Sunday, November 19, 2017

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?



මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය.

චන්ද කොහොමත් අපට විනෝදාස්වාදය ගෙන දෙන අංගයක් නිසා මට මෙවර  චන්දයෙන් කුමක් වෙන්නට ඉඩ තිබෙන්නේද යන බව ගැන පොඩි විශ්ලේෂණයක් ලියන්නට සිතුනි. විශේෂයෙන්ම මෙවර චන්දය පැවැත්වෙන ආකාරය වෙනස් කර ඇති නිසා මෙහි  සාමාන්‍ය චන්දයකට වඩා යම් විශේෂ සිත්ගන්නා සුළු බාවයක්ද ඇති බව මෙතනදී කිව යුතුය.

මේ චන්දයට දැන් පෙනෙන විදිහට මුහුණ දෙන ප්‍රධාන පක්ෂ තුනක් වෙයි. ඒ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව කණ්ඩායමයි. සාමාන්‍යයෙන් ලංකාවේ සිංහල බහුතරයක් සිටින පලාත්වල අනෙකුත් කුඩා පක්ෂද මෙම කණ්ඩායම් තුනට සම්බන්ධ වී චන්දය ඉල්ලන්නට ඉඩ තිබෙන අතර වතු දෙමල ජනතාව බහුතරයක් වන ප්‍රාදේශීය පලාත්වල පමණක් වතු පක්ෂ තනියම  බලය ලබා ගැනීම සදහා තරග කරනු ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සෑම ප්‍රාදේශීය පළාතකම වාගේ කුඩා චන්ද ප්‍රමාණයක් ලබාගෙන සමහර ඒවාගේ කොට්ටාශයක් දෙකක් ලබා ගනු ඇත.

කලකට පසු නැවත කරලියට පැමිණෙන කොට්ටාශ ක්‍රමය නොපැමිණියේ නම් රටේ පවතින ජනමතය සැලකු විට  සාමාන්‍ය චන්ද කොට්ටාශයක චන්ද බෙදීයාම පහත ආකාරයට සිදුවිය හැකිව තිබුනේ යැයි මට සිතේ.
එක්සත් ජාතික පක්ෂය - 35 %
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 20%
පොහොට්ටුව - 35%
කුඩා පක්ෂ හා ස්වාධින කණ්ඩායම් -10%

මෙලෙස පොහොට්ටුවට මෛත්‍රී කණ්ඩායමට වඩා ලොකු ප්‍රතිශතයක් තිබුනේ එය UNP එකට විරුද්ධ ප්‍රධාන කණ්ඩායම නිසාය. මක්නිසාද ගම්වල SLFP සහ UNP එකතුවීම බොහෝදුරට UNP පාක්ෂිකයන් පිළිගෙන ඇතත් SLFP පාක්ෂිකයන් පිළිගෙන නැතිනිසා යයි මට සිතේ.

එහෙත් දැන් මෙම තත්වය කොට්ටාශ ක්‍රමය හදුන්වාදීම නිසා සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබේ. ඇත්තෙන්ම කොට්ටාශ ක්‍රමය ජනාධිපති සිරිසේනගේ සහ තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කාරයා බවට මෙවර බොහෝ විට පත්වන්නට ඉඩ ඇත්තේය.
 මනාප ක්‍රමයට වඩා කොට්ටාශ ක්‍රමයේ ලොකු වෙනසක් ඇත්තේය. ඒ කොට්ටාශය තුල චන්දය ඉල්ලන පුද්ගලයාද චන්දය ලබා ගැනීමේ ප්‍රධාන සාධකයක් වීමේ ඇති හැකියාවයි. 

පක්ෂයක් එතරම් චන්ද ආකර්ෂණය කර නොගත්තේ වුවද එහි අපේක්ෂකයා කොට්ටාශය තුල ජනප්‍රිය චන්දදායකයා ගරු කරන පුද්ගලයෙකු නම් එම පක්ෂයට වාසි ලැබිය හැක. අනෙක මැතිවරණ ආසන මට්ටමේදී පවා කුලබේදය අනුව චන්ද වැටෙන අපගේ වැනි රටක ගම මට්ටමට එන විට කුල, ආගම්, වැනි සාධකද චන්ද ප්‍රමාණයට ලොකු බලපෑමක් කරන්නට පුළුවන. ඒවාගේම අපේක්ෂකයාගේ සනුහරයද චන්ද ප්‍රතිශත වලට ලොකු බලපෑමක් කරන්නට හැකියාව ඇත. කිට්ටුවෙන් බැඳී ඇති නෑයන් පවුල් 20ක් පමණ ලොකු වෙනසක් කරන්නට පුළුවන.

එහෙයින් මෙවර චන්දයේදී අඩුවෙන් බලාපොරොත්තුව සිටි ශ්‍රී ලංකා නීදහස් පක්ෂ (මෛත්‍රී ) බොහෝ විට අනෙක් ප්‍රධාන කණ්ඩායම් දෙක හා සමානව කොට්ටාශ  ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාවක් දැන් ඇති වී තිබේ. එය යතාර්ථයක් වුවහොත්  වර්තමානයේ පාර්ලිමේන්තුව සැකසී ඇති ආකාරයෙන්ම අනාගතයේ ප්‍රාදේශීය සභාද සංයුක්ත වීමට බොහෝ ඉඩකඩ ඇත්තේය.


ඒ අනුව බලනවිට කොට්ටාශ ක්‍රමයෙන් වැඩියෙන්ම අවාසි වන්නේ පොහොට්ටු කණ්ඩායමට බව  පෙනේ. මක්නිසාද මනාප ක්‍රමය තිබ්බේ නම් අපේක්ෂක සාධකයේ බලපෑම බොහෝ අඩුවී රටේ තිබෙන සාමාන්‍ය ජන මතය පිළිඹිබු වන ප්‍රතිපලයක් එන්නට ඉඩ තිබුණු බැවිනි.  

1 comment:

  1. මේ රටේ තිබෙන කිසිදු වැදගැම්මකට නැති පක්ෂ දේශපාලනය තුරන් කිරීමට පුලුවන් එවැනි දෙකින් පමණයි.
    විචාරක දියණිය

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...