Friday, August 11, 2017

අනතුරු ඇඟවීම ; හැකි තරම් රජයෙන් ඇත්වී සිටිම ඔබගේ සෞඛ්‍යට හොඳය.



මේ ළඟකදී  මාස කිහිපයක් විදුලි බිල් පත් නොගෙවා තිබීම නිසා මගේ නිවසක විදුලිය විසන්ධි කෙරින. කලකට පසු ඒ නිවස කුලියට දීමට කෙනෙකු ලැබුන නිසා එහි ජල සහ විදුලි සැපයුම නැවත සන්ධි කර ගැනීමට වුවමනා විය. පරීක්ෂා කිරීමේදී ජලය විසන්ධි කර නොතිබූ හෙයින් විදුලිය පමණක් නැවත සන්ධි කිරීමට විදුලිබල  මණ්ඩල කාර්යාලය  වෙත යාමට සිදු විය.

මහනුවර ප්‍රදේශයේ දුරින්ම ස්ථාන ගත කර හැකි ස්ථානයක් මේ සදහා විදුලි බල මණ්ඩලය සොයා ගෙන ඇත්තේය. ඒ දිගන නගරයේ අනෙක් පැත්තේ කෙලවරේ කිලෝ මීටර් 6/7 ක් ඇතුලෙන්ය. මෙය කොතෙක් දුරට හංගා ඇත්දැයි කිවහොත් මට පාරේ වාහනය නවතා හතර වතාවක් දිශාවන් අහන්නට සිදු විය. අවසානයේ අපගේ නැවිගේෂන් හැකියාවන්  පරීක්ෂා කිරීමට මෙන් සගවා තිබු කාර්යාලය මට සොයා ගැනීමට හැකි වුවිට දැනුණු සතුට විදුලිය නැවත සන්ධි කරගත්තා හා සමාන විය. දිගන නගරය ලංකාවේ තිබෙන මාර්ග සොයාගැනීමට අවුල්ම නගරයකි. මෙය හරහා ගොස් කාර්යාලය සොයා ගැනීම පමණක්ම විදුලි පාරිභෝගිකයනට මහත් සතුටක් ගෙන දෙයි. එක්කෝ කාර්යාලය මෙලෙස සගවා ඇත්තේ අපට ඒ සතුට ලගාකර දීමටය. එසේත් නැත්නම් දිගනේ ත්‍රී වීල් කරුවන්ගේ සංගමය සතුටු කිරීමට විය යුතුය. මක්නිසාද දිගනට බසයකින් පැමිණි පසු මෙම කාර්යාලයට යෑමට අඩු තරමින් රුපියල් 150ක් වත් අයකරන බව නොඅනුමානය.

කාර්යාලය වායු සමනය කර සාදා තිබුනද දැන් ඒවා වැඩ කරන්නේ නැති බව විදුරු දොරවල් විවුර්ත කර තිබීමෙන් මම දැනගතිමි. කාර්යාලයට නමක්ද යොදා ඇත්තේය. එය e city නම් විය. සොයා ගැනීමට කොතරම් අපහසු වුවද මෙහි වැඩ ඉතාමත් කාර්යක්ෂම විය යුතු බව  එහි නාමය  නිසා තවත්  සතුටට පැමිණියෙමි.

මම ඇතුලට ගොස් එහි සිටි නිලධාරිනියකට මගේ පරණ විදුලි බිලක් දී මම පැමිණි කාරණය පැහැදිලි කලෙමි. ඇය මගෙන් විදුලිය විසන්ධි කරන වෙලාවේ ඒ සඳහා පැමිණියවුන් දුන් ලිපිය ඉල්ලා සිටියාය. මම එම නිවසේ ජිවත් නොවන නිසා මට එම ලිපිය නොලැබුණු බව මම කීවෙමි. එය තිබිය යුතුයැයි කි ඇය පසුව කොම්පියුටරයේද පරික්ෂාකර මා පැමිණ ඇත්තේ වැරදි තැනට බවත් විදුලි විසන්ධි කිරීම් නැවත සන්ධි කර ගැනීම සඳහා මා යායුත්තේ දිගන විලේජ් එක තුල පිහිටි වී බ ම කාර්‍යාලයට බවත් කියා සිටියාය.

කිලෝ මීටර කිහිපයක් නැවත නුවර දෙසට පැමිණ දිගන විලේජේ වෙත පැමිණි මම එහි ඇති වී බ ම කාර්යාලය සොයාගෙන ඒ වෙත ගියෙමි. පලදායීතාවය තෑගි සඳහා තරඟ කරන ඕනෑම  රජයේ කාර්යාලයක මෙන්ම සැම තැනම කාඩ්බෝඩ් දැන්වීම් වලින් මඟ පෙන්වා තිබුණු මෙම කාර්යාලයේ කාර්යාලිය සේවකයන්ට පමණක් නොවන ටොයිලට් එකක් ද දැක තරමක් පුදුමයට පත්වුනෙමි.

බෝඩ් වල නොමැති නිසා ආරක්ෂක නිලධාරියාගෙන් අසාගෙන ඉහල තට්ටුවේ ඇති නිලධාරිනියක හමුවී මගේ අවශ්‍යතාවය පැහැදිලි කලෙමි. ඇය පරික්ෂාකර මට ගෙවන්නට ඇති මුදල ගණනය කර දුන්නාය. යාන්තන් ඇති කියා සිතා මම ගෙවන්නට ලැහැස්ති වුනෙමි. 

අදොමය! මට එම මුදල එතනට ගෙවන්නට නොහැකි බවත් මම එය මහජන බැංකුවට ගෙවා එම රිසිට් පත මෙතනට ගෙවිය යුතු බව ඇය දන්වා සිටියාය. මම නිවස අසල බැංකුවට එය ගෙවන්නට සිතා මට මුදල් ගෙවා පසුදින පැමිණ රිසිට් එක දිය හැකි දැයි ඇගෙන් විමසුවෙමි. ඇය හැකිබව කිවූ නිසා එසේ කිරීමට හිත හදාගෙන වාහනයට යන අතරේ කුමක්දෝ වාසනාවකට දවසකට වරක් පමණක් පැමිණෙන ඒ වටිනා සිතිවිල්ල මගේ සිතට ආවේය. මම ආපසු ගොස් ඇයගෙන් මේ මුදල ඕනෑම මහජන බැංකුවකට ගෙවා රිසිට් එක රැගෙන පැමිණිය හැකි දැයි විමසුවෙමි. 

"නැහැ දිගනේ මහජන බැංකුවට පමණයි" ඇය පැවසුවාය. දැන් කරන්නට දෙයක් නැති නිසා ආපසු දිගන නගරයට ගොස් මහජන බැංකුව සෙව්වෙමි. මේ සඳහාද කිහිප දෙනෙකුගෙන් අසන්නට සිදුවූ අතර වරක් මා ග්‍රාමීය සමුපකාර මහජන බැංකුවක් වෙතද  යොමුකරන ලද්දේය.

අවසානයේ කුඩා බැංකු කාර්යාලයට ගිය විට එහි පාරිභෝගික කවුළු  තිබුනේ එකක් පමණක් වූ අතර 10 දෙනෙකු පමණ පෝලිමේ සිටියහ. මා මුදල් ගෙවන්නට පෝලිමේ සිටිද්දී කාන්තාවන් දෙදෙනෙකු පෝලිම මැදින් පෝලිමට අතුලුවන ආකාරයද බලා එපා වී හෙට වත් එන්නෙමි යි හිත හදා ගෙන බැංකුවෙන් පිටවුනිමි. දැන් නැවත වරක් කිලෝ මීටර 15 ක් ගොස් බැංකුවට මුදල් ගෙවා ආපසු දිගන විලේජ් එකේ කාර්යාලයට ගොස් එය පෙන්වා විදුලිය සන්ධි කර ගත යුතුය. 

මෙලෙස පුරවැසියන් වන අප කරදරයේ හෙලීම වැලක්වීමට කොතරම් දෑ මෙවැනි රජයේ ආයතන වලට කල හැකිද?

  • ඔන් ලයින් ක්‍රමයට මෙවැනි දෑ සදහා ගෙවීමට ක්‍රම වේද සකස් කිරීම. ඩිජිටල් යටිතල පහසුකම් සදහා අමාත්‍යාංශයක් ද  තිබෙන රටේ මෙවැනි දෑ  මුලින්ම කරගතයුතු දේවල්ය.
  • පාරිභෝගික ජන කේන්ද්‍ර ගත වී ඇති ආකාරය පරික්ෂා කර පාරිභෝගික සේවා පහසුකම් ඇතිකිරීම. මේ ප්‍රශ්නයේ අඩු තරමින් කාර්යාලය කුණ්ඩසාලේ වත් පිහිටුවිය යුතුය.
  • කාර්යාලය බැංකු පිහිටා ඇති ආසන්නයක පිහිටුවීම. එසේත් නැත්නම් කාර්යාලයේ හෝ මුදල් ඇය කරගත හැකි කාඩ්/ මුදල්  වලින් ගෙවීම වැනි ක්‍රම වේද ඇතිකිරීම.
රජයේ ආයතන පළමුවෙන් සිතිය යුත්තේ පාරිභෝගිකයන් ගැනය. එහෙත් මෙහි අප එනවා නම් එන්නේ , අන්තිම අග්ගිස්සටය.

ටොයිලට් එක ගැනත් යමක් කිව යුතුය. මෙවැනි තැනක පුරවැසියන්ට ඒවා පාවිච්චි කරන්නට ඉඩ තිබෙන්නේ කලාතුරකිනි. බොහෝ ඒවායේ ඒවා කාර්ය මණ්ඩල වලට පමණක් බව ලකුණු කර තිබේ. මේ නිසා කලාතුරකින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මම ටොයිලට් එකට ගියෙමි. කාන්තා හා පුරුෂ දෙපක්ෂයටම එක් කුටියක් තිබුණු අතර අගුල කැඩී ඇතුලෙන් වසාගැනීමට බැරි බව දැක්කේ ඇතුලට ගිය පසුය. 

මම දොර අතින් අල්ලා ගෙන ඉක්මනින් වැඩය කරගෙන එලියට පැන ගතිමි.

රාජ්‍ය සම්පත් විකුනන්න එපා කියමින් පාරේ දඟලන අපේ සම්පත් මේවාද? කියා කෙනෙකුගේ හිතට ලෙහෙසියෙන්ම ප්‍රශ්නයක් නැගුනොත් එහි වරදක් නැත්තේය 







12 comments:

  1. අද තියෙන තාක්ෂණයත් එක්ක ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නොකිරීම නම් හිතා ගන්න බැහැ. හැමෝම බලාගෙන ඉන්නෙ ඊලඟ ටෙන්ඩරය එනකන් ගාණක් කඩා ගන්න මිසක් තියෙන් දේවලින් උපරිම ප්‍රයෝජනය මහජනයාට දීමට නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිසිම තේරුමක් නැතිව මිනිස්සුන්ට කරදර කරනවා

      Delete
  2. මම හිතන හිටියේ බැංකු කවුන්ටරේ ඉස්සරහ ඉන්නකොට අස්සෙන් රිංගන මනුස්ස පරාන වල ජිවන සුවඳ, උණුසුම් පහස විඳ ගැනීමේ වරප්‍රසාදය තියෙන්නේ හුදී ජනයටම පමණක්ය කියා:) ඔයි රාජ්‍ය බැංකු පිහිටවල තියෙන්නෙම ඒ වරප්‍රසාදය (ඇතුලේ කෙනෙකු සම්බන්දකර ගැනීමේ හැකියාවක් නැති)සියළු දෙනාට ලබා දෙන්ටම වෙන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කස්ටර්මස් ල ගැන කිසිම හැගීමක් නැහැ

      Delete
  3. Ceb ගැන කතාකරලා වැඩක් නැ

    ReplyDelete
  4. Replies
    1. saddest part is they can be so easily correctable without any additiona expenditure

      Delete
  5. ඉවසීම පුරුදු වන්න පිංවත...ඉවසන්න...සැනසීම ලැබෙයි !

    ReplyDelete
  6. සමහරවිට හීතුව එකද දන්නෙත් නැහැ

    ReplyDelete
  7. විදුලි බලමණ්ඩලය සේවක චරියාව ගැන මමත් දවසක් ලිව්වා මගේ බ්ලොග් එකේ

    http://nopenena.blogspot.qa/2017/07/blog-post.html

    මට විරුද්දධව ක්‍රියාමාර්ග ගන්න කියල ඉල්ලීමුත් දාල තිබ්බා !

    ReplyDelete
  8. සර් මේ ඉල්ලන්කවේ සමස්ථ රාජ්‍ය සේවයේ බහුතරයක් ඔය වගේම තමයි .සමහර විට ඔයිට වඩා වැඩියි කියලා හිතෙන වෙලාවලුත් ජහමනයට ඕනේ තරම් තියෙනෙවා.පුද්ගලික අංශයේ සේවාවල් සපයන ආයතනත් දැන් ඔය වගේ වේගෙන එනවා.

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 1

"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය. ...