ස්පී්ල්බර්ගන් ඊනියා මඩකලපු රජු මුණ ගැසීම.
පෙර කොටසට ලින්ක් එක.
http://lakshmanillangakoon.blogspot.com/2017/04/part-1.html
අද්මිරාල් ස්පිල්බර්ගන් ඉන්පසු පුද්ගලිකව මහනුවර රජු හමුවීමට අවශ්‍ය බව දැන්වීය. එය ඉතා අපහසු කාර්යයක් යැයි පවසමින් ඔහු අධෛර්යමත් කරන්නට ප්‍රාදේශීය පාලකයා උත්සාහ කලේය. මෙහි සත්‍යතාවය පරීක්ෂා කිරිමට අද්මිරාල් ස්පිල්බර්ගන් ඔහුගේ නෞකාවේ නිලධාරියෙකු මහනුවර රජු වෙත පිටත්කර හැරියේය.
මෙම නිලධාරියා 1602 ජුනි මස 15 වන දින මහනුවර බලා පිටත් විය. ohu ජුලි මස 03 වන දින ආපසු මඩකලපුව වෙත පැමිණිමට සමත්විය. එම නිලධාරියා මහනුවර විමලධර්මසූරිය රජු විසින් තෑගි වශයෙන් දෙන ලද රන් ආභරණ සහ රජු විසින් එවන ලද ලිපියක්ද ගෙන එන ලදි. මේ අතර තිබූ වඩාත්ම වැදගත් ත්‍යාගය වූයේ රජු විසින් එවන ලද ‘සෙගෙනන්‘ නමින් හදුන්වනු ලබන කුඩා ඊතලයයි. මෙම ඊතල කන්ද උඩරට රජුගෙන් ත්‍යාග ලැබීම එකල කෙනෙකුට ලැබිය හැකි ඉහලම ගෞරවයක් ලෙස සැලකිණ.
විමලධර්මසූරිය අධිරාජ්‍යයා නෙදර්ලන්තයත් සමග මිත්‍රත්වය ප්‍රකාශ කර ඔවුන් සමග වෙළඳාම් කිරීමට ඇති කැමැත්ත දන්වා එවා තිබූ අතර, අද්මිරාල් ස්පිල්බර්ගන් රටින් පිටවීමට පෙර මුන ගැසීමට අවශ්‍ය බවද දන්වා සිටියේය.
මෙම පණිවඩය ලැබුනු දිනම අද්මිරාල් ස්පිල්බර්ගන් සමග ඕලන්දයෙන් පිටත්ව මුහුදේ අතරමං වූ අනික් නැව් දෙක මඩකලපුවට පැමිණ ඔවුන් සමග එකතු විය. අද්මිරාල් ස්පිල්බර්ගන් කන්ද උඩරට රජු මුණ ගැසීමට යා යුතු බව තීරණය කරන ලදි. අද්මිරාල්වරයා අප්‍රේල් මස 06 වන දින දස දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද කැටුව මහනුවර බලා පිටත් විය. තෑගි විශාල ප්‍රමාණයක්ද ඔවුන් විසින් රැගෙන යන ලද අතර, ඔහුගේ පිරිවර අතර සංගීතකරුවන් කිහිප දෙනෙකුද විය. මඩකලපුවේ ප්‍රාදේශීය පාලකවරයා කන්ද උඩරට ගමන සදහා අලි ඇතුන්ද බඩු බාහිරාදිය ඔසවාගෙන යෑම සදහා මෙහෙකරුවන්ද සපයා දෙන ලදි.
මඩකලපුවෙන් පිටත් වීමට පෙර අද්මිරාල් ස්පිල්බර්ගන්ට කන්ද උඩරට රජු හට ඔහුගේ මිත්‍රත්වය ප්‍රකාශ කිරිමට හොඳ අවස්ථාවක් උදා වුනි. එනම් ඔහු විසින් පෘතුගීසී නැව් තුනක් අල්ලා ඒවායේ තිබූ වස්තුව හා වෙළඳ ද්‍රව්‍ය මහනුවර රජුට ත්‍යාග ලෙස යැවීමට හැකි වීමයි. මෙහිදී එම නෞකාවේ සිටි පෘතුගීසි නැවියන් 40 දෙනෙකුද සිරකරුවන් ලෙස මහනුවරට යවන ලදි.
මෙම ගමනේ අතරමග සෑම වැදගත් ස්ථානයකදීම කන්ද උඩරට රජුගේ ප්‍රාදේශීය පාලකයන් විසින් අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායම මහත් හරසරින් පිලිගෙන ඔවුනට සංග්‍රහ කර ඉඳුම් හිටුම්ද සපයන ලදි. පට්ටිපොලගම, නිල්ගල, බිබිලේ හා බුබුලේ හිදී රජුගේ පාලකයන් විසින් මොවුන් සදහා විශේෂ උත්සව පවත්වා හරසරින් පිලිගෙන සංග්‍රහ කරන ලදි.
මඩකලපුවෙන් පසු ඔවුන් ලගා වූ ඊලග ප්‍රධාන නගරය බින්තැන්නයි. මෙහිදී ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු එක්ව විශාල පෙරහැරක්ද පවත්වා අද්මිරාල් ස්පිල්බර්ගන් පිලිගනු ලැබූ අතර, උඩු වියන් දමා සකස් කර තිබූ විශේෂ නවාතැනක ඔවුන්ට ගිමන් හැරීමට සලස්වන ලදි.
මෙම නගරය දැන් මහියංගනය වන අතර එකල රජුගේ යුධ නැව් සෑදීම කර ඇත්තේද මහියංගනයේ බව අද්මිරාල් ස්පිල්බර්ගන් ගමන් විස්තරයේ විස්තර කරයි. මෙම නැව් මහියංගනයේ සාදා ත්‍රීකුණාමලය වෙත මහවැලි ගඟ දිගේ ගෙන යන්නට ඇති බව සිතා ගන්නට හැක. අද්මිරාල් ස්පිල්බර්ගන්ට එකල මහියංගනයේදී පවත්වන ලද වාර්ෂික පෙරහැරද නැරඹීමට හැකි විය. මහියංගනයට පසු මහවැලි ගඟ පසුකර පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් ඇතුලු කණ්ඩායම පසු දින තෙල්දෙණිය අසල වේඩරුවේ රජුගේ සහෝදරයෙකුගේ මාලිගාවක ලැගුම් ගත්හ.
වේඩරුවෙන් පිටත් වූ කණ්ඩායම එකල කුඩා නගරයක් වූ මැද මහනුවරට පැමිණියහ. එහිදී මහනුවර විමලධර්මසූරිය රජුගේ සහෝදරයා විසින් අද්මිරාල් ස්පිල්බර්ගන් මහත් හරසරින් පිලිගන්නා ලදි. බොහෝ විට මෙම සහෝදරයා විමලධර්මසූරිය රජුගේ ඥාති සහෝදරයා වූ විමලධර්මසූරිය ගෙන් පසු රජ වූ සෙනරත් කුමරු විය හැක.
ඔවුන්ගේ ගමන් මාර්ගය.
කන්ද උඩරට රජු විසින් රනින් කැටයම් කරන ලද ඔහුගේ දෝලාව අද්මිරාල් ස්පිල්බර්ගන් සදහා එවා තිබුණි. ඒ සමග අලි ඇතුන්ද, ආහාර, පළතුරු හා වයින්ද අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායම වෙත එවා තිබුණි. එවා තිබූ වයින් මහනුවර රජු විසින් වගා කරන ලද මිදි වත්තකින් ලබා ගත් මිදි වලින් සාදන ලද වයින්ය. ඒවා පෘතුගාලයේ සාදන ලද වයින් වලටද වඩා රසවත් බව අද්මිරාල් ස්පිල්බර්ගන් ගමන් විස්තරයේ සදහන් කර ඇත.
No comments:
Post a Comment