Friday, June 17, 2016

කියලත් බැරි නොකියත් බැරි එට්කා එකේ Chinese Connection එක


කියලත් බැරි නොකියත් බැරි එට්කා එකේ Chinese Connection එක



කලාපික වෙළද සම්මුති, ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකයන් දියුණු කර ගැනීම සඳහා, යොදා ගන්නා ක්‍රම වේදයකි. ලෝක වෙළද සංවිධානය (WTO) මෙම කලාපීය වෙළඳ සම්මුති නිර්වචනය කරන්නේ, රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති කර ගන්නා, වෙළඳ ගිවිසුම් ලෙසටය. නිදහස් වෙළඳ සම්මුති සහ බඳු රහිත කලාප, මෙම සම්මුතීන්ට අයත් වන බවද, ලෝක වෙළඳ සංවිධානය තව දුරටත් පවසයි.
අනූව දශකය මුල් භාගය සිට, මේ දක්වා කලාපික වෙළඳ සම්මුති 625 ක් පිළිබඳ, ලෝක වෙළඳ සංවිධානය වෙත, රාජ්‍යයන් මගින් දන්වා ඇත. මෙයින් 419 ක් ක්‍රියාකාරී තත්වයේ පවතී. ලෝක වෙළඳ සංවිධානයේ තොරතුරු වලට අනුව, මෙම කලාපීය සංවිධාන 419 පහත ආකාරයට භෞතික වශයෙන්, වෙන් කල හැකිය.
 බඳු රහිත කලාප සම්මුති                    29
ආර්ථිකයන් ඒකාබද්ධ කිරීම්            137
නිදහස් වෙළඳ සම්මුති                      237
අර්ධ විෂයපත සම්මුති                       16
මෙම දත්ත අපට පෙන්වා දෙන්නේ කලාපීය සම්මුති, අද ඊයේ අන්තර් ජාතික වෙළඳාමට  හදුන්වා දෙන ලද, අන්තර් ජාතික සම්මුති වෙසෙසක් නොවන බවයි. එසේම ලෝකයේ නොයෙකුත් රටවල් වලට මෙවැනි සම්මුති, ආගන්තුක නොවන බව, ලෝක වෙළඳ සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. එක්සත් ජාතික මංඩලයේ සාමාජිකත්වය සැලකූ විට, ලෝකයේ තිබෙන්නේ රටවල් 196 ක් පමණක් වුවද, (තායිවානයද ඇතුළුව) ලෝක වෙළඳ සංවිධානයේ දත්තයන්ට අනුව, කලාපීය සම්මුති 419 ක්ම තිබීමෙන්ම මේ කරුණ පැහැදිලි වෙයි.
ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල, ප්‍රසිද්ධ වේදිකාවේ සහ ප්‍රවෟත්ති සාකච්ඡාවල මේ දිනවල බොහෝ කථා බහට ලක් වී ඇති, එක්ටා ගිවිසුම් ගතවන තත්වයට පැමිණිය හොත්, එය ලෝකයේ දැනට පවතින කලාපීය වෙළඳ ගිවිසුම් 419 ට එකතුවන තවත් එක් ගිවිසුමක් වනු ඇත. මෙම එක්ටා ගිවිසුම් ගත වීමට විරුද්ධ විවේචනයන්ගෙන්, තදබලම විරෝධීන් පවසන්නේ, එම ගිවිසුම නිසා, අප රට ඉන්දියාවේ කොලනියක් වීමට ඉඩ තිබෙන බවය. අප වර්ථමානයේ වැඩ කිරිමට ඉගෙන ගත යුත්තේ, ඉතිහාසයේ තිබූ දෑ අධ්‍යනය කිරීමෙන් නම්, එක්ටා ගිවිසුම ඇතිකර ගැනීමෙන් අපට එවැනි තර්ජනයක් ඇති විමට ඉඩ තිබේදැයි, දැනගත හැකි හොඳම ක්‍රමය මීට පෙර මෙවැනි ඇතිකර ගත් ගිවිසුම් වලින්, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වෙනත් රටවලට සිදු වී ඇත්දැයි, සොයා බැලීමයි.
රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර, මෙවැනි සම්මුතියක් නිසා, රටක් තව රටකට කොලනියක් වූ, එසේත් නැත්නම් ප්‍රාන්තයක් වූ අවස්ථාවක්, මෑත ඉතිහාසයේ කවර දිනකවත් සිදු වී නැත. එසේම එවැනි සම්මුතියකින් පසුව, එහි එක් පාර්ශව රටක රැකියාවන්. අනෙක් රටෙන් අල්ලා ගත්තා යැයි, හැඟවෙන අවස්ථාද ඉතිහාසයේ නොමැත.
මෙයට තවත් විරෝධයක් පැන නගින්නේ, අපරට සමහර වෟතිකයන්ගේ වෟතීය සමිති වෙතිනි. ඔවුන්ට ඇති බිය ඉන්දියාවේ එම වෟතීන් වල සිටින වෟතිකයන්, ලංකාව තුලට පැමිණ, ලංකාවේ යොමු වෟතිකයන්ට වඩා, අඩු මුදලට හෝ වැඩි තත්වයකින් සේවා සපයා, ඔවුන්ගේ රැකියාවලට තර්ජනයක් ඇතිවිය හැකි බවයි. එම තර්කයෙහි කිසිම හරයක් නොමැත්තේය. මක් නිසාද මෙවැනි වෙළඳ සම්මුතියක්, නොමැතිව වුවද, එවැනි සේවාවන් රටවල් අතරට ගෙන යාමට ඕනෑ තරම් ක්‍රම තිබේ. පවතින නිතිරීති යටතේ වුවද, ඉන්දියානු සමාගමකට ලංකාවේ ඇතුලත පහසුවෙන්ම ව්‍යාපාරයක් පටන් ගෙන එවැනි සේවාවන්, ජනතාව වෙත පැටවීමට කිසිඳු බාධාවක් නොමැත්තේය.
අනෙක් අතට ශ්‍රී ලංකාවේ බොහෝ මධ්‍යම පන්තිකයින්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට යාම සුලභ දෙයකි. සමහර විට ඉන්දියානු පුද්ගලික ආරෝග්‍ය ශාලාවක්, ශ්‍රී ලංකාවේ ඇති වුවහොත්, එලෙස ඉන්දියාවේ නොයා, ලංකාවේදීම එම ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන. මෙලෙස පුද්ගලික ආරෝග්‍යශාලා වැඩි වීමෙන්, ප්‍රයෝජනය ලැබෙන්නේ, රටේ මහ ජනතාවටය. එවිට පුද්ගලික ආරෝග්‍ය ශාලාවල තිබෙන කළු කඩ මානසිකත්වය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැක. ජනතාවටද තෝරා ගැනීමේ අවස්ථාද වැඩිවේ.
මෙම සම්මුතිය ගොඩ නැගෙන්නේ රටවල් දෙක අතර ඇති, අසමමිතිය මත බව ප්‍රකාශ වේ. මෙවැනි අසමමිතිය මත ගොඩ නැගුනු නිදහස් වෙළඳ සම්මුතියකට හොඳම උදාහරණයක් වන්නේ, මෙක්සිකෝව. කැනඩාව සහ ඇමරිකානු එක්සත් ජනපදය විසින් 1994 ඇති කරගත්, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුමයි. මෙම රාජ්‍යයන් තුනෙන් ඇමරිකාව සහ කැනඩාව දියුණු එමෙන්ම ධනවත් රටවල් වූ අතර, මෙක්සිකෝව තුන්වන ලෝකයට අයත් රටක් විය.  1993 මෙම ගිවිසුම පටන් ගන්නා විට, මෙම රටවල් තුන අතර, වෙළඳාම ඩොලර් බිලියන 288 වුවද, එය 2014 වන විට ට්‍රිලියන 1.12 ක් විය. රටවල් තුනෙහි දළ ජාතික නිෂ්පාදනයේ එකතුව, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8 සිට, වසර විස්සක් තුල ට්‍රිලියන 20 දක්වා, වැඩිවිය.
රටවල් තුනෙන් ධනයෙන් බලයෙන් හා සංවර්ධන තත්වයෙන් අඩුවෙන්ම සිටි, මෙක්සිකෝව ඔවුන්ගේ දවසක ආනයන වටිනාකම 1994 සිට 2014 වන විට, දස ගුනයකින්,එනම් ඩොලර් බිලියන 1 කට වැඩි කර ගැනීම මෙයින් කැපී පෙනේ. යෝජිත එක්ටා සම්මුතියේ සාමාජිකයන්වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයන් දෙස බැලූ විට, ඒවායේ ප්‍රමාණයන්, අති විශාල අසිමිතක තාවයන්ගෙන් යුක්තය. උදාහරණයක් වශයෙන්, 2014 වර්ෂයේ, ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයේ වටිනාකම, ඩොලර් බිලියන 2067 කි, ඒ අතරම ඉන්දියවේ, සිල්ලර වෙළඳාමෙහි මුළු අගය 2020 දී, ඩොලර් ට්‍රිලියන 1.3 ක් වන බව, ඇස්තමේන්තු කර ඇත. සාපේක්ෂිතව ශ්‍රී ලංකාවේ 2014 වර්ෂයේ, ඇමරිකානු ඩොලර් බිලියන 79 ක් විය. මේ අනුව 2014 වර්ෂයේ ඉන්දියාවේ ආර්ථිකය, අප ආර්ථිකය මෙන් 26 ගුනයක් විශාලය.
 මෙවැනි අසමමිතික තත්වයන් තිබෙන අවස්ථාවල, කාර්යක්ෂමතාවය වැඩි ආර්ථිකයක් තිබෙන රටට, එවැනි ගිවිසුමකින් වැඩියෙන් වාසි ලබා ගන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් ඉන්දියානු වරාය වලට වඩා, ශ්‍රී ලාංකික වරාය බොහෝ කාර්යක්ෂමය. එලෙසම අපගේ පාරිභෝගික වෙළඳපොලෙහි, ඉදිරියෙන් සිටින වෙළඳ ජාලයන්, එවැනි ඉන්දියානු ව්‍යාපාරයන්ට වඩා බොහෝ කාර්යක්ෂමය. උදාහරණයක් වශයෙන් දම්රෝ වෙළඳශාලා ජාලය, අබාන්ස්, සහ ෂුඩ් සිටි සුපිරි වෙළඳ සැල්, හඳුන්වා දියහැක. ඉන්දියාවේ මධ්‍යම පන්තිය, මිලියන 267 ක් වෙයි. මෙය ඇමරිකාවේ මුලු ජනගහනයට ගණනින් කිට්ටු වෙයි.  ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාවද ඉහල තත්වයක පවතී. එහෙයින් මෙවැනි ව්‍යාපාර රටවල් දෙක අතර, ව්‍යාපාර කිරීමට අපහසු කරන පරිපාලන බාධා ඉවත් කිරීමෙන්, අති විශාල ඉන්දියානු වෙළඳ පලට, ඔවුනට කෙලින්ම ඇතුලුවීමට ඉඩ ලැබෙනු ඇත.
මේ සියල්ලටම වඩා මෙම සම්මුතියේ, අපට වැදගත් වන්නේ, ලෝක බැංකුවෙන් වසරක් පාසා පලකරන, එක් එක් රටවල, ව්‍යාපාර කිරීමට ඇති පහසුව පිළිබඳ වාර්ථාවයි. එහි ශ්‍රී ලංකාව ලකුණු 61.36 ක් ලබාගෙන 99 වන ස්ථානයේ සිටී. රටවල් 189 ක් අතර 99 වීම ආඩම්බර වීමට කරුණක් නොවේ. නමුත් මෙම වාර්ථාවේ ඉන්දියාවේ තිබෙන තැන අපට වැදගත්ය. ඉන්දියාව ලකුණු 53.97 ක් සමග මෙම ලැයිස්තුවේ සිටින්නේ 142 තැනේය. පැපුවා නිව්ගිනියා තියෙන්නේත් ඉන්දියාවට උඩිනි. ඉන්දියාවේ ආර්ථිකයේ හා ජනගහනයේ විශාලත්වයත්, එහි වෙනස් කිරීම් කරන්නට ඇති අපහසුතාවයත්, අපි හොඳින් දනිමු. විශේෂයෙන්ම මෙවැනි විශාල, එමෙන්ම හෙමින් වෙනස් වන රටකට, මෙවැනි ලැයිස්තුවක ඉහලට ඒම පහසුවෙන් කලහැකි දෙයක් නොවේ. මෑත කාලයේදී වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල්. ඉන්දියාවේ විවෟත කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවුන තත්වය, මෙවැනි වෙනස්වීම් වලට ඉන්දියාවේ ඇති හොඳම උදාහරණයකි.
මෙම තත්වය යටතේ, ඉන්දියාවේ අති විශාල වෙළඳපලෙන්, කොටසක් අල්ලා ගැනීමට සැලසුම් කරන, එහෙත් ඉන්දියාවේ ව්‍යාපාර කිරීමට ඇති අපහසුතාවය නිසා, අන්තර් ජාතික ව්‍යාපාර ආයතන වලට, මෙම ගිවිසුම ක්‍රීයාකාරී වුවහොත්, මෙමගින් ඉමහත් පල ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ ඔවුන්ගේ එම සැලසුම් කල කර්මාන්තශාලා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර, ඉන්දියානු වෙළඳපලට භාණ්ඩ සැපයීමයි. වෙනත් සේවා සැපයීම සඳහාද, ශ්‍රී ලංකා සමාගම් සමග ඒකාබද්ධ ව්‍යාපාර පටන් ගෙන, සම්මුතියෙහි ලබාදී ඇති පහසුකම් ප්‍රයෝජනයට ගෙන, ඉන්දියානු වෙළඳපලට ඇතුලුවීමයි. මෙම සෑම කටයුත්තකදීම ශ්‍රී ලංකාවට පිටරට ආයෝජන (FDI) ලැබීමෙන්, රැකියා අවස්ථා වර්ධනය වීමෙන් සහ ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමෙන්, ශ්‍රී ලංකාවට ඉමහත් ප්‍රයෝජන අත්වන්නේය. විශේෂයෙන්ම චීන සමාගම් මේ සම්බන්ධයෙන් බොහෝ උනන්දු වනු ඇත.
ඇත්තෙන්ම එක්ටා ගිවිසුමෙන් අපට ඉන්දියාවට වඩා, බොහෝ වාසි අත් වන්නේය. ශ්‍රී ලංකාවට ආර්ථික හෝ සාමාජීය වශයෙන්, පාඩුවක් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්පය. අප ව්‍යාපාරිකයින් හා වෟතිකයින් විසින් කල යුත්තේ. විරුද්ධ වන්නන් වාලේ, විරුද්ධ වීම නොව, රටට ලබාගත හැකි ප්‍රයෝජන සොයා බලා, ඒවා රටට ලබා දීමට අප හා අප සමාජය පිළියෙල කිරිමයි.  



       

රියර් අද්මිරල් ලක්ෂ්මන් ටී.බී. ඉලංගකෝන්
l.liiangakoon@gmail.com


3 comments:

  1. Very valuable explanation to the people who has "Lin mediyange aakalpa" to open their eyes and look at modern world.

    ReplyDelete
  2. Very valuable explanation to the people who has "Lin mediyange aakalpa" to open their eyes and look at modern world.

    ReplyDelete
  3. අපේ මිනිස්සු බහුතරය හරි බයයි. ඒ මදිවාට ඕවාට මුල්වෙන දේශපාලුවන්ව විශ්වාස කරන්න බෑ.

    ඉන්දු-ලංකා ගිවිසුම වුණත් ජේආර් ගේ ඉල්ලීමක් නිසා IPKF එක ආවාය කීවාට කතාව වෙනස් නේ!

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...