Monday, April 3, 2017

විදුලි කාර් මුලාව ; නම බලා රැවටීම.




විදුලියෙන් දුවන කාර් පරිසර හිතකාමී එමෙන්ම ඉතාමත් කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් යැයි බොහෝ දෙන සිතති. සාමාන්‍ය ජනයා පමණක් නොව ඉංජිනේරු හා තාක්ෂණ දැනුමක් ඇති බොහෝ වෘතිකයන්ද එසේ සිතන බව පෙනේ. 

මෙය කොතරම් සමාජය තුලට කාවැදී ඇත්තේදැයි කියන්නේ නම් සමහර රාජ්‍යයන් විසින්; අපද ඇතුලුව - එම කාර් වර්ග වලට අය කරන බදු මුදල්ද අඩුකර තිබේ. දැන් ටික කලකට පෙර බොහෝ ලිබරල් ජනතාවක් සිටින ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය තුල විකුණන වාහන වල යම් ප්‍රතිශතයක් විදුලි කාර් විය යුතු යැයි නීතියක්ද සම්මත කෙරුනේ මේ විදුලි කාර් වලට ඇති ගෞරවය නිසාය.  

ඇත්තෙන්ම විදුලි වාහන මේ කියනා තරම් පරිසර හිතකාමිද? නැත්නම් එයත් අවසානයේ බලන විට කොමියුනිස්ට් වාදය මෙන් රසවත් වූ එහෙත් ප්‍රායෝගික නොවන වැඩකට නැති අපම රවටා ගන්නා බොරුවක්ද? 

මේ සදහා පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට නම් අප පහත සදහන් ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත යුතුය.

  1. විදුලි කාර් සාමාන්‍ය කාර් වලට වඩා පරිසර හිතකාමීද? 
  2. එසේ නම් කොතරම් ප්‍රමාණයකින් පරිසර හිතකාමීද?  
  3. රථය නිපදවන අවස්ථාවේ පිටවුනු co ₂ ප්‍රමාණය කොපමණද? 
  4. විදුලි වාහනය දුවන්නට විදුලිය පැමිණියේ කොහෙන්ද?  
පිළිතුරු 

විදුලි කාරයක කාරය නිපදවීම සදහා වායුගෝලයට එකතු කරන co₂ ප්‍රමාණය වාහනයේ ජීවිත කාලය තුලම වායුගෝලයට එකතු කරන co₂ ප්‍රමාණයෙන් 1/3 ක් වෙයි. මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් විදුලි නොවන රථයක් සදහා co ₂  රාත්තල් 16,000 ක් පමණ වෙයි. එහෙත් මෙය විදුලි කාර් එකක් සදහා රාත්තල් 25,000 ක් ඉක්මවයි. ඒ කියන්නේ වාහනය පාරට දමන්නටත් පෙරම විදුලි කාරය co ₂ රාත්තල් 9000 ක් වැඩිපුර  වායුගෝලයට නිදහස් කර පරිසරය විනාශ කර ඇත. 

ඊලඟ ප්‍රශ්නය මේ විදුලි කාර් වලට විදුලිය සපයන ප්‍රභවය කුමක්ද යන්නයි. ජල විදුලිය, සූර්ය තාපය, සුළං භ්‍රමණ හෝ පරමානු බලාගාර වැනි 100% ක්ම පොසිල දහනය නොකරන විදුලිය ජනනය කරන රටවල් ලෝකයේ ඇත්තේ මා දන්නා විදිහට කොස්ටරිකා රජය පමණයි. මෙම වාහනය දුවන්නේ එහි නොවේ නම් මෙම වාහනය දුවන්නටත් විදුලිය නිපදවන්නේ පොසිල ඉන්ධන දහනය කිරීමෙනි. බොහෝ දියුණු රටවල පවා මෙම ප්‍රභවය ඩීසල් පෙට්‍රල් වලටත් වඩා බොහෝ අපිරිසිදු ගල් අගුරුය.  

ඇත්තෙන්ම තෙල් වලින් දුවන මර්සිඩීස් බෙන්ස් රථයක් , දැනට ලෝකයේ කාර්යක්ෂතම විදුලි රථය ලෙස සැලකෙන ටෙස්ලා රථයකට වඩා මුලු ජීවිත කාලය තුලම පරිසරයට එකතු කරන්නේ co ₂ ටොන් 3 කි; ටෙස්ලා ටොන් 44, බෙන්ස් 47 කි. 

යුරෝපා වෙළෙඳ පොලෙහි දැන් co ₂ ටොන් 1 ක් වායුගෝලයෙන් ඉවත් කිරීමට පිරිවැය ලෙස සලකන්නේ ඩොලර් 7 කි. ඒ කියන්නේ මුලු ජීවිත කාලයක් ගත වූ පසු බෙන්ස් කාර් එකක් විදුලි කාරයකට වඩා වායුගෝලයට එකතු කර ඇත්තේ ඩොලර් 35 කින් පිරිසිදු කල හැකි co₂ විසර්ජනයකි.   

මේ ආකාරයෙන් බලන විට විදුලි කාර් අප විසින්ම අපම රවටා ගැනීමක් නොවේද?     



5 comments:

  1. ඔබගේ විග්‍රහය තර්කානුකූල වුවත් ඒකාංශික විගහයක් ලෙස දකිමි.
    ඉන්ධන දහනයෙන් ධාවනය වන රථයක් එහි ජීවිත කාලය තුල පරිසරයට මුදා හරින ලිහිසි තෙල් ප්‍රමාණය ගනනය කල යුතු නැතිද? ශ්‍රී ලංකාව වැනි බොහෝමයක් රට වල ඒවා නිවැරදිව බැහැර කිරීමේ ක්‍රම වේද නොමැති නිසා පරිසරයට මුදා හැරේ.
    තව දුරටත් තෙල් පෙරහන් වායු පෙරහන් නිශ්පාදනයට මුදා හරින CO2 ප්‍රමාණය මැන බැලෙනවාද? එන්ජින් සිසිලන ද්‍රවණ හරහා පරිසරයට මුදා හැරෙන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය කොතරම්ද?
    මා ඔබගේ තර්කය බැහැර නොකරමි එහෙත් එය අසම්පූර්ණ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මම ඒ පැත්ත ගැන බලලා නැහැ. නමුත් ලිහිසි තෙල් අඩු වැඩියෙන් වර්ග දෙකේම පාවිච්චි වෙනවා නේද?
      පෙරහන් වලින් ඇත්තෙන්ම co2 වායුගෝලයට නිකුත් වෙන්නේ නැහැ නේද? එවැනි රසායනික ද්‍රව්‍ය වාහනය සදහා විදුලි බලය නිපදවෙන ගල් අගුරු හෝ පොසිල නිපදවෙන බල ජනකාගාර වලින් එකතු වෙනවා නේද?
      එලෙසම වාහනයේ ලීතියම් බැටරිය ඉවත් කරන විට සිදුවන පරිසර හානිය ඉන්ධන වාහනයකින් සිදුවන්නේ නැහැ නේද?
      මෙවැනි සුලු කරුණු දෙපැත්තටම බොහෝ තිබේ.

      Delete
  2. වඩාත්ම පරිසර හිතකාමී වාහනය බයිසිකලයයි. කෙසේ නමුත් පාරේයන මිනිසුන්ගේ නහයට කෙලින්ම කළු දුම් පිඹින්නේ නැති විදුලි මෝටර් රථය...ඉන්ධන දහනයෙන් ධාවනය වන රථයකට වඩා හොඳය. ශබ්ධ දුෂනයත් අඩුය.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ මම සලකා බැලුවේ මුලු ලෝකයම එක ඒකකයක් ලෙස සලකා පරිසරයට වඩා හොද කුමක්දැයි පරීක්ෂා කිරීමට, ශබ්ද ඇතිවීම එන්න එන්නම අඩු වී දැන් අලුත්ම කාර් එකකයි විදුලි රථයකයි සැලකිය යුතු වෙනසක් නැහැ. ඔබගේ පරන කාර් එක විකුණා දමා අලුත් ශබ්ද අඩු වාහනයක් මිලදී ගන්න.

      Delete
  3. කොහොම උනත් මේවා අවම මට්ටමින් සිදු කිරීමට තවත් වැඩිදියුණු කිරීම් කළ යුතුයි. ඒත් සරත් කිව්ව වගේ ශබ්ද දුෂණය වායු විමෝචනය අතින් දීර්ඝ කාලිනව පරිසරයට විදුලි වාහන වලින් බලපෑමක් තියේ..

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...