අපට අනුරාධපුරය කී පමණින්ම සිහියට එන්නේ නටඹුන්ය. පැරණි පන්සල්ය, පිළිවෙලක් නැති පාරවල් සහ වාහන ගමනාගමනයය. නමුත් අප අනුරාධපුරය එකල , ශහශ්‍ර දෙකකට පමණ පෙර මෙරට ජනයාගේ අගනුවර වී තිබෙද්දී කේසේ තිබෙන්නට ඇත්දැයි අපට විනාඩි කිහිපයක් රැගෙන සිතා බලන්නට හැකියාවක් තිබේ, ඒ ජාතින් කිහිපයකට පමණක් තිබෙන සුඛවිහරනයක් අපට තිබෙන නිසාය.
එනම් ජාතියේ මුල සිට මෑතක් දක්වා ඉතිහාසය ලේඛනගත කර තිබීමයි. අපට එය එතරම් අගයක් නැතිවුවාට බටහිර භාෂා පිලිබඳ විශේෂඥයන් බොහෝ දෙනෙකු මේ පිළිබඳ උනන්දුවක් දක්වා පසුගිය සියවසේ මුල්භාගයේදී පාලි භාෂාවෙන් ලිය තිබු එම ග්‍රන්ථය සොයාගෙන ජර්මන් සහ ඉංග්‍රීසි භාෂාවනට පරිවර්තනය කළහ. ජර්මානු ජාතිකවිලියම් ගයිගර් මහතා, ඉංග්‍රීසි ජාතික ජෝජ් ටර්නොර් සහ මේබල් හාන්ස් බෝඩ් මහත්මිය ප්‍රමුඛ තැනක් ගනියි.
එම වැදගත් කෘතිය වන මහාවංශය හා චුලවංසය අපගේ ජාතියේ ඉතිහාසය මුල සිට අග දක්වාම ලේඛනගත කර ඇත. 1923 දී මෙම ග්‍රන්ථය රයිස් ඩේවිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පත් කරන ලද කොමිටියක් මගින් රජයේ වියදමෙන්ම සංස්කරණය කරන ලදී.
මෙයින් මහාවංසය අඩු වැඩි වශයෙන් අවුරුදු 844ක් පුරා දිවෙන අතර එම කාලය තුල රජවරුන් 58 දෙනෙකු රාජ්‍ය විචාරති. වැඩිම කාලයක් රාජ්‍ය කරන්නේ පණ්ඩුකාභය රජ තුමාය ( 394-307 ක්‍රිස්තු පුර්ව ).ඔහුගේ රාජ්ය කාලය අවුරුදු 70 ක් වෙයි. මේ කාලය තුල රජ කෙනෙකුගේ සාමාන්‍ය කාලය අවුරුදු 14 කුත් මාස හයක් පමණ වෙයි. රැජිනියන් දෙදෙනෙකි. ඒ අනුලා දේවිය ( 12-16 ක්‍රිස්තු වර්ෂ) සහ සීවලී (ක්‍රිස්තු වර්ෂ 93) වෙති.
මේ කාලය තුල අප අසල්වැසි ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍ය වලින් පැමිණෙන ආක්‍රමණ ගණන තුනකි. ඒවා පහත ආකාරය.
සේන සහ ගුත්තිල ක්‍රිස්තු පුර්ව 177-155
එළාර ක්‍රිස්තු පුර්ව 145-101
පිලයමාර ඇතුළු සෙනෙවියන් ක්‍රිස්තු පුර්ව 43-29
මේ සියල්ලක්ම සිදුවන්නේ අනුරාධපුර නගරයේය. මෙම නගරය මුලින්ම ජනාවාස කරන්නේ අනුරාධ නම් පඬුවස්දෙව් රජුගේ මෙහෙසියගේ ඉන්දියාවේ සිට පැමිණි කුමාරයෙකු විසිනි. ඔහුගේ සහෝදරියවූ භද්දකච්චානා දේවියගේ මුනුබුරකු වූ පණ්ඩුකාභය කුමරු කැරලි ගසා රාජ්‍ය අල්ලා ගෙන ඒ වනතෙක් ජාතියේ අගනුවර වූ උපතිස්සගම අතහැර නිර්මාණය සහ වාස්තු විද්‍යාව පිළිබඳ දැනුම ඇති විශේෂඥයන් ගෙන් විමසා, අනුරාධ ගමට නුදුරින් අගනුවරක් කරවීය. එම නගරය අනුරාධපුරය වීමට හේතු කිහිපයක් මුල් වූ බව මහාවංශය කියයි. සමහර විට මේ නගරය අපට කොතරම් වැදගත් වුවාද කිවහොත් එක් හේතුවක් පමණක් හොඳ මදි යයි මහානාම තෙරුන් හට සිතෙන්නට ඇත. හේතු තුන මෙසේය;
"අනුරාධ නමැත්තන් දෙදෙනෙකුගේ වාස භූමිය වූ හෙයින්ද, අනුර නමැති නැකතෙන් ගොඩ නැගුනු හෙයින්ද, අනුරාධපුරය යැයි ප්‍රසිද්ධ විය".
තම මාමා වරුන් පස් දෙනෙකු මරා දීර්ග යුද්ධයකින් රාජ්‍ය අල්ලා ගන්නා පණ්ඩුකාභය කුමරු (382-307 BC) තම විජිතයෙහි සියලු ගම නියම නිර්නයකර නගරයෙහි සංවර්ධනය පහත අයුරෙන් කරවයි.
ඔහුගේ අභිෂේකය සදහා ජලය ගත් පොකුණ විශාල සහ ගැඹුරු කර ජලයෙන් පුරවන ලද්දේය. ඔහුගේ අභිෂේකය සදහා ජලය ලබා ගත් හෙයින් මේ වැව ජයවාපි (ජය වැව) නමින් ප්‍රසිද්ධ විය.
අනුරාධපුරයට නැගෙනහිරින් කාලවේල යකුන් පදිංචි කරවා, අභය වැවේ පහල කෙලවරේ චිත්‍රරාජ යකුන් පදිංචි කරවිය. අතීතයේදී තමන්ට බොහෝ උපකාර කල යක්ෂණිය නගරයෙහි දකුණු ද්වාරය අසල පදිංචි කරවා, තමන්ගේ වෙළඹ තම මාලිගය පරිශ්‍රයේම ලැගුම් දුන්නේය. සෑම වසරකම ඔහු යක්ෂයන්ට පූජා පැවැත්වූ අතර, උත්සව දිනයන්හි චිත්‍රරාජ සමග සම අසුන් ගෙන, නැටුම් නරඹා සතුටු විය.
ඔහු නගරය ආශ්‍රිතව තවත් නගර සතරක් කරවා, (මෙගා පොලිස්?) අභය වැව, පොදු සුසාන භූමිය, මරණ දඩුවම් දෙන ස්ථානය, බටහිරින් රැජිනියන්ගේ පුදසුනද, වෙස්සවන යකුගේ දේවාලයද, වැදි දෙවියන්ගේ දේවාලයද පිහිටවීය. තවද බටහිර දොරටුව අසල යෝන සහ මහා බලි කර්ම සදහා දෙවොලක්ද පිහිටවිය.
ඔහු 500, 200, සහ 150 ක්, චන්ඩාල කුලයේ මිනිසුන්, පිලිවෙලින් නගරයේ වීදි පිරිසිදු කිරීමට, වීදිවල කානු පිරිසිදු කිරීමට, මුර්ත ශරීර සොහොනට ගෙන යාමට සහ සොහොන නඩත්තු කිරීමට යෙදෙව්වේය. මොවුන් සඳහා ප්‍රධාන සුසාන භූමියට වයඹ ප්‍රදේශයෙන් ගමක් ඇති කලේය. එම ග්‍රාමයට වයඹින් චන්ඩාල කුලයේ මිනිසුන් සදහාද, සොහොනක් ඇති කලේය. එම සොහොන සහ පසන කන්ද අතර, දඩයම් කරන්නන් සදහා නිවෙස් පෙලක් ඉදී කලේය.
එයින් උතුරට ගාමණී වැව දක්වා නොයෙකුත් තවුසන් සදහා අසපු ඉදී කලේය. සොහොනින් නැගෙනහිර වන්නට ජෝතිය නිඝන්ඨයන් සදහා අසපුවක් කරවීය. එම ප්‍රදේශයේ ගිරි නිඝන්ඨයා සහ තවත් බොහෝ තවුසන් වාසය කලහ. එහි පණ්ඩුකාභය රජු කුම්භාණ්ඩ නිඝන්ඨයා සදහා ඒ නම්න්ම දෙවොලක් කරවීය.
එයට බටහිරින්; දඩයම්කරුවන්ගේ වීදියට නැගෙනහිරින් මිත්‍යා දෘෂ්ටික දුෂ්ඨික පවුල් 500 ක් ජීවත් වූහ. ජෝතියගේ නිවස සහ ගාමණී වැව අතර සංචාරක තවුසන්, ආජීවකයන් සහ බ්‍රහමනයන් සදහා නවාතැන් කරවා ඒ අසලින් ආරෝග්‍යශාලාවක් ද කරවීය. ( ලංකාවේ ප්‍රථම ආරෝග්‍යශාලාව?)
රාජාභිෂේක ලබා අවුරුදු 10 කට පසු, මුලු දිවයින පුරාම ග්‍රාම සීමාවන් පිහිට විය. ඔහුගේ මිතුරන් වූ කාලවේල සහ චිත්‍රරාජ නම් වූ යක්ෂ ගෝත්‍රිකයන් සමග ඔහුගේ රාජ්‍ය සම්පත් පරිහරනය කලේය.
පණ්ඩුකාභය රජ ඇවෑමෙන් ඔහුගේ පුත් මුටසීව කුමරු රජවිය. ඔහු නොයෙක් පළතුරු සහ මල් ගසෙන් හෙබි අලංකාර උයනක් නගරයෙහි කරවීය. රජු ජනතාවගේ මුදලින් සැදු නිසා මේ උයනට තමන්ගේ නාම දාගන්නේ නැත. උයන සදහා භූමිය තෝරාගත් දිනයේ එකල වර්ෂා කාලයක් නොවූවද මහා වලාකුඵ එකතු වී තද වැසි ඇති වූ හෙයින්, එම උයන මහා මේඝ වන උයන යනුවෙන් නම් ලැබීය.
මුටසිව රජුගෙන් පසු ඔහුගේ දෙවෙනි පුත් තිස්ස රජ වෙයි. මිහිදු හිමියන් ඔහුගේ කාලයේ ලංකාවට පැමිණි හෙයින් ඔහුට නවාතැන් දීමට මහා විහාරය ඇතිකරනුයේ මෙම මහා මේඝ උයනේය.
දැන් ගොඩනැගීම අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ ආගමික ගොඩ නැගීම්ය මේ අතර එතෙක් මෙතෙක් ගොඩනැගී ඇත්තේ යයි සිතිය නොහැකි ගොඩනැගිලි තුනක් වෙයි. ඒවා ගොඩ නැගෙන්නේ මිහිදු හිමිගේ නැගණිය වූ සංගමිත්තා මෙහෙණිය විසිනි.
උපාසිකා විහාරය නමින් ප්‍රසිද්ධ වූ විහාරයේ සංඝමිත්තා මෙහෙණිය තම අනුගාමිකයන් සමග ජීවත්වුවාය. ඇය එහි ගොඩනැගිලි 12 ක් ගොඩ නැංවූ අතර එයින් 3 ක් අනික් ඒවාට වඩා වෙනස් විය. ඉන් එකක මහා බෝධිය රැගෙන පැමිණි නැවෙහි කුඹ ගසද, තවත් එකක නෞකාව හරවන රෝදයද, අනිකෙහි නැවෙහි රඩරයද තැබුවාය. ඉන්පසු එම ගොඩනැගිලි ඒ නම් වලින්ම ප්‍රසිද්ධ විය. ( කුපායත්තිත පිටඝාර, පියත පිටඝාර, අරිට්ඨත පිටඝාර).
ඉන්පසු දුටුගැමුණු රජු (101-77) එන තෙක් කුඩා විහාර සහ වැව් නගරයට එකතු වෙයි. ඔහු රජවීමට පෙර නගරය පාලනය කරන එළාර ඉතාමත් දැහැමි ලෙස රට පාලනය කල බව මහාවංශය කියයි, බොහෝ උදාහරණද දෙයි.
නගරය එළාර කල කෙසේ තිබුණේදැයි මහාවංසයේ පහත සුරනිමල බඳවාගැනීම පිලිබඳ උදෘතයෙන් පෙනේ.
"ඔහු පැවසූ ගමන් විස්තරයේ වේගය විශ්වාස කල නොහැකි නිසා දිගාභය කුමරු( දුටුගැමුණු කුමරුගේ වැඩිමහල් සහෝදරයකු) ඔහු පරීක්ෂා කිරීමට සිතා, “මිහින්තලය අසල ද්වාරමංඩල නම් ගමෙහි මා මිත්‍ර කුණ්ඩලී බමුණා වාසය කරයි, ඔහු සතුව බොහෝ ආනයනය කරන ලද වෙළද බඩු ඇත. ඔහු වෙත ගොස් ඔහු මා සදහා ඔහු දෙන දෑ රැගෙන එන්න,“ යැයි පවසා ඔහුට ආහාර සලසා ලිපියක් දී පිටත්කර හැරියේය. ඒ උදයේම ඔහු සැතපුම් 70 ක් පමණ ගමන් කර අනුරාධපුරයට ගොස් බමුණා මුණ ගැසුනේය. බමුණා ඔහුට වැවෙන් නාගෙන පැමිණෙන ලෙසට කීවේය. ඔහු තිසා වැවට ගොස් නාගෙන මහා බෝධිය සහ ථූපාරාමය වන්දනා කරගෙන නගරය පුරා ඇවිද, වීදියෙන් සුවඳ විලවුන් මිලට ගෙන උතුරු ද්වාරයෙන් එළියට ගොස් නෙළුම් මල්ද නෙලාගෙන බමුණා මුණ ගැසුනේය. බමුණා ඔහු නගරයට පැමිණි වේගය සහ නගරය අවට ගමන් කල වේගය අසා පුදුමයට පත් වී,
“මොහු වැදගත් පරපුරකින් පැවත එන දක්ෂයෙකි. එළාර රජු මොහු ගැන දැනගත හොත් ඔහුගේ සේවයට බඳවා ගනු ඇත, මොහු කුමාරයාගේ පියා වෙත යැවිය යුතුය,“ යැයි සිතා නිමිලට පුන්නවද්ධන ඇඳුම් සහ තවත් බොහෝ තෑගි දී ආපසු තම මිතුරා වෙත පිටත් කලේය. හවස් වන විට ඔහු දීඝාභය කුමරු වෙත පැමිණියේය".
දුටුගැමුණු නගරයට විශිෂ්ට ගොඩනැගිලි 2ක් එකතු කරයි. ඒ රුවන්වැලි දාගැබ සග ලෝ මහා පායයි . මෙයිනුත් ලෝවාමහා පය අවුරුදු දහසක් පමණ වනතෙක් රටේ තිබෙන උසම ගොඩනැගිල්ල වෙයි. මේ ඒ පාය පිලිබඳ කෙටි විස්තරයකි.
එම ප්‍රසාදය එක් පැත්තක් අඩි 150 ක් පමණ වන සතර පැත්තකින් යුක්ත විය. උසත් එපමණම විය. මෙහි බිම් මහල හැර ,තට්ටු නවයක් වූ අතර සෑම තට්ටුවකම ජනෙල් සහිත කාමර 100 ක් විය. සෑම කාමරයකම ජනෙල් යනාදිය රිදියෙන් සහ පඛලු වලින් අලංකාර කර තිබිණ.
මුළු ගොඩනැගිල්ලේ කාමර 1000 ක් තිබූ අතර, ඒවායේ ජනේල නොයෙකුත් මැණික් වලින් සරසන ලද්දේ විය. එහි මධ්‍යයේ දිව්‍ය රථයක් සේ සරසන ලද මැණික් මණ්ඩපයක් සාදන ලද්දේය. එහි කනු මැණික් ගලින් නිමවා මුතු දම්වැල් එය වටා ඇද තිබිණ.
එම මණ්ඩපයේ ඇතුලත මැණික් ගල් හතක් ඔබ්බවන ලද ඇත් දළ වලින් සෑදූ සිංහාසනයක් තිබුණි. එය වටා නොයෙකුත් මුතු මැණික් රිදී සහ රත්තරන් වලින් කැටයම් කරන ලද ජාතක කථා විදහා දක්වන කැටයම් සාදා තිබුණි.
එම සිංහාසනය මත ඇත් දළ වලින් සාදන ලද වටා පොතක්ද, වටිනා මුතු මැණික් වලින් කරන ලද මිල කල නොහැකි ආභරණ සහ වෙනත් උපකරණ තිබුනු බව සඳහන් වේ. මුළු ගොඩනැගිල්ලම තඹ තහඩු වලින් වසා තිබුනු හෙයින්, එම ගොඩනැගිල්ල ලෝහ මහා ප්‍රසාද යනුවෙන් හැදින්වින. ගොඩනැගිල්ලේ නොයෙකුත් සේදීම් සඳහා තිබු භාජන පවා රනින් නිමවා තිබු බව පැවසේ. මෙය විවෘත කල පසු ධර්මය අවබෝධ කරගත් පිළිවෙලට පහල මාලයේ සිට ඉහල මහල වල කුටි සංඝයා සදහා වෙන් කෙරිණ.
to be continued.
ඉතා වටිනා ලිපියක් දැනුම සොයන්නෙකුට ඉතා වැදගත් තොරතුරු බිඳක්
ReplyDeleteස්තුත්යි
DeleteExcellent
ReplyDeleteලෝවා මහා පාය ඔය විදියට තිබුනයි කියන්න පුරාවිද්‍යා සාක්‍ෂි හමුවෙලා තියෙනවද? හැමදාම කුතුහලය දනවපු ගොඩ නැගිල්ලක්. ඔය තිබ්බයි කියන විදිය ඇඳපු චිත්‍රයක් වත් දැකල නෑනේ.
ReplyDeleteවැදගත් විස්තරයක්
මහා වංශයේ මෙම ගොඩනැඟිල්ල කීප තැනක සඳහන් වෙනව . වරෙක මෙය ගින්නකින් විනාශවී තට්ටු හතකට නැවත ප්‍රතිසන්ස් කරනය කරනවා. මහාවංශය ප්‍රවේසමෙන් කියවන අතිශොක්ති වෙන්කර ගන්න පුලුවන්. යටට ගල් කනු තිබ්බට ගොඩනැගිල්ල හදල තියෙන්නෙ ලී වලින්. ඊට පස්සෙ පෙනුමට වටේට තඹ තහඩු සවිකරල තිබෙනව; ලෝහ මහා පාය
Delete