝක ආර්ථිකයේ දළ නිෂ්පාදනයේ 2% පමණ දැනෙන වැඩිවීමකි. 

මේ අනුව සියලු පරදු දරන්නන්ගේ විශේෂයෙන්ම චීනයේ අවශ්‍යතා සහ සීමාවන් බැලූ විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ප්‍රයත්නය නැවැත්විය යුතුය. එහෙත් එම රට බංකලොත් වීමට තරම් දුර්වල කලයුතු නොවේ. එසේ නම් බොහෝ විට සිදුවන්නට ඉඩ ඇත්තේ චීනය විසින් දැනට පවත්වාගෙන යන උතුරු කොරියානු ප්‍රතිපත්ති වෙනස් නොකරන එහෙත් න්‍යෂ්ඨික අවි උමතුව නොමැති චීනයට ගැති නායකයෙකු පත්කර ගැනීමයි. 
    

2 comments:

  1. North Korea already has nuclear weapons. They also have missiles that can target SK and maybe even Japan.

    Only way to remove those is through all out war. NK is a hermit kingdom. Contact with the outside is very limited. So forcing a political change is almost impossible.

    And South Koreans are totally against the war. They are mostly pacifists who consider NKs as brothers.

    ReplyDelete
  2. yes they have but not suffiently miniaturized to use it in war heads, about the allout war , china can use its economic and political leverage for a regime change that will not pursue nuclear weapons
    perhaps the suspected killing of step brother of un was a result of this

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමු...