Monday, October 3, 2016

සාමාන්‍ය ප්‍රශ්න සහ උභතෝකෝටික ප්‍රශ්න















රාජ්‍ය පාලනයේදී සහ යුද්ධයේදී වැඩියෙන්ම සිදුවන්නේ ප්‍රශ්න විසඳීමය. ප්‍රශ්න විසඳීමට ඇති හැකියාව දැන් නායකයෙකුට තිබිය යුතු අත්‍යවශ්‍ය ගුනාංගයක් ලෙස සලකන්නේ ඒ නිසාය.
ප්‍රශ්න වලත් සාමාන්‍ය ප්‍රශ්න සහ උභතෝකෝටික ප්‍රශ්න යැයි ප්‍රශ්න වර්ග දෙවර්ගක් තිබේ. සාමාන්‍ය ප්‍රශ්න වලට ටිකක් කල්පනා කර බැලූ විට පැහැදිලි විසඳුමක් තිබේ. එහෙත් උභෝතකෝටික ප්‍රශ්න වලට විසඳුම් කීපයකි. එකක්වත් පැහැදිලි නැත.
උදාහරණයක් ලෙස ක්‍රිස්තු පූර්ව 43 යුද්ධයකින් පැරද පලා යන වට්ඨගාමිණි අභය රජු දෙස බලමු.
ඔහු රජ වූ මුල් වසරේම දකුණු ලක වැදගත් පවුලක තිස්ස නම් තරුණයෙකුට, අනාවැකි කරුවෙකු විසින් ඔහු අනාගතයේ ලංකාවේ රජ වන බව කියයි. තිස්ස අනාවැකිය හරියනකන් ඉන්නේ නැත. ඔහු එය ඇත්ත කරන්නට හමුදාවක් ගොඩ නගා ගයි. රජය ඉල්ලා වට්ඨගාමිණීට ලිපියක් යවයි. රජුට මෙයට පැහැදිලි විසඳුමක් ඇත. එහෙත් හරියටම මේ කාලයේම දකුණු ඉන්දියාවෙන් යුධ සේනාවන් රැගෙන මන්නාරමෙන් ගොඩ බසින සෙනවියන් හත් දෙනෙකු මේ සාමාන්‍ය ප්‍රශ්නය උභතෝකෝටික එකක් බවට පත් කරයි.
ඔවුහුද රජය ඉල්ලා රජුට ලිපියක් එවති. වට්ටගාමිණීට ඇති විකල්පයන් මොනවාද?
  • ඉන්දියානු හමුදාව අගනුවරට වඩාත් කිට්ටු නිසා මුලදී ඔවුන් සමග සටන් කිරීම.
  • තිස්ස සමග සටන් කිරීම.
  • තම හමුදාව දෙකට බෙදා තිස්ස සහ ඉන්දියානුවන් සමග එකවර යුද්ධ කිරීම. 
  • කා සමගත් යුද්ධ නොකර පැනයාම.

නමුත් ඔහු ඒ එකක් වත් තෝරා නොගෙන ඒ හැම එකකටම වඩා උපක්‍රමශීලී විසදුමක් සොයා ගනී. ඔහු,
“රාජ්‍යය ඔබේය, ඔබ මන්නාරමෙන් ගොඩබැසී ඉන්දියානු හමුදාව පරදවා එය බේරා ගන්න,“ යැයි පණිවිඩයක් තිස්ස වෙත යවයි.
තිස්ස ගොස් ඔවුන් සමග සටන් කොට පැරද මරුමුවට පත්වේ. දැන් එක් යුද්ධයකින් දුර්වල වී ඇති ඉන්දීය හමුදාවට ගාමණී අභය රජු පහර දේ. එහෙත් දකුණු ඉන්දියානු හමුදාව ඔහු බලාපොරොත්තු වුනාට වඩා ශක්තිමත්ය.  ගාමණි අභයත් පරදී.
දැන් ඔහු තම අස් රථයේ පලා යයි. එහි සිටින්නේ,
  • අනුලා දේවිය නැමති ප්‍රධාන රැජිණ, ඇය ඔහුට පෙර රාජ්‍ය කල ඔහුගේ සහෝදරයාගේ බිරිදයි.
  • සෝමා දේවී, ඔහුගේම බිරිද.
  • මහාකුල කුමරු, අනුලා දේවියගේ පුත් කුමරු.
  • මහානාග කුමරු ඔහුගේම පුත් කුමරු.

ලුහුඹා එන ඉන්දියානු ආක්‍රමනිකයින් දැන් වේගයෙන් අස්රියට කිට්ටු වෙයි. අශ්ව කරත්තයේ බර වැඩි නිසා වේගය වැඩි කිරීමට අපහසුය. රාජකීය පිරිස ආක්‍රමනිකයින් ගෙන් බේරා ගැනීමට නම්, කෙනෙකු දැන් බස්සවා රථයේ බර අඩුකල යුතුය. මෙය නම් ඕනෑම රජෙකුට මුහුණදෙන්නට ලැබිය හැකි උභතෝකෝටික ප්‍රශ්නයකි. තීරණයද මොහොතකින් ගත යුතුය.
ඔහු මහා වංශයද කලාතුරකින් රැජිණකට දෙන ගෞරවයක් වන ‘ලස්සන‘ යන විශේෂණය ලබා දී ඇති සෝමා දේවිය, ඔහුගේ මිළකල නොහැකි මානික්‍ය සහිත නලල් කිරීටය දී රථයෙන් බිමට බස්සවයි.
බර අඩු වූ නිසා වේගය වැඩිකර ගන්නා රථය සතුරන්ගෙන් බේරී ඉදිරියට ඇදේ.
දකුණු ඉන්දියානු සෙනවියන් හත් දෙනෙකුගෙන් එකෙකු රූමත් සෝමා දේවිය දැක ඇයත් රැගෙන ආපසු ඉන්දියාවට යයි.
 රජු කැළෑ වැද අවුරුදු 14 ක් ගතකර මහත් දුෂ්කරතා මැද කදුරටින් හමුදාවක් ගොඩනංවා ගෙන ආපසු අනුරාධපුරයට ගොස් ආක්‍රමනිකයා පරාජය කර තම දෙවැනි රාජ්‍ය කාලය අරඹයි.

සෝමා දේවිය රැගෙන ගිය සෙනවියා සමග සාකච්ඡා කර, බොහෝ විට කප්පමක් ගෙවා වන්නට පුලුවන, ඇය ආපසු ගෙන්වා ගනී. මේ අවුරුදු 15 කට පමණ පසුය. ඇය නැවත දෙවන බිසව තනතුරේ පිහිටවා ඇයගේ නමින් සෝමාරාමය නමින් විහාරයක්ද කරවයි.     

2 comments:

  1. අපේ රට යන්තම් දකුණු ඉන්දියාවෙන් බේරුනේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ගොඩබැස්ස නිසා නේද?

    ReplyDelete
  2. More than that fragmentation of indian kingdoms , in 1947 other than British territories there were over 500 princely states in India , imagine

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 3

" මම කීප දෙනෙක් ගෙන්ම ඇහුව සමනල කන්ද මුදුනට මගෙත් එක්ක තරඟෙට නගින්න පුළුවන් කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියල, කාටවත් එහෙම කෙනෙක් ගැන...