උඩමළුවේ පන්සල
ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය (1707 - 1739). වයස 17 දී රජකමට පත් වූ ඔහු යකඩ දෝලියකගේ පුත් කුමරෙකු නිසා නොයෙකුත් වාසල කුමන්ත්‍රණ ඔහුට විරුද්ධව ගොඩනැගෙමින් තිබුණි. විශේෂයෙන්ම ඔහු රජ වුවහොත් ඔහුගේ මවගේ පවුලට විශාල බලයක් හිමි වීමටත් ඒ මගින් බොහෝ විට රාජකීය උරුමයන්ද අනාගතයේදී එම පවුලට අයත් වීමට ඉඩ තිබෙන නිසා වෙනත් ප්‍රධාන පවුල් වලින් මෙම විරුද්ධ වාදීකම් මතු වන්නට ඇත.
මෙයින් ගැලවීමට උපක්‍රමයක් කල්පනා කල නරේන්ද්‍රසිංහ රජු තම මවගේ නෑදෑයන් ජීවත් වන පාත දුම්බර ප්‍රදේශයට ගොස් එහි ජීවත් විය. ඔහු ජීවත්වන මාලිගය කුණ්ඩසාල ප්‍රදේශයේ මහවැලි ගග අයිනේ ඉදිකර ගත්තේය. පිහිනුමට ඉතාමත් ප්‍රිය කළ ඔහු මෙලෙස ගග අයිනේ මාලිගය තනා ගැනීම පුදුමයට කරුණක් නොවේ. තම මාලිගය අසල තමන්ට නිතර යාමට ඒමට ඔහු මාලිගය අසල උඩමළුවේ පන්සල නමින් දැන් හැදින්වෙන විහාරයක්ද ගොඩ නගා ගත්තේය. මේ හේතුව නිසා නරේන්ද්‍රසිංහ රජු 'කුණ්ඩසාලේ ' එසේත් නැත්නම් 'සෙල්ලං රජ්ජුරුවෝ' යන අනවර්ථ නාම වලින්ද එකල හැදින්වින.
මෙලෙස දුම්බර ජිවත් වුවද ඔහු රාජකාරි සහ උත්සව කටයුතු සදහා අගනුවර පිහිටි තම මාලිගය නිතරම පාවිච්චි කළේය. දැන් මහනුවර ලේවැල්ලේ මාලිගා තැන්නේ නටඹුන් වී ඇති රාජකීය පිහිනුම් තටාකයද ඔහුගේ කාලයේ සාදන ලද්දකි. කුණ්ඩසාලයේ සිට බෝධිගල කරත්තමඩ හරහා මාලිගා තැන්නට පැමිණ එතනින් ගගෙන් එගොඩ වී මහනුවර නගරයට ගොස් රාජකාරි කර ආපසු කුණ්ඩසාලය වෙත යාම ඔහුගේ චර්යාව විය.
ඔහු මියගිය පසු පළමුවන නායක්කර් රජු ඔටුනු පැළඳි නිසා නැවතත් තත්වය සමනයකට පත්ව රජුගේ වාසස්ථානය මහනුවර මාලිගාව බවට පත් විය. නරෙන්ද්‍රසිංහගේ මාලිගාව කුන්ඩසාලයේ ගග අයිනේ ඉතාමත් දැකුම්කළු දර්ශනයක් වන්නට ඇත. විශේෂයෙන්ම ගගේ ගුරුදෙනිය පැත්තේ සිට බලන විට මෙම මාලිගාව කලාතුරකින් දකින දර්ශනයක් වුවාට කිසිම සැකයක් නැත්තේය. මෙය පිළිබඳව මා දැක ඇති එකම විස්තරය ලියා ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ මේජර් ජොන්ස්ටන් විසින් 1804 දිය.
" ඔවුන්ගේ කාල තුවක්කුවට යාර 200 පමණ පිටුපසින් මහනුවර රජුගේ ප්‍රියතම මාලිගාව තිබුණි. පෘතුගීසි,ඕලන්ද සහ ඉංග්‍රීසින්ගෙන් ලැබුණු නොයෙකුත් ත්‍යාග වලින් මොනවට අලංකාර තිබූ කදිම ගොඩනැගිල සංකීර්ණයකින් මෙය සමන්විත විය.( මේ ඔහු විස්තර කරන්නේ නරේන්ද්‍රසිංහ මිය ගොස් අවුරුදු 170 කට පසුවය )"
ඉංග්‍රීසි හමුදාවේ එක වැරදි ලිපියක් එසේත් නැත්නම් වැරදියට තේරුම් ගත් ලිපියක් නිසා අද අපට මේ මාලිගය බලන්නට ඉඩක් නැත්තේය. ඒ 1804 සැප්තැම්බර් 3 වන දින රාජකීය හමුදාවේ ජෙනරාල් වෙමිස්ගේ අධි සහායක මොව්බ්‍රේ නමැති නිලධාරියා විසින් 3 න් වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජොන්ස්ටන් වෙත යවන ලද ලිපියක් නිසාය. ඔහුට එම ලිපියෙන් දන්වා තිබුනේ කොළඹින්, හම්බන්තොටින්, ත්‍රිකුණාමලයෙන්, මීගමුවෙන්, හලාවතින් සහ පුත්තලමින් මහනුවර ආක්‍රමණය කිරීමට ඉංග්‍රීසි හමුදාංක පිටත්වන බවත් තුන්වන රෙජිමේන්තුව 300 ක් භටයන් සමග මඩකලපුවෙන් පිටත් වී අනෙක් හමුදාංක සමග මහනුවරදී එකතු වීමට පිටත්විය යුතු බවය.
ඔවුහු සැප්තැම්බර් 20 වන දින මඩකලපුවෙන් පිටත් වී මහියංගනය පැත්තෙන් මහනුවර දෙසට ගමන් කළහ. 3 වන රෙජිමේන්තුව මෙලෙස මහනුවරට පැමිණෙන අතර අනෙක් පැමිණේ යයි ඔවුන් බලාපොරොත්තු වූ හමුදාවන් මහනුවරට පැමිණෙන්නේ නැත. සමහරක් හමුදා කොටස් මහනුවරට ඇතුළු වන්නට උත්සාහ කලද ඔවුන් පලවා හරිනු ලැබෙයි.එහෙත් 3වන රෙජිමේන්තුව බොහෝවිට ඔවුන් ඒ දිශාවෙන් පැමිණීමක් කෙසේ වත් බලාපොරොත්තු නොවුණු නිසා , බහුතරයක් තුවාල වී හෝ මිය ගියද මහනුවරටත් පැමිණ ඒ හරහා ත්‍රිකුනාමලයටත් යාමට පොහොසත් වෙයි.
මඩකලපු -මහනුවර අතරමඟ ගමනේදී මොවුන් මාලිගා දෙකකටත් දිසාවකගේ නිවෙසකටත් ගිනි තබති : ඒ රජුගේ මහියංගන මාලිගාව සහ කුණ්ඩසාලේ මාලිගාවයි.දැන් ඒවායේ නටඹුන් වත් සොයා ගන්නට නැත්තේය. මෙලෙස මෙම වැරදියට කියවූ ලිපිය නොවන්නට මේ මාලිගා දෙකම මහනුවර මාලිගාව මෙන් අනාගත පරම්පරාවලට ඉතිරි වන්නට බොහෝ ඉඩ තිබිණ. කුණ්ඩසාලේ මාලිගයෙන් මේ ගින්නෙන් ඉතිරි වූ එකම කොටස පසුව මහනුවර මාලිගයට පිවිසෙන ස්ථානයේ දමා තිබූ සඳකඩ පහන බව මා අසා ඇත.
නියමයි.
ReplyDelete