Thursday, August 10, 2017

තිඹිරි ගේ යාඥාව





මම ඊයේ ANGELAS ASHES නමැති 1997 පුලිට්සර් තෑග්ග දිනු පොත කියවන්නට පටන් ගතිමි. එහි පහත කොටස  දුකින් පිරුණු  අවස්තාවක් වුවද  ඉතාමත්  ඉහල හාස්‍යකින් යුක්තව  ඉදිරිපත් කල හැකි අන්දම  අපට පෙන්වයි. මට එය පරිවර්තනය කර බෙදාගන්නට සිතුනේ එහි ඇති හාස්‍ය රසය නිසාමය.  
මෙම පොතට පසුබිම් වී ඇත්තේ හතලිස් ගණන් වල අයර්ලන්තයයි. මෙහි කතුවරයා විස්තර කරනුයී අයර්ලන්තයෙදී තම මව ඉපදීමය. 

“මගේ අම්මාගේ කරදර පටන් ගත්තේ ඈ ඉපදුන දිනයේදීමය. මගේ ආච්චි අම්මා තදින් හුස්ම ගනිමින්, හුස්ම ගන්නට උත්සාහ කරමින් තිබිරිගෙයි වේදනාවෙන්, දරුවන්ට උපත දීමට අධිපති ශාන්ත ජෙරාඩ්ට යාඥා  කරමින් සිටියාය. වින්නඹු හෙදිය ඔ හැලොරන් මහත්මිය ඇගේ හොඳම ඇදුමෙන් එතන සිටගෙන සිටියාය. 

ඒ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියයි. වින්නඹුවට  ඉක්මනින් මේ දරුවා ලෝකයට බිහිකර අලුත් අවුරුදු සාද  සහ උත්සව වලට යෑමට තදබල උවමනාවක් තිබුණි. “තල්ලු කරන්න ,තල්ලු කරන්න , ජේසුස්,මේරි සහ ශුද්දවූ ශාන්ත ජෝසප් . ඔබ ඉක්මනින් තල්ලු නොකළහොත් මගේ මේ අලුත් ඇඳුමින් ඇති වැඩය  කුමක්ද? මට එක පාටියකටවත් යන්න වෙන්නේ නැහැ”.
"ශුද්දවූ ශාන්ත ජෙරාඩ් මජෙල්ලා අමතක කර දමන්න, මේවගේ වෙලාවක පිරිමියෙකුට; ඔහු ශාන්තුවරයකු වුවත්,  කරන්න පුළුවන් උදව්ව මොකක්ද ?"
මගේ ආච්චි අම්මා දැන්ඇයගේ යාඥා ශාන්ත ඇන් වෙතට යොමුකරයි ; ඇය අපහසු ළමා උපත් සඳහා අධිපති ශාන්තුවරියයි. නමුත් දරුවා එලියට එන්නේම නැත.වින්නඹුව ඇයට  මාරාන්තික ඉපදීම් වලට අධිපති ශාන්තුවරයා වන  , ශාන්ත ජූඩ්ට යාඥා කිරීමට උපදෙස් දෙයි.

“ශාන්ත ජූඩ් , මාරාන්තික තිඹිරි ගෙයර අධ්පති ,මට උදව් කරන්න , මට හොඳටම අමාරුයි”, ආච්චි  කෙඳිරි ගායි, තල්ලු කරයි, කුඩා දරුවෙකුගේ ඔලුවක් පෙනෙයි . හරියටම 12 කණිසම වදිද්දී ඔලුව පමණක් එලියට එයි. 

අලුත් අවුරුද්දට ලිමෙරික් නගරය විසිල්,නලා,තඹ සංගීත උපකරණ, මිනිසුන්ගේ ගී නදින් පිරි ඉතිරි යයි.ශුභ අලුත් අවුරුද්දක් වේවා. පරණ දේවල් අමතක කරමු. වින්නඹු හෙදිය අඩන්නට පටන් ගනියි. “මම මේ අලංකාර ඇදුමෙන් සිටිමි, දරුවා තවමත් බාගෙට ඇතුලට වී සිටියි. දරුවා ඉක්මනට එලියට එන්න , ඔබ එන්නෙම නැද්ද ?”
ආච්චි අම්මා එක්වරම තද තල්ලුවක් දමයි,දරුවා මෙලොවට පැමිණෙයි. කළු බොකුටු කොණ්ඩයක් සහ දුක්බර ඇස්දෙකක් ඇති ලස්සන ගැහැණු ළමයෙක්.
“උඩ  ඉන්න දෙවියනේ, මේ ළමයා නම් නියම කාලය කන්නෙක්, ඉපදුනෙත් ඔලුව අලුත් අවුරුද්දටයි පස්ස පරණ අවුරුද්දටයි තියාගෙන, එහෙම නැත්නම් ඔලුව පරණ අවුරුද්දටයි පස්ස අලුත් අවුරුද්දටයි තියාගෙනද? කොහොමටත් මේ ළමයාගේ උපන් අවුරුද්ද ගණන් හදාගන්නට නම් පාප් වහන්සේට ලියන්න වෙයි. මගේ අලුත් ඇඳුම නම් කොහොමටත් පාවිච්චි කරන්න වෙන්නේ එන අවුරුද්ද ලබන කොට.”  වින්නඹු ඕ හැලොරන් මහත්මිය කීවාය. 

No comments:

Post a Comment

Why can't we compromise

Sometimes, Taking a Step Back Helps a Nation Move Forward The disagreement over the imprisonment of Ven. Galagoda Aththe Gnanasara Thera rai...